නොනවතින විප්ලවය සහ සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා සටන: කීර්ති බාලසූරිය සහෝදරයා අනුස්මරනය කිරීමේ දේශනය

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) (ශ්‍රී ලංකාවේ වත්මන් සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා) ආරම්භයෙහි පටන් එහි ප්‍රධාන ලේකම් ධුරය දැරූ කීර්ති බාලසූරිය සහෝදරයා 1987 දෙසැම්බර් 18 දා අභාවප්‍රාප්ත විය. එම අභාවයෙන් පස් වසර අනුස්මරනය කරනු පිනිස ජාත්‍යන්තර කමිටුවේ ශාඛා විසින් ලොව පුරා පවත්වන ලද රැ ස්වීම් මාලාවක කොටසක් ලෙස කැනේඩියානු ට්‍රොට්ස්කිවාදීන්ගේ ජාත්‍යන්තර කම්කරු පක්ෂය 1993 පෙබරවාරි 6 දා මොන්ට්‍රියෙල් නුවර දී ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වී ය. මෙහි පල වන්නේ, එක්සත් ජනපදයේ ට්‍රොට්ස්කිවාදී පක්ෂය වන කම්කරු සංගමයේ (වර්කර්ස් ලීගයේ - ඇමරිකාවේ වත්මන් සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමී සංවිධානයේ) ජාතික ලේකම් ඩේවිඩ් නෝර්ත් විසින් එම රැස්වීම අමතා කරන ලද දේශනය යි. එය 1993 දී ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන්හි පුවත්පත්වල පල වූ අතර විකොස විසින් සිංහල හා දෙමල භාෂාවන්ගෙන් පොත් පිංචවල් ලෙස ද පල කරන ලදි.

කීර්ති බාලසූරිය අභාවප්‍රාප්ත වී දැනට ම පස් වසක් ගෙවී ඇතැයි විශ්වාස කිරීමත් අමාරු ය. පලමු කොට ම, අප අනුස්මරනය කරන්නේ අද ඔහු ජීවත්ව සිටියේ නම් සිය 44 වන උපන් දිනය පසු කර යන්තම් මාස කීපයක් ගත වූ සහෝදරයෙකි. ඔහු මියෙන විට සිටියේ ඉතා තුරුනු වියේ ය - ඔහුට යන්තම් 39 ලැබුවා පමනකි.

ඔහුගේ අභාවය ඒ තරම් ම අනපේක්ෂිත විය. කීර්ති ඔහුගේ වයසට වඩා යොවුන්ව පෙනුනි; ඔහුගේ සුවිසල් ඥානය සහ දේශපාලන අත්දැකීම තිබිය දී ම ඔහු උද්‍යෝගයෙන් සහ රසිකතාවෙන් ලමයෙකු මෙන් විය.

එතකුදු වුව අපරිනත හෝ නොසැලකිලිමත් බවක් ඔහු කෙරෙහි නො වී ය. ඔහු වනාහි, සිය දේශපාලන ඒත්තු ගැනීම් දිගු කලෙක ක්‍රමානුකූල අධ්‍යයනයෙන් වර්ධනය කෙරුනා වූත් බල ගැන්වුනා වූත් තීක්ෂ්න බුද්ධිමය තීව්‍රතාවකින් යුක්ත වූ මනුෂ්‍යයෙක් වූයේ ය.

කම්කරු විප්ලවවාදී පක්ෂයේ (කවිප) පූර්වගාමියා වූ සමාජවාදී කම්කරු සංගමය විසින් සංවිධානය කෙරුනු එංගලන්තයේ පාසලක දී 1972 ගිම්හානයේ කීර්ති මට පලමුව හමු විය. හතර වන ජාත්‍යන්තරයේ ඉතිහාසය ගැන දේශන මාලාවකට ඔහු සහභාගි වෙමින් සිටියේ ය; එමෙන් ම, 1923 ගබ්සා වූ ජර්මානු විප්ලවය ගැන ඔහු කල දීර්ඝ ප්‍රතිපදානයක් මට තව මත් සිහිපත් වේ. ඔහු පාසල ආමන්ත්‍රනය කලේ සිංහලෙනි. එනමුදු ඔහු කතා කල ආවේශයෙන් මුලු සභා ගැබ ම වසඟයට පත් විය. වචන ගලා ආවේ ලෝදිය ගලන්නාක් මෙනි; ඔහුගේ පරිවර්තකයා ඉහල ම ප්‍රයත්නය දැරුව ද - ඒ විජේ ඩයස් සහෝදරයා ය යි සිතමි - සමාන වේගයෙන් යා නොහැකි විය. සිය පරිවර්තකයා වාක්‍ය කීපයක් පිටුපසින් ලැග සිටින බව හෝ විශේෂ වාක්‍ය ඛන්ඩය අවශ්‍ය නිශ්චිතාර්ථයෙන් දීමට අසමත් වූයේ ය යි කීර්තිට වැටහුනු කල ඔහුට පුලුවන් තරම් හොඳින් කරුන පැහැදිලි කිරීමට විටින් විට හදිසියේ ම ඉංග්‍රීසියට බසියි. (වැඩි කල් නොගොස් බංග්ලාදේශය බවට පත් වූ) එකල නැගෙනහිර පකිස්ථානයට ඉන්දියාව කල ආක්‍රමනය ගැන සමාජවාදී කම්කරු සංගමය ගත් දේශපාලන පිලිවෙතට මාස කීපයකට පෙරාතුව කීර්ති දරුනු ලෙස විරුද්ධ වූ බව එවක මම නොදැන සිටියෙමි.

සමාජවාදී කම්කරු සංගමය ඉන්දියානු ආක්‍රමනය අනුමත කිරීමට විරෝධය පල කරමින් 1971 දෙසැම්බරයේ හා 1972 ජනවාරියේ කීර්ති ලියා තිබූ ලිපි තවත් 14 වසරක් ගත වන තුරු - කවිපයෙන් භේද වන තුරු ම - ජාත්‍යන්තර කමිටුවේ අනෙකුත් ශාඛාවලට දකින්ට නොලැබුනි.

කීර්ති සමග කතා කිරීමේ ඉඩක් මට ලැබුනේ අවුරුදු කීපයක් ම ගිය පසු ය. 1975 මැයි මාසයේ ලන්ඩනයේ පැවති ජාත්‍යන්තර කමිටුවේ සය වන සම්මේලනයට අපි දෙදෙනා සහභාගි වීමු. සමුලුව පැවැත්වුනේ ටිම් වුල්ෆර්ත් කම්කරු සංගමයෙන් පලා යාමෙන් පසුව ය.

කීර්ති වුල්ෆර්ත් දැන සිටියේ ය. කම්කරු සංගමය තුල පුපුරා ආ අර්බුදයට පසුබිම් වූ දේශපාලන ප්‍රශ්න දැනගැනීමට ඔහු බලවත් ලෙස උනන්දු වී සිටියේ ය.

ඇත්තෙන් ම වසරකට පෙර පැවැත්වුනු පස් වන සම්මේලනයේ දී කීර්ති අවසන් වරට වුල්ෆර්ත් දැක තිබුනි. එම සමුලුවට වුල්ෆර්ත් ඉදිරිපත් කල වාර්තාවෙන් පෙන්නුම් කෙරුනේ, කම්කරු සංගමයට නායක සාමාජිකයන් විශාල ගනනක් ඉල්ලා අස් වීම ඇතුලු බරපතල පාඩු විඳින්ට සිදු වූ බව යි. මේ ප්‍රවෘත්තියෙන් කීර්ති කරදරයට පත් වූයේ, කම්කරු සංගමයේ බරපතල අර්බුදයක් ලෙස දෘශ්‍යමාන වූ දැය පිලිබඳව වුල්ෆර්ත්ගෙන් වඩා නිශ්චිත දේශපාලන පැහැදිලි කර ගැනීමක් ලබා ගන්ට පරිශ්‍රම දරා තිබුනි. කෙසේ වුව ද, වටිනා සහ අත්දැකීම් සහිත සාමාජිකයන් නැති වීම ගැන කරදර වනවාට වඩා තරුනයන් අතරින් “මහජන බඳවා ගැනීම්” පිලිබඳව වුල්ෆර්ත් ඉදිරිපත් කල විස්තරයෙන් සිත් කා වැදුනු හීලි සහ බන්ඩා කීර්තිගේ ප්‍රශ්න කිරීම් ඇන හිටවූහ.

ඊලඟ අවුරුදු දහයේ මා කීර්ති දුටුවේ කලාතුරකින් පමනි; එ ද සාමාන්‍යයෙන්, දේශපාලන අදහස් විවෘතව හුවමාරු කර ගැනීමක් අපහසු කරවූ කොන්දේසි තුල ය. අවසානයේ සමීපව හා ක්‍රමානුකූලව අපට එක්ව වැඩ කල හැකි වූයේ 1985න් පසු ය. කවිපය තුල අර්බුදය පුපුරා තිබුනි; ඔක්තෝබරයේ තුන් වන සතියේ අග වෙද්දී කීර්ති ලන්ඩනයට පැමිනියේ ය. කවිපය තුල හා හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව තුල තත්ත්වය ගැන කම්කරු සංගමයට ආ පස්සට වාර්තා කිරීම සඳහා මම එක්සත් ජනපදයට ආපසු පැමින සිටියෙමි. ඔක්තෝබර් 20 දා උදයේ ඔක්කොම මිනිස්සු අතරින් එක් අයෙක්, එනම් බන්ඩා දුරකථනයෙන් කතා කලා මට හොඳට මතක ය. කීර්ති ලන්ඩනයට පැමින සිටින බව ද බන්ඩා මට සඳහන් කලේ ය. බන්ඩා සමග කතාව අවසන් වූ මොහොතේ ම, මම කවිප මූලස්ථානයට වෙනත් දුරකථන මාර්ගයකින් කතා කොට කීර්තිට කතා කරන ලෙස දැන්වූයෙමි. ඔහු දුරකථනයට පැමිනියේ ය. ඔහුගේ ප්‍රථම වචන වූයේ මේවා යි: “කවිපෙ දේශපාලන පිලිවෙත ගැන ඔබේ විවේචන මම කියෙව්වෙමි. මම ඒවාට එකඟ වෙමි.” මෙම ප්‍රවිෂ්ටය කීර්ති සහෝදරයාගේ ගතිලක්ෂනයක් විය. ලන්ඩනයට ඔහු සම්ප්‍රාප්ත වූ පෙර දිනයේ බන්ඩා හීලිගේ “ලිංගික සෝලිය” ගැන කාමුක විස්තරවලින් කීර්තිට සංග්‍රහ කර තිබුනි. අවසානයේ බන්ඩා හුස්ම කටක් ගන්ට නතර වෙනවාත් සමග ම කීර්ති ඔහුගෙන් සරලව මෙසේ ඇසුවේ ය: “ජෙරී හීලි සමග ඔබේ දේශපාලන මතභේද මොනවා ද?” බන්ඩා මෙම ප්‍රශ්නයෙන් තිගැස්සුනේ ය; ඔහුට කීමට කිසි දෙයක් ද නො වී ය. සෑහෙන දේශපාලන ගොත ගැසීමකට පසුව බන්ඩා, සිය භයානක අකරතැබ්බයෙන් ගොඩ ඒමට දඟලමින්, 1982 සහ 1984 අතර මවිසින් ලියන ලද දේශපාලන ලියවිලිවල පිටපතක් කීර්ති අතට දුන්නේ ය.

බන්ඩාට ක්ෂනික උපයෝගිතාවාදී හා කන්ඩායම්වාදී වටිනාකමකට වඩා කිසි වැදගත්කමක් නොවූ මෙම ලියවිලි කීර්තිට සාරභූත වැදගත්කමක් ගත්තේ ය.

දශකයකට වැඩි කලක් විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ජාත්‍යන්තර කමිටුව තුල සහමුලින් ම වාගේ හුදෙකලා කොට තිබුනි. සමාජවාදී කම්කරු සංගමයේ/කවිපයේ වර්ධනය වෙමින් පැවති අවස්ථාවාදය ගැන විකොස විවේචන අප්‍රසිද්ධ විය.

එය හීලි, බන්ඩා සහ ස්ලෝටර් විසින් අහිතවත්, කඩාකප්පල්කාරී ප්‍රකෝප කිරීම් මාලාවකට පාත්‍ර කෙරින. ජාත්‍යන්තර කමිටුවේ අනෙකුත් ශාඛාවල ඇස් ඉදිරියේ විකොස නායකත්වය අපකීර්තියට පත් කිරීමට එල්ල කර ගෙන එහි වැඩ කටයුතු පිලිබඳව කවිපය ව්‍යාජ වාර්තා ගෙතුවේ ය. මෙම ප්‍රහාරයේ එල්ලය වූයේ, කීර්ති සහ විකොස නායකත්වයේ සහෝදරවරුන් ආවේශාත්මකව කැප වී සිටි, ඓතිහාසිකව වර්ධනය කෙරුනු හතර වන ජාත්‍යන්තරයේ මූලධර්ම හා ක්‍රියා මාර්ගය සඳහා විකොස ගෙන ගිය අරගලයට වල කැපීම යි. කීර්ති හතර වන ජාත්‍යන්තරයේ සමස්ත ඉතිහාසය තුල මුල් බැස ගත්තා වූ ද එහි ශ්‍රේෂ්ඨතම සම්ප්‍රදායන්හි ප්‍රෞඪ නියෝජිතයා ද වූ පක්ෂයක නායකයා විය.

විකොසට සහ පෞද්ගලිකව ම කීර්තිට කවිපය විසින් නිර්මානය කරන ලද සියලු දරුනු දුෂ්කරතා තිබියේ වුවත් 1985 අග පිපිරුනා වූ දේශපාලන අර්බුදය වෙත කීර්තිගේ ප්‍රතික්‍රියාවල ආත්මීයවාදයක හෝ තිත්ත වීමක සලකුනක් වත් දක්නට නො වී ය. අනෙක් අතට මෙම අර්බුදය තුල ඔහු දුටුවේ ජාත්‍යන්තර කමිටුව ට්‍රොට්ස්කිවාදී ක්‍රියා මාර්ගයෙන් යලි සන්නද්ධ කිරීමේ ද අවුරුදු ගනනාවක් තිස්සේ හතර වන ජාත්‍යන්තරය දුර්වල කලා වූ අවස්ථාවාදයට එරෙහිව ලෝක පරිමාන ප්‍රහාරයක් දියත් කිරීමේ ද අවස්ථාවක් උදා වීමක් ලෙස යි.

1985 ඔක්තෝබරයත් 1987 දෙසැම්බරයත් අතර කාල පරිච්ඡේදය අතිශයින් ම දේශපාලනිකව ඵල අත් කර දුන් අතර, එය කීර්තිගේ ජීවිතයේ ප්‍රීතිමත් ම අවධිය බව කීමට මම නිභය වෙමි. ජාත්‍යන්තර කමිටුවේ න්‍යායික හා දේශපාලන පුනරුදය සඳහා විස්ථාපනය කල නොහැකි තීරනාත්මක ක්‍රියා කලාපයක් ඔහු ඉෂ්ට කලේ ය.

විප්ලවවාදී කම්කරුවන්ගේ හා තරුනයන්ගේ අනාගත පරම්පරාව සිය උද්දාමය උකහා ගනු ඇත්තේ මාඕ සේ තුංගෙන් වත්, හෝ චි මිංගෙන් වත්, මාක්ස්වාදීන් ලෙස වෙස් වලා ගත් ධනපති ජාතිකවාදයේ හා සුලු ධනේශ්වර රැඩිකල්වාදයේ වෙනත් කිසි නියෝජිතයන්ගෙන් වත් නොවන බව 1987 දෙසැම්බර් 23 වන දා කීර්ති සහෝදරයාගේඅවමංගල්‍යයේ දී මම කියා සිටියෙමි. එවෙනුවට අනාගතයේ විප්ලවවාදී සටන්කරුවන් කීර්ති බාලසූරියගේ දේශපාලන ආදර්ශයෙන් ඉගෙන ගන්නවා ඇත. මෙම බුහුමන් දැක්වීමේ අල්පමාත්‍ර අතිශයෝක්තියක් නොවූ බව ගිය පස් අවුරුද්දේ සිද්ධීන්ගෙන් ප්‍රදර්ශනය කෙරී ඇත. දේශපාලන වංචාව සහ න්‍යායික පූච්චානම් මත දේශපාලන වෘත්තිය ගෙන ගිය ස්ටැලින්වාදී දේවාලයේ ඊනියා ශ්‍රේෂ්ඨ මිනිසුන් හැම එකාගේ ම ප්‍රසිද්ධියට පසු ගිය පස් අවුරුද්දේ සිද්ධීන් විසින් අනුකම්පා රහිත ප්‍රහාර දෙන ලදි. එනමුදු, මෙම සිද්ධීන්ගෙන් සනාථ වූයේ මාක්ස්වාදයේ ඓතිහාසික ඉදිරි දර්ශනයෙහි බලය සහ එය පාදක කෙරුනු විද්‍යාත්මක විධික්‍රමය යි.

කීර්තිගේ දේශපාලන ජීවිතය 20 වසරකට මඳක් වැඩියෙන් පැතුරුනු එකකි. මේ සියලු අවුරුදු කැප කෙරුනේ විප්ලවීය මාක්ස්වාදයේ අකලංක සම්ප්‍රදායන් ආරක්ෂා කිරීමට ය. කෙසේ වතුදු දේශපාලන අවස්ථාවාදයේ අතිශය කඨෝර ම රූපාකාරයන් විසින් ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයේ දේශපාලන ජීවිතය යටපත් කර ගනු ලැබ තිබූ කොන්දේසි යටතේ මාක්ස්වාදය ආරක්ෂා කිරීම මෙහෙයවීම ඔහුගේ ඉරනම වී කිබුනි. මෙම අවස්ථාවාදයට, වැය කිරීම සඳහා ඉමහත් ද්‍රව්‍යමය සම්පත් තමන් සන්තකව තිබුනි. එනමුදු මෙම සම්පත්වලට සදා කාලයට ම අවස්ථාවාදය එහි දේශපාලන, දෘෂ්ටිමය හා සදාචාරමය බංකොලොත්කමෙහි අනුකම්පා රහිත ප්‍රතිවිපාකවලින් ගලවා දීමට නොහැකි විය. අතීතයේ මවා ගත් ප්‍රබන්ධ සියල්ල නිරාවරනය වෙමින් පවතී. මාඕලා, භෝජාලා, හොස්ලා, ටිටෝලා, කස්ත්‍රෝලා - සහ පශ්චාත්-දෙවන ලෝක යුද්ධ සමයේ අනෙකුත් සියලු විප්ලවවාදී ප්‍රදර්ශකයන් - මතක් කෙරෙනවා ඇත්තේ දේශපාලන වට්ටාඩියන් සහ න්‍යායික පූච්චානම්කාරයන් ලෙස ය.

ඔවුන්ගේ සියලු ජයග්‍රහනයන් ලෙස කියැවෙන දෑ කුනු වූ අත්තිවාරම් මත ගොඩ නැගූ ඒවා ය. ඔවුන් විසින් නිර්මිත දේශපාලන වධාකාගාර නින්දත ලෙස බිඳ වැටී ඇත, නැත හොත් බිඳ වැටෙමින් පවතී. බොහෝ අවස්ථාවන්හි ඔවුන්ගේ පාවා දීම්වල ව්‍යසනකාරී ප්‍රතිවිපාකවලින් ඔවුන්ට පලා යාමට ඉඩ ලබා දුන්නේ මරනය යි. වන්දිය ගෙවීමට ඉතිරි වී සිටින්නේ කම්කරු පන්තිය ය. ස්ටැලින්වාදය සමග තම නරුම කේවෙල් කිරීමේ ප්‍රතිවිපාක දැක බලා ගැනීමට තරම් දීර්ඝ කාලයක් ජීවත්ව සිටින්නේ කස්ත්‍රෝ පමනකි. ඔවුන්ගේ පුද්ගලික ඉරනම නො තකා ම මෙම සියලු ව්‍යාජ වීරයන්ට - තවත් බොහෝ අය ද එකතු කල හැකි ය - පොදු දෙය මෙය යි: ඔවුන්ගෙන් එකෙක් වත් ජාත්‍යන්තර කම්කරු පන්තියේ පරමාර්ථයට කල් පවතින දේශපාලන වටිනාකමකින් යුත් කිසි ම ප්‍රතිපදානයක් කර නැත. ඊට පටහැනි ලෙස ඔවුහු කම්කරු පන්තිය ගසා කෑහ, නොමග යැවූහ, පාවා දුන්හ.

අනෙක් අතට කීර්ති සිහිපත් කෙරෙනවා ඇත්තේ ලෙනින්, ට්‍රොට්ස්කි සහ ලක්සම්බර්ග් උගන්වන ලද ආකාරයට විප්ලවවාදී මාක්ස්වාදී ශ්‍රේෂ්ඨ පාසලෙහි මාහැඟි නියෝජිතයන්ගෙන් කෙනෙකු ලෙස ය. ඔහු විසින් පොර බදන ලද ප්‍රශ්න අධිරාජ්‍යවාදී යුගයේ විප්ලවවාදී මූලෝපාය පිලිබඳ අතිශය සාරභූත ප්‍රශ්න සමග බැඳී පවතින්නේ ය.

නොනවතන විප ි ලවයෙ ් සම්භවය ් වර්තමාන කාල පරිච්ඡේදය තුල කීර්තිගේ ජීවිතයේ අර්ථභාරය ද ඔහු සටන් වැදුනු මූලධර්මවල හා ඉදිරි දර්ශනවල තීරනාත්මක වැදගත්කම ද අගැයීමට නම් ඔහුගේ පෞද්ගලික දේශපාලන වර්ධනය මුල් බැස තිබුනු විසි වන සියවසේ මහා දේශපාලන අරගල විමර්ශනය කිරීම අවශ්‍ය වේ. එනිසා අපි රුසියානු මාක්ස්වාදීන් විසින් තමන් සූදානම් වෙමින් සිටි විප්ලවය පිලිබඳ විවිධ සංකල්ප විවාදයට බඳුන් කරනු ලබමින් සිටි මේ සියවසේ මුල් අවුරුදු කරා, අනූ අවුරුද්දකට ආසන්න කාලයක් ආ පස්සට යා යුතු වෙමු.

සියවස ඇරඹෙද්දී එදවස ප්‍රධාන ධනවාදී බලයන්ගෙන් අඩුවෙන් ම සංවර්ධනය වී සිටියේ රුසියාව යි. ප්‍රතිගාමී ඥානශ්‍රැතිවාදී රාජාන්ඩුවක ආඥාදායක පාලනය යටතේ එහි දේශපාලන ව්‍යුහය අර්ධ වැඩවසම්වාදී ස්වභාවයක් ගත්තේ ය.

ජනගහනයේ විශාල බහුතරය සමන්විත වූයේ දරිද්‍රතාවේ හා නූගත්කමේ අගාධයේ ජීවත් වූ ගොවි ජනයාගෙනි. අලුත්, ශීඝ්‍රාකාර කාර්මික සංවර්ධනයක පදනම මතින් සැලකිය යුතු කම්කරු පන්තියක් එහි පැන නැගුනේ දහ නව වන සියවසේ අග දශකයේ ය.

නමුත් එහි සංඛ්‍යාව රුසියානු ජනගහනයට සාපේක්ෂව ඉතා කුඩා වූ අතර සංකේන්ද්‍රනය වී සිටියේ නාගරික මධ්‍යස්ථානවල ය.

මේ සියවස ආරම්භයේ දී රුසියාවේ මාක්ස්වාදියෝ එලඹෙන විප්ලවයේ ප්‍රධාන කර්තව්‍යයන් ප්‍රජාතාන්ත්‍රික ස්වරූපයක් ගනු ඇතැයි යන්න ගැන එකඟ වූහ: එනම් එය අර්ධ වැඩවසම් රාජ්‍ය ව්‍යුහය අතු ගා දමා ගම්බද වැඩවසම් සම්බන්ධතාවන්ගෙන් ශේෂව තිබූ සියල්ල විනාශ කරනු ඇත. රුසියානු ප්‍රභූන්ගේ විශාල ඉඩම් යායවල් බිඳ දමා ගොවි ජනයාට බෙදා දෙනු ඇත.

විප්ලවයේ ඓතිහාසික කර්තව්‍යයන්ගේ දෘෂ්ටි ආස්ථානයෙන් විශ්ලේෂනයට බඳුන් කරන ලදුව රුසියානු මාක්ස්වාදීන් විසින් අපේක්ෂිත විප්ලවය4 ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නිර්වචනය කරන ලදි: කෙසේ වෙතත්, නොඑකඟතාවන් මතු වූයේ ප්‍රජාතන්ත්‍ර විප්ලවය ඉෂ්ට කිරීමේ දී ධනේශ්වර සහ කම්කරු පන්තිය අතර දේශපාලන සම්බන්ධතාව සහ ප්‍රජාතන්ත්‍ර විප්ලවය සාක්ෂාත් කර ගත හැකි දේශපාලන හා රාජ්‍ය රූපාකාරයන් පිලිබඳව යි.

රුසියානු මාක්ස්වාදයේ පියා වූ ජෝර්ජ් වී.

ප්ලෙහානොව් විසින් දරන ලද අදහස වූයේ, දහඅට වන සියවසේ සහ දහනව වන සියවසේ ශ්‍රේෂ්ඨ ප්‍රජාතන්ත්‍ර විප්ලවවල පදනම මත බටහිර යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ නිර්මානය කෙරුනු ඒවාට අනුරූප වූ ප්‍රජාතන්ත්‍ර සමූහාන්ඩුවකට වැඩි දෙයක් රුසියානු විප්ලවයෙන් බලාපොරොත්තු විය නොහැකි බව යි. රුසියානු විප්ලවයෙන් නිෂ්පාදනය කෙරෙනු ඇත්තේ සාරාර්ථ වශයෙන් 1789-94 ප්‍රන්ස විප්ලවය නිෂ්පාදනය කල ප්‍රතිඵලය ම බවට විසි වන සියවසේ මුල දී ඔහු හේතු දැක්වූයේ ය: පරමාධිපතිත්වය පෙරලා දැමීමෙන් දේශපාලන බලය ධනේශ්වරයේ අතට පත් වනු ඇත. එවිට ඇති වෙනවා ඇත්තේ, මුලුමනින් ම, ධනේශ්වර පාලනයේ දිග් ගැස්සුනු කාල පරිච්ඡේදයකි.

එම කාල පරිච්ඡේදය තුල කම්කරු පන්තිය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ රාමුව තුල සමාජවාදය අනාගතයේ සාක්ෂාත් කර ගැනීම සඳහා දේශපාලන අරගලයෙන් උගන්වා ගෙන සූදානම් කෙරෙනු ඇත. දේශපාලන මූලෝපායේ භාෂිතයෙන් ගත් විට ප්ලෙහානොව්ගේ පිලිවෙතේ අර්ථය වූයේ කම්කරු පන්තියේ පක්ෂයට එලඹෙන විප්ලවයේ නායකත්වය අපේක්ෂා කල නොහැකි බව යි. ඊට විපරීත ලෙස ධනේශ්වරයේ දේශපාලන පක්ෂවල නායක කාර්ය භාරයට ඉඩ දී බලය සඳහා ඔවුන්ගේ හිමිකම් පෑම පිලිගත යුතු විය.

රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ධනේශ්වර පක්ෂවල හිතවත් මිතුරෙකු ලෙස කටයුතු කල යුතු විය.

ප්ලෙහානොව්ගේ කැප වූ ශිෂ්‍යයෙකු ලෙස කලක් සිටි ලෙනින් ඔහුගේ ගුරුවරයාගේ සමාගමයෙන් වෙන් වූයේ මෙතැන දී ය. රුසියානු විප්ලවය ධනේශ්වර විප්ලවයක් ය යන නිර්වචනය ලෙනින් පිලිගත්තේ ය; එහෙත් එහි පන්ති ගතිකයන් පිලිබඳව සාකල්‍යයෙන් ම වෙනස් වූ සංකල්පයක් ඔහු ඉදිරිපත් කලේ ය.

ප්ලෙහානොව් එලඹෙන විප්ලවයේ දී ධනේශ්වරයේ දේශපාලන ආධිපත්‍යය දෙන ලද දෙයක් ලෙස ගන්නා ලද අතර, වැඩවසම්වාදයේ සියලු දේශපාලන හා සමාජ ඉතුරුපහදු සුද්ධ කර දැමීම සඳහා අවශ්‍ය කෙරෙන අරගලය ගෙන යාමට නොතරම් වන පමනට මෙම පන්තිය තරයේ ම ආචීර්නකල්පික ය, සම්මුතියට බෙහෙවින් නැඹුරු ය, මහජනයා කෙරෙහි තරයේ ම භීතිය දක්වන්නේ ය යි ලෙනින් තර්ක කලේ ය.

ප්ලෙහානොව් විසින් යෝජිත කම්කරු පන්තිය සහ ලිබරල් ධනේශ්වරය අතර සන්ධානයට ප්‍රතිවිරුද්ධව ලෙනින් කම්කරු පන්තිය හා ගොවි ජනතාව අතර, එම පන්ති දෙකේ නායකත්වයෙන් “ප්‍රජාතන්ත්‍ර ආඥාදායකත්වයක්” සාධා ලීම එල්ලය කර ගත් සන්ධානයක් ඇති කර ගැනීම යෝජනා කලේ ය.

සහතිකෙන් ම ලෙනින්ගේ සූත්‍රය ප්ලෙහානොව්ගේ සූත්‍රයට වඩා රැඩිකල් විය; එහි උපායික පිලිවෙත මුලුමනින් ම වෙනස් විය. ප්ලෙහානොව්ගේ ප්‍රජාතන්ත්‍ර විප්ලවයේ දී ධනේශ්වරයේ දේශපාලන නායකත්වය කෙරෙහි අවධාරනය කර, ලිබරල් ධනපතියන් සමග දේශපාලන සන්ධානයක උවමනාකම වෙනුවෙන් කම්කරු පන්තිය ධනේශ්වර ප්‍රතිගාමිත්වයේ කඳවුරට තල්ලු කිරීමට තුඩු දිය හැකි ඉතා රැඩිකල් පියවර ගැනීමෙන් වැලකී සිටිය යුතු ය යි තර්ක කල අතර, ධනේශ්වර පක්ෂවලින් ද ඒවායේ අනිවාර්ය වැනීම්වලින් ද මුලුමනින් ම ස්වාධීනව සිය අරගලය ගෙන යා යුතු ය යි ලෙනින් අවධාරනය කලේ ය.

ගොවිජන පෙරලීම ඉම දක්වා තල්ලු කරමින් ද අනුකම්පා විරහිත ලෙස පැරනි සාර්වාදී තන්ත්‍රය සමග ගනුදෙනු බේරා ගනිමින් ද ප්‍රජාතන්ත්‍ර විප්ලවයේ ජයග්‍රහනය සහතික කල හැක්කේ ගොවීන්ගේ අතිශය රැඩිකල් කොටස් සමග කම්කරු පන්තියේ සන්ධානයෙන් පමනි.

කෙසේ වතුදු ලෙනින්ගේ ඉදිරි දර්ශනයෙහි අයෝග්‍යතාවක් පැවතුනි. කම්කරු පන්තියට කිසි ම ස්වාධීන ක්‍රියා කලාපයක් දීම ප්‍රතික්ෂේප කල ප්ලෙහානොව්ගේ සම්මුතිවාදී පිලිවෙතින් එය පැහැදිලිව ම වෙන් වූ නමුදු විප්ලවය ධනේශ්වර දේපොල තුලට කඩා වැදීම ලෙනින්ගේ ඉදිරි දර්ශනයෙන් පෙරදුටුවේ නැත. එමතු නො ව පන්ති දෙකේ “ප්‍රජාතන්ත්‍ර ආඥාදායකත්වය” පිලිබඳ සංකල්පය නිසගයෙන් ම අපැහැදිලි විය.

වඩා රැඩිකල්, අභ්‍යන්තරිකව වඩා ස්ථිරසාර තුන් වන සංකල්පයක් ට්‍රොට්ස්කි විසින් ඉදිරිපත් කරන ලදි.

රුසියානු ධනේශ්වරයේ ආස්ථානය (ප්‍රමාද වූ ධනේශ්වර වර්ධනයක් ඇති සෑම රටක මෙන් ම) 1789 ප්‍රන්ස ධනේශ්වරයේ ආස්ථානයෙන් අතිමූලික වශයෙන් වෙනස් බවට ලෝක-ඓතිහාසික සංකල්පයක් මත පදනම්ව ට්‍රොට්ස්කි තර්ක කලේ ය. එය තව දුරටත් තමන්ගේ ම ධනේශ්වර විප්ලවය කිරීමේ ආස්ථානයක නොසිටියේ ය. ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කර්තව්‍යයන් කෙරෙහි ධනේශ්වරයේ ආකල්පය නිර්නය කැරුනේ, අන් සියල්ලට මත් වඩා, එය ජීවත් වූ සමාජයේ පන්ති ගතිකයන්ගෙන් බව 1848 සිද්ධීන්ගෙන් ප්‍රදර්ශනය විය.

කම්කරු පන්තියේ වැඩීම සාර්වාදී පරමාධිකාරයට වඩා දරුනු අන්තරායක් ධනේශ්වරය ඉදිරියේ මතු කර තිබුනි.

එමතු නො ව ගොවි ජනතාව ස්වාධීන දේශපාලන ක්‍රියා කලාපයක් ඉටු කිරීමට ඓන්ද්‍රීයව අසමත්ව සිටියේය. එහි දේශපාලන ක්‍රියා කලාපය මොන තරම් බලපුලුවන්කාර වුවත් ඊට ක්‍රියා කල හැක්කේ අනෙක් පන්තියක ඉදිරි දර්ශනය මත ය. මෙනයින්, ප්‍රජාතන්ත්‍ර විප්ලවයේ තීරනාත්මක ක්‍රියා කලාපය ඉටු කල යුතුව තිබුනේ කම්කරු පන්තිය විසිනි; එමෙන් ම එය පරිසමාප්තියට ගෙන යා හැකිව තිබුනේ කම්කරු පන්තියේ ආඥාදායකත්වයේ රූපාකාරය තුලින් පමනකි.

තව ද කම්කරු පන්තියට හුදෙක් ප්‍රජාතන්ත්‍ර කර්තව්‍යයන්ට තමන් සීමා කර ගත නොහුනි; ධනේශ්වර දේපොල මතට ආක්‍රමනයන් කිරීමට ඊට බල කෙරෙන අතර එනිසා ම ධනේශ්වර විප්ලවය වඩ වඩාත් විවෘත සමාජවාදී ස්වභාවයක් අත්පත් කර ගන්නවා ඇත.

රුසියාවේ කම්කරු පන්ති විප්ලවයෙන් ලෝකය පුරා පිපිරුම් සහගත ප්‍රකම්පනයන් නිෂ්පාදනය කෙරෙයි; රුසියාවේ කම්කරු පන්ති පාලනයේ ජීවිතාරක්ෂාව සහ පසුගාමී සමාජයක් තුල සමාජවාදය ගොඩ නැගීමේ හැකියාව දේශ සීමාවන්ගෙන් එතෙරට විප්ලවය පැතිරවීම මත රඳා පැවතියේ ය යි ට්‍රොට්ස්කි තර්ක කලේ ය.

ලෝක සමාජවාදී විප්ලවයට රුසියාවේ විප්ලවයේ ඇති සම්බන්ධතාවෙන් නොනවතින විප්ලව න්‍යායේ සාරභූත පදනම සමන්විෂ්ට විය. ඔහුගේ සමකාලීනයන් කිසිවෙකුට, ලෙනින් ද ඉන් බැහැර නො වේ, අසම වූ ස්ථිරසාර භාවයෙන් හා දූරදර්ශී භාවයෙන් යුතුව ට්‍රොට්ස්කි අවධාරනය කලේ, අවසන් විග්‍රහයේ දී රුසියානු විප්ලවයේ ස්වභාවය තීන්දු වනු ඇත්තේ ජාතික නො ව ජාත්‍යන්තර කොන්දේසිවලින් බව යි.

සමාජවාදී ආර්ථික වර්ධනයේ ක්‍රියා මාර්ගයක් දියත් කිරීමට රුසියාව තව මත් නොතරම්, ආර්ථිකව අතිශයින් පසුගාමී තත්ත්වයක පවතින බවට තොරක් නැතිව වාද කල මෙන්ශේවික්වාදී බකපන්ඩිතයන්ට, පිලිතුරු දෙමින් රුසියාවේ ආර්ථික විභව ශක්තීන් එරට සංවර්ධනයේ ජාතික අවධිය පිලිබඳ දෘෂ්ටි ආස්ථානයකින් ද එහි අභිමතයේ පවත්නා ජාතික සම්පත්වලින් ද මනාව තක්සේරු කල නොහැකි ය යි ට්‍රොට්ස්කි පිලිතුරු දුන්නේ ය. රුසියානු වර්ධනයේ සැබෑ ගතිකයන් තේරුම් ගත හැකිව තිබුනේ එය ඇත්ත වශයෙන් ම පැවතියා වූ ලෝක ආර්ථිකයේ ද ජාත්‍යන්තර දේශපාලන සම්බන්ධතාවල ද සන්දර්භය තුල පමනි.

ලෝක තත්ත්වය විසින් බ්‍රිතාන්‍යයේ හා ප්‍රන්සයේ සංවර්ධිත අධිරාජ්‍යවාදී ආර්ථිකයන් මත යැපෙන අර්ධ විජිත තත්ත්වයකට ඇද දැමුනු රුසියානු ධනේශ්වරය අතීතයේ ප්‍රජාතන්ත්‍ර විප්ලවය සමග සම්බන්ධව තිබූ කිසි ම ඓතිහාසික කර්තව්‍යයක් විසඳීමේ ලා අසමත් ය යි ට්‍රොට්ස්කි ප්‍රකාශ කලේ ය.

ප්‍රජාතන්ත්‍ර විප්ලවය මෙහෙයවා සම්පූර්න කිරීමට රුසියානු ධනේශ්වරයට පැවති නොහැකියාව ම, ට්‍රොට්ස්කි පැහැදිලි කල පරිදි ලෝක-ඓතිහාසික ප්‍රපංචයක ප්‍රකාශයට පත් වීමකි: එනම්, අධිරාජ්‍යවාදයේ යුගයේ මනුෂ්‍ය වර්ගයාගේ මූලික ගැටලු එකක් වත් ජාතික පදනමක විසඳීමට නොහැකිකම යි. නිෂ්පාදන බලවේගවල භූගෝලීය වර්ධනය මත පාදක වූ අධිරාජ්‍යවාදය, ජාතික රාජ්‍යයේ මත් මල බෙරය හැඬවූයේ ය. ධනවාදය මුල් බැස ගත් ජාතික රාජ්‍ය පද්ධතියේ දේශපාලන රාමුව ඉක්මවා ලෝක ආර්ථිකයේ බලවේග වැඩී තිබුනි.

පසුගාමී රටක කම්කරු පන්තිය සම්බන්ධයෙන් ගත් කල, වැඩවසම්වාදයේ උරුමය අහෝසි කිරීම සඳහා දේශපාලන අරගලයේ තර්කනය, බලය අත්පත් කර ගැනීම සහ කම්කරු පන්ති ආඥාදායකත්වය කරා අවිච්ඡින්නව ගමන් කරයි. කෙසේ වතුදු රුසියානු කම්කරු පන්තිය වේවා අනෙක් පසුගාමී රටක කම්කරු පන්තිය වේවා එහි ආඥාදායකත්වය තහවුරු කල කල්හි, එක් අතකින් ජාතික ආර්ථිකයේ නිසග සීමාවන්ට ද අනෙක් අතින් ජාත්‍යන්තර ධනේශ්වරයේ රෞද්‍ර සතුරුකමට ද මුහුන දෙනු ඇත.

එනිසා කම්කරු පන්ති බලයේ ජීවිතාරක්ෂාව සහ ආනුෂංගිකව සමාජවාදය කරා පෙරට යාම ද දියුනු රටවල කම්කරු පන්තීන්ගේ හිතපක්ෂපාතිත්වය මත පමනක් නො ව, අවසන් විග්‍රහයේ දී ගත් කල, සිය ජාතික ධනේශ්වරයන් පරදා ඔවුන් ලබන ජයග්‍රහනය මත රඳා පවතී. 1907 තරම් මුල් කාලයේ ට්‍රොට්ස්කි කී පරිදි: “යුරෝපා කම්කරුවන්ගේ සෘජු රාජ්‍ය ආධාරයෙන් තොරව රුසියාවේ කම්කරු පන්තියට බලයේ රැඳී සිට එහි තාවකාලික ආඥාදායකත්වය සමාජවාදී ආඥාදායකත්වයක් බවට පරිවර්තනය කල නොහැකි වන්නේ ය”1 පලමු වන ලෝක යුද්ධයේ පිපිරීම ජාතික සාධකයන් මත ජාත්‍යන්තර තත්ත්වයේ ප්‍රමුඛ භාවය පිලිබඳව ට්‍රොට්ස්කිගේ අවධාරනය සනාථ කලේ ය. සාරාර්ථ වශයෙන්, අධිරාජ්‍යවාදී යුද්ධය සලකුනු කලේ ලෝක ධනවාදයේ නිෂ්පාදන බලවේග යල් පිනූ ජාතික රාජ්‍ය සමග සාමකාමීව සමහන් කිරීමේ නොහැකියාව යි.

දියුනු හා පසුගාමී යන දෙපාර්ශ්වයේ ම රටවල කම්කරු පන්තිය පොදු උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුන දුන්නේ ය: මනුෂ්‍ය සමාජයේ සියලු ම අතිමූලික ප්‍රශ්නවලට විසඳුම් ලෝක ආර්ථිකයේ වර්ධනයේ මට්ටමෙන් ද ජාත්‍යන්තර විප්ලවවාදී අරගලයේ මාධ්‍ය තුලින් ද සොයා ගත යුතු විය.

සියලු දේශපාලන ප්‍රශ්න පිලිබඳ ට්‍රොට්ස්කිගේ අගැයීමට පසුබිම්ව ඇත්තේ මෙම විද්‍යාත්මක සංකල්පයයි. ලෙනින් කලාක් මෙන් ම ඔහු ද පීඩිත ජාතීන්ට ස්වයං නිර්නය සඳහා අයිතිය පිලිගත්තේ වී නමුදු ප්‍රජාත්නත්‍රවාදී ක්‍රියා මාර්ගයේ මෙම අංශයට ට්‍රොට්ස්කිගේ සහාය කෙසේ නමුත් තියුනු විවේචනාත්මක ස්වභාවයක් ගත්තේ ය. විශාල රාජ්‍යයක් තුලට කුඩා ජාතීන් ඒකාබද්ධ කිරීමට ඔහු තරයේ ම විරුද්ධ වූ නමුත්, 1915 ඔහු ලියූ පරිදි, ට්‍රොට්ස්කි සමාජ ප්‍රජාතන්ත්‍රවාදය “ජාතික මූලධර්මය ඉතිහාසයට උඩින් සිට ගත් යම් ආකාරයක පරම අදහසක් බවට පරිවර්තනය නොකරන බව” අවධාරනය කලේ ය.

“ජාතිය හා ආර්ථිකය, රාජ්‍යය සමග ද එකිනෙක සමග ද පරස්පර විරෝධීතාවට පැමින ඇත. ආර්ථිකය සඳහා රාජ්‍යය වඩා කුඩා වී ඇත. ප්‍රසාරනය වීමට පරිශ්‍රම දරමින් එය ජාතිය පාගා දමයි. ආර්ථිකය තමන්ගේ පැත්තෙන් මිහිතලයේ ජනවාර්ගික කන්ඩායම්වල බෙදී යාමට අනුව සිය බලවේගවල සහ සම්පත්වල ස්වාභාවික චලනය යටත් කර දැමීම ප්‍රතික්ෂේප කරයි.”2 නොනවතින විප්ලවය හා කොමින්ටර්නය ඔක්තෝබර විප්ලවය තරම් මහජනතාවගේ විඤ්ඤානය මත එවන් අතිමහත් හා උත්තේජනාත්මක බලපෑමක් ඇති කල සිද්ධියක් ඉතිහාසය තුල නො වී ය. ජනවාර්ගික කන්ඩායම් හා ජාතිකත්වයන් දැවැන්ත සංඛ්‍යාවක් වාසය කලා වූ ද මිහිතලයෙන් හයෙන් පංගුවක් වසා පැතිර ගියා වූ ද දැවැන්ත භූමි භාගයක් තුල කම්කරු පන්තිය විසින් බලය අත්පත් කර ගැනීම, එක්කෝ සෘජුව ම නැත හොත් යම් ආකාරයක වසං කෙරුනු යන්ත්‍රනයන් හරහා අධිරාජ්‍යවාදී බලවේග විසින් පාලනය කරන ලද පෘථිවි ගෝලයේ දැවැන්ත කොටස තුල මහජනතාවන්ගේ ව්‍යාපාරයට අතිමහත් ආවේගයක් සම්පාදනය කලේ ය.

ඔක්තෝබර විප්ලවය, අධිරාජ්‍යවාදී ආධිපත්‍යයට එරෙහි ව්‍යාපාරය දැවැන්ත ක්ෂේත්‍රයක් අත්පත් කර ගෙන තිබූ අප්‍රිකාවේ, මැද පෙරදිග හා විශේෂයෙන් ම ආසියාවේ පසුගාමී රටවල මහජනතාව සඳහා සදාචාරාත්මක උත්තේජනය පමනක් නො ව අතිගැඹුරු මූලෝපායාත්මක පාඩම් ද සම්පාදනය කලේ ය. විජිත රටවල මහජනතාවන්ට අධිරාජ්‍යවාදයෙන් විමුක්තිය අත්පත් කර ගත හැක්කේ කුමන විධික්‍රමයන් මගින් ද කුමන ක්‍රියා මාර්ගයක් මත පදනම් වීමෙන් ද යන තීරනාත්මක ප්‍රශ්නවලට ඔක්තෝබර විප්ලවය විසින් ප්‍රායෝගිකව පිලිතුරු සපයා තිබුනි. රුසියාව තුල මෙන් ම, චීනය හා - ආසියාවේ පසුගාමී රටවලින් වඩාත් ම වැදගත් රටවල් පිලිබඳව කතා කරන්නේ නම් - ඉන්දියාව තුල, මහජනතාවට අභිමුඛව පැවති කර්තව්‍යයන් ද අත්‍යවශ්‍යයෙන් ම ගත්තේ ප්‍රජාතාන්ත්‍රික ස්වභාවයකි: එනම්, විජිතවාදී පීඩනයෙන් විමුක්ත වීම, ජාතික එකමුතුව හා ගොවි ජනතාවගේ කරෙන් වැඩවසම් සබඳතාවන්ගේ වියගහ ඉවත් කිරීම. ආකාරගත දේශපාලන නිර්වචනයක දෘෂ්ටි ආස්ථානයෙන් ගත් කල, චීනය හා ඉන්දියාව අභිමුඛ කල කර්තව්‍යයන් වූයේ, අත්‍යවශ්‍යයෙන් ම බටහිර යුරෝපය හා උතුරු ඇමරිකාව තුල පෙර ශතවර්ෂයන්හි ශ්‍රේෂ්ඨ ධනේශ්වර ප්‍රජාතාන්ත්‍රික විප්ලවයන් මගින් “විසඳා” තිබූ ඒවා ය.

එම නිසා, මෙන්ශේවික්වාදයේ දේශපාලන තර්කනයට අනුව, ඉන්දියාව හා චීනය තුල අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයේ දේශපාලන නායකත්වය, ජාතික ධනේශ්වරයට අයත් වූ අතර, එහි එල්ලයන් සාක්ෂාත් කර ගත හැකි වන්නේ ස්වාධීන ධනේශ්වර සමූහාන්ඩුවක රූපාකාරය තුලින් පමනකි.

එහෙත් රුසියාවේ දී මෙන්ශේවික්වාදය නිෂ්ප්‍රභ කෙරුනු එම ඓතිහාසික විරෝධාභාසය ඉන්දියාව හා චීනය තුල පැවතුනි. සිය සමාජ අරගලයන් මගින් ධනේශ්වරයේ සාරභූත ආර්ථික අවශ්‍යතාවන්ට තර්ජනය කලා වූ ශීඝ්‍රයෙන් වර්ධනය වන කම්කරු ව්‍යාපාරයක්, ජාතික ව්‍යාපාරයේ ධනේශ්වර නායකත්වයන් සමග මූනට මූන ලා හැප්පුනේ ය.

එමතු නො ව, ධනේශ්වරය විසින් නායකත්වය දෙනු ලබන ජාතික විප්ලවයක පදනම මත (විප්ලවවාදී නායකත්වය සම්පාදනය කිරීමෙහි ලා ධනේශ්වරය පොහොසත් වෙතැයි පිලිගැනීමට යමෙක් සූදානම් නම් පවා) මෙම පීඩිත රටවලට අධිරාජ්‍යවාදයේ ආර්ථික ග්‍රහනයෙන් විමුක්ත වී ගත නොහැකි විය. එනිසා, නොනවතින විප්ලව න්‍යාය, රුසියාවේ කම්කරු පන්තිය සම්බන්ධයෙන් අදාල වූවාට වඩා නොඅඩුව ආසියාවේ ඉස්මත්තට එමින් පැවති කම්කරු පන්තිය සඳහා අදාල විය.

විජිත ප්‍රශ්නය පිලිබඳව අවධානය යොමු කලා වූ 1919 හා 1922 අතර කොමින්ටර්නයේ ලියවිලි, විශේෂයෙන් ම දෙවන හා සිව් වන සම්මේලනවල ලියවිලි, නොනවතින විප්ලව න්‍යායේ පදනම මත විස්තාරනය කරන ලදි. පසුගාමී රටවල ආර්ථික හා කාර්මික වර්ධනයේ එකිනෙකට වෙනස් මට්ටම් ද කම්කරු පන්තියේ එයට අනුරූප ශක්තිය ද සැලකිල්ලට ගන්නා අතර ම, කොමින්ටර්නයේ යෝජනා මගින් අවධාරනය කරනු ලැබුවේ, කම්කරු ව්‍යාපාරය කලලරූපී ආකාරයකින් පැවති විට දී පවා, දේශීය ධනේශ්වරයේ පක්ෂ හා සංවිධාන වෙතින් කම්කරු ව්‍යාපාරයේ දේශපාලන ස්වාධීනත්වය යි.

ලෙනින්ගෙන් පසු තුන් වන ජාත්‍යන්තරය ලෙනින්ගේ මරනයෙන් පසුව, කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ දිශාවනතිය රැඩිකල් ලෙස වෙනස් විය.1924 දී ස්ටැලින් හා බුකාරින් විසින් “තනි රටේ සමාජවාදය” පිලිබඳ න්‍යාය ප්‍රකාශයට පත් කිරීමෙන් ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියා මාර්ගය අත හැරීම සඳහාත් ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරය ස්ටැලින්වාදී නිලධරයේ ද්‍රව්‍යමය අවශ්‍යතාවන් ආරක්ෂා කිරීමට යටත් කිරීම සඳහාත් සෝවියට් තන්ත්‍රයට අවශ්‍ය දෘෂ්ටිමය පදනම සම්පාදනය කෙරුනි.

මාක්ස්වාදයේ මේ මූලික සංශෝධනයට එරෙහිව ට්‍රොට්ස්කි හා වාම විපක්ෂය විසින් ගෙන යන ලද දේශපාලන අරගලය පිලිබඳව හෝ, මෙම න්‍යාය සෝවියට් සංගමයට, තථ්‍ය වශයෙන් ම ජාත්‍යන්තර කම්කරු පන්තියට ඇති කල ඛේදනීය ඵලවිපාකයන් පිලිබඳව හෝ විස්තරාත්මකව සාකච්ඡා කිරීම මෙම දේශනයේ සීමාවෙන් ඔබ්බට යයි. එහෙත්, චීනයේ සිද්ධීන්හි ඛේදනීය පාඩම් පිලිබඳ අධ්‍යයනය කීර්ති සහෝදරයාගේ දේශපාලන අධ්‍යාපනය තුල අතිමූලික කාර්ය භාරයක් ඉටු කල බැවින් අපි කෙටියෙන් නමුත් එම සිද්ධීන්වලට අවධානය යොමු කල යුතු ය.

ප්‍රායෝගික අර්ථයෙන් ගත් විට, චියැං කායි-ෂෙක් හා ධනේශ්වර ක්වෝමින්ටෑනය සමග වූ ස්ටැලින්ගේ හාදකම - ඒ වෙනුවෙන් චීන කම්කරු පන්තියට අතිශය භයංකර වන්දියක් ගෙවීමට සිදු විය - සෘජුව ම ගලා ආවේ “තනි රටේ සමාජවාදය” පිලිබඳ න්‍යාය විස්තාරනය කිරීමට පෙලඹවූ අවස්ථාවාදී කාරනාවලින් බව කිව හැකි ය.

මෙම න්‍යායට අනුව, සෝවියට් සංගමය තුල සමාජවාදය ගොඩ නැගීම වැඩි දියුනු රටවල කම්කරු පන්තිය විසින් බලය අත්පත් කර ගනු ලැබීම මත රඳා නො පවතී. ඒ වෙනුවට, එහි ම අභ්‍යන්තර සම්පත් මත පදනම්ව සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමය තුල සමාජවාදය සාක්ෂාත් කල හැකි ය. කෙසේ වෙතත්, සෝවියට් සංගමයේ සමාජවාදය සාක්ෂාත් කිරීමට සහාය දීමෙහි ලා කොමින්ටර්නයේ වැදගත්කම ද ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල එහි ආනුභාවය ද ස්ටැලින් මුලුමනින් ම නො තකා සිටියේ නැත.

ක්‍රෙම්ලිනයට අනුව, අධිරාජ්‍යවාදය මිලිටරි ප්‍රහාරයක් දියත් නොකරන්නේ නම් සෝවියට් සංගමය තුල සමාජවාදය ගොඩ නැගිය හැකි විය.

එනයින්, ධනේශ්වර ආන්ඩුවල පැත්තෙන් සෝවියට් සංගමයට වාසිදායක ආකල්පයක් ඇති කර ගනු පිනිස, එක්කෝ ධනේශ්වර තන්ත්‍රයන් සමග සන්ධානයන් වගා කර ගැනීම මගින් හෝ ජාතික කම්කරු ව්‍යාපාර මාධ්‍ය කොට ගෙන පීඩනය යෙදීම මගින්, මිලිටරි ප්‍රහාරයක තර්ජනය මග හරවා ගැනීමේ ලා කොමින්ටර්නය භාවිත කල හැකි විය.

එංගලන්තය තුල, 1925-26 කාලයේ දී ඇන්ග්ලෝරුසියානු කමිටුව සංවිධානය කිරීම තුලින් එවන් පිලිවෙතක් ක්‍රියාත්මක කරන ලදි - බ්‍රිතාන්‍ය මහා වැඩ වර්ජනය පාවා දුන්නේ මෙම කමිටුව විසිනි.

චීනයේ දී, ක්වෝමින්ටෑනය හා එහි නායක චියැං කායි-ෂෙක් සමග මිත්‍රත්වයක් වගා කර ගැනීමට ස්ටැලින්වාදී නිලධරය උත්සාහ කලේ ය. “පන්ති හතරේ පෙරමුනක්”, එනම්, කම්කරුවන්ගේ, ගොවි ජනතාවගේ, සුලු ධනේශ්වරයේ හා ජාතික ධනේශ්වරයේ පෙරමුනක් ලෙස නිර්වචනය කෙරුනු ක්වෝමින්ටෑනයේ දේශපාලන විනයට යටත් වන ලෙස ස්ටැලින් චීන කොමියුනිස්ට් පක්ෂයට උපදෙස් දුනි.

1926 මැයි මාසයේ දී, ක්වෝමින්ටෑනය අනුග්‍රාහක පක්ෂයක් ලෙස කොමියුනිස්ට් ජාත්‍යන්තරයට ඇතුලත් කර ගත් අතර චියැං කායි-ෂෙක් එහි සභාපති මන්ඩලයේ “ගෞරවනීය සාමාජිකයෙකු” කරන ලදි.

ක්වෝමින්ටෑනය හා චියැං උත්කර්ෂයට නැංවීම සිදු වූයේ, කම්කරු පන්තියේ හා ගොවි ජනතාවගේ විප්ලවවාදී අරගල රැල්ලක් නැගෙන පසුබිම් තත්ත්වයට පටහැනිව ය. ව්‍යාපාරයේ වර්ධනය චීන ධනේශ්වරය හා කම්කරු පන්තිය අතර ගැටුම තීව්‍ර කොට, ධනේශ්වරය අධිරාජ්‍යවාදයේ තුරුල්ලට වඩ වඩාත් විවෘත ලෙස තල්ලු කලේ ය. එහෙත්, චීනයේ ජාතික පීඩනය සියලු ම පන්තීන් යටත් කොට අධිරාජ්‍යවාදයට එරෙහි විප්ලවවාදී අරගලයට ඔවුන් තල්ලු කරන්නේ ය යන පදනම මත කොමින්ටර්නයේ ස්ටැලින්වාදී නායකත්වය විසින් පන්ති බලවේගයන්ගේ ප්‍රභේදනය ප්‍රතික්ෂේප කරන ලදි. මෙම ව්‍යාජ සංකල්පයට එරෙහිව ට්‍රොට්ස්කි මෙසේ තර්ක කලේ ය: “අධිරාජ්‍යවාදය බැහැරින් සිට චීනයේ සියලු පන්තීන් යාන්ත්‍රිකව එකට බැඳ තබන බව සිතීම කඨෝර වරදකි....

අධිරාජ්‍යවාදයට එරෙහි විප්ලවවාදී අරගලය, පන්තීන්ගේ දේශපාලන ප්‍රභේදනයන් දුර්වල කරනවා නො ව, ඊට පටහැනිව ඒවා ශක්තිමත් කරයි. චීනයේ අභ්‍යන්තර සම්බන්ධතා තුල අධිරාජ්‍යවාදය අතිශයින් ම බලගතු බලවේගයකි. මෙම බලයේ ප්‍රධාන ම ප්‍රභවය යැංසිකියැං ගඟේ තිබෙන යුද්ධ නෞකා නො ව - ඒවා උපස්තම්භකයන් පමනි - විදේශීය ප්‍රාග්ධනය හා දේශීය ධනේශ්වරය අතර පවත්නා ආර්ථික හා දේශපාලන බන්ධනය යි. අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය, නිශ්චිතව ම එහි ආර්ථික හා මිලිටරි බලය නිසා ම චීන ජනතාවගේ පතුලෙන් ම සිටින බලවේගවල බලගතු ප්‍රයත්නයක් ඉල්ලා සිටී.... එහෙත් පීඩිත හා සූරා කැවෙන වැඩ කරන ජනතාවන් සිය දෙපයින් සිටුවන්නා වූ සියලු දැය අනිවාර්යයෙන් ම ජාතික ධනේශ්වරය අධිරාජ්‍යවාදය සමග විවෘත කඳවුරුගැසීමකට තල්ලු කරයි. අධිරාජ්‍යවාදී පීඩනයෙන් ධනේශ්වරය සහ කම්කරු-ගොවි මහජනතාව අතර පන්ති අරගලය දුර්වල කෙරෙනවා නො ව, ඊට ප්‍රතිකූලව, සෑම බැරෑරුම් ගැටුමක දී ම ලේ වැකි සිවිල් යුද්ධයක මට්ටමට, පන්ති අරගලය තීව්‍ර කෙරේ.”3 1927 අප්‍රේල් 12 දා, ෂැංහයි නුවර දී චියැං කායිෂෙක්ගේ හමුදා විසින් කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් දහස් ගනනක් සමූලඝාතනය කිරීමෙන් වාම විපක්ෂයේ අනතුරු ඇඟවීම් ඛේදනීය ලෙස සනාථ විය. චියැංගේ කුමන්ත්‍රනය නියෝජනය කලේ ක්වෝමින්ටෑනයේ කුඩා කොටසක් පමනක්, එනම් ජාතික ධනේශ්වරයෙන් සමන්විත “දක්ෂිනාංශය” කල පාවා දීමක් බවට තර්ක කරමින් මෙම ව්‍යසනකාරී පරාජය පිලිබඳව තමන්ගේ වගකීම ප්‍රතික්ෂේප කිරීමට කොමින්ටර්නය උත්සාහ කලේ ය. ස්ටැලින්වාදියෝ, “පන්ති හතරේ පෙරමුනේ” සියයට 90ක් නියෝජනය කරන්නේ යැයි පැවසූ වුහාන්හි පිහිටි “වාම” ක්වෝමින්ටෑන ආන්ඩුව තුල කේන්ද්‍රගතව සිටි ක්වෝමින්ටෑනයේ “වාමාංශය”, චියැංට එරෙහිව පිහිටුවූහ. එහෙත් 1927 ජුලි මාසයේ දී, වුහාන් ආන්ඩුව කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් හා සටන්කාමී කම්කරුවන් සමූලඝාතනය කරමින් ක්‍රෑර ලෙස කම්කරු පන්තියට එරෙහිව හැරුනේ ය. සිය පිලිවෙත්හි පරිපූර්න බිඳ වැටීමකට මුහුන දුන් තතු යටතේ ස්ටැලින් ව්‍යසනයකින් කෙලවර වූ, කැන්ටන් කොමියුනය ලෙස ප්‍රසිද්ධ මංමුලා සහගත මදාවිය අනුමත කලේ ය. යන්තම් වසරකට පමන පෙර දී දහස් ගනනක සාමාජිකත්වයකින් යුක්ත වූ චීන කොමියුනිස්ට් පක්ෂය, 1928 ආරම්භය වෙද්දී සිය පැවැත්ම මුලුමනින් ම වාගේ අවසන් කර ගෙන තිබුනි.

මෙම පරාජයේ ඓතිහාසික ඵලවිපාකයන් නොමිනිය හැකි තරම් ය. එහි වඩා ක්ෂනිකතම ප්‍රතිඵලය වූයේ වාම විපක්ෂය තව දුරටත් හුදෙකලාවට ලක් වීම සහ එහි දේශපාලනික පරාජය යි. මීට අමතරව චීන විප්ලවයේ පරාජය එය “හුදෙක්” අවුරුදු 20කින් පරක්කු කලා නො වේ. 1949 බලයට පැමිනි මාඕ සේ-තුංගේ කොමියුනිස්ට් පක්ෂය වනාහි, 1927 පරාජයේ ප්‍රතිවිපාක විසින් සිය දේශපාලන කාය ලක්ෂනය සහ සමාජ සංයුතිය නිෂේධනීය අර්ථයකින් ඉතා ගැඹුරු ලෙස පරිවර්තනයට ලක් කෙරුනු, මාක්ස්වාදී අර්ථයකින් කිසි සේත් ම කම්කරු පක්ෂයක් ය යි කිව නොහැකි පක්ෂයක් විය.

“තනි රටේ සමාජවාදයේ” පුලුල් අර්ථභාරය “තනි රටේ සමාජවාදය” පිලිබඳ න්‍යාය, ඉතා දැනුවත්ව හා සෘජුව, සෝවියට් සංගමය මත අධිරාජ්‍යවාදී පීඩනය ලිහිල් කිරීමේ එල්ලය සහිත ආරක්ෂක සන්ධානයන් ඇති කර ගැනීම කරා කොමින්ටර්නයේ මූලෝපාය අවස්ථාවාදී ලෙස ප්‍රතිදිසානති ගැන්වීමකට තුඩු දුන් බව පැහැදිලි ය.

කෙසේ වතුදු, ස්ටැලින්ගේ හැඩි ගනන් බැලීම හැරුනු කල චියැං උත්කර්ෂයට නැංවීම තර්කානුකූලව ගලා ආවේ ජාතික සමාජවාදී ක්‍රියා මාර්ගයට පසුතලය සැපයූ න්‍යායික සංකල්පනයන්ගෙනි. ස්ටැලින්ගේ “ න්‍යායේ” හරි මැද පැවතියේ ඓතිහාසික යුගය පිලිබඳ මුලුමනින් ම වෙනස් නිර්වචනයකි. නොනවතින විප්ලව න්‍යායට ප්‍රතිවිරෝධී ලෙස, යුගය පිලිබඳ ස්ටැලින්වාදී සංකල්පයෙන් ආර්ථික සංවිධානයේ ජාතික රාජ්‍ය රූපාකාරයට මහත් විභවයක් ආරෝපනය කෙරින. මෙයින් ගලා ආවේ, පසුගාමී රටවල ජාතික ධනේශ්වරයට තව මත් ප්‍රගතිශීලී කාර්ය භාරයක් ඉටු කල හැකි ය යන්න යි. ට්‍රොට්ස්කි අනෙක් අතින් එවැනි හැකියාවක් ප්‍රතික්ෂේප කලේ ය: අවසාන විග්‍රහයෙන් ගත් කල, විජිත ධනේශ්වරය යල් පිනූ දේපොල සබඳතා මත පදනම් වී තිබූ නිසා පමනක් නො ව මිනිසාගේ නිෂ්පාදන බලවේගවල තථ්‍ය වර්ධනයකට ප්‍රධානතම බාධකය වූ ජාතික රාජ්‍ය රාමුවක් තුල එහි පැවැත්ම මුල් බැස තිබූ නිසා ය.

ආසියාවේ විප්ලවවාදී ව්‍යාපාරයේ වර්ධනය පිලිබඳව තියුනු උනන්දුවක් ට්‍රොට්ස්කි තුල පැවතුනි.

අධිරාජ්‍යවාදී ආධිපත්‍යයට එරෙහි විජිත මහජනතාවන්ගේ අරගලයේ වැදගත්කම පිලිබඳව ඔහු මැනවින් දැනුවත්ව සිටියේ ය. එහෙත් පෙර මෙන් ම, ප්‍රජාතන්ත්‍ර විප්ලවයේ නායකත්වය තුල ආධිපත්‍යය දැරීමට ජාතික ධනේශ්වරයේ හිමිකම් පෑම ඔහු අඛන්ඩව ප්‍රතික්ෂේප කලේ ය. මේ පිලිබඳව සැලකූ කල, දකුනු අප්‍රිකාවේ සහායකයන් කන්ඩායමක් වෙත 1934 දී ලියන ලද අප්‍රිකානු ජාතික සංගමය පිලිබඳ ඔහුගේ අටුවාව නැවත මතක් කිරීම වටනේ ය: “එහි නොගැඹුරු හා සම්මුතිවාදී පිලිවෙත නිසා ස්වකීය ඉල්ලීම් පවා සාක්ෂාත් කර ගැනීමෙහි ලා සංගමයට පවත්නා නොහැකියාව, බොල්ශේවික්ලෙනින්වාදියෝ දේශීය මහජනතාව ඉදිරියේ එලිදරව් කරති. සංගමයට විපරීත ලෙස, බොල්ශේවික්ලෙනින්වාදියෝ විප්ලවවාදී පන්ති අරගලයේ ක්‍රියා මාර්ගයක් වර්ධනය කරති.”4 ධනේශ්වර ජාතික ව්‍යාපාරයන් පිලිබඳ ට්‍රොට්ස්කිගේ තක්සේරුවේ වඩා ගැඹුරු වූ තවත් පැත්තක් ද පැවතුනි. පසුගාමී රටවල වර්ධනය වූ දැවැන්ත මහජන ව්‍යාපාරයන්ට ඔහු පරිපූර්න ප්‍රනාමය පුද කල අතර ම, “ජාතික විමුක්තියේ” ඉදිරි දර්ශනය පිලිබඳ ට්‍රොට්ස්කිගේ ආකල්පය - මෙය අතිමූලික වශයෙන් ම “ජාතික” කර්තව්‍යයක් ලෙස සංකල්පනය කල තාක් දුරට - නිශ්චිතව ම විවේචනශීලී විය.උදාහරනයක් ලෙස, උ්ර ්බා එයැ ත්‍දමරඑය ෂබඑැරබ්එසදබ්ක (යුද්ධය හා හතර වන ජාත්‍යන්තරය) නම් වූ සිය 1934 ප්‍රකාශනය තුල ට්‍රොට්ස්කි මෙසේ ප්‍රකාශ කලේ ය: “ජාතික රාජ්‍යවල පුනරුදයේ නව යුගයක් විවෘත කිරීමෙහි ලා ආසියාවේ හා අප්‍රිකාවේ ප්‍රමාද වී ඇති විප්ලවයන් අසමත් ය යන්න කල් තියා ම පැහැදිලිව අවබෝධ කර ගත යුතු ය. අර්ධ විජිත රටක් ද වූ රුසියාවේ ප්‍රමාද වූ ප්‍රජාතන්ත්‍ර විප්ලවය සමාජවාදී විප්ලවයට පෙරවදනක් වූ ලෙස ම, විජිතයන්හි විමුක්තිය හුදෙක් ලෝක සමාජවාදී විප්ලවයේ යෝධ ආඛ්‍යානයක් වනවා ඇත....

“ජාතික ප්‍රශ්නය සෑම තන්හි දී ම සමාජ ප්‍රශ්නය සමග බද්ධ වෙයි. අපගේ ග්‍රහ ලෝකයේ සියලු ජාතීන්ගේ වර්ධනයේ සැබෑ හා කල් පවත්නා නිදහස තහවුරු කල හැක්කේ ලෝක නිර්ධන පන්තිය විසින් බලය අල්ලා ගැනීමෙන් පමනි.”5 විජිතවාදී පීඩනයට එරෙහි යෝධ ව්‍යාපාරයක කර්තව්‍යයන් සමග පොර බැදුවා වූ ඉන්දියාව පිලිබඳව ඔහුගේ අදහස් සුවිශේෂව ම තියුනු විය. 1939 ජුලි මාසයේ දී ට්‍රොට්ස්කි, දෙවන ලෝක යුද්ධයේ පිපිරීම අධිරාජ්‍යවාදයට එරෙහි විජිත රටවල විප්ලවවාදී ව්‍යාපාරයන් අතිදැවැන්ත ලෙස වේගවත් කරනු ඇතැයි පෙරදකිමින් ඉන්දියාවේ කම්කරුවන්ට ලිපියකින් ආමන්ත්‍රනය කලේ ය. එම ලිපියෙන් ඔහු, ස්ටැලින්වාදීන් විසින් විජිතවාදයට එරෙහි අරගලය පාවා දෙනු ලැබීම හෙලා දැක, ඉන්දියාව තුල හතර වන ජාත්‍යන්තරයේ ශාඛාවක් ගොඩ නැගීම සඳහා කැඳවුම් කලේ ය.

ඔහු මෙසේ ලීවේ ය: “ඉන්දියානු ධනේශ්වරය, විප්ලවවාදී අරගලයක් මෙහෙයවීමෙහි ලා අසමත් ය.

ඔවුහු බ්‍රිතාන්‍ය ධනවාදය සමග සමීප ලෙස බැඳී ඇති අතර එය මත යැපී සිටිති. ඔවුහු තමන්ගේ ම දේපොල පිලිබඳව බියෙන් වෙව්ලති. ඔවුහු මහජනතාවට බියෙන් පසු වෙති. ඔවුහු ඕනෑ ම මිලක් ගෙවා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය සමග සම්මුතියකට යාමට උත්සාහ කරන අතර, ඉහලින් පැමිනෙන ප්‍රතිසංස්කරන පිලිබඳ බලාපොරොත්තුවලින් ඉන්දියානු මහජනතාව නලවති.

මෙම ධනේශ්වරයේ නායකයා හා අනාගත වක්තෘ ගාන්ධි ය. කූට නායකයෙක් හා ව්‍යාජ අනාගත වක්තෘවරයෙක්.”6 ට්‍රොට්ස්කිගේ ඉල්ලීම ලංකාව තුල ඵල දැරී ය. 1935 පටන්, රැඩිකල් අධිරාජ්‍ය විරෝධී සංවිධානයක් ලෙස ගොඩ නගා තිබූ, ලංකා සමසමාජ පක්ෂය පැවතුනි.

එය කම්කරු පන්තිය තුල සහයෝගය දිනා ගත් අතර, එසේ වත් ම ලසසපය ශීඝ්‍රයෙන් වමට ගමන් කලේ ය.

1940 ආරම්භයේ දී, ලසසපයේ දේශපාලන ක්‍රියා මාර්ගය වඩා නිශ්චිත මාක්ස්වාදී ස්වභාවයක් අත්පත් කර ගත් විට, එය ස්ටැලින්වාදය සමග අනන්‍ය වූවන් සිය සාමාජිකත්වයෙන් නෙරපී ය. මෙම පරිනාමය, එහි ජාත්‍යන්තර වගකීම් විස්තාරනය කර ගැනීම තුල ප්‍රකාශනය අත් කර ගති. තමන්ගේ ම පෙර පැවති ක්‍රියා මාර්ගය විවේචනාත්මක තක්සේරුවකට යටත් කල ලසසප නායකත්වය, ලංකාවේ “ජාතික” විප්ලවයක් පිලිබඳ සිය ප්‍රථම සංකල්පය සමග අසංතෘප්තිය ප්‍රකාශ කොට, දිවයින තුල විප්ලවවාදී සමාජවාදී ව්‍යාපාරය සමස්ත ඉන්දීය විප්ලවවාදී ව්‍යාපාරයක අවශ්‍ය සංරචකයක් ලෙස ගොඩ නැගිය යුතු බව කියා සිටියේ ය. මෙම පදනම මත, ඉන්දියානු බොල්ශේවික්ලෙනින්වාදී පක්ෂයට ඇතුලු වූ ලසසපය, දල වශයෙන් එකල්හි ම, හතර වන ජාත්‍යන්තරය සමග සම්බන්ධ වීමට ඉල්ලුම් කලේ ය.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය සමග සන්ධානගතව සිටි ස්ටැලින්වාදීන්ට ප්‍රතිවිරුද්ධව, ලසසපය ලංකාව තුල අධිරාජ්‍ය විරෝධී අරගලයේ නායකත්වය ලබා ගත්තේ ය.

එනයින්, ලංකාව තුල ට්‍රොට්ස්කිවාදීන්ගේ ධෛර්ය සම්පන්න අරගලයෙන් කම්කරු පන්තියේ දෘෂ්ටිමය හා දේශපාලන ස්වාධීනත්වය තහවුරු කෙරින.

මෙය, ඉන්දියාවේ ස්ටැලින්වාදීන් කිසි දාක අත් කර ගැනීමට ප්‍රයත්න නොදැරුවා වූ ද සාක්ෂාත් කිරීමෙහි ලා ඔවුන් අසමත් වූ ද ජයග්‍රහනයකි. එහි දී, ඔවුහු ගාන්ධිගේ හා නේරුගේ ධනේශ්වර කොන්ග්‍රසය පිටුපස කාලකන්නි ලෙස බඩ ගෑහ. කෙසේ වෙතත්, ලංකාව තුල දී, නිර්ධන පන්තික ජාත්‍යන්තරවාදී ක්‍රියා මාර්ගයක පදනම මත ට්‍රොට්ස්කිවාදියෝ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහි මහජන ව්‍යාපාරයේ නායකත්වය දිනා ගත්හ. එමතු නො ව මෙම ජයග්‍රහනය, ඓතිහාසික-න්‍යායික දෘෂ්ටි ආස්ථානයකින් ඉතා වටනේ ය. එමගින් පෙන්නුම් කෙරෙන්නේ, අධිරාජ්‍ය විරෝධී අරගලය, එනම් විජිතවාදී ආධිපත්‍යයට එරෙහි සටන හුදෙක් ම ජාතික අරගලයක් ය, එය ජාතික අරගලයක් ම විය යුතු ය යන ප්‍රචලිත උපකල්පනයෙන් යථාර්ථය විකෘත කිරීමක මට්ටමට සරල කර දැමෙන අතර ම තථ්‍ය වශයෙන් ම අධිරාජ්‍ය විරෝධී මහජන ව්‍යාපාරයේ සමාජ ගතිකය ගූඪත්වයට පත් කෙරෙන බව යි.

ඉන්දියානු බොල්ශේවික්-ලෙනින්වාදී පක්ෂයේ (බීඑල්පීඅයියේ) මැදිහත් වීමේ ශක්තිය ගලා ආවේ, ට්‍රොට්ස්කිවාදීන් ජාතික විමුක්තියේ ඉදිරි දර්ශනයක් වෙනුවට ජාත්‍යන්තර ඉදිරි දර්ශනයක් මත සිය අරගලය පදනම් කලේ ය යන කරුනෙන් ය. එයින් පසුව ලසසපය කල පාවා දීම් තිබිය දී ම (බීඑල්පීඅයිය 1950 දී ලසසපය තුලට ඇතුලු විය) මෙම ඓතිහාසික 10 ප්‍රතිපදානය, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ගොඩ නැගීම උත්තේජනය කලා වූ ද කීර්තිගේ අනාගත දේශපාලන වර්ධනයට අවශ්‍ය පදනම සම්පාදනය කලා වූ ද, බලගතු දේශපාලන සම්ප්‍රදායක් නිර්මානය කලේ ය.

පශ්චාත් යුද කාලීන සමථය හා විජිතහරනය ට්‍රොට්ස්කි, සිය ඝාතනයෙන් යන්තම් මාස කිහිපයකට පෙර, පසුගාමී රටවල කම්කරු පන්තිය මුහුන දෙන ඓතිහාසික කර්තව්‍යයන් අවසාන වතාවට තක්සේරු කලේ ය. සමාජවාදී විප්ලවය තුලින් විජිතවාදී ආධිපත්‍යය අවසන් නො කල හොත්, විජිත රටවල මහජනතාවගේ ගැටලුවලට සාධනීය විසඳුමක් අධිරාජ්‍යවාදී යුද්ධයෙන් මතු කර ගත නොහැකි බවට ඔහු අනතුරු ඇඟවී ය. ඔහු මෙසේ ලිවී ය: “විජිත රටවල ජනතාවන් විමුක්ත කර ගැනීම පිලිබඳ බලාපොරොත්තු, එනිසා, පෙර කිසි කලෙකටත් වඩා තීරනාත්මකව සමස්ත ලෝකයේ ම කම්කරුවන්ගේ විමුක්තිය සමග බැඳී පවතී. විජිතයන් දේශපාලනිකව, ආර්ථිකව හා සංස්කෘතිකමයව නිදහස් වනවා ඇත්තේ, වැඩි දියුනු රටවල කම්කරුවන් ධනපති පාලනයට අවසන් තිත තබා, පසුගාමී මහජනතාවත් සමග එක්ව, ඒකාධිකාරී ලාභයන් සඳහා නො ව සමාජ අවශ්‍යතාවන් සපුරා ලීම සඳහා නව මට්ටමකින් ලෝක ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ කල විට පමනි. විජිත හා අර්ධ විජිත රටවලට, සිය පසුගාමිත්වයේ විවිධ අවධීන්ගෙන් ඉහලට මතු වී, පෙරට යන ලෝක සමාජවාදී පොදු රාජ්‍ය මන්ඩලයක සංරචක කොටස් ලෙස සිය ස්ථානයන් ගත හැකි වන්නේ මෙම මාවත තුල පමනි.”7 දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ඇති වූ සිද්ධීන් ට්‍රොට්ස්කිගේ අභ්‍යුපගමය ඛේදනීය ලෙස සනාථ කලේ ය. ඉන්දියාව තුල වර්ධනයන් මගින් පෙන්නුම් කිරීමට නියමිතව තිබූ පරිදි, රාජ්‍ය ස්වාධීනත්වය නාමිකව ප්‍රදානය කිරීමෙන්, කිසිදු අතිමූලික අර්ථයකින්, ඉන්දියානු මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අභිප්‍රායන් සාක්ෂාත් වීමක් නියෝජනය නොවිනි. ස්වාධීනත්වයේ නියමයන් මගින් සම්පාදනය කල යමක් වෙත් නම්, ඒ ජාතික ධනේශ්වරයේ තරයේ ම ප්‍රතිගාමී ස්වභාවය පිලිබඳ නිෂ්ප්‍රභ කල නොහැකි සාක්ෂ්‍යය යි. පශ්චාත් යුද කාල පරිච්ඡේදය පුරා බොහෝ ඛේදනීය රූපාකාරයන්ගෙන් ප්‍රතිනිෂ්පාදනය කිරීමට නියමිත රටාවක් බවට පත් වූ ඉන්දියාව බෙදීම අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා සුරක්ෂිත කලේ ය. ඉන්, කම්කරු පන්තිය බෙදා, දුර්වල කිරීම පිනිස ජාතිවාදී සතුරුකම් වැඩි දියුනු කිරීමටත් කූට ලෙස යොදා ගැනීමටත් අධිරාජ්‍යවාදයට හා ජාතික ධනේශ්වරයට මාධ්‍යය සම්පාදනය විය.

ලංකාව තුල දී, මා දැනට මත් සඳහන් කර ඇති පරිදි, ජාත්‍යන්තරවාදී ක්‍රියා මාර්ගයක් මත පදනම් වූ බීඑල්පීඅයි නියෝජිතයෝ, ලංකාවේ ධනේශ්වරය හා අධිරාජ්‍යවාදීන් අතර ඇති කර ගන්නා ගිවිසුමකින් ජාතික එකමුතුව වත් අධිරාජ්‍යවාදයෙන් ස්වාධීනත්වය වත් සාක්ෂාත් නොවන්නේ ය යන පදනම මත, ස්වාධීනත්වයට එරෙහිව ඡන්දය දුන්හ. ඇත්තෙන් ම ට්‍රොට්ස්කිවාදීන්ගේ මූලධර්මාත්මක ආස්ථානය ක්ෂනිකව ම වාගේ සනාථ විය. ලංකාවේ ධනේශ්වරය විසින් ගන්නා ලද ප්‍රථම පියවරයන් අතර වූයේ, නිසැකව ම බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි අරගලය තුල තීරනාත්මක කාර්ය භාරයක් ඉටු කොට තිබූ ජන කන්ඩායමේ, එනම් දෙමල වතු කම්කරුවන්ගේ ඡන්ද අයිතිය අහිමි කල පුරවැසි පනතක් ක්‍රියාවට දැමීම ය. පුරවැසි භාවය තීන්දු කිරීමට නියමිත වූයේ, උපත, පදිංචිය හෝ වැඩ කිරීම මත නො ව, පරම්පරාව මත පදනම් වෙමිනි.

මෙම පනත පෙන්නුම් කලේ, ධනේශ්වරය, ස්වකීය ක්‍රියාවන් මගින් ම, ජාතික එකමුතුවට පවත්නා ප්‍රධාන බාධකය බව යි.

කොල්වින් ආර්. ද සිල්වා විසින් පුරවැසි පනතට විරුද්ධව පෙරදක්නා කතාවක් පවත්වන ලදි: “මෙම පනතට පදනම් වන කිසි යම් හෝ දේශපාලන දර්ශනයක් පවතී නම්, ඒ ගැන කීමට ඇත්තේ මෙය යි; මෙම පනත යම් උපකල්පනයන් ඔස්සේ ඉදිරියට යන්නේ නම්, මෙම ආන්ඩුව අවිඤ්ඤානකව ක්‍රියාවට දමන්නා වූ මූලික දර්ශනවාදී හෝ දේශපාලනික හෝ සමාජ විද්‍යාත්මක මූලධර්මය වනාහි, රාජ්‍යය ජාතියට ද ජාතිය වර්ගයට ද සමාන විය යුතු ය යන්න බව පැහැදිලි ය. පුරවැසි භාවය සඳහා මූලික මූලධර්මය ලෙස පරම්පරාව පිහිටුවීමෙන් ගලා ආ හැකි වෙනත් අදහසක් හෝ වෙනත් දර්ශනයක් තිබිය නොහැකි ය.

මෙය යල් පිනූ හා පුපුරා ගිය දර්ශනයකි....

ප්‍රතිගාමිත්වයට සේවය කිරීම සඳහා, මෙම පැරනි හා යල් පිනූ න්‍යාය යලි පන ගන්වා ඇත්තේ හරියට ම ධනවාදී පද්ධතිය බිඳ වැටෙන වත්මන් කාල පරිච්ඡේදයේ දී ය; ජාතිය වර්ගය සමග සම කිරීමට ද, රාජ්‍යයේ සංයුතිය තුල අධිපත්‍යය දරන සාධකය බවට වර්ගය පත් කිරීමට ද තැත් කලේ නිශ්චිතව ම ෆැසිස්ට්වාදය යටතේ ය.... ලංකාවේ පුරවැසියන්ගේ තත්ත්වය, එනයින් වාර්ගික තත්ත්වයක මට්ටමට සිඳුවීමේ අන්තරාය මතු වේ. එ ද එරෙහිව සටන් වැදිය යුතු මූලධර්මයකි.” 1987 ශරත් සෘතුවේ දී මා වෙත එවූ ලිපියක කීර්ති විසින් ඉහත ඡේදය උපුටා දක්වන ලදි. ඒවායේ පොහොසත් ඓතිහාසික උරුමයෙන් ඔහු බුද්ධිමය හා දේශපාලනික උත්තේජනය උකහා ගත් බැවින්, බීඑල්පීඅයිහි මුල් කාලයේ අරගලයන් පිලිබඳව ඔහු 11 නිරන්තරයෙන් ම සඳහන් කලේ ය. විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය, වරෙක ඉන්දියානු හා ලාංකික නිර්ධන පන්තියේ මාහැඟි නායකයන් වූ මොවුන් විසින් එම උරුමය පාවා දෙනු ලැබීමට එරෙහිව කල අරගලයේ නිෂ්පාදිතයක් වූ නමුදු, කොල්වින් ද සිල්වා වැනි මිනිසුන්ගේ ප්‍රතිපදානයන් තුල පැවති කල් පවත්නා අගයට කීර්ති කිසි දා පස්ස හැරවූයේ නැත.

1948 දී බීඑල්පීඅයි ගත් ආස්ථානය පිලිබඳ කරුන කීර්තිට එතරම් සුවිශේෂ වැදගත්කමක් ගත්තේ නම්, ඊට හේතුව වූයේ, පසුගාමී රටවල නිර්ධන පන්ති මූලෝපාය විස්තාරනය කිරීමේ දී පශ්චාත් යුද කාලීන සමථය පිලිබඳ ගැටලුව අතිමූලික ලෙස වැදගත් වන බව ඔහු සැලකීම යි.

කීර්ති නිරන්තරයෙන් ම අවධාරනය කල පරිදි, ඓතිහාසික ප්‍රගතියේ ක්‍රියා දාමයට කිසි යම් ම හෝ ප්‍රතිපදානයක් කිරීමෙහි ලා ජාතික ධනේශ්වරයට පවත්නා ඓන්ද්‍රීය නොහැකියාව අතිශය සංකේන්ද්‍රිතව ප්‍රකාශයට පත් වූයේ, පැරනි විජිතවල මහජනතාවන් මත අධිරාජ්‍යවාදයේ අඛන්ඩ ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා කවරයක් සම්පාදනය කල ප්‍රෝඩාකාරී “රාජ්‍ය ස්වාධීනත්වයක්” ඇටවූ, පශ්චාත් දෙවන ලෝක යුද කාලීන සම්මුති තුල ය. ජාතික ධනේශ්වරයට අඩු ගනනේ යම් ප්‍රශංසාවක් අයත් විය යුතු එක්තරා ආකාරයක පාර්ශ්වීය ජයග්‍රහනයක් රාජ්‍ය ස්වාධීනත්වය මගින් නියෝජනය කෙරුනේ ය යි පැබ්ලෝ-මැන්ඩෙල් අවස්ථාවාදීන් ඉදිරිපත් කල සාරභූත වශයෙන් ම ප්‍රතිසංසංකරනවාදී හා ක්ෂමාලාපී වූ ප්‍රකාශයන්, කීර්ති ඒකාන්තයෙන් ම ප්‍රතික්ෂේප කලේ ය. කීර්ති, සිය දේශපාලන වැඩ කටයුතුවල ප්‍රථම වර්ෂයන් තුල දී කැස්ත්‍රෝට, බෙන් බෙලාට හා ධනේශ්වර ජාතිකවාදයේ අනෙක් නියෝජිතයන්ට පැබ්ලෝවාදීන්ගේ යටත් වීමට එරෙහිව ජාත්‍යන්තර කමිටුව ගෙන ගිය කටුක අරගලයේ මූලික පාඩම් උකහා ගත්තේ ය.

ඉනදියාව බංග ් ලාදෙ ් ශය ආක ් මනය ක ්‍ර රීමි ආපසු හැරී බැලීමේ දී, 1971 තරම් ඈත දී කීර්ති සමාජවාදී කම්කරු සංගමයේ (එස්එල්එල්) නායකත්වය සමග ගැටීම කිසි සේත් ම මවිතය දනවන්නක් නො වේ. විකොස පාදක වූ දේශපාලන පදනම් නිසා 1960 ගනන්වල අවසානයේ පටන් සමාජවාදී කම්කරු සංගමය තුල වැඩි වැඩියෙන් ප්‍රකාශයට පත් වන්ට පටන් ගත් අවස්ථාවාදී ප්‍රවනතාවන් ගැන තියුනු ලෙස සංවේදී වීමට ඔහුට සිදු විය. විශේෂයෙන් ම, සමස්ත තීරනාත්මක ප්‍රශ්න මාලාවක් සම්බන්ධයෙන් ම, - හීලි හා ස්ලෝටර් සමග එක්ව, සමාජවාදී කම්කරු සංගමයට නායකත්වය දුන් දේශපාලන තුන්කට්ටුවේ කොටස්කාරයෙකු වූ - මයික් බන්ඩා කැපී පෙනෙන ලෙස අවස්ථාවාදී ස්වරූපයක් ගත් ආස්ථානයන් වර්ධනය කලේ ය. ප්‍රථමයෙන්, 1960 ගනන්වල අවසාන භාගයේ දී, බන්ඩා, මාඕ සේ-තුංගේ හා හෝ චි මිංගේ පිලිවෙත්වලින් ස්ටැලින්වාදයට විකල්පයක් මෙන් ම ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවය පිලිබඳ න්‍යාය සාරසංග්‍රහවාදී ආකාරයෙන් වුවත්, නව්‍ය ලෙස යෙදීමක් පවා නියෝජනය කෙරුනු බව කියා පාමින් මාඕ සේ- තුංට හා හෝ චි මිංට උපහාර පිදීම ආරම්භ කලේ ය.

හීලි, බන්ඩා සමග දේශපාලන ගැටීමක් මග හැරීමට උත්සාහ කොට ඔහුගේ පූච්චානම් ප්‍රකාශ පුද්ගලික විලම්බීතයකට වැඩි දෙයක් නොවන ලෙස සලකා ඉවත දැමූ නමුත්, දේශපාලන යථාර්ථය වූයේ පෙර දී ඔවුන්ගේ විරුද්ධත්වයට ලක් වූ පැබ්ලෝවාදීන් මෙන් සමාජවාදී කම්කරු සංගමය ද එවක ඉතා ප්‍රචලිත වූ සුලු ධනේශ්වර රැඩිකල්වාදී දේශපාලනයට අනුගත වෙමින් සිටි බව යි.

එස්එල්එල් නායකත්වය තුල අනභියෝගී වූ, වාම ධනේශ්වර ජාතිකවාදයේ - මාඕවාදයේ හා ජාතික විමුක්ති පෙරමුනේ (එන්එල්එෆ්) දේශපාලනය මෙහි විවිධ රූපාකාරයන් ය - විභවය බන්ඩා විසින් උත්කර්ෂයට නංවනු ලැබීම පශ්චාත් යුද කාලීන සමථයේ හා ධනේශ්වර ජාතික ව්‍යාපාරවල ඓතිහාසික අර්ථභාරය පිලිබඳ දුර දිග යන්නා වූ ප්‍රතිඅගැයීමක් බවට වර්ධනය වූයේ ය. පැරනි විජිතයන්හි පිහිටුවන ලද ධනේශ්වර රාජ්‍යයන් ජාතික ස්වයං නිර්නය සඳහා වූ අරගලයේ අව්‍යාජ ඉදිරි පියවරක් නියෝජනය කලේ ය යි ද එනිසා මෙම රාජ්‍යයන්ට දේශපාලන සහයෝගය දීමට කම්කරු පන්තිය බැඳී සිටින්නේ ය යි ද යන සංකල්පය බන්ඩා විසින් ක්‍රමානුකූලව වර්ධනය කරන ලදි.

විකොස හා සමාජවාදී කම්කරු සංගමය අතර 1971- 72 දී හට ගත් මතභේදයේ සාරය පවතින්නේ මෙහි ය.

අපි එහි පසුබිම කෙටියෙන් විමසමු. බෙංගාලි ජනයා වාසය කරන්නා වූ ද පකිස්ථානයෙන් අනෙක් කොටසේ සිට සැතපුම් දහස් ගනනක් දුරින් පිහිටියා වූ ද භූමි භාගයක් වන නැගෙනහිර පකිස්ථානය තුල, 1971 ග්‍රීෂ්ම සෘතුවේ දී, ෂික් මුජිබර් රහ්මන් විසින් නායකත්වය දුන් ධනේශ්වර අවාමි ලීගය මැතිවරන ජයග්‍රහනයක් අත්පත් කර ගත්තේ ය. අවාමි ලීගයේ ජයග්‍රහනයට ප්‍රතිචාර ලෙස, යහියා ඛාන් විසින් නායකත්වය දුන් පකිස්ථානයේ පාලක මිලිටරි ජුන්ටාව නැගෙනහිර පකිස්ථානය ආක්‍රමනය කලේ ය. ඛාන්ගේ හමුදාව බෙංගාලි ජනතාවට එරෙහි ලේ වැකි පලි ගැනීමේ ප්‍රහාරයක් එල්ල කලේ ය. කෙසේ වෙතත්, ග්‍රීෂ්ම සෘතුවේ අවසාන කාලය හා ශරත් සෘතුව මුලුල්ලේ, මුක්ති බාහිනී නම් වූ ගරිල්ලා ව්‍යාපාරයක් සාර්ථක ප්‍රතිරෝධයක් සංවිධානය කලේ ය. පකිස්ථාන හමුදාවේ අර්බුදය තීව්‍ර වත් ම, නැගෙනහිර බෙංගාලය තුල රැඩිකල් තන්ත්‍රයක් ස්ථාපනය වීම පිලිබඳ භීතියට 12 පත්ව, ඉන්දියානු ආන්ඩුව මිලිටරිමය ලෙස මැදිහත් විය. පුදුමයක් නොවන ලෙස මෙය සිදු වූයේ, බටහිර බෙංගාලය තුල රැඩිකල් නක්සල්වාදී ව්‍යාපාරයට එරෙහි රුදුරු මර්දනයක ඉන්දියානු ආන්ඩුව නිරතව සිටි අවස්ථාවක දී ම ය.

බන්ඩා ප්‍රීතියෙන් පිනා ගියේ ය. 1971 දෙසැම්බර් 6 දාතම දරන ප්‍රකාශනයක් තුල, ඔහු මෙසේ ලිවී ය: “ බංග්ලාදේශයට මිලිටරි හා ආර්ථික ආධාර දීමට ඉන්දියානු ධනපති ආන්ඩුව ගෙන ඇති තීන්දුවට අපි විවේචනාත්මකව සහාය දෙමු.” 1971 දෙසැම්බර් 8 දා විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය විසින් ස්වාධීනව අනුමත කෙරුනු ආස්ථානය සමාජවාදී කම්කරු සංගමයේ ආස්ථානයට අංශක 180කින් ප්‍රතිවිරුද්ධ විය: “තමන් නැගෙනහිර බෙංගාලයේ විමුක්ති දායකයන් යැයි ඉන්දියානු ධනේශ්වරය කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන ලෙස අපි ඉන්දියානු නිර්ධන පන්තියෙන් ඉල්ලා සිටිමු. නැගෙනහිර බෙංගාලයෙහි ඉන්දියානු හමුදා මැදිහත් වීමට පවත්නේ එක ම එක අරමුනක් පමනක් යැයි ට්‍රොට්ස්කිවාදීහු කියා සිටිති: එනම් බංග්ලාදේශ අරගලය විප්ලවවාදී පදනමක් මත සමස්ත බෙංගාලය ම ඒකාබද්ධ කිරීම කරා වර්ධනය වීම වැලැක්වීම යි.

ඉන්දියානු හමුදා මැදිහත් වීම සැලසුම් කර ඇත්තේ බෙංගාලි ජනතාවගේ නැගිටීම සුන් කර බංග්ලාදේශ ආන්ඩුව යන නාමය වංචනික ලෙස උපයෝගි කර ගනිමින් ධනපතීන්ගේ හා අධිරාජ්‍යවාදීන්ගේ උවමනාව පරිදි මහජන ව්‍යාපාරය සිර කර තබන රූකඩ ආන්ඩුවක් එහි ඇටවීම සඳහා ය. එබැවින් හැකි සියලු ම ආකාරයන්ගෙන් මුක්ති බාහිනියට සහාය දෙන අතර ඉන්දියානු නිර්ධන පන්තිය ද ඉන්දියානු ධනපති පන්තිය ගෙන යන ප්‍රතිවිප්ලවවාදී යුද්ධය සම්බන්ධයෙන් විප්ලවවාදී පරාජකවාදී ආස්ථානයක් ගත යුතු යැයි අපි ඉල්ලා සිටිමු.

“ඉන්දු උපමහාද්වීපයේ නිර්ධන පන්තිය සඳහා පවතින එක ම විප්ලවවාදී ක්‍රියා මාර්ගය මෙය යි.

මෙම ක්‍රියා මාර්ගය උපමහාද්වීපයේ සම්පූර්න පශ්චාත් යුද කාලීන ඉතිහාසයෙන් ම තර්කානුකූලව ගලා එන්නකි.

“බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් උන්ගේ කීකරු සේවකයන්ට ව්‍යාජ ‘නිදහස’ ප්‍රදානය කර ගත වූ 25 වසර ඇතුලත ඔප්පු වී ඇත්තේ මේ රටවල ජාතික ධනපති පන්තියට එක ද මූලික ආර්ථික හෝ සමාජ ප්‍රශ්නයක් වත් විසඳිය නොහැකි බව යි. මෙකී ඓතිහාසික කර්තව්‍යයන් හමුවේ ඔවුන්ගේ බංකොලොත්කම වනාහි, නිර්ධන පන්තියට පමනක් ම, පීඩිත ගැමි ජනතාව තම නායකත්වය යටතේ බලමුලු ගන්වමින් සමාජවාදී විප්ලවයේ කොටසක් ලෙස මෙම ප්‍රශ්න විසඳිය හැකි ය යන ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවය පිලිබඳ න්‍යායේ මූලික තිසීසය සනාථ වීම යි. බෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්තියට අනුකූලව, හින්දු හා මුස්ලිම් ධනපති පන්තිවල ද ජාත්‍යන්තර ස්ටැලින්වාදයේ ද සහාය ඇතිව උපමහාද්වීපය දෙකට කැපීමේ රාමුව ඇතුලත දැවැන්ත සමාජ හා ජාතික ප්‍රතිවිරෝධතා මැඩ ලා රඳවා තැබුනි. එමෙන් ම එයින් ධනවාදයේ ආධිපත්‍යය ද කෙල කෝටි ගනන් පීඩිත ජනතාව සඳහා කුස ගින්න, සාගතය හා කරුමක්කාර ජීවිතය සහතික කෙරුනි. සමස්ත අධිරාජ්‍යවාදී පද්ධතියේ කොටසක් ලෙස ද ප්‍රතිඵලයක් ලෙස ද වර්ධනය වන මෙකී පරස්පර විරෝධතා තව දුරටත් රඳවා තැබිය නොහැකි ය.” 1971 දෙසැම්බර් 16 දා කීර්ති විසින් ක්ලිෆ් ස්ලෝටර් වෙත ලියන ලද ලිපියක් පැහැදිලිව ම මෙසේ ප්‍රකාශ කලේ ය: “අපට ඉන්දු-පකිස්ථාන යුද්ධයට විරුද්ධ නො වී, බෙංගාලි ජනතාවගේ ජාතික විමුක්ති අරගලයට හෝ සමාජවාදී පදනම මත ඉන්දියාවේ ස්වේච්ඡාමය ඒකාබද්ධතාවට සහයෝගය දිය නොහැකි ය.... එබඳු එක්සත් කිරීමකට ප්‍රධාන බාධකය වන ඉන්දියානු හා පකිස්ථාන පාලක පන්තීන් පෙරලා දැමීම සඳහා කරන අරගලයකින් තොරව ඉන්දියාව එක්සත් කිරීම ගැන කුමන කතා ද?” 1972 ජනවාරි 11 දා, තවත් ලිපියක් තුල, කීර්ති, ඉන්දියානු හමුදාවේ ජයග්‍රහනයන් බන්ඩා විසින් උද්‍යෝගිමත් ලෙස අනුමත කිරීම තියුනු ලෙස විවේචනය කොට මෙසේ අනතුරු ඇඟවී ය: “ඉන්දියානු හමුදාව මේ අයුරින් වග වර්නනා කිරීම පිටුපසින් ඇත්තේ බෙංගාලි, ඉන්දියානු හා පකිස්ථාන නිර්ධන පන්තියේ විප්ලවවාදී ධාරිතාවන් පැහැදිලිව ම ප්‍රතික්ෂේප කිරීම යි.” අවසානයේ දී 1972 ජනවාරි 27 දා, මයික් බන්ඩා මෙසේ පිලිතුරු දුන්නේ ය: “යුද්ධයෙන් කුමක් නියෝජනය වුනි ද? පලමුව එයින් නියෝජනය වූයේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පූර්න සහාය ඇතිව පකිස්ථාන ධනපති පන්තිය බංග්ලාදේශ ජනතාව මැඩීමට ගත් උත්සාහය යි. එහෙත් ඊටත් වඩා වැදගත් වූයේ, අනාථයන් පිලිබඳ ප්‍රශ්නය නිර්මානය කිරීම මගින් හා නැගෙනහිර බෙංගාලය අල්ලා ගැනීම මගින්, එය ඇමරිකානු අධිරාජ්‍යවාදය වෙනුවෙන්, ඒ වන විටත් මිරිකී තිබූ ඉන්දියාවේ අභ්‍යන්තර වෙලඳ පොලට එල්ල කෙරෙන නිශ්චිත තර්ජනයක් බවට වර්ධනය වීම යි....

“එක් රැයක් ඇතුලත දී තත්ත්වයේ නාටකාකාර වෙනසක් සිදු විය. ඉන්දියානු කම්කරු පන්තිය හා 13 ඉන්දියානු ධනපති පන්තිය අතර පරස්පර විරෝධය අහෝසි වී නොමැත. එහෙත් ඉන්දියානු ජාතිය හා පකිස්ථානයෙන් නියෝජනය වූ අධිරාජ්‍යවාදය අතර ගැටුමෙන් එම පරස්පර විරෝධය අතික්‍රමනය විය.” මෙය සැබවින් ම මවිතය දැනවූයේ ය: බන්ඩාට අනුව, පන්ති අතර ගැටුම, ඉන්දියාවේ හා පකිස්ථානයේ ධනේශ්වර රාජ්‍යයන් අතර අරගලයට යටත් විය. මෙම ප්‍රකාශයෙන් නියෝජනය වූයේ මාක්ස්වාදයේ අතිශය සාරභූත මූලධර්ම පාවා දීමකි. ඔවුන්ගේ ජාතික සතුරාගේ අධිරාජ්‍යවාදයට එරෙහිව ජර්මානු (නැත හොත් ප්‍රන්ස, රුසියානු, බ්‍රිතාන්‍ය ආදි) ජාතියේ ගැටුම විසින් කම්කරු පන්තිය හා ඔවුන්ගේ ධනේශ්වරය අතර ප්‍රතිවිරෝධතාව ඉක්මවනු ලැබ ඇතැයි 1914 දී තර්ක කල සමාජ-ජත්‍යෝත්තමවාදීන්ගේ ආස්ථානය සහ බන්ඩාගේ ආස්ථානය අතර සුවිශේෂ වෙනසක් නොපැවතුනි.

බොහෝ වාරයන්හි දී මාක්ස්වාදීන්ට එරෙහිව දමා ගසා ඇති වචනවලින් බන්ඩා කීර්තිට චෝදනා කලේ ය: “ඔබේ ආකල්පය අතිශයින් ආධානග්‍රාහී ය, අනම්‍ය ය. එහෙයින් එයට යථාර්ථයේ බහුපාර්ශ්වීය භාවය හා ප්‍රතිවිරෝධී භාවය විශ්වාසී ලෙස පිලිබිඹු කල නොහැකි ය - එම හේතුව නිසා ම ජනතාව වෙතට මාවතක් සොයා ගැනීමට ද අසමත් ය.” අන්තිමේ දී, බන්ඩා වෙතින් ලද ලිපිය වඩා ශෝචනීය සටහනකින් අවසන් විය: “එහෙත් බංග්ලාදේශයේ ඉන්දියානු හමුදා දිගින් දිගට ම රඳවා තැබීමට හෝ රහ්මන් විසින් ගරිල්ලාවරුන් නිරායුධ කිරීමට හෝ අප සහයෝගය දෙතැයි යන නිගමනය කරා නො එලඹෙනු මැනවි. අප මෙයට අදත් විරුද්ධ ය, එදත් විරුද්ධ ය.” හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව තුල අවස්ථාවාදයේ වර්ධනය කීර්තිගේ විවේචනය මෙලොව එලිය නොදුටු අතර, එනිසා හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට විශාල වන්දියක් ගෙවීමට සිදු විය. කවිපය ශීඝ්‍රයෙන් දකුනට ගසා ගෙන ගියේ ය. රොඩේෂියාවේ, ඉරාකයේ, ලිබියාවේ හෝ ලෙබනනයේ ධනේශ්වර ජාතිකවාදීන්ගේ පිලිවෙත් ආරක්ෂා කිරීමේ හා සාධාරනීකරනය කිරීමේ කර්තව්‍යයට, වඩ වඩාත් ලජ්ජා විරහිත ලෙස කවිපය කැප වී ගත්තේ ය. එමෙන් ම ජාතික ධනේශ්වරයන් විසින් සිදු කෙරුනේ ය යි කියැවුනු රාජ්‍ය ගොඩ නැගීමේ ජයග්‍රහනවල උමතු වන්දිභට්ටයෙක් බවට බන්ඩා පත් විය. මෙය, ඇත්ත වශයෙන් ම භයංකර දේශපාලන ප්‍රතිඵලයන් නිර්මානය කලේ ය. 1979 දී ජන ඝාතක සුහර්තෝ විසින් නායකත්වය දුන් ඉන්දුනීසියානු ජුන්ටාව, නැගෙනහිර ටිමෝරයේ ස්වාධීනත්වය ප්‍රකාශ කිරීමට ප්‍රතිචාර දැක්වූයේ හමුදා මෙහෙයවීමෙන් හා දසදහස් ගනන් ඝාතනය කිරීමෙනි. නැගෙනහිර ටිමෝරයේ ස්වදේශිකයන්ට වෙන් වීමට ඇති අයිතිය ආරක්ෂා කල, ජාත්‍යන්තර කමිටුවේ ඕස්ට්‍රේලියානු ශාඛාව වන සමාජවාදී කම්කරු සංගමයට ප්‍රතිවිරුද්ධව, බන්ඩා, සුහර්තෝ ඉන්දුනීසියානු ජාතික ව්‍යාපාරයේ ශ්‍රේෂ්ඨ ජයග්‍රහනය - එනම් ඉන්දුනීසියානු කොදෙව්වේ එකමුතුව - ආරක්ෂා කරන්නේ ය යන පදනම මත, නැගෙනහිර ටිමෝරයේ මර්දනය සාධාරනීකරනය කලේ ය.

1978 හා 1982 අතර දී, පලස්තීන විමුක්ති සංවිධානය සහ මුගාබේගේ හා න්කොමෝගේ දේශප්‍රේමී පෙරමුන වැනි ධනේශ්වර ජාතික ව්‍යාපාරයන්ට ද, ලිබියාවේ, ඉරානයේ හා ඉරාකයේ වැනි ධනේශ්වර තන්ත්‍රයන්ට ද නිර්ධන පන්තිය යටත් කරමින්, කවිපය ට්‍රොට්ස්කිවාදී මූලධර්ම ක්‍රමානුකූලව පාවා දුන්නේ ය.

කවිපයේ ආස්ථානයන්ගෙන් පිලිබිඹු වූයේ, 1982 දෙසැම්බර් 31 දා ජැක් බාන්ස් විසින් කරන ලද කතාවකින් කඨෝර ලෙස උච්චාරනය කෙරුනු පැබ්ලෝවාදීන්ගේ ආස්ථානයන් ම ය. බාන්ස් මෙසේ ප්‍රකාශ කලේ ය: “නොනවතින විප්ලවය නිවැරදි සාමාන්‍යකරනයක් හෝ ප්‍රමානවත් එකක් හෝ නො වේ, ගැටලු විසඳනවා තබා ගැටලුව කුමක් දැයි දැක්වීමට ගැටලුවලට ලඟා වන්නේ වත් නැති එකකි....

මගේ මතයේ හැටියට නොනවතින විප්ලවය නිවැරදි නොවන්නා වූ ද අපේ ක්‍රියා මාර්ගයේ පොදු භාෂිතයක් ලෙස ප්‍රයෝජනවත් නොවන්නා වූ ද දෙයක් බව පෙන්වා දී එය අත් හැර දැමීම මගින්, අපි වැඩි වැඩියෙන් ලබා ගන්නෝ වෙමු.” බාන්ස්ගේ විප්ලවය කුමක් වී ද? “අප, එෆ්එස්එල්එන් සමග, නිව් ජුවෙල් ව්‍යාපාරය සමග, කියුබානු කොමියුනිස්ට් පක්ෂය සමග පොදු ලෝක මාක්ස්වාදී ව්‍යාපාරයක කොටසක් ලෙස, අපි සලකා ගනිමු.” බාන්ස්ගේ කතාවෙන් කවිපයේ ගමන් මග පිලිබඳව අපගේ සිත් තුල කිසිදු සැකයක් ඉතිරි නොකල අතර, 1984 පෙබරවාරි 11 දා හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ඉදිරිපත් කල අපගේ වාර්තාව තුල, බාන්ස්ගේ ආස්ථානය විවේචනය කිරීමට අපගේ විශ්ලේෂනයේ සැලකිය යුතු කොටසක් අපි මිඩංගු කලෙමු. මෙයට, කෙසේ වෙතත්, බන්ඩා කෝපාවිෂ්ටව බුරා පැන්නේ ය. ඔහු කෝපයෙන් මෙසේ ප්‍රකාශ කලේ ය: “ඔබ පටන් ගන්නේ බාන්ස්ගෙන්, අවසන් කරන්නේ කවිපයෙන්.” ඇත්ත වශයෙන් ම එය එසේ ම විය.

විකොසට සැසි වාරය සඳහා ආරාධනා කොට නොතිබූ අතර, තවත් මාස 22ක් තිස්සේ මගේ 14 විවේචනයන් පිලිබඳව ඔවුහු නොදැන සිටියහ. එහෙත්, කීර්ති එහි පැමින සිටියේ නම්, ඔහු මෙම වාර්තාවට සිය අචල හා උද්‍යෝගිමත් අනුමැතිය ප්‍රදානය කරන බවට මට කිසිදු සැකයක් නොමැත.

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව තුල අරගලයට වෛෂයික අර්ථභාරයක් පැවතුනි.

අවස්ථාවාදීන් විසින් මහත් සේ උත්කර්ෂයට නංවන ලද ධනේශ්වර හා සුලු ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරවල බිඳ වැටීම ඉදිරියට ගෙනැවිත් තිබූ ලෝක තත්ත්වය තුල සිදු වූ ගැඹුරු වෙනස්කම් ඉන් පෙරදකින ලදි.

ජාතක විම ි කු ත් ය ප ි ලි බඳ අත ි දැක් මී සාරාංශගත කෙරෙයි පශ්චාත් යුද කාල පරිච්ඡේදය පිලිබඳ ඕනෑ ම වෛෂයික අගැයීමකින් ප්‍රදර්ශනය වන්නේ ධනේශ්වර ජාතිකවාදයේ ප්‍රකට අසාර්ථකත්වය සහ එහි අනුග්‍රහයෙන් නිර්මානය කරන ලද “ස්වාධීන රාජ්‍යයන්ගේ” ව්‍යාජ ස්වභාවය යි.

කොමියුනිස්ට් ස්වරූපයක් ආරූඪ කර ගත් ව්‍යාපාර විසින් “ජාතික විමුක්ති” අරගල ගෙන යන රටවල පවා අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ අධිරාජ්‍යවාදයට දන ගැසීම යි. චීනය දැන් වර්ධනය වන්නේ හාත්පසින් ම ධනවාදී මාවත් ඔස්සේ ය. ප්‍රන්ස සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහිව 30 අවුරුදු යුද්ධයක් දියත් කල වියට්නාමය තමන් ලෝකයේ ලාභ ම ශ්‍රමයේ උල්පත ලෙස ප්‍රචාරය කර ගන්නා තැනට වැටී තිබේ.

ජාත්‍යන්තර කමිටුවේ භේදය විසින්, “ජාතික විමුක්ති” ව්‍යාපාරවල සමස්ත ඓතිහාසික අර්ථභාරය ද කම්කරු පන්තිය හා සමාජවාදී විප්ලවයේ ඉදිරි දර්ශනය කෙරෙහි ඒවායේ සම්බන්ධතාව ද සූක්ෂ්ම ලෙස යලි විභාග කිරීමක් සඳහා අවස්ථාව සලසා දෙනු ලැබ තිබේ. විශේෂයෙන්, කීර්ති කොලඹ ආන්ඩුව සහ ශ්‍රී ලංකාවේ උතුරේ විමුක්ති කොටි සංවිධානය අතර අරගලයේ දේශපාලන වර්ධනය පරීක්ෂා කරද්දී, 1985 සහ 1987 අතර කාලයේ මෙම ජාතික විමුක්ති ව්‍යාපාර පිලිබඳව කීර්තිගේ අගැයීම වඩ වඩාත් විවේචනශීලී වූ බව මවිසින් සඳහන් කෙරෙනු යුතු ය.

ඓතිහාසික වාර්තාව සඳහාත්, එමෙන් ම විකොස දේශපාලන පිලිවෙතෙහි විකාශය අවබෝධ කර ගැනීම සඳහාත් ජාත්‍යන්තර කමිටුව තුල කවිපය ඉටු කල සැබවින් ම ද්‍රෝහී ක්‍රියා කලාපය ගැන ද ශ්‍රී ලාංකික ට්‍රොට්ස්කිවාදීන් කෙරෙහි එහි බලපෑම ද යලි වතාවක් අවධාරනය කිරීම අවශ්‍ය වේ. දෙමල විමුක්ති ව්‍යාපාරය සම්බන්ධයෙන් කීර්ති සහ ඔහුගේ සමනායකයන් තියුනු ලෙස නොඑකඟ වූ දේශපාලන පිලිවෙතක් විකොස මත පැටවීමට 1972 සහ 1979 අතර කාලයේ කවිපය ජාත්‍යන්තර කමිටුවේ විනය පාවිච්චි කලේ ය. එනම්, පශ්චාත් යුද කාලයේ පිහිටුවූ ධනේශ්වර රාජ්‍යයන් ප්‍රගතිශීලී ඓතිහාසික ප්‍රපංචයක් නියෝජනය කලේ ය යන බන්ඩාගේ මතය අනුව යමින් කවිපය දෙමල ජනතාවගේ අරගලයට කෙලින් ම විරුද්ධ වූයේ ය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු පිහිටුවූ ධනේශ්වර රාජ්‍යයන්හි යුක්ති යුක්ත භාවය තරයේ ම ප්‍රතිගාමී ලෙස ආරක්ෂා කිරීමක් මත පාදකව පැවති දෙමල විමුක්ති ව්‍යාපාරය කෙරෙහි ඔවුන්ගේ විරුද්ධත්වය දක්ෂිනාංශික ස්වභාවයක් ගත්තේ ය. පසුව, 1979 දී කවිපය හදිසියේ ම දෙමල ප්‍රශ්නය පිලිබඳව සිය ආස්ථානය මාරු කලේ ය. පීඑල්ඕව හා අනෙකුත් ධනේශ්වර ජාතික ව්‍යාපාර සම්බන්ධයෙන් ඊට පැවති ආකල්පය ම අනුගමනය කරමින් එය එල්ටීටීඊයේ උනන්දු ජනක හා අවිවේචනශීලී සහායකයෙක් බවට පත් වූයේ ය.

සමස්ත පශ්චාත් යුද කාල පරිච්ඡේදයේ පොහොසත් ඓතිහාසික අත්දැකීම්වල රාමුවේ බහා දෙමල ජාතික ව්‍යාපාරය පිලිබඳ ගැටලු යලි සලකා බැලීමට ද නොනවතින විප්ලව න්‍යාය තීරනාත්මක ලෙස යෙදවීමකට ද අවස්ථාව සැලසුනේ භේදයෙන් පසුව පමනි. කීර්ති බොහෝ විට පැවසූ පරිදි කවිප අවස්ථාවාදීන් “ජලය බොර කර දමා” තිබූ අතර ජාත්‍යන්තර කමිටුවට ලෝක සමාජවාදී විප්ලවයේ මූලෝපාය විස්තාරනය කිරීමේ දී මාක්ස්වාදී මූලධර්ම යලි තහවුරු කිරීමට සිදු විය.

ශ්‍රී ලංකාවේ අවස්ථාවාදී ප්‍රවනතාවන්ට ප්‍රතිවිරුද්ධ ලෙස විකොස දෙමල ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙහෙස නො තකා ආරක්ෂා කල අතර උතුරේ දෙමල ජනතාවට ස්වයං නිර්නය සඳහා පවතින අයිතිය පිලිගැනීමෙන්, දෙමල ජනයාට එරෙහිව කොලඹ සිංහල ස්වෝත්තමවාදී ආන්ඩුව දියත් කල ප්‍රතිගාමී ලේ භරිත යුද්ධයට නො සැලී විරුද්ධත්වය පෑවේ ය.

කෙසේ වුව ද, සිංහල ස්වෝත්තමවාදීන්ටත් ඔවුන්ගේ ප්‍රතිගාමී ධනේශ්වර රාජ්‍යයටත් විකොස පෑ නොනැමුනු විරුද්ධත්වයේ සන්දර්භය තුල සිටිමින් ම, කීර්ති සිය ජීවිතයේ අවසන් දිනවල දී, ඓතිහාසිකව පීඩනයට ලක් කෙරුනු රටවල කම්කරු පන්තියේ ඓතිහාසික කර්තව්‍යයන් හුදෙක් “ජාතික විමුක්තිය” සහ “ස්වයං නිර්නය” යන සටන් පාඨ අවිවේචනාත්මකව යෙදීමේ පදනම මත මනාව නිර්වචනය කල නොහැකි ය යන නිගමනය කරා එලඹෙමින් සිටියේ ය.

1987 අගෝස්තු මුල දී ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීම, අන් සියල්ලට මත් වඩා එල්ටීටීඊයේ දේශපාලන බංකොලොත්කම එලිදරව් කලේ ය. කීර්ති මෙම 15 වර්ධනය කෙරෙහි ප්‍රතිචාර දැක්වූයේ ජාත්‍යන්තර කමිටුවේ ක්‍රියා මාර්ගය තව දුරටත් සංවර්ධනය කිරීමට පදනම සම්පාදනය කල ලිපියකිනි.

1987 සැප්තැම්බර් 11 දා ඔහු මට මෙසේ ලිවී ය: “ සුවිශේෂව ම දෙවන ලෝක යුද්ධයට පසුව, ජාතික විමුක්ති ව්‍යාපාරවලට සම්බන්ධිතව විප්ලවවාදී කම්කරු පන්තියේ ඓතිහාසික අත්දැකීම සාරාංශගත කිරීමක්, ප්‍රධාන කොට ම, වර්තමාන තත්ත්වය විසින් ඉල්ලා සිටිනු ලැබේ. සහතිකෙන් ම ලෙනින් විසින් විශ්ලේෂනය කරන ලද අත්දැකීම්වලින් බොහෝ දේ අපට උකහා ගත හැකි ය. එනමුදු ලෙනින් තුන් වන ජාත්‍යන්තරය සඳහා ඔහුගේ ප්‍රවාදය ලියන විට විජිත මහජනතාවන් අධිරාජ්‍යවාදයට එරෙහිව ඔවුන්ගේ ජාතික අරගල යන්තම් පටන් ගත්තා පමනක් ය යන කරුන ද අපි සිත්හි තබා ගත යුතු වෙමු.... නමුත් දෙවන ලෝක යුද්ධයට පසුව විශේෂයෙන් ම පෙරදිග සිදු වූ බොහෝ වෙනස්කම් අපැහැදිලි වන සේ අවිවේචනාත්මකව එය නො යොදා ගත යුතු ය. පෙරදිග රටවල ද ජාතිකවාදයේ පරිහානිගත වීමක් සිදු විය.

අධිරාජ්‍යවාදයට එරෙහිව අර්ධ විජිත ධනේශ්වරයන්ට ආධාර කිරීමේ අවශ්‍යතාව ප්‍රකාශ කරමින් සංශෝධනවාදය මෙම පරිහානියට අනුගත වූයේ ය.

අඩු ම ගනනේ 1970 ගනන්වල මුල පටන් ජාත්‍යන්තර කමිටුව තුල මේ ප්‍රවනතාවේ කථකයා වූයේ බන්ඩා ය.

ස්ටැලින්වාදීන් හා සංශෝධනවාදීන් විසින් කම්කරු පන්තිය මෙම ජාතිකවාදයට යටත් කරනු ලැබීම, බොහෝ කුඩා ජාතිකත්වයන්ට අයත් පීඩිත ජනතාවන් කම්කරු පන්තියෙන් වෙන් කිරීමේ ලා සෘජු ක්‍රියා කලාපයක් ඉටු කල අතර නිදහස සඳහා කුඩා ජාතීන්ගේ ජාතික ව්‍යාපාර වර්ධනය වීමට මාර්ගය සකස් කලේ ය. ධනපති රාජ්‍යයට එරෙහිව ජාතිකවාදයේ ධජය යටතේ එල්ල කෙරුන ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සඳහා අරගලයන්ට නිශ්චිත ප්‍රගතිශීලී අන්තර්ගතයක් තිබුනේ වී නමුදු, ජාතිකවාදය ජාතික විමුක්තිය සාධා ලීමේ ලා හෝ පීඩකයා පෙරලා දැමීමට අවශ්‍ය බලවේග එකමුතු කිරීමේ ලා හෝ නොසමත් බව ඔප්පු කලේ ය. එමෙන් ම, ඇත්ත වශයෙන් ම තීරනාත්මක මොහොතේ එය ඉදිරියට ආවේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ සියලු බලවේගවලට නායකත්වය දීමට සමත් කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීමට එරෙහි බාධකයක් ලෙස ය.” කීර්තිගේ ජීවිත කාලය තුල ජාත්‍යන්තර කමිටුවේ අවසාන රැස්වීම 1987 නොවැම්බරයේ පැවැත්වුනු අතර, එය දෙමල ජාතික බෙදුම්වාදී ධනපති ක්‍රියා මාර්ගයට එරෙහිව දෙමල ඊලම් සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ සමාජවාදී රාජ්‍යයන් පිලිබඳ ඉදිරි දර්ශනය පිහිටුවා ලු ප්‍රකාශයක් නිකුත් කලේ ය.

ජාත්‍යන්තරවාදයේ ඉදිරි දර්ශනය දැන් කීර්තිගේ අභාවයෙන් පස් වසරකට පසු, පශ්චාත් යුද කාල පරිච්ඡේදය පිලිබඳව ශේෂ පත්‍රයක් පිලියෙල කිරීමේ ද ධනේශ්වර ජාතික විමුක්ති ව්‍යාපාරවල සමස්ත අත්දැකීම තක්සේරු කිරීමේ ද කටයුත්ත සම්පූර්න කිරීම අවශ්‍ය ය.

සියලු පීඩිත ජනතාවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරන අතර ම, “ජාතික විමුක්තිය” සහ “ ස්වයං නිර්නය”, ප්‍රායෝගිකව ගත් කල, ධනේශ්වර ජාතිකවාදීන් විසින් අව්‍යාජව ප්‍රජාතන්ත්‍රවාදී හෝ ප්‍රගතිශීලී සමාජ අන්තර්ගතයක් නොමැති බෙදුම්වාදී හා ජාතිවාදී ක්‍රියා මාර්ග සඳහා ප්‍රතිගාමී සාධාරනීකරනයන් බවට පරිවර්තනය කරනු ලැබ ඇත්තේ කෙසේ දැයි අනාවරනය කිරීම මාක්ස්වාදීන්ගේ යුතුකමකි.

ජාතික විමුක්ති ව්‍යාපාරවලට මාක්ස්වාදීන් විසින් ප්‍රගතිශීලී අන්තර්ගතයක් ආරෝපනය කරන ලද්දේ නම්, ඒ, අධිරාජ්‍යවාදී ආධිපත්‍යය ද පසුගාමිත්වයේ, ගෝත්‍රික සහ කුල භේද ආදියේ උරුමය ද ජය ගැනීම සමග ඒවා කිසි යම් ආකාරයකින් අනන්‍ය වී සිටි නිසා ය. “ ඉන්දියාව” සහ “චීනය” ජනවාර්ගික ලෙස හෝ භාෂාමය වශයෙන් ඒකාබද්ධ වූ ජාතීහු නො වෙති, නමුත් ඒවා අව්‍යාජ ආර්ථික හා සංස්කෘතිකමය ප්‍රගතියේ මතු බලාපොරොත්තු විවෘත කරමින්, දැවැන්ත භූමි තලයක් පුරා ජනතාවන් ප්‍රගතිශීලී ලෙස ඒකාබද්ධ කිරීම ඇඟවුම් කල දේශපාලන සංකල්පයෝ වූහ.

“ජාතික විමුක්තියේ” වීරයන් බවට වර්තමානයේ හිමිකම් කියන එකදු ව්‍යාපාරයක් තුල එම අන්තර්ගතය දකින්ට නැත. කෙසේ වුව ද විවිධ ව්‍යාපාරයන්හි ආත්මීය අරමුනු මොනවා වුවත් භූගෝලීය ආර්ථික ඒකාබද්ධතාව පිලිබඳ මේ අවධියේ නව ජාතික රාජ්‍යයන් පිහිටුවීම මගින් මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය පෙරට ගෙන යා නොහැකි ය. වෙනස් ජාතික, භාෂාමය, ආගමික හෝ ජනවාර්ගික අනන්‍යතාවකට හිමිකම් කියන ජනගහනයේ සෑම කාන්ඩයකට ම විශේෂ භූමි වැයික්කි නිර්මානය කිරීම වනාහි, සාක්ෂාත් කල කල්හි ම්ලේච්ඡත්වයට ඇද හෙලීම සලකුනු කෙරෙනු ඇති ඉදිරි දර්ශනයකි.

ට්‍රොට්ස්කි මෙම ප්‍රශ්නය ගැන සුපැහැදිලිව විවාද කලේ ය. ස්වයං නිර්නය පිලිබඳ ඉල්ලීම තව මත් ප්‍රගතිශීලී අන්තර්ගතයක් දරා පැවති ඔහුගේ ජීවිත කාලය තුල දී පවා, එම ඉල්ලීම සමාජවාදී ක්‍රියා මාර්ගයක පදනම මත කම්කරු පන්තියේ එකමුතුව තහවුරු කිරීමේ අරගලයට ඉහලින් පිහිටියේ නැත.

ස්වයං නිර්නය සඳහා ඉල්ලීමෙන් එදා ද අද ද 16 මාක්ස්වාදය හා ජාතිකවාදය සම්මුති ගැස්සීමක් සලකුනු වූයේ නැත. අන් සියල්ලට මත් වඩා ඕනෑ ම වර්ගයක බෙදුම්වාදී ව්‍යාපාරයකට සහාය දීමට මාක්ස්වාදී පක්ෂය බැඳී නැත. උදාහරනයක් ලෙස, මේ සම්බන්ධයෙන් කැටලාන් ස්වයං නිර්නය පිලිබඳ ප්‍රශ්නය ගැන ට්‍රොට්ස්කිගේ ලියවිලි අතිශයින් උපදේශාත්මක ය.

මා මෙම දේශනයේ දී සංස්ථානය තෝරා ගනු ලැබූයේ, සභාපතිවරයා සිය හැඳින්වීමේ දී සඳහන් කලාක් මෙන්, කීර්තිගේ වැඩ කටයුතුවල අර්ථභාරය අගැයිය හැක්කේ ඔහුගේ බුද්ධිමය හා දේශපාලන වැඩ කටයුතුවලට පාදකව පැවති විප්ලවවාදී ජාත්‍යන්තරවාදයේ න්‍යායික සම්ප්‍රදායන් ඓතිහාසික විමර්ශනයකට භාජන කිරීමෙන් පමනක් ම ය යි මා විශ්වාස කරන නිසා බව මෙම බෙහෙවින් දීර්ඝ සටහන් සමාප්තියකට ගෙන එමින් පැහැදිලි කිරීමට මට ඉඩ දෙන්න.

සටහන් 1. ලියොන් ට්‍රොට්ස්කි, ඡැරප්බැබඑ ඍැඩදකමඑසදබ ්බා ඍැිමකඑි ්බා ඡරදිචැජඑි (නොනවතින විප්ලවය සහ ප්‍රතිඵල සහ පෙරදැකීම්), (ලන්ඩන්: නිව් පාක්, 1975), 237 පි.

2. ඛැබසබ.ි ීඑරමටටකැ දෙර ් ඍැඩදකමඑසදබ්රහ ෂබඑැරබ්එසදබ්ක (විප්ලවවාදී ජාත්‍යන්තරයක් සඳහා වූ ලෙනින්ගේ අරගලය), (නිව් යෝක්: මොනාඩ්, 1984), 370-71 පිටු 3. ඛැදබ ඔරදඑිනහ දබ ක්‍යසබ් (ලියොන් ට්‍රොට්ස්කි චීනය ගැන), (නිව් යෝක්: ඇන්කර්, 1976), 161 පි.

4. උරසඑසබටි දf ඛැදබ ඔරදඑිනහ :1934-35* (ලියොන් ට්‍රොට්ස්කිගේ ලියවිලි (1934-35), (නිව් යෝක්: පාත්ෆයින්ඩර්, 1974), 252 පි.

5. උරසඑසබටි දf ඛැදබ ඔරදඑිනහ :1934-35*, 306 පි.

6. උරසඑසබටි දf ඛැදබ ඔරදඑිනහ :1934-35*, 29 පි.

7. ෘදජමපැබඑි දf එයැ ත්‍දමරඑය ෂබඑැරබ්එසදබ්කථ ඔයැ ත්‍දරප්එසඩැ ශැ්රි - 1933-40 (හතර වන ජාත්‍යන්තරයේ ලියවිලි: හැඩ ගැසී ආ වසරවල් - 1933-40) (නිව් යෝක්: පාත්ෆයින්ඩර්, 1973), 394 පි.

Loading