සසජාතශි දේශනය තහනම් කිරීම සාධාරනීකරනය කිරීමට පේරාදෙනිය විශ්වවිද්‍යාලය උත්සාහ කරයි

[මෙය Sri Lanka: Peradeniya University tries to justify ban on IYSSE lecture යන මැයෙන් 2025 ජනවාරි 14 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ටෙරන්ස් මධුජිත් සිකුරාදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් “‘ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේද?’ යන මැයෙන් පැවත්වීමට නියමිතව තිබූ මහජන රැස්වීම පිලිබඳව ඉදිරිපත් වී ඇති අදහස් වෙත අවධානය යොමු කරන” බව කියා සිටියේය.

මෙම ප්‍රකාශය නිකුත් කෙරී ඇත්තේ, ජනවාරි 3 වන දින පැවැත්වීමට නියමිතව තිබූ, එහෙත් වැඩබලන උපකුලපති රංජිත් පල්ලේගම විසින් එදින උදෑසන යවන ලද ලිපියක ප්‍රතිඵලයක් ලෙස තහනම් කරන ලද, සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානයේ රැස්වීමට අදාලවය. රැස්වීමට අනුග්‍රහය දැක්වූයේ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමය (දේවිශිසං) විසිනි.

මෙම මාධ්‍ය නිවේදනයෙන්, සැලසුම් කර තිබූ රැස්වීම අනවසර එකක් බව යෝජනා කරනවා පමනක් නොව, අනාගත රැස්වීම් සඳහා ද අදාල වන පරිදි, විශ්ව විද්‍යාලය තුල අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට දැඩි සීමාවන් පැනවීම පිලිබඳ පෙර-ඇඟවුමක් ද එය තුල පවතී.

අපගේ දේශනය අවලංගු කිරීමෙන් දින හතකට පසු, උපකුලපතිවරයා ඔහුගේ ඊනියා පැහැදිලි කිරීම නිකුත් කිරීමට ඉක්මන් වූයේ, මෙම නිර්ලජ්ජිත ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව ශාස්ත්‍රාලිකයන්, බුද්ධිමතුන්, සිසුන් සහ කම්කරුවන් අතර කෝපය ඇවිලවූ බැවිනි.

පලමුවෙන්ම, මධුජිත් කියා සිටින්නේ, රැස්වීම තහනම් කර නොමැති බවයි; වැඩබලන උපකුලපතිවරයා රැස්වීමේ මාතෘකාව වෙනස් කරන ලෙස අහිංසක ලෙස ඉල්ලා සිටි බවයි. මෙය අසත්‍යයකි. ඉල්ලීම පැමිනියේ පැහැදිලිව ම තර්ජනයක් ලෙසය.

වැඩබලන උපකුලපති දේශපාලන විද්‍යා අංශයේ ප්‍රධානියාට යවන ලද ලිපිය විශේෂයෙන් ප්‍රකාශ කලේ, රැස්වීමේ මාතෘකාව 'රජයේ ප්‍රතිපත්තිවලට අභියෝග කරන බවක් නොපෙනෙන පරිදි වෙනස් කරන ලෙස සහ එසේ නොවුවහොත්, එය වහාම අත්හිටවූ බව' සලකන ලෙසයි.

දෙවනුව, මාධ්‍ය නිවේදනයෙන් ඇඟවුනේ ශිෂ්‍ය සංවිධානය වන දේවිශිසං, විශ්වවිද්‍යාලය තුල නිසි ලෙස ලියාපදිංචි කර නොමැති බව සහ අනුමැතිය ලබා ගැනීම සඳහා අදාල බලධාරීන් හරහා ගොස් නොමැති බවය. එහි ප්‍රතිඵලයක් ලෙස, දේවිශිසං විසින් 'ජාත්‍යන්තර සංවිධානයක්' වන සසජාතශි ට රැස්වීම පැවැත්වීමට අවසර දී තිබේ.

දේවිශිසං සම්බන්ධයෙන් ගත් කල, එය රැස්වීම සඳහා දේශපාලන විද්‍යා අංශ ප්‍රධානියාගෙන් අවසර ලබාගෙන, ඒ සඳහා දේශන කාමරයක් වෙන් කර, සසජාතශි වෙත දැනුම් දෙන ලදී. පසුගිය වසර දෙක තුල දේවිශිසං විසින්, සසජාතශි සඳහා පමනක් නොව, අනෙකුත් සංවිධානවල දේශන සඳහා ද අනුග්‍රහය දක්වා ඇත.

සසජාතශි විසින්, දේවිශිසං අනුග්‍රහයෙන් දේශන කිහිපයක් ම පවත්වා ඇත: 2023 අගෝස්තු 22 වන දින “යුක්‍රේන යුද්ධය සහ එය නවත්වන්නේ කෙසේද”; 2023 ඔක්තෝබර් 26 වන දින “ඓතිහාසික භෞතිකවාදයට හැඳින්වීමක්”; 2023 දෙසැම්බර් 07 වන දින සමාජවාදී සමානතා පක්ෂයේ (ඇමරිකා එක්සත් ජනපදය) ජාතික ලේකම් ජෝ කිෂෝර් විසින් අමතන ලද “ට්‍රොට්ස්කිවාදයේ ශත සංවත්සරය”; සහ 2024 පෙබරවාරි 21 වන දින “කොමියුනිස්ට් ප්‍රකාශනය” පිලිබඳ දේශනය.

බොහෝ සිසුන් මෙන්ම, ඇතැම් අධ්‍යයන හා අනධ්‍යයන සේවකයින් ද, මෙම දේශන සඳහා සහභාගී වී සාකච්ඡා හා වාද විවාද පවත්වා තිබේ.

2023 ඔක්තෝබර් 26 වන දින, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පැවති සසජාතශි දේශනයට සහභාගී වූවන්ගෙන් කිහිප දෙනෙක්

දැන් හදිසියේ ම, සසජාතශි, “ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කරන්නේ කෙසේද?” යන මැයෙන් දේශනයක් පැවැත්වීමට සූදානම් වූ විට, නිසි අවසරය ලබා නොගැනීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල බලධාරීන්, දේවිශිසං සහ සසජාතශි වෙත දොස් පවරයි!

මෙය අහම්බයක් නොවේ. අලුතින් පිහිටුවන ලද ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, දැන් කේන්ද්‍රීයව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැඩි කප්පාදු වැඩපිලිවෙල මුලුමනින්ම ක්‍රියාත්මක කරමින් සිටින බව හෙලිදරව් කරන්නේ සසජාතශි සහ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි. පසුව ප්‍රතික්ෂේප කලේ වුවත්, දේශනය සහ එහි අරමුන පිලිබඳව අගමැති කාර්යාලයෙන් විමර්ශනයක් සිදු වූයේ එබැවිනි.

උපකුලපතිවරයා තම මාධ්‍ය නිවේදනය අවසන් කරන්නේ, “පේරාදෙනිය විශ්වවිද්‍යාලය, අධ්‍යයන නිදහස ආරක්ෂා කිරීමටත්, විවේචනාත්මක විමර්ශන සහ බුද්ධිමය මැදිහත්වීමේ සංස්කෘතියක් වර්ධනය කිරීමටත් ඇති කැපවී සිටියි..” යනුවෙන් කුහක ලෙස ප්‍රකාශ කරමිනි.

කෙසේ වෙතත්, මෙම “විවේචනාත්මක විමර්ශන සහ බුද්ධිමය මැදිහත්වීමේ සංස්කෘතිය' දැඩි ලෙස සීමා කෙරුනකි. මාධ්‍ය නිවේදනයේ මීට කලින් ඡේදයේ ප්‍රකාශ කරන්නේ, විශ්ව විද්‍යාලයේ රැස්වීම් සඳහා, “විශ්ව විද්‍යාලයේ ප්‍රධාන විනයාරක්ෂක, විනය පාලක සහ අනෙකුත් අදාල නිලධාරීන් හරහා නියෝජ්‍ය උපකුලපතිවරයාගෙන්/උපකුලපතිවරයාගෙන්, පූර්ව අවසරය ලබා ගත යුතු” බවට “දැඩි ප්‍රතිපත්තියක්” පවතින බවයි.

විශ්වවිද්‍යාල බලධාරීන් මෙම “දැඩි ප්‍රතිපත්තිය” හදිසියේම සොයා ගෙන ඇත්තේ, එය ඔවුන්ගේ දේශපාලන අරමුනු වලට ගැලපෙන විට ය. සසජාතශි රැස්වීම තහනම් කිරීමේ ලිපියෙන් පෙන්නුම් කෙරෙන පරිදි, ඉලක්කය ඉතා පැහැදිලිය: එය “රජයේ ප්‍රතිපත්තිවලට අභියෝග කරන” රැස්වීමක් හෝ ක්‍රියාකාරකමකි.

එපමනක් නොව, උපකුලපතිවරයා විශේෂයෙන් සසජාතශි ඉලක්ක කර ගන්නේ, ඔහුගේ මාධ්‍ය නිවේදනයේ ඉංග්‍රීසි භාෂා සංස්කරනය තුල නොව, සිංහල භාෂා සංස්කරනය තුල බව පෙනේ.

“තවද මෙම සංගම් මීට පෙර ද, අත්පත්‍රිකා සහ අනෙකුත් ද්‍රව්‍ය බෙදා හරිමින් විශ්වවිද්‍යාලයේ අවසරයකින් තොරව, අනවසර රැස්වීම් පීඨය තුල සංවිධානය කරමින්, පීඨයේ දෛනික අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කිරීමට උත්සාහ දරා ඇති බවට වාර්තා වේ” යනුවෙන් ද එය ප්‍රකාශ කරයි.

අපගේ නම සඳහන් කර නොමැති වුවද, මෙය, සසජාතශි “අවසරයකින් තොරව” දේශපාලන කටයුතුවල නියැලී සිටිනවා පමනක් නොව, “පීඨයේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කිරීමට උත්සාහ කර ඇතැයි” යනුවෙන් කෙරෙන අවලාදයකි. පැහැදිලිවම, මෙය සිසුන් සහ ශාස්ත්‍රාලිකයින් බිය ගැන්වීමට, දේශපාලන විද්‍යා සහ අනෙකුත් පීඨවල දේශපාලන සාකච්ඡා මැඩපැවැත්වීමට සහ සසජාතශි විශ්වවිද්‍යාලයට ඇතුලුවීම තහනම් කිරීමට සූදානම් වීමට දරන උත්සාහයකි.

විශ්වවිද්‍යාල බලධාරීන් සහ ආන්ඩුවේ භීතියට තුඩු දී ඇත්තේ, ජවිපෙ/ජාජබ, පාසල් සහ විශ්වවිද්‍යාල මත පැනවීමට සූදානම් වන දැඩි කප්පාදු පියවරයන්ට සිසුන් විරුද්ධව නැගී සිටිනු ඇති නිසාය. එපමනක් නොව, සසජාතශි හි ආනුභාවය නිසා, සිසුන්, දැවැන්ත සමාජ අර්බුදයකට දැනටමත් මුහුන දී සිටින කම්කරු පන්තිය වෙත හැරී, සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් වූ මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමට දායකවනු ඇතැයි ඔවුහු බියවී සිටිති.

අපි සිසුන්ට, ගුරුවරුන්ට සහ කම්කරුවන්ට මෙසේ අනතුරු අඟවමු: පේරාදෙනිය විශ්වවිද්‍යාල බලධාරීන් විසින්, භාෂනයේ සහ සංවිධානය වීමේ නිදහසට එල්ල කරන ප්‍රහාරයට එරෙහිව සටන් නොකලහොත්, අනෙකුත් විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන සහ පාසල් දක්වා ද එය ව්‍යාප්ත වනු ඇත.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුල සිසුන්ට නිදහසේ දේශපාලන කටයුතුවල නියැලීමේ අයිතිය දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන සම්ප්‍රදායකි. අතීතයේ දී, දේශපාලන පක්ෂ සහ ඒවායේ තරුන සංවිධාන විශ්වවිද්‍යාල තුල ශාඛා පවත්වාගෙන යමින්, ප්‍රසිද්ධ දේශන, රැස්වීම් සහ විවාද සංවිධානය කල අතර, ඇතැම් අවස්ථාවලදී ජාත්‍යන්තර ප්‍රසිද්ධ පුද්ගලයින්ට ද දේශන පැවැත්වීමට ආරාධනා කර තිබේ.

විශ්වවිද්‍යාල සිසුන් අධ්‍යාපනය සඳහා වෙන්කරන මුදල් කප්පාදුවට එරෙහිව දැවැන්ත සහභාගිත්වයෙන් යුත් විරෝධතා සංවිධානය කර ඇති අතර තවත් බොහෝ ප්‍රශ්න සම්බන්ධයෙන් උද්ඝෝෂනවල නිරත වී ඇත. අනුප්‍රාප්තික ආන්ඩු, ප්‍රතිගාමී නවක වදය ගසාකමින්, සිසුන්ගේ නීත්‍යානුකූල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා වඩවඩාත්, නීති සහ රෙගුලාසි ගෙනැවිත් ඇත.

කෙසේ වෙතත්, දැන්, පේරාදෙනිය විශ්වවිද්‍යාල බලධාරීහු, ජවිපෙ/ජාජබ වෙනුවෙන්, රජයේ ප්‍රතිපත්තිවලට අභියෝග කරන දේශපාලන ක්‍රියාකාරකම් තහනම් කිරීමට සූදානම් වෙමින් සිටිති. එය ජවිපෙ/ජාජබ ආන්ඩුවේ දක්ෂිනාංශික ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය පමනක් නොව, ශ්‍රී ලංකා ධනවාදයේ දේශපාලන හා ආර්ථික අර්බුදයේ ඉමහත් ගැඹුර පෙන්නුම් කරන දර්ශකයකි.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට සහ සසජාතශි සංවිධානයට එල්ල කරන මෙම ප්‍රහාරයට දැඩි ලෙස විරුද්ධ වන ලෙස අපි සිසුන්ගෙන් ඉල්ලා සිටිමු.

පහත ඉල්ලීම් මත සටන් වදින ලෙස සසජාතශි ඉල්ලා සිටී:

• “ජාමූඅ කප්පාදුව පරාජය කරන්නේ කෙසේද?” යන සසජාතශි

දේශනයට පනවා ඇති තහනම ඉවත් කරනු.

• භාෂනයේ නිදහසට සහ අධ්‍යයන නිදහසට අත නොතබනු!

• නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරනු! අවශ්‍ය සියලු දෙනාට ම

ප්‍රවේශ විය හැකි ලෙස අධ්‍යාපන පහසුකම් පුලුල් කිරීමට සහ

වැඩිදියුනු කිරීමට බිලියන ගනනින් මුදල් යොදවනු!

• විශ්ව විද්‍යාල ඇතුලු සියලුම උසස් අධ්‍යාපන ආයතනවල සසජාතශි

ශාඛා ගොඩනඟනු!

ඒ සමගම, පේරාදෙනිය විශ්වවිද්‍යාල බලධාරීන් විසින් සසජාතශි දේශනය තහනම් කිරීම හෙලා දකින ලෙස, අපි ඔබෙන් ඉල්ලා සිටිමු. විශ්ව විද්‍යාල බලධාරීන් වෙත විරෝධතා ලිපි යවන්න, පිටපත් සසජාතශි වෙත එවන්න.

වෙත: වැඩබලන උපකුලපති, පේරාදෙනිය විශ්වවිද්‍යාලය

ඊමේල්: vc@pdn.ac.lk

පිටපත: සසජාතශි

ඊමේල්: iysseslb@gmail.com

Loading