ශ්‍රී ලංකාවේ ඕල්ටන් වතු කම්කරුවන්ට එරෙහි දඩය​ම අඛන්ඩ ව

[මෙය Victimisation of Alton estate workers in Sri Lanka continues යන මැයෙන් 2025 ජනවාරි 28 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ඕල්ටන් වතු කම්කරුවන් දුසිම් ගනනකට අදාල අධිකරන නඩු දෙකක් දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී පිලිවෙලින් මහේස්ත්‍රාත් අධිකරනයේ සහ කම්කරු විනිශ්චය සභාවේ විභාග විය. නඩු දෙකෙහිම ක්‍රියාදාමයන් පෙන්නුම් කලේ, ව්‍යාජ චෝදනා එල්ල කර ඇති කම්කරුවන්ට දඬුවම් කිරීමට, ඕල්ටන් වතුයාය පාලනය කරන හොරන වැවිලි සමාගමේ සහ රාජ්‍ය බලධාරීන්ගේ අධිෂ්ඨානය යි.

ඕල්ටන් වතු කම්කරුවෝ 2022 අප්‍රේල් 29 වැනි දා වැඩ වර්ජනය කර පිකට් කරති. [ලෝසවෙඅ මාධ්‍ය]

මස්කෙලිය ඕල්ටන් වතුයායේ කම්කරුවන් 22 දෙනාට එරෙහිව දෙසැම්බර් 15 වන දින පැවති නඩු විභාගයේදී හැටන් මහේස්ත්‍රාත්වරයා නඩුව මාර්තු 5 වන දිනට කල් තැබීය. එය මේ වන විට 2021 මාර්තු මාසයේ සිට වසර හතරක් පුරා ඇදී ගොස් ඇත.

මෙම කම්කරුවන්ට චෝදනා එල්ල වී තිබෙන්නේ, 2021 පෙබරවාරි 15 ​​වන දින පැවති විරෝධතාවකදී වතු කලමනාකරු සත්‍යමූර්ති සුභාෂ් නාරායනන් සහ සහකාර කලමනාකරු අනුෂාන් තිරුචෙල්වම් යන අයට ශාරීරිකව පහර දීම සහ කලමනාකරුගේ නිවසට හානි කිරීම සම්බන්ධයෙනි.

දෛනික වැටුප වැඩි කර ගැනීම සඳහා කරන ලද උද්ඝෝෂනය මැඩපැවැත්වීමට, සමාගම සහ පොලිසිය තමන්ට චෝදනා එල්ල කල බව කම්කරුවෝ අවධාරනය කරති. එම වසරේ පෙබරවාරි 2 වන දින, ඔවුන් වැඩ වර්ජනයක් ආරම්භ කල අතර දින තුනකට පසු ලක්ෂ සංඛ්‍යාත වතු කම්කරුවන්ගේ ජාතික වැඩ වර්ජනයකට ඔවුන් ද එක් වූයේ තම දෛනික වැටුප රුපියල් 1,000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා සිටිමිනි. කෙසේ වෙතත්, කලමනාකාරිත්වයේ බාධා කිරී​ම් මැ​ද ඔවුන් මාර්තු 29 දක්වා වර්ජනය දිගටම කරගෙන ගියහ.

පසුගිය වසර හතර පුරාවට ම, වතු කලමනාකරුගේ නිවසට හානි කිරීම සම්බන්ධයෙන් කම්කරුවන්ට චෝදනා ගො​නු කිරීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් ඔවුන් බලා සිටින බව පවසමින්, නඩුව කල් දැමීමට පොලිසිය කල ඉල්ලීමට මහේස්ත්‍රාත්වරයා අවසර දුන්නේය.

දෙසැම්බර් 15 වන දින මස්කෙලිය පොලිස් නිලධාරියෙකු අධිකරනයට කියා සිටියේ, කලමනාකරුගේ නිවසට හානි කිරීම සම්බන්ධයෙන් කම්කරුවන්ට අධිචෝදනා ගොනු කිරීමට ප්‍රමානවත් සාක්ෂි නොමැති බව නීතිපතිවරයා (ඒජී) තීරනය කර ඇති බවයි.

නීතිපතිවරයාගේ නිගමනය, සේවකයින් වතු දේපලවලට හානි කල බවට සමාගම සහ පොලිසිය විසින් එල්ල කරන ලද ප්‍රධාන චෝදනාව සැබැවින්ම බිඳ දැමූ අතර සමස්ත නඩුවේ ප්‍රෝඩාකාරී ස්වභාවය හෙලිදරව් කලේය. කෙසේ වෙතත්, මෙවර, මහේස්ත්‍රාත්වරයා නැවතත් නඩුව කල් දැමුවේ, සේවකයින්ට එරෙහිව නව චෝදනා ගොනු කිරීමට පොලිසියට කාලය ලබා දෙමිනි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ ඕල්ටන් කම්කරු ක්‍රියාකාරී කමිටුව (ඕකක්‍රික) ආරම්භයේ සිටම අවධාරනය කලේ, මෙම නඩුව වතු සමාගමේ සහ පොලිසියේ ඒකාබද්ධ කුමන්ත්‍රනයක් බවත්, ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) වෘත්තීය සමිති නිලධාරීන්ගේ සහයෝගයෙන් සිදු කල එකක් බවත් ය. වතුයායේ සීඩබ්ලිව්සී නිලධාරීන් කම්කරුවන්ට උපදෙස් දුන්නේ, පොලිසියට යටත් වන ලෙස යි.

එම බොරු ප්‍රකාශ පදනම් කරගෙන, හොරන වැවිලි සමාගම චෝදනා එල්ල වූ 22 දෙනා ඇතුලුව කම්කරුවන් 38 දෙනෙකු සේවයෙන් පහ කලේය. මෙම මර්දනකාරී පියවරයන්, ඕල්ටන් කම්කරුවන් පමනක් නොව, වැඩි වැටුප් ඉල්ලා සහ නොඉවසිය හැකි කොන්දේසිවලට එරෙහිව වැඩ වර්ජන හා විරෝධතාවල නියැලී සිටි සමස්ත වතු කම්කරුවන්ව​ම බිය ගැන්වීම අරමුනු කර ගෙන තිබුනි.

නැවත සේවයේ පිහිටුවීම ඉල්ලා සිටි සේවයෙන් පහ කරන ලද කම්කරුවන් 13 දෙනෙකුගේ නඩුවේ තීන්දුව, කම්කරු විනිශ්චය සභාව (කවිස) විසින් ජනවාරි 9 වන දින ලබා දෙන ලදී. මෙම සේවකයින් සීඩබ්ලිව්සී ය හරහා ඔවුන්ගේ අභියාචනය ගොනු කල අතර, 17 දෙනෙකු පෞද්ගලික නීතිඥයෙකුගේ සේවය ලබා ගත්හ. පසුගිය වසර තුන තිස්සේ මෙම නඩු ඇදී යමින් පවතී.

කම්කරුවන් 13 දෙනා නැවත සේවයේ පිහිටුවීම සඳහා වූ නඩුව නිෂ්ප්‍රභ කල කවිස විනිසුරුවරයා, උසාවි වියදම් ලෙස සෑම කම්කරුවෙකුට ම සමාගමට රුපියල් 7,500 බැගින් ගෙවන ලෙස නියෝග කලේය.

කවිස නඩුවේදී කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි සීඩබ්ලිව්සී කම්කරු අධ්‍යක්ෂ ටී.එෆ්. කතිර්වේල් ලෝසවෙඅ වෙත මෙසේ පැවසීය: Òමෙම තීන්දුව කම්කරුවන්ට හතුරු යි. මම අතීතයේ දී කම්කරුවන් වෙනුවෙන් නඩු කිහිපයක පෙනී ඉඳල තියෙනවා; නමුත් වගඋත්තරකරුවන්ට ගෙවීමට කම්කරුවන්ට නියෝග කල තීන්දුවක් ගැන කවදාවත් අසා නැහැ.Ó

කතිර්වේල්ට අනුව, සේවකයින් කලමනාකරුගේ නිවසට ඇතුලු වී ඔහුට හානි කල බව පවසමින් විනිසුරු නඩුව නිෂ්ප්‍රභ කර තිබේ. කෙසේ වෙතත්, පොලිසිය තවමත් එවැනි චෝදනා අධිකරනයට ඉදිරිපත් කර පවා නොමැත.

සේවකයින්ට වියහියදම් දරාගත හැකි නම් මහාධිකරනයේ අභියාචනයක් ගොනු කල හැකි බව සීඩබ්ලිව්සී නිලධාරියා පැවසුවේ ය! කෙසේ වෙතත්, මෙයින් අදහස් කෙරෙන්නේ, ඉහල අධිකරනයේ පෙනී සිටීම සඳහා නීතිඥයින්ට ගෙවීමට කම්කරුවන්ට විශාල මුදලක් සොයා ගැනීමට සිදුවන බවයි.

අනෙකුත් වෘත්තීය සමිති මෙන්, සීඩබ්ලිව්සී ද දශක ගනනාවක් තිස්සේ සාමාජික ගාස්තු එකතු කර ඇත. කෙසේ වෙතත්, සීඩබ්ලිව්සී නිලධරය නීති ගාස්තු ගෙවා නැත. පසුගිය වසර හතර තුල, දරිද්‍රතාවයෙන් පෙලෙන කම්කරුවන්ට, සෑම තුනකට වරක් ම උසාවිවලට පැමිනීමට ගමන් වියදම් සඳහා මෙන් ම නීතිඥයින්ට ගෙවීම පිනිස තම සොච්චම් ආදායමෙන් වැය කිරීමට සිදුවී ඇත.

වතු කලමනාකාරිත්වය සමඟ එක්ව කම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රනයට සීඩබ්ලිව්සී නිලධාරීන් සෘජුවම සම්බන්ධ විය. කෙසේ වෙතත්, ජාතික කම්කරු සංගමය, කඳුරට ජනතා පෙරමුන, ලංකා ජාතික වතු කම්කරු සංගමය සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරනු ලබන සමස්ත ලංකා වතු කම්කරු සංගමය ඇතුලු අනෙකුත් වෘත්තීය සමිති සියල්ලම මෙම කම්කරුවන් ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම ඕල්ටන් සේවකයන් දඩයමට ලක්කිරීම හුදකලා සිද්ධියක් නොවේ.

ඕල්ටන් හි මර්දනයෙන් මාස කිහිපයකට පසු, තලවකැලේ කටුකැලේ වතුයායේ සේවකයින් 11 දෙනෙකු, බොරු චෝදනා මත වැරදිකරුවන් කර සේවයෙන් පහ කරන ලදී. කොවිඩ්-19 සමයේදී සහනාධාර ඉල්ලා සිටි නිසා හැටන් අසල වැලිඔය වතුයායෙන් කම්කරුවන් පස් දෙනෙකු සේවයෙන් පහ කරන ලදී.

හොරන වැවිලි සමාගම, විශාල ප්‍රාදේශීය වැවිලි සමාගම් 22 න් එකක් වන අතර එය ශ්‍රී ලංකාවේ ඉහලම සමාගමක් වන හේලී​ස් සමූහයේ කොටසකි.

අනුප්‍රාප්තික ආන්ඩුවල සහාය ඇතිව, සියලුම තේ වතු සමාගම්, ගෝලීය වෙලඳපොල තුල තරඟ කිරීම සඳහා කම්කරුවන් සූරාකෑම තීව්‍ර කිරීමට සහ නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට උත්සාහ කරති. වැඩි වැටුප් සඳහා කම්කරුවන්ගේ ඉල්ලීම්වලට ඔවුන් දැඩි ලෙස සතුරු ය.

ඒ සඳහා කම්කරුවන් ව තල්ලුකරනු ලබන එක් ක්‍රමයක් වන්නේ ආදායම් බෙදීමේ ක්‍රමය යි. තේ පඳුරු 1,000 ක් පමන කම්කරුවන් අතර බෙදා දෙනු ලබයි. අවශ්‍ය යෙදවුම් (පොහොර, කෘෂිරසායනආදිය ), සමාගම විසින් සපයනු ලබන අතර, පවුලේ සාමාජිකයන් පවා යොදා ගනිමින් කම්කරුවන් තමන් ට පවරා ඇති ඉඩම් කොටස නඩත්තු කල යුතු ය. වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පසු, කම්කරුවාට ලැබෙන්නේ ඊනියා ආදායම් බෙදා ගැනීමේ විධිවිධානයන්ට අනුව කුඩා කොටසක් පමනි.

මෙම හවුල් වගා ක්‍රමය වතු කිහිපයකම පනවා ඇති නමුත්, සමහර අවස්ථාවල කම්කරුවන්ගේ විරෝධයේ ප්‍රතිඵලයක් ලෙස එය අත්හැර දැමීමට සිදු විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) දැඩි කප්පාදු ඉල්ලීම්වලින් එකක් වන්නේ, ප්‍රාදේශීය වතු සමාගම් ද ñආර්ථික ප්‍රතිව්‍යුහගතකරනයටî ලක්කල යුතු බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පූර්ව ආන්ඩුව, බෝග විවිධාංගීකරනය සහ සංචාරක ව්‍යාපාරය ඇතුලුව තේ සමාගම්වල ලාභදායීතාවය සහතික කිරීම සඳහා සැලසුම් ආරම්භ කලේය.

පසුගිය වසරේ තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක, ජාමූඅ න්‍යාය පත්‍රය සම්පූර්නයෙන්ම ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින අතර කම්කරුවන්ගේ වියදමින් වතු ලාභදායී කිරීමට උත්සාහයන් වේගවත් කරනු ඇත.

වතු කම්කරුවන්ට තම රැකියා ආරක්ෂා කර ගැනීමට සහ පදිංචියට සුදුසු නිසි නිවාස ඇතුලු යහපත් වැටුප් සහ කොන්දේසි දිනා ගැනීමට සටන් කිරීමට සිදු වේ.

මෙම අරගලය දියත් කිරීමේදී, සියලුම වතු කම්කරුවන්, වින්දිත ඕල්ටන් වතු කම්කරුවන්ට එරෙහි සියලු චෝදනා ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටීම අත්‍යවශ්‍ය වේ. කම්කරුවන් 38 දෙනා ම වහාම නැවත සේවයේ පිහිටුවිය යුතු අතර වැටුප් ආපසු ගෙවිය යුතුය!

වතුකරයේ තම පන්ති සහෝදර සහෝදරියන්ගේ අරගලයට සහාය දෙන ලෙසට, අපි ශ්‍රී ලංකාවේ සියලුම කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

ජාත්‍යන්තර උද්ඝෝෂනයක් හරහා, දඩයමට ගොදුරු ව සිටින ඕල්ටන් කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා සසප සහ ඕකක්‍රික මූලිකත්වය ගත්තේ ය. කම්කරුවන් පාඩම් ඉගෙන ගත යුතුය. වෘත්තීය සමිති නිලධරයන් තමන්ගේම සාමාජිකයින්ට එරෙහිව සමාගම් සහ ආන්ඩුව සමඟ පෙල ගැසී සිටිති.

සටන තමන්ගේ අතට ගැනීම සඳහා කම්කරුවන් තමන්ගේ ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුතු ය. මෙම ක්‍රියාකාරී කමිටුවල වෘත්තීය සමිති නිලධරයන්ට සහ ධනපති පක්ෂවලට ඉඩක් නැ​ත.

මෙම මුලපිරීම ගැනීමට කම්කරුවන්ට සහාය වීමට සසප සහ ඕකක්‍රික සූදානම් ය.

කම්කරුවන්ට තම ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතිවාසිකම් ආරක්ෂා කර ගත හැකි එකම මාර්ගය වන්නේ, ලාභය මත පදනම් වූ ක්‍රමය බිඳ දැමීම, කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීම සහ ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමට පියවර ගැනීම සඳහා ඒකාබද්ධ දේශපාලන අරගලයක් හරහා පමනි. මෙයට ප්‍රධාන කර්මාන්ත, බැංකු සහ වතු ජනසතු කිරීම සහ ඒවා කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ තැබීම ඇතුලත් වේ.

මෙම අරගලය දකුනු ආසියාව පුරා සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා වන සටනේ කොටසකි.

Loading