අගෝස්තු 8 දා, කොලඹ වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයයේ (සීඅයිසීටී) සිදු වූ අනතුරකින් 51 හැවිරිදි, ප්‍රයිම් මූවර් (Prime Mover) රියදුරෙක් මිය ගියේ ය. අට්ටි ගසා තිබූ කන්ටේනරයක්, තමා පදවන රථය මතට පෙරලීමෙන් මෙම අවාසනාවන්ත ඉරනමට ගොදුරු වූයේ, දැඩිගමුව, ලෙනගල, තුරුලිය උයනේ පදිංචිව සිටි, දේවපක්ෂලාගේ ලක්මාල් ඉන්දික නම් වූ එක්දරු පියෙකි.
වරාය තුල කන්ටේනර එහා මෙහා ගෙන යාමට සහ ඒවා ට්‍රක් රථවලට පැටවීමට භාවිතා කරන ට්‍රාන්ස්ටේනර් (transtainer) වර්ගයේ දොඹකරයක රැගෙන යමින් තිබූ කන්ටේනරයක්, කන්ටේනර් අට්ටියක මුදුනේ තිබූ වෙනත් කන්ටේනරයක ගැටී, තම වාරය එනතෙක් එහි රැඳී සිටි ඉන්දිකගේ රථය මතට පෙරලී තිබේ. ඉන් බරපතල ලෙස තුවාල ලැබූ ඉන්දික කොලඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේ දී මිය ගොස් ඇත.
මරනය සම්බන්ධයෙන්, අදාල දොඹකරයේ ක්‍රියාකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කොලඹ වරාය පොලිසිය වැඩිදුර පරීක්ෂන පවත්වන බව වාර්තා වේ. කෙසේ නමුත්, ඉන්දික සේවය කල පුද්ගලික සමාගම කුමක්ද, එය සහ “චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ස්” සමාගම, ඉන්දික වෙනුවෙන් ඔහුගේ භාර්යාවට සහ දරුවාට කිසියම් වන්දි මුදලක් ලබා දුන්නේ ද, එසේ නම්, ඔහුගේ ජීවිතය තක්සේරු කලේ කවර මුදලකට ද යනාදිය මෙතෙක් ප්‍රකාශයට පත් වී නොමැත.
ඉන්දිකගේ නිවසට ගිය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට එම තොරතුරු ලබාදීම, ඉන්දිකගේ භාර්යාව සහ ඇයගේ මව ප්‍රතික්ෂේප කලහ. ඉන්දිකගේ ජීවිතය අහිමි වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ කනස්සල්ල සහ ශෝකය අපට වටහා ගත හැකි ය.
වරාය අධිකාරිය, “චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ස්” සමාගම සහ ඉන්දික සේවය කල පුද්ගලික සමාගම සැබෑ තත්වයන් සඟවන බවක් පෙනේ. ඇත්ත වශයෙන්ම ප්‍රධාන මාධ්‍ය මේ සඳහා සහාය දක්වන තොරතුරු ලබා දී නොමැත. කෙසේ වෙතත්, වරායේ සහ අනෙකුත් ස්ථානවල සේවකයින් සැබවින්ම සිදුවූයේ කුමක්දැයි දැනගත යුතු ය. මන්ද මෙම සිදුවීම් ඔවුන්ගේ ජීවිතය හා මරනය පිලිබඳ ප්‍රශ්න වේ.
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කම්කරුවන් සමග අනතුර සම්බන්ධයෙන් කල සාකච්ඡාවන්හි දී වැදගත් කරුනු රැසක් අනාවරනය විය.
සාමාන්‍යයෙන් මෙම ට්‍රාන්ස්ටේනර් දොඹකරයක උස අඩි 100 ක් පමන වේ. එයට සවිකොට ඇති තරප්පු පෙලක් ඔස්සේ ඉහලට නගින ක්‍රියාකරු, එහි ඇති කැබිනය තුල සිට දොඹකරය ක්‍රියාත්මක කරයි. කන්ටේනර එසවීම, අදාල ස්ථානයට ගෙනයාම සහ තැන්පත් කිරීම ආදියේ පූර්න වගකීම ඔහුට භාර වී ඇත. කවර හෝ අනතුරක් සිදු නොවන අයුරින් ඉතා සුපරීක්ෂාකාරීව කලයුතු මෙම කාර්යයට මනා මානසික තැන්පත්භාවයක් සහ විඩාවෙන් තොර කායික තත්වයක් අත්‍යවශ්‍ය බව කම්කරුවෝ පැවසූහ.
දැනට මෙම පර්යන්තයේ පවත්නා තත්වය අනුව, ට්‍රාන්ස්ටේනර් ක්‍රියාකරුවෙකුගේ එක් වැඩ මුරයක් පැය හයක් වේ. ඉන්පසු ලැබෙන පැය හයක විවේක කාලයකින් පසු නැවත පැය හයක වැඩ මුරයකි. මෙලෙස වැඩ මුර හතරක්, එනම් පැය 48 ක් සේවය කිරීමෙන් පසු ඔහුට එක් දිනක හෝ දින දෙකක නිවාඩුවක් ලැබේ.
කම්කරුවන් කියා සිටින්නේ, වැඩෙහි යෙදෙන පැය හයක කාලය තුල නොකඩවා පහතට නෙත් යොමා වැඩ කිරීම ඉතා දුෂ්කර සහ විඩාබර කාර්යයක් බවයි. එක් මුරයක්, අවම වශයෙන් පැය තුනක් දක්වා අඩුවියයුතු බව ඔවුහු පවසති. කෙසේ නමුත්, අනතුරට අතිමූලික හේතුව ලෙස ඔවුන් දකින්නේ, දිරිදීමනාව ලබා ගැනීම සඳහා නියම කර ඇති ඉලක්කය යි. එම දීමනාව ලැබෙනුයේ, අදාල පැය හය තුල නියම කරන ලද කන්ටේනර සංඛ්‍යාව අදාල පරිදි ස්ථානගත කලහොත් පමනි.
අනතුරු අවම කරගනු වස්, කන්ටේනර අට්ටිවල නොගැටෙන පරිදි කන්ටේනරය හැකි තරම් ඉහලට ඔසවා රැගෙන යා යුතු නමුත්, එවිට එසවීමට සහ බෑමට ගතවන කාලය වැඩිවන බැවින්, ඉලක්කය ජයගත නොහැකි වේ. තම දරු පවුල සමග ජීවිතය ගැටගසා ගැනීමට ලැබෙන වැටුප කිසිසේත් ප්‍රමානවත් නොවන තතු තුල, මෙම දිරි දීමනාව ලබා ගනු වස් කෙසේ හෝ ඉලක්කය ජය ගැනීමට ක්‍රියාකරුවන් පෙලඹෙන බැවින්, කන්ටේනරය ඉහලටම ඔසවා ගෙනයාම ඔවුන් අතින් ගිලිහී යයි. බොහෝවිට මෙය සිදු වන්නේ, වැඩ මුරයක අවසන් භාගයේ බව කම්කරුවෝ පවසති. 08 දා අනතුර සිදුවූයේ එවන් අවස්ථාවක වියහැකි බව ඔවුහු පැහැදිලි කලහ.
කෙසේ නමුත්, “චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ස්” සමාගම සහ පොලීසිය, ක්‍රියාකරුගේ “අනාරක්ෂිතභාවය” ඉදිරියට දමමින් ඔහුට එරෙහි ව නීතිමය පියවර ගනිමින් සිටියි. ඔහු, රැකියාව අහිමිවීමට පමනක් නොව, සිර බන්ධන ඇතුලු වෙනත් දැඩි දඬුවම් ලැබීමේ අන්තරායට මුහුන දී සිටී.
සමාගමේ ලාභ අවශ්‍යතා වෙනුවෙන් පනවා ඇති කොඳු කැඩෙන ඉලක්ක ක්‍රමය නොතිබුනේ නම්, ඉන්දික ගේ ජීවිතය අහිමි නොවන බවත්, දොඹකර ක්‍රියාකරු මෙවන් ඉරනමකට ගොදුරු නොවන බවත් කම්කරුවෝ පැවසූහ. විශේෂඥ දැනුමක් ඇති කම්කරුවෙක් කියා සිටියේ, නවීන ට්‍රාන්ස්ටේනර් දොඹකර වල මෙවන් අනතුරු වැලැක්වීම සඳහා සංවේදකයන් (sensors) යොදා ඇති බවයි. එවන් සංවේදක ක්‍රමයක් තිබුනේ නම් මෙම ගැටුම වැලකී, ඉන්දිකගේ ජීවිතය ද රැකෙන බව ඔහු පැවසීය.
කොලඹ වරායේ අනෙක් පර්යන්තයන්හි ද කම්කරුවන් රැකියාවේ යෙදෙන්නේ ඉතා අන්තරායකාරී තත්වයන් යටතේ ය.
කම්කරුවෙක් මෙසේ පැවසී ය: “වරායට නැවක් පැමින ආරක්ෂිතව සියලු රැහැන් යෙදිමෙන් පසු නිරාපද නිලධාරියෙකු ප්‍රථමයෙන් එයට ගොඩ වී ආරක්ෂාව තහවුරු කිරිමෙන් පසුව සෙසු කම්කරුවන් නැවට ගොඩවිය යුතුයි. නමුත් කොලඹ වරායේ කරනුයේ නෞකාව ජැටියට ලංවනවාත් සමග එයට ගොඩවන වේදිකාව (ship side gangway) පහත් කරන අතර මිනිස් බල කම්කරුවො අනාරක්ෂිතව නැවට පනිනවා. සියලු රැහැන් යොදා අවසන් වනවිට දොඹකර පහත් කර බහාලුම් කිපයක් ගොඩබාලත් අවසන්.”
මෙසේ අනතුරු දායක ලෙස වැඩ වේගවත් කිරිමෙන් නැව් නියෝජිතයාට වරායෙන් ඉතා ඉක්මනින් නැව පිටත් කිරිමටත් වරායට ගෙවන ගාස්තු අඩුකර ගැනිමටත් අවස්ථාව ලැබෙන බව ද ඔහු පැවසී ය.
2024 අගෝස්තු 11 දා, වරායේ නැංගුරම් ලා තිබූ භාන්ඩ ප්‍රවාහන නෞකාවක ගින්නක් සහ පිපිරීමක් ඇති වූ අතර, 2025 ජනවාරි 18 දා ආලෝක කුලුනක් කඩා වැටීමෙන් එක් අයෙක් මියගිය අතර කීපදෙනෙක් තුවාල ලැබූහ. කෙසේ නමුත්, මෙම අනතුරු හා මරන සම්බන්ධයෙන්, පාලනාධිකාරීන් මෙන්ම වරාය වෘත්තීය සමිති නිලධරය නිහඬ ය.
රැකියා ස්ථානයන්හි මෙම අනාරක්ෂිතභාවය ශ්‍රී ලංකාවට පමනක් විශේෂිත වූවක් නොවේ. ධනවාදයේ ගැඹුරුවන අර්බුදය මධ්‍යයේ සෑම ධනපති රටක ම මෙම තත්වය වර්ධනය වෙමින් පවතී. ජාත්‍යන්තරව ගතහොත්, සෑම වසරකම රැකියා ස්ථානයේ තුවාල හා රෝග හේතුවෙන් කම්කරුවන් මිලියන 2.9 ක් මිය යන බවට ඇස්තමේන්තු කර ඇත. දිනකට ආසන්න වශයෙන් 8,000 ක් මෙසේ අනතුරු වලට සහ රෝගාබාධ වලට ලක්වේ.
අප්‍රේල් 7 වන දින, එක්සත් ජනපදයේ, ස්ටෙලැන්ටිස් ඩන්ඩි එන්ජින් සංකීර්නයේදී, ගැන්ට්‍රි දොඹකරයක් හදිසියේම ක්‍රියාත්මක වීමෙන්, 63 හැවිරිදි දක්ෂ වෘත්තීය ප්‍රවීනයෙකු පොඩි පට්ටම් වී මරනයට පත්වීම සම්බන්ධයෙන්, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය ආරම්භකොට ඇති පරීක්ෂනය, හුදෙක් එම මරනය සම්බන්ධයෙන් පමනක් නොව, ලොව පුරා සිදු වන මෙම කාර්මික අනතුරු පිලිබඳව විමර්ශනය කරයි. එමෙන්ම එම අනතුරුවල මූලය, නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය මත ලාභය සඳහා සියල්ල නිෂ්පාදනය කෙරෙන ධනවාදය බව තහවුරු කරයි.
ඉහත පරීක්ෂනයේ කොටසක් ලෙස ජූලි 27 දා පැවති ප්‍රසිද්ධ රැස්වීමක දී ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් මෙසේ පැවසී ය:
“මෙය (කාර්මික අනතුරු) මේ රටේ පමනක් නොව ලෝකයේ සෑම ප්‍රදේශයක ම අප ජීවත් වන ක්‍රමයේ නිෂ්පාදනයකි. අපගේ සමාජ ජීවිතය, අපගේ ආර්ථික ජීවිතය, මෙම ව්‍යසනයන් නොකඩවා ඇති කරන ආකාරයකින් සංවිධානය වී ඇති අතර, මෙම ව්‍යසනයන් ඇති කරන පද්ධතියට අවසානයක් තැබීමේ මාර්ගයක් සොයා නොගතහොත් ඒවා දිගට ම පවතිනු ඇත.”
ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහා ඔබට ද මෙම පරීක්ෂනයට දායක විය හැක. විශේෂයෙන්ම, ලක්මාල් ඉන්දිකගේ මරනයට හේතු වූ කරුනු සහ දඩයමට ලක්ව සිටින දොඹකර ක්‍රියාකරු පිලිබඳ විස්තර ඔබ දන්නේනම් පහත දුරකථන අංකයට දැනුම් දෙන ලෙස වරායේ කම්කරුවන්ගෙන් සහ ඉන්දිකගේ සේවා සගයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.
දුරකථන අංකය: 0773562327