පලාත් පාලන ආයතන සඳහා ආන්ඩු පක්ෂයත් ලංකා කම්කරු කොංග්‍රසයත් අතර ගිවිසුම: කම්කරු පන්තියට අනතුරු ඇඟවීමක්

පලාත් පාලන ආයතන සඳහා පැවැත්වූ මැතිවරනයෙන් පසු, පාලක ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනතා බලවේගය (ජේවීපී/ජාජබ), වතුකරය පදනම් කරගත් ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) සමඟ එක්ව පලාත් පාලන ආයතන කිහිපයක් පිහිටුවීම සඳහා ගිවිසුමකට එලඹුනි. සීඩබ්ලිව්සී නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් සහ එහි සභාපති සෙන්දිල් තොන්ඩමන් නිවේදනය කලේ ගිවිසුමක් සඳහා වූ ජවිපෙ/ජාජබ යෝජනාව පිලිගැනීමට තම සවිධානයේ නායකයින් තීරනය කල බවයි.

ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් ජීවන් තොන්ඩමන් [Photo: Facebook]

නුවරඑලිය මහ නගර සභාව ඇතුලුව සභා හතක් පිහිටුවීමට සීඩබ්ලිව්සී නායකයන්, ජවිපෙ/ජාජබ ට සහාය දුන් අතර එය කොටගල, ආගරපතන සහ නුවරඑලිය යන ප්‍රාදේශීය සභා තුනේ පාලනය ලබා ගැනීමට සීඩබ්ලිව්සීයට උදව් කලේය.

ඇමරිකානු ගැති ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සීඩබ්ලිව්සී හි දක්ෂිනාංශික නිලධරය අතර ඇතිකරගත් මෙම ගිවිසුම වතු කම්කරුවන්ට පමනක් නොව සමස්තයක් ලෙස කම්කරු පන්තියට ම අනතුරු ඇඟවීමකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමුඅ) විසින් නියම කරන ලද රජයේ කුරිරු කප්පාදු පියවරයන්ට සහ කම්කරුවන්ට සහ දුප්පතුන්ට එරෙහි ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාරවලට සීඩබ්ලිව්සී ඍජු ව ම සහාය වනු ඇත.

ගිය අවුරුද්දේ මැතිවරනවල දී සාම්ප්‍රදායික ධනේශ්වර පක්ෂවලට එරෙහි ව පැවති මහජන විරෝධය ගසාකෑමට සහ බලයට පත්වීමට ජවිපෙ/ජාජබ සමත් විය. දිසානායක සහ ඔහු නායකත්වය දුන් ජවිපෙ/ජාජබ, පෙර පැවති සියලු ම ආන්ඩු සහ දේශපාලන පක්ෂ කප්පාදු ප්‍රතිපත්ති ක්‍රියාවට දැමීම සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනය කල අතර, දූෂනය මගින් රටේ ආර්ථිකය විනාශ කලේ යැයි ඔවුන්ට දොස් පැවරී ය.

පාලක ප්‍රභූවේ සැලකිය යුතු කොටසක් සහ ප්‍රධාන විදේශීය රටවල රාජ්‍ය තාන්ත්‍රිකයෝ, ධනේශ්වර ක්‍රමය බේරා ගැනීම සඳහා ජවිපෙ පසුගිය කාලයේ අනුගමනය කල කම්කරු පන්ති විරෝධී සහ ධනේශ්වර ගැති භූමිකාව නිසා බලය ලබා ගැනීමට ඔවුන්ට පවතින සුදුසුකම ගැන සැලකිල්ල යොමු කලහ. විශේෂයෙන්, වෘත්තීය සමිති නිලධරයන්, ව්‍යාජ වාමාංශික පක්ෂ සහ අනෙකුත් ධනේශ්වර පක්ෂවල සහාය ඇතිව 2022 අප්‍රේල්-ජූලි මහජන නැගිටීමට වල කැපීම සඳහා ජවිපෙ ඉටු කල කාර්යභාරය ඔවුහු සැලකිල්ලට ගත්හ.

බලයට පත්වීමෙන් පසු, කලින් මහජනයාට දුන් බොරු පොරොන්දු ඉවත දැමූ දිසානායක, එතෙක් රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ගෙනගිය කුරිරු ජාමුඅ ප්‍රතිපත්ති වේගවත් කිරීම සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග නිසා මහජන විරෝධය අවුලුවා ඇත. පලාත් පාලන මැතිවරනයේදී ජවිපෙ/ජාජබ ඡන්ද තියුනු ලෙස පහත වැටීමට හේතුවුයේ ආන්ඩුවට එරෙහිව මහජන විරෝධය වැඩී ඒමයි.

ජනාධිපතිවරන සහ පාර්ලිමේන්තු මැතිවරනවලින් පසුව මැයි 6 වන දින පැවති පලාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී, ජවිපෙ/ජාජබ තම ඡන්දවල තියුනු පහත වැටීමකට මුහුන දුන්නේය. නොවැම්බර් පාර්ලිමේන්තු මැතිවරනයේදී එය ඡන්ද මිලියන 6.8 ක් ලබා ගත් නමුත් පලාත් පාලන ආයතන මැතිවරනවලදී මෙම සංඛ්‍යාව මිලියන 4.5 දක්වා මිලියන 2.3 කින් අඩු විය. පලාත් පාලන ආයතන 365 න්  ජවිපෙ/ජාජබ ට බහුතර ආසන සංඛ්‍යාවක් ලබා ගනිමට හැකිවූයේ ආයතන 166 ක පමනකි.  

කෙසේ වෙතත්, ආන්ඩුව තම අත් ශක්තිමත් කරගැනීමට අධිෂ්ඨාන කරගෙන, තවත් පලාත් පාලන ආයතන 40 ක පමන පාලනය අල්ලා ගැනීම සඳහා, කලින් “දූෂිත” ලෙස හංවඩු ගසන ලද සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුන සහ සිඩබ්ලිව්සී ඇතුලු සියලු දේශපාලන පක්ෂ සමඟ ජවිපෙ/ජාජබ හොර ගිවිසුම්වලට එලඹුනි. වතු කම්කරුවන් බහුලව වෙසෙන බදුල්ල හා නුවර එලිය දිස්ත්‍රික්කවල ද ජවිපෙ/ජාජබට මහමැතිවරනයේ දී ලැබුනු ඡන්ද ප්‍රමානය පලාත් පාලන මැතිවරනයේදී තියුනු ලෙස පහත වැටුනි. මෙම තතු තුල දිසානායක ආන්ඩුව දුෂිතයන් ලෙස හෙලාදුටු සිඩබ්ලිව්සී නායකයන්ගේ සහාය ලබා ගැනීමට හැරුනි.

ආන්ඩුවේ  ප්‍රහාර සමග සීඩබ්ලිව්සී පෙලගැසෙයි 

වාර්තාවන්ට අනුව, සීඩබ්ලිව්සී තවමත් වතුකරයේ ප්‍රධාන වෘත්තීය සමිතිය ලෙස සැලකේ. කෙසේ වෙතත්, බොහෝ කම්කරුවන් සිඩබ්ලිව්සී හි තම සාමාජිකත්වය දිගට ම පවත්වා ගෙන යන්නේ එහි නායකයින් කෙරෙහි ඇති දැඩි විශ්වාසයක් නිසා නොවේ. වැටුප්, අර්ථසාධක අරමුදල් ලබා ගැනීම සහ නිවාස වැනි කරුනු සම්බන්ධයෙන් වතු කලමනාකාරිත්වය සමඟ කටයුතු කිරීමට ඔවුහු තවමත් වෘත්තීය සමිති නිලධාරීන්ගේ සේවය අපේක්ෂා කරති. කෙසේ වෙතත්, සිඩබ්ලිව්සී සාමාජිකයෝ බොහෝ විට තමන්ගේ වැටුප් හා සේවා කොන්දේසි සම්බන්ධයෙන් එහි නායකයින් සමඟ නිරන්තතර ගැටුමක සිටිති.

නොඉවසිය හැකි ජීවන තත්වයන්ට මුහුන දෙමින්, වතු සේවකයින් සිඩබ්ලිව්සී සහ අනෙකුත් වෘත්තීය සමිති නිලධරයන්ගේ ඉහට උඩින් නැවත නැවතත් අරගල වලට පැමින තිබේ. සිඩබ්ලිව්සී සහ අනෙකුත් වෘත්තීය සමිති නිලධරයෝ ව්‍යාජ ලෙස සේවකයින්ගේ ස්වයංසිද්ධ අරගලවලට පිවිසුනු විට ඒවාට සහාය දක්වන නමුත්, අරගලවලට පිටුපාමින් සමාගම් ලොක්කන් සමඟ තිරය පිටුපස සහයෝගයෙන් කටයුතු කරති.

සීඩබ්ලිව්සී හි වත්මන් නායකයෝ, හිටපු ජනාධිපති වික්‍රමසිංහ විසින් ආරම්භ කරන ලද සහ දිසානායක ආන්ඩුව විසින් දිගටම ගෙනයන ජාමුඅ ම්ලේච්ඡ කප්පාදු වැඩසටහනට සම්පූර්නයෙන් ම සහාය දක්වති. අලුත් කරනමට පෙර, ජීවන් තොන්ඩමන්, වික්‍රමසිංහ යටතේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කල අතර ජනාධිපතිවරනයේදී සහාය දුන්නේ ඔහුටයි.

අමාත්‍යවරයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දෙන සී.ඩබ්.සී. නායක ජීවන් තොන්ඩමන් (වමේ) [Photo: Sri Lankan president’s media division]

දිසානායක ආන්ඩුවට පලාත් පාලන ආයතන පිහිටුවීමට උදව් කිරීමෙන් පසු , අගෝස්තු 4 වන දින යූටීවී නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් තොන්ඩමන් මෙසේ පැවසීය: “ජීවන වියදම සම්බන්ධයෙන් මම ආන්ඩුව විවේචනය කරන්නේ නෑ, මන්ද ලෝක ආර්ථික තත්ත්වය එයයි. අපි රජයට සහාය විය යුතුයි.”

සරලව ම ඔහු පවසන්නේ කුමක්ද: “ලෝක ධනවාදය ගැඹුරු වන අර්බුදයකට මුහුන දී සිටී. ශ්‍රී ලංකාව ද එහි බලපෑමට ලක්ව ඇත. කම්කරුවන් සහ දුප්පතුන් මෙම අර්බුදයේ බර දරාගත යුතුය. ඔව්, කම්කරුවන්ට ජීවන වියදම දරාගත නොහැකිය. කෙසේ වෙතත්, ධනේශ්වර ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා ආන්ඩුවේ ජාමුඅ කප්පාදු පියවරයන්ට සහාය දීමට අපට සිදුවේ.”

මැතිවරනවලදී ද ඊට පෙර ද ජවිපෙ හා ජාජබ විසින් සීඩබ්ලිව්සී නායකයන් දැඩි ලෙස හෙලා දුටු බැවින් පලාත් පාලන ආයතන පිහිටුවීමට උදව් කිරීමෙන් පසු දිසානායක  තවමත් ඔවුන්ට අමාත්‍ය තනතුරු ලබා දීමක් ගැන සලකා බලා නැත. 

එසේම, ඉන්දීය සම්භවයක් ඇති දෙමල කම්කරුවන් හෙලා දැකීමේ කැත ඉතිහාසයක් ජවිපෙට ඇත; ඔවුන්ට 'කල්තෝනින් (නීති විරෝධී සංක්‍රමනිකයන්)' වැනි නින්දිත නම් භාවිතා කරමින්, රටට කොලරාව ගෙන ඒම, ලංකාවේ ගොවීන්ට වඩා වරප්‍රසාද භුක්ති විඳීම හා ඉන්දියාවේ ඒජන්තයන් ලෙස ක්‍රියා කිරීම ආදී වසයෙන් පරිභව කිරීමක ජවිපෙ යෙදී ගත්තේය. 1960 මැද භාගයේදී එහි නායක රෝහන විජේවීර විසින් සංවිධානය පිහිටුවන ලද විට ජවිපෙ පන්ති පහෙන් එකක මෙම අපහාසාත්මක ප්‍රකාශ තිබුනි.

දෙමල විරෝධී වර්ගවාදය ජවිපෙ දෘෂ්ටිවාදයේ කොටසකි. කිසිදු පැකිලීමකින් තොරව එය බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි වාර්ගික යුද්ධයට සහාය විය.

සීඩබ්ලිව්සී ඉතිහාසයෙන්

පලාත් පාලන ආයතන ස්ථාපිත කිරීම සඳහා සීඩබ්ලිව්සී මෑතකදී ජවිපෙ නායකත්වය දෙන ආන්ඩුව සමඟ හවුල් වීම, සීඩබ්ලිව්සී නායකයින්ගේ ප්‍රතිගාමී දේශපාලනයේ දිගු ඉතිහාසයේ නවතම පරිච්ඡේදය සනිටුහන් කරයි. 1978 දී, සීඩබ්ලිව්සී නායක එස්. තොන්ඩමන් ඇමරිකානු ගැති ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ආන්ඩුවට එකතුවී ඇමති පදවියක් ලබා ගත්තේය. 

ඔහු ජයවර්ධන ආන්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවන ලද කප්පාදු සහ වෙලඳපොල ගැති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සහාය දුන්නේය; රාජ්‍ය අංශයේ වැඩ වර්ජකයින් 100,000 ක් සේවයෙන් පහ කිරීම ඇතුලුව කම්කරු අරගල මර්දනය කිරීමට උදව් කලේය; 1983 දී කොලඹ ආන්ඩුව ආරම්භ කල වාර්ගික යුද්ධයට සහාය දුන්නේය. ඊලඟ ජනාධිපති ආර්. ප්‍රේමදාසට සීඩබ්ලිව්සී නායකයින් අඛන්ඩව සහයෝගය දෙමින්, ප්‍රාදේශීය වතු සමාගම් යටතේ වතු පෞද්ගලීකරනය කිරීමට උපකාරී විය.

එස්. තොන්ඩමන් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග පරිපාලනයට සහාය දැක්වීය. ඔහුගෙන් පසු, සීඩබ්ලිව්සී නායක ආරුමුගම් තොන්ඩමන් 2007 දී ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට සම්බන්ධ විය. 2019 දී ඔහු ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව සමඟ සන්ධානයකට එලඹුනි.

අගමැති මහින්ද රාජපක්ෂට සාම්ප්‍රදායික උපහාර පිරිනමන ආරුමුගම් තොන්ඩමන් සහ ඔහුගේ පුත් ජීවන් තොන්ඩමන් (වමේ සිට දෙ වැනියා) (photo @PresRajapaksa)

ආරුමුගම් තොන්ඩමන් මිය ගිය පසු ඔහුගේ පුත් ජීවන් තොන්ඩමන් හිස් වූ ආසනය පිලිගත් නමුත් මැයි මාසයේදී 2022 ආන්ඩුවෙන් ඉවත්වූයේ ගෝඨාභය රාජපක්ෂ පලවා හැරීමේ මහජන අරගලය නැගෙන තත්වය තුලයි. වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වූ වහාම ඔහු නැවත වරක් 2022 ජූලි මාසයේදී එම ආන්ඩුවට එක් වුයේය. නැගෙනහිර පලාත් ආන්ඩුකාරවරයා ලෙස පත් කරන ලද සිඩබ්ලිව්සී සභාපති සෙන්දිල් තොන්ඩමන් 2020-2024 කාලය තුල එම තනතුරේ සේවය කලේය.

සීඩබ්ලිව්සී නායකයින්ගේ ද්‍රෝහී භූමිකාව එබඳු ය. මෙම ධනවත් ප්‍රභූ පැලැන්තිය තමන්ගේ ධනය හා වරප්‍රසාද ගොඩගසා ගැනීමේ  යෙදෙන අතරම, සමාගම්වලට සහ ආන්ඩුවට වතු කම්කරුවන් පාලනය කරදීම මුලික වගකීමක් කරගෙන ඇත. මුල් දශක දෙකේ පමන සීඩබ්ලිව්සී වතු කම්කරුවන්ට යම් ප්‍රතිසංස්කරන ලබාදීම වෙනුවෙන් පෙනී සිටියන්, පසු කාලීනව වඩවඩාත් සීග්‍රයෙන් එය වතු සමාගම් හා ධනේශ්වර රාජ්‍යයේ අවශ්‍යතා සඳහා විවෘතව සේවය කරන කාර්මික පොලිසියක් බවට පත්ව තිබේ. වතුකරයේ අවශේෂ සමිති හා අනෙකුත් තැන්වල වෘත්තීය සමිතිවල නිලධරයන්ගේ ක්‍රියාකලාපය වී ඇත්තේ ද එයයි. 

දශකයක පමන කාලයක් තිස්සේ, සීඩබ්ලිව්සී නායකයන් අනෙකුත් වෘත්තීය සමිති නිලධරය ද සමඟ එක්ව 'ආදායම් බෙදා ගැනීමේ ක්‍රමය' නමින් වතු ප්‍රතිව්‍යුහගත කිරීමේ ව්‍යාපෘතියක් ප්‍රචාරය කරමින් සිටී. මෙය වැඩි ලාභ ලබා ගැනීමට සහ කම්කරුවන් නඩත්තු කිරීමේ බර අඩු කිරීමට හාම්පුතුන් විසින් යෝජනා කරන ලද ක්‍රමයකි. මෙම ක්‍රමය යටතේ කම්කරුවන් නූතන කාලයේ අඳ ගොවීන් හා සමාන තත්වයකට පත් කෙරී ඔවුන් වඩාත් සූරාකෑමකට ගොදුරු කෙරෙනු ඇත. ඔවුන් ට කම්කරු අයිතිවාසිකම් නොමැත.

මේ ක්‍රමය අනුව, තේ පඳුරු දහසක් පමන එක් සේවකයෙකුට වෙන්කර දෙන අතර, ඔහු පවුලේ අය සමඟ එය රැකබලා ගෙන අස්වැන්න නැවත සමාගමට ලබාදීමට නියමිත වේ. සමාගම ඉන් ලබාගන්නා ආදායමෙන්, තම සියලු වියදම් සහ ලාභය ලෙස කොටසක් ද කපාගෙන, ඉතිරිය සේවකයාගේ කොටස ලෙස ලබා දෙනු ඇත.

ජාමුඅ වැඩසටහන යටතේ රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමට උත්සාහ කරන දිසානායක ආන්ඩුව මෙම ක්‍රමයට කැමැත්තක් දක්වයි. ආන්ඩුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සමාගම්වලට නිසැකවම උපකාරී වනු ඇත. එවැනි ක්‍රමයක් කම්කරුවන්ගේ එක්සත් ශක්තිය බිඳදමා ඔවුන්ගේ අයිතිවාසිකම්වලට එල්ලකරන  ප්‍රහාර උත්සන්න කරනු ඇත.

දැනටමත් සමහර වතුවල ක්‍රියාත්මක වන මෙම වැඩපිලිවෙලට කම්කරුවන් අතර ඇත්තේ බරපතල විරුද්ධත්වයකි. සීඩබ්ලිව්සී ආන්ඩුවට වඩාත් ලංව කම්කරුවන්ගේ විරුද්ධත්වයන් කපාගෙන, සූරාකෑම  තීව්‍ර කරන ඊනියා ආදායම් බෙදා ගැනීමේ වැඩපිලිවෙල පලල් වසයෙන් ක්‍රියාත්මක කිරීමට සමාගම්වලට සහාය දෙනු ඇත.  

ජනතා විමුක්ති පෙරමුනට වතුකරයේ සුලු අනුගාමික පිරිසක් සහිත තමන්ගේම වෘත්තීය සමිතියක් ඇත. එය අනෙකුත් වෘත්තීය සමිතිවල ද්‍රෝහී භූමිකාවට සහාය දෙන අන්ඩක් ලෙස ක්‍රියා කරයි. මෙම ක්‍රියාකලාපය ශක්තිමත් කිරීම සඳහා එය දැන් තම අනුගාමිකත්වය පුලුල් කිරීමේ හා අලුතින් වතු ශාඛා ගොඩනගමින් සිටි.

මෙම සියලු වෘත්තීය සමිති හායකත්වයන් කම්කරුවන්ගේ සමාජ හා ජීවන අයිතීන් සඳහා අරගලවලට වල කපමින් ඔවුන්ට නිර්මානය කර ඇත්තේ මොන තරම් ගොරතර තත්වයක්ද?.නිල සංඛ්‍යාලේඛනවලට අනුව, මාස 6 සිට 59 දක්වා ලමුන් අතර සියයට 40.3ක් මන්දපෝෂනයෙන් පෙලෙති; ලමුන් සියයට 33.1 කගේ වර්ධනය අඩාල වී ඇත; සියයට 30.2 ක් අඩු බරින් පෙලෙති. බොහෝ වතු කම්කරුවන් තවමත් ජීවත් වන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් උරුම වූ අඩි 10x10 ක කුඩා බැරැක්ක වර්ගයේ ලයින් කාමරවල ය.

ග්ලාස්ගෝ වත්තේ වතු කම්කරුවෝ ජීවත් වන ලයින් කාමර පේලියක්

වර්තමානයේ, වතු කම්කරුවන්ගේ දෛනික සාමාන්‍ය වැටුප රුපියල් 1,350 කි. එය ජීවන වියදම ඉහල යාමට අලගු තැබීමටවත් ප්‍රමානවත් නොවේ. කම්කරුවන්ට රුපියල් 1,700 දක්වා දෛනික වැටුපක් ලබාදීම සඳහා සමාගම් සමඟ ආන්ඩුව කටයුතු කරන බව ජනාධිපති දිසානායක තම අයවැය කතාවේදී පැවසුවේය. එය අන්ත සොච්චම් වැඩිකිරීමක යෝජනාවකි; ඒ ගැන ද දැන් කතාවක් වත් නැත.

ජීවන වියදම් ඉහල යාම, අඩු වැටුප්, දරාගත නොහැකි සේවා කොන්දේසි සහ ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මර්දනය කිරීම හේතුවෙන් වතු කම්කරුවන් අතර පෙරලිකාරිත්වය වර්ධනය වෙමින් පවතී. වතු කම්කරුවන්ට සහ තරුනයින්ට ජවිප/ජාජබ අතර නව දේශපාලන සන්ධානය දැකගැනීමට ලැබෙනු ඇත්තේ,  තමන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට බරපතල ප්‍රහාර එල්ල කිරීමට සිදුවන නව පෙලගැස්මක් ලෙස ය. 

ඕල්ටන් කම්කරු දඩයම 

තම වැටුප් වැඩිකරගැනීමේ අරගලයට සියලු වතු කම්කරුවන් සමග වර්ජනයකට පිවිසි ඕල්ටන් වතු කම්කරුවන් මැඩීම සඳහා වතු කලමනාකාරිත්වය සහ පොලිසිය දියත්කල දඩයමට සීඩබ්ලිව්සී ප්‍රාදේශීය නායකයෝ  හවුල් වූහ. වතුකරයේ අනෙකුත් වෘත්තීය සමිති නායකයෝ ද මේ දඩයමට සහාය දැක්වූහ. දැන්, හොරන වැවිලි සමාගමේ සහාය ඇතිව, පොලිසිය කම්කරුවන් 26 දෙනෙකුට එරෙහිව අපරාධ චෝදනා ගොනුකර ඇත. කම්කරුවෝ මෙම චෝදනා ප්‍රතික්ෂේප කරති. චෝදනා 'ඔප්පු' කලහොත් කම්කරුවන්ට වසර හතක බරපතල සිර දඬුවම් ලැබෙනු ඇත.

දඩයමට ලක් වූ කම්කරුවන් කිහිප දෙනෙක්

සීඩබ්ලිව්සී සහ අනෙකුත් සියලු වතු වෘත්තීය සමිති නිලධාරීයෝ, දඩයමට ලක්ව සිටින ඕල්ටන් කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා වතු කම්කරුවන් බලමුලු ගැන්වීමට නිරන්තරයෙන් විරුද්ධවූහ. දැන් ඔවුහු කම්කරුවන්ට එවැනි සිර දඬුවම් ලැබෙන්නේ නැතැයි ප්‍රචාරය කරමින් කම්කරුවන් ආරක්ෂා කිරීම වැලැක්වීමට ප්‍රචාරයක් ගෙනයති.  

ඕල්ටන් කම්කරු දඩයම හා ඔවුන්ට එරෙහි අපරාධ නඩුව, වතු කම්කරුවන්ට එරෙහිව උසිගැන්වීමට නියමිත කුරිරු මර්දනයක ආරම්භක පියවරකි. සමාජවාදී සමානතා පක්ෂය (සසප), ඕල්ටන් කම්කරු ක්‍රියාකාරී කමිටුව සමඟ එක්ව මෙම කම්කරුවන් ආරක්ෂා කිරීමේ උද්ඝෝෂනයක් තීව්‍ර කර ඇත. සසප සහ එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය, වතු සේවකයින්ගේ ජීවන තත්වයන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා දශක ගනනාවක් සටන් කලේය. 

ඒ සමඟම සසප අවධාරනය කරන්නේ වතු කම්කරුවන්ට එරෙහිව සූදානම් වෙමින් පවතින කප්පාදු පියවර කම්කරු පන්තියේ පුලුල් කොටස්වලට එල්ල කරන ප්‍රහාරවල කොටසක් බවයි.

වතු කම්කරුවන්ට ක්‍රියාමාර්ගයක්

සසප විසින් ආරම්භ කරන ලද ග්ලෙනුගි වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව විසින් කැඳවනු ලැබූ අප්‍රේල් 5 වැඩවර්ජනය සහ පෙලපාලිය අතරතුර, ග්‍රාමීය දුගීන් සමග සන්ධානගතව කම්කරු ආන්ඩුවක් ඉල්ලා සිටින වතු කම්කරුවෝ පුවරු අතැතිව සිටිති. [ඡායාරූපය: WSWS]

යහපත් මාසික වැටුපක්, විශ්‍රාම වැටුප්, නොමිලේ සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය, සියලු මූලික පහසුකම් සහිත ජීවත්විය හැකි නිවාස සහ වතුවල හෝ ඉන් පිටත තරුනයින්ට රැකියා ලබාදීම ඔවුන්ගේ මුලික ඉල්ලීම කිහිපයකි. වතු කම්කරුවන්ට එරෙහි සියලු වාර්ගික හා සමාජීය වසයෙන් සිදුකෙරෙන වෙනස්කම් කිරීම් අහෝසි කල යුතුය.

වතුකරයේ කම්කරුවන් සහ තරුනයින් තේරුම් ගත යුත්තේ මෙම වෘත්තීය සමිති තුල තම අයිතිවාසිකම් සඳහා සටන් කල නොහැකි බවයි; ඔවුන් මෙම නිලධරයන් පෙරලා දමා විකල්ප සංවිධාන පිහිටුවිය යුතුය.

සියලුම වතු සහ අසල්වැසි ප්‍රදේශවල ඔවුන්ගේ ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින් තම අයිතිවාසිකම් සඳහා සටන කම්කරුවන් අතට ගත යුතුය. වෘත්තීය සමිති නිලධරයන් හෝ ධනපති පක්ෂ මෙම කමිටුවලට ඉඩ නොදිය යුතුය. සෑම වැඩබිමකම සහ ග්‍රාමීය ජනතාව අතර එවැනි ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතු බව සසප යෝජනා කර ඇත.

වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා සම්පත් බලමුලු ගැන්වීමේ මූලික පියවර ගත හැක්කේ වතු සමාගම් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කිරීමෙන් පමනි. මෙය කම්කරු පන්තියේ පුලුල් අරගලයක කොටසකි.

කම්කරු පන්තියේ කිසිදු කොටසකට අර්බුදයෙන් ජරපත් ධනේශ්වර ක්‍රමය සහ ජාතික රාමුව තුල ඔවුන්ගේ අයිතිවාසිකම් සඳහා විසඳුම් සොයාගත නොහැක. ඔවුන්ගේ වැටුප්, රැකියා, සේවා කොන්දේසි සහ සමාජ අයිතිවාසිකම් මත වැඩිවන ප්‍රහාර ගෝලීය ප්‍රහාරවල කොටසකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද කප්පාදු ප්‍රතිපත්ති පරාජය කිරීමට කම්කරුවන්ට හැකි වන්නේ කම්කරු පන්තියේ ස්වාධීන ශක්තිය බලමුලු ගැන්වීමෙන් සහ ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමඟ එකමුතු වීමෙන් පමනි.

සසප, මෙම ක්‍රියාමාර්ගය ඉදිරිපත් කරයි: සියලු විදේශ නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කලයුතුය; සියලු විශාල සමාගම් සහ බැංකු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කිරීම. ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරු හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් මෙම සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාත්මක කල හැකිය.

සසප කම්කරුවන්ට සහ තරුනයින්ට මෙම අරගලයට එක්වන ලෙස ඉල්ලා සිටී. අපගේ ක්‍රියාමාර්ගය  අධ්‍යයනය කර අප හා සම්බන්ධ වන්න.

Loading