ජවිපෙ/ජාජබ ආන්ඩුවේ මැරයෝ පෙසප පක්ෂ කාර්යාලයක් අත්කර ගැනීමට ප්‍රචන්ඩත්වය යොදා ගනිති

යක්කල ප්‍රදේශයේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) ප්‍රධාන කාර්යාලයට අගෝස්තු 2දා උදෑසන, කඩු, පොලු රැගෙන කඩා වැදුන ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනබලවේගයේ (ජවිපෙ/ජාජබ) 50කට අධික මැර පිරිසක්, එහි සිටි පුද්ගලයින්ට පහරදී, බලාත්කාරයෙන් තම පක්ෂ කාර්යාලය අත්කර සිටින බව පෙසප චෝදනා කරයි. 

ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙම පහර දීම පිලිබඳව විස්තර කරමින් පෙසප අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ කීවේ,  මැර ප්‍රහාරයෙන් එහි මධ්‍යම කාරකසභික සුජිත් කුරුවිට සුලු තුවාල ලබා ඇති බවත්, තැලුම් හා සීරුම් තුවාල සහිතව කාන්තා සාමාජිකාවක ද ඇතුලු 6 දෙනෙකු ගම්පහ රෝහලට ඇතුලත් කිරීමට සිදුවූ බවත් ය.  

ජවිපෙ/ජාජබ මැරයින් පහරදීමෙන් තුවාල ලැබූ පෙසප මාධ්‍යම කාරක සභිකයෙකු වන සුජිත් කුරුවිට

කුරුවිට ඇතුලු පෙසප සාමාජිකයන් ගනනාවක් කාර්යාලයට පිවිසෙන ස්ථානයේ සිද්ධිය හෙලා දකිමින්  විරෝධතා දක්වන ආකාරය, යූටියුබ් හා සමාජ ජාලා වෙබ් අඩවිවල පලවූ වීඩියෝ මගින් වාර්තා කෙරුනි. නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ, තවත් ජවිපෙ/ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රීන් තිදෙනෙකු ඇතුලු ආන්ඩු පක්ෂයේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංවිධායකවරුන්  කාර්යාලය අත්කර ගත් පිරිස අතර සිටි බව ජයගොඩ කීවේ ය. 

ප්‍රහාරය නැවැත්වීමට පොලිසිය කිසිවක් නොකල බවට චෝදනා නගමින් ඔහු කීවේ, දහවල් වනවිට විශේෂ කාර්ය බලකායේ (එස්ටීඑෆ්) භටයින් සියයක් පමන අදාල ස්ථානයට ගෙන්වා තිබූ බවයි.  පොලිසිය පෙසප විරෝධතාකරුවන් පෙදෙසින් ඉවත් කිරීමට තැත් කරනු යූටියුබ් වාර්තා වල දක්නට  ලැබුනි. 

වසර 13ක් තිස්සේ තම පක්ෂය මෙම කාර්යාලය පරිහරනය කල බවත්, නඩු තීන්දුවක් ඇතයි කියමින් ආන්ඩුබලය පාවිච්චි කරමින් ආන්ඩුවේ පිරිස් මෙලෙස කඩා පැනීම යුක්ති සහගත නැති බවත් පෙසප නායකයා සඳහන් කලේ ය.  යම්කිසි ස්ථානයකින් පුද්ගලයෙකු හෝ පිරිසක් ඉවත් කිරීමට අවශ්‍යනම්, නීත්‍යානුකූලව පිස්කල් නියෝගයක් සමග පැමිනිය යුතු බවත්, මෙම සිදුවීමේ දී එවන්නක් සිදු ව නැති බවත් ජයගොඩ කීවේ ය. මේ අයුරින්ම 2015දී ඔවුන්ගේ නුවර කාර්යාලය, ජවිපෙ විසින් පැහැරගත් නමුත් නඩු තීන්දුවකින් පෙසප යලි අත් කර ගෙන තිබේ.  

මෙම බලාත්කාරී අත් කර ගැනීම සාධාරනීකරනය කිරීමට, ජවිපෙ/ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ දිවයින පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ, 2025 අගෝස්තු 27දා නිකුත් කල නඩු තීන්දුවකින්, ප්‍රශ්නගත දේපලේ ඔප්පුව, ජවිපෙ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වාගේ නමට ලියැවී ඇති බවත්, එම තීන්දුව පිලිගන්නේ නැතිව පෙසප අයිතිවාසිකම් කියන බවත් ය.

මෙහිදී, විධිමත් අධිකරන ක්‍රියාවලියක් හරහා පිස්කල් මාර්ගයෙන් කටයුතු නොකලේ මන්දැයි, ජවිපෙ/ජාජබ මන්ත්‍රීගෙන් දිවයින ප්‍රශ්නකර ඇති බවට සඳහනක් නැති නමුත්, විජේසිංහගේ උක්ත ප්‍රතිචාරය තුල ගැබ්වන තර්ජනය තේරුම් ගැනීමට අපහසු නොවේ. එනම්, තමන්ට අවැසි දේ අත්කර ගැනීමට විධිමත් නෛතික ක්‍රම වෙනුවට, රාජ්‍ය බලය හා ජවිපෙට ආවේනික මැරබලය යොදා ගැනීමට එය පසුබට නොවනු ඇත යන්න යි. 

සැප්තැම්බර් 2දා ජවිපෙ/ජාජබ මැරයින් පිරිසක් පෙසප කාර්යාලය අත්කරගැනීමෙන් අනතුරුව විරෝධය දක්වන පෙසප සාමාජිකයන් (පින්තූරය- කලම්බු පෝස්ට් ෆේස්බුක් පිටුවෙන්)

ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප), පෙසපෙ ව්‍යාජ-වාම දේශාපාලනය සමග පවතින නොපෑහිය හැකි දේශපාලන විරුද්ධත්වය අවධාරනය කරන අතර ම, එම පක්ෂයට එල්ල වූ ජවිපෙ/ජාජබ ආන්ඩුවට සම්බන්ධ කොටස්වල ප්‍රචන්ඩ ප්‍රහාරය පිලිකුලෙන් හෙලා දකී. එමෙන්ම, ආන්ඩුවේ ම්ලේච්ඡ කප්පාදුවලින් බැටකමින් සිටින සමස්ත කම්කරු පන්තිය සම්බන්ධයෙන්, එහි ඇති බරපතල ඇඟවුම් ගැන ද අපි අනතුරු අඟවමු.  

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) කප්පාදු අකුරට ක්‍රියාවට දමමින් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආන්ඩුව ඒවාට  එරෙහි කම්කරු පන්තියේ අරගල මඩින ආකාරය දැනටමත් පෙන්නුම් කර ඇත. ජවිපෙ/ජාජබ ආන්ඩුවට වසරක් පිරීමටත් පෙර කම්කරුවන්, ගොවීන්, ශිෂ්‍යයන් ඇතුලු අනෙකුත් පීඩිත කොටස් අතරින් අරගල පැන නැගෙමින් තිබෙන අතර, ඒවා මැඩීමට ආන්ඩුව පොලිස්-මිලිටරි හස්තය ශක්තිමත් කර ගැනීමේ නිරත ව සිටී. සති කීපයකට පෙරාතුව, තැපැල් කම්කරුවන්ගේ දිග්ගැස්සීගිය වර්ජනය බිඳීමට මිලිටරිය යොදාගැනීම, මෙය දැනටම ආරම්භ කර තිබෙන බවට බලගතු ඇඟවුමකි. 

තමන්ට එල්ල වූ ප්‍රහාරය ගැන කතා කිරීමේ දී, පෙසප නායකයින්,  ආන්ඩුවේ මෙම සැබෑ මුහුනුවර ගැන මුලුමනින්ම කට පියාගෙන සිටිනවා පමනක් නොව, ඒ සියල්ල තිබිය දී ම පැරැනි පාලකයන්ට යලි ඉඩ නොදීමේ නාමයෙන් ජවිපෙ/ජාජබ ආන්ඩුවට සිය සහාය නැවත නැවතත් සහතික  කර තිබේ. ජනාධිපතිවරනයෙන් දිසානායක ජයගැනීමෙන් ක්ෂනික ඉක්බිත්තේම පෙසප නායක කුමාර් ගුනරත්නම්, ඔහුගේ පත්වීම “ජනතා අපේක්ෂාවන් ප්‍රකාශයට පත්වීමක්” ලෙස ඔජවැඩූ බව පමනක් සිහිපත් කිරීම මෙහිදී ප්‍රමානවත් ය. 

පෙසප විරෝධතාකරුවන් පසුබිමෙහි සිටිමින් අගෝස්තු 2දා මාධ්‍ය ඇමතූ ජයගොඩ කීවේ, පක්ෂ කාර්යාලය අත්කර ගැනීමේදී  “ආන්ඩුව හැසිරෙන්නෙ හරිම ලදරු විදියට, ආන්ඩුවක් ගත්තා කියලා මේ ගොල්ලොන්ට කවුරු හරි මතක් කරලා දුන්න නම් හරි. ආන්ඩුවක් කරන්න මේ ගොල්ලන්ට තේරෙන්නෙ නෑ” යැයි සදහන් කලේය. ජවිපෙ එලෙස හැසිරෙන්නේ “ලදරුකම” නිසා හෝ “ආන්ඩු  කරන්න නොතේරෙන” නිසා හෝ නොවේ. 

එය ආන්ඩු කරමින් සිටින්නේ, කම්කරුවන්ට දුගීන්ට හා තරුනයන්ට එරෙහි ව මර්දන යන්ත්‍රය මුවහත් කරමිනි. තමන් සම්බන්ධයෙන් මිතුරු විවේචන ඉදිරිපත් කරන පෙසප වැනි දේශපාලන විරුද්ධවාදීන් පවා ඉවසීමට ජවිපෙ/ජාජබ සුදානම් නැත. 

ජයගොඩගේ අනෙක් මැසිවිල්ල නැගුනේ, ආන්ඩුව නීතියට වැඩ නොකිරීම ගැන යි. “ආන්ඩුව, පොලිසිය නවන්න, නීතිය ක්‍රියාත්මක කිරීමෙන් වැලක්වීමට උඩ ඉදලා, (මහජන ආරක්ෂක ඇමැති) ආනන්ද විජේපාලලාගේ ඉදලා ඔක්කොමල මෙතනට කරපු මැදිහත්වීමත් අපි හොඳට දන්නවා” යයි ඔහු කීවේ ය. නීතියට වැඩකරන බව කීවත් එලෙස ක්‍රියා නොකිරීමෙන් ආන්ඩුවේ “හෙලුව” පෙනුනු බව ද ඔහු කීවේ ය.  

ජයගොඩ විපරීත කතා කීවත්, පෙසපෙ කාර්යාලය අත්කර ගැනීම මගින් ජවිපෙ/ජාජබ ආන්ඩුවට අමුතුවෙන් පෙන්වීමට “හෙලුවක්” තිබුනේ නැත. ජවිපෙ නායකත්වය දෙන ආන්ඩුවක් බලයට ඒමෙන් “ජනතාවාදී” හා ප්‍රගතිශීලි, සම්ප්‍රදායික පක්ෂවලට එරෙහිවූ පාලනයක් ඇතිවී තිබෙන බව ප්‍රකාශකරමින්, එහි සැබෑ ස්වභාවය වසන් කිරීමට සලුපිලි ඇන්දූ කන්ඩායම් අතර ප්‍රමුඛයෝ වූවෝ පෙසප නායකයෝ ය. 

ප්‍රතිගාමී බලවේගවලට ආන්ඩුව වැට්ට්වීමට ඉඩ නොදෙන බව ද මිතුරු විවේචන කරන්නේ ආන්ඩුව “හරි පාරට ගැනීමට” යයි ද පෙසප නායකයෝ කියති.  එහෙත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට ගැති, ලංකාවේ මහා ධනපතියන්ගේ අත්ගෙඩියක් වන අනුර කුමාර දිසානායක ආන්ඩුව, තමන් ආරක්ෂා කරන්නට කැපවූවන්ගේ එවැනි විවේචන පවා ඉවසන්නේ නැත.

තමන්ට හිතැති සංවිධාන සම්බන්ධයෙන් දිසානායක ආන්ඩුව හැසිරෙන්නේ මේ ආකාරයෙන් නම්, ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට සතුරු වැඩකරන ජනතාවට එරෙහිව මොනතරම් ප්‍රචන්ඩත්වයක් මුදාහරිනු ඇති ද යන්න සිතාගැනීම අසීරු නොවේ. 

දිසානායක හා ඔහුගේ ජවිපෙ/ජාජබ බලයට ආවේ අර්බුදයෙන් කීරි වී ගිය ධනපති පන්ති පාලනය ආරක්ෂා කිරීමට, පාලක ප්‍රභුවට හා ජාත්‍යන්තර ප්‍රාග්ධනයට ප්‍රතිඥා දෙමිනි. මෙම ආන්ඩුවෙන් හා ධනපති ක්‍රමය තුලින් ප්‍රජාතන්ත්‍රවාදී, ජීවන හා සමාජ අයිතීන් රැකීමක් අපේක්ෂා කල හැකි යයි ප්‍රකාශ කරන්නෝ කම්කරුවන්, දුගීන් හා තරුනයන් මුලාවේ හෙලන්නෝ ය. තම ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රැක ගැනීමෙහිලා, කම්කරු පන්තිය මෙවන් සංවිධාන මත අබමල් රේනුවක විස්වාසයක් නොතැබිය යුතු ය.    

 ධනපති පන්තියේ සියලු පක්ෂවලින් සහ පෙසප වැනි ධනපති ගැති සංවිධානවලින් බිඳෙමින්, ප්‍රජාතන්ත්‍රීය, සමාජ හා ජීවන අයිතීන් ආරක්ෂා කරගැනීමට කම්කරු පන්තියේ ස්වාධීන සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට සමාජවාදී සමානතා පක්ෂය කැඳවුම් කරයි.