වර්ජිත තැපැල් කම්කරුවෝ ඇමති නලින් ද ජයතිස්සගේ තර්ජන හෙලා දකිති

ඉල්ලිම් 19 ක් මුල් කරගෙන, අගෝස්තු 17 මධ්‍යම රාත්‍රියේ සිට, තැපැල් සේවකයින් ආරම්භ කල අඛන්ඩ වර්ජනයට එරෙහිව, ආන්ඩුව මාධ්‍යවල ද පිටුබලය සහිතව අවලාදාත්මක ප්‍රකාශ හා තර්ජන නිකුත් කරමින් සිටී. 

වර්ජනයේ නිරත තැපැල් සේවකයෝ, මෙය තමන්ට එරෙහි ව මහජනයා කුපිත කිරීම සහ ප්‍රකෝපකරනයන් ඇවිස්සීම අරමුන කරගෙන සිදුකරන නින්දිත ක්‍රියාවක් බව, ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැහැදිලි කලහ. අනෙකුත් කම්කරුවෝ ද තැපැල් සේවකයන්ගේ අරගලයට සහාය දක්වමින්, ආන්ඩුවේ ක්‍රියාව හෙලා දුටුවහ. තැපැල් වර්ජනයට මේ වන විට දින පහක් ගත වී ඇත.

තැපැල් සේවකයින්, අගෝස්තු 19 වන දින කොලඹ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පෙලපාලි යමින්.

අගෝස්තු 19 දා පැවැති, අමාත්‍ය මන්ඩල තීරන දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකදී ආන්ඩුවේ කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස බේගල් ඇද බාමින් පැවසුවේ “ඉල්ලීම් දහනමයක් ඉදිරිපත් කරලා තිබුනා... ඉල්ලීම් 19 න් ඉල්ලීම් 17 ක්ම එක්කෝ අපි විසඳලා, එහෙම නැත්නම් විසඳමින් ඉන්නේ“ යනුවෙනි. 

කෙසේවෙතත්, අතිකාල ප්‍රශ්නය විසඳා ඇතැයි තමන් කල ප්‍රකාශය පචයක් බව පෙන්වමින්, ඇමති මෙසේ කීවේ ය: [නව තත්වයට අනුව] “ඕටී එක දෙන්නට ගියොත් භාන්ඩාගාරයට මේ වෙලාවේ දරා ගන්නට බැහැ. ඒ නිසා සමහර කෙනෙකුට හතරෙන් තුනක්, සමහරුන්ට හයෙන් පහක් ලබා දෙනවා.”

කාර්යාලවල ඇඟිලි සලකුනු සටහන් තැබීම පිලිබඳව ඔහු මෙසේ තර්ජනය කලේය: “අති කාල වැඩි කරන්නත් බැහැ, ෆින්ගර් ප්‍රින්ට් එක අයින් කරන්නත් බැහැ. මේක අපි අනිවාර්යයෙන් ම ක්‍රියාත්මක කරනවා. මේකත් එක්ක යන්න පුලුවන් තැපැල් සේවකයින් ඉතුරු වේවි. අතිකාල මදි නම් වෙන තැනකට රස්සාවට යන්න පුලුවන්.”

ජයතිස්ස විසින් තැපැල්  සේවකයින්ට ඉල්ලීම් 17 ලබා දුන්නා හෝ ලබා දෙමින් තිබෙනවා යයි කීම බොරුවක් බව සඳහන් කරමින් මධ්‍යම තැපැල් හුවමාරුවේ එක් කම්කරුවකු පැවසුවේ “ජන මාධ්‍යයත් ඒවා (ආන්ඩුවේ බොරු) ප්‍රචාරය කරනවා” යනුවෙනි. 

තැපැල් සේවකයින් විසින් ඉහල ආදායමක් ලබනවායයි ජයතිස්ස විසින් උලුප්පා දැක්වීමේ තැත ද ඔහු හෙලා දුටුවේ ය.  ඔහු පැවසුවේ වසර 20 ක් පමන සේවයේ නිරත තමාට අතිකාල දීමනා සහිත ව මාසික ආදායම වන්නේ රුපියල් 120,000 පමනක් බවයි. “අපි ඉරිදා වැඩ කරල පෝය දවසේ වැඩ කරලා නයිට් කරලා  මුලු දවස් තිහේ ම වැඩ කරනව. සමහර දවස්වල රෑ 9, 10, 12  වෙනකම් වැඩ කරනවා” යැයි පැවසූ ඔහු, තමන් ඉරිදා, පෝය දින සහ අනෙකුත් නිවාඩු දිනවල “වැඩ කරන්නේ කැමැත්තෙන් නෙමේ” යැයි සඳහන් කලේ ය. 

අකමැත්තෙන් වුව ද අතිකාල වැඩ කරන්නේ සේවක හිඟය නිසා බව පැවසූ ඔහු, “මෙතන (මධ්‍යම තැපැල් හුවමාරුවේ) මගේ අංශයේ දහයක් ඉන්න ඕන තැන ඉන්නෙ පහයි. ඒ නිසා පස්දෙනකුගේ වැඩ අපි ආවරනය කරන්න ඕන. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කරන්න වෙනවා. හිඟ සේවකයාගේ පැය 8 ආවරනය කලත් අතිකාල හම්බවෙන්න පැය හතරකට” යැයි කීවේ ය. 

වෘත්තීය සමිති නායකයින්ගේ බොරු ප්‍රචාර හේතුවෙන්, තැපැල් සේවකයින් සහ අනෙකුත් කම්කරුවන් මෙම ආන්ඩුව බලයට පත් කිරීම සඳහා ඡන්දය දුන් බව තැපැල් සේවකයා කනස්සල්ලෙන් කතා කලේ ය. “මට හිතෙන විදියට තැපැල් සේවකයින්ගෙන් සියයට 90 ක්ම ඡන්දය දැම්මේ ජෙවීපී එකටයි.” කලින් ආන්ඩු “රාජ්‍ය ආයතන විකුනනවා, පෞද්ගලීකරනය කරනවා” යනුවෙන් ප්‍රකාශකල ඇතැම් සමිති නායකයින් සහ තැපැල් දෙපාර්තමේන්තු නිලධාරීන්, ජවිපෙ නායකත්වයෙන් ආන්ඩුවක්  බලයට ආවොත් ඒ තත්වය වෙනස් වේ යයි කියමින් ඊට චන්දය දීමේ ප්‍රචාරය ගෙන ගිය බව ඔහු කීවේ ය. 

මාතර මහ තැපැල් කාර්යාලයේ කම්කරුවෙක් සමිති නායකත්වය කෙරෙහි තම අවිශ්වාසය පල කලේ ය. ඒ සමගම ඔහු තැපැල් ඇමතිගේ ප්‍රකාශ හෙලා දුටුවේ ය: “ඇමතිතුමා කතා කරන්නේ අපිව පහත් කරලා. අපේ ඉල්ලීම් දෙන පාටක් නැහැ. අපිව ජනතාව අතර අප්‍රසාදයට ලක් කරන්නයි හදන්නෙ.”

වසර 25 ක් පමන සේවය කර ඇති ඔහුගේ මූලික මාසික වැටුප රුපියල් 39,000 ක් පමන වූව ද, නය කපා හැරීමෙන් පසු ව ලැබෙන්නේ රුපියල් 22,000 ක් වන සොච්චමකි.

උතුරු පලාතේ කයිට්ස් තැපැල් කාර්යාලයේ තැපැල්කරුවෙක්, සමිති නායකයන්ගේ ක්‍රියාකලාපය අවඥාවට ලක් කරමින් මෙසේ පැවසීය: “මම අවුරුදු 20ක් සේවය කරනවා. මම තැපැල් හා විදලි සංදේශ සේවක සංගමයේ සාමාජිකයෙක්. අපිව වර්ජනයකට කැඳෙව්වාට පසුව වෘත්තීය සමිති නායකයන් සහ ඇමතිවරුන් සාකච්ඡා පවත්වනවා, පසුව වර්ජනය අවසන් කරල වැඩට යනවා. මේක සාමාන්‍ය රටාවක්.”

“අපේ ඉල්ලීම යුක්ති සහගතයි. ආන්ඩුව එය පිලිගන්නේ නැහැ. රැකියාවෙන් ඉවත් වී ගෙදර යන්න කියල අපට කියනවා. මෙය හෙලා දැකිය යුතුයි. මේ ආන්ඩුව කලින් ආන්ඩුවලටත් වඩා නරක විදියට වැඩ කරනවා. අද ආර්ථික අර්බුදය මැද මේ වැටුපෙන් ජීවත් වෙන්න හරි අමාරුයි.”

කම්කරුවන්ගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය ඉදිරිපත් කරන වැඩපිලිවෙල ද, ඒ සඳහා සටන් කිරීමට යෝජනා කරන ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවීම පිලිබඳ ව ද පැහැදිලි කල විට ඔහු මෙසේ පිලිතුරු දුන්නේ ය: “ඔබ කතා කරන ක්‍රියාකාරී කමිටුව පිහිටුවීමට  මමත් එකඟයි.  අපි එය අනෙකුත් කම්කරුවන්ට පැහැදිලි කරමු, එවිට අපට ශක්තිමත් ක්‍රියාකාරී කමිටුවක් ගොඩනගා ගත හැකියි.”

දෙමල ධනපති පක්ෂ ගැන ඔහු මෙසේ පැවසීය: “ඔවුන් අපට සහාය දෙන්නේ නැහැ. ඔවුන් සමහර විට මැතිවරන කාලයේදී මේ ගැන කතා කරාවි,  ඔවුන් දැන් කතා කලත්, ඒ අපේ අරගලය කඩාකප්පල් කිරීමේ අරමුනින් පමනයි. ඔවුන් විශ්වාස නොකල යුතුයි.”

කොලඹ වරායේ විශ්‍රාමික කම්කරුවෙක් වන එන් තිරිමාන්න මෙසේ කීවේ ය: “තපැල් කම්කරුවන්ගේ සටන සාධාරනයි. කම්කරුවන් ස්ථිර කර පුරප්පාඩු පිරවිය යුතුයි. වැටුප් ප්‍රශ්න විසඳිය යුතුයි.”

කම්කරු  අරගල මර්දනය කිරීමේ ආන්ඩුවේ පිලිවෙත හෙලා දකිමින් තව දුරටත් ඔහු මෙසේ සඳහන් කලේ ය: “තැපැල් කම්කරුවන්ගෙ නිවාඩු අවලංගු කර වැඩවර්ජනය නීති විරෝධී කිරීම පෙන්නුම් කරන්නේ ඔවුන්ට එරෙහි මර්දනය ක්‍රියාත්මක කිරීමට යන බවයි. එම කම්කරුවන්ගේ රැකියා උදුරා ගැනීම පිලිබඳ අනතුර පවතිනවා. තැපැල් කම්කරුවන්ගේ අරගලයට සියලු කම්කරුවන්ගේ ආධාරය අවශ්‍යයයි.”

තමන් වැඩ කල වරායේ පවතින ගැටලු ගැන ද ඔහු සඳහන් කලේය: “වරාය තුලත් පුරප්පාඩු පුරවන්නේ නැතුව කොන්ත්‍රාත් ක්‍රමය යටතේ කම්කරු අයිතිවාසිකම් උදුරා ගත්ත මිනිස් බල සමාගම් හරහා තාවකාලික කම්කරුවන් සේවයේ යොදවනවා. බොහෝ ආයතන වල යොදවල තියෙන්නෙ මිනිස් බල කම්කරුවන්. 

“තැපැල් කම්කරුවන්ගේ ප්‍රශ්නය පාලකයන්ට බලපෑම් දැමීමෙන් විසඳිය නොහැකියි. වෘත්තීය සමිති නායකයන් කම්කරුවන් නොමග යවමින් බලපෑම් දැමීමෙන් මෙම ප්‍රශ්න විසදිය හැකි බව පවසනවා. කම්කරුවන් ධනපති පක්ෂ සහ වෘත්තීය සමිති දේශපාලනයෙන් බිදී වෙන් ව ස්වාධීන ව සංවිධානය විය යුතුයි.”

Loading