[මෙය Sri Lankan government escalates witch-hunt against school development officers යන මැයෙන් 2025 ජනවාරි 15 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
ආන්ඩුව, රටේ ගුරු සේවයට ඒකාබද්ධ වීම සඳහා උද්ඝෝෂනය කරමින් සිටින පාසල් සංවර්ධන නිලධාරීන් (පාසංනි) ට එරෙහි පොලිස්-රාජ්‍ය මර්දනය තීව්ර කර තිබේ.
දෙසැම්බර් 2 වන දින කොලඹ බත්තරමුල්ලේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පාසංනි නිලධාරීන් 1,000 ක් පමන සහභාගී වූ විරෝධතාවක දී පොලිස් නිලධාරීන් තිදෙනෙකුට තුවාල කලේ යැයි පාසංනි නිලධාරීන් අට දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර ඇත.
ශ්‍රී ලංකාවේ දකුනේ, වීරකැටිය ජනපදයේ, ජනපද මහා විද්‍යාල පාසලේ ගුරුවරයෙකු ලෙස සේවය කරන පාසංනි එච්. කේ. ජී. බී. නෙල්සන් ජනවාරි 7 වන දින අත්අඩංගුවට ගන්නා ලදී. ඔහුට පොලිසියට පැමින ප්‍රකාශයක් ලබා දෙන ලෙස පොලිසිය ඔහුගේ පාසලේ විදුහල්පතිවරයාට ලිපියක් යැවීමෙන් පසු, ඔහු අත්අඩංගුවට ගෙන තලංගම පොලිස් ස්ථානයේ චෝදනා ගොනු කර ඇත.
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරනයකට ඉදිරිපත් කරන ලද නෙල්සන්, ජනවාරි 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. 42 හැවිරිදි ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන අතර දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. ඔහුගේ ගැබිනි බිරිඳ තුන්වන දරුවෙකු බිහි කිරීමට ආසන්න ව සිටියි.
ලෝක සමාජවාදී වෙබ් අඩවියට සහ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකයට (කක්‍රිකසා) කතා කල පාසංනි නිලධාරියෙකුට අනුව, මෑත සතිවල ඔහුගේ පවුලේ සාමාජිකයින්ට තර්ජනය කලැයි කියන, සිවිල් ඇඳුමින් සැරසුනු නිලධාරීන් කිහිප දෙනෙකු ඇතුලු පිරිසකගේ තර්ජනයට ලක්වීමෙන් පසු නෙල්සන් පොලිසියට වාර්තා කලේය.
දෙසැම්බර් 2 වන දින විරෝධතාවයේ දී පොලිස් නිලධාරීන්ට තුවාල සිදු කලේ නෙල්සන් බව, පොලිස් පරීක්ෂනවලින් හඳුනාගෙන ඇති බවට මාධ්‍ය ආයතන දෙකක් පදනම් විරහිත ප්‍රකාශ ප්‍රකාශයට පත් කර තිබේ.
ආන්ඩුවට පක්ෂපාතී දිනපතා සිංහල පුවත්පතක් වන දිනමින හි ජනවාරි 9 වන දින පල වූ වාර්තාවක මාතෘකාව වූයේ: “ඉසුරුපාය අසල විරෝධතාවයේ දී පොලිස් නිලධාරීන් කපා දැමුවේ නෙල්සන් සර් ය: තලංගම පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ,” යන්නයි. තවත් සිංහල දිනපතා පුවත්පතක් වන දිවයින එදින ම “ඉසුරුපාය පිටත විරෝධතාවයේ දී පොලිස් නිලධාරීන් තිදෙනෙකු කපා දැමූ වීරකැටියේ සංවර්ධන නිලධාරියා රිමාන්ඩ් භාරයට පත් කරන ලදී” යන මාතෘකාව යටතේ වාර්තාවක් පල කලේය.
මෙම ප්‍රකාශන දෙක මගින් නෙල්සන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට හෝ අධිකරනයකට ඉදිරිපත් කිරීමට පෙර ම වරදකරු බවට පත් කර තිබේ.
වසර පහක් තිස්සේ පාසල්වල ඉගැන්වීමේ කටයුතුවල නියැලී සිටින පාසංනි නිලධාරීන් 16,000 ක් පමන, දීර්ඝ කාලයක් තිස්සේ, ගුරුවරුන් හැටියට පූර්න ලෙස අන්තර්ග්රහනය කරන ලෙස ඉල්ලමින් සටන් වදිති. පසුගිය මාසයේ විරෝධතාවයට හේතුව අනුප්‍රාප්තික ආන්ඩු, ඔවුන්ගේ ඉල්ලීම් නොතකා හැරීමයි.
අලුතින් බලයට පත් වූ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)/ජාතික ජන බලවේගය (ජාජබ) ආන්ඩුව පාසංනි විරෝධතාවට ප්‍රතිචාර දැක්වූයේ, විරෝධතාකරුවන් කෲර ලෙස විසුරුවා හැරීම සඳහා පොලිස් නිලධාරීන් සිය ගනනක් යෙදවීමෙනි. ඉන්පසු ආන්ඩුව විශාල දඩයමක් දියත් කලේය.
නීතිවිරෝධී ලෙස රැස්වීම, රථවාහන ගමනාගමනය අවහිර කිරීම සහ පොලිස් නිලධාරීන්ට තුවාල සිදුකිරීම යන ව්‍යාජ චෝදනා මත විරෝධතාවයේ දී පාසංනි සිව්දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදහ. දෙසැම්බර් 7 වන දින හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කල මුත්, තුවාල ලැබූ පොලිස් නිලධාරීන් කිසිවෙක් ඔවුන් සැකකරුවන් ලෙස හඳුනා ගත්තේ නැත.
දෙසැම්බර් 15 වන දින, තවත් පාසංනි තිදෙනෙකු ඔවුන්ගේ නිවෙස්වලින් පැහැරගෙන ගොස් එම චෝදනා මත පොලිස් භාරයට ගන්නා ලදී. එක් අයෙකු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලද නමුත් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් ඔහු හඳුනා නොගත්හ. පාසංනි හත් දෙනා ඇප මත මුදා හරින ලද අතර, වරදකරුවන් වුවහොත් ඔවුන්ට සිර දඬුවම් සහ දඩ මුදල් ගෙවීමට සිදුවේ.
දෙසැම්බර් 2 වන දින පැවති විරෝධතාවයේදී, පාසංනි විරෝධතාකරුවන් සැක සහිත පුද්ගලයෙකු අල්ලා පොලිසියට භාර දුන් අතර පසුව ඔහු හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු ලෙස හඳුනා ගන්නා ලදී.
රූපවාහිනී ප්රවෘත්ති දර්ශනවලින් පෙනී ගියේ, අත්අඩංගුවට ගෙන ජීප් රථවලට ඇද දැමූ පාසංනි ට පොලිසිය සැලකූ රලු ආකාරයට වෙනස්ව, සැක සහිත පුද්ගලයා පොලිසිය විසින් පූර්න ආරක්ෂාව යටතේ රැගෙන යන ආකාරයයි. අත්අඩංගුවට ගත් පාසංනි වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් මාධ්‍යයට පැවසුවේ, ඔහු අතේ තියුනු ආයුධයක් තිබූ බවයි.
දෙසැම්බර් 12 වන දින, වැඩබලන පොලිස්පති කාර්යාලය (අයිජීපී) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, සැකකරු හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු නොවන බව කියා සිටියේය. මෙම පුද්ගලයාගෙන් අවධානය වෙනතකට යොමු කර සැබෑ කතාව වසන් කිරීමට පොලිසිය පාසංනි ට එරෙහි දඩයම දැඩි කරමින් සිටින බව දැන් පෙනේ.
මේ පුද්ගලයා කවුද? ඔහු විරෝධතාවයට පැමිනියේ ඇයි?; ඔහුව නිදහස් කලේ කුමන පදනමක් මතද?
මෙම මූලික ප්‍රශ්න කිසිවකට පිලිතුරු නොදී පොලිසිය මෙම පුද්ගලයා නිදහස් කර ඇතත්, ඔවුන් සහ ආන්ඩුවට පක්ෂපාතී මාධ්‍ය දැන් අවධාරනය කරන්නේ, පොලිස් නිලධාරීන්ට තුවාල සිදු කල පාසංනි නෙල්සන් බවට හඳුනාගෙන, අත්අඩංගුවට ගෙන ඇති බවයි.
නෙල්සන්ගේ පාසල අසල පිහිටි පාසලක පාසංනි ගුරුවරයෙක් පොලිස් දඩයම හෙලා දුටු අතර නෙල්සන් සැඟවී සිටි බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කලේ ය.
“නෙල්සන් පොලිසියෙන් පලා ගොස් සිටි බවට කරන ප්‍රකාශ බොරු,” ඔහු ලෝක සමාජවාදී වෙබ් අඩවිය ට පැවසීය.
“නිවාඩු කාලය තුල ඔහු සෑම වැඩ කරන දිනකම සේවයට වාර්තා කලා. ඔහුගේ බිරිඳගේ පවුලේ සාමාජිකයන් බිය ගන්වමින් සහ ඔහු සිටින ස්ථානය විමසමින් සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් කිහිප වතාවක්ම ඔහුගේ නිවසට පැමිනියා. ඔවුන් ඔහුගේ බිරිඳගේ සහෝදරියන් ද හඹා ගොස් තිබෙනවා.”
'එක් අවස්ථාවක දී, නෙල්සන්ගේ ගැබිනි බිරිඳ ඇගේ පෙර පාසලේදී පොලිසිය විසින් පරුෂ ලෙස ප්‍රශ්න කර තිබෙනවා. ඇය ක්ලාන්ත වෙලා; ඒ හේතුවෙන් පෙර පාසල් උත්සවයකටත් බාධා වෙලා,' යැයි ඔහු පැවසීය.
එම ගුරුවරයා, නෙල්සන් අපරාධයක් කල බවට කිසිදු සාක්ෂියක් නොමැතිව එවැනි ප්‍රකාශ නිකුත්කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා හෙලා දුටුවේය. “පාසල් සිසුන් පවා පවසන්නේ ඔහුව සිරගත කර ඇති බවයි. මම මීට පෙර මෙවැනි දෙයක් දැක නැහැ,” යැයි ඔහු තවදුරටත් පැවසීය.
පාසංනි විරෝධතාකරුවන්ට එල්ල කරන ලද පොලිස් ප්‍රහාරය සහ අඛන්ඩව සිදුවන මර්දනය පෙන්නුම් කරන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද කප්පාදු වැඩසටහනට එරෙහිව කම්කරු පන්තිය විසින් ගෙන යනු ලබන ඕනෑම අරගලයක් තලා දැමීමට ජවිපෙ/ජාජබ ආන්ඩුව අධිෂ්ඨාන කරගෙන සිටින බවයි.
මේ පිලිබඳ තවත් තියුනු ප්රකාශනයක් වන්නේ, මෑතකදී, සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය විසින් සංවිධානය කරන ලද “ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේද?” යන දේශනය තහනම් කිරීමයි. ජනවාරි 3 වන දින පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම උත්සවයට දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමය අනුග්‍රහය දැක්වීය.
ජාමූඅ කප්පාදු වැඩසටහනට රාජ්‍ය ව්‍යවසායන් 400 කට වැඩි ප්‍රමානයක් පුද්ගලීකරනය කිරීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීම සහ රාජ්‍ය අංශයේ ශ්‍රම බලකාය මිලියන භාගයකින් කප්පාදු කිරීම ඇතුලත් වේ. එකතු කල අගය මත බද්ද (වැට්) සහ උපයන විට ගෙවන බද්ද (පේයී) දිගටම ක්‍රියාත්මක කිරීමට නියමිත අතර අධ්‍යාපනය සහ සෞඛ්‍ය වියදම් සඳහා ප්‍රධාන කප්පාදු සිදු කිරීමට නියමිතය.
ගුරු සේවයට ඒකාබද්ධ කිරීම සහ රැකියා විරහිත උපාධිධාරීන් 30,000 කට වැඩි පිරිසක් රාජ්‍ය අංශයේ රැකියාවලට බඳවා ගැනීම සඳහා වන පාසංනි නීත්‍යානුකූල ඉල්ලීම් මත, මෙම අධ්‍යාපනඥයින් ආන්ඩුව සහ එහි කප්පාදු පියවරයන් සමග සෘජු ගැටුමකට එලඹෙමින් සිටිති. අධ්‍යාපන ක්ෂේත්රය තුල පාසල්වල ගුරු පුරප්පාඩු 50,000 කට වඩා තිබේ.
ජවිපෙ/ජාජබ ආන්ඩුව පාසංනි ට එරෙහි මර්දනය උත්සන්න කරන අතරතුර, ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ආවරනය කරන වෘත්තීය සමිති, එක්කෝ පොලිස් ක්‍රියාමාර්ග ප්‍රසිද්ධියේ අනුමත කරයි; නැතහොත් නොදැක්කා සේ සිටී. ජවිපෙ මගින් පාලනය වන ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් සහ දැන් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, පොලිස් නිලධාරීන්ට තුවාල සිදු කල බවට පාසංනි ට චෝදනා කලේය. ඔහු පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රකාශය කලේ කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකරමිනි.
ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් පාලනය කරනු ලබන එක්සත් ගුරු සංගමය සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය පූර්න නිහඬතාවයක් පවත්වා ගෙන යයි. ගුරු සේවයට පාසංනි බඳවා ගැනීමට පෙර විශේෂ තරඟ විභාග පැවැත්විය යුතු බවට ආන්ඩුව කරන වංචනික ප්‍රකාශ පිටුපස මෙම වෘත්තීය සමිති ද පෙල ගැසී සිටිති.
මෙම වෘත්තීය සමිති, ආන්ඩුවට බලපෑම් දැමීමෙන් සහන ලබා ගත හැකි බවට බොරු කියයි. පසුගිය වසරේ මැතිවරනවල දී, ජාජබ ආන්ඩුවක් ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ ගැටලු විසඳනු ඇතැයි පැවසූ ජවිපෙ වෘත්තීය සමිතිවලට ඒවා සහාය දුන්නේ ය. වැටුප්, රැකියා සහ කොන්දේසි සම්බන්ධයෙන් පාසංනි ඇතුලු කම්කරු පන්ති අරගල විසුරුවා හැරීමට ඒවා හැකි සෑම දෙයක්ම කලේ ය.
පාසංනි වෘත්තීය සමිති නිලධරයට, මෙම වෘත්තීය සමිති සමඟ මූලික වෙනස්කම් නොමැත. ඔවුන්, කම්කරු පන්තියේ ඕනෑම ස්වාධීන දේශපාලන අරගලයකට සතුරු වෙමින්, තම සාමාජිකයන් හුදකලා කර ඇති අතර, සංස්ථාපිත පක්ෂ, ඊනියා සිවිල් සංවිධාන සහ උසාවි කෙරෙහි විශ්වාසය තබන ලෙස ඉල්ලා සිටීමෙන් ඔවුන් තවදුරටත් ප්‍රහාරවලට නිරාවරනය කර ඇත.
දෙසැම්බර් 26 වන දින කම්කරු ක්‍රියාකාරී කමිටු සාමුහිකය (කක්‍රිකසා) විසින් “ශ්‍රී ලාංකික කම්කරුවන් සහ ගුරුවරුන් පාසල් සංවර්ධන නිලධාරීන් ආරක්ෂා කල යුතු ය” යන මැයෙන් ප්‍රකාශයක් ප්‍රකාශයට පත් කරන ලදී. එය පාසංනි හි ඉල්ලීම් දිනා ගැනීමටත්, ජාමූඅ කප්පාදුවලට එරෙහිව කම්කරු පන්තියේ පුලුල් අරගලය ඉදිරියට ගෙන යාමටත් කල යුතු අරගලයක පදනම ගෙනහැර දැක්වීය. ප්‍රකාශයේ මෙසේ පැහැදිලි කර ඇත:
“වෘත්තීය සමිති නිලධරයන්ගේ ’පසෙකට වී බලා සිටිනු’ ප්‍රතිපත්තිය සහ කම්කරුවන් දේශපාලනිකව නිරායුධ කිරීමට දරන උත්සාහයන් ප්‍රතික්ෂේප කරන ලෙස කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය (කක්‍රිකසා) කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. ඔවුන්ගේ සමාජීය හා ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් සඳහා අරගලයක් සංවිධානය කිරීමට, කම්කරුවන් සෑම වැඩබිමකම මෙන්ම වතුකරයේ සහ සියලුම ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල වහාම ක්‍රියාකාරී කමිටු පිහිටුවිය යුතුය.
“වෘත්තීය සමිති නායකයින්, ධනේශ්වර පක්ෂ සහ ඊනියා සිවිල් සමාජ කන්ඩායම් වෙත කරන ආයාචනා ප්‍රතික්ෂේප කර, පාසංනි තමන්ගේම ක්‍රියාකාරී කමිටු සංවිධානය කරමින් කම්කරු පන්තියේ අනෙකුත් කොටස් වෙත හැරිය යුතුය.”
වැඩිදුර කියවන්න
- පාසල් සංවර්ධන නිලධාරීන්ගේ අරගලයට ක්‍රියාශීලිව සහයෝගය දෙමු! වැටුප්, රැකියා හා නිදහස් අධ්‍යාපනය දිනා ගැනීමට ඒකාබද්ධව සටන් වදිමු!
- ශ්‍රී ලංකාවේ ගුරුවරුන් සහ කම්කරුවන්, පාසල් සංවර්ධන නිලධාරීන් ආරක්ෂා කල යුතුයි
- ශ්‍රී ලංකාව: කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය පාසල් සංවර්ධන නිලධාරීන් ආරක්ෂා කිරීම සම්බන්ධව සාකච්ඡා කරයි