රැකියා විරහිත උපාධිධාරීන් තම රැකියා අයිතිය සඳහා සටන් කල යුත්තේ කෙසේද?

රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබා රැකියා විරහිතව සිටින උපාධිධාරීන්ගේ සංඛ්‍යාව මේ වන විට 40000 ක් ඉක්මවා ඇත. රාජ්‍ය ක්ෂේත්‍රයේ පවත්නා සේවක පුරප්පාඩු සඳහා තමා බඳවා ගන්නා ලෙස ඉල්ලා මෙම උපාධිධාරීන්, පසුගිය වසර කීපය පුරා යලියලිත් විරෝධතාවන්ට අවතීර්න වූ නමුත්, පැවති සෑම ආන්ඩුවක්ම එය ප්‍රතික්ෂේප කලේය.

වත්මන් ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව බලයට පැමිනීමෙන් පසුව ද, ගත වූ අවුරුද්දකට ආසන්න කාලය තුල තෙවරක්ම එවන් විරෝධතාවන් හි නිරත වූ උපාධිධාරීහු, පසුගිය 11 වන සඳුදා කොලඹ ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට යලිත් විරෝධතාවක් පැවැත්වූහ.

රැකියා විරහිත උපාධිධාරීහු, 2025 අගෝස්තු 11 වන දා සඳුදා කොලඹ ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ යෙදෙමින්

රැකියා විරහිත උපාධිධාරීන් සංඛ්‍යාවට සමාන ගුරු පුරප්පාඩු රජයේ පාසල්වල පමනක් පවතින බවත්, තවත් අමාත්‍යාංශ ගනනාවක දහස් සංඛ්‍යාත සේවක පුරප්පාඩු පවතින බවත් කියා සිටි විරෝධතාකරුවෝ, එම පුරප්පාඩු සඳහා ඔවුන් කඩිනමින් බඳවා ගන්නා ලෙස ජවිපෙ/ජාජබ ආන්ඩුවට බල කර සිටියහ.

ජනාධිපතිවරනයට පෙර 2024 අගෝස්තු මාසයේ දී, රැකියා විරහිත උපාධිධාරීන් හමු වූ වත්මන් ජනාධිපති සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, තමා බලයට පත්වූ වහාම ඔවුන්ගේ රැකියා ගැටලු විසඳන බවට දුන් පොරොන්දු කඩ කිරීම විරෝධතාකරුවෝ හෙලා දුටුවහ.

රැකියා විරහිතයන්ගේ යුක්තියුක්ත ඉල්ලීම සම්බන්ධයෙන් ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ප්‍රතිචාරය ප්‍රකාශයට පත් කරමින්, කඳුලු ගෑස් ප්‍රහාරක රථ වලින් සහ මැෂින් තුවක්කු වලින් සන්නද්ධ වූ සියයකට අධික කැරලි මර්දන පොලිස් බල ඇනියක් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට රඳවා තිබුනි.

2025 අගෝස්තු 11 වන දා සඳුදා කොලඹ ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවය අවහිර කරන පොලිස් භට කන්ඩායම්

සටන් පාඨ කියමින් පැයකට වැඩි කාලයක් උද්ඝෝෂනයේ නිරත වීමෙන් පසු විරෝධතාකරුවෝ අධ්‍යාපන අමාත්‍යාංශය සමීපයේ පිහිටි ජවිපෙ පක්ෂ මූලස්ථානය වෙත ගමන් කිරීමට ගත් උත්සාහය, පොලිසිය විසින් වලක්වනු ලැබී ය. යලි සටන් පාඨ කියමින් පැය දෙකකට වැඩි කාලයක් ගත කිරීමෙන් පසු විරෝධතාකරුවෝ විසිර ගියහ.

ආන්ඩුවට පීඩනය යෙදීමෙන් තම ඉල්ලීම් දිනාගත නොහැකි බව, රැකියා විරහිත උපාධිධාරීන් හමුවේ යලිත් වරක් තහවුරු වී ඇත.

ජවිපෙ/ජාජබ ආන්ඩුවේ පිලිවෙත වී ඇත්තේ රැකියා සම්පාදනය කිරීම නොව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයන්ට අනුව, රාජ්‍ය ආයතන පෞද්ගලීකරනය හෝ ප්‍රතිව්‍යුහකරනය මගින් රාජ්‍ය සේවයේ රැකියා මිලියන භාගයකින් කප්පාදු කිරීමයි.

රජයේ රැකියා සම්පාදනය සම්බන්ධයෙන් ආන්ඩුවේ පිලිවෙත විවෘතව ප්‍රකාශයට පත් වූ අවස්ථා කීපයක් මෙසේය:

*මින් පසු රාජ්‍ය අංශයට “බල්ක් පිටින්” (දහස් ගනනින්) සේවකයන් බඳවා නො ගන්නා බව, ජනාධිපති දිසානායක තම ප්‍රථම අයවැය පිලිබඳ පාර්ලිමේන්තු විවාදයේදී කියා සිටියේ ය.

* ජවිපෙ/ජාජබ ආන්ඩුවේ රුදුරු කප්පාදු පිලිවෙත්වල නරුම ප්‍රකාශකයෙකු ලෙස කුප්‍රකට, කෘෂිකර්ම ඇමති කේ.ඩී.ලාල් කාන්ත, 2025 ජූලි මාසයේදී නුවර පැවති රැස්වීමක දී මෙසේ කියා සිටියේය: 'අපි ඉන්නේ ජාමූඅ වැඩපිලිවෙල සමඟ. ආන්ඩුව එය කඩාකප්පල් කිරීමට ඉඩ දෙන්නෙ නෑ.........විපක්ෂ නායකවරයාගේ බලපෑම්වලට, මහජන විරෝධතාවලට හෝ වැඩවර්ජනවලට අපි යටත් වෙන්නෙ නෑ. රටේ ඉදිරි ගමන නතර කිරීමට දරන ප්‍රයත්නයන් සම්බන්ධයෙන් වැදගත් තීරන ගැනීමට අපි පසුබට වෙන්නෙ නෑ.'

* ලාල්කාන්ත පසුගිය දා මෙසේ ද පැවසීය: “රස්සාවක් දීපන් දීපන් කියලා මහ පාරට බැහැලා රජයෙන් ඉල්ලන උපාධිධාරීන් වෙනුවට අපි හදන්න ඕන අක්කර දෙකක් දීලා වැස්සියෝ දහයක් හදලා කිරි නිෂ්පාදනය කරන්න පුලුවන් පරම්පාරාවක්. එතකොට මහපාරට බැහැලා රස්සා ඉල්ලන එක ඉවරයි.”

*2025 මාර්තු මාසයේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල රැකියා විරහිත උපාධිධාරීන් යෙදීගත් විරෝධතාවයකට, රජයේ රෝහල්වල පවතින පරිපූරක වෛද්‍ය සේවා පුරප්පාඩු සඳහා බඳවා ගන්නා ලෙස ඉල්ලා කොලඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ සම සෞඛ්‍ය උපාධිධාරීන්ගේ විරෝධතා දෙකකට හා ගුරු සේවයට අන්තර් ග්‍රහනය කරන්නැයි ඉල්ලා 2024 දෙසැම්බරයේ විරෝධතාවයේ පාසල් සංවර්ධන නිලධාරීන්ගේ විරෝධතාවයකට ද එරෙහිව ආන්ඩුව රුදුරු පොලිස් මර්දනයක් දියත් කලේ ය.

මෙම තත්වය තුල, රැකියා විරහිත උපාධිධාරීන් තම රැකියා අයිතිය දිනා ගන්නේ කෙසේද යන්න ගැන නව ආකාරයකින් සිතා බැලිය යුතුය.

ඔබේ ඉල්ලීම ඝෘජුවම ගැටෙනුයේ ජවිපෙ/ජාජබ ආන්ඩුවේ පිලිවෙත් සමගයි. ආන්ඩුව යලියලිත් තර්ජනාත්මකව කියා සිටින්නේ සහ පොලිස් මර්දනය මගින් පෙන්නුම් කරන්නේ, එම පිලිවෙත්, ඔබ ඇතුලු කම්කරුවන්ගේ, තරුනයන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ විරෝධතාවන් හේතුවෙන්, කිසිසේත්ම ආපසු නොහරවන බවයි. මෙම තතු තුල, ආන්ඩුවට සහ එයට විධානය දෙන ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයට එරෙහි දැනුවත් දේශපාලන සටනකින් තොරව ඔබේ ඉල්ලීම් ජයගත නොහැකිබව වටහා ගැනීම අත්‍යවශ්‍ය ය.

කෙසේ නමුත්, ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) නායකත්වය දෙන ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය (ඒරැවිඋස) හා ස්වාධීන යයි කියා ගන්නා රැකියා විරහිත උපාධිධාරී සංගමය (රැවිඋස) එවන් දේශපාලන සටනකට සපුරා එරෙහිය. ඔවුන් යලියලිත් මෙම විරෝධතා කැඳවනු ලබන්නේ, ආන්ඩුවලට පීඩනය යෙදීමේ බංකොලොත් වැඩපිලිවෙල මතයි.

වයඹ පලාත් රැවිඋස සංවිධායක අනුෂ්ක සහන් විජේසිරි, 11 දා විරෝධතාවය අතරතුර මාධ්‍ය වෙත කල ප්‍රකාශයෙන්මත්, වත්මන් ආන්ඩුව බලයට ගෙන ඒමට ඔවුන් දරදිය ඇදි අයුරු සහ ඔවුනගේ විරෝධතා දේශපාලනයේ නිරර්ථකභාවය පැහැදිලි විය: “අපේ කරමතින් තමයි මේ ආන්ඩුව බලයට ආවේ. අපි ඡන්දයට වැඩ කලා. කෝ ඒ පොරොන්දු. විරෝධතා ගනනාවක් කරලා තියෙනවා. අපිව ගනන් ගන්නේ නැති තත්වයට පත් කරලා.”

පෙසප වැනි ව්‍යාජ-වාම ව්‍යාපාර සහ වෘත්තීය සමිති සංවිධානය කරන මෙවැන් විරෝධතාවල එල්ලය වනුයේ, කම්කරුවන් තරුනයන්ගේ අරගලවලට ඉදිරි මාවතක් සම්පාදනය කිරීම නොව, විරෝධතා වට කිහිපයකින් විරුද්ධත්වය වාෂ්ප කර දැමීම මගින් ආන්ඩුවත් ධනපති ක්‍රමයත් රැක දීමයි. ආන්ඩුවලට පීඩනය යෙදීමේ මෙම විරෝධතාවන්ගේ අසාර්ථකත්වය හේතුවෙන්, රැකියා විරහිත උපාධිධාරින් 40000 ක් පමන සිටිය ද, ඉහත විරෝධතාවයට සහභාගි වුයේ 150 ත් අඩු පිරිසකි.

ලෝක සමාජවාදි වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් සමග අදහස් දැක් වූ උපාධිධාරී විරෝධතාකරුවෝ, වැඩෙන ආර්ථික අර්බූදය මධ්‍යයේ ඔවුන් මුහුනදෙන දරුනු කොන්දේසි පැහැදිලි කලහ.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලමනාකරන උපාධියක් ලබා මේ වන විට ලංකාවේ ප්‍රධාන පෙලේ පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවය කරන 31 හැවිරිදි විනෝද් ප්‍රකාශ කලේ ඔහුගේ මාසික වැටුප රුපියල් 20000 ක් පමනක් බවයි. “පෞද්ගලික අංශය සේවකයන්ගෙන් උපරිම වැඩ ගන්න තමයි බලන්නේ. සමහර දිනවලට අපි ඉරිදා දවසෙත් වැඩ කරනවා. අපේ කාලය ශ්‍රමය වැය කලාට ඒකට සරිලන වැටුප අපිට කිසිසේත්ම ලැබුනේ නෑ. වැටුප මගේ වියදමටත් මදි. ඒ රැකියාව මගේ අධ්‍යාපන මට්ටමට කොහෙත්ම ගැලපෙන්නේ නෑ. නමුත් ඒ ආයතනය විශාල විදිහට ලාභ ලබනවා” විනෝද් ප්‍රකාශ කලේ ය.

2021 දී ව්‍යාපාර කලමනාකරන උපාධියක් ලැබූ උපාධිධාරිනියක් දැනට නෙලුව ප්‍රදේශයේ තේ ෆැක්ටරියක ගිනුම්කරන රැකියාවක නිරිත වී සිටින්නි ය. ඇගේ මාසික වැටුප රුපියල් 32000 ක් පමනි. “මේ වැටුප කොහෙත්ම ප්‍රමානවත් නෑ. සතියකට දින එක හමාරක නිවාඩු තියෙනවා. අනෙක් දිනවලට උදේ 8 සිට 4.30 දක්වා වැඩ කරන්න ඕන. දවල් කෑම ෆැක්ටරියෙන් දෙනවා ඒකට රුපියල් 50 ක් දවසට කපා ගන්නවා. මට අවුරු දෙකහමාරක පුතෙක් ඉන්නවා. ගේ හදා ගන්න ඕනා. දරුවට හොඳට උගන්න ගන්න ඕනා. ඒත් මේ රැකියාවෙන් ඒවා කරන්න බෑ” යයි ඇය ප්‍රකාශ කලා ය.

කැලනිය විශ්වවිද්‍යාලයෙන් කලා උපාධියක් ලැබූ උපාධිධාරීනියක් කියා සිටියේ ඇගේ වැඩිදුර අධ්‍යාපනයට විදේශ ගත වී සිටින ඇගේ මව උදව් කරන බවයි. “ආන්ඩුව ජාමූඅ සමග සාකච්ඡා කරලා සහන දෙනවා කියලා දැනුවත්ව බොරු කියලා ඡන්දය ගත්තා. මමත් ඡන්දය දුන්නා නමුත් ආයේ නම් දෙන්නේ නෑ” යයි ඇය වෛරයෙන් ප්‍රකාශ කලා ය.

කල යුත්තේ කුමක්ද?

ඔබේ රැකියා අයිතියට එල්ලකොට ඇති ප්‍රහාරය, ජාමූඅ හි විධානය යටතේ, මහජන සෞඛ්‍යය සහ මහජන අධ්‍යාපනය ඇතුලු ඇතුලු සමස්ත සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරමින් පවත්නා ප්‍රහාරයේ කොටසකි. එය පරාජය කල හැක්කේ, කම්කරු පංතියේ දේශපාලන ප්‍රතිප්‍රහාරයක් මගින් පමනි. මෙම ප්‍රතිප්‍රහාරය සඳහා කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය වන අතර, රැකියා විරහිත උපාධිධාරීන් කම්කරු පංතිය දෙසට හැරී එම දේශපාලන ව්‍යාපාරය ගොඩනැගීමට සටන් වැදිය යුතුය.

ඒ සඳහා පූර්ව අවශ්‍යතාව වන්නේ, රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයකින් තෝරා පත්කර ගැනෙන, ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවන් මගින් තීන්දු තීරන ගැනෙන සහ ඒවා ක්‍රියාවට නංවන, ක්‍රියාකාරී කමිටුවක් ගොඩනගා ගැනීමයි.

කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට පරම සතුරු වෘත්තීය සමිති නිලධරයෙන්, ධනපති පක්ෂ සහ සංවිධාන වලින් ස්වාධීන වූ මෙවන් ක්‍රියාකාරී කමිටු, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ආරම්භකත්වයෙන්, වැඩපොලවල, වතුයායයන් තුල සහ ගොවිබිම්වල ගොඩනැගෙමින් පවතී. එම එම කමිටුවල නියෝජිතයන්ගෙන් සමන්විත කම්කරුවන්ගේ සහ ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් කැඳවීමට සසප උද්ඝෝෂනය කරයි.

කම්කරුවන්ට, තරුනයන්ට සහ අවශේෂ පීඩිතයන්ට එරෙහි ජාමූඅ හි කප්පාදු ප්‍රහාර, ධනපති ක්‍රමයේ ගෝලීය ප්‍රහාරයක කොටසක් වන බැවින්, ධනපති ක්‍රමය තුල සහ ජාතිකව මෙම ප්‍රහාර පරාජය කල නොහැක. එනයින්, ලංකාව තුල ගොඩනගන මෙම කමිටු, ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය සමග ඒකාබද්ධ වීම අත්‍යවශ්‍ය ය.   

සියලු බැංකු, මහා සමාගම් හා සුවිසල් වතුයායයන් සහ අවශේෂ ආර්ථික මර්මස්ථාන කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කරන, සමාජවාදී පිලිවෙත් මත පාදක වූ, කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමේ වැඩපිලිවෙලක් උක්ත සම්මේලනය තුල සම්මත කර ගනිමින් ඒ සඳහා සටන් කල හැක. මහජන සෞඛ්‍යය, මහජන අධ්‍යාපනය සහ රැකියා ඇතුලු මහජන අවශ්‍යතාවන් සපුරාලීම සඳහා සමස්ත ආර්ථිකය ප්‍රතිසංවිධානය කරගත හැක්කේ එලෙසින් පමනි.

Loading