[මෙය The militarist agenda at the centre of Trump’s tariff war against the world යන මැයෙන් 2025 අගෝස්තු 01 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
එක්සත් ජනපදයේ සෑම වෙලඳ හවුල්කරුවෙකුටම පාහේ දැඩි තීරුබදු පනවමින්, බ්‍රහස්පතින්දා (ජූලි 31) සවස එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද විධායක නියෝගය, ඇමරිකානු සහ ගෝලීය ධනවාදයේ දිරාපත්වීමේ හා බිඳවැටීමේ සන්ධිස්ථානයකි.
1930 ගනන්වල මහා අවපාතය අතරතුර ආර්ථික හා දේශපාලනික වශයෙන් විනාශකාරී ප්‍රතිවිපාක ඇති කරමින්, මානව ඉතිහාසයේ විශාලතම රුධිරස්නානය වන දෙවන ලෝක යුද්ධය පුපුරා යාම සඳහා කොන්දේසි නිර්මානය කිරීමේදී තීරනාත්මක කාර්යභාරයක් ඉටු කල ඇමරිකා එක්සත් ජනපදය, දැන් තමන් වටා තීරුබදු පවුරක් නිර්මානය කර ගෙන තිබේ.
ලෝකයට එරෙහි ට්‍රම්ප්ගේ ආර්ථික යුද්ධයේ ප්‍රතිවිපාක ඊට නොඅඩු වැදගත්කමක් දරනු ඇත. එය නොවැලැක්විය හැකි ලෙස යුද්ධයක් පුපුරා යාමට තුඩු දෙන දැඩි ආර්ථික ගැටුමකට වේගයෙන් ඇද වැටෙනු ඇත.
ඇත්ත වශයෙන්ම, වර්ථමාන තත්වය, 1930 ගනන්වල පැවති තත්වයට වඩා අතිශයින් බරපතල ය. එකල, ජාත්‍යන්තර වෙලඳාම බොහෝ දුරට සමන්විතවූයේ, අමුද්‍රව්‍ය සහ නිමි භාන්ඩ අපනයනය සහ ආනයනයෙනි. නිෂ්පාදන නිමැවීම බොහෝ දුරටම ජාතික සීමා ඇතුලත සිදු කෙරුනි.
අද වන විට, නිශ්චිත තනි රටක නිෂ්පාදනය කල බව පැවසිය හැකි කිසිදු වෙලඳ භාන්ඩයක් නොමැත. සරලම වෙලඳ භාන්ඩයේ සිට සංකීර්නම එක දක්වා, සෑම භාන්ඩයක්ම නිෂ්පාදනය කෙරෙන්නේ ගෝලීය පරිමානයෙනි. මුලුමහත් ලෝකය ඒකාබද්ධ ආර්ථික ජීවියෙකු බවට පත්ව ඇති අතර, කම්කරු පන්තිය ද ඒ හා සමානව වෛෂයිකව ඒකාබද්ධ වී එක්සත් වී ඇත.
නමුත්, නිෂ්පාදනයේ ගෝලීයකරනය සහ රටවල් සහ මහාද්වීප හරහා ගමන් කරන සංකීර්න සැපයුම් දාමවල මෙම වර්ධනය, ලෝක ධනවාදී පර්යායේ කේන්ද්‍රීය ප්‍රතිවිරෝධතාවක් – එනම්, ගෝලීය ආර්ථිකය සහ ලෝකය ප්‍රතිවාදී ජාතික රාජ්‍යයන් සහ අධිරාජ්‍යවාදී බලවතුන් ලෙස බෙදීයාම අතර ප්‍රතිවිරෝධතාව- පුපුරනසුලු ලක්ෂ්‍යකට ඔසවා තිබේ.
ට්‍රම්ප්ගේ ක්‍රියාපිලිවෙත් මගින් සනිටුහන් වන්නේ, 1930 ගනන්වල සහ දෙවන ලෝක යුද්ධයේ ව්‍යසනයන්ගෙන් පසුව ස්ථාපිත කරන ලද සහ එමගින් පාලනය කිරීමට උත්සාහ කරන ලද, පශ්චාත් යුධ වෙලඳ පර්යායේ සම්පූර්න විනාශභාග්වීම යි. එක් රාජ්‍ය නිලධාරියෙකු පැවසූ පරිදි: 'මෙය නව වෙලඳ පිලිවෙතකි.'
නිසැකවම එය එසේ ය. ට්‍රම්ප්ගේ පිලිවෙත්වල සම්පූර්න වැදගත්කම ග්‍රහනය කර ගත හැකිවන්නේ, ඒවා ඒවායේ ඓතිහාසික සන්දර්භය තුල තැබූ විට පමනි.
පශ්චාත් යුධකාලීන වෙලඳ පටිපාටිය පදනම් වූයේ, තීරුබදු පියවර අඩු කිරීම සහ සීමා පැනවීම් ඉවත් කිරීම මත ය. මෙම යාන්ත්‍රනවල හුදු ඉලක්කය වූයේ, ආර්ථික වර්ධනය ඉහල නැංවීම පමනක්ම නොවන අතර, ඒවාට ගැඹුරු භූ දේශපාලනික අන්තර්ගතයක් ද තිබුනි. ඒවා පදනම් වූයේ, සෑම රටක්ම තීරුබදු සහ අනෙකුත් සීමා කිරීමේ පියවරයන් හරහා තම ජාතික අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට සහ ඉදිරියට ගෙන යාමට උත්සාහ කල ලෝක ආර්ථික පිලිවෙල, නොවැලැක්විය හැකි ලෙස මිලිටරි ගැටුමකට මඟ පෑදූ බවට, 1930 ගනන්වල අත්දැකීම් වලින් උකහාගත් අවබෝධය මත ය.
පශ්චාත්-යුධකාලීන පර්යාය පදනම් වූයේ, ඇමරිකානු ධනවාදයේ ආර්ථික ආධිපත්‍යය මත වන අතර, එය එහි දැවැන්ත කාර්මික ධාරිතාව භාවිතා කරමින්, තමන් අවශ්‍යයෙන්ම රඳා පැවති ලෝක වෙලඳපොල නැවත ගොඩනඟා ගැනීමට සමත් විය. නමුත්, එක්සත් ජනපදයේ ආධිපත්‍යය මත රඳා පැවති, සාපේක්ෂ සාමයේ සහ ස්ථාවරත්වයේ කාල පරිච්ඡේදය (pax Americana හෙවත් “ඇමෙරිකානු සාමය”) අශමනීය ප්‍රතිවිරෝධතාවකින් යුක්ත විය.
ලෝක ආර්ථිකයේ පුනර්ජීවනය සහ පසුව ප්‍රසාරනය වීම ම එක්සත් ජනපදයේ ආධිපත්‍යය ක්‍රමයෙන් අඩපන කලේය. දශක ගනනාවක් පුරා විහිදී ගිය මෙම ප්‍රමානාත්මක පරිහානිය, දැන් එක්සත් ජනපදයට, යුරෝපයේ සහ ජපානයේ ස්වරූපයෙන් පැරනි ප්‍රතිවාදීන්ට එරෙහිව පමනක් නොව, චීනය වැනි නව ප්‍රතිවාදීන්ට ද මුහුන දීමට සිදුවන, ගුනාත්මක හැරවුම් ලක්ෂ්‍යයකට යොමුවී තිබේ.
ට්‍රම්ප් විසින් ආරම්භ කරන ලද ආර්ථික යුදකෙලිය, සරලවම ඔහුගේ උමතු ඔලුගෙඩියේ හෝ ඔහුගේ ෆැසිස්ට් උපදේශකයින්ගේ මොලවල නිෂ්පාදනයක් නොවේ.
ඔහුගේ ක්‍රියාවන්, මතුපිට ට පැමිනීමට බොහෝ කලකට පෙර සිට ම වර්ධනය වෙමින් පැවති, ඇමරිකානු අධිරාජ්‍යවාදය මුහුනදී සිටින එහි පැවැත්මම පිලිබඳව අර්බුදයක ප්‍රකාශනයකි.
එක්සත් ජනපදය ලෝකයේ කාර්මික බලවතෙකුගේ සිට කුනාටු සහ අර්බුද මාලාවකින් හෙලිදරව් වූ මූල්‍ය පරපෝෂිතභාවයේ මධ්‍යස්ථානය බවට පරිවර්තනය වීමෙන් එය නිදර්ශනය වේ- මේවා නම්, 1987 ඔක්තෝබර් මාසයේ කොටස් වෙලඳපොල බිඳවැටීම, 2000-2001 තාක්ෂනික-කර්මාන්තවල කඩා වැටීම, 2008 මූල්‍ය කඩාවැටීම සහ වසංගතය ආරම්භයේදී 2020 මාර්තු මාසයේදී භාන්ඩාගාර බැඳුම්කර වෙලඳපොල කැටි වීම යනාදියයි.
තීරුබදු පැනවීම මගින් හෝ වෙනත් කිසිදු ආර්ථික පියවරක් මගින් මෙම අර්බුදය විසඳීමට කිසිදු ආර්ථික වැඩපිලිවෙලක් නොමැති එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, යාන්ත්‍රික ක්‍රමයන් යොදාගැනීමට තල්ලු කෙරෙයි.
ලෝකයට එරෙහි ට්‍රම්ප්ගේ තීරුබදු යුද්ධයේ මිලිටරිවාදී ලක්ෂනය, විධායක නියෝගය පුරාවටම දක්නට ලැබේ.
'දේශීය නිෂ්පාදන තලය, තීරනාත්මක සැපයුම් දාම සහ ආරක්ෂක නිෂ්පාදන පදනම' මත විදේශීය වෙලඳ හවුල්කරුවගේ ඊනියා අන්‍යෝන්‍යතාවක් නැතිකමේ බලපෑම ගැන එය සඳහන් කරයි.
මෙම නියෝගය පුරාම, එක්සත් ජනපදය සමඟ වෙලඳාම් කිරීමට බලාපොරොත්තුවන සියලුම රටවල් 'ආර්ථික හා ජාතික ආරක්ෂක කාරනා' සම්බන්ධයෙන් එරට හා එකඟ වීමේ අවශ්‍යතාවය පිලිබඳ සඳහන් ය. වෙනත් වචන වලින් කිවහොත්, ඔවුන් ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන් ලෙස තම ස්ථානය පවත්වා ගැනීම සඳහා එක්සත් ජනපදයේ ධාවනය සමඟ, විශේෂයෙන් චීනයට එරෙහි සටනේදී, සම්පූර්නයෙන්ම ඒකාබද්ධ විය යුතුය; නැතහොත් ඔවුන් ආර්ථික වසයෙන් තලා දැමෙනු ඇත.
උදාහරනයක් ලෙස, ඉන්දියාව සම්බන්ධයෙන් ගත් කල, ට්‍රම්ප් “රුසියානු ඉන්ධන සහ ආයුධ මිලදී ගැනීම” සම්බන්ධයෙන් මෝදි ආන්ඩුව විවේචනය කලේ ය.
බ්‍රසීලය මත පනවා ඇති සියයට 50 ක තීරු බදු, යටින් පවතින න්‍යාය පත්‍රය වඩාත් පැහැදිලිව හෙලිදරව් කරයි. එය එක්සත් ජනපදයට වෙලඳ අතිරික්තයක් ඇති රටවල් කිහිපයෙන් එකක් වුවද, එයට සියයට 50 ක තීරු බද්දක් පනවා තිබේ.
නමුත් එරට ට්‍රම්ප්ගේ ඉලක්කය බවට ඇත්තේ, ඔහුගේ ෆැසිස්ට් සගයා වන ජෙයාර් බොල්සොනාරෝගේ කුමන්ත්‍රන වෑයම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරන ක්‍රියාමාර්ග ගැනීම නිසාත්, බ්‍රසීලය ඩොලර් පද්ධතියෙන් පිටත, ජාත්‍යන්තර විකල්ප මූල්‍යකරන ක්‍රම සොයා ගැනීමට උත්සාහ කරන බ්‍රික්ස් (BRICS) රටවල් සමූහයේ ප්‍රමුඛතම සාමාජිකයෙකු වන නිසාත් ය.
ට්‍රම්ප් අවස්ථා ගනනාවකදී පවසා ඇති පරිදි, එක්සත් ජනපදයට දැවැන්ත නය බරක් දරා ගැනීමට ඇති හැකියාව සඳහා අත්‍යවශ්‍ය වන ඩොලර් ආධිපත්‍යය අහිමි වීම සමාන වනු ඇත්තේ, යුද්ධයකින් පරාජයවූ තත්වයකට ය.
සියවසකට පමන පෙර ලියොන් ට්‍රොට්ස්කි පැහැදිලි කලේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යය වඩාත් විවෘතව හා ප්‍රචන්ඩ ලෙස ප්‍රකාශයට පත් වන්නේ, උත්පාත කාලපරිච්ඡේදයකට වඩා, අර්බුදග්‍රස්ථ කාලපරිච්ඡේදවල බවයි.
ඒ දූරදර්ශී අනතුරු ඇඟවීම සැබෑ වී තිබේ. එය, සාකච්ඡාවල ප්‍රතිඵලයක් නොවන ඊනියා ගනුදෙනුවල ස්වභාවයෙන් පෙන්නුම් කෙරේ; එම තීරුබදු පැනවීම් ට්‍රම්ප්ගේ නියෝගයේ ප්‍රතිඵලයක් වන අතර, අනෙකුත් රටවල් එයට අනුකූල විය යුතුය; නැතහොත් අතිශයින් හානිකර ආර්ථික සම්බාධකවලින් බැටදෙනු ඇත.
මෙය වඩාත් පැහැදිලිව දැකගත හැකි වූයේ, ඇමරිකානු වෙලඳපොලවලින් සම්පූර්නයෙන්ම කපා හැරීමේ බලපෑමක් ඇති කල හැකිව තිබූ, තීරුබදු පැනවීමේ තර්ජනය යටතේ ට්‍රම්ප්ගේ ඉල්ලීම්වලට අවනතවූ යුරෝපීය සංගමය සමඟ ඇති කරගත් “ගනුදෙනුව” තුල ය.
යුරෝපා සංගමය, තවමත් සූදානම් නැති පූර්න වෙලඳ යුද්ධයක් හමුවේ පසුබැස ගියේය. ප්‍රංශ අගමැති ෆ්‍රැන්කොයිස් බයිරෝගේ ප්‍රකාශය --එම සාමූහිකය ' විරෝධයක් නොදක්වාම යටත් වී ඇති' බව-- මගින් පෙන්නුම් කල පරිදි එම යටත් වීම හෙලා දැකීමට ලක්ව තිබේ.
යුරෝපීය කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේයන් විසින් 'ගනුදෙනුව' නිශ්චිතභාවයක් ගෙන ආ බවට කරන ලද ප්‍රකාශය නොතකා, යුරෝපීය පාලක පන්තීන් හොඳින් දන්නා කාරනාව නම්, ගාලගෝට්ටිය මේ දැන් යන්තම් ආරම්භ වූවා පමනක් බවත්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ න්‍යාය පත්‍රය වී ඇත්තේ ඔවුන් සම්පූර්නයෙන්ම යටත් කර ගැනීම බවත් ය. ජපානය ද ඒ හා සමානව ඉලක්ක වී ඇත. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රතිවාදීන්ට ඔවුන් ව නිරන්තරයෙන් විනාශ කර දමන වැඩසටහනක් පිලිගත නොහැකි අතර ඔවුන් එසේ නොකරනු ද ඇත.
මේ අනුව, නව අන්තර්-අධිරාජ්‍යවාදී යුද්ධයක බීජ රෝපනය කර ඇතිවා පමනක් නොව, ඒවා පැල වීමටද පටන් ගෙන තිබේ.
20 වන සියවස තුල ජර්මානු අධිරාජ්‍යවාදය එක්සත් ජනපදයට එරෙහිව දෙවරක් යුද්ධ කල අතර, ආසියා-පැසිෆික් කලාපයේ ආධිපත්‍යය සඳහා ජපානය දෙවන ලෝක යුද්ධයේදී ලේ වැකි ගැටුමකට සම්බන්ධ විය. පශ්චාත් යුධ සමයේදී මෙම ප්‍රතිවිරෝධතා මර්දනය කර පාලනය කරන ලද නමුත්, දැන් එවායේ පදනම් සිඳී බිඳී ගොස් ඇති අතර, 1930 ගනන්වල මෙන්, ඒවා නැවත වරක් මතුපිටට පුපුරා ඒමට සූදානමේ පවතී.
නමුත් එම කාලපරිච්ඡේදය සහ වර්තමාන තත්වය අතර ඉතා වැදගත් වෙනසක් පවතී: තමන් දැන් දැවැන්ත අන්තරායන්ට මුහුන දී සිටින තත්වයක් යටතේ කම්කරු පන්තිය විසින් එම වෙනස ග්‍රහනය කර ගත යුතුය.
1930 ගනන් වලදී, සියල්ලටත් වඩා ජර්මනියේ නාසීන් බලයට පත්වීම නිසා කම්කරු පන්තිය දැවැන්ත පරාජයන් අත්විඳ තිබුනි. නමුත් අද කම්කරු පන්තිය, පරාජය වී හෝ අධෛර්යයට පත් ව නැත. ලොව පුරා වමට වර්ධනය වන ව්‍යාපාරයක්, ගැඹුරු වන ධනේශ්වර-විරෝධී මනෝභාවයක් සහ සමාජවාදී විසඳුමක් කරා හැරීමක්, අන් සියල්ලටත් වඩා, තරුනයින් අතර පවතී.
තීරනාත්මක කාර්යය වන්නේ, පැහැදිලි ඉදිරිදර්ශනයකින් මෙම ව්‍යාපාරය සන්නද්ධ කිරීමයි. එය පදනම් විය යුත්තේ, අර්බුදය පැන නගින්නේ ට්‍රම්ප්ගේ දුෂ්නැඹුරුතාවන්ගෙන් නොව, සමස්ත ධනේශ්වර පර්යායේ සහ එහි ජාතික රාජ්‍ය පද්ධතියේ ඓතිහාසික බංකොලොත් භාවයෙන් බව අවබෝධ කර ගැනීම මත ය.
එබැවින් එය විසඳිය හැක්කේ, 'ප්‍රධාන සතුරා සිටින්නේ රට තුල ය' යන ආදර්ශ පාඨයෙන් සන්නද්ධව, සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා, දේශපාලන අරගලය තුල කම්කරු පන්තිය එක්සත් කිරීම මත පදනම් වූ ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් සඳහා වන අරගලය හරහා පමනි.
එයින් අදහස් කරන්නේ, ට්‍රම්ප් විසින් ප්‍රවර්ධනය කරන ජාතිකවාදී න්‍යාය පත්‍රයට එරෙහි සටන, ඇමරිකානු කම්කරු පන්තියට හදිසි කර්තව්‍යයක් වියයුතු බව යි. තීරුබදු යුද්ධ, ඇමරිකාව නැවතත් ශ්‍රේෂ්ඨත්වයට පත් කරන බවටත්, කම්කරුවන් නගාසිටුවන බවටත් ඔහු කරන සියලු ප්‍රකාශ තිබියදී ම, ජීවිතයේ වෛෂයික ආර්ථික කරුනු ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකට කථා කරයි. තීරුබදු මගින් ඇමරිකානු කර්මාන්තයේ පිරිවැය ව්‍යුහය ඉහල නංවන අතර, හාම්පුතුන් එය ජය ගැනීමට උත්සාහ කරනු ඇත්තේ, තම ලාභ පවත්වා ගැනීම සඳහා රැකියා සහ සේවා කොන්දේසි මතට දැවැන්ත ප්‍රහාර එල්ල කිරීමෙනි.
ඒ හා සමානව, ලොව පුරා කම්කරුවන්, ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් දියත් කරන ආර්ථික යුද්ධයට එරෙහිව ඉදිරි මාවත ජාතිකවාදී වැඩපිලිවෙලක් ඉදිරියට ගෙන යාම යැයි දේශනා කරන “තමන්ගේ” පාලක පන්තිවල ඉදිරිදර්ශනය ප්‍රතික්ෂේප කර, එයට එරෙහිව සටන් කල යුතුය. මන්දයත්, ව්‍යසනය කරා යන මාවත මෙය වන බැවිනි.
ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් පමනක් ම ඉදිරිපත් කරන ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනය, කිසියම් මනෝරාජික අරමුනක් නොවේ. ට්‍රම්ප්ගේ යුද්ධයෙන් නිදර්ශනය වූ, ධනවාදයේ මර ලතෝනිය නව හා ඊටත් වඩා භයානක අවධියකට පිවිසෙන විට, දවසේ එකම ශක්‍ය හා යථාර්ථවාදී වැඩසටහන එය යි. තීරනාත්මක කාර්යය වන්නේ, ඒ සඳහා සටන් කිරීමට අවශ්‍ය නායකත්වය ගොඩනැගීම යි.