[මෙය At big-business forum, Sri Lankan president pledges to enforce IMF austerity යන මැයෙන් 2025 පෙබරවාරි 04 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
ලංකා වානිජ මන්ඩලය (සීසීසී) විසින් වාර්ෂිකව සංවිධානය කරන ශ්‍රී ලංකා ආර්ථික සමුලුව අමතමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක, රාජ්‍ය අංශයේ පුලුල් පුද්ගලීකරනය සහ කප්පාදුව සඳහා වන තම ආන්ඩුවේ සැලසුම් සහ වැඩි විදේශ ආයෝජන ආකර්ෂනය කර ගැනීම සඳහා එහි කැපවීම ගෙනහැර දැක්වීය.
ජනවාරි 28 වන දින පැවති මෙම සමුලුව, “ශ්‍රී ලංකාවේ අනාගතය හැඩගැස්වීම: යහපත් ආර්ථික ප්‍රතිපත්ති මුල් කරගත් පරිවර්තනීය වර්ධනය” යන මාතෘකාව යටතේ පැවැත්විනි. ඉහල පෙලේ ව්‍යාපාරික විධායකයෝ 700 ක් පමන එයට සහභාගී වූහ.
සීසීසී සභාපති වන දුමින්ද හුලංගමුව ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකයෙකි. හිටපු සභාපති හාන්ස් විජේසූරිය යනු, ලංකාව ඩිජිටල්කරනය පිලිබඳ දිසානායකගේ උපදේශකයා වේ. රටේ විශාලතම සමාගම්වලින් සැලකිය යුතු කොටසක්, ලාභ මඩි තරකර ගැනීමේ අපේක්ෂාවෙන්, අලුත් දක්ෂිනාංශික ආන්ඩුව සමග පෙල ගැසී සිටිති.
සමුලුව අමතමින් දිසානායක මහා ව්‍යාපාරිකයන්ට ප්‍රශස්තිය පලකලේය: “ඔබ ආර්ථිකයේ වර්ධනයේ එන්ජිමයි... ආර්ථිකයේ අනාගතය ඔබේ අතේ. වෙනසක් කිරීමේ බලය, දැනුම සහ ආකල්ප ඇත්තේ ඔබටයි.”
“ව්‍යාපාරික කන්ඩායම්, ආයෝජකයින් සහ ජාත්‍යන්තර ප්‍රජාවේ ඇතැම් සාමාජිකයින් අතර” තම ආන්ඩුව පිලිබඳ සැකයන් දුරු කල බවට දිසානායක පුරසාරම් දෙඩුවේය. “ආන්ඩුවේ සැලසුම් කෙරෙහි විශ්වාසය ගොඩනඟාලීමට මට හැකි වුනා... පසුගිය මාස දෙක තුල ලබපු මේ ජයග්‍රහනය අපට වැදගත් සන්ධිස්ථානයක්.”
පසුගිය සැප්තැම්බරයේ තමන් ජනාධිපති ලෙස තේරී පත්වීමට පෙර ම, දිසානායක මහා ව්‍යාපාරිකයන්ට සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට ප්‍රතිඥා දුන්නේ, ඔහුගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනතා බලවේගය (ජවිපෙ/ජාජබ), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් ඉල්ලා සිටින කප්පාදු වැඩපිලිවෙලට සම්පූර්නයෙන්ම කැපවී සිටින බවට යි.
නොවැම්බර් මැද භාගයේදී ආන්ඩුව පිහිටුවීමෙන් පසු, ජාමූඅ විසින් යෝජනා කරන ලද පරිදි, මෙම වසරේ පැහැර හරින ලද නය ආපසු ගෙවීමට පොරොන්දු වෙමින්, ජවිපෙ/ජාජබ, ජාත්‍යන්තර නයහිමියන් සමඟ නය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට එලඹුනි.
ආර්ථික පරිවර්තන පනත (ඊටීඒ) ක්‍රියාත්මක කිරීම පහසු කිරීම සඳහා යම් යම් සංශෝධන සහිතව ආන්ඩුව ඉදිරියට ගෙන යන බව දිසානායක සමුලුවේදී පැවසීය. කලින් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව විසින් අනුමත කරන ලද ඊටීඒ, ප්‍රධාන පියවර සඳහා ඉලක්ක තබා ගනිමින්, ජාමූඅ වැඩසටහනට අනුකූලව සකස් කරන ලද සැලැස්මකි.
විදේශ ආයෝජන සඳහා පවතින සීමාවන් ඉදිරි දින සහ මාස කිහිපය තුල ඉවත් කරන බව දිසානායක පැහැදිලි කලේය. මුලදී, ආන්ඩුව අනුමත කිරීම් සඳහා වන කාලය අඩ වසරක් දක්වා අඩු කරනු ඇත. “අපගේ ඉලක්කය වන්නේ, මෙම ක්‍රියාවලිය සති දෙකකටත් අඩු කාලයක් දක්වා ලිහිල් කිරීමයි,” ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ, පෙර ආන්ඩුවලට විදේශ ආයෝජන ආකර්ෂනය කර ගැනීමට පැවති නොහැකියාව විවේචනය කරමිනි.
'එය අභියෝගාත්මක වුවත්', පුද්ගලීකරනය ඇතුලුව රජය සතු ව්‍යවසායන් (රසව්‍ය) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ආන්ඩුව දැනටමත් කටයුතු කරමින් සිටින බව දිසානායක පැවසීය. ඔහු පැහැදිලි නොකලද, එය “අභියෝගාත්මක” වන්නේ මන්දැයි උත්සවයේ සිටි සියලු දෙනා තේරුම් ගත්හ.
අනුප්‍රාප්තික ආන්ඩු, පුද්ගලීකරනයට සහ රැකියා හා කොන්දේසි විනාශ කිරීමට එරෙහිව කම්කරු පන්තියෙන් එල්ල වන පුලුල් විරෝධයට නැවත නැවතත් මුහුන දී තිබේ. පසුගිය වසර දෙක තුල, කම්කරුවන් අතරින් මතුවූ විරෝධය මැඩපැවැත්වීමට සහ පීලි පැන්නවීමට වෘත්තීය සමිති දැරූ උත්සාහයන් නොතකා පැනනැගුනු විරෝධතා සහ වැඩ වර්ජන මාලාවකට වික්‍රමසිංහ මුහුන දුන්නේය.
රජයේ ආයතන, රාජ්‍ය මූල්‍ය මත අධික බරක් බවට පත්ව ඇති බැවින්, වත්මන් ආන්ඩුව ඒවා කුනු කොල්ලයට විකිනීම තවදුරටත් ඉදිරියට ගෙන යාමට අදහස් කරන බව ජනාධිපතිවරයා පැහැදිලි කලේය. “රාජ්‍යයට අයත් ව්‍යවසායන් සමූහයක් සඳහා, කොටස් වෙලඳපොලේ නිකුත් කල හැකි හෝල්ඩින් සමාගමක් ස්ථාපිත කල හැකිදැයි ආන්ඩුව දැන් අධ්‍යයනය කරමින් සිටන,” බව ඔහු පැවසීය.
රජය සතු සංස්ථා සහ මන්ඩල පමනක් නොව අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිලිබඳව ද ආන්ඩුව සලකා බලමින් සිටින බව දිසානායක පැවසීය. එය දැනට “වසා දැමීමට නියමිත, ඒකාබද්ධ කිරීමට නියමිත සහ ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත” රාජ්‍ය ආයතන හඳුනාගෙන ඇත.
සිංගප්පූරුව, මැලේසියාව සහ වියට්නාමය යන රටවල් පාලනය කරන ඒකාධිපති, වෙලඳපොල ප්‍රතිපත්ති ගෙනයන පාලන තන්ත්‍රයන් ගැන සඳහන් කරමින්, ශ්‍රී ලංකාවට ද අවශ්‍ය වන්නේ, අග්නිදිග ආසියාවේ රටවලට සමාන ආන්ඩවක් බව ජනාධිපති උපදේශක හුලංගමුව ප්‍රකාශ කලේය.
'දේශපාලන ස්ථාවරත්වය, නය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්න කිරීම සහ ස්වෛරී නය ශ්‍රේනිගත කිරීම වැඩිදියුනු කිරීමත් සමඟ, අග්නිදිග ආසියාව වැනි රටවල අප දැක ඇති ආකාරයේ, පරිවර්තනීය වර්ධනයක් සඳහා අපි සැලසුම් කල යුතුයි,” ඔහු පැවසීය.
රාජ්‍ය භාන්ඩාගාරයට වැටුප් වියදම් බර දැරිය නොහැකි බැවින්, මිලියන 1.3 කට අධික රාජ්‍ය අංශයේ ශ්‍රම බලකාය 750,000 දක්වා අඩු කල යුතු බව හුලංගමුව දෙසැම්බර් මාසයේදී පැවසූ බව වාර්තාගත කරුනකි. වානිජ ආයතන 85 ක් ඇතුලුව රාජ්‍ය ව්‍යවසායන් 527 ක සේවකයින් 500,000 ක් පමන සේවය කරති.
මෙම සියලු ප්‍රකාශයන් පෙන්වා දෙන්නේ, නයහිමි මිනී මෝරුන්ට නය ආපසු ගෙවීමට ගෙවීමට සහ ලාභ වැඩි කිරීමට සැලසුම් කර ඇති බැවින්, රජයේ වියදම් දැවැන්ත ලෙස අඩු කිරීමයි. ජාමූඅ විසින් පනවන ලද ඉලක්ක අතරට 2023 දී දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.6 සිට 2025 දී සියයට 2.3 දක්වා ප්‍රාථමික අයවැය අතිරික්තය හතර ගුනයකින් වැඩි කිරීම සහ 2023 දී දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9.8 සිට අයවැය හිඟය අඩකින් අඩු කිරීම ඇතුලත් වේ.
දිසානායක ආන්ඩුවට, ඩොලර් බිලියන 3 ක ඊලඟ ඇප නය වාරිකය ලබා ගැනීම සඳහා ජාමූඅ මෙම ඉල්ලීම් ඉටු කිරීම අත්‍යවශ්‍ය වේ.
පසුගිය ආන්ඩුව විසින් ප්‍රකාශයට පත් කරන ලද රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා සැලසුම් කර තිබූ සියයට 25 ක වැටුප් වැඩිවීම අවලංගු කිරීමෙන් පසු, දිසානායක, 2025 අයවැයෙන් සොච්චම් වැටුප් වැඩිවීමක් සැලසුම් කරමින් සිටී. මාධ්‍ය වාර්තා කර ඇත්තේ එය මාසිකව රුපියල් 7,500 ක් පමන වනු ඇති බවයි, එය 2022 සහ 2024 අතර සියලුම සේවකයින්ගේ මූර්ත වැටුප් සියයට 49 කින් පහත වැටීමට සාපේක්ෂව ගනන් ගතයුතු නැති සොච්චම් වැඩිවීමකි.
දිසානායක මහා ව්‍යාපාර සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ආදරවන්තයෙකු බවට පත්ව සිටියි. ජනවාරි 23 වන දින ඒඑස්පීඅයි දර්ශකය පෙර නොවූ විරූ ලෙස අංක 17,000 ඉක්මවා යමින් රටේ කොටස් වෙලඳපොල වන කොලඹ කොටස් වෙලඳපොල (සීඑස්ඊ) අරෝහනීය වර්ධනයක් අත්කර ගෙන තිබේ.
තවතවත් කප්පාදු පියවරයන් පැටවීමේ බර දරා ගැනීමට වැඩ කරන ජනතාවට බල කෙරී තිබේ. ජනගහනයෙන් හතරෙන් එකකට වැඩි පිරිසක් දැනටමත් අන්ත දරිද්‍රතාවයෙන් පෙලෙන අතර සියයට 60 කට වැඩි පිරිසකට ආහාර සපයා ගැනීම සඳහා විවිධ උපාය මාර්ග අනුගමනය කිරීමට සිදුවී ඇත.
සමගි ජන බලවේගය (සජබ) සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලංපොපෙ) ඇතුලු අපකීර්තිමත් විරුද්ධ පක්ෂ, ආන්ඩුව මැතිවරන පොරොන්දු කඩකිරීම ගැන කන්කෙඳිරිගාමින් සිටියි. ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රයට සහාය දක්වන මෙම සියලු පක්ෂ, තමන් වෙනස් දෙයක් කරනු ඇතැයි, ඡන්දදායකයින් රවටමින්, විශ්වාසය දිනාගැනීමට උත්සාහ කරති.
ජවිපෙ/ජාජබ ආන්ඩුව, මහා ව්‍යාපාරිකයන් සහ ජාත්‍යන්තර ආයෝජකයින් සමඟ රැකියා මිලියනයක් පමන විනාශ කරන්නේ කෙසේද, වැටුප්, විශ්‍රාම වැටුප් සහ ලාභ වැඩි කර ගැනීම සඳහා කොන්දේසි කපා දමන්නේ කෙසේද යන්න පිලිබඳව විවෘතව සාකච්ඡා කරමින් සිටින නමුත්, වෘත්තීය සමිති නිලධාරි තන්ත්‍රය සම්පූර්න නිහඬතාවක සිටිති. වෘත්තීය සමිති නිලධාරීන් බොහෝ දෙනෙක් දැන් ජවිපෙ/ජාජබ ආන්ඩුවේ සාමාජිකයින් හෝ ඇමතිවරු වෙති. තම දේශපාලන සම්බන්ධතා වෙනස් වුවත්, රටේ සියලුම වෘත්තීය සමිති නිලධරය ජාමූඅ වැඩපිලිවෙලට සහාය දක්වයි.
ආන්ඩුව සහ මහා ව්‍යාපාරිකයන් සමාජ ප්‍රතිවිප්ලවයක් සූදානම් කිරීම සඳහා හවුල් වන විට, කම්කරු පන්තිය ග්‍රාමීය දුප්පතුන් සහ තරුනයින් පෙලගස්වා ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා තමන්ගේම මුලෝපායක් සකස් කර ගත යුතුය.
ආන්ඩුවේ කප්පාදු පියවර පරාජය කල හැක්කේ, කම්කරු පන්තියේ ස්වාධීනව කාර්මික හා දේශපාලන ශක්තිය බලමුලු ගැන්වීමෙන් පමනි. මේ සඳහා, තම අයිතිවාසිකම්වලට එල්ල කෙරෙන ඒ හා සමාන ප්‍රහාරවලට එරෙහිව අරගලයට එලඹෙන ලොව පුරා කම්කරුවන් සමඟ එකමුතුව ගොඩනගා ගැනීම අවශ්‍ය වේ.
පුද්ගලීකරනයට එරෙහිව, කම්කරුවන් තම පාලනය යටතේ, ප්‍රධාන බැංකු සහ සමාගම් ජනසතු කිරීමට සටන් කල යුතුවේ.
වසර 26 ක් පුරා පැවති ප්‍රතිගාමී වාර්ගික යුද්ධයට මුදල් සැපයීමටත්, මහා ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා සහතික කිරීමටත්, අනුප්‍රාප්තික ආන්ඩු විසින් ලබාගෙන ඇති දැවැන්ත විදේශ නය සඳහා වැඩ කරන ජනතාව වන්දි ගෙවිය යුතු නැත. මෙම නය ප්‍රතික්ෂේප කල යුතුය. එමගින් අත්පත් කරගන්නා අරමුදල් සෞඛ්‍ය හා අධ්‍යාපනය ඇතුලු අත්‍යවශ්‍ය සමාජ වැඩසටහන් සංවර්ධනය කිරීම සඳහා භාවිතා කල යුතුය.
කම්කරුවන් ධනේශ්වර පක්ෂවලින් බිඳී, වෘත්තීය සමිති නිලධරයන්ගෙන් ස්වාධීනව, කර්මාන්තශාලා, වතු සහ අනෙකුත් සේවා ස්ථානවල තමන්ගේම සංවිධාන—ක්‍රියාකාරී කමිටු—ස්ථාපිත කිරීම අවශ්‍යවේ. මෙම ක්‍රියාකාරී කමිටු ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු සමඟ සම්බන්ධීකරනය කල යුතුය. ජාත්‍යන්තරව, ඔවුන් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් සංවිධානය කරනු ලබන කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය සමඟ එක්විය යුතුය.
සමාජවාදී සමානතා පක්ෂය (සසප) ක්‍රියාකාරී කමිටුවලින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරගත් නියෝජිතයින්ගෙන් සැදුම්ගත් කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් සංවිධානය කරන ලෙස ඉල්ලා සිටී. එවැනි සම්මේලනයක්, කප්පාදුව පරාජය කිරීමේ අරගලය සංවිධානය කරමින් සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීමට මාවත සකස් කරනු ඇත.