හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමග දේශපාලනික ව ඒකාබද්ධ, ද සෝස්‍යැලිස්ට් ඉශිට්ලික් පාර්ටිසි - දෝර්දුන්ජු එන්ටෙර්නාස්‍යොනාල් (සමාජවාදී සමානතා පක්ෂය - හතරවන ජාත්‍යන්තරය) 2025 ජූනි 13-15 දිනවල දී තම ආරම්භක සමුලුව පැවැත් වී ය. පක්ෂය පිහිටුවීමේ නිල කටයුතු අගෝස්තුවේ දී සමාප්ත විය. “මූලධර්ම ප්‍රකාශය” (නිල ක්‍රියාමාර්ගය), “ද සෝස්‍යැලිස්ට් ඉශිට්ලික් පාර්ටිසි - දෝර්දුන්ජු එන්ටෙර්නාස්‍යොනාල් හි ඓතිහාසික සහ ජාත්‍යන්තර පදනම්” සහ “ව්‍යවස්ථාව” යන ලේඛන මෙම සමුලුවේ දී ඒකමතික ව සම්මත කෙරුනි. ද සෝස්‍යැලිස්ට් ඉශිට්ලික් පාර්ටිසි - දෝර්දුන්ජු එන්ටෙර්නාස්‍යොනාල් පක්ෂයේ ජාතික සභාපති උලාශ් සෙවින්ච් ගේ විඩීයෝ නිවේදනයක් එහි පෙල සමගින් අපි මෙහි පල කරමු. මෙය Video announcement on the formation of the Socialist Equality Party (Turkey) මැයෙන් සැප්තැම්බර් 12 වැනි දා ඉංග්‍රීසියෙන් පල කෙරුනි.
තුර්කිය සහ ලෝකය තීරනාත්මක සන්ධිස්ථානයකයි සිටින්නේ. ජන සංහාරය සහ ෆැසිස්ට්වාදය සාමාන්‍යකරනය කරමින් පවතිනවා. න්‍යෂ්ටික යුද්ධය සඳහා සූදානම් සිදු කෙරෙමින් පවතිනවා. මානව වර්ගයාගේ අතිමහත් බහුතරයකට කිසිදු බලාපොරොත්තුවක් හෝ අනාගතයක් ලබා නොදෙන බංකොලොත් ධනේශ්වර ක්‍රමයට විකල්පයක් නොමැති බව පැවසෙනවා.
නමුත් සමාජවාදී සමානතා පක්ෂය (තුර්කිය) සහ හතරවන ජාත්‍යන්තරය මෙම බොරුව ප්‍රතික්ෂේප කරනවා. සත්‍යය නම් විකල්ප දෙකක් අප ඉදිරියේ තිබෙන බවයි. එකක් නම් යුද්ධ, වසංගත සහ පාරිසරික ව්‍යසන හරහා ශිෂ්ටාචාරය විනාශය කරා ගෙන යන ධනේශ්වර ක්‍රමයයි. අනෙක ගෝලීය සමාජයේ අවශ්‍යතා මත පදනම් වූ නව සමාජ ක්‍රමයකි: එනම් සමාජවාදයයි. මානව වර්ගයාගේ බලාපොරොත්තුව සහ අනාගතය තිබෙන්නේ සමාජවාදය තුලයි.
අපේ පක්ෂය පිහිටෙව්වේ මේ එක ම ප්‍රගතිශීලී විකල්පය යථාර්ථයක් බවට පත් කිරීමටයි. මෙම ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට, ගෝලීය නිෂ්පාදන හා සන්නිවේදන ජාල හරහා එක්සත් ව සිටින සහ සියලු සමාජ ධනය නිපදවන කම්කරු පන්තිය තමන්ගේ ම පන්ති අවශ්‍යතා ගැන සවිඥානික විය යුතු අතර, ධනේශ්වර පද්ධතියට සහ පාලක පන්තියට එරෙහිව බලමුලු ගැන්වී ලෝකය පුරා බලය අල්ලා ගත යුතු වෙනවා.
කම්කරු පන්තිය සූරාකෑම මත පදනම් වූ පාලක පන්තිය අයථා ලෙස උපයාගත් ධනය ජනසතු කල යුතු අතර, නිෂ්පාදනය මත කම්කරුවන්ගේ පාලනය ස්ථාපිත කල යුතු වෙනවා. පුද්ගලික ලාභය මත නොව සමාජ සමානාත්මතාවය මත පදනම් වූ නව සමාජයක් ගොඩනැගිය යුතුයි.
සමාජවාදී සමානතා පක්ෂය (තුර්කිය) අනෙකුත් දේශපාලන පක්ෂ මෙන් නොවේ. අපි සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂයේ කොටසක්. අපි සියලු ආකාරයේ ජාතිකවාදයන් ප්‍රතික්ෂේප කරන අතර, ලොව පුරා පොදු අවශ්‍යතා සහ පොදු සතුරන් ඇති, කම්කරුවන්ගේ ජාත්‍යන්තර එකමුතුව සඳහා සටන් කරමු. සමාජයේ මූලික බෙදීම පන්ති බෙදුම බව හඳුනා ගනිමින් අපි සුලු ධනේශ්වර අනන්‍යතා දේශපාලනය ප්‍රතික්ෂේප කරමු.
මානව වර්ගයා මුහුන දෙන සියලුම මූලික ගැටලු ධනේශ්වර ක්‍රමයෙන් පැන නගින ගෝලීය ගැටලුයි. මෙම ගැටලුවලට එක් හේතුවක් නිෂ්පාදන මාධ්‍යවල පුද්ගලික අයිතිය සහ අනික් හේතුව වන්නේ ලෝකය ආර්ථික වශයෙන් යල්පැන ගිය ජාතික රාජ්‍යයන් අතර බෙදී පැවතීමයි. මේ නිසා ම විසඳුම් ජාත්‍යන්තර විය යුතුයි. ජාත්‍යන්තර පන්තියක් ලෙස කම්කරු පන්තිය මෙම විසඳුම් ක්‍රියාවට නැංවීමේ හැකියාව ඇති එකම සමාජ බලවේගයයි. “බහු ධ්‍රැව” ධනේශ්වර ලෝකයක් හඹා යෑම වෙනුවට අධිරාජ්‍යවාදී යුද්ධයට හා ජන සංහාරයට තුඩු දෙන ජාතික රාජ්‍ය පද්ධතියට විකල්පය වන්නේ දේශසීමා තුරන් කරන ලෝක කම්කරු රාජ්‍යයන්ගේ සමූහාන්ඩු සංගමයකි.
ගාසා තීරයේ සිදුවෙමින් පවතින ජන සංහාරය ධනේශ්වර ක්‍රමයේ ම්ලේච්ඡත්වයේ සහ එය ආරක්ෂා කරන සියලු පාර්ශවයන්ගේ ජරපත්වීමේ වඩාත් කැපී පෙනෙන ප්‍රකාශනයයි. අනෙකුත් තීරනාත්මක ප්‍රශ්න මෙන්ම, පවතින ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතිය තුල පලස්තීන ප්‍රශ්නය විසඳිය නොහැකි බව පැහැදිලි වී තිබෙනවා. ජාත්‍යන්තර ප්‍රශ්නයක් වන කුර්දි ප්‍රශ්නයට ද මේ කරුන අදාලයි. මෙම ප්‍රශ්නවලට ඇති එකම වලංගු, ප්‍රගතිශීලී විසඳුම වන්නේ මැද පෙරදිග සමාජවාදී සමූහාන්ඩු සංගමයක් වන අතර එය සියලු ජාතීන්ට අයත් කම්කරුවන් විප්ලවවාදී බලමුලු ගැන්වීම හරහා පිහිටුවෙනු ඇත.
සමාජවාදී සමානතා පක්ෂය (තුර්කිය) “අඩු නපුරු” ප්‍රතිපත්තිය අවිවාදයෙන් ප්‍රතික්ෂේප කරනවා. අපි කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා සටන් කරනවා. මෙයින් අදහස් කරන්නේ කම්කරු පන්තිය ධනේශ්වර පක්ෂ හා අවශ්‍යතාවලට යටත් කරන පන්ති සහයෝගිතාවාදී “මහජන පෙරමුනු” දේශපාලනය ප්‍රතික්ෂේප කිරීමයි.
සියලු ධනේශ්වර පක්ෂ ඒවායේ වෙනස්කම් තිබිය දී ම, මූලික ප්‍රශ්න දෙකක් සම්බන්ධයෙන් පූර්න එකඟතාවයක සිටිනවා: ඒ අධිරාජ්‍යවාදයට පක්ෂපාතීත්වය සහ කම්කරු පන්තියේ අවශ්‍යතා කෙරෙහි සතුරුකමයි. මේ හේතුව නිසා, ඔවුන්ගේ පන්ති ස්වභාවයෙන්ම, ඔවුන්ට කුර්දි ප්‍රශ්නය ඇතුලු කිසිදු මූලික දේශපාලන ප්‍රශ්නයක් විසඳිය නොහැකියි. ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයක් ස්ථාපිත කිරීමට, සමාජ සමානාත්මතාවය සහතික කිරීමට හෝ අධිරාජ්‍ය විරෝධී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට නොහැකියි. ලියොන් ට්‍රොට්ස්කි සිය නොනවතින විප්ලවය පිලිබඳ න්‍යාය තුල පැහැදිලි කල පරිදි, මෙම ඉටු නොවුනු කර්තව්‍යයන් සමාජවාදය සඳහා අරගලයේ දී කම්කරු පන්තිය මත පැවරෙනවා. එනම්, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන අරගලය සමාජවාදය සඳහා වන අරගලය සමග ඓන්ද්‍රීය ව බැඳී පවතිනවා.
සමාජවාදී සමානතා පක්ෂය (තුර්කිය), ධනේශ්වර සංස්ථාපිත පක්ෂ සහ ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම හැර වෙනත් විකල්පයක් නැතැයි කියන ව්‍යාජ-වාම පක්ෂ ප්‍රතික්ෂේප කරනවා. සමාජවාදී සමානතා පක්ෂය (තුර්කිය) තමන්ගේම විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩනඟන්නැයි අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිනවා.
සමාජවාදී සමානතා පක්ෂය (තුර්කිය) යනු “ඉතිහාසයේ පක්ෂයකි.” අපගේ පක්ෂය මාක්ස්, එංගල්ස්, ලෙනින් සහ ට්‍රොට්ස්කිගේ සම්භාව්‍ය මාක්ස්වාදයේ සම්ප්‍රදායන් මෙන්ම 1917 ඔක්තෝබර් විප්ලවයේ සම්ප්‍රදායන් මත පදනම් වෙනවා. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය 1923 දී එය ආරම්භ කල දා සිට ස්ටැලින්වාදයට එරෙහි ව මෙම සම්ප්‍රදායන් ආරක්ෂා කර වර්ධනය කර තිබෙනවා. ස්ටැලින්වාදයේ 'ජාතික සමාජවාදය' විප්ලවය පාවා දුන්නේ, ක්‍රෙම්ලින් නිලධරයේ අධිරාජ්‍යවාදය සමග 'සාමකාමී සහජීවනය' උදෙසායි. මෙම ප්‍රතිපත්තිය සෝවියට් සංගමයේ බිඳ වැටීමට තුඩු දුන්නා. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ධනවාදය ප්‍රතිසංස්කරනය කිරීමේ අසාර්ථක ප්‍රතිගාමී වැඩපිලිවෙල පෙරට දැමූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ව මෙම සම්ප්‍රදායන් ආරක්ෂා කර වර්ධනය කර තිබෙනවා. අධිරාජ්‍යවාදයට සහ පරාජයට යටත් වීම නොවැලැක්විය හැකි සුලු ධනේශ්වර ජාතිකවාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය මෙම සම්ප්‍රදායන් ආරක්ෂා කර වර්ධනය කර තිබෙනවා.
සමාජවාදී සමානතා පක්ෂයේ (තුර්කිය) සහ එය දේශපාලන සහයෝගීතාවයේ සිටින හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අරමුන හතරවන ජාත්‍යන්තරයේ නිර්මාතෘ ට්‍රොට්ස්කිගේ පහත ප්‍රකාශයෙන් සාරාංශ කෙරෙනවා: “...සූරාකෑමට පත් වන්නන්ගේ සහ පීඩිතයෙන්ගේ පූර්න භෞතික හා අධ්‍යාත්මික විමුක්තිය සමාජවාදී විප්ලවය තුලින් සාක්ෂාත් කිරීමයි.”
සියලු මනුෂ්‍ය වර්ගයාගේ ඉරනම තීරනය කරන මෙම අරගලයට අප හා එක්වන්න. sosyalistesitlikpartisi.org වෙත පිවිසෙන්න, අපගේ ලේඛන අධ්‍යයනය කර අපගේ පක්ෂයට බැඳෙන්න!