[මෙය Sri Lanka: SEP bids farewell to long-standing Trotskyist Ananda Daulagala යන මැයෙන් 2025 අගෝස්තු 17 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
ආනන්ද දවුලගල සහෝදරයාට අවසන් ගෞරව දැක්වීම සඳහා අගෝස්තු 14දා, ඔහුගේ පවුලේ සාමාජිකයෝ, සහෝදරවරු සහ මිතුරෝ මහනුවර මහයියාව පොදු සුසාන භූමියට යාබද අවමංගල්‍ය ශාලාවට රැස්වූහ. ඔහු හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ප්‍රමුඛ යාවජීව සාමාජිකයෙකු විය.
පක්ෂ සහෝදරවරුන් සහ මිතුරන් අතර “දවුලේ” යන ආදරනීය නාමයෙන් හැඳින්වුනු දවුලගල, දිගු කාලීන අසනීපයකින් පසු, අගෝස්තු 13දා තම නිවසේ දී මිය යන විට, ඔහුගේ වයස අවුරුදු 77 කි.
දවුලගල, සසප පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) සාමාජිකයෙකු බවට පත් වූයේ, 1980 දී රාජ්‍ය අංශයේ දීපව්‍යාප්ත මහා වැඩ වර්ජනය අතරතුර ය. එතැන් පටන්, පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ දේශපාලන කමිටුවේ සාමාජිකයෙකු ලෙස විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමට අනවරත ව කැප වුනේ ය.
දවුලගල වසර කිහිපයකට පෙර අංශභාග රෝගයට ගොදුරු වන තෙක් ම දීර්ඝ කාලයක් තිස්සේ මහනුවර ශාඛාවට නායකත්වය දුන්නේ ය.එමෙන්ම, ඔහු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ඉංග්‍රීසි භාෂාවෙන් පලවන ලිපි නිතිපතා සිංහලට පරිවර්තනය කල අතර පක්ෂ පරිවර්තන කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කලේ ය.
අවමංගල්‍යය උත්සවය බ්‍රහස්පතින්දා (14) පස්වරුවේ මහනුවර මහයියාව සුසාන භූමියේ දී පැවැත්වුනි. එයට පවුලේ සාමාජිකයෝ, සසප සහෝදරවරු සහ රට පුරා මිතුරෝ සියගනනක් සහභාගී වූහ.
දවුලගලගේ දේහය අවමංගල්‍ය ශාලාවේ සිට, සගාර්ව පාගමනකින්, යාබද සුසාන භූමිය දක්වා රැගෙන යන ලදි. මෙම චිර කාලීන ට්‍රොට්ස්කිවාදියාගේ ජීවිතය හා දේශපාලන දායකත්වයට බුහුමන් කරනුවස් ආදාහනයට පෙර, සසප අනුස්මරන රැස්වීමක් පැවැත්වීය.
රැස්වීමේ ආරම්භක සැඳහුම් සිදුකල සසප දේශපාලන කමිටු සාමාජික පානි විජේසිරිවර්ධන, දවුලගල සමඟ තම දශක ගනනාවක් පුරා පැවති දේශපාලන හවුල්කාරීත්වය ගැන සිහිපත් කලේ ය.
දවුලගල 1980 ජූලි මාසයේ විකොස සාමාජිකත්වය ලබාගනිමින්, ඉනික්බිතිව ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික ධනේශ්වර ආන්ඩු විසින් ගෙන ගිය මර්දනයට එරෙහිව නිර්දය සටනක් දියත් කල බව විජේසිරිවර්ධන පැහැදිලි කලේය.
“කෙතරම් දුෂ්කරතාවන් ආවත් ඒවා මධ්‍යයේම ඔහු අරගලය ඉදිරියට ගෙන ගියා”, විජේසිරිවර්ධනය සඳහන් කලේ ය. “1984 දී, ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීමට ගෙනආ ධවල පත්‍රිකාවට එරෙහිව විකොස ගෙන ගිය අරගලය මධ්‍යයේ, එයට එරෙහිවූ නිසා එවකට එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව ඔහුව දින 28ක් රිමාන්ඩ්භාරයේ තැබුවා”.
විජේසිරිවර්ධන, දවුලගලගේ දියනිය වන විදුරංගා සමඟ ඇතිවූ කෙටි සංවාදයක් ගැන විස්තර කරමින්, ඇය තම පියා —තමන්ගේ පමනක් නොව, ලොව පුරා සිටින—දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සටන් කිරීමට තම ජීවිතය කැප කල, අධිෂ්ඨාවත් පක්ෂ සටන්කරුවෙකු ලෙස විස්තර කල බව කීවේ ය.
“එයා සමහර වෙලාවට, ලඟපාත (ඔහු එකල පදිංචිව සිටියේ ගන්නෝරුවේ ය) පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුන් හා කම්කරුවන්ගේ සාකච්ඡා මන්ඩපයක් බවට අපේ ගෙදර පත් කලා,” විදුරංගා ඇගේ පියාගේ දේශපාලන ක්‍රියාකාරකම් සිහිපත් කරමින් සඳහන් කර තිබිනි.
දවුලගල අසනීපවූ පසුව පවා, “ඔහුගේ මූලිකම අවධානය යොමුවෙලා තිබුනේ, පක්ෂයේ වර්ධනය වගේම, ගෝලීය ධනේශ්වර ක්‍රමයේ උග්‍රවන දේශපාලන අර්බුදය පිලිබඳව යි.” විජේසිරිවර්ධන සිය කතාව අවසන් කලේ, “විප්ලවවාදී පක්ෂය ගොඩනැගීම සඳහා, දවුලගල වැනි ට්‍රොට්ස්කිවාදී නායකයින් අත්‍යවශ්‍ය බව” සඳහන් කරමිනි.
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) කර්තෘ මන්ඩල සාමාජික හා ජාතික කර්තෘ මෙන්ම, සසප දේශපාලන කමිටු සාමාජික කේ. රත්නායක රැස්වීමේ මූලික කතාව සිදුකලේ ය. ඔහු කතාව ආරම්භ කලේ, “දවුලගල සහෝදරයා පක්ෂයට බැඳුන තැන ඉඳලා, ට්‍රොට්ස්කිවාදියෙකු ලෙස තම යාවජීව සටන ආරම්භ කල දිනයේ සිට දන්න, ඔහු සමග එකට වැඩකල සහෝදරයෙකු ලෙස මම කතා කරන්නේ” යැයි සඳහන් කරමිනි.
ට්‍රොට්ස්කිවාදය සඳහා ජීවිත කාලය පුරාම සටන්කල විප්ලවවාදියෙකු ලෙස, දවුලගලගේ දේශපාලන ශක්තිය, සසප නියෝජනය කරන ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය සහ ක්‍රියාමාර්ගය මත ගැඹුරින් පදනම්වූ බව රත්නායක කීවේය. ඔහුගේ විප්ලවවාදී දේශපාලන වැඩ කටයුතු, ඔහු ජීවත් වෙමින් වැඩ කල මහනුවර වතු කම්කරුවන්, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් සහ සේවකයින් අතර ව්‍යාප්තව පැවතිනි.
මීට වසර 13 කට පෙර, 2012 සබරගමුව පලාත් සභා මැතිවරනයේදී කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා සසප මැතිවරන අපේක්ෂකයෙකු ලෙස තරඟ කල දවුලගල සමඟ ලෝසවෙඅ සිදුකල සම්මුඛ සාකච්ඡාවකින් රත්නායක උපුටා දැක්වීය.
“මෙම මැතිවරනයට තරඟ කරන එකම කම්කරු පන්තික පක්ෂය අපි. කම්කරුවන්, දුගීන් හා තරුනයින් මුහුන දෙන දුෂ්කර කොන්දේසි විසඳීමේ ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක් අප ඉදිරිපත් කරනවා,” දවුලගල එම සාකච්ඡාවේ දී පැවසී ය.
ඔහු මෙසේද කීවා, “කෑගල්ල ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු හා ඒ සඳහා සමාජවාදී විසඳුම්, ජාතික, කලාපීය හා ජාත්‍යන්තර වැඩකරන ජනතාවගේ අවධානයට යොමු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මොකද, මෙම අභියෝගයන් ජයගැනීම පිනිස කම්කරු පන්තියේ එවන් ජාත්‍යන්තර අවධානයක් හා මැදිහත් වීමක් අවශ්‍යයි.”
කම්කරු පන්තියේ අවශ්‍යතා සඳහා වන සටනේ දී දවුලගල සහෝදරයාගේ ජාත්‍යන්තරවාදී දැක්ම, මෙම අදහස් මගින් ඉස්මතු කෙරෙන බව රත්නායක පැවසීය.
ලෝක අධිරාජ්‍යවාදයේ වඩ වඩාත් නරක අතට හැරෙමින් පවතින දේශපාලන අර්බුදය මධ්‍යයේ ක්‍රියාත්මක වන සසප ජාත්‍යන්තරවාදී වැඩසටහන ද රත්නායක ගෙනහැර දැක්වූවේ ය. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ ඉදිරිපත් කරන ෆැසිස්ට් න්‍යාය පත්‍රය ලොව පුරා වැඩ කරන ජනතාවට බරපතල ඇඟවුම් ඇති කරන බවට ඔහු අනතුරු ඇඟවූයේ ය.
අධිරාජ්‍යවාදී බලවතුන් විසින් දැන් ඉදිරියට ගෙන යනු ලබන තුන්වන ලෝක යුද්ධයක් සඳහා වන සූදානම පරාජය කිරීමට—එහි ජාත්‍යන්තර සහෝදර පක්ෂ සමඟ එක්ව—ජාත්‍යන්තර කම්කරු පන්තිය සංවිධානය කිරීමට සටන් වදින ශ්‍රී ලංකාවේ එකම පක්ෂය, සසප බව ඔහු තවදුරටත් පැවසීය.
“ලෝක වර්ධනයන් සහ ලෝක සමාජවාදී විප්ලවයේ වැඩපිලිවෙල සඳහා සටන් කිරීමේ අවශ්‍යතාවය කෙරෙහි දවුලගල සැමවිටම දැඩි අවධානයක් යොමු කලා. ඒ නිසා ම ඔහු මෙම පක්ෂය ගොඩනැගීම සඳහා තම ජීවිතය කැප කලා.”
රත්නායක සිය කතාව අවසන් කලේ, දවුලගලගේ ජීවිතයේ සහ දේශපාලන අරගලයේ වැදගත්කම ගැන සැලකිල්ලට ගන්නා ලෙස පවුලේ අය, ඥාතීන්, හිතවතුන් ඇතුලු පැමින සිටි අයගෙන් ඉල්ලා සිටිමිනි.
ලෝසවෙඅ, දවුලගල සහෝදරයාගේ සම්පූර්න මරනස්මෘතියක් වෙනම පල කර ඇත.