අගෝස්තු 6දා නිවේදනයක් නිකුත් කල මිදිගම මිචෙලින් සමාගමේ කලමනාකරනය, සැප්තැම්බර් 1දා සිට සියැට් සමාගමට සම්බන්ධ වීම සඳහා නිකුත් කෙරෙන නව පත්වීම් ලිපි භාරගෙන අත්සන් කරන ලෙස සේවකයන්ට දැනුම් දී තිබේ. ඒ අනුව, අගෝස්තු 31දා සිට මිචෙලින් සමාගමේ කටයුතු අවසන් වන බවත්, ඉන්පසු තම සමාගමට කම්කරුවන් සමග කිසිදු සම්බන්ධතාවක් නැති බවත් එම ලිපියේ දැක්වේ. තම සමාගමේ රැකියා සහ සේවා කොන්දේසිවල අඛන්ඩතාව සහිත ව සියැට් සමාගම කම්කරුවන් භාරගන්නා බව මිචෙලින් සමාගම කියා සිටී.
මෙම ප්‍රකාශ, කම්කරුවන් නොමග යැවිමට තැත් කිරීමකි. මිචෙලින් කලමනාකරනයේ ඇත්ත අරමුන, කම්කරුවන් අතර පැන නැගී ඇති පෙරලිකාරිත්වය හා කෝපය යටපත්කර, කෙසේ හෝ ඔවුන් සියැට් සමාගමට තල්ලු කර දැමීමයි. කම්කරුවන්ගේ රැකියා හා සේවා කොන්දේසි බරපතල අනතුරක පවතී. සියැට් සමාගමේ පත්වීම් ලිපිය භාර ගෙන අත්සන් කර දීමෙන් පසු, මිචෙලින් සමාගම සමග කම්කරුවන්ගේ සම්බන්ධය මුලුමනින්ම අහෝසි වන අතර, ඔවුහු හුදෙක් නව සමාගමේ සේවා කොන්දේසි අනුව ක්‍රියා කල යුතු සේවකයන් බවට පත්වෙති.
ප්‍රංශය මූලස්ථානය කරගත් මිචෙලින් ජාත්‍යන්තර සංගතය, ඉන්දියාවේ දැවැන්ත සමාගමක් වන සියැට් වෙත ලංකාවේ සිය ආයතනය විකිනීමේ ගනුදෙනුව ඇරඹුවේ, පසුගිය දෙසැම්බර් මාසයේ ය. ලංකාවේ සිය සමාගම අත්හැර දැමීමට මේ මහා සංගතය සැලසුම් කලේ, එය ප්‍රතිව්‍යුහගත කර ඇතැම් ශාඛා වසා දමමින්, අනෙක් ඒවායේ කම්කරුවන් සංඛ්‍යාව අඩු කොට, කෘතීම බුද්ධි තාක්ෂනය ද යොදා ගෙන, වැඩ වේගවත් කරමින් ද ලාභ තරකර ගැනීමට අරඹා ඇති ප්‍රහාරයක කොටසක් ලෙස ය.
මීට පෙර, සියැට් වෙත මිදිගම මිචෙලින් කම්හල පැවරීම අගෝස්තු 1දා සිදුවීමට නියමිත ව තිබුනත්, කම්කරුවන්ගෙන් නැගුනු බලගතු විරෝධය සමඟ එය කල් දැමුනි. පාලක ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ අන්තර් සමාගම් සේවක සංගමය (අසසේසං), සමාගම් දෙකේ ගනුදෙනුවේ දී තමන්ට අභිමත පරිදි කම්කරුවන්ගේ සේවා කොන්දේසි පිලිබඳ ව අවබෝධතා ගිවිසුමකට එලැඹ සිටියත්, ඒ පිලිබඳ ව සේවකයන්ට කිසිවක් දන්වා නොතිබුනි. එම ගිවිසුම කම්කරුවන්ට පෙන්වීම අසසේසං නායකයන් විසින් මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන ලද්දේ, ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පාගා දමමිනි.
මිචෙලින් සේවකයෝ තමන්ගේම ඉල්ලීම් ඉදිරිපත් කරමින්, මැයි 23දා පටන් තම අයිතීන් සුරක්ෂිත කර ගැනීම සඳහා විරෝධතා උද්ඝෝෂන මාලාවක් වර්ධනය කලේ, සමාගමේ ද අසසේසං නායකයන්ගේ ද තර්ජන හා රහස් සාකච්ඡා මධ්‍යයේ ය. කලමනාකරනය එක් සේවකයෙකු රැකියාවෙන් නෙරපා හරිමින්, තවත් දෙදෙනෙකුගේ වැඩ තහනම් කලේය.
තමන්ගේ ම ක්‍රියාකාරි කමිටු ගොඩනගා ගෙන, ලංකාවේ ද ජාත්‍යන්තර ව ද සිය පන්ති සහෝදර සහෝදරියන් වෙත හැරී ඔවුන්ගේ සහයෝගය සහිත ව අරගලය ශක්තිමත් කර ගැනීමට, ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා සමාජවාදී සමානතා පක්ෂය (සසප) මිචෙලින් කම්කරුවන්ට ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කලේ ය. සසප කැඳවුමට කම්කරුවන්ගේ අනුකූලතාවක් වැඩෙමින් පැවතුනි.
කෙසේ වෙතත්, අසසේසං නායකයන් නොතකා මිචෙලින් සේවකයන් අතර වර්ධනය වෙමින් තිබුනු නොසන්සුන්තාව පිලිබඳ ව ද කම්කරු පන්තික ස්වාධීන වැඩපිලිවෙලක් මත ඔවුන්ගේ අරගලය වර්ධනය කිරීමේ හැකියාව නිසා ද කැලඹුනු ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වහා ම මෙයට මැදිහත් විය. පෙසප, සේවකයන් අතර පැවැති ව්‍යාකූලතාව ගසා කෑමට මෙහෙය වූ පෞද්ගලික කම්කරු මධ්‍යස්ථානය (පෞකම), අසසේසංට වඩා තමන් හොඳ වෘත්තිය සමිති භාවිතයක් ගෙනයාමට ද අනෙක් සමිතිය මෙන් 'ඩීල්' නොදමන බවට ද පොරොන්දුවෙමින් සේවකයන් කන්ඩායමක් සමග තවත් වෘත්තීය සමිතියක් සාදා තිබේ.
කම්කරුවන්ගේ විරුද්ධත්වයන් නොතකාම, මිචෙලින් කලමනාකරනය ඔවුන්ගෙන් සියැට් පත්වීම් ලිපියක් ලබා ගැනීමට දැන් තැත් කරයි. මෙම අත්තනෝමතික ක්‍රියාවේ තේරුම වන්නේ, තමන් මෙන්ම ඉන්දියානු සමාගම ද කම්කරු අයිතීන් තුට්ටුවකටවත් මායිම් නොකරන බවයි. මේ අතර, සමාගම් දෙක සමග එකට ක්‍රියාකරන අසසේසං නායකයෝ නරුම ලෙස, සියැට් සමාගමේ පත්වීම් ලිපිය අත්සන් කරදෙන මෙන් කම්කරුවන්ට බල කිරීමේ යෙදති.
පෙසප නායකත්වය දෙන පෞකම, තමන් සමාගම් දෙක සමඟ සාකච්ඡා කර නව අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන තුරු, පත්වීමේ ලිපිය ලබා නොදෙන ලෙස මිචෙලින් සේවකයන්ගෙන් ඉල්ලා සිටී. පෞකම ලේකම් දේවින්ද කෝදාගොඩ, අගෝස්තු 7දා, කම්කරුවන්ගේ අයිතීන් කම්කරු නීති අනුව කෙසේ හෝ දිනා දෙන බවට කම්කරුවන් ඉදිරියේ දිවුරා කියා සිටියේය.
ඔහුගේ වචන මෙසේය: 'ප්‍රශ්නයක් වුනොත් අපි නීතියෙන් බලා ගන්නවා. බයවෙන්න එපා, වෘත්තිය සමිතිය විශ්වාස කරන්න! අපි නීතියට අනුවයි ක්‍රියාකරන්නේ. නීතිඥයන්ගෙන් අහලයි අපි ක්‍රියාකරන්නේ. අපි සීරියස්.' කෝදාගොඩ, සමාගම් දෙකට ආයාචනා කරමින් මෙසේ කිවේය: 'ශිෂ්ඨ ලෝකයේ කම්කරු නීතියක් කියා දෙයක් තියෙනවා, ඒ අනුව සාකච්ඡාවට එන්න, කම්කරුවන්ට වගේ ම සාකච්ඡාවෙන් සම්පූර්න කර ගන්න ඕන දේවල් හාම්පුතාලටත් තියනවා...'
තමන් හොදට ම 'සීරියස්' බව පෙන්වමින් කෝදාගොඩ, හාම්පුතුන්ට මිතුරු තරවටුවක් ද කලේය: 'සාකච්ඡාවට ඒමේ වගකීම දැන් තියෙන්නේ සමාගම අතේ. එහෙම නැත්තං, ලක්ෂ විසිපහක් වන්දි විතරක්ම ගෙවන්න වෙනවා මිච්ලින් සමාගමට.' සාකච්ඡාවක් නොදී, සියැට් සමාගම ඇතුලට යාමට ඉඩනොදී විවෘත කලහොත්, 'අපි එලියෙ ඉදන් සටන් කරනවා' යැයි කෝදාගොඩ දිවුරුවේ ය.
'ඔබ සියලු දෙනාගේම නම්, අපි කම්කරු කොමසාරිස්වරයාට දීල තියෙන්නෙ, ඔයගොල්ල සියලුදෙනාගේම රැකියා නීතියෙන් ආවරනය වෙලා තියෙන්නෙ, රැකියාවට කිසි දෙයක් කරන්න කාටවත් බෑ, කිසිකෙනෙක් බයවෙන්න එපා, හිනාවෙලා ඉන්න.'
කෝදාගොඩ දිවුරමින් ප්‍රකාශ කලේ, පෙසප දේශපාලනය අනුව ඔවුන්ගේ වෘත්තීය සමිති නායකයන් ධාවනය වන ආකාරය යි. ආන්ඩුවේ නීති, විශේෂයෙන් ම කම්කරු නීති, ඔවුන් දොහොත් මුදුනින් වන්දනා කලත්, කම්කරුවන් ඒවා වන්දනා නොකල යුතුය. හාම්පුතුන්ට බෙහෙවින් වාසිවෙන මේ නීතිවලින්, කම්කරුවන්ගේ අයිතීන් පැහැරගැනුනු අවස්ථා එමට ය.
“කම්කරුවන්ට වගේ ම තමන් සමග සාකච්ඡාවෙන් සම්පූර්නකර ගන්න ඕන දේවල් හාම්පුතාලටත් තියනවා” යයි ඔහු මතක් කලේ නිකමට නොවේ. ධනපති රාජ්‍යය සහ ධනපති හාම්පුතුන්ගේ 'අයිතීන්' ද රැකදීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සැදී පැහැදී සිටී.
ජවිපෙ, අන්තර් සමාගම් සේවක සංගමය ඇතුලු සියලු සමිතිවල නායකයෝ ආන්ඩුවේ ද රාජ්‍යයේ හා ධනපති හාම්පුතාලාගේ ද අත්ගෙඩි ලෙස, වස්ත්‍ර නැතිවම ක්‍රියාකරති. ජවිපෙන් පුහුනුව ලබා එලියට පැමින සිටින පෙසප නායකයන් හා ඔවුන්ගේ සමිති නායකයන් ද රැඩිකල් පුච්චානම් දෙසාබාමින් ධනපතියන්ට කත් අදිති.
කම්කරුවන්ගේ අයිතීන් පෑගුවොත් තම සමිතිවල සියලු සාමාජිකයන් එලියට බස්සන බවක් කෝදාගොඩ කීවේ නැත; අනෙකුත් සියලු තැන්වල කම්කරුවන්ට, මිචෙලින් සේවකයන්ගේ ආධාරයට එනලෙස කැඳවුම් කරමින්, ජාත්‍යන්තර කම්කරු පන්තියේ එකමුතුව ඉල්ලා සිටිමින් දැවැන්ත අරගලයකට අතගැසීමට මෙම සමිති නායකයෝ සපුරාම විරුද්ධ ය.
පෙසප හා එහි සමිති නායකයෝ කම්කරු පන්තියේ විප්ලවවාදී ශක්තිය ප්‍රතික්ෂේප කරති. ඒ වෙනුවට ඔවුන් විශ්වාසය තබා ඇත්තේ, ධනපති නීතිය, 'ශිෂ්ට' හාම්පුතුන් සහ දක්ෂිනාංශික ජවිපෙ/ජාජබ ආන්ඩුව හරිපාරට ගැනීම ගැන ය. ඔවුහු, හාම්පුතුන්ට සහ ආන්ඩුවට බලපෑම් දමා යමක් දිනා ගැනීමට හැකිය යන මිත්‍යාව කම්කරුවන් අතර පතුරුවා, ඔවුන් උගුලකට හසුකිරීමේ කාර්යභාරයක් අතට ගෙන සිටිති.
වෘත්තීය සමිතිය මාරුකර, කෙටි මාවතකින් කම්කරුවන්ට තමන්ගේ අයිතීන් ආරක්ෂා කරගැනීමට හෝ දිනා ගැනීමට නොහැකි ය. සසප අවධාරනය කල පරිදි, කම්කරුවන් ක්‍රියාකාරී කමිටු තනාගෙන, තම අයිතීන් සදහා සටන් කිරීමේ මාවත සාදා ගත යුතුය; වෘත්තීය සමිති නායකයන් මේවාට වැද්ද නොගත යුතුය. අරගලයේ සෑම අවස්ථාවක ම, එය වර්ධනය කිරීමට සටන් කරමින්, ඔබට ආධාර කිරීමට අප පක්ෂය සූදානමින් සිටී. අප අමතන්න.
ධනපති පන්තියෙන් හා එහි ආවතේවකාරයන්ගෙන් දේශපාලනිකව ස්වාධීනව, කම්කරු පන්තිය සමාජවාදී ප්‍රතිපත්ති මත බලමුලු ගැන්වීමට සටන් කරන පක්ෂයකි, සමාජවාදී සමානතා පක්ෂය.