ශ්‍රී ලංකා ආන්ඩුව මේ සතියේ, රටට වාහන ආනයනය කිරීමට වසර පහක් තිස්සේ පැවති තහනම ඉවත් කරමින්, අසීමිත වාහන බදු ප්‍රකාශයට පත් කලේ ය.
මෙම බදු වලට ඇතුලත් වන එක්සයිස් බදු, රේගු බදු, එකතු කල අගය මත බදු (වැට්), සුඛෝපභෝගී බදු සහ ඒ මත සියයට 50 ක අධිභාරය අනුව වාහන සඳහා දැනටමත් පවතින සියයට 300 ක බද්ද, සියයට 400 - 600 දක්වා වැඩි කර ඇති අතර එය ලොව ඉහලම වාහන බදු ලෙස වාර්තා වේ.
ලංකා මෝටර් රථ වෙලඳ සංගමයේ (Ceylon Motor Traders Association) ප්‍රකාශකයෙකුට අනුව, කුඩා ප්‍රමානයේ කාරයක මිල රුපියල් ලක්ෂ 5 ත් 10 ත් අතර අගයකින් ද, ත්‍රිරෝද රථයක මිල රුපියල් ලක්ෂ 6.5 කින් ද, යතුරුපැදියක මිල රුපියල් ලක්ෂ 7 කින් ද ඉහල යනු ඇත.
රට තුල මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තයක් නොමැති බැවින්, සියලුම වාහන ජපානය, චීනය වනි රට වලින් හෝ යුරෝපයෙන් ආනයනය කරනු ලැබේ. 2020 දී වාහන ආනයනය සීමා කල විට, යුරෝපා සංගමය සිය අප්‍රසාදය පල කල අතර ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, වත්මන් ආනයන සීමාවන් ශ්‍රී ලංකාවේ සහ යුරෝපීය ව්‍යාපාරවලටත්, විදේශ සෘජු ආයෝජනවලටත් අහිතකර ලෙස බලපාන බවයි.
තදබදය, සුවපහසුව නොමැතිකම, විශේෂයෙන්ම අඳුරු වැටීමෙන් පසු ප්‍රවාහන පහසුකම් වඩාත් අඩුවීම හේතුවෙන් රටේ පොදු ප්‍රවාහනය පහසු නොවන බැවින්, බොහෝ කම්කරුවන් තමන්ගේම ප්‍රවාහන විසඳුමකට කැමැත්තක් දක්වයි. එබැවින් රැකියාවට යාමට සහ අනෙකුත් පෞද්ගලික අවශ්‍යතා සඳහා පුද්ගලික ප්‍රවාහනය අත්‍යවශ්‍යතාවයක් බවට පත්වෙමින් තිබේ.
වාහනයක් මිලදී ගැනීම සඳහා මාස ගනනක් හෝ අවුරුදු ගනනක් තම සොච්චම් වැටුප් ඉතිරි කර ගැනීමට හෝ නය ලබා ගැනීමට කම්කරුවන්ට බල කෙරී ඇත. 2022 දී ජාමූඅ නියෝග කල කප්පාදු වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් පසු ජීවන වියදම අහස උසට නැඟීමත් සමඟ මෙය වඩාත් දුෂ්කර වී ඇත. අධ්‍යාපන සුදුසුකම් මත හෝ වෙනත් ආකාරයකින්, සාපේක්ෂව ඉහල වැටුප් ලැබෙන වෘත්තීය කාන්ඩවලට නැගීමට සමත් වන කම්කරුවන් පවා, ඔවුන්ගේ වැටුප් මත අධික බදු පැනවීම හේතුවෙන්, තම අරමුනු සපුරා ගැනීමේ දී දුෂ්කරතාවයට පත් වේ.
මෙම තත්වයන් යටතේ වාහන සඳහා අධික බදු පැනවීම, තමන්ගේම ප්‍රවාහන විසඳුමක් සොයා ගැනීමේ කම්කරුවන්ගේ සිහින බිඳ දැමීමට හෝ මූල්‍ය සමාගම් සහ බැංකු වැනි නය දෙන මිනී මෝරුන්ගේ ගොදුරු බවට පත් වීමට හේතු වේ.
අධික මිල ගනන් හේතුවෙන් ජනතාවට තමන්ට අවශ්‍ය වාහන මිලදී ගැනීමට ඇති හැකියාව පිලිබඳව වාහන ආනයනකරුවන් සැක පල කරමින් සිටියි. එක් මාධ්‍ය සිරස්තලයකින් විමසා සිටියේ “ශ්‍රී ලංකාව වාහන ආනයන තහනම ලිහිල් කරයි, නමුත් ජනතාවට නව මෝටර් රථයක මිල දැරිය හැකිද?” යනුවෙනි.
'අපි වාහනයක් මිලදී ගැනීමට බොහෝ කාලයක් තිස්සේ බලාගෙන ඉන්නවා. නමුත් බදු සහ මිල ගනනය කලොත්, සාමාන්‍ය ප්‍රමානයේ කාර් රථයක මිල රුපියල් මිලියන 2.5 සිට රුපියල් මිලියන 5 දක්වා දෙගුන වී තිබෙනවා,' පාසල් ගුරුවරියක වන ආර්. යශෝධා බීබීසී මාධ්‍යයට පැවසුවා ය.
මහා ව්‍යාපාරවල තරඟකාරිත්වය සහ මහා ව්‍යාපාරික බැංකු වැනි නය දෙන්නන්ගෙන් ලබා ගත් නය නියමිත වේලාවට පොලිය සමඟ ගෙවීමට නොහැකි වුවහොත් සිය වත්කම් උසාවි නියෝගයකින් පවා තොරව වෙන්දේසි කිරීමට ලක්වන ක්ෂුද්‍ර හා කුඩා ව්‍යාපාරවලට ද මෙම අධික වාහන මිල ගනන් බරක් වනු ඇත.
2020 දී ආනයන තහනම පනවන ලද්දේ, කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් උග්‍ර වූ ගෝලීය ආර්ථික කැලඹීම් හේතුවෙන් රට මුහුන දෙන බරපතල විදේශ මුදල් හිඟය මධ්‍යයේ ය. යුක්‍රේනය යොදා ගනිමින් රුසියාවට එරෙහිව ගෙන යන නැටෝ යුද්ධය, අර්බුදය තවදුරටත් උග්‍ර කල අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2022 අප්‍රේල් මාසයේදී ආන්ඩුව බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කරමින්, නය ආපසු ගෙවීම් පැහැර හැරියේය.
ඉන් පසුව ඇති වූ ආර්ථික කැලඹීම මහජන නැගිටීමට තුඩු දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස, එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා ගොස් ඉල්ලා අස්වීීීමට සිදු විය. අනතුරුව පත්වූ රනිල් වික්‍රමසිංහගේ පරිපාලනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද කුරිරු කප්පාදු වැඩසටහන ඉදිරියට ගෙන ගියේය.
වාහන ආනයන තහනම ඉවත් කරන බව නිවේදනය කරමින්, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)/ජාතික ජනතා බලවේගයේ (ජාජබ) වත්මන් ආන්ඩුව ප්‍රකාශ කලේ, රට තුල ඇති සීමිත විදේශ මුදල් හේතුවෙන්, ඉඩ දිය හැකි වන්නේ, සීමිත වාහන ආනයනයකට පමනක් බවයි.
කෙසේ වෙතත්, වාහන සඳහා වන ආනයන සීමාවන් ඉවත් කිරීම සහ දැවැන්ත බදු පැනවීම තීරනය කලේ ඔවුන් නොවේ. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි.
මෝටර් වාහන සඳහා වන සීමාවන් ඉවත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝගවල ප්‍රතිඵලයකි. වැට් බද්ද සහ තීරුබදු ඇතුළු බදු වැඩි කිරීමෙන් රජයේ ආදායම වැඩි කිරීමට එය අවධාරනය කලේය. ශ්‍රී ලංකා ආන්ඩුව සමඟ සාකච්ඡාවලින් පසුව, 2024 අගෝස්තු 2 වන දින නිකුත් කරන ලද නිවේදනයක ජාමූඅ සඳහන් කලේ,
“මෝටර් වාහන සඳහා වන ආනයන සීමාවන් ලිහිල් කිරීමට සැලසුම් කර ඇති නිසා 2025 දී ආදායම් බල ගැන්වීමට එය සහාය වනු ඇත” යනුවෙනි.
පසුව පසුගිය වසරේ නොවැම්බර් 27 වන දින, ජාමූඅ කන්ඩායමේ ජ්‍යෙෂ්ඨ නිලධාරි පීටර් බෲවර් මාධ්‍ය හමුවකදී පැවසුවේ “මෝටර් වාහන සඳහා වන ආනයන සීමාවන් ඉවත් කිරීම ඉදිරි වසර තුල ආන්ඩුවට ඉතා වැදගත් ආදායම් මාර්ගයක් වනු ඇති” බව කන්ඩායම සාකච්ඡා කල බවයි.
එය ජාමූඅ කන්ඩායයම විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනය සමඟ සහ පසුව දිසානායක ආන්ඩුව සමඟ කල සාකච්ඡාවකදී පූර්ව සැලසුම් කරන ලදී. ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ මෙම ආයතනය ශ්‍රී ලංකා ප්‍රභූ පැලැන්තිය විසින් කල යුතු දේ සහ නොකල යුතු දේ තීරනය කරයි. 2022 අප්‍රේල් මාසයේදී කොලඹ ආන්ඩුව විසින් පැහැර හරින ලද විදේශ නය 2028 සිට පොලී සමඟ ආපසු ගෙවීම සහතික කිරීමට සහ ආයෝජකයින්ගේ ලාභ වැඩි කිරීමට එයට අවශ්‍ය විය.
රාජ්‍ය අංශයේ ප්‍රතිව්‍යුහගතකරනය එනම් රජයේ සේවා සහ රජය සතු ව්‍යවසායන් පෞද්ගලීකරනය, වානිජකරනය සහ රැකියා විනාශය, වැටුප් සහ විශ්‍රාම වැටුප් කප්පාදුව, නිදහස් අධ්‍යාපනයේ සහ සෞඛ්‍යයේ ඉතිරිව ඇති දේ ඇතුළු සුභසාධන වැඩසටහන් කප්පාදු කිරීම සමඟ තවත් බොහෝ බදු සහ විවිධ බදු ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඇත්ත වශයෙන්ම, 2023 දී ජාමූඅ ඇප නය වැඩසටහන දියත් කරන විට, බෲවර් එහි ශ්‍රී ලංකා වැඩසටහන 'ම්ලේච්ඡ අත්හදා බැලීමක්' ලෙස ප්‍රකාශ කලේය. මෙම අධික බදු එම කුරිරු අත්හදා බැලීමේ කොටසක් වන අතර ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට පත් වූයේ එය නිර්දය ලෙස ක්‍රියාත්මක කිරීම සඳහාය.