[මෙය Sri Lanka: Health Workers Action Committee holds meeting at Kandy General Hospital යන මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඉංග්‍රීසි භාෂාවෙන් 2023 ජූනි 30 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
ජූනි 24 දා, සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව (සෞකක්‍රික), වික්‍රමසිංහ ආන්ඩුව විසින් රජය සතු ව්‍යවසාය පුද්ගලීකරනය කිරීමට සහ ඊට සම්බන්ධිතව රජයේ රෝහල්වල ගෙවන වාට්ටු හඳුන්වාදීමට එරෙහිව මහනුවර මහ රෝහලේ දී වැදගත් රැස්වීමක් පැවැත්වීය.
මෙම රැස්වීමට සෞඛ්‍ය සේවකයින් 15 දෙනෙකු පමන සහභාගී වූ අතර තවත් කිහිප දෙනෙකු අන්තර්ජාලය හරහා සම්බන්ධ විය. සෞඛ්‍ය සේවකයින් සැලකිය යුතු පිරිසක් සහභාගී වීමට කැමැත්තෙන් සිටියද රෝහලේ දැඩි කාර්ය මන්ඩල හිඟය හේතුවෙන් ඔවුන්ට එය කල නොහැකි විය. බොහෝ සෞඛ්‍ය සේවකයින්ට අතිකාල වැඩ කිරීමට බල කෙරී තිබේ.
මහනුවර මහ රෝහලේ සෞකක්‍රික හි ප්‍රමුඛ සාමාජිකයෙකුගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විනි. කම්කරුවන් පිලිගනිමින් ඔහු මෙසේ සඳහන් කලේය: “කෝවිඩ්-19 අනතුරට මුහුන දී ඇති අපි, දැන් ඖෂධ සහ කාර්ය මන්ඩල හිඟයටත්, වැටුප් කප්පාදුව සහ සෞඛ්‍ය ඇතුලු රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරනයටත් මුහුන දී සිටිනවා. මෙම තත්වය තුල, තම වැඩපිලිවෙල වෙනස් කරන ලෙස ආන්ඩුවට බලපෑම් කල හැකි යැයි කියමින් වෘත්තීය සමිති විසින් තොරොම්බල් කරන බංකොලොත් ප්‍රතිපත්තිය තුලින් අපට කිසිදු සාර්ථකත්වයක් අත්කර ගත නොහැකියි.
“වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රහාර තීන්දු වී ඇත්තේ ගෝලීය ධනේශ්වර ක්‍රමයේ පද්ධතිමය අර්බුදයෙන්. කම්කරුවන් මෙම ගැටලුවලට තමන්ගේම විසඳුම් සඳහා, එනම් සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සටන් කිරීමට සංවිධානය වීම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුත්තේ එබැවින්.”
සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහකාර ලේකම් සමන් ගුනදාස විසින් එවන ලද වීඩියෝ පනිවිඩයක් රැස්වීමේදී විකාශය විය. මෙම රැස්වීම පැවැත්වෙන්නේ, ආන්ඩුවේ පුලුල් පුද්ගලීකරන වැඩපිලිවෙල මධ්‍යයේ බව ගුනදාස කියා සිටියේ ය. “එනිසා සෞඛ්‍ය සේවකයින් වන ඔබට, ආන්ඩුව විසින් සිදු කරන ලද විනාශය පැහැදිලි කිරීම අවශ්‍ය නැහැ. එය සෑම කම්කරුවෙකුගේම, ගොවියෙකුගේම සහ අනෙකුත් පීඩිත ජනතාවගේ ජීවිත තුලින් ගමන් කරනවා,” යැයි ඔහු පැවසීය.
ඔහු මෙසේ සඳහන් කලේය: 'මහජන සෞඛ්‍යයට එල්ල කරන ආන්ඩුවේ සියලුම ප්‍රහාරවල ප්‍රධාන අරමුන, ධනපති ආර්ථිකය පවත්වා ගෙන යමින් ජාත්‍යන්තර සංගත හා මහා ව්‍යාපාරිකයන් සඳහා උපරිම ලාභ සුරක්ෂිත කරදීමයි. ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට ඕනෑම ආකාරයක විරුද්ධත්වයක් පෙන්නුම් කරන කම්කරුවන් හා පීඩිත ජනතාව මර්දනය කිරීම සඳහා මිලිටරිය හා පොලිසිය ශක්තිමත් කිරීමට මුදල් වැය කරනවා. ධනේශ්වර ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා දැවැන්ත බදු බර වැඩකරන ජනතාවගේ උර මත පටවා තිබෙනවා'
ගුනදාස, දිග හැරෙමින් පවතින ධනේශ්වර අර්බුදයේ ඓතිහාසික හා ජාත්‍යන්තර සන්දර්භය ගෙනහැර දැක්වීය. කෝවිඩ්-19 වසංගතය සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය 2008 ගෝලීය මුල්‍ය කඩාවැටීමේ බලපෑම ගැඹුරු කර ඇති ආකාරය ඔහු පැහැදිලි කලේය.
ලංකාවේ ආර්ථික අර්බුදය ධනවාදයේ ජාත්‍යන්තර අර්බුදයේ ආන්තික ප්‍රකාශනයක් වන අතර, 2022 අප්‍රේල් මාසයේදී විදේශ නය ගෙවීම පැහැර හැරීමට ආන්ඩුවට බල කෙරුනු බව ඔහු තවදුරටත් පැවසීය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඩොලර් බිලියන 3 ක නයක් අනුමත කිරීමෙන් පසුව ජනාධිපති වික්‍රමසිංහගේ ආන්ඩුව, අර්බුදයේ සම්පූර්න බර කම්කරුවන්ගේ හා පීඩිත ජනතාවගේ මත පැටවීමට ම්ලේච්ඡ කප්පාදු පියවර ක්‍රියාත්මක කරමින් සිටින බව කථිකයා පැවසීය.
'මෙම අර්බුදයට වගකිව යුත්තේ කම්කරුවන්, ගොවීන් සහ අනෙකුත් මහජනතාව නොව, ශ්‍රම සූරාකෑම හරහා අතිමහත් ලෙස ලාභ ගරා ගන්නා දේශීය හා ජාත්‍යන්තර ධනේශ්වර ආයෝජකයින්,' ගුනදාස පැවසීය.
“මෙය වැඩ කරන ජනතාවට අපායක් නිර්මානය කරලා. අධි උද්ධමනය හේතුවෙන් කම්කරුවන්ගේ සැබෑ වැටුප් පහත වැටෙමින් තිබියදීත්, සේවක අර්ථසාධක අරමුදල් ඇතුලු විශ්‍රාම වැටුප් අරමුදල් ද කපා හරිමින්, ලංකාවේ ධනපති ආයෝජකයින් සහ බැංකු, ඔවුන්ගේ ලාභය තවදුරටත් ඉහල නංවා ගැනීමට උත්සාහ කරනවා.'
ඔහු තවදුරටත් කතා කරමින්, ආන්ඩුවේ සහ මහා ව්‍යාපාරිකයන්ගේ කාර්මික පොලිසියක් ලෙස ක්‍රියා කරන වෘත්තීය සමිති, කම්කරු පන්තියට ඉදිරි මාවතක් සැපයීමට අපොහොසත් බැවින්, කම්කරුවන් තමන්ගේම ක්‍රිියාකාරී කමිටු පිහිටුවීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේය.
“මෙම කමිටු හරහා පමනක් ම, කම්කරුවන්ට තම අයිතීන් දිනා ගැනීමට අවශ්‍ය වැඩපිලිවෙල සාකච්ඡා කිරීමටත්, විදුලිය, ටෙලිකොම්, රක්ෂන, අධ්‍යාපන, ප්‍රවාහන හා අනෙකුත් ක්ෂේත්‍රවල කම්කරුවන් සමඟ එකමුතුකම ඇති කිරීමට ක්‍රියාකාරී කමිටු ජාලයක් ගොඩනැගීමටත් හැකි වනු ඇත. මෙම ජාලවල අවසාන අරමුන කම්කරුවන් අතට බලය ලබා ගැනීම සඳහා සටන් කිරීමයි,” පවසමින් ගුනදාස කතාව අවසන් කලේය.
කම්කරුවන් ඔවුන්ගේ අරගල සංවිධානය කරන්නේ කෙසේද සහ කම්කරු පන්තිය බලය ගන්නේ කෙසේද යන්න ගැන සාකච්ඡා වාරයේදී හෙදියක් විමසුවාය.
සෞඛ්‍ය, අධ්‍යාපනය, වතුකරය, වරාය, විදුලිබල සහ අනෙකුත් අංශවල ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ද ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතු බව සෞකක්‍රික සාමාජිකයෙක් පෙන්වා දුන්නේය. දිවයින පුරා කම්කරුවන්ගේ සහ ග්‍රාමීය දිලිඳු ජනතාවගේ ක්‍රියාකාරී කමිටු වලින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත්කරගත් නියෝජිතයින් සහභාගී වන, කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමට සසප කැඳවුම් කරන බව ඔහු පැහැදිලි කලේය.
එවැනි සම්මේලනයක්, සමාජවාදී ප්‍රතිපත්තිවලට කැපවූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීම සඳහා වන සටන පිලිබඳව සාකච්ඡාකර නායකත්වය දෙනු ඇතැයි ඔහු පැවසීය. මෙම අරගලයේදී ලංකාවේ කම්කරුවන්, හතරවන ජාතන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ආරම්භ කරන ලද කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය හරහා අනෙකුත් රටවල පන්ති සහෝදර සහෝදරියන් සමග එක්සත් වනු ඇත.
මහනුවර මහ රෝහලේ ක්‍රියාකාරී කමිටුවේ සහයෝගය පුලුල් කිරීම සඳහා සෑම වාට්ටුවකම සේවකයින් සමඟ රැස්වීම් පැවැත්විය යුතු බවට සාකච්ඡාවේදී යෝජනා විය. මෙම යෝජනාව ඒකමතිකව අනුමත කෙරුනි.
වැඩි වැටුප් ඉල්ලා, 2021 පෙබරවාරි මාසයේ සිට මසකට වැඩි කාලයක් වැඩ වර්ජනයක නිරත වූ මස්කෙලිය ඕල්ටන් වතුයායේ සටන්කාමී කම්කරුවන්ට එරෙහිව, පොලිසිය සහ කලමනාකාරීත්වය ඒකාබද්ධව සිදුකල දඩයම පරාජය කිරීම සඳහා වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව විසින් දියත් කරන ලද උද්ඝෝෂනයට සහාය දක්වමින් සෞකක්‍රික සාමාජිකයෙකු විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් ද රැස්වීමේදී ඒකමතිකව සම්මත විය.
සෞකක්‍රික සාමාජිකයෝ, පසුගිය සෙනසුරාදා රැස්වීම සඳහා මහනුවර රෝහලේ බොහෝ ඒකකවල කම්කරුවන් අමතමින්, දැඩි උද්ඝෝෂනයක නිරත වූහ. එහිදී රෝහල් සේවකයින්ගෙන් බහුතරයක් ගෙවන වාට්ටු හඳුන්වාදීම හෙලා දකිමින් කතා කලහ.
එක් කාර්යාල සේවකයෙක් මෙසේ පැවසුවේය: “රෝහල්වල ඇති සීමිත සම්පත් ගෙවීම් කලහැකි රෝගීන් වෙත මාරු කල විට, ගෙවීම් කල නොහැකි සාමාන්‍ය රෝගීන් සඳහා සේවාවන් තවදුරටත් පිරිහී යනු ඇති. සෞඛ්‍ය කාර්ය මන්ඩලයේ විශ්‍රාමයාම් සහ විදේශ සංක්‍රමන වේගවත් වී තිබෙනවා, නව බඳවා ගැනීම් සිදු වන්නේ නැහැ. අපි දැනටමත් වැඩිපුර වැඩ කරන නමුත් ගෙවන වාට්ටු ඇති කිරීමත් සමඟ මෙය තවත් නරක අතට හැරීමට නියමිතයි.” සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප් බොහෝ විට ගෙවන වාට්ටු වලින් ලැබෙන ආදායම මත රඳා පවතිනු ඇති අතර මෙය නිදහස් සෞඛ්‍ය සේවාවේ “සම්පූර්න බිඳවැටීමකට” තුඩු දෙනු ඇතැයි ඔහු පැවසීය.
ගෙවන වාට්ටු මගින් මහජන සෞඛ්‍ය සේවය තවදුරටත් පිරිහී යනු ඇතැයි හෙදියක් පැහැදිලි කලාය. “දැනටමත් පෞද්ගලික ඔසුසල්වලින් බෙහෙත් මිලදී ගැනීමට රෝගීන්ට සිදුවෙලා. ගෙවන වාට්ටු ක්‍රමය මගින් මේ තත්වය අනිවාර්යයෙන්ම උග්‍ර වෙනවා” යැයි ඇය පැවසුවාය.
පාසල් යන දරුවන් දෙදෙනෙකුගේ මවක් වන එම හෙදිය පැවසුවේ තම දරුවන්ට පෝෂ්‍යදායී ආහාර ලබා දීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවයි. “ඊයේ අපි හතර දෙනෙකුට බිත්තර දෙකක් බෙදාගන්න සිදු වුනා. අපට ආහාර, බෙහෙත් නොමැතිව ජීවත් විය නොහැකියි, ඒවා දිනාගන්න වෙන්නේ අරගලයෙන්. ඒ සඳහා කම්කරුවන්ට ඒකාබද්ධ විප්ලවවාදී වැඩපිලිවෙලක් අවශ්‍යයි” ඇය පැවසුවාය.
ඇඳන් නොමැතිකම හේතුවෙන්, සෞඛ්‍ය කාර්ය මන්ඩල සේවකයින් සහ රෝගීන්ගේ ඥාතීන් අතර ගැටුම් පවා ඇතිවන බව හෙදියන් කිහිප දෙනෙකු පෙන්වා දුනි. “සෑම දෙයකම වගකීම කාර්ය මන්ඩලයටයි පැවරිලා තියෙන්නේ,” එක් හෙදියක් පැවසුවාය. “අපි මුහුන දෙන තත්වය මහජනයාට පැහැදිලි කර ඔවුන් අපගේ අරගලය සමඟ ඒකාබද්ධ කල යුතුයි. වෘත්තීය සමිති මේ ආකාරයේ ඒකාබද්ධ සටනකට සතුරුයි.”
වෘත්තීය සමිති විසින් සෞඛ්‍ය සේවකයින් බෙදා ඇති ආකාරය තවත් හෙදියක් පැහැදිලි කලාය. “සෞඛ්‍ය සේවකයින්ගේ කිසිදු කොටසකට වෘත්තීය සමිති කිසිවක් කර නැහැ. ඔවුන් එක්සත් ක්‍රියාමාර්ගයට සතුරුයි. අද අපට අවශ්‍ය කම්කරුවන් ඒකරාශී කිරීමේ වැඩපිලිවෙලක්. මම සෞකක්‍රික සමඟ එකඟයි,” ඇය ප්‍රකාශ කලාය.
ජාමූඅ නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවල “ප්‍රගතිශීලී” යෝජනා ඇති බව පවසා සිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ජීඑම්ඕඒ) ඇතුලු වෘත්තීය සමිති විසින් කරන ලද ප්‍රකාශ සෞඛ්‍ය සේවකයෝ හෙලා දුටහ.
රෝහලේ මුලුතැන්ගෙයි සේවය කරන සේවකයෙක් මෙසේ පැවසීය: “අපි අතිශයින් ම සූරාකෑමට ලක්වෙලයි ඉන්නේ. අපේ දුෂ්කරතා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. අපි ගෙදර යනකොට අපේ දරුවෝ බඩගින්නේ.”
එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව බලයෙන් පහ කල පසුගිය වසරේ ජනතා නැගිටීම ගැන එක් හෙදියක් කතා කලාය: “අපි ඒ අරගලයට මැදිහත් වුනේ බොහෝ බලාපොරොත්තු ඇතිව, නමුත් වෘත්තීය සමිති, ධනපති පක්ෂ සමග එකමුතුව අපිව පාවා දුන්නා. අපි ගෝඨාභය [රාජපක්ෂ] එලවා දැමූ පසු බලයට පත් කරන්නේ කුමන ආකාරයේ ආන්ඩුවක්ද යන්න කිසිවෙකු පැහැදිලි කලේ නැහැ. ඉදිරි සටන සඳහා අපි අපේම වැඩපිලිවෙලක් සමඟ ඉදිරියට යා යුතුයි. සෑම සේවා ස්ථානයකම ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතුයි.”
