මෙය, පෙන්සිල්වේනියාවේ මැකන්ජි හි මැක්ට්‍රක් මෝටර් රථ කම්කරුවකු සහ කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයේ සාමාජිකයෙකු වන විල් ලේමන්, Revolutionary struggle and the unity of the international working class යන මැයෙන් 2025 ජාත්‍යන්තර මැයි දින රැලියේදී කල කතාවයි.
මගේ නම විල් ලේමන්. මම පෙන්සිල්වේනියාවේ මැකන්ජි හි මැක් ට්‍රක් වාහන කර්මාන්ත ශාලාවේ මෝටර් රථ කම්කරුවෙක්. මෙම ජාත්‍යන්තර රැලියට සහභාගී වන සියලුම දෙනාට ඇමරිකාවේ කම්කරුවන්ගෙන් විප්ලවීය සුබ පැතුම් පිරිනැමීමට මම කැමතියි.
එක්සත් ජනපදයේ කම්කරුවන් රලු යථාර්ථයකට මුහුන දෙමින් සිටිනවා. වත්කම්වල අසමානතාවය මෙතෙක් පැවති ඉහලම මට්ටමක පවතිනවා. ජීවන වියදම පාලනයකින් තොරව ඉහල ගොසින්. කර්මාන්තශාලා, ගබඩා, රෝහල්, පාසල්, තටාක සහ තැපැල් සහ ඇසුරුම් මධ්‍යස්ථානවල සූරාකෑම මෑත වසරවලදී තීව්‍ර කෙරිලා.
මෙය ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පරිපාලනය යටතේ දශක ගනනාවක් තිස්සේ සිදුවෙමින් පවතින ක්‍රියාවලියක්. ඩිමොක්‍රටිකයින්ට සහය බිඳ වැටීමෙන් පසු, වෙන්න-ඒකාධිපති ට්‍රම්ප් දැන් නැවතත් ධවල මන්දිරයට ඇවිත්. මත විමසුම් පෙන්නුම් කරන්නේ, ට්‍රම්ප් විසින් ආර්ථික තත්ත්වය වෙනස් කරනු ඇතැයි ඇතැමුන්ට තිබූ බලාපොරොත්තු සැලකිය යුතු ලෙස බොඳ වී ඇති බවයි. ට්‍රම්ප්ගේ වෙලඳ යුද්ධය එක්සත් ජනපදයේ කම්කරුවන් සඳහා ආර්ථික දැක්ම නරක අතට හරවනවා.
යුනයිටඩ් ඔටෝ වර්කර්ස් සභාපති ෂෝන් ෆේන්, ට්‍රම්ප් සමඟ සුහද ව ඔහුගේ ජාතිකවාදී තීරුබදු අනුමත කර ඇත. එක්සත් ජනපදයේ වෘත්තීය සමිති නායකයෙකුට ජාතිකවාදයේ ආවෘත අන්තය ප්‍රවර්ධනය කිරීම අලුත් දෙයක් නොවේ. දශක ගනනාවක් තිස්සේ වෘත්තීය සමිති ජාතිකවාදය ප්‍රවර්ධනය කර ඇත්තේ එක රැකියාවක් හෝ ආරක්ෂා නොකරමින්. ජාතිකවාදය කම්කරුවන්ට වස විසක්. එය මග පාදා ඇත්තේ රැකියා විනාශයට, කම්කරුවන් අතර බෙදීම් සහ ජීවන සහ සමාජ කොන්දේසි විනාශ කරන ගැඹුරු සූරාකෑමකට පමනයි.
ජාතිකවාදය, සැබෑ පන්ති යුද්ධයෙන්, එනම් කම්කරු පන්තියට එරෙහි සංගත කතිපයාධිකාරයේ යුද්ධයෙන් අවධානය වෙනතකට යොමු කර කම්කරුවාට එරෙහිව කම්කරුවා පිහිටුවනවා. වසර ගනනාවක් තිස්සේ, ලොව පුරා වෘත්තීය සමිති නිලධරයන් කම්කරුවන් බිය ගන්වා ඇත්තේ “තරඟකාරීව සිටීමට” අඩු පඩි සහ අවම වැඩ කොන්දේසි පිලිගත යුතු යැයි කියමින්. එලෙසින් සමිති නිලධරය සංගත ඔඩොක්කු කුක්කන් මෙන් තම වරප්‍රසාද තනතුරු ආරක්ෂා කර ගෙන තිබෙනවා. ඔවුන් අප මත බලෙන් පටවන සෑම වැඩ ගිවිසුමක දී කම්කරු පන්තිය පාවා දෙනවා. අපේ ඉල්ලීම් පාවා දෙනවා. වෙනත් රටවල කම්කරුවන්ට එරෙහිව අප උසි ගන්වනවා.
තීරුබදු, ජාත්‍යන්තරව කම්කරුවන් තව දුරටත් දරිද්‍රතාවයට තල්ලු කරනු ඇත, ඒ මෙම තීරු බදුවල බර පටවන්නේ අප මත බැවින්. මේවා දැනටමත් එක්සත් ජනපද මෝටර් රථ කර්මාන්තයේ දොට්ට දැමීම්වලට හේතු වී තිබෙනවා, මගේ කම්හල සහ අනෙකුත් මැක් ට්‍රක් කම්හල් සහ සැපයුම්කරුවන් ඇතුලුව, කම්කරුවන් 2,000කට වැඩි පිරිසකට රැකියා අහිමි වී තිබෙනවා. මෝටර් රථවල මිල වැඩි වීමත්, ඉල්ලුමේ ඌනතාව හේතුවෙන් නිෂ්පාදනය අඩුවීමත් නිසා ජාත්‍යන්තරව දොට්ට දැමීම් වැඩිවනු ඇත.
වැදගත්ම දෙය නම්, ඉතිහාසය පෙන්නුම් කරන්නේ වෙලඳ යුද්ධය වෙඩි තැබීමේ යුද්ධයට තුඩු දෙන බවයි. තීරුබදු වල සැබෑ අරමුන නම්, විශේෂයෙන්ම චීනය ඉලක්ක කර ගනිමින්, ලෝක යුද්ධය ගෙන යාමට සෑහෙන තරම් මිලිටරි නිෂ්පාදන ක්‍රියාවලිය එක්සත් ජනපදයට ගෙන ඒමයි. මෙය ට්‍රම්ප්ගෙන් ආරම්භ වූවක් නොව, ඒ වන විටත් බයිඩන් යටතේ සිදුවෙමින් පැවතුන දෙයක්. මගේ ම කර්මාන්තශාලාවේ කම්කරුවන් මතක් කර ගත යුතුයි 2021 දී බයිඩන් අපගේ කම්හලට පැමින පැවසූ දේ. අපි චීනය සමඟ තරඟයක යෙදී සිටින බව ඔහු අපට පැවසුවා. ඔහුගේ යටිතල පහසුකම් සැලැස්මේ කොටසක් ලෙස ඇමරිකාවේ නිෂ්පාදිත චිප්සෙට් වල අවශ්‍යතාවය ගැන ඔහු කතා කලා. චීනයට එරෙහි යුද්ධය සඳහා මිලිටරි නිෂ්පාදනයේ දී මෙම චිප්සෙට් භාවිතා කිරීම ඔවුන්ගේ අරමුනයි. නැතුව එක්සත් ජනපදයේ කම්කරුවන්ගේ අභිවෘද්ධිය සඳහා නොවේ.
ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකානුවන් උත්සාහ කරන්නේ අපව බෙදීමටයි; අතිමහත් බලගතු චීන කම්කරු පන්තියේ අපගේ පන්ති සගයින්ට එරෙහි ව අපව මෙහෙය වීමටයි. චීන කම්කරුවන්ටත් අපටත් ඇත්තේ එකම පන්ති අවශ්‍යතායි. එක්සත් ජනපදයේ කම්කරුවන් මෙන් ම, චීන කම්කරුවන් ද මෑත කාලීන වැඩවර්ජන වලදී සටන් කිරීමට දැවැන්ත අභිලාෂයක් පෙන්නුම් කර ඇත. ඉදිරි අරගලවලදී අපට ජයග්‍රහනය කිරීමට නම්, අපට මේ රටේ හෝ අන් රටක අපගේ සහෝදර කම්කරුවන්ගෙන් බේද විය නොහැකියි. ඒ වෙනුවට අවශ්‍ය වන්නේ ජාතික දේශසීමා ඉක්මවා යන සමගියේ බැඳීම් ගොඩනගා ගැනීමයි.
තවද, චීනයට එරෙහි යුද්ධයේ දී සෙබලුන් වීමට බල කෙරෙන කම්කරු පන්තියට කුරිරු, ලේ වැකි ව්‍යසනයක් උරුම වනු ඇත. දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස මිලියන 80කට වැඩි පිරිසක් මිය ගියා. න්‍යෂ්ටික බෝම්බ ඇති සියලුම ප්‍රධාන බලවතුන් සමඟ තුන්වන ලෝක යුද්ධයක් මානව වර්ගයාගේ විනාශයට තුඩු දෙනු ඇත.
ජාතිකවාදය ප්‍රවර්ධනය කරන එම පාලක පන්තියම එක්සත් ජනපදයේ සංක්‍රමනික කම්කරුවන්ට සහ සිසුන්ට තාඩන පීඩන එල්ල කරනවා. මෙම ප්‍රහාර එල්ල වන්නේ අතීත විප්ලවවාදී අරගල හරහා දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උදුරා ගැනීමටයි. එක්සත් ජනපදය සංක්‍රමනිකයන්ගේ ජාතියක් වන අතර, බොහෝ දෙනෙක් ගේ මුල් ඇත්තේ පිටරටවලයි. පාලක පන්තිය ආර්ථික දුෂ්කරතාවන්ට වගකිව යුත්තේ සංක්‍රමනිකයන් යැයි චෝදනා කරනවා. ඒ කම්කරුවන් අසමගි කර පුලුල් ප්‍රහාර සඳහා මග පාදා ගැනීමටයි. මෙම ප්‍රහාර ඇමරිකාවේ උපන් කම්කරුවන්ට ද එල්ල කෙරෙනු ඇති. ඔවුන් සංක්‍රමනිකයන් එල් සැල්වදෝරයේ ගාල් කඳවුරුවලට යැවීමට තර්ජනය කරනවා.
ඇමරිකානු කම්කරුවන් එක් අයෙකුට එරෙහි ප්‍රහාරයක් සියල්ලන්ට එරෙහි ප්‍රහාරයක් ලෙස දැකීමේ අපගේ සම්ප්‍රදායට යලි යොමු විය යුතු වෙනවා. අපි අපේ සංක්‍රමනික සහෝදර සහෝදරියන් වෙනුවෙන් සටන් කල යුතුයි. කවුරුන් කොතැනක ඉපදුනත් , අපගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාරවලට ඉඩ දීමෙන් ඉදිරි අරගලය ජයගත නොහැකි බව අප පිලිගත යුතුයි.
එක්සත් ජනපදයේ විප්ලවවල ඉතිහාසයෙන් අප මග සකසා ගත යුතුයි. වැඩවසම් රාජාන්ඩු ක්‍රමය යටතේ පැරනි ආකාරයෙන් කටයුතු කරගෙන යා නොහැකි බව එක්සත් ජනපදයේ ආරම්භක පියවරුන් හඳුනාගත් විට, ඔවුන් ලොව පුරා විප්ලවයන් ඇවිලවූ විප්ලවයක් දියත් කලා. ඉන් වසර 87කට පසු දෙවන විප්ලවයක් වන සිවිල් යුද්ධය, වහල්භාවය අහෝසි කිරීමට කටයුතු කලා.
දැන්, ඇමරිකානු කම්කරුවන්ගෙන් බහුතරයක් අපට පැරනි ආකාරයෙන් ජීවත් විය නොහැකි බව හඳුනාගෙන තියෙනවා. මෑත වසරවල සියයට 90 ක ඉහල පරාසයකින් වැඩ වර්ජන සඳහා ලබා දුන් ඡන්දවලින් මේ බව පැහැදිලි වෙනවා. පෙබරවාරියේදී ඉන්දියානා හි රෝල්ස් රොයිස් කම්කරුවන් වැඩ වර්ජනය කිරීමට සියයට 99.5 කින් ඡන්දය දුන්නා. සටනකට එරෙහි වූ එක කම්කරුවෙක්වත් සිටියේ නෑ.
නමුත් අපට අවශ්‍ය වන්නේ සටන් කිරීමට ඇති කැමැත්තට වඩා, දේවල් පවතින ආකාරයටම ඉදිරියට යා නොහැකි බව පිලිගැනීමක්. අපට අවශ්‍ය වන්නේ අපගේ පන්ති අවශ්‍යතා මත පදනම් වූ දේශපාලන ඉදිරිදර්ශනයක්. එම දේශපාලන ඉදිරිදර්ශනය ඇති අය පෙරට පැමින මෙම සටනට නායකත්වය ගත යුතුයි. කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය ඒ සඳහා ගොඩනැගිය යුතුයි. පවතින සංවිධාන රූපවලට ආයාචනා කිරීම නිෂ්පල බව ඔප්පු ව ඇත. ධනේශ්වර සූරාකෑමට එරෙහිව, ජාතිකවාදී බෙදීම්වලට එරෙහිව සහ යුද්ධයට එරෙහිව අපගේ පන්ති අවශ්‍යතා සඳහා සටන් කිරීමට අප විසින් පාලනය කෙරෙන ව්‍යාපාරයක් අපිට අවශ්‍යයි.
මෙම සටනේ අවශ්‍යතාවය නිසා අපගේ සගයන් අතරින් සහයෝගය ගොනු වෙනු ඇති. නමුත් අපි එයට නායකත්වය දිය යුතුයි. අපේ පමාව අවදානමට ලක් කරන්නේ මනුෂ්‍යත්වයේ අනාගතයයි. අප විසින් නායකත්වය දෙන අරගල මගින් අපට සෑම දෙයක් ම දිනා ගත හැකියි. කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයට සම්බන්ධ වී මෙම සටනට නායකත්වය දෙන්න. ස්තූතියි.