ඉදිරිදර්ශන

සමාජවාදී සමානතා පක්ෂය, ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය පිලිබඳව ජාත්‍යන්තර ගිම්හාන පාසලක් පවත්වයි

[මෙය Socialist Equality Party holds International Summer School on Security and the Fourth International මැයෙන් අගෝස්තු 13 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

[Photo]

අගෝස්තු 2 සිට අගෝස්තු 9 දක්වා කාලය තුල, ඇමරිකා එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය එහි ද්විවාර්ෂික ගිම්හාන පාසල පැවැත්වීය. එයට එක්සත් ජනපදයේ සසප සාමාජිකයෝ සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) සියලුම ශාඛාවල සහ සහයෝගී කන්ඩායම්වල නියෝජිතයෝ සහභාගී වූහ.

1940 අගෝස්තු 20 වන දින, ස්ටැලින්වාදී ඒජන්තයෙකු වූ රේමන් මර්කාඩර් විසින් ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය කිරීම සම්බන්ධයෙන්, 1975 මැයි මාසයේදී හජාජාක විසින් ආරම්භ කරන ලද විමර්ශනය වන “ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය”, 2025 ගිම්හාන පාසලේ මාතෘකාව විය. විමර්ශනයෙන් හෙලි වූ පරිදි, එක්සත් ජනපදයේ සමාජවාදී කම්කරු පක්ෂය ඇතුලු ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට ක්‍රමානුකූලව තම ඒජන්තයන් රිංගවීම හරහා ඝාතනය සූදානම් කර සංවිධානය කර ඇත්තේ ස්ටැලින්වාදී ජීපීයූව විසිනි.

අද ලෝක සමාජවාදී වෙබ් අඩවිය, එක්සත් ජනපද සසපයේ සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් ඉදිරිපත් කරන ලද, “ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය තුල ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරයට හිමි තැන” යන මැයෙන් වූ, පාසලේ හඳුන්වාදීමේ වාර්තාව ප්‍රකාශයට පත් කරයි. ඉදිරි සතිවල දී, පාසලේ දී ඉදිරිපත් කරන ලද සියලුම දේශනවල වීඩියෝව සහ පෙල ලෝසවෙඅ විසින් පල කරනු ඇත.

දින හතක් පුරා පැවැත්වුනු ගිම්හාන පාසල, “ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය” පරීක්ෂනය සවිස්තරාත්මකව විමර්ශනය කල අතර, එය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඓතිහාසික ගමන් පථය තුල ස්ථානගත කලේය. මෙය බලගතු දේශන 29 ක් හරහා සාක්ෂාත් කරගනු ලැබූ අතර, ඒවායින් සැලකිය යුතු සංඛ්‍යාවක් පවත්වන ලද්දේ ව්‍යාපාරයේ නව සාමාජිකයින් විසිනි. නෝර්ත් ඔහුගේ ආරම්භක අදහස් දැක්වීමේ දී සඳහන් කල පරිදි, “අප ඉදිරියේ ඇත්තේ ඉතා අභියෝගාත්මක සතියකි. දේශන, ඉතිහාසය, දේශපාලනය සහ නීතියට පවා අදාල කරුනු විශාල ප්‍රමානයක් ඇතුලත් කර ගනු ඇත. නමුත්, අප ජීවත් වන අභියෝගාත්මක හා බිහිසුනු අවධියේ වෛෂයික සිදුවීම්, අපගේ කේඩරය මත දැවැන්ත ඉල්ලීම් පටවනු ඇත.”

පාසල ආරම්භ වූයේ, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය, 1917 ඔක්තෝබර් විප්ලවයේ මූලෝපායික පදනම් සහ ලෝක සමාජවාදී විප්ලවයේ වැඩපිලිවෙල පිලිබඳ දේශන සමඟිනි. මෙම දේශන, ඔක්තෝබර් විප්ලවය ජයග්‍රහනය කරා ගෙන ගිය ඉදිරිදර්ශනය, සෝවියට් රාජ්‍යයේ ජාතිකවාදයට සහ නිලධාරිවාදයට එරෙහි ලෙනින්ගේ “අවසන් අරගලය” සහ ස්ටැලින්වාදයට එරෙහි වාම විපාර්ශවයේ සටන සහ “තනි රටේ සමාජවාදය” පිලිබඳ න්‍යාය සම්බන්ධ කරමින් අඛන්ඩතාව ස්ථාපිත කලේ ය. එතැන් සිට, දේශන, ස්ටැලින්වාදීන් විසින් ජාත්‍යන්තර සමාජවාදය ප්‍රතික්ෂේප කිරීමේ දැවැන්ත හා භයානක ප්‍රතිවිපාක ගෙනහැර පෑවේ ය. 1926 බ්‍රිතාන්‍යයේ මහා වැඩ වර්ජනය සහ 1925-27 චීන විප්ලවය පාවා දීම, 1933 දී ජර්මානු කම්කරු පන්තියේ විනාශකාරී පරාජය සහ 1930 ගනන්වල ස්පාඤ්ඤයේ සහ ප්‍රංශයේ පාවා දීම්, යුරෝපය තුල ෆැසිස්ට්වාදයේ ජයග්‍රහනයටත්, දෙවන ලෝක යුද්ධය පුපුරා යාමටත් මග පෑදී ය.

ස්ටැලින්වාදී නිලධරයට එරෙහි ට්‍රොට්ස්කිවාදී විරෝධය 1930 ගනන් දක්වා ම සෝවියට් සංගමය තුල ඇතිකල දැවැන්ත බලපෑම විස්තර කරන දේශනය, සුවිශේෂී වැදගත්කමක් දරයි.

පාසල ඉන් පසුව, විප්ලවවාදී මාක්ස්වාදයේ පෙරටුගාමීන්ට එරෙහි දේශපාලන සංහාරයේ ස්ටැලින්වාදී ව්‍යාපාරය විභාග කලේය. මොස්කව් නඩු විභාග සහ 1937-38 මහා භීෂනය, ඔක්තෝබර් විප්ලවයේ දිවි ගලවා ගත් සෑම නියෝජිතයෙකුම මුලිනුපුටා දැමීම අරමුනු කරගත් දැවැන්ත විරේකනයක කේන්ද්‍රස්ථානය විය. 1935 සහ 1940 අතර කාලය තුල සෝවියට් සංගමය තුල දේශපාලන චෝදනා මත මිලියන 2 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගන්නා ලද අතර, ඔවුන්ගෙන් 688,503 දෙනෙකු වෙඩි තබා මරා දමා තිබේ. තාරකා විද්‍යාඥයින්, ජීව විද්‍යාඥයින්, වෛද්‍යවරුන්, ඉතිහාසඥයින්, දාර්ශනිකයන්, සංගීතඥයන්, ලේඛකයින් සහ කවියන් ආදී සමාජවාදී කම්කරුවන් සහ බුද්ධිමතුන් දහස් ගනනක් සමූලඝාතනය කරන ලදහ.

මෙම ත්‍රස්තවාදී ව්‍යාපාරයේ කේන්ද්‍රීය ඉලක්කය වූයේ, ඔක්තෝබර් විප්ලවයේ සම-නායක සහ හතරවන ජාත්‍යන්තරයේ නිර්මාතෘ ලියොන් ට්‍රොට්ස්කි ය. දශකයක අඛන්ඩ හිංසා පීඩාවලින් සහ—ඔහුගේ පුත් ලෙව් සෙඩොව් ඇතුලු—ඔහුගේ සමීපතම සහචරයින් බොහෝ දෙනෙකු ඝාතනය කිරීමෙන් පසු, 1940 අගෝස්තු 20 වන දින, මෙක්සිකෝවේදී, ජීපීයූ ඒජන්ත රේමන් මර්කාඩර් විසින් ට්‍රොට්ස්කි ඝාතනය කරන ලදී.

පාසලේ දෙවන භාගයේ දී, ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය විමර්ශනය පිලිබඳ සවිස්තරාත්මක වාර්තාවක් සපයන ලදී. “ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය විමර්ශනය ආරම්භ කිරීමත් සමඟ, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ප්‍රති-විප්ලවවාදී නිලධරයන්ට එරෙහි ආක්‍රමනශීලී ප්‍රහාරයට යොමු විය” යනුවෙන් ඩේවිඩ් නෝර්ත් සිය හැඳින්වීමේදී පැහැදිලි කලේය. ස්ටැලින්වාදයේ ක්ෂමාලාපකයින්ගේ අපහාස, ප්‍රකෝපකරනයන් සහ බොරු හමුවේ දියත් කරන ලද පරීක්ෂනය—ඉතා සූක්ෂම ලෙස ලේඛනගත කෙරුනු කරුනු මත පදනම්ව—එය ඉදිරිපත් කල චෝදනාවල සත්‍යතාව තහවුරු කලේ ය.

ට්‍රොට්ස්කි ඝාතනයට පෙර හතරවන ජාත්‍යන්තරය තුල සහ ඒ වටා ක්‍රියාත්මක වූ, ඝාතක මර්කාඩර්; අර්වින් වුල්ෆ්, ඉග්නේස් රීස්, සෙඩොව් සහ රුඩොල්ෆ් ක්ලෙමන්ට් ඇතුලු ප්‍රමුඛ ට්‍රොට්ස්කිවාදීන් කිහිප දෙනෙකු ම ඝාතනය කිරීමට වගකිව යුතු වැදගත්ම ජීපීයූ නියෝජිතයා වූ මාර්ක් ස්බොරොව්ස්කි; සකප නායක ජේම්ස් කැනන්ගේ ලේකම් සිල්වියා කැලන්; ඝාතනය සිදු වූ අවස්ථාවේ ට්‍රොට්ස්කිගේ ලේකම්වරයෙකු වූ සහ පසුව එෆ්බීඅයි සඳහා තොරතුරු සපයන්නෙකු බවට පත් වූ ජෝසප් හැන්සන් යන අය ඇතුලු ජීපීයූ ඒජන්ත ජාලයක මෙහෙයුම් පිලිබඳව, පරීක්ෂනයේදී හෙලිදරව් වූ ආකාරය මෙම දේශන මගින් විමර්ශනය කරන ලදී.

මෙම දේශන ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරයේ තීරනාත්මක හැරවුම් ලක්ෂ්‍යයන්ට ආමන්ත්‍රනය කලේ ය: 1975 දී එය ආරම්භ කිරීමේ පසුබිම; ට්‍රොට්ස්කි ඝාතනය කිරීමේ කුමන්ත්‍රනයේ දී ජීපීයූ නියෝජිතයින්ගේ මෙහෙයුම් හෙලි කරන ප්‍රධාන ලේඛන ප්‍රකාශයට පත් කිරීම; සකප නායක ජෝසප් හැන්සන් ජීපීයූ සහ එෆ්බීඅයි සමඟ පැවැත්වූ හමුවීම් පිලිබඳ සාක්ෂි අනාවරනය කර ගැනීම; සහ 1977 දී වර්කර්ස් ලීගයේ සාමාජික ටොම් හෙනහන් ඝාතනය.

දේශන තුනක දී, 1979 දී හැන්සන්, ජීපීයූ සහ එෆ්බීඅයි සමඟ පැවැත්වූ සබඳතා සහ ජීපීයූ නියෝජිතවරියක ලෙස සිල්වියා කැලන් ගේ භූමිකාව සකප විසින් වසන් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම හේතුවෙන් පක්ෂයෙන් නෙරපා හරින ලද ඇලන් ගෙල්ෆන්ඩ් විසින් ආරම්භ කරන ලද “ගෙල්ෆන්ඩ් නඩු විභාගයේ” මූලාරම්භය සහ වර්ධනය විස්තර කරන ලදී. සකප නායකත්වයේ සහ රාජ්‍යයේ ඒකාබද්ධ විරෝධය හමුවේ, ගෙල්ෆන්ඩ්, තම ඒජන්තයන් හෙලිදරව් කර ඔවුන් පක්ෂයෙන් ඉවත් කිරීමට ආන්ඩුව යොමු කිරීමට උත්සාහ කලේය. නඩුව අතරතුර ඉදිරිපත් වූ කටඋත්තර මගින්, ආන්ඩුවේ ඒජන්තයින් සකප නායකත්වය සමග සම්මුතියකට එලඹ ඇති බවට ප්‍රතික්ෂේප කල නොහැකි සාක්ෂි සපයන ලද අතර, කැලන් ජීපීයූ හි නියෝජිතයෙකු බව සනාථ කරන මහා ජූරි සභාවේ සාක්ෂි නිකුත් කිරීමත් සමඟ නඩු විභාගය අවසන් විය.

ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය” විමර්ශනය, ස්ටැලින්වාදී සහ අධිරාජ්‍යවාදී රාජ්‍යයේ මෙහෙයුම් පමනක් නොව, එය අවහිර කිරීමට සහ අපකීර්තියට පත් කිරීමට උත්සාහ කල දේශපාලන බලවේග ද හෙලිදරව් කලේ ය. නෝර්ත් ඔහුගේ හැඳින්වීමේ වාර්තාවේ පැහැදිලි කල පරිදි:

ජාත්‍යන්තර කමිටුවේ කේඩරයේ අධ්‍යාපනයේ පදනම සැකසූ ඓතිහාසික අත්දැකීම්, දේශපාලන මූලධර්ම සහ හතරවන ජාත්‍යන්තරයේ ක්‍රියාමාර්ගික පදනම් කෙරෙහි ඇති උත්සුකය, සමාජවාදී කම්කරු පක්ෂය සහ පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලය තුල පැවති ගොරහැඩි තත්කාර්යවාදී, අවස්ථාවාදී සහ නරුමවාදී වාතාවරනයේ පරම ප්‍රතිවිරුද්ධය යි. … ජාත්‍යන්තර කමිටුව විසින් අනාවරනය කරගත් සාක්ෂි කෙතරම් බලගතු වුව ද, ඒවාට මෙම සංවිධානවල නායකයින් සොලවාලිය නොහැකි විය.

එහි ආරම්භයෙන් වසර පනහකට පසු, “ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය' විමර්ශනය, කාලයේ පරීක්ෂාවට ලක්ව ඇත. සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු මුදා හරින ලද තොරතුරු ඇතුලු නව සාක්ෂි මගින් එහි නිගමන සනාථ කර ශක්තිමත් කර ඇත. මෙම ලේඛන මගින්, ස්ටැලින්වාදී ඒජන්තයෙකු වූ—ආරක්ෂකයෙකු ලෙස සේවය කිරීම සඳහා මෙක්සිකෝවට යවන ලද සකප සාමාජික—රොබට් ෂෙල්ඩන් හාර්ට්ගේ භූමිකාව වැනි, ඝාතන කුමන්ත්‍රනයේ තීරනාත්මක තොරතුරු හෙලිදරව් කරන ලදී. පසුගිය වසර පහ තුල, පාසලේ දී සමාලෝචනය කරන ලද අතිරේක සාක්ෂි, ට්‍රොට්ස්කි ඝාතනයට පහසුකම් සැලසීම සඳහා රේමන් මර්කාඩර් සමඟ තම පෞද්ගලික සම්බන්ධතාවය භාවිතා කරන ලද සිල්වියා ඇගෙලොෆ්ගේ භූමිකාව පිලිබඳව නව ආලෝකයක් විහිදුවයි.

ආරක්ෂාව සඳහා වන සටන වර්තමාන දේශපාලන තත්වයට සෘජු මෙන්ම හදිසි අදාලත්වයක් දරයි. සසප 2025 ගිම්හාන පාසල අවසන් වූයේ, ට්‍රම්ප් වොෂින්ටන් ඩී.සී. හි වීදිවලට හමුදාව යෙදවීමට දින කිහිපයකට පෙර ය. එය එක්සත් ජනපදයේ ෆැසිස්ට්වාදී ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමේ අඛන්ඩ කුමන්ත්‍රනයේ තීරනාත්මක අවධියකි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි මෙම ප්‍රහාරය ගෝලීය ප්‍රවනතාවයක කොටසක් වන අතර එය, ගාසා තීරයේ සිදුවෙමින් පවතින ජන සංහාරය, රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය සහ චීනයට එරෙහි යුද්ධය සඳහා තීව්‍ර වන සූදානම සමඟ දිග හැරේ. සෑම රටකම, පාලක කතිපයාධිකාරය කම්කරු පන්තියේ ජීවන තත්වයන් සහ අයිතිවාසිකම් විනාශ කිරීම අරමුනු කරගත් සමාජ ප්‍රතිවිප්ලවයේ වැඩසටහනක් අනුගමනය කරමින් සිටී.

ඒ සමඟම, ධනවාදයේ ගැඹුරු වන අර්බුදය විසින් මෙහෙයවනු ලබන කම්කරු පන්තිය තුල සහ තරුනයින් අතර මහජන විරෝධය වර්ධනය වෙමින් පවතී. කෙසේ වෙතත්, තීරනාත්මක ප්‍රශ්නය වන්නේ නායකත්වයයි. එවැනි නායකත්වයක් ගොඩනැගීම, ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය විමර්ශනයේ මූලෝපායික පාඩම් ඇතුලුව සමාජවාදී ව්‍යාපාරයේ ඉතිහාසය ඉදිරියට ගෙන ඒම සමඟ වෙන් කල නොහැකි ලෙස බැඳී ඇත. පාසලේදී විමර්ශනය කරන ලද සාක්ෂි සමූහය, ට්‍රොට්ස්කි ඝාතනයේ 85 වන සංවත්සරය සැමරීම සඳහාත්, සත්‍යය අනාවරනය කර ගැනීම සඳහාත් දියත් කරන ලද අරගලයේ දේශපාලන පාඩම් ගැඹුරු කිරීම සඳහා ඉදිරි මාසවල දේශන සහ රැස්වීම්වලට පදනම සකසනු ඇත.

එක්සත් ජනපදයේ සහ ලොව පුරා දැන් දිග හැරෙමින් පවතින දේශපාලන අරගල සඳහා අත්‍යවශ්‍ය සූදානමක් ලෙස, ඉදිරි සතිවල ප්‍රකාශයට පත් කෙරෙන සසප 2025 ගිම්හාන පාසලේ දේශන ප්‍රවේශමෙන් අධ්‍යයනය කරන ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සියලුම පාඨකයින්ගෙන් ඉල්ලා සිටී.

Loading