ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව 2026 සිට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට දැවැන්ත වෙනස්කම් හඳුන්වා දෙන බව ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය බොහෝ දුරට පදනම් වී ඇත්තේ පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව විසින් සකස් කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරන රාමුව මත ය.
ජූලි 29 වන දින අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුනු අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, ද මෝර්නින් පුවත්පතට පැවසුවේ අලුත් ආන්ඩුව බලයට පත්වන විට, “ප්‍රතිසංස්කරන සඳහා සම්පූර්න රාමුව එවන විටත් සකස්වී පැවතුනු' බවයි. ඒ පිලිබඳව 'සමාලෝචනයක් සිදු කොට ප්‍රතිසංස්කරන දැන් ක්‍රියාත්මක කිරීමේ අදියර කරා ගමන් කරමින් පවතී,” යැයි ඔහු සඳහන් කලේය.
ප්‍රතිසංස්කරනවල කොටසක් ලෙස, අධ්‍යාපන ඇමති, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ස්ලයිඩ් 27 ක පවර්පොයින්ට් ඉදිරිපත් කිරීමක් මගින් විෂය සහ ඉගැන්වීමේ ක්‍රමවේද වෙනස්කම් කිහිපයක් ප්‍රසිද්ධියට පත් කලාය. ඒවා සකස් කර ඇත්තේ ශාස්ත්‍රාලිකයන් සහ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු විසිනි.
සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය (සසජාතශි) කම්කරුවන්, ගුරුවරුන් සහ සිසුන්ගෙන් ඉල්ලා සිටින්නේ, පුද්ගලීකරනය පුලුල් කෙරෙන සහ වෙලඳපොල අවශ්‍යතාවලින් ධාවනය වන මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරනවලට විරුද්ධ වන ලෙසයි. ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ප්‍රතිපත්ති දැනටමත් පල්ලමට තල්ලු කෙරෙමින් පවතින රාජ්‍ය නිදහස් අධ්‍යාපන ක්‍රමයට මාරාන්තික පහරක් වනු ඇති බවයි.
වික්‍රමසිංහ පාලන තන්ත්‍රයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය 2024 මැයි මාසයේදී “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව-- 2023–2033” ලෙස ප්‍රකාශයට පත්කෙරුනි.
මෙම ලේඛනය සකස් කරන ලද්දේ වික්‍රමසිංහ රජය විසින් පත් කරන ලද පුද්ගලයින් 25 දෙනෙකුගෙන් යුත් කමිටුවක් විසිනි. එය, මහා ව්‍යාපාරිකයන් 11 දෙනෙකු සහ ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතා නියෝජනය කරන ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ සාමාජිකයින් දෙදෙනෙකුගේ එහි ආධිපත්‍ය දරු කමිටුවකි. එවකට ලංකා වානිජ මන්ඩලයේ (සීසීද) නියෝජ්‍ය සභාපති වූ දුමින්ද හුලංගමුව ව්‍යාපාරික නියෝජිතයන් අතර විය. ඔහු දැනට ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකි. එහි සිටියේ ශාස්ත්‍රඥයින් 12 දෙනෙකු පමනි.
2023 මාර්තු මාසයේදී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමුඅ)විසින්, කුරිරු කප්පාදු පියවර යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 3 ක ඇපකර නයක් නිකුත් කිරීමත් සමඟ පසුගිය ආන්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සමපාත විය. 2022 අප්‍රේල් මාසයේදී පුපුරා ආ පෙර නොවූ විරූ ආර්ථික කඩාවැටීම මධ්‍යයේ නතර කරන ලද විදේශ නය ආපසු ගෙවීම සහතික කිරීම සඳහා රාජ්‍ය වියදම් කපා හැර, කම්කරුවන්ගේ සහ දුප්පතුන්ගේ ජීවන සහ සමාජ තත්වයන් මිරිකා දමමින් භාන්ඩාගාරයේ ආදායම ගොඩගසාගැනීම මේ කප්පාදු පියවරවල අරමුන විය.
ජාතික ආධ්‍යාපන ප්‍රතිපති රාමුවෙන් යෝජනා කල ප්‍රතිසංස්කරන මගින් පුද්ගලීකරනයට ඇති සියලු බාධක ඉවත් කිරීම සහ රාජ්‍ය අධ්‍යාපනය සඳහා වන වියදම් කපා හැරීම අරමුනු කරගත්, “රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් ඇතුලුව රාජ්‍ය නොවන හවුල්කරුවන්ගේ සහභාගීත්වයට” ඉඩ සැලසීම යෝජනා කෙරුනි. උසස් අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධන කටයුතු සඳහා විදේශීය ආයෝජකයින්ගේ හිමිකාරිත්වය පිලිබඳව පැවති සීමාවන් ඉවත් කිරීම ද ඉන් යෝජනා විය.
කර්මාන්ත විසින් ඉල්ලා සිටින විෂයයන්ට සිසුන් බඳවා ගැනීම් වැඩි කිරීම සඳහා සහ කර්මාන්ත ක්ෂේත්‍ර කුසලතා කවුන්සිලය විසින් අනුමත කරන ලද සංක්‍රාන්ති විධිවිධාන යෙදීම සඳහා දිරිගැන්වීම් දීමනා පාසල්වලට ආන්ඩුවෙන් ලබාදෙන අරමුදල්වලට ඇතුලත් වනු ඇත.
මහපොල වැනි ශිෂ්‍යත්ව අහෝසි කිරීමේ සැලැස්මක් වෙනත් යෝජනාවලින් හෙලි විය. තෘතීයික අධ්‍යාපනය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලත් නය ලබා ගන්නා සියලුම සිසුන්ගෙන් නය ආපසු අයකර ගැනීමේ කොන්දේසි පිලිබඳව දැනුම් දෙනු ලබන බව එහි සඳහන්වේ. එයින් අදහස් වන්නේ සිසුන්ට තම අධ්‍යයන කටයුතු කරගෙන යාමට නය ලබා ගැනීමට සිදුවනු ඇති බවයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරනවලට පක්ෂ ව තර්ක කිරීම සඳහා ජනාධිපති දිසානායක ජූලි 24 වන දින පාර්ලිමේන්තුවට ගියේ ය. ඔහුගේ ප්‍රකාශ හරියට ජාත්‍යන්තර ප්‍රාග්ධනය සහ මහා ව්‍යාපාර වෙනුවෙන් මානව සම්පත් කලමනාකරුවෙකු කල ප්‍රකාශයන්ට සමාන විය. එවායින් සාකච්ඡා කෙරුනේ, දේශීය හා ගෝලීය ශ්‍රම වෙලඳපොලවල උපරිම සූරාකෑම සඳහා තරුනයින් පුහුනු කල යුතු ආකාරය ගැනයි.
රටේ වානිජ සම්පත් සීමිත බව ප්‍රකාශ කල ඔහු තෙල්, ගෑස්, රන් නිධි, යකඩ යපස් සහ අනෙකුත් සම්පත් නොමැතිකම ගැන තැවෙමින් කතාකලේය. “මේ රට ගොඩනැගීම සඳහා දියුනු කලයුතු, මුවහත් කලයුතු අප සතුව තිබෙන වට්නාම සම්පත තමයි මානව සම්පත. ඒ නිසා අපේ ආර්ථික උපායමාර්ග වලදි අපි වඩාත් වැඩියෙන් අවධානය යොමුකල යුතුව තිබෙනවා මානව සම්පත දියුනු කිරීමෙන් අපේ රාජ්‍යය අලුත් තැනකට ගෙනියන්නෙ කොහොමද කියල” යැයි ඔහු කියා සිටියේය.
වෘත්තිකයින්ගෙන් සියයට 3 ක් පමන ඉහල රැකියා සඳහා විදේශගත වන බව දිසානායක පැවසීය. ඉතිරි සියයට 97 ම සිටින්නේ පහල කාන්ඩවලය. “අපි අත්කරගෙන තියෙන්නෙ ලෝකයේ ඉති පහලම අඩියෙ ශ්‍රම වෙලඳපොලක්. එමනිසා ආර්ථික වසයෙන් අපි ලෝකයේ දියුනු ශ්‍රම වෙලඳපොලක් අත්පත්කරගත යුතුයි.”
දිසානායක අවධාරනය කලේ, ගැඹුරු වන ගෝලීය ආර්ථික අර්බුදයක් මධ්‍යයේ ප්‍රතිවාදීන් සමඟ තරඟ කිරීම සහ ලාභ පිපාසාවෙන් තලු මරන සංගතවලට ලාභ ශ්‍රමය සැපයීම සුදානම් කලයුතු බවයි.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද නව ප්‍රතිසංස්කරන පැකේජයකට අනුව, 10 සහ 11 ශ්‍රේනිවල සිසුන් සාමාන්‍ය පෙල විභාගයේදී මුහුනදිය යුතු විෂයයන් සංඛ්‍යාව 10 සිට 7 දක්වා අඩු කර ඇත. ඒ අතර අනිවාර්ය විෂයයන් 5 ක් වන අතර විකල්ප විෂයයන් 2 කි.
අනිවාර්ය විෂයයන්ට මව් භාෂාව, ඉංග්‍රීසි, ගනිතය, විද්‍යාව සහ ආගම ඇතුලත් වේ. විකල්ප විෂයයන් අතර දෙවන භාෂාව, තොරතුරු තාක්ෂනය, ඉතිහාසය, ප්‍රජාචාරය, සෞඛ්‍ය, තාක්ෂනය, භූගෝල විද්‍යාව, සෞන්දර්යය සහ ව්‍යවසායකත්වය සහ මූල්‍ය ඇතුලත් වේ.
මීට අමතරව සාමාන්‍ය පෙල විභාගයට අයත් නොවන තවත් විෂයයන් 7 ක් ඉගෙනීමට සිදුවේ. ඒ අනුව එම ශ්‍රේනිවලදී ඉගෙනගතයුතු මුලු විෂයයන් සංඛ්‍යාව 14 කි.
මේ අනුව, සෞන්දර්යය සහ ඉතිහාසය වැනි අත්‍යවශ්‍ය විෂයයන් වෙනුවට ශ්‍රම වෙලඳපොල රැකියා ඉලක්ක කරගත් විෂයයන් පමනක් තෝරා ගැනීමට සිසුන්ට බල කෙරෙනු ඇතැයි ශාස්ත්‍රඥයින් කනස්සල්ල පල කර තිබේ.
පාලක පන්තියට අවශ්‍ය වන්නේ අනාගත තරුන පරම්පරාවන් තුලින්, සංස්කෘතිකමත්, සිතනමතන සහ ස්වාධීන විවේචනාත්මක චින්තකයින් බිහිවීම වලක්වා ලාභ ශ්‍රම වෙලඳපොලකට හික්මුනු තරුනයින් බිහි කර දීමයි.
පාර්ලිමේන්තුවේ කල කතාවේදී දිසානායක පැවසුවේ සිසුන් කුඩා සංඛ්‍යාවක් සිටින සමහර පාසල් වසා දැමීමට සිදුවන බවත් පාසල් ඒකාබද්ධ කිරීම “වඩා ලාභදායී” බවත් ය. එවැනි තත්වයක් තුල “මහජනතාව ප්‍රකෝප නොකරන” ලෙස ඔහු විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
ජූලි 24 වන දින අගමැති අමරසූරිය සමඟ පැවති සාකච්ඡාවකට සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුන සහ දෙමල සහ මුස්ලිම් පක්ෂ ඇතුලු සියලුම විරුද්ධ පක්ෂ සහභාගී වූහ. ප්‍රතිසංස්කරන සම්බන්ධයෙන් ඔවුන් කිසිදු මුලික මතභේදයක් ප්‍රකාශ කලේ නැත. ඔවුන් සියලු දෙනාම ජාමුඅ කප්පාදු පියවරයන්ට සහාය දක්වන අතර අතීතයේ දී මේ හා සමාන අධ්‍යාපන සැලසුම් සඳහා ද සහාය දක්වා ඇති පිරිසකි.
“මහජනතාව ප්‍රකෝප නොකරන්න” යන ජනාධිපතිවරයාගේ අනතුරු ඇඟවීම ඇත්ත වශයෙන්ම මෙම පරාගත අධ්‍යාපන ප්‍රතිසංස්කරනවලට විරුද්ධ වන කම්කරුවන් සහ සිසුන් වෙත එල්ල කල තර්ජනයකි.
තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ දුෂ්කර සහ නොඉවසියහැකි කොන්දේසිවලින් කම්කරුවෝ සහ දුගීන් පෙලෙති. 2023 සඳහා වූ අධ්‍යාපන අමාත්‍යාංශ සංගනනයෙහි දක්වා ඇත්තේ 2022 ට සාපේක්ෂව එම වසරේ පාසල් ඇතුලත් කිරීම් 180,697 කින් පහත වැටී ඇති බවයි. වාර්ෂිකව පාසල් හැර යන සංඛ්‍යාව 20,000 දක්වා වැඩි වී ඇති අතර 80,000 ක් දොට්ට වැටීමේ අද්දර සිටිති. ආර්ථික බිඳවැටීම සහ ජීවන තත්වයන් මිරිකා දමන ජාමුඅ කප්පාදු පියවර හේතුවෙන් රට පුරා දරිද්‍රතාවය පැතිරයාම මීට හේතුවයි.
දරුවන් පාසල්වලට ඇතුලත් කිරීම, ඔවුන්ට අවශ්‍ය දේ සැපයීම සහ පාසල් නඩත්තු කිරීමේ විශාල මූල්‍යමය බරකට මහජනතාව මුහුන දී සිටිති. ගුරුවරුන් 40,000 ක හිඟයක් ඇතිව, ගුරුවරුන් සේවය කරන්නේ අඩු වැටුප් සහ අධික ආතතියෙන් පෙලෙන දුෂ්කර කොන්දේසි තුලයි.
පාලක ජවිපෙ/ජාජබ ඇතුලු අනුප්‍රාප්තික ආන්ඩු, අධ්‍යාපන වියදම් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1 සිට 2 දක්වා සීමා කර ඇත. දැන් පුද්ගලීකරනය ඉහල නංවමින් අධ්‍යාපනයේ ගුනාත්මකභාවය සම්පූර්නයෙන්ම කාදැමීමට ආන්ඩුව උත්සාහ කරයි. ලංකාවේ සිදුවන්නේ, සෑම රටකම ආන්ඩු සිදු කරන්නාක් මෙන් ම ගෝලීය ධනවාදයේ අර්බුදය ජනතාවන් මත පටවමින් අත්‍යවශ්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාවන් අතුගා දැමීමට ක්‍රියාකිරීමයි.
ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) සහ එය විසින් පාලනය කරනු ලබන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම), ප්‍රතිසංස්කරන පිලිබඳ “පුලුල් සංවාදයක්” ආරම්භ කිරීම සඳහා පැහැදිලි අධ්‍යාපන සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස ආන්ඩුව ඉදිරියේ බැගෑපත්වෙයි.
අවිශිබම අඟහරුවාදා විශ්ව විද්‍යාල සහ පාසල් ගුරු වෘත්තීය සමිති නායකයින්ගේ ඒකාබද්ධ රැස්වීමක් සංවිධානය කලේය. ලංකා ගුරු සංගමයේ නායක ජෝසෆ් ස්ටාලින්, පලමුව පාසල්වල ගැටලු විසඳන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටි අතර නිසි ප්‍රතිසංස්කරන සැලැස්මක් ඉදිරිපත් කෙරෙන්නේ නම් සාකච්ඡා කිරීමට සූදානම් බව පැවසීය. විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ ලේකම්, චාරුදත්ත ඉලංගසිංහ ආන්ඩුව විවේචනය කලේ විද්වතුන් සමග සාකච්චා නොකරම ආන්ඩුවේ ප්‍රතිපත්ති සකස්කර ඇති බවයි. පෙසප යටතේ ඇති ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ නායක අමිල සඳරුවන් ද ඒ හා සමාන ප්‍රකාශ නිකුත් කරමින්, ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා “වීදියේ සටන් කිරීමට” සූදානම් බව පැවසීය.
ආන්ඩුව සමග සාකච්ඡාවලින් හා එයට බලපෑම් දැමීමෙන් නිදහස් අධ්‍යාපනය අතුගා දැමීමට එල්ලකරන ප්‍රහාර මෙල්ලකර, ධනපති ක්‍රමය ඇතුලේ විසඳුම් ලබාගත හැකිබවට පෙසප හා මේ සමිති නායකයන් ගෙනයන ප්‍රචාරය කම්කරුවන්, දුගීන්, ගුරුවරන් හා සිසුන් මුලාවේ දැමිමකි. මෙම දක්ෂිනාංශික, එක්සත් ජනපද ගැති ආන්ඩුව “නිවැරදි මාවතට” ගෙන යාමට තමන් උත්සාහ කරන බව ද පෙසප කියා සිටී.
දිසානායක ආන්ඩුව මෙම අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාවට දැමීම තනි සිද්ධියක් නොවේ. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු නියෝග අනුව සියලු සුභසාධන වැඩසටහන් කප්පාදු කිරීම, රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සහ රාජ්‍ය අංශය කපාහැරීම ආදී පුලුල් වැඩසටහනේ කොටසකි.
සසප සහ සසජාතශි කම්කරුවන්ට, දුප්පතුන්ට, තරුනයින්ට සහ සිසුන්ට අවධාරනය කරන්නේ නිදහස් රාජ්‍ය අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීමට ධනේශ්වර ක්‍රමය සහ ජාතික රාමුව තුල විසඳුමක් නොමැති බවයි. දැනුම පදනම් කරගත්, ගුනාත්මකව ඉහල මට්ටමකට එය වැඩිදියුනු කිරීම සඳහා ජාත්‍යන්තරව උපයාගත් විද්‍යාත්මක, තාක්ෂනික සහ සංස්කෘතික අභිවර්ධනය උකහා ගැනීම අවශ්‍ය වේ.
1930 ගනන්වල අගභාගයේ සහ 1940 ගනන්වල අරගල හරහා දිනාගත් නිදහස් රාජ්‍ය අධ්‍යාපනය ආරක්ෂා කරගැනීම, ජවිපෙ/ජාජබ ආන්ඩුව ගෙනයන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පියවරයන්ට එරෙහි සටන සමඟ ඒකාබද්ධ වූ දේශපාලන අරගලයකි.
මෙම කාර්යය සාක්ෂාත් කර ගැනීම සඳහා නම්, ජවිපෙ/ජාජබ ආන්ඩුව විදේශ නය ආපසු ගෙවීම සඳහා හරවා ඇති සම්පත් සහ සුපිරි ධනවතුන් විසින් රැස්කරගෙන ඇති දැවැන්ත ධනය අත්පත්කර ගැනීම අවශ්‍ය වේ. ස්වල්ප දෙනෙකුගේ ලාභ සඳහා පවතින නිෂ්පාදනය සමාජයේ බහුතරයේ යහපත සඳහා ප්‍රතිසංවිධානය කිරීම අවශ්‍ය වේ.
එය කල හැක්කේ බැංකු, මහා සමාගම් සහ වතුයායයන් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කිරීම සහ විදේශ නය ආපසු ගෙවීම් ප්‍රතික්ෂේප කිරීමෙනි. මෙම ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කල හැක්කේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ලංකාව තුල කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් පමනි.
මෙම සටන සඳහා කම්කරුවන් සූදානම් විය යුතුය. කම්කරු පන්තියේ ස්වාධීන ශක්තිය බලමුලු ගැන්වීම සඳහා සෑම වැඩබිමකම සහ අසල්වැසි ප්‍රදේශයකම ක්‍රියාකාරී කමිටු ගොඩනඟන්න! වෘත්තීය සමිති නිලධරයන් සහ ධනපති පක්ෂ මෙම කමිටුවලට ඇතුලත් කිරීමට ඉඩ නොදිය යුතුය.
සසප සහ සසජාතශි, ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම අරගලයට සම්බන්ධ වීම සඳහා ඔවුන්ගේ පාසල්වල තමන්ගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙසයි.
මෙම අරගලය සංවිධානය කිරීම සඳහා සාකච්ඡා කිරීමට අප සැමවිටම සුදානම් ව සිටින්නෙමු. අප අමතන්න.
වැඩිදුර කියවන්න
- ලාභ ශ්‍රමය සඳහා පාසල් සිසුන් රැකියාවල යෙදවීමේ වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රහාරයට එරෙහිවෙමු! අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීමට සමාජවාදී වැඩපිලිවෙලකට සටන් වදිමු!
- වැටුප් හා නිදහස් අධ්‍යාපන අයිතිය දිනා ගැනීමට ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලට සටන් වදිනු !
- ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරුද්ධ වනු! අධ්‍යාපන පුද්ගලීකරනය එපා!
- වැටුප් හා අධ්‍යාපන අයිතිය දිනා ගැනීමට ගුරුවරුන් ගෙනයන අරගලයට ක්‍රියා මාර්ගයක්