දුම්රිය සේවය පුද්ගලීකරනය කරන දුම්රිය අධිකාරි පනත ආන්ඩුව එලි දක්වයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානය පරිදි, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ක්‍රියාත්මක කරන පුද්ගලීකරන වැඩපිලිවෙලේ කොටසක් වන, ශ්‍රී ලංකා දුම්රිය සේවය අධිකාරියක් බවට පරිවර්තනය කිරීමේ පනත “සාකච්ඡාව” සඳහා විධායක නිලධාරීන්ට ඉදිරිපත් කර ඇත.

2022 නොවැම්බර් 5 යාල් දේවි දුම්රිය පූනෑව දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලී පනී. [Photo: Lakshitha naveen & others via Fantastic Travelers Facebook Page ]

මෙසේ එලි දක්වා ඇත්තේ, 1993 දී, කම්කරු ප්‍රතිරෝධය තුල හකුලා ගැනුනු, එවකට පැවති ඩී. බී. විජේතුංගගේ ආන්ඩුව ඉදිරිපත් කල අංක 60 දරන දුම්රිය අධිකාරී පනත යි. එහි සඳහන් පරිදි, දුම්රිය අධිකාරියේ මූලික කර්තව්‍යය වන්නේ, “ශ්‍රී ලංකාව ඇතුලත කාර්යක්ෂම ව, තරඟකාරී ව සහ ලාභ සහිත ව භාන්ඩ සහ තැනැත්තන් ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය සේවා සැලැස්වීම සහ ඒ සේවා ක්‍රියාත්මක කිරීම” යි.

දසදහස් සංඛ්‍යාත කම්කරුවන්ට දෛනිකව තම රැකියා සඳහා යාම්-ඊම් වලට සහ සමස්තයක් ලෙස මහජනතාවට සුවපහසු හා ලාභදායී ප්‍රවාහන පහසුකම් සැපයීම මූලික කරගෙන පැවති දුම්රිය සේවාව, 'තරඟකාරී ව සහ ලාභ සහිත ව' ක්‍රියාත්මක කිරීම යනු එය ලාභෝත්පාදන ව්‍යාපාරයක්, නැතහොත් රාජ්‍ය ව්‍යවසායක් බවට පරිවර්තනය කිරීම හැර අන් යමක් නොවේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහම යලියලිත් පවසන පරිදි, 'ව්‍යාපාර කටයුතුවල නියැලීම රාජ්‍යයේ කටයුත්තක් නොවන' බැවින්, දුම්රිය අධිකාරය පිහිටුවීමෙන් පසු නිසැකවම ඊලඟ පියවර වනුයේ, අනෙක් රාජ්‍ය ව්‍යවසායන් මෙන්ම දුම්රිය ද පුද්ගලික අංශයට පැවරීමයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් මත රාජ්‍ය ව්‍යවසායන් 430 ක් පුද්ගලික අංශයට පැවරීමට ආන්ඩුව ගෙනයන වැඩපිලිවෙලේ අරමුන පැහැදිලි කරමින්, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුනවර්ධන මැයි 17 දා මාධ්‍යයට මෙසේ පැවසීය: “මෙම පිලිවෙතෙහි ඉලක්කය වන්නේ, ...වෙලඳපොලට යොමු වන පරිදි... පිරිවැය-පිලිබිඹු කරන පිලිවෙතකින් රටට හා අයැවයට බරක් නො වන අයුරින් (රාජ්‍ය ව්‍යවසායයන්) පරිවර්තනය කිරීම යි.”

පුද්ගලීකරනයේ ගිලටීනයට යැවීමට ආන්ඩුව අපේක්ෂා කරන රජයට අයත් ව්‍යවසායයන් සියල්ල සම්බන්ධ මෙම පිලිවෙත දුම්රියට ද පොදු වේ.

ආන්ඩුව තම මුහුන දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයේ බර, විවිධ කප්පාදු සහ පුද්ගලීකරනය හරහා කම්කරු-පීඩිත මහජනතාව මත පටවනුයේ, 'රටේ යහපත' හෝ 'ජාතියේ යහපත' වෙනුවෙන් එය කෙසේ හෝ විඳදරා ගතයුතු බව පවසමිනි. දුම්රිය අධිකාරී පනත ඉදිරිපත්කොට ඇත්තේ ද එම වහන්තරාවට මුවා වෙමිනි.

“විධිමත් ගාස්තු අය කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් ජාතියට උපරිම ලෙස වාසිදායක වන අන්දමින් භාන්ඩ හා තැනැත්තන් ප්‍රවාහනය කල යුතුය යන ජාතික අරමුන ප්‍රවර්ධනය කිරීම' සහ 'ජාතියේ යහපත උදෙසා දුම්රිය මාර්ග සම්බන්ධීකරනය සහ වරාය-දුම්රිය සම්බන්ධීකරනය අවශ්‍ය යයි සලකනු ලබන අවස්ථාවල දී එවැනි සම්බන්ධීකරනය ප්‍රවර්ධනය කිරීම' දුම්රිය අධිකාරිය සතු කර්තව්‍යයන් ලෙස පනත තුල අවධාරනය කර තිබේ.

'ජාතිය' වනාහි, තම අවශ්‍යතාවයන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ වූ සහ ඒ හේතුවෙන්ම එකිනෙකා සමග යුද වදින මූලික සමාජ පංතීන් දෙකකින් සමන්විත වූවකි. ධනපති පාලකයන් 'ජාතියේ යහපත' වෙනුවෙන් යැයි ඉදිරිපත් කරන සෑම වැඩපිලිවෙලක්ම ධනපති පංතියේ යහපත අරමුනු කර ගන්නා අතර, එය සැමවිටම කම්කරු පංතියේ අයහපතට හේතු වේ. ඒ අනුව, දුම්රිය අධිකාරියෙහි මූලික යොමුව පවතිනුයේ, ජාතික සහ ජාත්‍යන්තර ප්‍රාග්ධන ආයෝජකයන්ට උපරිම ලාභය සාක්ෂාත් කර දීමයි.

වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ගාලු දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අමතා පසුගිය සතියේ කල කතාවකින් මෙය සනාථ වෙයි. දුම්රිය ධාවනයත් පුද්ගලික අංශයට පැවරිය යුතු යයි ඔහු එහිදී යෝජනා කල බව දිවයින පුවත්පත ජුනි 16දා වාර්තා කලේ ය. ගාල්ල-බෙලිඅත්ත, කොලඹ-අඹේපුස්ස, කොලඹ-යාපනය හා කොලඹ-නුවර යනාදී ප්‍රධාන දුම්රිය ධාවනය පුද්ගලික අංශයට පැවරීමෙන්, “කාර්යක්ෂම” සේවාවක් ලබාගත හැකිබව අබේවර්ධන පවසා ඇත.

දුම්රිය අධිකාරිය යටතේ මගීන්ට මුහුන දීමට සිදු වනු ඇති තත්ත්වය ජාත්‍යන්තර අත්දැකීම් මගින් පැහැදිලි කරගත හැකි ය.

2023 ජූනි 3 සෙනසුරාදා, නැගෙනහිර ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ බලසෝර් දිස්ත්‍රික්කයේ පීලි පැනීමට ලක්වූ මගී දුම්රියෙන්, ගොදුරු වූ පුද්ගලයෙකුගේ සිරුර ඉවත් කර ගැනීමට උත්සාහ කරන සහන සේවකයින්. [ඒපී ඡායාරූප/රෆික් මක්බූල්] [AP Photo/Rafiq Maqbool]

2015 වසරේ දී ග්‍රීසියේ බලයට පැමිනි ග්‍රීසියේ සිරිසා (රැඩිකල් වමේ සභාගය) ආන්ඩුව, යුරෝපා සංගමය, යුරෝපා මහ බැංකුව සහ ජාමූඅ නියෝග කල කප්පාදු යටතේ, 2017 දී එතෙක් රාජ්‍ය ව්‍යවසායයක් ලෙස පැවති දුම්රිය සේවය, පුද්ගලික අංශයට පවරන ලදී. පැරනි දුම්රිය සේවයේ කිසිදු අලුත්වැඩියාවක් හෝ නිසි නඩත්තුවක් ඉන්පසුව සිදු නො වී ය. ඉන් දශකයක් ගතවීමටත් පෙර, මේ වසරේ පෙබරවාරි 28දා, දුම්රිය දෙකෙහි රියැදුරන් හතර දෙනෙකු ඇතුලු ව දුම්රිය කම්කරුවන් 10 දෙනෙකුට ද සමස්තයක් ලෙස 57 දෙනෙකුට ද මරු කැඳවමින් ග්‍රීක ඉතිහාසයේ දරුනු ම දුම්රිය නතුර සිදු විය.

2023 මාර්තු 1 වැනි බදාදා, ග්‍රීසියේ ලැරිසා නගරය ආසන්නයේ ඇතන්ස් නගරයට උතුරින් කිලෝමීටර් 376ක් (සැතපුම් 235ක්) දුරින් පිහිටි ටෙම්පි හි ගැටීමෙන් පසු දුම්රියවල සුන්බුන් දුම්රිය මාර්ගවල පවතී. බොහෝ විශ්වවිද්‍යාල සිසුන් ඇතුළුව සිය ගණනක් මිනිසුන් රැගත් මගී දුම්රියක් නිවාඩුව නිමවී නිවසට පැමිණෙමින් සිටියදී අඟහරුවාදා මධ්‍යම රාත්‍රියට පෙර ඉදිරියෙන් පැමිණි භාණ්ඩ ප්‍රවාහන දුම්රියක අධික වේගයෙන් ගැටී තිබුනු අයුරු. [AP ඡායාරූපය/Giannis Papanikos] [AP Photo/Giannis Papanikos]

එසේ ම, දුම්රිය සේවාව පුද්ගලික සංගතයන් හරහා පවත්වාගෙන යන, ලොව ප්‍රමුඛ ධනපති රට වන එක්සත් ජනපදය තුල වාර්ෂික දුම්රිය පීලිපැනීම් සංඛ්‍යාව 1,000කි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසය දී, පැය 36ක් ඇතුලත පීලිපැනීම් 6ක් සිදු විය. එසේ ම මේ වසර මුල දී, ඔහියෝ ප්‍රාන්තයේ නැගෙනහිර පලස්තීනය නමැති ග්‍රාමීය නගරයේ දී, රසායනික ද්‍රව්‍ය රැගෙන යන දුම්රියක් පීලිපැනීමෙන් දැවැන්ත පාරිසරික හානියක් ජනනය විය.

ඩ්‍රෝන යානයකින් ගන්නා ලද මෙම ඡායාරූපය 2023 පෙබරවාරි 4 වැනි සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ තවමත් ගිනි ගනිමින් තිබූ නැගෙනහිර පලස්තීනයේ ඔහියෝහි සිකුරාදා රාත්‍රියේ පීලි පැනීමට ලක් වූ නොර්ෆොක් දකුණු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක කොටස් පෙන්වයි. [AP Photo/Gene J. Puskar] [AP Photo/Gene J. Puskar]

ඇමති බන්දුල ගුනවර්ධන පාර්ලිමේන්තුවේ දී කතා කරමින්, මෑත වසර කිහිපයේ දී දුම්රිය සේවය රුපියල් බිලියන 10ක වාර්ෂික “මෙහෙයුම් අලාභයක්” වාර්තා කර ඇති බවත්, එය වලක්වා ගැනීම සඳහා කඩිනමින් තීරන ගනිමින් එහි එක් පියවරක් ලෙස දුම්රිය ගාස්තු ඉහල නැංවිය යුතු බවත් ප්‍රකාශ කලේ යයි මැයි 24දා ඩේලි මිරර් පුවත්පත වාර්තා කලේ ය.

මෙලෙස දුම්රිය ගාස්තු ඉහල නැංවීම, මෑත කාලයේ දී කිහිප වතාවක් ම සිදු කර ඇති නමුත්, ඉන් කිසිදු ආකාරයකින් දුම්රිය කම්කරුවන්ට ප්‍රතිලාභ අත්වීමක් හෝ මගීන්ට දියුනු සේවාවක් සම්පාදනය කිරීමක් සිදු වී නැත. මේ වන විට දුම්රිය සේවාවේ ප්‍රමුඛතාව දී ඇත්තේ “ඔඩිසි” වැනි සුඛෝපභෝගී දුම්රියන්ට වන අතර ඒ්වායේ ගාස්තු සාමාන්‍ය දුම්රිය ගාස්තු මෙන් කිහිප ගුනයකින් ඉහල දමා තිබේ.

එය සිදු කෙරෙන්නේ වැඩ කරන ජනයා හා සිසුන් ප්‍රවාහන පහසුකම් සපයා ගන්නා දුම්රිය වාර සංඛ්‍යාව දැවැන්තව කප්පාදු කෙරෙන තතු තුලය. ජූනි 18 දා සිසුන් හා දෙමාපියන් හික්කඩුව දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂනයක නිරත වෙමින් සිසුන්ට පාසැල් අවසන්වී නිවෙස් බලා ඒමට තිබූ දුම්රිය නැවැත්වීමට විරෝධය පල කලහ.

රත්මලාන දුම්රිය වැඩපොලේ වැඩ කරන කර්මාන්තශාලා සේවකයෙක් මේ සම්බන්ධයෙන් මෙසේ සඳහන් කලේ ය: “ආන්ඩුවට අවශ්‍ය දුම්රියත් පුද්ගලීකරනය කරන්න. ඒක කෙලින් ම නො කියා අධිකාරියක් බවට පරිවර්තනය කරන්නේ කම්කරුවන් අරගලයට ඒම වැලැක්වීමේ අරමුනින්. නමුත් පුද්ගලීකරන වැඩ දැනටමත් මේ ආයතනය තුල සිදු වෙලා වගේ ම සිද්ධ කරමින් පවතිනවා. මීට කලින් පුද්ගලීකරනය ක්‍රියාවට දැමීමට උත්සාහ කල අවස්ථාවල දී සිදු වූ දේවල් ආන්ඩුවට මතකයි. කම්කරු විරෝධතා උඩ ඒ උත්සාහයන් යටපත් කරගෙන ඉන්න ආන්ඩුවලට සිදු වුනා. නමුත් මෙවර තත්ත්වය බරපතල යි.”

මේ තත්ත්වය යටතේ ආන්ඩුවෙහි පුද්ගලීකරන වැඩපිලිවෙල පිලිබඳ ව දුම්රිය කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරු පන්තිය අතර වර්ධනය වන විරෝධය සම්බන්ධයෙන් හොඳින් ම දැනුවත් වික්‍රමසිංහ ආන්ඩුව, වෘත්තීය සමිතිවල පිටුබලය ද සහිතව, මතු වන ඕනෑ ම විරෝධයක් තලා දැමීම සඳහා සූදානම් වෙයි. විශේෂයෙන් ම මෑත දී ඛනිජ තෙල් කම්කරුවන් අතර පුද්ගලීකරනයට එරෙහි ව මතු වූ වැඩ වර්ජනය තලා දමනුවස්, මිලිටරි හා පොලිස් භටයන් දහස් ගනනක් දිගේලි කිරීමෙන් එය පෙන්වා දෙයි.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දේශපාලන මග පෙන්වීම යටතේ ගොඩනගා ඇති දුම්රිය කම්කරු ක්‍රියාකාරී කමිටුව (දුකක්‍රික), සියලු ධනේශ්වර පක්ෂවලින්, ඒවායේ ව්‍යාජ-වාම අත්ගෙඩිවලින් හා වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව, පුද්ගලීකරනය ඇතුලු ධනපති ප්‍රහාරයන්ට එරෙහිව දුම්රිය කම්කරුවන් සංවිධානය කිරීමේ වැඩ පිලිවෙලෙහි නිරතව සිටී.

සෞඛ්‍ය, අධ්‍යාපන, වරාය, විදුලිය, ජලය, වතුකරය ආදී සෑම ක්ෂේත්‍රයක ම කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සඳහා මඟ පෙන්වමින් මැදිහත්වන සසප, දුම්රිය කම්කරුවන් දුකක්‍රික තම ස්වාධීන බලවේගය ලෙස පුලුල් කල යුතු බව අවධාරනය කරයි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) දියත් කර ඇති ජාත්‍යන්තර කම්කරු සන්ධානය සමග එක් වී තමන්ගේ ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමගද ඒ්කාබද්ධව සටන ශක්තිමත්ව සංවිධානය කල යුතුය.

පුද්ගලීකරනය පරාජය කිරීමේ මෙම සටනේදී දුම්රිය සේවකයින්ට දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින සියයකට අධික වෘත්තීය සමිති කෙරේ විශ්වාසය තැබිය නොහැක. මේ අතරින් පුද්ගලීිකරනයට විරුද්ධ ලෙස පෙනී සිටීමට උත්සාහ දරන, ජනතා විමුක්ති පෙරමූන විසින් මෙහෙයවෙන දුම්රිය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය (දුඒවෘසස) සටන්කාමී කම්කරුවන් නොමඟ යැවීම සඳහා අධිකාරියක් කරන තුරු බලා සිට පසුව සටන් කල යුතුයයි රංගනයක යෙදෙයි. දුම්රිය කම්කරුවන් කල යුතුව ඇත්තේ පුද්ගලීකරනයට එරෙහිව සටන් වැද සිටින තෙල්, විදුලි, ටෙලිකොම්, රක්ෂන, වරාය ආදී අනෙකුත් කම්කරුවන් සමඟද ජාල ගත වෙමින් තම බල මුලු තර කර ගැනීමයි.

දුම්රිය කම්කරුවෝ, දුකක්‍රික ට තම නියෝජිතයින් සම්බන්ධ කරමින් සෑම දුම්රිය වැඩපොලක්, කාර්යාලයක් හා නිවහන් ප්‍රදේශයක් දක්වා ම එය පුලුල් කිරීමට කටයුතු කල යුත්තා හ.

Loading