යාපනය නගරය ආසන්නයේ චෙම්මනි සුසාන භුමියේ මැයි මාසයේ සිට සිදු කෙරෙන සමුහ මිනීවලවල් කැනීමේ දී මේ වන විට වල දමා තිබු මිනිස් සිරුරු සියයකට වැඩි ප්‍රමානයක් සොයා ගෙන ඇත. ඒවා අතර, කාන්තාවන්ගේ, කුඩා ලමුන්ගේ හා අත දරුවන්ගේ පවා සිරුරු කොටස් හමුවීම පෙන්නුම් කරන්නේ ඇතැම් අය පවුල්පිටින් මරා, වල දමා ඇති බවයි.
මෙම සමූහ මිනීවල පිලිබඳ මුල්වරට හෙලිදරව් කෙරුනේ, මීට වසර 26කට පෙරාතු ව, 1998 දී ය. ඒ, 1996 දී ක්‍රිශාන්ති කුමාරස්වාමී නම් දමිල පාසැල් සිසුවියක දූෂනය කොට මරා, ඇය සොයා ගිය ඇගේ මව, සහෝදරයා සහ අසල්වැසියෙකු ඝාතනය කිරීම පිලිබඳ චෝදනාවලට වරදකරු කෙරුනු ලාන්ස් කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂ, පාපොච්චාරනයක යෙදෙමින්, චෙම්මනි ප්‍රදේශයේ සමූහ මිනීවලවල් ගැන හෙලිකිරීමත් සමග ය. චෙම්මනි, අවුරුද 26 තිස්සේ කෙරුනු අපරාධවලින් ඇබින්දකි.
සිංහල වර්ගවාදී ප්‍රචාරවල විෂ දුමාරයෙන් වසා තිබු අපරාධ, මහජනයාගේ ඇස් ඉදිරියේ එලිදරවු වන්ට පටන් ගැනීම දෙමල ජනයා පමනක් නොව, අනෙකුත් සිතනමතන සංවේදී ජනයා කම්පනයට පත්කර තිබේ. අපරාධකරුවන් සොයා ඔවුන්ට දඬුවම් කරන ලෙසට සාධාරන හඬ නැඟීම් ලේ නෑසියන් ඇතුලු අවශේෂ ජනයා අතරින් මතු ව තිබේ.
කම්කරු පන්තිය මෙවන් අපරාධවල සත්‍යය දැන ගත යුතු ය; අපරාධකරුවන් සොයා ඔවුන්ට දඬුවම් දීමට පෙරමුන ගත යුතු ය. අන් සියල්ලටමත් වඩා , මෙම අපරාධවල මූලය සොයා මුලිනුපුටා දැමීම කල හැක්කේ කම්කරු පන්තියට ය.
දැනටමත්, සිංහල වර්ගවාදී ප්‍රචාරක යන්ත්‍රය ක්‍රියාත්මක වී ඇත. වර්ගවාදී හඬ තලන්නෙකු වන, පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල, යුද්ධවල දී මෙවැනි අපරාධ සිදුවීම සාමාන්‍ය දෙයක් බව කියා තිබේ. මිලිටරි නායකයෝ, චෙම්මනි ගැන කට පියා ගෙන, නමුත් එල්ටීටීඊයේ 'අපරාධ' හුවා දක්වන්ට ද තමන් අපරාධවලට ගෑවීම වැරදි බව හුවා දැක්වෙන ප්‍රචාරනයක් ජනමාධ්‍ය හරහා දියත් කර තිබේ.
යුද්ධය ගෙන ගිය, ජීවතුන් අතර සිටින, අනුප්‍රාප්තික ආන්ඩුවල නායකයන් වූ, හිටපු ජනාධිපතියන් වන රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හා මෛත්‍රිපාල සිරිසේන ආදීන් කටපියාගෙන සිටින නමුත්, මිනීවලවල් කැනීම ගැන දත්කූරුකමින් සිටින බව නිසැක ය. වත්මන් ආන්ඩුවේ ජවිපෙ නායකයන් රොත්ත, පසුගිය ආන්ඩු ගනනාවකට ම ඇතුලින් සහ පිටින් සහාය දෙමින් වර්ගවාදී යුද්ධයේ ප්‍රමුඛ ම කසකරුවෝ වූහ. ඔවුන්ගේ ද මුඛ පූට්ටුවී තිබේ.
මෙම ධනපති පාලකයන්, මිලිටරි නායකයන් හා වර්ගවාදී නඩ එදා සිට හඬතලමින් සිටින්නේ, ඔවුන් එල්ටීටීඊයෙන් “රට බේරා ගැනීමේ විමුක්ති යුද්ධයක ” යෙදුනු බවට යි!
සත්‍යය මුනින් අතට පෙරලන, ධනපති පාලකයන්ගේ හා ඔවුන්ගේ ඇම්බැට්ට නඩවල මේ කෙප්පය, සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි. සසප හා සසජාතශි හැම විට ම එල්ටීටීඊයේ ප්‍රතිගාමී ජාතිකවාදී දේශපාලනයට සහ එය යොදාගත් විනාශකාරී ත්‍රස්තවාදී විධික්‍රමවලට විරුද්ධ ව දේශපාලනික ව සටන්කර තිබේ. කොලඹ ධනපති පාලකයන් එල්ටීටීඊයේ එම ත්‍රස්ත ක්‍රියා යොදා ගත්තේ තම අත් ශක්තිමත් කරගැනීමටයි.
එල්ටීටීඊ හා අනෙකුත් දෙමල ධනපති පක්ෂ, ගෝලීය යුද අපරාධකාරයන් වන එස්සත් ජනපදයේ හා යුරෝපයේ අධිරාජ්‍යවාදීන්ගේ සරන සොයමින්, තම වරප්‍රසාද රකින වෙන ම ධනපති රාජ්‍යයක් සඳහා ද දේශපාලන “බලය බෙදීමේ ” යෝජනා ද සඳහා දැරූ ප්‍රයත්නයේ ප්‍රතිගාමී ආදීනව ද අපි පෙන්වා දී ඇත්තෙමු.
හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන සසප හා එහි පුර්වජයා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය මේ සටන් ගෙන ගියේ, වර්ගවාදී යුද්ධයට විරුද්ධ වෙමින්; එහි මූලයන් පෙන්වා දෙමින් සහ උතුරෙන් හා නැගෙනහිරෙන් හමුදා ඉවත්කරන ලෙස ස්ථිරසාර උද්ඝෝෂනයක යෙදෙමිනි. ලංකාවේ අධිරාජ්‍ය-ගැති පාලකයන් 1948 ඇටවූ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකීය ධනපති රාජ්‍ය පෙරලා දමා දෙමල-සිංහල-මුස්ලිම් කම්කරුවන් එකමුතු ව දුගී ජනයාගේ නායකත්වය ගෙන, ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහාය ඇති ව කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක්--ශ්‍රී ලංකා ඊලාම් සමාජවාදී සමුහාන්ඩුවක් සඳහා සටන් කිරීමේ මූලෝපාය විකොස/සසප ඉදිරිපත් කලේ ය.
1983 දී ඇරඹූ වර්ගවාදී යුද්ධයට වගකිව යුත්තේ කොලඹ ධනපති පාලකයන් ය. 1948, නාමික නිදහස නමින් බ්‍රිතාන්‍ය විජිතවාදීන් අතින් තමන් අතට බලය මාරුකරගත් වහා ම ධනපති පාලකයෝ, සිංහල බහුතරය දෙමල සුලුතර ජනතාවට එරෙහි ව කෙටවීමේ විසකුරු ප්‍රහාරය ඇරඹූහ. ඒ සඳහා, එවක යූඇන්පී ආන්ඩුව ලංකාවේ ජනගහනයෙන් සියයට 11ක් තරම් සංඛ්‍යාවක්වූ ඉන්දියානු සම්භවයක් සහිත දෙමල වතුකම්කරුවන්ගේ පුරවැසි අයිතිය ද ඡන්ද බලය ද අහෝසි කිරීමේ පනත් දෙකක් 1948 දී හා 1949 දී සම්මත කලේ ය.
හතරවන ජාත්‍යන්තරයේ එවක ලංකා ශාඛාව වූ ඉන්දීය බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂයේ (බීඑල්පීඅයි) නායක කොල්වින් ආර්.ද සිල්වා 1948 පුරවැසි පනතට එරෙහි ව මෙසේ ප්‍රකාශ කලේය:
“අද්‍යතන රාජ්‍යය, . . . තව දුරටත් පැරනි සම්භව්‍ය ජාතික රාජ්‍යය නොවේ. පැරනි සම්භව්‍ය ජාතික රාජ්‍යයයේ අරමුන වූයේ ද එමගින් තහවුරු කර ගැනීමට උත්සාහ කල කාරනාව වූයේ ද රාජ්‍යය ජාතිය සමග සමසීමිත වේය යන්නයි. ජාතිය. වර්ගය සමග සමසීමිත කිරීමේ මෙම පැරනි හා යල් පිනූ න්‍යාය පුනර්ජීවනය කෙරෙන්නේ හරියට ම ධනපති ක්‍රමය බිඳ වැටීමේ වත්මන් කාල පරිච්ඡේදය තුල, එයට සහයෝගය දෙන ප්‍රතිගාමිත්වය වෙනුවෙනි. ජාතිය වර්ගය සමග සමසීමිත බවට පත් කිරීමට උත්සාහ කෙරෙන්නේ ද රාජ්‍යයේ සංයුතිය තුල වර්ගය මුඛ්‍ය සාධකය වන්නේ ද හරියට ම පැසිස්ට්වාදය යටතේ ය. ”
ඔහු මෙසේ ද ප්‍රකාශ කලේය:
[දැනට මෙම වාර්ගික මූලධර්මය යාපනයේ දෙමල ජනයාට එරෙහිව යොදාගෙන නොතිබුනත්,] ආන්ඩුවක් වර්ග-විරෝධී මූලධර්මයක් සුවිශේෂී කන්ඩායමකට එරෙහිව යොදා ගැනීම ආරම්භ කරන මොහොතේ සිට, සුවිශේෂී වාර්ගික කන්ඩායමක් සම්බන්ධයෙන් ප්‍රතිජානන වාර්ගික මූලධර්මයක්වීම දක්වා ඇත්තේ කෙටි මෙන්ම පහසු ලෙහෙසි පියවර තැබීමක් පමනි.
බීඑල්පීඅයි නායකයා සිය විශ්ලේෂනයයට පදනම් කර ගත්තේ, 1905 ලියොන් ට්‍රොට්ස්කි ඉදිරිපත් කල, 1917 රුසියානු සමාජවාදී විප්ලවයෙන් සනාථ කෙරුනු නොනවතින විප්ලව න්‍යාය හා ක්‍රියාමාර්ගය යි. ඉන් පෙන්වා දුන්නේ, ලංකාව බඳු, කල්පසු ව ධනවාදය බිහි වූ රටවල අධිරාජ්‍ය ගැති, රටේ සියලු ප්‍රතිගාමී ස්ථරයන් සමග බැඳුනු පාලක පන්තීන්, මහජනයාගේ එකදු ප්‍රජාතන්ත්‍රීය අයිතියක්වත් තහවුරු කිරීමට අසමත් බව යි.
බලය තමන් අතට මාරුකර ගැනීමට පෙර සිට ම, තමන්ට පූර්වයෙන් උපත දුටු ලංකාවේ ප්‍රබල වතු කම්කරුවන් ප්‍රමුඛ කම්කරු පංතිය ගැන භීතියෙන් වෙවුලමින් සිටි පාලකයන්, එම පන්තිය සිංහල හා දෙමල වාර්ගික රේඛා ඔස්සේ බෙදීම තම ධනපති පාලනය රැක ගැනීමේ එක ම ක්‍රමය ලෙස තීන්දු කර සිංහල වර්ගවාදී ආයුධය එසවූහ. එය ඇරඹුවේ, වතු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහෝසි කරමිනි.
කම්කරුවන් හා දුගීන් තම අයිතීන් සඳහා නැගීසිටීම නිසා ධනපති පන්තියේ දේශපාලන අර්බුදය වඩා වඩාත් ගැඹුරු වූ තරමට වර්ගවාදී හලාහල විස පැතිරවීම ද වේගවත් කෙරිනි. මේ අවස්ථා කීපයක් කෙටියෙන් දක්වමු:
1953 කම්කරුවන්ගේ හා දුගීන්ගේ මහා හර්තාලයෙන් අවුරුදු තුනකට පසු, 1956දී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) අගමැති එස්.ඩබ්ලියු.ආර්.ඩී බන්ඩාරනායක විෂකුරු “සිංහල පමනක්' උද්ඝෝෂනය මතින් බලයට පැමින, එය පනතක් ලෙස ව්‍යවස්ථා ගතකර ලේ වැගිරීම් වලින් කම්කරුවන් බෙදීම ගැඹුරු කිරීම ඇරඹුවේ ය.
කම්කරු පන්තිය වාර්ගික රේඛා කපාගෙන, සිය ජීවන හා සමාජ කොන්දේසි ද ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ද සඳහා 1963 පටන් යලි ඉදිරියට ඒමත් සමග, තම ධනපති පන්ති පාලනය රැක ගැනීමේ භීතියෙන් සිටි ශ්‍රීලනිප අගමැති සිරිමා බන්ඩාරනායක, 1964 දී ට්‍රොට්ස්කිවාදයෙන් පල්ලම් බසිමින් සිටි ලංකා සම සමාජ පක්ෂය (ලසසප) හවුල් ආන්ඩුවකට කැඳවා ගත්තා ය. ජාත්‍යන්තර සමාජවාදී මූලධර්ම ද කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය ද මහා පාවා දීමකට ගොදුරු කරමින්, ලසසප නායකයෝ ධනපති ක්‍රමය රැකීමේ වගකීම භාර ගත්හ.
යුද්ධයට පාර කපා ගැනීමට ධනපති පන්තියට අවස්ථාව සැලසුනේ, 1964 දී ධනපති ශ්‍රීලනිප ආන්ඩුවට ඇතුලු වී ලසසපය සිදුකල මේ මහා පාවාදීමෙනි. 1948 දී දෙමල වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහෝසි කිරීමේ අනාගත අන්තරාය ප්‍රබල ලෙස පෙන්වා දුන් කොල්වින් ආර් ද සිල්වා නායකත්වය දුන් බෝල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය 1950 දී ට්‍රොට්ස්කිවාදී යයි කියාගත් ජාතිකවාදී ලසසපය සමග බද්ධ වුයේ ය. හතරවන ජාත්‍යන්තරයෙන් හා ට්‍රොට්ස්කිවාදයෙන් බිඳුනු මයිකල් පැබ්ලෝ- අර්නස්ට් මැන්ඩෙල් නායකත්වය දුන් පැබ්ලෝවාදී මධ්‍යස්ථානය සමග 1953 පටන් පෙල ගැසුනු ලසසපය, එහි අනුබලය හා ආවරනය යටතේ 1964 දී ලංකාවේ බෙලහීන ධනපති ක්‍රමය රැකීමේ වගකීම භාරගත්තේ ය.
වර්ගවාදී දේශපාලනයට එරෙහිව තමන් දරා සිටි මාක්ස්වාදී මූලධර්ම වලලා දැමූ කොල්වින් ආර් ද සිල්වා ඇතුලු ලසසප නායකයන්, තමන් ශ්‍රීලනිප හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය සමග ඇති කරගත් සභාග ආන්ඩුවෙන්, සිංහල භාෂාව නිල රාජ්‍ය භාෂාව බවටත් බුද්ධාගම රාජ්‍ය ආගම බවටත් නීතිගත කර 1972 දී සැකසූ ඒකීය ව්‍යවස්ථාවෙන් වර්ගවාදී භේදකරනයේ ප්‍රපාතයක් නිර්මානය කෙරුනි. මේ සඳහා කොන්දේසි සාදා ගන්නා ලද්දේ, 1971 දී ජවිපෙ, කම්කරු පන්තියට පිටුපස හරවා සිදු කල ගරිල්ලාවාදී කැරැල්ල ලෙයින් මැඩලා හදිසි නීති පාලනයක් තහවුරු කර ගැනීමෙනි.
ලසසපය ජාත්‍යන්තර සමාජවාදයේ මුලධර්ම පාවාදීම හා කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වය ධනපති පාලනයට යටත් කිරීම, ගම්බද ජනයා සහ දෙමල පීඩිතයන් කම්කරු පන්තිය ගැන තබා තිබූ විශ්වාසය පලුදු කර දැමීය. 1960 ගනන් මැද, මාවෝ-කස්ත්‍රෝ ගොවිජන ගරිල්ලාවාදය වැලඳගත් සුලුධනපති ජවිපෙ ද දෙමල බෙදුම්වාදය පෙරට දැමූ එල්ටීටීඊය ඇතුලු කන්ඩායම් ද ඉදිරියට ආවේ, ලසසප පාවාදීමෙන් ඇති කෙරුනු දේශපාලන රික්තය ගසාකමිනි.
පැබ්ලෝවාදය (ට්‍රොට්ස්කිවාදයට එරෙහි ව දියත්වූ ප්‍රතිගාමී ප්‍රවනතාවක්) හා එය විසින් අනුබල දුන් ලසසප පාවාදීමට එරෙහි ව ජාත්‍යන්තර කමිටුව කල අරගලය සමග එක්වෙමින් 1968 දී ඇරඹූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස), ධනපති පන්ති පාලනයේ වියරු විනාශකාරී පිලිවෙත්වලට එරෙහි ව කම්කරු පන්තිය, දෙමල ජනයා ඇතුලු පීඩිත ජනයාට ද ගම්බද දුගින්ටද නායකත්වය දීමේ අරගලය දැන් සසප ඉදිරියට ගෙන යමින් සිටියි.
ලසසප මහා පාවාදීම සමග එකට දියත් කල අනෙකුත් සමාජ ප්‍රහාර හේතුවෙන් කම්කරුවන් හා ගම්බද ජනයා අතර නැගුනු විරෝධය ගසා කා, යූඇන්පී නායක ජේ ආර් ජයවර්ධන ප්‍රතිගාමී උද්ඝෝෂන දියත්කරමින් 1977 දී බලයට ආවේ ය. ජයවර්ධන ආන්ඩුව මුල් කටයුත්ත ලෙස තෝරා ගෙන තිබුනේ, තම ප්‍රාග්ධනය සඳහා රුදුරු සූරාකෑමේ උල්පත් සොයමින් මහ ධනපති බලයන් ගෝලීය ව අරඹා තිබූ ප්‍රහාරයට, ලංකාවේ ධනපති ආර්ථිකය එකාග්‍ර කිරීමට “නිදහස් වෙලඳපොල ආර්ටික පිලිවෙත්” ක්‍රියාවට දැමීමයි.
පැන නැගෙමින් තිබු කම්කරු විරෝධය තලා දැමීමට, ක්‍රමානුකූල ව දෙමල විරෝධී වර්ගවාදී ප්‍රකෝප කිරීම් සඳහා යූඇන්පීය සමග පෙල ගැසී සිටි වර්ගවාදී මැරනඩ රාජ්‍ය අනුග්‍රහයෙන් මුදා හැර, පසු ව එල්ටීටීඊ සමග 26 අවුරුද්දක් ඇදී ගිය යුද්ධය ඇරඹුවේ ය. එය දෙමල පිඩිත සුලුතර ජනයා ජනඝාතන ඇතුලු අසීමිත මර්දනයට ගොදුරු කරමින් 2009 මැයි මාසයේ, ජනාධිපති රාජපක්ෂ පාලනය යටතේ අවසන් විය. චෙම්මනි මෙම යුද්ධයේ එක් භීෂනකාරී අවස්ථාවකි.
දෙමල වැසියන් රුදුරු ලෙස තලා දැමුනු යුද්ධය මුලු දිවයිනට ම භීෂනයත් විනාශයත් උදා කලේ ය. එහි මූලය, කම්කරුවන් වාර්ගික ව බෙදා ධනපති ක්‍රමය රැක ගැනීමට බෙලහීන පාලක පන්තියට පැවති වුවමනාවයි. අධිරාජ්‍යවාදී රටවල ආන්ඩු කොලඹ තම ඒජන්ත පාලනය ගෙන ගිය යුද්ධයට අනුබල දුන්නේ ය.
ගෝලීය ධනවාදය පෙර නුවූවිරූ අර්බුදයක ගිලී ඇත. ප්‍රධාන අධිරාජ්‍යවාදී රටවල් ලෝකය බෙදා ගැනීමේ යුද්ධයකට අවතීර්නවෙමින් සිටියි. ෆැසිස්ට්වාදය හා ආඥාදායක පාලන ක්‍රම ඇටවීම සෑම රටක ම පාලකයන්ගේ තුරුම්පුව වී ඇත. ලංකාවේ දැන් පාලනය ගෙනියන්නේ වර්ගවාදී ලේවැකි අතීතය කරපින්නා ගත්, ජවිපෙ නායකත්වය දෙන ආන්ඩුවකි. එය යුද අපරාධ ආවරනය කරයි. ජවිපෙ මෙන්ම ධනපති පන්තියේ අනෙකුන් පන්ති පාලනය අර්බුදයට යන තත්වයක යලිත් කුරිරු ලෙස සිංහල වර්ගවාදය උසිගන්වනු ඇත. දෙමල ධනපති පක්ෂ තමන්ගේ පැත්තෙන් ජාතිකවාදය අවුස්සමින් සිටී.
සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටින්නේ, ජනවාර්ගික භේද කරනයන් කපාගෙන කම්කරු පන්තිය එක්සත්කොට, පීඩිත ජනයාට නායකත්වය දෙමින්, ධනපති පන්ති පාලනය පෙරලා දැමීමේ විප්ලවවාදී ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයට අප සමග එක්වන ලෙසයි.