හිටපු ජනාධිපති වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම

[මෙය, Former Sri Lankan President Wickremesinghe arrested යන මැයෙන් 2025 අගෝස්තු 26දා පල කෙරුනු ලිපියේ පරිවර්තනය යි.]

විදේශ සංචාරයකදී මහජන මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සිකුරාදා (22) අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව (සීඅයිඩී) විසින් අත්අඩංගුවට ගෙන, අගෝස්තු 26දා පැවැත්වීමට නියමිතවූ දෙවන නඩු විභාගය තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුනි.

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, 2025 අගෝස්තු 22දා අධිකරනයේ සිට කොලඹ බන්ධනාගාරයකට ගෙන යන බස් රථයක් තුල දී තම මාංචු පෙන්වමින්. [AP Photo/Eranga Jayawardena]

වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම පෙර නූවූ විරූ ආකාරයේ එකකි. මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූයේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) විසින් නියම කල විනාශකාරී කප්පාදු වැඩපිලිවලට එරෙහිව වැඩෙන මහජන විරෝධයෙන් සංකීර්නවී, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආන්ඩුව මුහුනදී සිටින දේශපාලන අර්බුදය වඩාත් තීව්‍ර වෙමින් පවතින තත්ත්වයක ය.

ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජනතා බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, වැඩ කරන ජනතාව මත බදු පනවමින් අයවැය කප්පාදු පැනවීමට කැපව සිටින අතර, මිල සහනාධාර කපා දමමින්, අධ්‍යාපනය සහ සෞඛ්‍ය ඇතුලු අත්‍යවශ්‍ය සමාජ සේවාවන් තුලට තවදුරටත් කෙරෙන දැවැන්ත කප්පාදු සිදුකරමින් තිබේ. රාජ්‍ය ව්‍යවසායන් (රාව්‍ය) 400 කට වැඩි ප්‍රමානයක් පෞද්ගලීකරනය හෝ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සැලසුම් කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ලක්ෂ සංඛ්‍යාත රැකියා අතුගා දැමෙනු ඇත.

ආන්ඩුව බලයට පැමින වසරකටත් අඩු කාලයක දී මුහුනදී ඇත්තේ, ඉහලයන වැඩවර්ජන සහ කාර්මික ක්‍රියාමාර්ග රැල්ලකට ය. ආන්ඩුවේ හිස් පොරොන්දු මත වෘත්තීය සමිති විසින් අත්හිටුවන තෙක්, දහස් ගනනක් තැපැල් සේවකයෝ, වැටුප් හා සේවා කොන්දේසි පිලිබඳ ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් සතියක් පුරා අඛන්ඩ ජාතික වැඩ වර්ජනයක නිරතව සිටියහ.

2025 අයවැයෙන් වැටුප් කප්පාදු කිරීමට එරෙහිව, රට පුරා රාජ්‍ය විශ්ව විද්‍යාලවල අනධ්‍යයන සේවකයෝ, පසුගිය බදාදා (20) එක්දින වැඩ වර්ජනයක් ගෙනගියහ. ආන්ඩුවේ ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම්වලට එරෙහිව, ජූලි 22දා අසනීප නිවාඩු වර්ජනයක් පැවැත්වූ රජයට අයත් ලංකා විදුලිබල මන්ඩලයේ සේවකයින්, තවදුර ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය කර තිබේ. සිසුන්, රැකියා විරහිත උපාධිධාරීන් සහ ගොවීන් ද විරෝධතා පවත්වා ඇත.

කම්කරුවන්ගේ ඉල්ලීම් කිසිවක් ඉටු කිරීමට නොහැකි තත්වය තුල, වඩ වඩාත් මර්දනකාරී පියවරයන් වෙත ආන්ඩුව යොමුව සිටියි. පසුගිය සිකුරාදා (22), වික්‍රමසිංහ අත්අඩංගුවට ගත් දිනයේම, තැපැල් වර්ජනය බිඳ දැමීම සඳහා ආන්ඩුව හමුදාව යෙදවීය. ගොඩගැසී තිබූ විශාල පාර්සල් තොග ඉවත් කිරීම සඳහා හමුදා නිලධාරීන් කොලඹ මධ්‍යම තැපැල් හුවමාරුවට දිගේලි කලේ ය. වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සේවයෙන් නෙරපා හරින බවට ද ආන්ඩුව තර්ජනය කලේය.

2022 සිට 2024 දක්වා ජනාධිපති ධුරය දැරූ වික්‍රමසිංහ, සුලු දූෂන චෝදනාවක් මත අත්අඩංගුවට ගැනීමට ආන්ඩුව ගත් තීරනය, වැඩ කරන ජනතාවගේ සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල කෙරෙන කුරිරු ප්‍රහාරවලින් මහජන අවධානය වෙනතකට හැරවීමට ගත් මංමුලා සහගත ප්‍රයත්නයකි.

එක්සත් ජනපදයේ නිල සංචාරයකින් පසු, ලන්ඩනයේ පැවති තම බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා, මහජන මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් වික්‍රමසිංහට චෝදනා එල්ල වී තිබේ. මෙය සත්‍ය බව සනාථ වුවත්, මෙම චෝදනා, කොලඹ දේශපාලන සංස්ථාපිතය තුල දැවැන්ත පරිමානයෙන් පවතින දූෂන හා සැසැඳූ කල ලේෂමාත්‍රයකි.

වික්‍රමසිංහ හුදකලා කොට ඔහුට ගැසීමට හැකිව ඇත්තේ, ඔහු 2022 දී අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවල ආරම්භ කිරීමත්, ඔහුගේ ආන්ඩුවේ පිලිවෙත්වලට එරෙහි මහජන විරෝධය මර්දනය කිරීම සම්බන්ධයෙන් පලල් වැඩ කරන ජනතාව අතර ගැඹුරින්ම පිලිකුලට පාත්‍රව සිටීමත් නිසා ය. කෙසේ වෙතත්, ඔහු බලයේ ඉන්දවන ලද්දේ, රටේ ගැඹුරු ආර්ථික හා දේශපාලන කැලඹීම් මධ්‍යයේ, අයිඑම්එෆ් නය පහසුකම ලබාගැනීමට එකඟවූ ජනතා විමුක්ති පෙරමුන ඇතුලු සියලුම පාර්ලිමේන්තු පක්ෂවල සහාය ද ඇතිව ය.

කොවිඩ්-19 වසංගතය සහ යුක්‍රේන යුද්ධය මගින් අවුලුවන ලද ගැඹුරු ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුන දුන්, පෙරපැවැති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවට විදේශ නය ගෙවීම පැහැර හැරීමට බල කෙරුනි. අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගනන් මෙන්ම හිඟය ද ක්ෂනිකව ම ඉහල ගිය අතර එය රට පුරා පුලුල් විරෝධතා ඇවිලවූවේ ය. දෛනිකව විදුලිය විසන්ධි කිරීම් සාමාන්‍ය දෙයක් විය. 2022 අප්‍රේල්-ජූලි මාසවල, හමුදාව බලමුලු ගැන්වීමට අභියෝග කරමින් දසලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්, තරුනයින් සහ ගම්බද දුප්පතුන් සම්බන්ධ කර ගනිමින් සිදුවූ මහජන නැගිටීම, රාජපක්ෂට ඉල්ලා අස්වී රටින් පලා යාමට බල කලේය.

දක්ෂිනාංශික වික්‍රමසිංහ අගමැති ධුරයටත්, ඉනික්බිති, ජනාධිපති ධුරයටත් පත් කරනු ලැබුවේ, ඔහුට කිසිදු මහජන සහයෝගයක් තිබුනු නිසා නොවේ. ඇත්ත වශයෙන්ම, ඔහු ඔහුගේ එක්සත් ජාතික පක්ෂයේ (එජාප) එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විය. නමුත් ඔහුගේ දීර්ඝ කාලීන ඇමරිකානු-ගැති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පක්ෂපාතී වාර්තාව නිසා, ශ්‍රී ලංකාවේ ධනවාදය බේරාගෙන, ධනේශ්වර පාලනයට පිටුබලය දිය හැකි පුද්ගලයෙක් ලෙස සලකා ඔහු බදාගන්නා ලදි.

එම උග්‍ර දේශපාලන අර්බුදය අතරතුර, ජනතා විමුක්ති පෙරමුන සහ අනෙකුත් විරුද්ධ පක්ෂ, අන්තර්වාර පාර්ලිමේන්තු ආන්ඩුවකට - එනම්, අපකීර්තිමත් ධනේශ්වර පක්ෂවලින් සැදුම්ලත් ආන්ඩුවක්- සඳහා වූ ඔවුන්ගේ ඉල්ලීම සමඟින්, පාර්ලිමේන්තු දේශපාලනයේ පතුලක් නැති ආගාධයට මහජන ව්‍යාපාරය හරවා යැවීමේ මූලික රාජකාරිය ඉෂ්ට කලේ ය. වික්‍රමසිංහ බලයට පත් කරනු ලැබුවේ මැතිවරනයකින් නොව, පාර්ලිමේන්තු ඡන්දයක් හරහා ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයෙනි.

වික්‍රමසිංහ ආන්ඩුව, මුලු රටම සලාක මත පිහිටුවමින් ඇමරිකානු ඩොලර් බිලියන 3ක ඇප නයක් සඳහා අයිඑම්එෆ් සමඟ ගිවිසුමකට එලැඹුනි. අයිඑම්එෆ් වාරික මගින් ගෙවුම් ශේෂ අර්බුදය තාවකාලිකව යටපත් කරගැනීමට හැකියාව ලැබුනත්, ඒ දැවැන්ත සමාජ වියදමකිනි. වාරික දිගටම ලැබීමට අවශ්‍යනම්, ජාමූඅ අවධාරනය කරන දැඩි කප්පාදු පියවරයන් ක්‍රියාත්මක කිරීම හරහා ඒ බරදරා ගැනීමට වැඩකරන ජනයා තල්ලු කල යුතුය.

චිරාගතව වික්‍රමසිංහ ද නියෝජිතයෙකු වෙන බලගතු පවුල් අතලොස්සක් විසින් ආධිපත්‍යය දරන, සමස්ත දේශපාලන සංස්ථාපිතය කෙරෙහි ම පැතිරුනු වෛරය, පසුගිය වසරේ ජනාධිපතිවරන සහ පාර්ලිමේන්තු මැතිවරනවලදී පෙන්නුම් කෙරුනි. පූර්ව පාර්ලිමේන්තුවේ ආසන අතලොස්සක් පමනක් හිමිකරගෙන සිටි, කිසිදා පාලන බලය දරා නොතිබූ ජනතා විමුක්ති පෙරමුන සහ එහි මැතිවරන පෙරමුන වන ජාතික ජන බලවේගය, ජනාධිපති ධුරය සහ පාර්ලිමේන්තුවේ බහුතරයක් දිනා ගත්තේ ය.

සිංහල ස්වෝත්තමවාදය සහ සුලු ධනේශ්වර රැඩිකල්වාදය තුල මුල් බැසගත් පක්ෂයක් වන ජවිපෙ එසේ ජයග්‍රහනය කලේ, එය දිගුකාලීන ධනේශ්වර පාලනයේ පක්ෂවලට සැබෑ විකල්පයක් නියෝජනය කරන බවටත්, දූෂිත දේශපාලන සංස්ථාපිතයට විරුද්ධ “පිරිසිදු” පක්ෂයක් බවටත්, වැඩ කරන ජනතාවගේ දුක්ඛිත තත්ත්වය නිම කිරීම සඳහා අයිඑම්එෆ් සමඟ වඩා වාසිදායක ගනුදෙනුවක් සාකච්ඡා කරන බවටත් පැලකල මුසාවාදවල පදනම මත ය.

අවසාන ප්‍රකාශය ඉක්මනින්ම හෙලිදරව් කෙරුනි. නොවැම්බර් මාසයේ දී පාර්ලිමේන්තු මැතිවරනය ජයග්‍රහනය කිරීමෙන් දින කිහිපයක් ඇතුලත, මුදල් ඇමති ද වන ජනාධිපති දිසානායක ප්‍රකාශ කලේ, තම ආන්ඩුව අයිඑම්එෆ් ඉල්ලීම් අකුරටම ක්‍රියාත්මක කරන බවයි.

ඔහුගේ පාලනයේ මාස දහයක් ගෙවෙන තැන, අයිඑම්එෆ් ඇනවූ ම්ලේච්ඡ කප්පාදු න්‍යාය පත්‍රයෙන් වැඩි කොටසක් තවමත් ක්‍රියාත්මක කර නොමැති බවත්, යටින් පවතින ආර්ථික අර්බුදය පහව ගොස් නැතිවා පමනක් නොව, ශ්‍රී ලංකාවට විදේශ නය ගෙවීම නැවත ආරම්භ කිරීමට සිදුවන බවත් දිසානායක යහමින් දනී.

ට්‍රම්ප් පරිපාලනය විසින් ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරන භාන්ඩ සඳහා සියයට 20 ක තීරු බදු පැනවීමත් සමඟ ආර්ථික දුෂ්කරතා තවත් උග්‍ර වී ඇති අතර, මෙය, විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තයට දැඩිව බලපානු ඇත. ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (අයිපීඑස්) මෙම මාසයේ අනතුරු ඇඟවූයේ, ශ්‍රී ලංකාවේ අපනයනවලින් ඩොලර් මිලියන 634 ක් සහ රැකියා 16,000 ක් අහිමි වීමට මෙම තීරුබදු පැනවීම් හේතුවිය හැකි බවයි.

නොවැම්බර් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ 2026 සඳහා වන අයවැය, නිසැකවම කම්කරු පන්තියේ සහ දුප්පතුන්ගේ සමාජ තත්ත්වය, නිසැකව ම දැනටත් වඩා අන්ත ඛේදජනක තත්වයකට ඇද දමනු ඇත.

අයිඑම්එෆ් ඉල්ලීම් ක්‍රියාත්මක කරන අතරතුර, කම්කරුවන්, තරුනයින් සහ ගම්බද දුගීන් අතර නැගෙන කෝපය, 2022 මහජන නැගිටීම අභිබවා යන තරමේ මහජන ව්‍යාපාරයකින් පුපුරා ඉස්මත්තට ආ හැකිය යන්න ගැන ආන්ඩුව භීතියට පත්ව සිටී. ආන්ඩුව, දූෂන තුරුම්පුව නරුම ලෙස භාවිතා කරමින්, චිරාගත ශ්‍රී ලාංකික ප්‍රභූ පැලැන්තියේ අනුප්‍රාප්තිකයෙකු (වික්‍රමසිංහ) ඉලක්ක කර ඇත්තේ ඔහුට නිසි දඬුවම් ලැබුනේයැයි වැඩකරන ජනයාගේ පලල් කොටස් තෘප්තියට පත්වේයැයි හොඳින්ම දන්නා නිසා ය.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී මෙලෙස පුරසාරම් දෙඩවූයේ ය: “ආන්ඩුව ඔප්පු කරලා තියෙනවා, හිටපු පොලිස්පති හෝ හිටපු මන්ත්‍රීවරයෙකු හෝ හිටපු අමාත්‍යවරයෙකු හෝ හිටපු ජනාධිපතිවරයෙකු වේවා, පුද්ගලයෙකුගේ තරාතිරම නොතකා නීතියේ අධිකාරිය ක්‍රියාත්මක කරන බව”.

පසුගිය වසරේ මැතිවරන ව්‍යාපාරයේදී මෙන්, ආර්ථික හා සමාජ අර්බුදය, දූෂනයේ සහ නාස්තියේ ප්‍රතිඵලයක් බවට ජවිපෙ/ජාජබ කරන ප්‍රකාශය මුලුමනින්ම වංචනික ය. අනෙකුත් රටවල මෙන්ම, ශ්‍රී ලංකාවේ පාලක කවයන් තුල ද දූෂනය පැටව් ගසා ඇතිමුත්, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව වැඩ කරන ජනතාව මුහුන දෙමින් සිටින වඩ වඩාත් නරක අතට හැරෙන තත්වයන්ට වගකිව යුත්තේ, ධනේශ්වර ක්‍රමය යි.

ප්‍රධාන විරුද්ධ පක්ෂ වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම හෙලා දකිමින්, එය 'ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක්' සහ 'දේශපාලන පලිගැනීමේ තුච්ඡ ක්‍රියාවක්' ලෙස ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප), ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ), සමගි ජන බලවේගය (සජබ) සහ එක්සත් ජාතික පක්ෂය ඇතුලු මෙම සියලු පක්ෂවලට ඇත්තේ, ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාවන් පිලිබඳ දිගු ඉතිහාසයකි. ඔවුහු එකාවන්ව, අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවලට කැපවී සිටින නමුත්, අර්බුද සමයන්හි කම්කරු පන්තියට එරෙහිව දේශපාලන සංස්ථාපිතය තුල පවත්වාගෙන යා යුතුම වන එකමුතුවට මෙම අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය හානි කරනු ඇතැයි බිය වෙති.

කෙසේ වෙතත්, කම්කරු පන්තිය, වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම තමන් වෙත එල්ල කෙරුනු බරපතල අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතුය. ජවිපෙ/ජාජබ, තමන් ද අනිවාර්ය කොටසක් වන දේශපාලන සංස්ථාපිතයේ ප්‍රමුඛ සාමාජිකයෙකු අනෙකුන්ට ආදර්ශයක් ලෙස අත්අඩංගුවට ගැනීමට සූදානම් නම්, එයින් පෙන්නුම් කරන්නේ, ඔවුන් අයිඑම්එෆ් සහ මහා ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීම් බලයෙන් මහජනයා මත පැටවීමේදී කෙතරම් රුදුරුවනු ඇත ද යන්නයි. තැපැල් සේවකයින්ට එරෙහිව හමුදාව බලමුලු ගැන්වීමට සූදානම් බව දැනටමත් පෙන්වා ඇති ආන්ඩුව, ඔවුන් සාමූහිකව දොට්ට දැමීමට තර්ජනය කලේ ය.

කම්කරුවන්, ආන්ඩුව සමඟ මුහුනට-මුහුන ගැටුමකට දේශපාලනිකව සහ සංවිධානාත්මකව සූදානම් විය යුතුය. අවශ්‍ය වන්නේ ධනවාදය අහෝසි කර, කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා තරුනයින්, ගම්බද දුප්පතුන් සහ අනෙකුත් පීඩිත ස්ථර බලමුලුගන්වන, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම යි. අතලොස්සක් ධනවතුන්ගේ ලාභ පෝෂනය කිරීමට වෙනුවට, බහුතරයකගේ දැවෙන සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා සමාජය, සමාජවාදී මාවත් ඔස්සේ ප්‍රතිසංවිධානය කල යුතුය. මෙය දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා වන පුලුල් අරගලයක කොටසක් විය යුතුය; ඒ සඳහා ගෝලීය වශයෙන් කම්කරු පන්තියේ එකමුතුව තීරනාත්මක වේ.

Loading