[මෙය “Führer” Trump declares war on the world, and the working class යන මැයෙන් 2025 ජනවාරි 21 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තිය, ඉතිහාසය තුල සිහිපත් කරනු ඇත්තේ අසික්කිත ෆැසිස්ට් සංදර්ශනයක් ලෙසිනි. එහිදී නව ජනාධිපතිවරයා, ඉවත්ව යන පරිපාලනයට, සංක්රමනිකයන්ට, ඔහු සතුරන් ලෙස සලකන ඇමරිකානු ජනගහනයේ පුලුල් කොටස්වලට, ලතින් ඇමරිකාවේ ජනතාවට සහ අවසානයේ බටහිර අර්ධගෝලයෙන් ඔබ්බෙහි ලෝක ජනගහනයට එරෙහිව වෛරයෙන් පිරුනු අධම වාග්ප්‍රහාරයක් එල්ල කලේය.
ජීවිත අනුකරන දේශපාලන ප්රබන්ධයක විකෘතරූපි නිදසුනක් විලස, ට්‍රම්ප් පෙනී සිටියේ, ශ්‍රේෂ්ඨ ඇමරිකානු ලේඛක සින්ක්ලෙයාර් ලුවිස්, It Can’t Happen Here (මෙහි එය සිදු විය නොහැක) නම් වූ සිය ෆැසිස්ට් විරෝධී නව කතාව තුල, සංකල්පනය කල මෘග මාධ්‍ය වංචනිකයා හා වාචාලය වූ ජනාධිපති බුෂ් වින්ඩ්රිප්ගේ අවතාරය ලෙස ය.
ලුවිස්ගේ ශෝකාන්ත නවකතාව 1935 දී ප්‍රකාශයට පත් කරන ලද අතර, එහි අභිප්රායවූයේ, එක්සත් ජනපදයේ ෆැසිස්ට්වාදයේ නැගීමට එරෙහිව අනතුරු ඇඟවීමයි. අර්බුද ග්රස්ත ධනවාදය ආරක්ෂා කිරීමත්, ලාභ සහ අසීමිත ධනය ලුහුබැඳීමත් සඳහා ඇමරිකානු පාලක පන්තිය, ජර්මනියේ හිට්ලර්ට සමාන තමන්ගේම ජාතික පිටපතක් බලයේ ස්ථාපනය කරනු ඇත. වසර අනූවකට පසු, 2025 ජනවාරි 20 වන දින පැවති විකෘතරූපී සමාරම්භක උත්සවය, ලුවිස්ගේ අනතුරු ඇඟවීම සනාථ කර තිබේ.
ට්‍රම්ප් ඔහුගේ සමාරම්භක වාග්ප්රහාරයේ ෆැසිස්ට් ආවේශය සැඟවීමට කිසිදු උත්සාහයක් ගත්තේ නැත. ඔහුගේ කතාව, ස්වරයෙන් සහ අන්තර්ගතයෙන්, 1933 පෙබරවාරි 1 වන දින ජර්මානු චාන්සලර් තනතුරට උසස් කිරීමෙන් දින දෙකකට පසු හිට්ලර් විසින් කරන ලද පලමු ගුවන් විදුලි කතාව පැහැදිලිවම ආදර්ශයට ගෙන තිබුනි. හිට්ලර්ගේ කතාව කැප වූයේ, මිථ්‍යා ජර්මානු 'වොල්ක්' (Volk - ජර්මානු ජාතිකත්ව අන්‍යතාව ඇඟවෙන, අර්ථයෙන් 'ජනතාව' ) පාවා දුන් බවට ඔහු චෝදනා කල වයිමර් ජනරජය සහ එහි නායකයින් විෂකුරු ලෙස හෙලාදැකීම සඳහා ය. සියලු ද්‍රෝහීන් අතුගා දමා, ජර්මනිය ශ්‍රේෂ්ඨත්වයට පුනස්ථාපනය කරනු ඇත.
ට්‍රම්ප්, හිට්ලර්ගේ “සහස්ර-වර්ෂ රයිකය” (Reich - ජර්මන් රාජ්‍යය) පිලිබඳ ඉදිරිදර්ශනය ප්රතිරූපනය ඇති අතර එය ඇමරිකාවේ ඔහු පොරොන්දු වූ “ස්වර්නමය යුගය” ලෙස නැවත-සන්නාම ගන්වා ඇත. කෙසේ වෙතත්, එය “ස්වර්නමය” වනු ඇත්තේ ට්‍රම්ප්ටත්, ඔහුගේ පදවි ප්රාප්ති උත්සවයට සහභාගී වූ අනෙකුත් බිලියනපති කතිපයාධිකාරීන්ටත් පමනි; ඔවුන් අතර, ධනවත්ම ඇමරිකානුවන් තිදෙනා වන එලොන් මස්ක්, ජෙෆ් බෙසෝස් සහ මාර්ක් සකර්බර්ග් ද වේ. ඉතාලියේ අගමැති ජෝර්ජියා මෙලෝනි සහ ආර්ජන්ටිනාවේ ජනාධිපති ජේවියර් මිලී වැනි ට්‍රම්ප්ගේ ජාත්‍යන්තර ෆැසිස්ට් සහචරයින් ද ඔවුන්ට එක්වී සිටියෝය.
ධුරයෙන් යන ජනාධිපති ජෝ බයිඩන් සහ උප ජනාධිපති කමලා හැරිස් ඇතුලු ඩිමොක්රටික් පක්ෂයේ හිටපු සහ වර්තමාන නායකයින් ද, හිටපු ජනාධිපතිවරුන් වන ක්ලින්ටන් සහ ඔබාමා සහ චාල්ස් ෂූමර්, බර්නි සැන්ඩර්ස් සහ හකීම් ජෙෆ්රිස් වැනි කොංග්රස් නායකයින් ද උත්සවයට සහභාගී වූහ. ට්‍රම්ප් ප්‍රසිද්ධියේ ඔවුන්ට බැනඅඩ ගසමින් හෙලා දකින විට ඔවුන් සිටියේ නිහඬව හා ගෞරවාන්විතව සවන් දී ගෙනය. ඔවුන්ගෙන් කිසිවෙකුට රැස්වීමෙන් ඉවත් වී යාමට හෝ ෆැසිස්ට් ජනාධිපතිවරයෙකු පත් කිරීම ප්‍රසිද්ධියේ හෙලා දැකීමට තරම් දේශපාලන ධෛර්යයක් නොතිබුනි; ඉතිහාසය පිලිබඳ හැඟීමක් සහ ප්රජාතන්ත්රවාදී මූලධර්ම කෙරෙහි කැපවීමක් නොතිබීම ගැන කියනු ම කවරේද. ඒ වෙනුවට, ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම ප්රතිගාමී ආන්ඩුව වෙතට “සාමකාමී ලෙස බලය මාරු කිරීම” වෙනුවෙන් ප්‍රශංසා කිරීමට ඔවුන් එක් විය.
ඇමරිකානු ව්‍යාප්තවාදය සඳහා වූ ඔහුගේ සැලසුම් ට්‍රම්ප් නැවත අවධාරනය කරමින් කියා සිටියේ, ඔහුගේ ආන්ඩුව පැනමා ඇල 'නැවත අත්පත් කර ගන්නා' බවයි. මෙක්සිකෝවේ, එල් සැල්වදෝරයේ සහ වෙනිසියුලාවේ අපරාධ කල්ලි, අයිඑස්අයිඑස් හෝ අල්-කයිඩා සංවිධානයට සමාන තත්වයකට පත් කරමින්, 'විදේශීය ත්‍රස්තවාදී සංවිධාන' ලෙස නම් කරමින් විධායක නියෝගයක් නිකුත් කරන බව ඔහු පැවසීය; එය, එම රටවල් මත එක්සත් ජනපද ප්‍රහාර සඳහා ව්‍යාජ-නීතිමය සාධාරනීකරනයක් සපයනු ඇත.
ස්පාඤ්ඤ-ඇමරිකානු යුද්ධයේදී කියුබාව, පුවර්ටෝ රිකෝ, ගුවාම් සහ පිලිපීනය අල්ලා ගත් ජනාධිපති විලියම් මැකින්ලිගේ (1897-1901) වාර්තාවට ප්‍රශංසා කල ට්‍රම්ප්, උතුරු ඇමරිකාවේ උසම කන්ද වන ඇලස්කාවේ ඩෙනාලි සඳහා මැකින්ලිගේ නම ප්‍රතිෂ්ඨාපනය කිරීමට පොරොන්දු විය. එක්සත් ජනපදය විසින් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම සහ 51 වන ප්‍රාන්තය ලෙස කැනඩාව ඈඳා ගැනීම සඳහා මෑත සතිවල ඔහු කල ඉල්ලීම් අප්රකාශිතව ඉතිරි කරමින් (නමුත් ඒ පිලිබඳ කිසිදු සැකයක් නැත), මෙක්සිකෝ බොක්ක 'ඇමරිකානු බොක්ක' ලෙස නැවත නම් කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.
එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවේ 'ජාතික හදිසි අවස්ථාවක්' ප්‍රකාශයට පත් කරමින් වහාම විධායක නියෝග අත්සන් කරන බවත්, විදේශීය සතුරෙකු විසින් එක්සත් ජනපදය 'ආක්රමනය කිරීමක්' ලෙස ඔහු නැවත නැවතත් නිරූපනය කර ඇති දේ මැඩපැවැත්වීම සඳහා හමුදාව යොදවන බවත් ට්‍රම්ප් නිවේදනය කලේය. මෙය සංක්රමනික-විරෝධී නියෝග පැකේජයක කොටසකි; එයට, සියලු සරනාගතයින් නෙරපා හැරීමෙන් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන 'මෙක්සිකෝවේ රැඳී සිටින්න' ප්‍රතිපත්තිය නැවත ස්ථාපිත කිරීමත්, සංක්රමනික අසල්වැසි ප්‍රදේශ සහ රැකියා ස්ථානවලට එරෙහිව වැටලීම් මාලාවක් සිදු කිරීම සඳහා පොලිස්-මිලිටරි උපකරන ශක්තිමත් කිරීම ද ඇතුලත් වේ. මෙය මෙහෙයවෙනු ඇත්තේ, ලක්ෂ සංඛ්‍යාත සහ අවසානයේ මිලියන සංඛ්‍යාත වැඩ කරන ජනතාවක් වටලනු ලැබීමට ය.
ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්වලට එරෙහි මෙම ප්‍රහාරය ඉක්මනින්ම සිය රට තුල උපත ලද මෙන්ම සංක්රමනිකයින් ද ඇතුලත්ව, සමස්ත කම්කරු පන්තියටම එරෙහිව ව්‍යාප්ත වනු ඇත. මෙම වසරේ කල් ඉකුත් වීමට නියමිත, ධනවතුන් සඳහා වන ඔහුගේ 2017 බදු කප්පාදුව දීර්ඝ කිරීමටත්, එක්සත් ජනපද මිලිටරි යාන්ත්රනයේ තවදුරටත් දැවැන්ත ව්‍යාප්තියට මුදල් සැපයීම සඳහා සමාජ ප්රතිලාභ කපා හැරීමේ ඔහුගේ පුලුල් වැඩසටහනට එරෙහි සියලු විරුද්ධත්වයන් නීති විරෝධී කිරීමටත් ට්‍රම්ප් උත්සාහ කරයි.
යුද්ධයෙන් හා දරිද්‍රතාවයෙන් පලා යන මිලියන සංඛ්‍යාත සංක්රමනිකයන් ආක්රමනික හමුදාවක් ලෙස නිරූපනය කරමින්, සමූහ රඳවා තබා ගැනීම් සහ පිටුවහල් කිරීම් සඳහා වූ ඔහුගේ සැලසුම් සඳහා පදනම ලෙස, 1798 දී පනවන ලද කුප්‍රකට පියවරක් වන විදේශීය සතුරන් පිලිබඳ පනත භාවිතා කරන බව ට්‍රම්ප් ප්‍රකාශ කලේය. මෙම නීතිය අවසන් වරට ක්‍රියාත්මක කරන ලද්දේ, දෙවන ලෝක යුද්ධ සමයේ දී, එක්සත් ජනපදයේ පදිංචි ජර්මානු, ඉතාලි සහ ජපන් සංක්රමනිකයින්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සඳහා ය. ප්රත්යක්ෂ තර්ජන මට්ටම අනුව මෙම පුද්ගලියන් ලියාපදිංචි කිරීම, නිරීක්ෂනය කිරීම, නැවත ස්ථානගත කිරීම හෝ සිරගත කිරීම මෙම පනත යටතේ සිදුකෙරිනි.
මෙහි අරමුන වන්නේ, සංක්රමනික ප්‍රජාවන් භීතියට පත් කිරීම සහ කම්කරු පන්තිය බෙදා වෙන් කරමින්, සියලු විරුද්ධවාදීන්ට එරෙහිව තවදුරටත් මර්දනය සඳහා කොන්දේසි සකසාගැනීම යි.
පසුගිය ගිම්හානයේදී ඔහු ඝාතකයෙකුගේ වෙඩි උන්ඩයකින් තමන් බේරුනේ, “දෙවියන් වහන්සේ විසින් ඇමරිකාව නැවත ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීම සඳහා” යැයි ඒකන්ත ගැලවුම්කාරයේ භාෂාවෙන් සඳහන් කල ට්‍රම්ප්ගේ ආත්මකථනයේ යටිපෙල වන්නේ මෙම වැඩසටහනේ ඒකාධිපති ස්වභාවය යි. දෙවියන් වහන්සේ විසින් තෝරා ගන්නා ලද ක්‍රිස්තියානි ජාතිකවාදියෙකු ලෙස ට්‍රම්ප් ඉදිරිපත් වීමට අනුකූල වන ආකාරයට, සමාරම්භක උත්සවයේ උත්කර්ෂවත් බව, ආගමික හා මිලිටරිවාදී වාචාල කතා සහ සංකේතවලින් පිරී ගොස් තිබුනි.
ට්‍රම්ප්, පලමු ගගනගාමීන් අඟහරු ග්‍රහයා වෙත යැවීමට සහ වෙනත් ග්‍රහලෝකයක ඇමරිකානු ධජය සිටුවීමට එක්සත් ජනපදයේ 'ප්‍රකාශිත ඉරනම' (එක්සත් ජනපදයට බටහිර දෙසට ව්‍යාප්ත වීමට දිව්‍යමය අයිතියක් ඇති බවට වූ විශ්වාසය) පවා ප්‍රකාශ කලේය. ලොව පුරා ආන්ඩු, විශේෂයෙන් ලතින් ඇමරිකාව සහ කැනඩාව මෙම භාෂිතය සැලකිල්ලට ගනු ඇති බවට සැකයක් නැත.
දුර්වල අසල්වැසියන්ගේ වියදමින් එක්සත් ජනපදයට ප්රසාරනය වීමට දෙවියන් වහන්සේ විසින් දෙන ලද අයිතියක් යෝජනා කරමින් 'ප්‍රකාශිත ඉරනම' යන සටන් පාඨය මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ 1844 මැතිවරනයේදී, එවකට දක්ෂින වහල් හිමියන් විසින් ආධිපත්‍යය දැරූ ඩිමොක්රටික් පක්ෂය විසිනි. 'ප්‍රකාශිත ඉරනම' යනු, පැසිෆික් නෝර්ත්වෙසිට් හි කැනඩාව සමඟ මායිම් ආරවුල සම්බන්ධයෙන්, පසුව 1845 දී වහල් රාජ්‍යයක් ලෙස ටෙක්සාස් ඈඳා ගැනීම සහ අවසානයේ 1846-1848 යුද්ධයේදී එක්සත් ජනපදය මෙක්සිකෝවෙන් අඩක් අල්ලාගෙන ඈඳා ගැනීම සම්බන්ධයෙන්, එක්සත් ජනපදයේ ආක්රමනශීලී ආස්ථානය සාධාරනීකරනය කිරීමක් විය. ඒබ්‍රහම් ලින්කන්, එම සටන් පාඨය ව්‍යාප්තවාදී වහල් බලයේ යුද හඬ ලෙස ප්‍රතික්ෂේප කලේය. ට්‍රම්ප් එය ධනේශ්වර කතිපයාධිකාරයේ කාහල නාදය ලෙස වැලඳ ගනී.
ෆියුරර් ට්‍රම්ප්ගේ(ෆැසිස්ට්වාදී ඇඩෝල්ෆ් හිට්ලර්ට සම්බන්ධ Führer- යන ජර්මානු වචනය මෙහි යොදාඇත්තේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “ඒකාධිපති” සහ “ෆැසිස්ට්වාදී” ස්වභාවය ඇඟවීමටය) ස්වයං-වර්නනාත්මක ස්වභාවරය ඉතා පැහැදිලි ය. ජාතික හදිසි අවස්ථා ප්‍රකාශ කිරීමේ මුවාවෙන්, ඒකපාර්ශ්විකව ක්‍රියාත්මක කිරීමට ගනු ලබන පුලුල් පියවරයන් ප්‍රකාශ කරමින්, මෙහෙයවන බලධාරියා ලෙස, ඔහු, තමා ම සකසා ගත්තේය. නිව් ඩීල් ලෙස නීතිගත කිරීමට ව්‍යවස්ථා සම්පාදනය සඳහා කොංග්‍රසයට කරන යෝජනා ඇතුලත් රූස්වෙල්ට්ගේ “දින 100” මෙන් නොව, ට්‍රම්ප් තමාගේම අධිකාරිය මත නිකුත් කරන “නියෝග 100 ක්” කැඳවුම් කර සිටී. ඔහුගේ කතාව තුල කොංග්‍රසය හෝ රිපබ්ලිකන් පක්ෂය ගැන කිසිදු සඳහනක් නොවූ අතර, ඒ වෙනුවට ඔහු තමාගේ අද්විතීය හා ඒකීය භූමිකාව අවධාරනය කලේය.
නමුත් ජාතිකවාදී පුරාජේරුව සහ ඩිමොක්රටික් පක්ෂයේ බියගුලුකම සහ අනුග්‍රහය තිබියදීත්, ට්‍රම්ප්ගේ කතාව, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ බලය බෙහෙවින් අධිතක්සේරු කල අතර ට්‍රම්ප් සහ රිපබ්ලිකන් පක්ෂයේ ෆැසිස්ට් වැඩසටහන එක්සත් ජනපදය තුල සහ ගෝලීය පරිමානයෙන් අවුලුවන ප්‍රතිරෝධය අවතක්සේරු කලේය.
ට්‍රම්ප්ට, විලියම් මැකින්ලිට ප්‍රශංසා කල හැකි නමුත්, මැකින්ලි 1897 සිට 1901 දක්වා ජනාධිපති ධුරය හෙබවූයේ, එක්සත් ජනපදය නැගී එන ගෝලීය බලවතෙකු වූ, අධිරාජ්‍යවාදී යුගයේ ආරම්භයේ දී ය. ට්‍රම්ප්ගේ ජනාධිපති ධුරය පැමිනෙන්නේ, ඇමරිකා එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව ධනවාදය ආවෘත අන්තයකට පැමින ඇති අවස්ථාවක ය.
2025 දී වෙනත් ලෝක නායකයෙකු ජාත්‍යන්තර ආක්‍රමනශීලීත්වයේ සහ ගෝලීය ආධිපත්‍යයේ මෙතරම් අධිපුරාජේරු වැඩසටහනක් පොරොන්දු වෙමින් කතාවක් කලේ නම්, ඔවුන්ගේ ප්‍රකාශ, ඔවුන්ගේ විනිශ්චය පමනක් නොව, ඔවුන්ගේ සිහිබුද්ධියද ප්‍රශ්න කිරීමක් ලෙස සලකනු ඇත.
ට්‍රම්ප්ගේ ඉදිරිදර්ශනය මායාවකි; නමුත් ඉන් එහි බිහිසුනු බව අඩු නොවේ. ඔහුගේ ආන්ඩුව, තමන්ගේම පාලක පන්තිවල අවශ්‍යතා අනුගමනය කරන අනෙකුත් ධනේශ්වර ආන්ඩුවලින් ඔහුට මුහුන දීමට සිදුවන නොවැලැක්විය හැකි විරුද්ධත්වයට සහ, සියල්ලටත් වඩා, රට තුල සහ විදේශයන්හි වැඩ කරන ජනතාවගේ ප්රතිරෝධයට එරෙහිව, නිර්දය ලෙස සහ ප්රචන්ඩ ලෙස ප්‍රතිචාර දක්වනු ඇත.
ඩිමොක්රටික් පක්ෂය අන්තරායන් හොඳින් දනී. ජනාධිපති බයිඩන් සිය ධුරයේ අවසන් පැය කිහිපය තුල, ඔහුගේම පවුලේ සාමාජිකයින්ට සහ විශ්‍රාමික ජෙනරාල් මාර්ක් මිලී, හිටපු මහජන සෞඛ්‍ය නිලධාරි වෛද්‍ය ඇන්තනි ෆවුසි වැනි පුද්ගලයින්ට සහ 2021 ජනවාරි 6 වන දින ට්‍රම්ප්ගේ කුමන්ත්රන උත්සාහය විමර්ශනය කල මන්ත්‍රී මන්ඩල කමිටුවේ සාමාජිකයින්ට සහ කාර්ය මන්ඩලයට සමාව දුන්නේය. ට්‍රම්ප් පරිපාලනය තම දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව පලිගැනීමේ, නඩු පැවරීමේ තර්ජන ක්‍රියාත්මක කරනු ඇතැයි ඔහු කනස්සල්ල පල කලේය.
ට්‍රම්ප්ගේ කෝපයෙන් තමන් ආරක්ෂා වීම ගැනීම ගැන ඩිමොක්රටික් පක්ෂය සැලකිලිමත් වන නමුත්, ෆැසිස්ට් ජනාධිපතිවරයෙකුගේ ප්‍රහාරයකට දැන් මුහුන දී සිටින මිලියන සංඛ්‍යාත සංක්රමනිකයන් සහ කම්කරු පන්තියේ අනෙකුත් අය ආරක්ෂා කිරීමට ඔවුන් ඇඟිල්ලක්වත් ඔසවා නැත. ඉදිරියට ද ඔවුන් එසේ කරනු ද නැත.
ට්‍රම්ප් ධවල මන්දිරයට නැවත පිවිසෙන්නේ, ඔවුන්ගේ අති දැවැන්ත ධනය, එහි සැබෑ සමාජ පදනමට ප්‍රතිලෝම සමානුපතිකවන මුදල්-උමතුවෙන් පෙලෙන කතිපයාධිකාරීත්වයේ නියෝජිතයෙකු ලෙස ය. කැපිටල් ශාලාවෙන් (ඇමරිකාවේ මහා මන්ත්‍රනසභා ශාලාවෙන්) පිටත මහජනයා ඉදිරියේ නොව, රොටුන්ඩා ශාලාව තුල උත්සවය පැවැත්වීම, පාලක ප්රභූවේ සැබෑ හුදකලාව පෙන්නුම් කලේය.
තමාව පාලනය කර ගැනීමට නොහැකි වූ එලොන් මස්ක්, ට්‍රම්ප් බලයට පත්වීම වෙනුවෙන් ප්‍රීතිය ප්‍රකාශ කරනු වස් හිට්ලර්ගේ වනචාරි සැල්යුට් දෙකකින් ආචාර කලේ ය. නමුත් කතිපයාධිකාරියේ, ඒකාධිපතිත්වය සඳහා ඇති උද්යෝගයට කම්කරු පන්තිය හවුල් වන්නේ නැත. 2025 ජනවාරි 20 වන දින සැබෑ වැදගත්කම නම්, එය ඇමරිකානු ඉතිහාසයේ පෙර නොවූ විරූ තරම් විශාල හා තීව්‍රතාවයකින් යුත්, අශමනීය පන්ති ගැටුමක යුගයක් ආරම්භ කර තිබීමයි.