පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සසජාතශි රැස්වීම තහනම් කිරීම ගැන විපක්ෂ නායකයා කිඹුල් කඳුලු හෙලයි

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා සංගමයේ අනුග්‍රහයෙන්, “ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේද?” යන මැයෙන්, ජනවාරි 3 වැනි දා, එම විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිත ව තිබූ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතාශි) සංවිධානයේ රැස්වීම උපකුලපතිවරයාගේ නියෝග යටතේ තහනම් කෙරුනි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)/ ජාතික ජන බලවේගය (ජාජබ) ආන්ඩුව විශ්ව විද්‍යාල පරිපාලනය සමග ඒකාබද්ධ වී භාෂනයේ නිදහසට එල්ල කරන ලද මෙම බරපතල ප්‍රහාරයය එරෙහිව ශාස්ත්‍රාලිකයෝ, ශිෂ්‍යයෝ, මාධ්‍ය ක්‍රියාකාරීහු සහ කම්කරුවෝ පුලුල් විරෝධතාවන් දක්වමින් සිටිති.

තහනම පැනවීමෙන් දින හතරකට පසුව, ජනවාරි මස 7 දින, විරුද්ධ පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ (සජබ) නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුව තුල මෙම තහනම ගැන විරුද්ධත්වයක් මවාපාමින් කතා කලේය. තවද ඔහු ඊටපෙරදින, ජනවාරි 6 දා ජාඇල පැවැති ජන හමුවකදී ද මේ කාරනාව ගැන කතා කලේය.

සජිත් ප්‍රේමදාස (සජිත් ප්‍රේමදාස - ෆේස්බුක්)

ප්‍රේමදාස පාර්ලිමේන්තුව තුල කල කතාවේදී සසජාතාශි සංවිධානයේ නම සඳහන් නොකරමින් මෙසේ කීවේය: “පහුගිය දවසක ඇක්ටින් වයිස් චාන්සලර් පේරාදෙනිය යුනිවර්සිටි එකට නියෝගයක් යවලා තියෙනවා අයිඑම්එෆ් එකේ යෝජනාවලට විරුද්ධ යම්කිසි සාකච්ඡාවක් පැවැත්වීම, රැස්වීමක් පැවැත්වීම රජයේ ස්ථාවරයට අභියෝග කරල කටයුතු කිරීම නතර කරන්න කියලා.”

තවද, ඔහු “විශ්ව විද්‍යාල තුල සාමකාමීව ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියන් මොට කරන්න හදන්න එපා,” එසේ කලහොත් “එතනින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වීමක් සිදුවෙනවා,” යනුවෙන් පවසමින් ඕනෑම මාතෘකාවක් පිලිබඳව “ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල සාකච්ඡා කිරීමට” ඕනෑම ස්ථානයක ඉඩ තිබිය යුතු බව සඳහන් කලේය.

පාර්ලිමේන්තුව තුල ප්‍රේමදාසගේ ඉහත ප්‍රකාශය සහ ජාඇල ජන හමුව තුල මේ පිලිබඳ සැඳහුම මගින් ඔහු ප්‍රයත්න දරන්නේ තමන් ‍ප්‍රජාතන්ත්‍රවාදයේ කප්පිත්තකු ලෙස ව්‍යාජව ඉස් මතුවීමටය. ඔහුගේ අතීත දේශපාලන භූමිකාව ප්‍රජාතන්ත්‍රවාදි අයිතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කුප්‍රකටය. සමාජවාදයේ පරම සතුරෙකු වූ ඔහු සසජාතශි හි නම සඳහන් නොකිරීමට ප්‍රවේසම් වූයේ, ජාත්‍යන්තර සමාජවාදය සඳහා ශිෂ්‍යයන් සහ තරුනයන් අතර සටන් වදින එකම සංවිධානය වන එයට කේන්ද්‍රීය අවධානයක් යොමුවීම වැලැක්වීමේ අරමුනෙනි.

සජිත් ප්‍රේමදාස, 2000 වසරේදී, දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය. ඔහු 2015 සිට 2019 තුල පැවැති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුවේ නිවාස හා ඉදිකිරීම් ඇමතිවරයා විය. එම ආන්ඩුව විසින් ක්‍රියාවට නැංවූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පිලිවෙත්වලට සහ එයට එරෙහිව වැඩුනු පංති අරගල තලා දැමීම සඳහ‌ා ක්‍රියාත්මක කල රුදුරු මර්දනයට ප්‍රේමදාස මුලුමනින්ම කරබදු විය.

එජාප, මහජන අප්‍රසාදය හේතුවෙන්, 2019 මැතිවරන වලදී ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට කුජීත ලෙස පරාජයට පත්විය. අනතුරුව එහි ප්‍රධාන කන්ඩායමක් සමග එජාපයෙන් වෙන්වූ ප්‍රේමදාස 2020 දී තම නායකත්වයෙන් සජබ පිහිටුවා ගනිමින් ජාතික මැතිවරන වලට තරඟ කලේය.

ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ ආලවට්ටම් තිබියදීම ඔහු තොරොම්බල් කරන්නේ ද ආඥාදායක පාලන ක්‍රමයකි. 2022 ජනවාරියේ කොලඹ පැවති සාකච්ඡාවක දී ඔහු මෙසේ පැවසීය: “ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුන දී තිබෙන ආර්ථික සහ සමාජ අර්බුදය ජය ගැනීමට කුලුනු පහේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයක් සහ මුලෝපායාත්මක චින්තනයක් සහිත පොදු ජාතික ක්‍රියාමාර්ගයක් මත පදනම් වූ තෝරාපත්කර ගත් ආඥාදායක පාලනයක් අවශ්‍යයි.'

ජාමූඅ සමඟ යලි සාකච්ඡා කොට සහන ලබාදෙන බවට ජනාධිපති දිසානායක මැතිවරන වේදිකාවලදී පොරොන්දු වූ ආකාරයටම ප්‍රේමදාස ද ජාමූඅ සමග යලි සාකච්ඡා කර කප්පාදු පිලිවෙත්වල බලපෑම අඩු කරන බවට බොරු පොරොන්දු දී තිබුනි. ප්‍රේමදාසගේ ජ්‍රජාතන්ත්‍රවාය ආරක්ෂා කිරීමේ පූච්නචානම් කතා කෙසේ වෙතත් යම් හෙයකින් මේ මොහොතේ ඔහුගේ ආන්ඩුවක් බලයේ සිටියද සිදුකරනු ඇත්තේ දිසානායක ආන්ඩුව විසින් ක්‍රියාවට දමමින් පවතින ජාමූඅ හි රුදුරු කප්පාදු පිලිවෙත්මය.

ජාමූඅ හි කප්පාදු නියෝග අකුරටම ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින බවට ජාත්‍යන්තර සහ ජාතික ප්‍රාග්ධනයට සහතික වෙමින්, දිසානායක, නොවැම්බර් 21 දා සිය ප්‍රතිපත්ති දේශනය තුල දී පාර්ලිමේන්තුවට ප්‍රකාශ කලේ, ශ්‍රී ලංකාවේ “අර්බුදයේ පරිමානය නිසා, කුඩාම වරදක් පවා සැලකිය යුතු ප්‍රතිවිපාක ඇති කල හැකි...” බවත්, එහෙයින් “වැරදි සඳහා ඉඩක් නැති” බවත්‍ ය.

ප්‍රේමදාස අනෙකුත් විපක්ෂ සමග එක්වී දෙසැම්බර් 3-4 දිනයන්හි පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී, දිසානායකගේ ඉහත ප්‍රතිපත්ති වලට තම සහයෝගය පල කලේය. “ජාමූඅ වැඩසටහනේ ඇතැම් අංගයන් ජනතාවට හානිදායක” බව පැවසූ ඔහු, “ආන්ඩුව මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් පියවර ගන්නේ නම් තම පක්ෂය එයට සහාය වීමට සූදානම්” බව පැවසීය.

“ජනතාවට හානිදායක” අංගයන් සම්බන්ධයෙන් ප්‍රේමදාස දක්වන මෙම උත්සුකය මුලුමනින්ම ව්‍යාජය. පසුගිය සැප්තැම්බර් මස පැවති මැතිවරන රැලියකදී ඔහු පැවසුවේ, “ශ්‍රී ලංකාවට තවදුරටත් සුබසාධන රාජ්‍යයක් ලෙස පැවතිය නොහැකි” බවයි. තමා බලයට පත්වුවහොත්, ජාමූඅ හි නියෝග යටතේ අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුලු මහජන සුබසාධන කපා දැමීමට එකහෙලා සූදානම් බව ජාත්‍යන්තර සහ ජාතික ප්‍රාග්ධනයට ඔහු සහතික වී ඇත්තේ එලෙසිනි.

බලයට පත්වන්නේ කවරෙකු වුවද, ඔහු ජාමූඅ ප්‍රහාර රුදුරුම ආකාරයෙන් ඉදිරියට ගෙනයන බවට අනතුරු අඟවමින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය 2024 අගෝස්තු 21 දා නිකුත් කරන ලද ලිපියක මෙසේ සඳහන් කලේය:

“මැතිවරනය අවසන් වූ විගස, නව ජනාධිපතිවරයා, වැඩකරන ජනතාව මුහුන දෙන සමාජ අර්බුදය ලිහිල් කිරීම සඳහා ඔවුන් දී ඇති පොරොන්දු සියල්ල කුනු කූඩයට වීසිකර, ජාමූඅ හි ම්ලේච්ඡ පියවර පනවමින්, ඊට එරෙහි වන ඕනෑම විරුද්ධවාදියෙකුට එරෙහිව පොලිස් රාජ්‍ය මර්දනය එල්ල කරනු ඇත.”

ලෝසවෙඅ හි මෙම අනතුරු ඇඟවීම මුලුමනින්ම සනාථ කරමින්, දිසානායක ආන්ඩුව ජාමූඅ කප්පාදු අකුරක් නෑර ක්‍රියාත්මක කරන තතු යටතේ වැඩෙන දැවැන්ත මහජන විරෝධය ගසා කෑමට ප්‍රේමදාස යත්න දරයි. සසජාතාශි හි රැස්වීම තහනමට එරෙහි ඔහුගේ ව්‍යාජ-ප්‍රජාතන්ත්‍රවාදී වාගාලාප පිටුපස පවතින්නේ එයයි.

තවද, වත්මන් ආන්ඩුවට එරෙහිව නැගෙමින් පවතින මහජන විරෝධය සමස්ත ධනපති ක්‍රමයටම එරෙහිව යොමුවිය හැකි වෙතැයි යන උත්සුකය ඇඟවුම් කරමින් ප්‍රේමදාස ජනවාරි 7 දින පාර්ලිමේන්තුව තුල මෙසේද පැවසීය: “මහා පාරේ ත්‍රිරෝද රථ රියදුරාගේ ඉඳලා, කම්කරුවගේ ඉඳලා, ස්වයං රැකියා ලාභියාගෙ ඉඳලා, ජන සමාජයේ ඒ සියලුම තල නියෝජනය කරන හැමදෙනාගේම බලාපොරොත්තුවලට ගැටලුවට විසඳුම්, අභියෝගවලට විසඳුම් අපි යෝජනා කරනවා. අපි අත්වැල් බැඳගෙන තිබෙන ප්‍රශ්න විසඳන්නට කටයුතු කරමු,” යැයි ඔහු දිසානායක ආන්ඩුවට යෝජනා කලේය.

ජාමූඅ කප්පාදු හේතුවෙන්, 2022 මහජන නැගිටීම ඉක්මවා යන දැවැන්ත කැරලිකාරී තත්ත්වයක් කම්කරු පන්තිය තුලින් සහ අනෙකුත් පීඩිත ජන කොටස් තුලින් මතුවනු ඇතැයිද, මෙම තත්වය සමස්ත ධනපති පර්යායට එරෙහිව වැඩෙනු ඇතැයිද ප්‍රේමදාස ඇතුලු ධනපති පන්තියේ සියලූම නියෝජිතයින් මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජවාම පක්ෂද, වෘත්තීය සමිති නිලධරයද භීතියට පත්ව සිටිති.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කිරීම පිලිබඳ ප්‍රේමදාසගේ කිඹුල් කඳුලු පිටුපස ඇති සැබෑ දේශපාලන ගනන් බැලීම වන්නේ යම් හෙයකින් දිසානායක ආන්ඩුව බිඳවැටුනහොත් එහි වාසිය ගසා කමින් තමන්ට බලයට මතු විය හැකිද යන්නයි.

ශිෂ්‍යයින් මෙන්ම කම්කරු පීඩිත ජනතාව තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් රැක ගැනීම සම්බන්ධයෙන් කිසිදු ධනේශ්වර හෝ ව්‍යාජ වාම පක්ෂයක් කෙරෙහි විශ්වාසය නොතැබිය යුතුය. ඒ සඳහා ධනපති දේශපාලන පක්ෂ වලින්, ව්‍යාජවාම පක්ෂ වලින් සහ වෘත්තීය සමිති වලින් ස්වාධීනව සංවිධානය වීම අවශ්‍ය කෙරේ.

විශේෂයෙන්ම භාෂනයේ නිදහස සහ සංවිධානයවීමේ අයිතිය ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව එල්ල කෙරෙන රුදුරු ප්‍රහාරයකට මුහුන දී සිටින ශිෂ්‍යයන්ට එය පරාජය කලහැකි වන්නේ කම්කරු පන්තිය දෙසට හැරී, කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමෙන් සහ එය තුලින්, ප්‍රහාරයේ මූලය වන ගෝලීය ධනවාදයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත පාදක වූ අරගලයක් දියත් කිරීමෙන් පමනි.

Loading