ශ්‍රී ලංකාවේ තැපැල් සේවකයින් 17,000 ක් පමන, පසුගිය ඉරිදා (17) සිට, ඉල්ලීම් 19 ක් මුල් කරගනිමින් අඛන්ඩ වැඩ වර්ජනයක නිරතව සිටිති. උප තැපැල් ස්ථානාධිපතිවරුන් හැර අනෙකුත් සියලුම නිලයන් සම්බන්ධ වන දීප ව්‍යාප්ත වැඩ වර්ජනය රටේ තැපැල් සේවාවන් මුලුමනින් පාහේ අඩාල කර තිබේ.
වර්ජනයේ යෙදී සිටින තැපැල් සේවකයෝ, අතිකාල ගෙවීම්, වැඩබලන, ආදේශක සහ කම්කරු තනතුරුවල සියලුම සේවකයින් ස්ථිර කිරීම, සියලු පුරප්පාඩු කඩිනමින් පිරවීම, උසස්වීම් සහ තැපැල් ප්‍රවාහන අංශයේ පවතින ගැටලු ඇතුලු විවිධ ප්‍රශ්න වලට විසඳුම් ඉල්ලා සිටිති. පලමු ශ්‍රේනියේ නිලධාරීන් සඳහා වැටුප් වර්ධක තුනක් සහ සේවකයින්ගේ පැමිනීම සහ පිටවීම සටහන් කිරීම සඳහා ඇඟිලි සලකුනු යන්ත්‍ර භාවිතය ඉවත් කිරීම ද ඔවුන්ට අවශ්‍ය වේ.
වැඩ වර්ජනයේ යෙදී සිටින තැපැල් සේවකයින් 600 කට වැඩි පිරිසක්, ඊයේ, කොලඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට විරෝධතා දැක්වූ අතර පසුව ජනාධිපති ලේකම් කාර්යාලයට පාගමනින් ගිය වෘත්තීය සමිති නිලධාරීන් ජනාධිපති දිසානායක වෙත ආරවුල විසඳන ලෙස ඉල්ලා ලිපියක් ඉදිරිපත් කලහ.
මෙම වැඩ වර්ජනය, ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා කම්කරුවන්ගේ සමාජ හා ප්රජාතන්ත්රවාදී අයිතීන්වලට එල්ල වන ප්‍රහාරවලට එරෙහිව වැඩෙන කාර්මික ක්‍රියා රැල්ලක සහ රැඩිකලීකරනයක කොටසකි.
ජූලි 19 වන දින ආන්ඩුවේ 2025 අයවැයේ කප්පාදු පියවරයන්ට විරෝධය පල කිරීම සඳහා විශ්ව විද්‍යාල 17 ක සහ ඒ ආශ්රිත ආයතනවල අනධ්‍යයන සේවකයින් රටපුරා එක්දින වැඩ වර්ජනයකට එක්වූහ.
ජූලි 22 වන දින, ලංකා විදුලිබල මන්ඩලයේ (ලංවිම) 22,000 කින් යුත් ශ්‍රම බලකායේ සේවකයින් 16,000 ක් පමන, ලංවිම පුද්ගලීකරන සූදානම තුල එය ප්‍රතිව්‍යුහගත කිරීමේ ආන්ඩුවේ සැලසුම්වලට විරෝධය පල කරනුවස්, අසනීප නිවාඩු උද්ඝෝෂනයකට සහභාගි වූහ.
තැපැල් සේවකයින්ගේ ක්‍රියාව, කම්කරු පන්තියේ අනෙකුත් කොටස් වෙත පැතිරෙනු ඇතැයි බියෙන් සිටින ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනතා බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, වහාම වර්ජනයට එරෙහිව ක්‍රියාත්මක විය. එය, සෙනසුරාදා සිට තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් වර්ජනය නීති විරෝධී බවට පත්කල අතර වර්ජනය අසාධාරන ක්‍රියාවක් ලෙස හෙලා දුටුවේය.
තැපැල්පති (පීඑම්ජී) රුවන් සත්කුමාර, වැඩ වර්ජනය “අසාධාරන” බව බව මාධ්‍යයට පැවසුවේ, “සේවකයින්ගේ ඉල්ලීම් බොහොමයක් දැනටමත් ඉටු වී ඇති” බවට බොරු කියමිනි. වෘත්තීය සමිති නායකයින්ට බලධාරීන් සමඟ සාකච්ඡාවක් අවශ්‍ය නම්, වැඩ වර්ජනය නතර කල යුතු බව ඔහු ප්‍රකාශ කලේය. “අපි සාකච්ඡා සඳහා සූදානම්. නමුත් අපගේ ස්ථාවරය වන්නේ වර්ජනය නතර කර සාකච්ඡාවලට පැමිනීමයි. වැඩ වර්ජනයක් පවතින අතරතුර සාකච්ඡා කිරීමෙන් පලක් නැහැ,” ඔහු පැවසීය.
වැඩවර්ජන “භාන්ඩාගාරයට අමතර බරක් පටවන” බව, තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය. “අනාගතයේ දී මෙය නියමිත වැටුප් වැඩිවීම් හෝ අතිකාල ගෙවීම් කෙරෙහි බලපාන්න පුලුවන්. එබැවින්, මෙය අසාධාරන වැඩ වර්ජනයක් ලෙස යි මම සලකන්නෙ.”
ඊයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ජයතිස්ස කියා සිටියේ, වර්ජකයින්ගේ ඉල්ලීම් 19 න් 17 ක් ම “එක්කෝ විසඳා ඇති හෝ විසඳමින් පවතින අතර ඉතිරිව ඇත්තේ ඉල්ලීම් දෙකක් පමනක්” බවයි. “ඉන් එකක් අතිකාල ගෙවීම් ගැනයි; [නමුත්] අපට අතිකාල ගෙවීම් වැඩි කරන්නවත්, ඇඟිලි සලකුනු යන්ත්‍ර ඉවත් කරන්නවත් බැහැ.”
ඉන්පසු ඔහු තර්ජනයක් ද කලේය: “ඒකට එකඟ වන තැපැල් සේවකයින්ට රැඳී ඉන්න පුලුවන්; අනෙක් අයට වෙන කොහේ හරි රැකියාවක් සොයා ගන්න පුලුවන්.”
වර්ජකයින්ට ඔවුන්ගේ ඉල්ලීම් අතහැර දමා නැවත සේවයට පැමිනෙන ලෙස ජයතිස්ස කරන ඉල්ලීමෙන් පැහැදිලි වන්නේ, ආන්ඩුව වර්ජනය තලා දැමීමට සූදානම් වන බවයි.
ජයතිස්සගේ සහ තැපැල්පතිගේ ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන තැපැල් සේවකයින් අවධාරනය කරන්නේ, ඉල්ලීම් 19 න් කිසිවක් විසඳා නොමැති බව යි.
2025 අයවැයෙන් වැටුප් වැඩිවීම් ලෙස කර ඇත්තේ, පවතින මූලික මාසික වැටුපට දීමනා එකතු කිරීම පමනක් බව කම්කරුවෝ පෙන්වා දෙති. රුපියල් 2,000 ත් 12,000 ත් අතර වන මෙම සොච්චම් වැඩිවීම් වලට, අහස උසට නැඟෙන ජීවන වියදමට අලගු තැබීමටවත් නොහැක.
තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ (පීටීඕඒ) සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුනේ (ජේපීටීයූඑෆ්) නායකයින් මෙම වැඩ වර්ජනය කැඳවා ඇත්තේ, තැපැල් සේවකයින්ගේ ඉල්ලීම් සඳහා සැබෑ අරගලයක් සංවිධානය කිරීමට නොව, මෙම දිගුකාලීන ගැටලු සම්බන්ධයෙන් ඔවුන්ගේ වැඩෙන කෝපය අපසරනය කිරීමට ය. ජවිපෙ/ජාජබ ආන්ඩුවට පීඩනය යෙදීමෙන් තැපැල් සේවකයින්ගේ ඉල්ලීම් ලබා දීමට එය තල්ලු කෙරෙනු ඇති බවට වෘත්තීය සමිති නිලධාරීන් ව්‍යාජ මිත්‍යාවන් පතුරුවමින් සිටිති.
අගෝස්තු 13 වන දින සමස්ත ලංකා උප තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ විධායක කමිටුව නරුම ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, ඉල්ලීම් 19 හි ඇතුලත් උප-තැපැල් ස්ථානාධිපතිවරුන්ට බලපාන ගැටලු හතරක් විසඳා ඇති බැවින්, ජාතික වැඩ වර්ජනයට සහභාගී නොවන බවයි. “වර්ජනයට අදාල අනෙකුත් ගැටලු උප-තැපැල් ස්ථානාධිපතිවරුන්ට සෘජුවම බලපාන්නේ නැති බැවින්, අවසානයේ වැඩ වර්ජනයෙන් ලැබෙන කවර හෝ ප්‍රතිලාභයක් අපට හිමි නොවිය හැකි බව,” එහි සඳහන් විය.
සඳුදා (18), ජේපීටීයූඑෆ් ප්‍රකාශකයෙක් මාධ්‍යයට මෙසේ පැවසීය: “අපි අපේ ඉල්ලීම් ආන්ඩු කිහිපයකට, මාධ්‍ය අමාත්‍යවරුන් 11 දෙනෙකුට සහ තැපැල්පතිවරුන් තිදෙනෙකුට ඉදිරිපත් කර තිබෙනවා. එසේ තිබියදීත්, විසඳුම් නොමැති බැවින් අපි අඛන්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරනය කලා.”
තැපැල් සේවක වෘත්තීය සමිති නොයෙකුත් විරෝධතා සහ වැඩ වර්ජන කැඳවා තිබුනද, ඒවා සෑම අවස්ථාවකදීම අවධාරනය කර ඇත්තේ, සේවකයින් විසින් කලමනාකාරිත්වයට සහ ආන්ඩුවලට වඩාත් පීඩනය යෙදීමෙන් තම ඉල්ලීම් දිනා ගත හැකි බවයි. කෙසේ වෙතත්, මෙම විරෝධතා තුලින් කිසිවක් විසඳී නොමැති අතර සිදුව ඇත්තේ ඉල්ලීම් ලැයිස්තුව දිගු වීම පමනි.
මාර්තු සහ මැයි මාසවල දෙදින සංකේත වැඩවර්ජන සහ ජූලි 15-16 දිනවල අතිකාල වැඩවර්ජනයකින් පසුව පැවැත්වෙන වත්මන් වර්ජනය මෙම වසරේ සිවුවන තැපැල් සේවක වර්ජනයයි. ආන්ඩුව සහ තැපැල් දෙපාර්තමේන්තු බලධාරීන් විසින් විසඳුමක් ලබා දෙන බවට දුන් බොරු පොරොන්දු මත එම වැඩවර්ජන නවතා දමන ලදී.
මේ සතියේ ජනාධිපති දිසානායක වෙත යොමු කරන ලද ලිපියෙන් ද, එම ආරවුලට මැදිහත් වී විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින්, වෘත්තීය සමිති නායකයින් කර ඇත්තේ එයම ය. කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පියවරයන්ට සම්පූර්නයෙන්ම කැපවී සිටින දිසානායක සහ ඔහුගේ දක්ෂිනාංශික ධනේශ්වර ආන්ඩුව, තම ගමන් මග වෙනස් නොකරනු ඇත.
තැපැල් සේවකයින්, වෘත්තීය සමිති නායකයින් කෙරෙහි කිසිදු විශ්වාසයක් නොතැබිය යුතුය. මන්ද, ඔවුන් අතීතයේ දී මෙන්, ලැබෙන පලමු අවස්ථාවේදීම තම අරගලය පාවා දෙනු ඇත.
ඉරිදා (17) ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල භාෂා අංශයේ ලිපියක් මෙසේ පැහැදිලි කලේය:
“තම වැටුප්, රැකියා, ජීවන තත්වයන් සහ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා අරගලයට එලඹෙන කම්කරු පන්තියේ කිසිදු කොටසකට ආන්ඩුවේ ප්‍රතිපත්ති පරාජය නොකර තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට හෝ දිනා ගැනීමට නොහැකිය…”
'තැපැල් සේවකයින්ගේ වැඩ වර්ජනය ආරක්ෂා කිරීම සඳහා කම්කරු පන්තියේ කාර්මික හා දේශපාලන ශක්තිය බලමුලු ගැන්විය යුතුය. වැඩ වර්ජනය කරන තැපැල් සේවකයින් අනෙකුත් කම්කරුවන් වෙත හැරී, ඔවුන්ගේ ක්‍රියාකාරී සහයෝගය ඉල්ලා සිටිය යුතුය. එක් සේවක කොටසකගේ අරගලයක පරාජය අනෙකුත් සියලුම කොටස් මත ප්‍රහාර සඳහා වේදිකාව සකසනු ඇත.'
ශ්‍රී ලාංකික කම්කරුවන්ට, ජාමූඅ විසින් නියම කරන ආන්ඩුවේ කප්පාදු පියවර පරාජය කල හැක්කේ, තමන්ගේම ස්වාධීන ශක්තිය බලමුලු ගැන්වීමෙන් සහ ඔවුන්ගේ ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමඟ එක්සත් වීමෙන් පමනි.
තැපැල් සේවකයින්, කාරනා තමන්ගේ අතට ගත යුතුය. මෙහි තේරුම, වෘත්තීය සමිති නිලධරයන්ගෙන් සහ ධනේශ්වර පක්ෂ නියෝජිතයින්ගෙන් ස්වාධීනව, අනෙකුත් සේවා ස්ථානවල, කාර්යාලවල සහ වතුකරයේ ක්‍රියාකාරී කමිටු සමඟ සන්ධානගතව, තැපැල් කාර්යාල, මෙහෙයුම් කාර්යාල සහ මධ්‍යම තැපැල් හුවමාරුව තුල ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගන්නා ක්‍රියාකාරී කමිටු පිහිටුවීමයි.
සියලුම බැංකු, විශාල සමාගම්, වතු සහ අනෙකුත් ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන කම්කරුවන්ගේ ප්රජාතන්ත්රවාදී පාලනය යටතේ ජනසතු කිරීමේ සමාජවාදී වැඩපිලිවෙලට කැපවෙන, කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන සටනේ කොටසක් ලෙස, මෙම කමිටු, ජවිපෙ/ජාජබ ආන්ඩුවට සහ එහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් ආරම්භ කල යුතුය.