සහල් විකිනීමේදී සහ වී මිල දී ගැනීමේදී ආන්ඩුවේ පාලන මිල අනුගමනය නොකරන වී මෝල් හමුදා පාලනයට ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක, ජනවාරි 21 දා, සිරස රූපවාහිනී නාලිකාවේ “සටන” වැඩසටහනට සහභාගිවෙමින් පැවසීය.
එහිදී දිසානායක මෙසේ කීවේය: “අපට දින කිහිපයක් ඉඩ දෙන්න. උපරිම සිල්ලර මිලට වඩා සහල් විකිනීමට අපි ඉඩ දෙන්නේ නැහැ...... ඒකට මුහුන දෙන්න අපිට ඒම් එකක් (සැලැස්මක්) තියෙන්න ඕන..... අපිට තව දින කීපයක් දෙන්න...ඔවුන් (වී මෝල් හිමියන්) අපේ සැලැස්මට එකඟ නොවුනොත් අපි මෝල් හමුදාවේ පාලනයට ගන්නවා.”
මෝලෙන් නිකුත් කරන සහල් පිලිබඳ වාර්තා ලබා ගැනීම සඳහා හමුදා නිලධාරීන් මෝලෙහි ස්ථානගත කරන බවත්, කඩවලට සහල් නිකුත් කරන්නේ කුමන මිලටද යන්න ඔවුන් විසින් නිරීක්ෂනය කරනු ඇති බවත් දිසානායක පැවසීය.
වී මෝල් හමුදා පාලනයට ගැනීම තුල “ප්රජාතන්ත්රවාදය නෑ වගේ පේනව නේද?” යනුවෙන්, මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයට ක්ෂනිකව පිලිතුරු දෙමින් දිසානායක මෙසේ කියා සිටියේය: “මේ රටේ බතත් එක්ක ප්රජාතන්ත්රවාදය ගැන කතා කරල වැඩක් නෑ.”
දිසානායක මෙම ප්‍රකාශය කලේ, රටේ ප්‍රධාන ආහාරය වන සහල්වල පවත්නා දැවැන්ත හිඟය සහ අධික මිල හේතුවෙන් මහජනතාව අතර වැඩී ඇති ඉමහත් නොසන්සුන්තාවය මධ්‍යයේ ය. මහජනතාවගේ දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන්, “ප්රජාතන්ත්රවාදය පවා නොතකන” දැඩි උත්සුකයක් තමාට ඇති බව මවා පෑමට මෙලෙස උත්සාහ කරන්නේ, ජාතික සහ ජාත්‍යන්තර ප්රාග්ධනයේ ලාභ අවශ්‍යතා වෙනුවෙන්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) විධානයන් මත, කම්කරු-පීඩිත මහජනතාවට එරෙහිව දැවැන්ත කප්පාදු ප්‍රහාරයක් එල්ල කරමින් ඔවුන්ගේ ජීවන සහ සමාජ තත්වයන් තලා දැමීමේ යෙදී සිටින ධනපති පාලකයෙකි. දැවැන්ත බදු බර, ඉසිලිය නොහැකි විදුලි සහ ජල ගාස්තු, මහජන සෞඛ්‍යයේ සහ අධ්‍යාපනයේ සුවිසල් කප්පාදු සහ ලක්ෂ සංඛ්‍යාත රැකියා විනාශයන් මෙම ප්‍රහාරයට ඇතුලත් වේ.
ලක්ෂ සංඛ්‍යාත දුගී ගොවීන්ගේ වී නිෂ්පාදනයන් සොච්චම් මිලට මංකොල්ලකෑමේ සහ පාරිභෝගිකයන් නරුමලෙස ගසාකෑමේ යෙදී සිටින වී මෝල් හිමියන් සම්බන්ධයෙන් පවත්නා සාධාරන කෝපය තිබියදීම, දිසානායකගේ මෙම ප්‍රකාශය තුල ගැබ්ව පවත්නා බරපතල ඇඟවුම් කෙරෙහි කම්කරු-පීඩිත මහජනතාව තම අවධානය යොමු කල යුතුය.
ප්‍රථම කොටම, දිසානායක විසින් අකුරටම ක්‍රියාවට නංවමින් සිටින ජාමූඅ රුදුරු කප්පාදු වලට එරෙහිව අරගලයට පිවිස සිටින සහ පිවිසීමට නියමිත කම්කරුවන්ගේ අනෙකුත් පීඩිතයන්ගේ සියලු අරගල තලා දැමීම සඳහා දිසානායක මේ තර්කයම යොදාගනු ඇත.
මහජන සෞඛ්‍යයේ කප්පාදු වලට එරෙහිව සටන් වදින එම ක්ෂේත්රයේ කම්කරුවන්ට එරෙහිව පොලීසිය සහ හමුදාව කඩාපැන්නවීම සඳහා “මේ රටේ සෞඛ්‍යයත් එක්ක ප්රජාතන්ත්රවාදය ගැන කතා කරල වැඩක් නෑ” යනුවෙන් දිසානායක පවසනු ඇත.
“මේ රටේ අධ්‍යාපනය”, “මේ රටේ ප්‍රවාහනය”, “මේ රටේ විදුලිය” ආදී වශයෙන් ඕනෑම ක්ෂේත්රයක කම්කරුවන්ට එරෙහිව එය යොදාගත හැක.
ජාමූඅ කප්පාදු අකුරක් නෑර ඉදිරියටම ගෙනයාම සම්බන්ධයෙන් තම පාලනයට එරෙහිව වැඩී ඇති මහජන කෝපය සහල් ප්රශ්නය හේතුවෙන් පුපුරායනු ඇතැයි යන භීතිය දිසානායක තුල පවතී. අනාගත වැඩපිලිවෙල කුමක්දැයි “සටන” වැඩසටහනේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට පිලිතුරු දෙමින් ඔහු කියා සිටියේ සහල් ප්රශ්නය විසඳීම තම ප්‍රථම කාර්යය බවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව පලවා හැරි 2022 මහජන නැගිටීම ඉක්මවා යන මහජන නැගිටීමක් යලි පැන නැගීම සම්බන්ධයෙන් දිසානායක ඇතුලු සමස්ත පාලක පන්තිය උත්සුක ය. 2022 මහජන නැගිටීම හුදෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලනයට පමනක් නොව සමස්ත ධනපති පන්ති පාලනයට අභියෝග කරමින් පවතින බවට පාර්ලිමේන්තුවේ අනෙකුත් ධනපති නියෝජිතයන්ට අනතුරු අඟවමින්, 2022 අප්‍රේල් මාසයේදී අන්තර්වාර ආන්ඩුවක් සඳහා ඔවුන්ට කැඳවුම් කලේ දිසානායක ය.
සම්ප්‍රදායික දේශපාලන පක්ෂ කෙරෙහි වැඩී පැවති, මහජන වෛරය ගසා කමින් බලයට පැමිනි දිසානායකගේ ජාජබ/ජවිපෙ ආන්ඩුවට, වැඩෙන මහජන විරෝධය තලා දැමීම සඳහා හමුදාව මත යැපෙන ආඥාදායක පාලනයක් වෙතට හැරීම හැර, වඩවඩාත් ගැඹුරුවන ආර්ථික අර්බුදය තුල, අන් විකල්පයක් නැත.
වී මෝල්වල පාලනය හමුදාවට පැවරීමේ සැලසුම, සමස්ත සමාජයම මිලිටරීකරනය කිරීමේ වැඩපිලිවෙලක කොටසකි. දිසානායක “සටන” වැඩසටහටනේදී ප්‍රකාශ කල අයුරු, වී මෝල් හිමියන් විසින් ගොවීන්ගෙන් වී මිල දී ගැනීමේ සිට, වී සහල් බවට පරිවර්තනයකොට වෙලඳපොලට විකිනීම දක්වා වන සමස්ත ක්‍රියාදාමය හමුදාව විසින් අධීක්ෂනය කෙරෙනු ඇත. මේ වනාහි, දුගී ගොවියාගේ සිට, කුඩා වෙලෙන්දා සහ මහා වෙලඳ සමාගම් දක්වා වන සමස්ත වපසරිය මිලිටරියේ සමීප අධීක්ෂනයට නතු කිරීමකි.
රටපුරා මිලිටරිය සීරුවෙන් තබනුවස් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිකුත් කල විශේෂ ගැසට් නිවේදනය ද දිසානායක මාස්පතා අලුත් කරමින් සිටී. ජාජබ/ජවිපෙ ආන්ඩුවේ “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය ද මිලිටරීකරනය හා සෘජුව බැඳී පවතී. “දූෂනය සහ වංචාව නතර කිරීමේ” සිට, “ප්‍රසිද්ධ ස්ථානයන්හි හැසිරීම” සහ “රාජකාරිය නිසිලෙස ඉටු කිරීම” දක්වා වන මෙය සමස්ත සමාජයම රෙජිමේන්තුකරනය කිරීමකි.
මිලිටරිකරනයට අනුරූප වන පරිදි, ප්රජාතන්ත්ර-විරෝධී නීති වඩවඩාත් බලගැන්වීම දිසානායකගේ අභිප්‍රායයි. දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීමේ නීතිමය පදනම සම්පාදනය කෙරෙන “ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත” අහෝසි කරන බවට දුන් ජනාධිපතිවරන පොරොන්දුව මුලුමනින්ම කඩ කරමින් දිසානායක එය ඉදිරියටම ගෙන යමින් සිටී.
2008 ලෝක මුල්‍ය බිඳ වැටීමෙන් මුදා හැරුනු ලෝක ආර්ථික අර්බුදය කෝවිඩ් වසංගතය හේතුවෙන් වඩාත් ගැඹුරු කෙරුනු අතර, යුක්රේනය අරබයා රුසියාවට එරෙහිව එක්සත් ජනපදය ප්රමුඛ නැටෝ බලයන් විසින් ගෙනයන යුද්ධයෙන් සහ එක්සත් ජනපදයේ පූර්න පිටුබලයෙන් ඊශ්‍රායලය මැදපෙරදිග ගෙනයන යුද්ධයෙන් එය වඩාත් තීව්ර විය. රටක් රටක් පාසා පාලක පන්තීහු, එම අර්බුදයේ බර විවිධ කප්පාදු හරහා කම්කරු-පීඩිත මහජනතාව මත පටවමින් සිටින අතර එයට එරෙහිව අරගලවලට පිවිසෙන කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් තලා දැමීමට ආඥාදායක පාලන ක්රමයන් වෙත හැරෙමින් සිටිති. දිසානායක ආන්ඩුව යටතේ ලංකාවේ දිග හැරෙමින් පවතින්නේ එම ජාත්‍යන්තර ප්රපංචය යි.
කෙසේ නමුත්, වී මෝල්, පොහොර සහ කෘෂි රසායනික නිෂ්පාදන කම්හල්, කාර්ගිල්ස් සහ කීල්ස් වැනි දැවැන්ත වෙලඳ සමාගම් සහ බැංකු ඇතුලු නිෂ්පාදන මාධ්‍යයන් පුද්ගලික හිමිකාරිත්වය යටතේ ලාභය අරමුනු කොට ක්‍රියාත්මකවන තෙක්, පාරිභෝගික මහජනතාවගේ සහ දුගී ගොවීන්ගේ ප්‍රශ්න කිසිවක්, විසඳිය නොහැක.
අඩු මිලට සහ හිඟයකින් තොරව පාරිභෝගික මහජනතාවට සහල් ඇතුලු ආහාර, අනෙකුත් භාන්ඩ සහ සේවා ලබාදිය හැක්කේ ද, දුගී ගොවිජනතාවට තම වගාවන් සඳහා අවශ්‍ය නය පහසුකම් මෙන්ම, අඩු මිලට පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය සම්පාදනය කල හැක්කේ ද, ඔවුන්ගේ නිෂ්පාදන වලට සහතික මිලක් තහවුරුකල හැක්කේ ද, ඉහත නිෂ්පාදන මාධ්‍යයන් කම්කරු පන්තියේ ප්රජාතන්ත්රවාදී පාලනයට නතුකොට, පුද්ගලික ලාභය වෙනුවට, මානව අවශ්‍යතා සපුරාලන පරිදි සමස්ත නිෂ්පාදනය සහ බෙදා හැරීම ප්‍රතිසංවිධානය කිරීමෙන් පමනි. මෙය සාක්ෂාත් කල හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් මගිනි.