[මෙය On the election of Donald Trump යන මැයෙන් 2024 නොවැම්බර් 07 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තේරී පත්වීම ඇමරිකානු ප්රජාතන්ත්රවාදයේ දිග්ගැස්සුනු අර්බුදයේ තීරනාත්මක සිදුවීමකි; එහි විනාශකාරී ප්‍රතිවිපාක ලොව පුරා දැනෙනු ඇත. 2021 ජනවාරියේ දී පැවති ජනාධිපතිවරනය ප්රචන්ඩ ලෙස පෙරලා දැමීමට උත්සාහ කල ෆැසිස්ට් වාචාලයෙකු, 2024 මැතිවරනය, කොට්ඨාස සහ මහජන ඡන්ද යන දෙකෙන්ම බහුතරයකින් ජයග්‍රහනය කර ඇත. දින 70 කට අඩු කාලයක් තුල ඔහු ධවල මන්දිරයේ යලි-ස්ථාපනය වනු ඇත.
ට්‍රම්ප් සිය දේශපාලන ජයග්‍රහනය වෙනුවෙන ඩිමොක්රටික් පක්ෂයේ බංකොලොත්භාවයට නයගැති වේ. ධනවත් මධ්‍යම පන්තියේ අනන්‍යතා දේශපාලනය සමග බද්ධවීම, කම්කරුවන්ගේ ජීවන තත්වයන් මත උද්ධමනයේ විනාශකාරී බලපෑම පිලිබඳ උද්ධච්ඡ නොතැකීම, යුක්රේනයේ යුද්ධයට සහ ගාසාවේ ජන සංහාරයට අඛන්ඩව දක්වන සහයෝගය ඔවුන්ගේ මැතිවරන පරාජයට පසුබිම සකස් කලේය.
ප්‍රධාන ධනේශ්වර පුවත්පත් දැනටමත් ට්‍රම්ප්ගේ ජයග්‍රහනයේ දේශපාලන ඇඟවුම් අවතක්සේරු කිරීමට උත්සාහ කරමින් සිටී. “ට්‍රම්ප් මහතාගේ තේරී පත්වීම බරපතල තර්ජනයක් මතු කරයි” යනුවෙන් ලියන නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත, “එහෙත් ඔහු ඇමරිකානු ප්රජාතන්ත්රවාදයේ දිගුකාලීන ඉරනම තීරනය නොකරනු ඇතැ” යි පවසයි. ඔහුට තවත් වාරයක් ඉල්ලා සිටීම ව්‍යවස්ථාවෙන් තහනම් කර ඇති නිසා ට්‍රම්ප්, ඉතා ඉක්මනින් ධූරකාලය අවසන්වන ජනාධිපතිවරයෙකු වනු ඇති බව ටයිම්ස් සිය පාඨකයන්ට සහතික කරයි.
මෙය හුදු ප්රාර්ථනාවකි. ට්‍රම්ප් විවෘතව ම ප්‍රකාශ කලේ, මෙය අවසාන මැතිවරනය බවත්, ඔහුගේ ආධාරකරුවන්ට නැවත ඡන්දය ප්‍රකාශ කිරීමට සිදු නොවන බවත් ය. දේශපාලන යථාර්ථය නම්, ට්‍රම්ප්ගේ තේරී පත්වීම, පෙර නොවූ විරූ සමාජ ප්රතිවිප්ලව රැල්ලක් සඳහා වේදිකාව සකසන අතර, ඔහු එය යකඩ සපත්තුවෙන් තලා දැමීමට සැලසුම් කරයි.
ට්‍රම්ප් “ඒකාධිපතියෙකු” වීමටත්, “අභ්‍යන්තර සතුරා” තලා දැමීමට මිලිටරිය යෙදවීමටත් ප්‍රතිඥා දී ඇත. ඔහුගේ සැලසුම, ලේඛනගත නොකල සංක්රමනිකයන් මිලියන 11 ක් පිටුවහල් කිරීමට ය; මෙම මෙහෙයුම සඳහා ප්‍රධාන ඇමරිකානු නගර යුද නීතිය යටතේ තැබීමට අවශ්‍ය වනු ඇත. ඔහු ආදායම් බද්ද ඉවත් කරමින්, පොහොසතුන් සඳහා බදු කප්පාදු කිරීමට සහ සංගත රෙගුලාසි අවසන් කිරීමට පොරොන්දු වී තිබේ. මෙම ප්‍රතිපත්ති කම්කරු පන්තිය මත ඇති කරන විනාශකාරී බලපෑම අතිශයෝක්තියට නැංවිය නොහැක.
ඔහු දේශපාලන අහඹුවක් නොවේ. කෙසේ වෙතත් එය සාක්ෂාත් කරගනිමින්—මෙය ඩිමොක්රටික් පක්ෂයේ දේශපාලන දුස්සහාය අවම කිරීමක් නොවේ—දෙවන ට්‍රම්ප් පරිපාලනයක් බලයට පැමිනීම, එක්සත් ජනපදයේ පවතින සැබෑ සමාජ සබඳතාවලට අනුරූප වන පරිදි, ඇමරිකානු දේශපාලන උපරි ව්‍යුහයේ ප්‍රචන්ඩකාරී ප්රතිසංවිධානයක් නියෝජනය කරයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් කතා කරන්නේ හුදෙක් එක් සාපරාධී පුද්ගලයෙකු ලෙස නොව, පසුගිය දශක තුන හතරක කාලය තුල හැඩගැසී ඇති බලගතු ධනේශ්වර කතිපයාධිකාරයක නියෝජිතයා ලෙස ය. එලෝන් මස්ක්, ජෙෆ් බෙසොස්, පීටර් තීල් සහ ලැරී එලිසන් වැනි අය විසින් මෙහෙයවනු ලබන කෝටිපතියන් සහ ප්රකෝටිපතියන්, ඔවුන්ගේ අවශ්‍යතා සඳහා, ඇමරිකානු සමාජයේ ප්රතිගාමී ප්‍රතිව්‍යුහගත කිරීමක් ක්‍රියාත්මක කිරීමට ට්‍රම්ප් යොදා ගනිමින් සිටිති. ට්‍රම්ප් යලිත් වරක් ධවල මන්දිරයේ තැන්පත් වූ විගස, ඔවුන්, මුදා හරිනු ලබන මර්දනකාරී හා සමාජීය වශයෙන් ප්රතිගාමී පියවර මාලාව සූදානම් කිරීම සඳහා ජනවාරි 20 දිවුරුම්දීම දක්වා කාලය භාවිතා කරනු ඇත.
ජනගහනයෙන් අතිමහත් බහුතරයකගේ අවශ්‍යතා පිලිබඳ කිසිදු ප්‍රකාශයට පත්වීමක් දේශපාලන සංස්ථාපිතය තුල නොමැති වීම ගසාකෑමට ඔහුට හැකි විය. හැරිස්ගේ උද්ඝෝෂනය කම්කරු පන්තියට මොනයම් හෝ සමාජ ආයාචනයක් කිරීමට එරෙහි විය. ලිස් චෙනී වැනි වෛරයට පාත්‍ර වූ යුදවාදීන් ප්‍රවර්ධනය කරමින් සහ රිපබ්ලිකානුවන් කැබිනට් මන්ඩලයට පත් කිරීමට පොරොන්දු වෙමින්, ඔවුන් තම උද්ඝෝෂනය යොමු කලේ වඩාත් ධනවත් ඡන්දදායකයින් වෙත ය.
හැරිස්, බැරැක් ඔබාමා සහ අනෙකුත් ඩිමොක්රටික් නියෝජිතයින් රට පුරා සංචාරය කලේ, හැරිස් වෙනුවෙන් පෙනී සිටීමට අපොහොසත් වීම, ස්ත්‍රී-විරෝධයට හෝ වර්ගවාදයට දෙන සහයෝගයක් වනු ඇතැයි ඡන්දදායකයින්ට දේශනා කරමිනි. ඔවුන් තම තොරක් නැති ආයාචනයන් තුල, වාර්ගික සහ ස්ත්‍රී-පුරුෂ අනන්‍යතාවයත්, විදේශයන්හි යුද්ධ සම්පූර්නයෙන් අනුමත කිරීමත් ඒකාබද්ධ කලහ. ඩිමොක්රටිකයෝ ගාසා තීරයට ඊශ්‍රායලයෙන් එල්ල වන ජන සංහාරක ප්රහාරයන්ට තවදුරටත් සහාය දෙන බවට ප්‍රතිඥා දෙමින්, යුක්රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය උත්සන්න කිරීමට කැඳවුම් කලහ.
එක්සත් ජනපදය තුල උත්සන්න වෙමින් පවතින සමාජ අර්බුදය ආමන්ත්රනය කිරීමට කිසිවක් ඉදිරිපත් නොකල ඩිමොක්රටික් පක්ෂය, ඒ වෙනුවට, රට “නිවැරදි මාවතේ ගමන් කරන බව” පෙන්වා දුන්හ. ඔවුන් එසේ කලේ, එහි ප්රතිවිරුද්ධය ඒකමතිකව විශ්වාස කරන ජනගහනයකට ය. බර්නි සැන්ඩර්ස් සහ ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් වැනි පුද්ගලයෝ, බයිඩන්-හැරිස් පරිපාලනය වැඩකරන ජනතාව සඳහා කොන්දේසි වැඩි දියුනු කර ඇති බවටත්, හැරිස් “ප්‍රකෝටිපති පන්තියේ” ආධිපත්‍යයට අභියෝග කරනු ඇති බවටත් වූ විකාරසහගත බොරුව ඉදිරිපත් කලෝය. කම්කරු පන්තිය වනාහි, “කමකට නැති එවුන්ගෙන්” සමන්විත වූවක් ය, යන හිලරි ක්ලින්ටන්ගේ 2016 ප්‍රකාශය අනුකරනය කරමින්, බයිඩන් මැතිවරනයේ අවසන් දිනවල ට්‍රම්ප්ගේ ආධාරකරුවන් “කුනු ගොඩවල්” ලෙස හැඳින්වීය.
ට්‍රම්ප්ට ලැබුනු සමස්ත ඡන්ද ප්‍රමානය, 2020 ට සාපේක්ෂව අඩු වී ඇති බව පෙනේ; එසේම, හැරිස්, 2020 දී ජෝ බයිඩන්ට වඩා මිලියන 10 ත් 15 ත් අතර අඩු ඡන්ද ප්‍රමානයක් ලබාගෙන ඇති අතර ඩිමොක්‍රටිකයින්ට ලැබුනු සහයේ දැවැන්ත කඩා වැටීමක් දක්නට ලැබේ.
හැරිස්, රටේ සෑම කලාපයකම බයිඩන්ට වඩා අඩු සාර්ථකත්වයක් ලබා තිබුනි. අනන්‍යතාවයට ආයාචනා කිරීම මත පදනම් වූ හැරිස්ගේ උද්ඝෝෂනය පිටුපසින් සිදුවූ, විවිධ වාර්ගික සහ ස්ත්‍රී-පුරුෂ කන්ඩායම් චාටුවෙන් රැවටීමේ ඩිමොක්රටික් පක්ෂයේ උත්සාහය සම්පූර්නයෙන්ම අසාර්ථක විය. සුදු-ජාතිකයින් නොවන ජනගහනය සියයට 50 කට වඩා සිටින ප්‍රාන්තවල, ට්‍රම්ප් විශාලතම වැඩි ඡන්ද පරතරයක් අත්දුටුවේය; එසේම, ඡන්දය මධ්‍යස්ථාන වලින් පිටව යන පුද්ගලයන් පාදක කරගත් සමීක්ෂන (බිහිදොර ඡන්ද) වලින් පෙනී යන්නේ, හැරිස්, ජාතික වශයෙන් ලතින් ඇමරිකානු පිරිමින්ගේ ඡන්ද සියයට 54-44 ක පරතරයකින් පරාජය වූ බවයි; එය, එම ජන ප්‍රවර්ගය තුල, බයිඩන් සියයට 59-39 ක පරතරයකින් ජය ගත් 2020 ප්‍රතිඵල ආපසු හැරීමකි.
ගාසාවේ ජන සංහාරයේ දුස්-සහායක අපේක්ෂකයාට ඡන්දය දීම, ගැනිය නොහැකි තරම් තරුනයන් විසින් ප්‍රතික්ෂේප කල හෙයින්, ඩිමොක්රටික් පක්ෂය තරුන ඡන්දදායකයින් දිනාගත් පරතරය ද 2020 සිට සැලකිය යුතු ලෙස පහත වැටුනි. හැරිස්, නව යොවුන් ඡන්දදායකයින් දිනා ගත්තේ බයිඩන්ගේ සියයට 65-31 ක පරතරයට සාපේක්ෂව සියයට 56-41 කින් පමනි. ට්‍රම්ප්, ප්‍රථම වතාවට ඡන්දයදුන් තරුන-තරුනියන් යක් අතරින් බහුතර ඡන්ද ලබා ගත් අතර, එය ධනවත් ඉහල මධ්‍යම පන්තියෙන් ඔබ්බට ඡන්දදායකයින් සක්‍රීය කිරීමට ඩිමොක්‍රටිකයින්ට නොහැකි වූ බවට ලකුනකි.
ඇත්ත වශයෙන්ම, හැරිස්ගේ වර්ධනයක් ඇත්තේ ධනවත් අය අතර පමනි. ඩොලර් 200,000 හෝ ඊට වැඩි ආදායමක් ඇති ඡන්දදායකයින්ගෙන් ඇය සියයට 52-44 ක් දිනා ගත් අතර, 2020 දී එම ආදායම් සීමාව තුල ට්‍රම්ප්ගේ ජයග්‍රහනය හරියටම ආපසු හැරවිය. ට්‍රම්ප් 2020 දී ඩොලර් 100,000 ත් 200,000 ත් අතර ආදායමක් ඇති ඡන්දදායකයින් සියයට 58-41 ක පරතරයකින් ජයග්‍රහනය කල නමුත් හැරිස් ජයග්‍රහනය කලේ සියයට 53-45 කිනි. 2020 දී බයිඩන් දල වශයෙන් සියයට 57-43 ක පරතරයකින් දිනාගත්, ඩොලර් 30,000 ත් 100,000 ත් අතර ඉපැයීම් සීමාවේ පුලුල් ජනගහන පරාසය හැරිස්ට අහිමි වීමත් සමග, ඩිමොක්රටිකයෝ වැඩකරන ජනතාවගේ සහයෝගයේ බිඳවැටීමක් ඒ සමගම අත්දුටහ.
ඡන්දදායකයන් ගැඹුරු සමාජ කෝපයකින් මෙහෙයවනු ලැබීය. “අද රටේ දේවල් සිදුවෙමින් පවතින ආකාරය” ගැන “සතුටට පත් නොවන” බව පැවසූ ඡන්දදායකයින්ගෙන් සියයට 43 ක් අතරින් ට්‍රම්ප් සියයට 54-44 ක් දිනා ගත්තේය. ඔවුන් “කෝපයෙන්” සිටින බවට පිලිතුරු දුන් සියයට 29 අතරින් ට්‍රම්ප් සියයට 71-27 ක් දිනා ගත්තේය. අද ආර්ථික හා සමාජීය තත්වයන් ගැන “උද්යෝගිමත්ව” සිටින ජනගහනයේ කුඩා තීරුවෙන් හැරිස් සියයට 89-10 ක් දිනා ගත්තාය. වසර හතරකට පෙර සිය මූල්‍ය තත්වය සමග සන්සන්දනය කිරීමෙිදී අද තත්වය “නරක” බව ජනගහනයෙන් සියයට 45 ක් පැවසූහ. එය දෙගුනයකටත් වඩා වැඩිවීමකි. එම ප්‍රවර්ගය තුල සියයට 80-17 ක පරතරයකින් ට්‍රම්ප් ජය ගත්තේ ය.
ට්‍රම්ප් සහ රිපබ්ලිකානුවන් තමන් සමාජ වෙඩිබෙහෙත් පීප්පයක් මත සිටින බවත්, ඔවුන් ක්‍රියාවට නැංවීමට සැලසුම් කරන දක්ෂිනාංශික ප්‍රතිපත්ති සමාජ කෝපය ගැඹුරු කරන බවත් හොඳින් දනිති. ඔවුන්ගේ මූලෝපාය වන්නේ, සියලු සමාජ ව්‍යාධීන් සඳහා සංක්රමනිකයන් බිල්ලට ගැනීමේ ෆැසිස්ට් ව්‍යාපාරයක් සමග දැවැන්ත පොලිස් රාජ්‍ය මර්දනය ඒකාබද්ධ කිරීමයි. සංක්රමනිකයන්ට එරෙහි ට්‍රම්ප්ගේ දුෂ්ට ප්‍රහාරවලින් ඡන්දදායකයින් රැවටුනු බව 'බිහිදොර ඡන්ද' වලින් ඇඟවෙන්නේ නැතත්, විශාල බහුතරයක් පවසන්නේ, සංක්රමනිකයන් සමූහ වශයෙන් පිටුවහල් කිරීමට වඩා, පුරවැසිභාවය සඳහා මාර්ගයක් ලැබිය යුතු යැයි තමන් විශ්වාස කරන බවයි. නමුත්, ට්‍රම්ප්ගේ පලමු පරිපාලනය ලමා ක්‍රීඩාවක් ලෙස පවා පෙනෙන පරිමානයෙන්, සංක්රමනික කම්කරුවන්ට එරෙහිව දැවැන්ත හා ප්රචන්ඩ ප්‍රහාරයක් සඳහා වේදිකාව සකසා ඇති බව ඔවුහු පැවසූහ.
යුද්ධයට විරුද්ධ බව පෙන්වන ට්‍රම්ප්ගේ වාචාල ප්‍රකාශවලට ඩිමොක්රටික් පක්ෂයේ මුල්බැසගත් යුදවාදීන්ගේ ඡන්ද නොලැබීමට ඉඩ තිබුනද, ඔහුමත්, චීනය, ඉරානය සහ උතුරු කොරියාව සමඟ තීව්ර ගැටුමක් වෙනුවෙන් පෙනී සිටින කුරිරු අධිරාජ්‍යවාදී දේශපාලනඥයෙකි.
බදාදා සවස හැරිස්ගේ යටත්වීමේ ප්‍රකාශයෙන් පැහැදිලි වන පරිදි, ට්‍රම්ප්ගේ මැතිවරන ජයග්‍රහනයට ඩිමොක්රටික් පාක්ෂිකයන්ගේ ප්‍රතිචාරය වනු ඇත්තේ සම්මුතියක් සහ සභාගයක් සෙවීමයි. පැමිනෙන ට්‍රම්ප් පාලන තන්ත්රයේ ආඥාදායක ස්වභාවය ගැන කිසිදු අනතුරු ඇඟවීමක් කර නොමැති ඇය, ඇමරිකානු ෆූහ්රර් (ඇඩොල්ෆ් හිට්ලර්ගේ වෘත්තීය නාමය) කෙනෙකු බවට පත් වීමට නියමිත පුද්ගලයාගේ ආගමනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ප්‍රතිඥා දුන්නාය. ඔවුන්ගේ කේන්ද්‍රීය ප්‍රමුඛතාවය වන යුද්ධය උත්සන්න කිරීම පිලිබඳව රිපබ්ලිකානුවන් සමග ගිවිසුමක් ඇති කර ගැනීමට උත්සාහ කරන අතරම, ඩිමොක්රටිකයෝ තව දුරටත් දකුනට මාරු වනු ඇත්තාහ.
ට්‍රම්ප්ගේ දේශපාලන හා සමාජ වැඩපිලිවෙලේ ප්රතිගාමී ස්වභාවය ප්‍රමානවත් තරම් පැහැදිලි වනු ඇත. පාලක පන්තිය රාජ්‍යය ප්‍රතිව්‍යුහගත කිරීමට උත්සාහ කරන විට, පන්ති රේඛා ඔස්සේ දේශපාලනයේ ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු විය යුතුය. ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් ලියා ඇති පරිදි, ට්‍රම්ප්ගේ තේරී පත්වීම, “කම්කරු පන්තික දිශානතියක් සහිත ඕනෑම වැඩපිලිවෙලක් ඩිමොක්රටික් පක්ෂය විසින් දීර්ඝ-කාලීනව සහ හිතාමතාම ප්‍රතික්ෂේප කිරීමේ විනාශකාරී ප්රතිඵලයයි...
එක්සත් ජනපදයේ, නව මාක්ස්වාද-විරෝධය දිගුකාලීන කොමියුනිස්ට්-විරෝධී සම්ප්රදාය සමඟ මිශ්‍ර වී බවතී. කම්කරු පන්තියේ සටන්කාමීත්වයට යම් ආකාරයකින් සම්බන්ධිත වාමාංශික-දේශපාලනය අතුරුදහන් වී ඇත. කම්කරු පන්තියේ වියදමින් සමාජයේ කුඩා කොටසක් තුල ධනය විශාල වශයෙන් සංකේන්ද්‍රනය වීම පිලිබඳ ඕනෑම බරපතල තැකීමක්, අනන්‍යතාවය හා සම්බන්ධ දුක්ගැනවිලි මගින් විස්ථාපනය විය.
ඩිමොක්රටික් පක්ෂය විසින් ප්‍රවර්ධනය කරන ලද දක්ෂිනාංශික දේශපාලනයේ මෙම ස්වරූපය ප්‍රවර්ධනය කල අය, දැන් මැතිවරනයට දක්වන සියලුම ප්‍රතිචාර අතරින් වඩාත්ම බංකොලොත් ප්‍රතිචාරය වෙත යොමු ව තිබේ: එනම් ජනතාවට දොස් පැවරීමයි.
ඇත්ත වශයෙන්ම, පසුගිය වසර තුල ගාසාවේ ජන සංහාරයට එරෙහි මහජන විරෝධතාවල සිට සංගතවාදී වෘත්තීය සමිති උපකරනයේ පාලනයෙන් මිදීමට වෙර දරන කම්කරුවන්ගේ වැඩවර්ජන ක්‍රියාමාර්ගවල අඛන්ඩ වර්ධනයක් දක්වා දේශපාලන හා සමාජ විරෝධයේ පුපුරන සුලු වර්ධනයක් දැකගත හැකි විය. දැවැන්ත සමාජ අරගල ක්ෂිතිජයේ පවතී.
මෙම අරගල දේශපාලනිකව මෙහෙයවිය යුතු අතර, ෆැසිස්ට්වාදය නැවැත්විය හැක්කේ, දේශපාලන ප්රතිගාමිත්වයේ සහ කතිපයාධිකාරයේ මූලාශ්‍රය වන ධනේශ්වර ක්‍රමයට එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් වර්ධනය කිරීමෙන් පමනක් ය යන අවබෝධය මත ඒවා මෙහෙයවීමෙනි. කම්කරු පන්තිය මත පදනම් වූ සහ ජාත්‍යන්තර මූලෝපායකින් සප්රානික වූ, අව්‍යාජ සමාජවාදී දේශපාලනයක “නව උපතක්” සිදුවිය යුතුව ඇත.
සමාජවාදී සමානතා පක්ෂය, ජෝසප් කිෂෝර් සහ ජෙරී වයිට්ගේ ජනාධිපතිවරන ව්‍යාපාරය හරහා, යුද්ධයට, අසමානතාවයට සහ ඒවා බිහිකරන ධනේශ්වර ක්‍රමයට එරෙහිව ජාත්‍යන්තර, සමාජවාදී වැඩපිලිවෙලක් මත කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට පියවර ගත්තේය. මෙම වැඩපිලිවෙල දැන් ඊටත් වඩා හදිසි අභියෝගයක් බවට පත්ව තිබේ. ඉදිරි කාල පරිච්ඡේදය තුල, යුද්ධයට, ආඥාදායකත්වයට හා අසමානතාවයට එරෙහිව සහ සමාජයේ සමාජවාදී පරිවර්තනය සඳහා කම්කරුවන් හා තරුනයන්ගේ වැඩෙන ව්‍යාපාරයක නායකත්වය දිනා ගැනීමට සමාජවාදී සමානතා පක්ෂය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සටන් කරනු ඇත.