ජනවාරි 3 වන දින, පේරාදෙනිය වැඩබලන උප කුලපති (ඒවීසී) රංජිත් පල්ලේගම, “ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේද” යන මාතෘකාව “ආන්ඩුවට අභියෝග කරන” ලෙස නොපෙන්වන පරිදි වෙනස් නොකලහොත්,” එම මාතෘකාව යටතේ පැවැත්වීමට නියමිත දේශනය නතර කරන ලෙස නියෝග කලේය. සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානයේ කථිකයෙකු විසින් දේශනය පැවැත්වීමට සූදානම් කර තිබුනි.
සරල භාෂාවෙන් කිවහොත්, ඒවීසී ගේ නියෝගය වූයේ, ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ආන්ඩුවට දේශනය අභියෝගයක් නොවිය යුතු බවයි.
දේශපාලන හා සමාජීය කරුනු පිලිබඳ සාකච්ඡා සංවිධානය කිරීමේ තම අධ්‍යයන වැඩකටයුතු වල කොටසක් ලෙස, මෙම රැස්වීමට අනුග්‍රහය දක්වන ලද්දේ දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමය (දේවිශිසං) විසිනි. ජාමූඅ කප්පාදුව, ශ්‍රී ලංකාවේ කම්කරුවන්, ග්‍රාමීය ජනතාව සහ තරුනයින් සම්බන්ධයෙන් තීරනාත්මක ම ප්රශ්නයයි.
පේරාදෙනිය ඒවීසී ගේ ක්‍රියාව, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ, දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමයේ, ශාස්ත්රාලිකයින්ගේ සහ සසජාතශි හි ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්වලට එල්ල කරන ලද ප්රහාරයකි. සසජාතශි වහාම තහනම හෙලා දකින නිවේදනයක් නිකුත් කරමින්, එය අවලංගු කරන ලෙසත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කරන ලෙසත් ඉල්ලා සිටියේය.
තොරතුරු ප්‍රවේශමෙන් තක්සේරු කල, සසජාතශි ප්‍රකාශය මෙසේ සඳහන් කලේය: “දේශනය අවලංගු කිරීමේදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)/ජාතික ජන බලවේගය (ජාජබ) ආන්ඩුව භූමිකාවක් ඉටු කල බවට ප්‍රබල ඇඟවීම් තිබේ.”
අධ්‍යාපන අමාත්‍යවරිය ද වන අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය, දේශනයේ අරමුන පිලිබඳව විමසා ඇති බවට විශ්වාසදායක තොරතුරු ඇති බව එහි සඳහන් විය. ප්‍රකාශය අවසන් කලේ: “දේශනයේ විභවය බලපෑම පිලිබඳව ජවිපෙ/ජාජබ ඉහලම මට්ටම්වල සාකච්ඡා පවතින්නට ඇත...”
ජනවාරි 8 වන දින, පාලක ජවිපෙ/ජාජබ මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර, ජනවාරි 4 වන දින ලෝසවෙඅ හි පල කරන ලද ඉහත සඳහන් සසජාතශි ප්‍රකාශය ගැන සඳහන් කරමින්, පාර්ලිමේන්තුවේදී අගමැතිවරියගෙන් ප්‍රශ්න දෙකක් ඇසුවාය.. පලමු ප්රශ්නය වූයේ: “එවැනි සම්මන්ත්‍රනයක් How to fight against IMF austerity නමින් සම්මන්ත්‍රනයක් පැවත්වීම රජයේ ප්‍රතිපත්තියට විරුද්ධය යන ස්ථාවරය රජයේ ස්ථාවරය ද?'
දෙවන ප්රශ්නය වූයේ: “විශ්ව විද්‍යාල පරිපාලනය, ශිෂ්‍ය සංගම් විසින් සංවිධානය කරන එවැනි සම්මන්ත්රන වලක්වන විට, ආන්ඩුවට [එය වෙනස් කිරීමට] පියවර ගත හැකිද?” යන්නයි.
ආචාර්ය අමරසූරිය මෙසේ පිලිතුරු දුන්නා ය: “විශේෂයෙන්ම එම ආයතන තුල අධ්‍යන නිදහස ඇකඩමික් ෆ්‍රීඩම් යන්න අපි ඉහලින් පිලිගන්න සහ ඒ සඳහා දියහැකි උපරිම නිදහස දෙන්න සූදානම් ආන්ඩුවක්. ඒ නිසා එම වාර්තාවේ තිබෙන හැටියට මම කිසි විටෙක අග්‍රමාත්‍යතුමිය හැටියටත් විෂයභාර අමාත්‍යවරිය හැටියටවත් අපේ කාර්යාලයෙන් හෝ අමාත්‍යාංශයෙන් කිසිවිටෙක කිසිම මැදහත්වීමක් කරලා නෑ. ඒක සම්පූර්න අසත්‍යය තොරතුරක්..'.
දෙවන ප්‍රශ්නයට පිලිතුරු දෙමින් අගමැතිතුමිය පැවසුවේ, අධ්‍යයන නිදහස පිලිබඳ තීරන, විශ්ව විද්‍යාල මට්ටමින් ගත යුතු බවයි. “ඒක සිද්ධ වෙන්නෙ නැති අවස්ථාවලදී රජය මැදිහත් විය යුතුයි. .'
ජවිපෙ/ජාජබ ජනතාව රැවටීමට මෙවැනි වාචාල දෙඩවීම පිලිබඳව කුප්රකටය; නමුත් යථාර්ථයේ දී ඔවුන් කරන්නේ එහි ප්රතිවිරුද්ධයයි. සසජාතශි, තම දේශනය තහනම් කිරීම පිටුපස ආන්ඩුවේ හස්තය ඇති බවට කර ඇති ප්‍රකාශය සත්‍ය එකක් බව පැහැදිලිව ම කියා සිටී.
හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ ප්‍රශ්න සහ අගමැතිනියගේ පිලිතුරු, රැස්වීම තහනම් කිරීම පිලිබඳව ආන්ඩුවේ වගකීම වසන් කිරීමේ මහජන සම්බන්ධතා ව්‍යායාමයක කොටසකි. මෙම මැදිහත්වීම සිදුකලේ, ඒවීසී නියෝගයෙන් කෝපයට පත් වූ ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව කීර්තිමත් විද්වතුන්, බුද්ධිමතුන්, සිසුන් සහ කම්කරුවන් ඔහුගේ ක්‍රියාව හෙලා දකිමින් ප්‍රකාශ නිකුත් කිරීමත් සමඟය. වැඩබලන උපකුලපතිගේ ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාව භාෂනයේ සහ ප්රකාශනයේ නිදහස ආරක්ෂා කරගැනීම පිලිබඳව සාකච්ඡාවක් අවුලුවා තිබේ. මෙම ක්‍රියාව හෙලා දකිමින් සමාජ මාධ්‍ය තුල බොහෝ අදහස් පල වෙමින් පවතී.
රැස්වීම තහනම් කිරීමෙන් පසු, ජනවාරි 4 වන දින, පාර්ලිමේන්තු මන්ත්‍රිනී හේමචන්ද්‍ර, ජවිපෙ/ජාජබ ආධාරකාරියක් වන ගීතිකා ධර්මසිංහ ගේ ෆේස්බුක් ගිනුමේ සටහනක් තැබුවා ය. මන්ත්‍රීවරිය මෙසේ පවසා තිබුනි: “මා දන්නා තරමින් අගමැති කාර්යාලය දැනටමත් ලෝසවෙඅ කාර්යාලයට ලිපියක් යවා ඇත. සමාජවාදීන් බොරු නොකිය යුතුයි! මෙය බොරුවකි.”
සසජාතශි පවසා ඇත්තේ සත්‍යය යි. හේමචන්ද්‍ර වැනි ධනේශ්වර දේශපාලනඥයෝ සමාජවාදීන්ට “බොරු නොකියන ලෙස” උපදෙස් දෙති; හරියට, පික්පොකට්කාරයා අනෙකාට ඇඟිල්ල දික්කරන්නාක් මෙනි.
එදින ම, අගමැති කාර්යාලය සසජාතශි වෙත ලිපියක් යවා ඇතිබවත් එහි අන්තර්ගතයත් මන්ත්‍රීවරිය දැන සිටියා ය. සසජාතශි ප්‍රකාශයේ සඳහන් කල පරිදි, “දේශනය ඇතිකල හැකි බලපෑම පිලිබඳව ජවිපෙ/ජාජබ ඉහලම මට්ටම්වල සාකච්ඡා කරන්නට ඉඩ ඇත...” යන කරුන, එය සනාථ කරයි. සසජාතශි චෝදනාවට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිලිබඳව සාකච්ඡාවක් තිබෙන්නට ඇති බව ද එයට එකතු කල යුතුය.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් එස්. විජිත බස්නායක ලෝසවෙඅ ට එවූ විද්‍යුත් ලිපියක් අනෙකුත් මාධ්‍ය ආයතන වෙත ද යවා ඇත.
ඇතැම් මාධ්‍ය, අගමැති මාධ්‍ය ලේකම්වරයාගේ ප්‍රකාශය පල කල මුත්, සසජාතශි ප්‍රකාශයට ඒ හා සමාන ප්‍රසිද්ධියක් ලබා නොදීමට තීරනය කර ඇතිබව පෙනේ. බස්නායකගේ ප්‍රකාශයේ අන්තර්ගතය, අමරසූරිය පාර්ලිමේන්තුවට පැවසූ දේට බොහෝ දුරට සමාන විය.
හේමචන්ද්‍ර, අගමැතිනියගේ ලිපිය ගැන ක්ෂනිකව දැන සිටියද, ඇය අගමැතිනියගෙන් ඇගේ ප්‍රශ්නවලට පිලිතුරු ඉල්ලා සිටියේ, දින හතරකට පසු, ජනවාරි 8 වන දින ය. මෙම ප්‍රශ්න දෙක පාර්ලිමේන්තුවේදී මතු කිරීමේ සහ පිලිතුරු දීමේ අරමුන, මූලික ප්රජාතන්ත්රවාදී අයිතියට ආන්ඩුව විසින් එල්ල කරන ලද ප්‍රහාරය පිලිබඳ මහජන සාකච්ඡාවට නැවතීමේ තිත තැබීමයි. මෙම උත්සාහය නිෂ්ඵල බව ඔප්පු වී ඇත.
පේරාදෙනිය විශ්ව විද්‍යාලය මෙම දේශනය තහනම් කිරීම අතිශයින් අර්ථභාරී වේ.
පලමුවෙන්ම, අපගේ එක් ලිපියක සඳහන් කල පරිදි, “ජාමූඅ කප්පාදුව පරාජය කරන්නේ කෙසේද?” යන දේශනයේ මාතෘකාව, ආන්ඩුවේ මර්මස්ථානයට අතතබා ඇත, මන්ද, ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල ආන්ඩුවේ ප්රතිපත්තිවල කේන්ද්‍රය බැවින් එය අභියෝගයට ලක්වීමක් ඊට ඉවසා සිටිය නොහැක.
දෙවනුව, එය ජනාධිපති දිසානායකගේ නායකත්වයෙන් යුත් ජවිපෙ/ජාජබ දක්ෂිනාංශික ආන්ඩුව යටතේ දේශපාලන පක්ෂයකට එල්ල වූ පලමු ප්‍රහාරය මෙන් ම, සමාජවාදී පක්ෂයකට එල්ල වූ පලමු ප්‍රහාරය ද වේ .
සසජාතශි හි ශ්‍රී ලංකා ශාඛාව, හජාජාක විසින් ආරම්භ කරන ලද ජාත්‍යන්තර ව්‍යාපාරයක කොටසකි. හජාජාක ශාඛා වන සමාජවාදී සමානතා පක්ෂ (සසප) පවතින රටවල, මෙම තරුන සංවිධානය එම පක්ෂ සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක වේ.
සසජාතශි සමඟ සහයෝගීව, ශ්‍රී ලංකාවේ සසප පමනක් ම, ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට පත් වූයේ කෙසේ ද සහ එසේ වූයේ ඇයි ද යන්න දේශපාලනිකව විශ්ලේෂනය කලේය. දූෂිත, ප්‍රභූ පවුල් විසින් ආධිපත්‍ය දරන සාම්ප්‍රදායික පක්ෂ කෙරෙහි මහජනයා අතර පැතිර පවතින කෝපය ගසාකෑමට, ජවිපෙ/ජාජබ ජනතාව රැවටීම සඳහා බොරු පොරොන්දු දෙමින් ක්‍රියාකල ආකාරය, අපි පැහැදිලි කලෙමු. ජනතාව මෙම පක්ෂයට ඡන්දය දුන්නේ එහි පොරොන්දු පිලිගැනීමට වඩා මෙම පක්ෂවලට එරෙහිව ඔවුන්ගේ වෛරය ප්‍රකාශ කිරීමට ය.
දැවැන්ත දේශපාලන අර්බුදයක ගිලී පවතින ධනේශ්වර ක්‍රමය බේරා ගැනීම සඳහා අවසාන විකල්පයක් ලෙස, ධනේශ්වරයේ සැලකිය යුතු කොටසක් ජවිපෙ නායකත්වයෙන් යුත් පක්ෂයට කැමැත්තක් දැක්වූහ. එමෙන්ම, එහි කම්කරු පන්ති විරෝධී, ෆැසිස්ට් ප්රවනතා සහ මුර්ග අතීත වාර්තාව දැන සිටියහ. අධිරාජ්‍යවාදී රටවල් සමග, විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය තාන්ත්‍රිකයින් සමඟ සමීප සබඳතා ගොඩනඟා ගනිමින් සහ ජාමූඅ ප්‍රතිපත්ති අකුරටම ක්‍රියාත්මක කිරීමට පොරොන්දු වෙමින්, එය තම අධිරාජ්‍ය ගැති විශ්වාසවන්තකම ඔප්පු කර තිබේ.
මැතිවරන ව්‍යාපාරය අතරතුර, මහජනතාව රැවටීම සඳහා, ජවිපෙ/ජාජබ සහ දිසානායක ප්‍රකාශ කලේ, තමන්, ජාමූඅ වැඩපිලිවෙල සම්බන්ධයෙන් “නැවත සාකච්ඡා” කිරීමට සූදානම් බවයි. කෙසේ වෙතත්, මුඛයෙහි අනෙක් පැත්තෙන්, ඔවුහු මහා ව්‍යාපාර සහ ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයට පොරොන්දු වූයේ, කප්පාදු වැඩපිලිවෙල අකුරටම ක්‍රියාත්මක කරන බවයි.
ජාමූඅ කප්පාදුවට එරෙහිව සටන් කිරීමේ වැඩපිලිවෙල ඉදිරිපත් කර ඇත්තේ සසප සහ සසජාතශි පමනි. ජාමූඅ ප්‍රතිපත්ති සහ ධනේශ්වර රාමුවට කැපවූ සියලුම ධනේශ්වර පක්ෂවලින්, ඔවුන්ගේ ව්‍යාජ-වාම හෙන්චයියන්ගෙන් සහ වෘත්තීය සමිති මෙවලම්වලින් ස්වාධීනව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම අපි ඉල්ලා සිටියෙමු.
ගෝලීය අර්බුදයෙන් ගැඹුරු වූ ආර්ථික අර්බුදයේ බර පැටවීමෙන් උග්‍ර ව පතින සමාජ ගැටලු සඳහා ජාතිකව හෝ ධනවාදය තුල විසඳුමක් නොමැති බව අපි පැහැදිලි කලෙමු. මෙම ප්‍රහාරවලට එරෙහිව තම කාර්මික හා දේශපාලන ශක්තිය බලමුලු ගැන්වීම සඳහා කම්කරුවන් තම සේවා ස්ථානවල සහ සියලු ආර්ථික මධ්‍යස්ථානවල ක්‍රියාකාරී කමිටු ගොඩනඟන ලෙස සසප සහ සසජාතශි යෝජනා කරයි. අරගලය සඳහා තම සහයෝගය රැස් කර ගැනීමට ග්‍රාමීය ජනතාව ද තම ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුතුය.
වැඩ කරන ජනතාවගේ අවශ්‍යතා සඳහා නිෂ්පාදනය ප්‍රතිසංවිධානය කිරීමට හැකි වන පරිදි, රජය-සතු සියලුම ව්‍යවසායන්, විශාල සමාගම්, වතු සහ බැංකු, කම්කරුවන්ගේ ප්රජාතන්ත්රවාදී පාලනය යටතේ ජනසතු කිරීමට අපි යෝජනා කර ඇත්තෙමු. එය මහධනපතියන් ගොඩගසාගෙන සිටින ධනය අත්පත් කර ගැනීමට ඉඩකඩ සලසයි. සියලුම විදේශ නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කල යුතුය. මෙම අරමුදල් අත්‍යවශ්‍ය සමාජ වැඩසටහන්, නිදහස් මහජන සෞඛ්‍යය සහ අධ්‍යාපනය පුලුල් කිරීම සඳහා භාවිතා කල යුතුය.
සසප සහ සසජාතශි, මෙම වැඩපිලිවෙලට සටන් කිරීම සඳහා සාකච්ඡා කර, තීරන ගැනීමට, ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයින් මත පදනම් කරගත් කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්රජාතන්ත්රවාදී සහ සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීම සඳහා කැඳවුම් කරයි. මෙම සටන සඳහා අරගලයේදී ජාත්‍යන්තර කම්කරු පන්තිය සමඟ එක්සත් වීම එහි දී සාකච්ඡා කල යුතුය.
විශේෂයෙන් තරුන කම්කරුවන්, රැකියා විරහිතයන් සහ සිසුන් මෙම අරගලය තුල පෙලගැස්වීම සඳහා සසජාතශි තම දේශපාලන කටයුතු සඳහා කේන්ද්‍රගත කර ඇත.
සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීමට සසප ට සහ සසජාතශි ට බැඳී විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමට අපි හා එක්වන ලෙස කම්කරුවන්ගෙන් සහ තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු.
වැඩිදුර කියවන්න
- පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ සසජාතශි රැස්වීම තහනම් කලේ ඇයි?
- විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (ෆූටා), පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය නිදහසට අතපෙවීම් හෙලා දකී
- ජාමූඅ කප්පාදුවට එරෙහි සසජාතශි දේශනයට පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙන් පැනවූ තහනම හෙලා දකිමු!
- පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සසජාතශි රැස්වීම තහනම් කිරීම සම්බන්ධයෙන් අවිශිබම මුනිවත රකියි