2025 අගෝස්තු 2 - 9 අතර පැවති සසප ගිම්හාන පාසල හඳුන්වා දීම සඳහා සමාජවාදී සමානතා පක්ෂයේ (ඇමරිකා එක්සත් ජනපදය) ජාතික සභාපති සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් The place of Security and the Fourth International in the history of the Trotskyist movement මැයෙන් ඉදිරිපත් කරන ලද වාර්තාවේ පරිවර්තනය පහතින් පල කරමු. ඉදිරි සති කිහිපය තුල, පාසලේ පැවැත්වුනු සියලුම දේශන සහ ඒවායේ පරිවර්තන ලෝසවෙඅ විසින් ප්‍රකාශයට පත් කරනු ඇත.
1. එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයින් සහ ලොව පුරා සිටින හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන් හි සහෝදරවරුන්, සසප ද්විවාර්ෂික ගිම්හාන පාසලට සාදරයෙන් පිලිගැනීමට මම කැමැත්තෙමි. ඉදිරි දින හත තුල පැවැත්වෙන මෙම පාසල, ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය පිලිබඳ පරිපුර්න සමාලෝචනයක් සඳහා කැප කෙරේ.
2. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය සම්බන්ධයෙන් සිය විමර්ශනය ආරම්භ කලේ මීට අඩ සියවසකට ඉහත දී ය. පසුව “ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය” ලෙස හඳුන්වනු ලැබූ විමර්ශනය ආරම්භ කල යෝජනාව, 1975 මැයි මාසයේ දී ජාත්‍යන්තර කමිටුවේ හයවන සම්මේලනයේ දී සම්මත කර ගන්නා ලදී.
3. විමර්ශනයට තුඩු දුන් දේශපාලනික ගැටලු මතු වූයේ, 1974 අගෝස්තු 31 වන දින වර්කර්ස් ලීගයේ ජාතික කමිටුව විසින්, ටිම් වුල්ෆර්ත්ගේ පෞද්ගලික සහකාරිය වූ නැන්සි ෆීල්ඩ්ස්, මධ්‍යම ඔත්තු සේවයේ (සීඅයිඒ) ඉහල පෙලේ නිලධාරියෙකු සමඟ සමීපතම පවුල් සම්බන්ධතාවයක් ඇති බව සොයා ගැනීමෙන් පසුව, ජාතික ලේකම් ධුරයෙන් ඔහුව ඉවත් කිරීමට ගත් තීරනයෙනි. වුල්ෆර්ත් හිතාමතාම මෙම කරුන පක්ෂ නායකත්වයෙන් සඟවා තිබුනි.
4. එපමනක් නොව, 1974 අප්‍රේල් මාසයේ පැවති හජාජාක හි පස්වන සම්මේලනයට ඔහු සමඟ යාමට, වුල්ෆෝර්ත් විසින් ෆීල්ඩ්ස් ව තෝරාගෙන තිබුනි. ඇය එහි නියෝජිතයින් අතර ගැවසුනාය. ඔවුන් අතර පොලිස් රාජ්‍ය ඒකාධිපතිත්වයන් විසින් පාලනය කරන ලද—පේරු, ස්පාඤ්ඤය, පෘතුගාලය සහ ග්‍රීසිය වැනි—රටවල නීති විරෝධී තත්වයන් යටතේ තම කටයුතු කරගෙන ගිය සහෝදරවරු ද වූහ. වුල්ෆර්ත්, ඔහුගේ දේශපාලන වගකීම්, ඔහුගේ පෞද්ගලික කටයුතුවලට යටත් කරමින්, නියෝජිතයින්ගේ ආරක්ෂාව සහ සම්මේලනයේ සමස්ත ආරක්ෂාව අවදානමට ලක් කලේය.
5. ජාතික ලේකම් ධුරයෙන් වුල්ෆර්ත් ඉවත් කිරීමට සහ නැන්සි ෆීල්ඩ්ස් ගේ සාමාජිකත්වය අත්හිටුවීමට අමතරව, වර්කර්ස් ලීගය සහ ජාත්‍යන්තර කමිටුව, ඇයගේ පවුලේ සම්බන්ධතාවලට අමතරව, ඇයට සීඅයිඒ සංවිධානය සමඟ කිසියම් සම්බන්ධතාවයක් තිබේද යන්න තීරනය කිරීම සඳහා ලබා ගත හැකි වූ සාක්ෂි මත පදනම්ව, නැන්සි ෆීල්ඩ්ස් (හෙවත් නැන්සි කෝන්‍රීච්, හෙවත් නැන්සි ෆ්‍රොයිඩ්) ගේ පෞද්ගලික පසුබිම පිලිබඳව විමර්ශන කොමිසමක් ආරම්භ කලේ ය. නමුත් විමර්ශනය සිදුවෙමින් තිබියදී, වුල්ෆර්ත් සහ ෆීල්ඩ්ස් වර්කර්ස් ලීගය හැර ගියහ. වුල්ෆර්ත් සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන්, විභාග වෙමින් පවතින විමර්ශන කොමිසම “අධර්ම මර්දනාධිකරනයක්” ලෙස හෙලා දුටුවේය.
6. ඉල්ලා අස්වීමෙන් මාස කිහිපයක් ඇතුලත, වුල්ෆර්ත්—සමාජවාදී කම්කරු පක්ෂය විසින් ට්‍රොට්ස්කිවාදය පාවාදීමට එරෙහිව ඔහුගේ වසර 14 ක පූර්ව අරගලය ප්‍රතික්ෂේප කරමින්—නැවත සකප සමග එක් විය. ඔහු, සමාජවාදී කම්කරු පක්ෂය 1963 දී පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලය සමඟ නැවත එක්වීමේ සහ හතරවන ජාත්‍යන්තරයේ පදනම් මූලධර්ම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රධාන නිර්මාතෘවරයා වූ ජෝසප් හැන්සන්ගේ කතෘත්වයෙන් පල වූ ඉන්ටර්කොන්ටිනන්ටල් ප්‍රෙස් හි 1975 පෙබරවාරි-මාර්තු කලාපයේ ලිපි මාලාවක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද දීර්ඝ ලේඛනයක් ලිවීය.
7. තමන්ගේම පක්ෂයේ දේශපාලන ආරක්ෂාව නොසලකා හැරීමේ ඇඟවුම් බැහැර කල වුල්ෆර්ත්, වර්කර්ස් ලීගයේ දේශපාලන අර්බුදයට හීලිගේ මැදිහත්වීම හෙලා දුටුවේ, එය “පුද්ගලයාට අනුව ලෝකය නැවත සකස් කරන උමතු රූපාකාරයකි. ඔහු සීඅයිඒ නියෝජිතයන්ගෙන් වට වී සිටින බවට ඒත්තු ගෙන එම පදනම මත ඉදිරියට යයි” යනුවෙන් සඳහන් කරමිනි.
8. වුල්ෆර්ත්ගේ දෝෂාරෝපනයෙන් පසුව, හැන්සන්, ඉන්ටර්කොන්ටිනන්ටල් ප්‍රෙස් හි 1975 මාර්තු 31 වන දින සංස්කරනයේ, කම්කරු විප්ලවවාදී පක්ෂයේ නායකයාට එරෙහිව, “හීලිගේ අපෝහකයේ රහස” මැයෙන් හෙලාදැකීමක් ප්‍රකාශයට පත් කලේය. ඔහු මෙසේ ලිවීය:
වුල්ෆර්ත්, හීලිගේ අභිනය “උමතුවක්” ලෙස විස්තර කරයි. සමහර විට වඩාත් නිවැරදිව කිවහොත්, එයට “මනෝ විකාරය” වැනි නූතන යෙදුමක් භාවිතා කිරීම වඩාත් උචිත නොවේද?
මෙම යෙදුම ගැලපෙන්නේ නම්, සීඅයිඒ නියෝජිතයන් පිලිබඳ හීලිගේ උමතු හැඟීම් සහ ඔහුගේ ජීවිතයට එරෙහි කුමන්ත්‍රන මෙන්ම, ඔහුගේ කෝපය, “ආන්තික ප්‍රතිචාර” සහ අපෝහකයේ ආගන්තුක අනුවාදය සඳහා සැබෑ පැහැදිලි කිරීම් සෙවිය යුත්තේ ඔහුගේ දේශපාලනය, දාර්ශනික විධි විද්‍යාව හෝ පැබ්ලෝ හෝ කැනන් වැනි ප්‍රතිරූප තුල නොව, මනෝචිකිත්සකයින් විසින් වඩාත් හොඳින් තේරුම් ගනු ලබන මානසික ක්‍රියාකාරිත්වය තුල ය..
9. ආරක්ෂාව පිලිබඳ හීලිගේ සැලකිල්ල හැන්සන් විසින් හෙලා දැකීම සුදුසු සන්දර්භයක් තුල තබා බැලීම සඳහා, 1973 දී සමාජවාදී කම්කරු පක්ෂය තුලට දැවැන්ත එෆ්බීඅයි කාන්දුවීමක් පිලිබඳ තොරතුරු මතු වූ බව සිහිපත් කිරීම වටී. කුප්‍රකට කොයින්ටෙල්ප්‍රෝ (COINTELPRO) ලේඛන නිරාවරනය කිරීමෙන් හෙලි වූයේ, සංවිධානය පිලිබඳ ඔත්තු බැලීම සඳහා, එෆ්බීඅයි විසින් තොරතුරු සපයන්නන් 1,300 ක් දක්වා සංඛ්‍යාවක් කුලියට ගෙන තිබූ බවයි. නිල හෙලිදරව් කිරීම්වලට අනුව, අවම වශයෙන් තොරතුරු සපයන්නන් 301 ක් පක්ෂයට රිංගා ගෙන ඇත. ලේඛනවලින් පෙන්නුම් කලේ, සකප තුලට ඒජන්තතයින් රිංගා ගැනීම් 1941 වර්ෂය දක්වා ඈතට දිවෙන බවයි.
(පරිවර්තක: COINTELPRO යනු 1956 සහ 1971 අතර කාලය තුල එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශය විසින් සිදු කරන ලද රහසිගත සහ නීති විරෝධී ව්‍යාපෘති මාලාවක් වන අතර එය FBI විසින් කඩාකප්පල්කාරී ලෙස සැලකූ ඇමරිකානු දේශපාලන සංවිධාන නිරීක්ෂනය කිරීම, රිංගා ගැනීම, අපකීර්තියට පත් කිරීම සහ කඩාකප්පල් කිරීම අරමුනු කර ගෙන ඇත.)
10. සකප තුලට එෆ්බීඅයි හි දැවැන්ත විනිවිදීම ප්‍රසිද්ධියේ හෙලිදරව් වෙමින් තිබියදී, හැන්සන්, ආරක්ෂාව පිලිබඳ හීලිගේ කනස්සල්ල “මනෝ විකාරයක්” ලෙස සමච්චලයට ලක් කිරීම, අවම වශයෙන් කිවහොත්, දේශපාලනික වශයෙන් හෙලා දැකිය යුතු, වගකීම් විරහිත ක්‍රියාවකි. සමාජවාදී කම්කරු පක්ෂය සහ එහි තරුන සංවිධානය වන තරුන සමාජවාදී සන්ධානය විසින් ෆෙඩරල් ආන්ඩුවේ විනිවීමේ වැඩපිලිවෙලට එරෙහිව 1973 දී ගොනු කරන ලද නඩුවට පවා එය වල කපන ලදී. අනෙක් අතට, පක්ෂ ආරක්ෂාව පිලිබඳ සැලකිලිමත් වීම “මනෝ විකාරයේ” ප්‍රකාශනයක් වී නම්, එෆ්බීඅයි විනිවිදීම් ගැන මෙතරම් කලබැගෑනියක් කුමට ද?
11. හැන්සන් විසින් හීලි හෙලා දැකීමේ තවත් දුෂ්ට අංගයක් තිබුනි. 1960 ගනන්වල සහ 1970 ගනන්වල මුල් භාගයේදී, සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී තන්ත්‍රය විසින් සිය දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම සාධාරනීකරනය කලේ, ඔවුන් මානසික රෝගවලින් පෙලෙන බව පවසමිනි. ජීපීයූ හි සහ එන්කේවීඩී හි අනුප්‍රාප්තිකයා වූ කේජීබීය (පරිවර්තක: සෝවියට් රුසියානු රාජ්‍ය බුද්ධි අංශය), බොහෝ විට දේශපාලන විරුද්ධවාදීන් මනෝචිකිත්සකයින් වෙත යැවීය. නිකිතා කෘෂ්චෙව් තම ප්‍රසිද්ධ කතාවකදී, අපරාධ සහ සෝවියට් තන්ත්‍රයට එරෙහි විරෝධය, මානසික රෝග සමඟ පැහැදිලිවම සම්බන්ධ කලේය.
12. මෙම අපවාදය, දේශපාලන මර්දනයේ මෙවලමක් ලෙස මනෝචිකිත්සක සිරගත කිරීම භාවිතා කිරීමට අඩිතාලම දැමීය. මේ ආකාරයේ මර්දනයට ලක් වූවන් අතර විද්‍යාඥ ෂෝර්ස් මෙද්විදෙව්, ලේඛක යුලි ඩැනියෙල් සහ කවියන් වන අයෝසිෆ් බ්‍රොඩ්ස්කි සහ නටාලියා ගොර්බනෙව්ස්කායා ද වූහ. පාලන තන්ත්‍රය විවේචනය කල විරුද්ධවාදීන් සාමාන්‍යයෙන් “ප්‍රතිසංස්කරනවාදයේ ව්‍යාකූල මායාවන්” සහ “පෞරුෂයේ ව්‍යාකූල වර්ධනයක්” පවා ඇතියවුන් බවට රෝග විනිශ්චය කරන ලදී.
13. හීලි “මනෝ විකාරයෙන්” පෙලෙන බවට හැන්සන් කල හෙලාදැකීමේදී ඔහු ස්ටැලින්වාදී පන්නයේ අපවාදවලට යොමු විය. එවැනි ක්‍රමවේදයන් පිලිබඳ ඔහුගේ ප්‍රාගුන්‍යයේ මූලයන් අවසානයේ පැහැදිලි වනු ඇත.
14. ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය ආරම්භ කිරීමේ තීරනයට ආසන්න හේතු වලට වඩා වැදගත් වන්නේ එහි පුලුල් ඓතිහාසික සන්දර්භය යි. හැන්සන් විසින් 1975 අප්‍රේල් මාසයේ ප්‍රකාශයට පත් කරන ලද “හීලිගේ අපෝහකයේ රහස” නම් ලේඛනයට පිලිතුරු දෙමින්, කම්කරු විප්ලවවාදී පක්ෂයේ දේශපාලන කමිටුව මෙසේ ප්‍රකාශ කලේය:
ආරක්ෂක ප්‍රාගුන්‍ය පිලිබඳ අපගේ අවධාරනය, මාක්ස්, එංගල්ස්, ලෙනින් සහ ට්‍රොට්ස්කි විසින් සටන් කරන ලද විප්ලවවාදී ව්‍යාපාරයේ සම්ප්‍රදායන් සහ මූලධර්මවලට සම්පූර්නයෙන්ම අනුකූල වේ.
ආරක්ෂාව යනු වියුක්ත හෝ ද්විතීයික ප්‍රශ්නයක් නොවේ. තමන්ගේම සාමාජිකත්වය තුල විප්ලවවාදී විනය මත පදනම් නොවූ පක්ෂයකට, ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රයට මුහුන දීම, එය පෙරලා දැමීම හෝ නිර්ධන පංතියේ ආඥාදායකත්වය ස්ථාපිත කිරීම සඳහා කම්කරු පන්තියේ සහාය ලබා ගත නොහැක.
මෙය ආරක්ෂාව ඒකපාර්ශ්වික ආකාරයකින් ඉදිරිපත් කිරීමක් නොවේ. ඒ වෙනුවට, එය, කම්කරු පන්තිය තුල විප්ලවවාදී කේඩරයක් පුහුනු කිරීමේ දී කේන්ද්‍රීය දේශපාලන ප්‍රශ්නයක් ලෙස දැකිය යුතුය. බැරෑරුම් විප්ලවවාදී පක්ෂයක් තම කන්ඩායම්වල ආරක්ෂක ප්‍රශ්න සමඟ කටයුතු කිරීමේදී භීතියට පත් නොවේ; මන්ද, භීතිය මුසු වටපිටාවක පොලිස් විනිවිදීම් මැඩපැවැත්වීම සඳහා තම පෙරමුනු නිසි ලෙස සංවිධානය කල නොහැකි බැවිනි.
මෙයින් අදහස් කරන්නේ, සීඅයිඒ, එෆ්බීඅයි, එම්අයි5, එම්අයි6 යනාදී සංවිධානවල ප්‍රතිවිප්ලවවාදී කුමන්ත්‍රනවලට එරෙහිව විශාලතම තනි ඇපකරු වන්නේ, කම්කරු පන්තිය තුල ගැඹුරින් ම මුල් බැසගත් පුහුනු විප්ලවවාදී පක්ෂය බවට වන සවිඤ්ඤානකත්වය මත, ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්න සම්බන්ධයෙන් සෑම විටම සුපරීක්ෂාකාරී වීමයි.
හැන්සන්ගේ ලිපිය අපට ට්‍රොට්ස්කිවාදයේ ඉතිහාසයේ වැදගත් පිටු නැවත පෙරලා බැලීමට හැකියාව ලබා දෙයි. අපගේ ව්‍යාපාරය අතීතයේ දී තම කන්ඩායම්වල ආරක්ෂක පුහුනුව නොසලකා හැර, උපහාසයට ලක් කිරීම වෙනුවෙන් දරුනු මිලක් ගෙවීමට සිදුව ඇති බැවින්, මෙම ඉතිහාසය, සියලු ජය පරාජයන් සමග ඉදිරිපත් කිරීමට අපි බැඳී සිටිමු. හැන්සන්ට යටපත් කිරීමට අවශ්‍ය පිටු මේවාය.
වෛෂයික තත්වයන් විසින් හතරවන ජාත්‍යන්තරය ජනතාවගෙන් සැලකිය යුතු ලෙස හුදකලා කල නිසාත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ පෞද්ගලික ආරක්ෂාව අඛන්ඩව අනතුරේ හෙලූ නිසාත්, ස්ටැලින්ගේ ජීපීයූවට ට්‍රොට්ස්කි ඝාතනය කිරීමට හැකි විය. ඉතිහාසයේ වඩාත්ම කැපවූ දේශපාලන අනුගාමිකයින් විසින් ඔහු වටකරගෙන සිටියද, ඇතැමුන් ආරක්ෂක කටයුතුවලදී අස්ථිර වූ බැවින්, ජීපීයූ ඝාතකයාට ප්‍රහාරය එල්ල කිරීමට හැකි විය....
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සංශෝධනවාදීන්ගේ කෑගැසීම් සහ මොරදීම් වලට බිය නොවනු ඇත. ඔවුන්ට ඔවුන්ගේ මුහුනු නිල් පැහැයට හැරෙන තුරු, අපව “කට්ටිවාදීන්” සහ “මනෝ විකාරයෙන් පෙලෙන්නන්” ලෙස හැඳින්විය හැකි ය. මෙම ලේබල් භාවිතා කිරීමෙන්, ඇත්ත වශයෙන්ම ඔවුන් පහර දෙන්නේ, ජාත්‍යන්තර කමිටුවේ මූලධර්ම සඳහා වන අරගලයට සහ අපගේ කන්ඩායම්වල විනය සහ ආරක්ෂක සුපරීක්ෂාකාරිත්වය කෙරෙහි පවතින අවධානයට ය. හැන්සන්ගේ ජාත්‍යන්තර කාන්ඩගැසීම් වල මුද්‍රාව වන, මධ්‍යම පන්තික මංකොල්ලකාරයන් සහ අතිධාවනකාරින් සඳහා අප සූදු තිප්පොලක් ගොඩනඟන්නේ නැත. එම මාවත සීඅයිඒ සහ පොලිසියේ කාන්දුවීම් වලට විවෘත ආරාධනයකි; මන්ද, පොලිසියේ මුඛ්‍යාංග යහමින් ක්‍රියාත්මක වන්නේ එවැනි මූලාවයව අතර බැවිනි.
හැන්සන්ට ආරක්ෂක ප්‍රශ්නය සැඟවීමට අවශ්‍ය වේ; අපට අවශ්‍ය වන්නේ, අපගේ ව්‍යාපාරය පුහුනු කරමින් සහ ගොඩනඟමින්, එය නගාසිටුවීමට ය. වුල්ෆර්ත්ට එරෙහිව පියවර ගත්තේ ඇයි සහ අවශ්‍යතාවයක් ඇති වුවහොත් අනාගතයේදී ඒ හා සමාන පියවර නැවත ගනු ලබන්නේ ඇයි ද යන්න පැහැදිලි කිරීම සඳහා ට්‍රොට්ස්කිවාදයේ ඉතිහාසයේ පිටු නැවත පෙරලා බැලීම අවශ්‍ය යැයි අපට හැඟෙන්නේ එබැවිනි.
15. 1975 මැයි මාසයේදී ජාත්‍යන්තර කමිටුව සිය හයවන සම්මේලනය පවත්වා, ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය විමර්ශනය ආරම්භ කිරීම සඳහා ජෙරී හීලි විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව පිලිගැනීමට ඒකමතිකව ඡන්දය දෙන විට, ඝාතනය සිදුවී හරියටම වසර 35 ක් ගතවී තිබුනි. සාපේක්ෂව සලකා බලන විට, අපට 1990 සිදුවීමක් මෑත කාලීන වන්නා සේ, එකල දී ලියොන් ට්‍රොට්ස්කිගේ ඝාතනය මෑත සිදුවීමක් විය. ට්‍රොට්ස්කි මිය යන විට හතරවන ජාත්‍යන්තරයේ සහ සකප ක්‍රියාකාරීව සිටි බොහෝ දෙනෙක් තවමත් ජීවතුන් අතර සිටියහ. මෙම පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙක් බෙහෙවින් වයස්ගත අය නො වූහ.
• 1932 සිට 1939 දක්වා ට්‍රොට්ස්කිගේ ලේකම් ලෙස කටයුතු කල ජීන් වැන් හෙයිනූර්ට් සමඟ මා 1975 සැප්තැම්බර් මාසයේදී සම්මුඛ සාකච්ඡාවක් පවත්වන විට ඔහුගේ වයස අවුරුදු 63 කි.
• 1939-40 කාලයේ කොයෝකාන්හි ට්‍රොට්ස්කිගේ ආරක්ෂක භට කන්ඩායමේ නායකයා ලෙස සේවය කල හැරල්ඩ් රොබින්ස්, 1975 ගිම්හානයේදී වර්කර්ස් ලීගයට සම්බන්ධ කර ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 67 කි..
• 1939-40 කාලයේ සකප දේශපාලන කමිටුවේ ප්‍රමුඛ සාමාජිකයෙකු වූ ෆීලික්ස් මොරෝ, 1976 දී මා ඔහුව මුනගැසෙන විට ඔහුගේ වයස අවුරුදු 71 කි.
16. ට්‍රොට්ස්කිට එරෙහි කුමන්ත්‍රනයේ ප්‍රධාන චරිත බොහෝදෙනෙක් තවමත් ඔවුන්ගේ හැට ගනන්වල පසුවූහ.
• විමර්ශනය ආරම්භ වන විට ට්‍රොට්ස්කිගේ ඝාතකයා වූ රේමන් මර්කාඩර් 61 හැවිරිදි වූ අතර සෝවියට් සංගමයේ ජීවත් විය.
• හතරවන ජාත්‍යන්තරය තුල ක්‍රියාත්මක ව සිටි ජීපීයූ ඒජන්තයින් අතරින් වඩාත්ම වැදගත් වූ මාර්ක් ස්බොරොව්ස්කි, 1975 අගෝස්තු මාසයේදී සැන් ෆ්‍රැන්සිස්කෝ මහල් නිවාස ගොඩනැගිල්ලෙන් පිටත, ඔහුගේ බිරිඳ සමග සිටියදී ම'විසින් ඡායාරූප ගත කරන විට ඔහුගේ වයස අවුරුදු 67 කි.
• ජෝසප් හැන්සන්ගේ වයස අවුරුදු 65 කි.
• සකප නායක ජේම්ස් පී. කැනන්ගේ පුද්ගලික ලේකම් බවට පත් වූ ජීපීයූ ඒජන්ත සිල්වියා කැලන් 63 හැවිරිදි වියේ පසුවිය.
• ජැක්සන්ව ට්‍රොට්ස්කිට හඳුන්වා දුන් සිල්වියා ඇගෙලොෆ්ගේ වයස අවුරුදු 65 කි.
17. මා 1975 දී මෙම පුද්ගලයින් සහ ඔවුන්ගේ වයස් කාන්ඩ ගැන සඳහන් කලේ, විමර්ශනය ආරම්භ වන කාලයේ දී, ඝාතනය “පුරාන ඉතිහාසයක්” නොවන බව අවධාරනය කිරීමට ය. ඓතිහාසික වශයෙන් ගත් කල, ට්‍රොට්ස්කිගේ ඝාතනය, මෑත කාලීන සිදුවීමක් නොවේ නම්, අඩු තරමින්, බොහෝ ජීවමාන පුද්ගලයින්ගේ දේශපාලන මතකය තුල හොඳින් රැඳී පැවති සිදුවීමකි. නමුත්, ඒ කාලයේ දී, සකප සාමාජිකයෝ සහ ජෝසප් හැන්සන්ගේ ආරක්ෂකයෝ, “මේ තරම් කාලයකට පෙර” සිදු වූ ලියොන් ට්‍රොට්ස්කිගේ ඝාතනය ගැන ජාත්‍යන්තර කමිටුව මෙතරම් චින්තාපර වීම සහ උනන්දු වීම ගැන මවිතය පල කලහ. අප ඝාතනය ගැන “තවමත් කතා කරන්නේ” ඇයි?
18. තව දුරටත් කාල පරාසය පිලිබඳ හැඟීමක් ලබා දීම සඳහා, 1985-86 භේදය සහ 1989 දී ජෙරී හීලිගේ මරනය, 1940 දී ට්‍රොට්ස්කි ඝාතනයෙන් පසු 1975 දී ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය ආරම්භ කිරීමට වඩා අද බෙහෙවින් දුරස්ථ සිදුවීම් වේ. වසර 62 කට පමන පෙර, 1963 නොවැම්බර් මාසයේදී ජනාධිපති ජෝන් එෆ්.කෙනඩි ඝාතනය කිරීම ගැන මා සඳහන් කරන්නේ නම්, ඔහුගේ මරනයේ තත්වයන් තවමත් දැඩි මතභේදයට තුඩු දී තිබේ. කෙනඩි ඝාතනය පිලිබඳ එෆ්බීඅයි විමර්ශනයට අදාල නව ලේඛන ගොන්නක් ප්‍රසිද්ධියට පත් වූයේ යන්තම් පසුගිය මාස කිහිපය තුල ය. ජනාධිපතිවරයා ඝාතනය කිරීම පිලිබඳ සියලු ප්‍රශ්න විසඳීමට වඩා, මෙම ලේඛන, ජෝන් එෆ්. කෙනඩිගේ ජීවිතය අවසන් කල කුමන්ත්‍රනය පිලිබඳ නව ප්‍රශ්න මතු කිරීම සඳහා ඉන්ධන සපයා තිබේ.
19. ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය ආරම්භ කිරීමට පෙර, ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහු ආරම්භ කල ව්‍යාපාරය විසින් කිසිදු ක්‍රමානුකූල පරීක්ෂනයක් සිදු කර නොතිබුනි. ට්‍රොට්ස්කි “ලෝක ඓතිහාසික” වැදගත්කමක් දරන චරිතයක් වූ අතර, විසිවන සියවසේ සමස්ත ගමන් මගටම දැවැන්ත ලෙස බලපෑ 1917 ඔක්තෝබර් සමාජවාදී විප්ලවයේ සම නායකයා වූ බැවින් මෙය පැහැදිලි කිරීමට බෙහෙවින් අසීරු කාරනයක් විය. එපමනක් නොව, ඔහුගේ ඝාතනයේ බලපෑම හතරවන ජාත්‍යන්තරයට—සහ, එබැවින්, ජාත්‍යන්තර පන්ති අරගලයේ වර්ධනයට සහ මානව වර්ගයාගේ ඉරනමට— නොගිනියහැකි තරම් විය. ට්‍රොට්ස්කිගේ මරනය සම්බන්ධයෙන්, කෙනෙකුට මාක්ස්ගේ අවමංගල්‍යයේදී එංගල්ස් පැවසූ දේ පැවසිය හැකිය: ඔහුගේ මරනයත් සමග මානව වර්ගයාට හිසක් අහිමි විය; නමුත් එය එම යුගයේ ශ්‍රේෂ්ඨතම හිස විය.
20. හතරවන ජාත්‍යන්තරය තුල, ට්‍රොට්ස්කි ඝාතනය පිලිබඳ ඓතිහාසික ප්‍රබන්ධය 1940 අගෝස්තු 21 සිට වෙනස් වී තිබුනේම නැති තරම් ය. එය මෙසේ විය: සිල්වියා ඇජිලොෆ් නම් ගුන යහපත් කාන්තාවගේ අහිංසකත්වය ගසාකමින්, කොයෝකාන්හි ට්‍රොට්ස්කිගේ විලාවට රිංගා ගත් රේමන් මර්කාඩර් නොහොත් ෆ්‍රෑන්ක් ජැක්සන් නම් එක් ජීපීයූ ඒජන්තතයෙකු විසින් ට්‍රොට්ස්කි ඝාතනය කරන ලදී. හතරවන ජාත්‍යන්තරය සහ සකප තුල ක්‍රියාකාරී ජීපීයූ ඒජන්තයින් සම්බන්ධ පුලුල් කුමන්ත්‍රනයක් පිලිබඳ කිසිදු කතාබහක් නොතිබුනි. ට්‍රොට්ස්කිගේ දිවි තොර කිරීමට පලමු උත්සාහය දැරූ දිනය වූ 1940 මැයි 24 වන දින, ඩේවිඩ් සික්විරෝස්ගේ ඝාතන කන්ඩායමට කොයෝකාන් විලාවේ දොරටු විවෘත කල ආරක්ෂකයා වූ රොබට් ෂෙල්ඩන් හාර්ට්, ජීපීයූ ඒජන්තයෙකු බවට වූ සාක්ෂි පසෙකට දමන ලදී.
21. ට්‍රොට්ස්කි ඝාතනය සම්බන්ධයෙන් යම් හෝ විමර්ශනයක් පැවති තාක් දුරට, එය සිදු කර තිබුනේ හතරවන ජාත්‍යන්තරය විසින් නොව, දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිතිව සෝවියට් ඔත්තු බැලීමේ ඒජන්තයන් විමර්ශනය කර නඩු පවරන අතරතුර දී එක්සත් ජනපද ආන්ඩුව විසිනි. මෙම රාජ්‍ය විමර්ශන මගින්, ට්‍රොට්ස්කි ඝාතනය සහ 1937-38 දී යුරෝපයේ, අර්වින් වුල්ෆ්, ඉග්නේස් රීස්, ලෙව් සෙඩොව් සහ රුඩොල්ෆ් ක්ලෙමන්ට් ඇතුලු ප්‍රමුඛ ට්‍රොට්ස්කිවාදීන්ගේ ඝාතන සංවිධානය කල ජීපීයූ ඒජන්ත ජාලය හෙලිදරව් කරන ලදී.
22. සොබොලෙවිසියස් සහෝදරයන්—ජැක් සොබල් සහ රොබට් සොබ්ලන්—මාර්ක් ස්බොරොව්ස්කි, ෆ්ලොයිඩ් ක්ලීව්ලන්ඩ් මිලර්, තෝමස් බ්ලැක් සහ සිල්වියා කැලන් හෙලිදරව් කෙරුනේ එක්සත් ජනපද ආන්ඩුව විසිනි. ට්‍රොට්ස්කිවාද-විරෝධී නියෝජිත ජීපීයූ ජාලයේ සාමාජිකයින්ට එල්ල වූ චෝදනා, අත්අඩංගුවට ගැනීම්, නඩු විභාග සහ සාක්ෂි එක්සත් ජනපදය පුරා බැනර් සිරස්තලවල වස්තු විෂය විය. නමුත්, විත්තිකරුවන්ගෙන් බොහෝ දෙනෙකු සකප පක්ෂ මූලස්ථානයේ සිට සැතපුම් කිහිපයක් දුරින් පිහිටි නිව්‍යෝර්ක් නගරයේ නඩු විභාගයට ලක් කරනු ලැබුව ද මෙම නියෝජිතයන් හෙලිදරව් කිරීම සහ හතරවන ජාත්‍යන්තරය තුලට ඔවුනගේ කාවැදීම පිලිබඳව එය අනාවරනය කරගත් තීරනාත්මක තොරතුරු සමාජවාදී කම්කරු පක්ෂය විසින් නොසලකා හරින ලදී.
23. සහෝදරවරුන් මේ සතියේ පවත්වන දේශනවලට මම අනවශ්‍ය පූර්ව-ඇඟවුම් මගින් බාධා නොකරමි. කෙසේ වෙතත්, ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය විසින්, ට්‍රොට්ස්කි ඝාතනයේ ඓතිහාසික ප්‍රබන්ධය වෙනස් කල බව සැබැවි. ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය පිලිබඳ විමර්ශනය සහ සොයාගැනීම් සහ 1979 දී ඇලන් ගෙල්ෆෑන්ඩ් විසින් ආරම්භ කරන ලද සහ වර්කර්ස් ලීගය සහ ජාත්‍යන්තර කමිටුවේ සහාය ඇතිව සකප සහ එක්සත් ජනපද ආන්ඩුවට එරෙහි නඩු විභාගයේදී ඒවා ප්‍රතික්ෂේප කල නොහැකි ආකාරයට කල තහවුරු කිරීම්, හතරවන ජාත්‍යන්තරයට එරෙහි ස්ටැලින්වාදී කුමන්ත්‍රනය සහ ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය පිලිබඳ සියලු බැරෑරුම් වාර්තාවල ආරම්භක ලක්ෂ්‍යය ලෙස ගනු ඇත.
24. මේ අවස්ථාවේදී, ස්ටැලින්වාදයේ රොඩුබොඩු වන පැබ්ලෝවාදී සහ ඒ ආශ්‍රිත මධ්‍යම පන්තික රැඩිකල් සංවිධාන සහ බුද්ධිමය වශයෙන් දූෂිත ව්‍යාජ-වාමවාදයේ ශාස්ත්‍රීය වටපිටාවන් පමනක් ම, ට්‍රොට්ස්කි ඝාතනය කිරීමේදී ජීපීයූ ඒජන්තයින් සකප තුලට කා වැදීම තීරනාත්මක කාර්යභාරයක් ඉටු කල බවට වන අතිමහත් සාක්ෂි නොසලකා හැරීම, හෙලා දැකීම සහ ප්‍රතික්ෂේප කිරීම දිගටම කරගෙන යයි. ජීපීයූ ඔත්තුකරුවෙකු ලෙස ජේම්ස් පී. කැනන්ගේ පුද්ගලික ලේකම් (සිල්වියා ෆ්‍රෑන්ක්ලින්, සිල්වියා කැල්ඩ්වෙල්, සිල්වියා ඩොක්සි යන නම් වලින් ද දන්නා) සිල්වියා කැලන්ගේ භූමිකාව නිශ්චිතවම තහවුරු වී ඇත. රොබට් ෂෙල්ඩන් හාර්ට් සම්බන්ධයෙන් ද එය එසේම වේ.
25. සියල්ලටත් වඩා, ජීපීයූ ඔත්තුකරුවෙකු ලෙස ජෝසප් හැන්සන්ගේ භූමිකාව සහ ට්‍රොට්ස්කිගේ ඝාතනයෙන් පසුව, එෆ්බීඅයි ඔත්තුකරුවෙකු ලෙස ඔහුගේ භූමිකාව නිශ්චිතවම තහවුරු කර ඇත. මෙයට එරෙහි වන්නේ, විප්ලවවාදී සමාජවාදී සංවිධානයක සාමාජිකයෙකුට, ජීපීයූ ව සහ ධනේශ්වර රාජ්‍යයක දේශපාලන පොලිසිය සමඟ රහසිගත රැස්වීම් පැවැත්වීමට අවසර ඇති බව විශ්වාස කරන සහ, “දන්ඩමුක්තිය සහිතව විශ්වසනීය තොරතුරු ලබා දිය හැකි” නිව්‍යෝර්ක්හි එෆ්බීඅයි ඒජන්තයෙකුගේ නම ලබා දෙන ලෙසට, 1940 සැප්තැම්බර් මාසයේ දී හැන්සන් කල ඉල්ලීමේ වචනවලින් පැහැදිලිවම ගම්‍ය වන අර්ථය බැහැර කරන සහ, ජීපීයූ සහ එෆ්බීඅයි සමඟ තම සබඳතා පිලිබඳ හැන්සන්ගේ මගහැරීම් සහ අමූලික බොරු, වරදකාරිත්වය පිලිබඳ සාක්ෂි නොවන බව විශ්වාස කරන අයට පමනි.
26. ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය හි වැදගත්කම සුවිශේෂී පුද්ගලයින් නිරාවරනය කිරීමෙන් ඔබ්බට විහිදේ. ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය කිසි විටෙකත් දේශපාලන රහස් පරීක්ෂක කටයුතුවල සරල අභ්‍යාසයක් නොවීය. එහි මුල් අවධියේ සිටම, ජාත්‍යන්තර කමිටුව, ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය පුලුල් ඓතිහාසික හා ජාත්‍යන්තර සන්දර්භයක් තුල තැබීය.
27. සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා වූ වර්කර්ස් ලීගය 1978 දී ඉදිරිපත් කල (1979 ජුනි මාසයේදී සංශෝධනය කරන ලද) ඉදිරිදර්ශන යෝජනාවේ මෙසේ සඳහන් කලේය:
1940 දී ට්‍රොට්ස්කි ඝාතනය වටා පැවති තත්වයන් පිලිබඳව ජාත්‍යන්තර කමිටුව විසින් කරන ලද විමර්ශනය හරහා – මෙය 1975 වසන්තයේ හයවන ලෝක සම්මේලනයේ දී ආරම්භ විය –, ට්‍රොට්ස්කිවාදයේ ඓතිහාසික අඛන්ඩතාවයේ පදනම මත විප්ලවවාදී කේඩරය පුහුනු කිරීමේ අරගලය, පෙර නොවූ විරූ බලයක් සහ විෂය පථයක් අත්පත් කරගෙන ඇත.
ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය නියෝජනය කරන්නේ, හතරවන ජාත්‍යන්තරය සහ ජාත්‍යන්තර කමිටුව හරහා බොල්ෂෙවික්වාදයේ සමස්ත ඓතිහාසික අඛන්ඩතාව, ස්ටැලින්වාදී ප්‍රති-විප්ලවයේ සහ මුසාකරනයේ දුෂ්ට ග්‍රහනයෙන් මුදා ගැනීමට වඩා අඩු දෙයක් නොවේ. ලෝක විප්ලවය සඳහා අරගලයේ දේශපාලන ප්‍රතිමූර්තිය වන ට්‍රොට්ස්කිවාදයට එරෙහිව ස්ටැලින්වාදය විසින් සිදු කරන ලද සියලු බොරු, විකෘති කිරීම් සහ අපරාධ; ඔක්තෝබර් විප්ලවයේ සැබෑ ඉතිහාසය සහ ට්‍රොට්ස්කිගේ භූමිකාව පිලිබඳව කම්කරුවන්ගේ පරම්පරා පිටින් ව්‍යාකූල කිරීමට සහ අවමංගත කිරීමට සිදු කරන ලද සියලු බිහිසුනු ක්‍රියාවන් – මේවා ස්ටැලින්වාදයට හෝ අධිරාජ්‍යවාදී ප්‍රති-විප්ලවයේ සියලු ඒජන්සිවලට කිසිදා යථා තත්ත්වයට පත් කල නොහැකි ආකාරයේ ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල ක්‍රියාත්මක ස්ටැලින්වාදී සහ අධිරාජ්‍යවාදී ඒජන්තයින්ගේ දැවැන්ත ජාලයක් විසින් සිදු කරන ලද ඝාතන, ප්‍රකෝප කිරීම් සහ කඩාකප්පල් කිරීම් නිර්දය ලෙස හෙලිදරව් කරමින්, ජාත්‍යන්තර කමිටුව සිදුකල විමර්ශනය, හතරවන ජාත්‍යන්තරයේ සමස්ත ඉතිහාසයම ඒකාලෝක කර තිබේ.
28. දශක ගනනාවක් තිස්සේ, සෝවියට් සංගමය තුල සහ ජාත්‍යන්තරව ස්ටැලින්වාදී නිලධරයේ බලය නිර්දය ලෙස යොදා ගනු ලැබුවේ එහි අපරාධ හෙලිදරව් කිරීම මැඩපැවැත්වීම සඳහා ය. කෙසේ වෙතත්, නිලධාරිවාදී පාලනයේ අර්බුදය සමග සමපාත වූ 1953 දී ස්ටැලින්ගේ මරනය, එය වේගවත් කලේය. 1956 පෙබරවාරි මාසයේ දී නිකිතා කෘෂෙව් විසින් කරන ලද “රහස් කතාව” තුල ස්ටැලින්ගේ අපරාධ හෙලිදරව් කිරීමෙන් ඉක්බිතිව, යන්තම් අඩ වසරකට වැඩි කාලයක දී බුඩාපෙස්ට් හි ස්ටැලින්වාදී තන්ත්‍රයට එරෙහිව හංගේරියානු කම්කරුවන්ගේ නැගිටීම සිදු විය. දශකයකට පසු චෙකොස්ලොවැකියාවේ සහ පෝලන්තයේ මහජන ව්‍යාපාර මගින් ස්ටැලින්වාදී තන්ත්‍ර සොලවා දමන ලදී.
29. නිලධරයේ ජාතික ආර්ථික ඒකාධිපති වැඩපිලිවෙලේ බංකොලොත්භාවය සමඟ අන්තර් ඡේදනය වූ මෙම වෛෂයික වර්ධනයන්, ස්ටැලින්වාදය සහ ට්‍රොට්ස්කිවාදය අතර සම්බන්ධතාවයේ ප්‍රගාඪ වෙනසක් ඇති කලේය. ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය පිලිබඳ විමර්ශනය ආරම්භ කිරීමත් සමඟ, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ප්‍රති-විප්ලවවාදී නිලධාරිවාදයට එරෙහි ආක්‍රමනශීලී ප්‍රහාරයක් සඳහා ඉදිරියට ගියේය.
30. නමුත් මෙම අරගලය ආරම්භ කරන ලද්දේ, ස්ටැලින්වාදී නිලධරය අර්බුදයක ගිලී සිටිය ද, තවමත් සැලකිය යුතු බලයක් සහ දේශපාලන කීර්තියක් රඳවාගෙන සිටි යුගයක බව මතක තබා ගත යුතුය. එපමනක් නොව, 1953 සිට ස්ටැලින්වාදී පක්ෂවල දේශපාලන සහචරයින් ලෙස ක්‍රියා කල පැබ්ලෝවාදී ප්‍රවනතා, නිලධාරිවාදී ස්වයං-ප්‍රතිසංස්කරනයේ හැකියාව පිලිබඳව පමනක් නොව, ඒවායේ විප්ලවවාදී විභවය පිලිබඳව ද මිත්‍යාවන් ප්‍රවර්ධනය කිරීමට ඔවුන්ට හැකි සෑම දෙයක්ම කලහ.
31. ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය පිලිබඳ ආරම්භ කල විමර්ශනය—එය ස්ටැලින්වාදයේ මිනීමරු ප්‍රති-විප්ලවවාදී භූමිකාව කෙරෙහි අවධානය යොමු කලේය—නිලධරයන් කෙරෙහි පැබ්ලෝවාදී නැඹුරුව කපාගෙන ගියේය. එපමනක් නොව—ස්ටැලින්වාදී රාජ්‍යයන් මෙන්ම අධිරාජ්‍යවාදී රාජ්‍යයන් තුල—හතරවන ජාත්‍යන්තරයට පොලිස් ඒජන්තයින් කා වැදීම පිලිබඳ ප්‍රශ්නය මතු කිරීමෙන් ජාත්‍යන්තර කමිටුව අතිමූලික රාජ්‍ය උත්සුකතාවයන් ට ප්‍රගාඪලෙස තර්ජනය කලේය.
32. ජාත්‍යන්තර කමිටුව තමන්ගේම දේශපාලන සුරක්ෂිතතාව රැක ගැනීම සම්බන්ධයෙන් හැන්සන් කල කුරිරු හෙලාදැකීමට ප්‍රතිචාර වශයෙන්, කම්කරු විප්ලවවාදී පක්ෂය, ධනේශ්වර රාජ්‍යය විසින් පැබ්ලෝවාදී සංවිධාන තුලට ඉහල මට්ටමේ විනිවිදීමක් ක්‍රියාත්මක කිරීමේ වාර්තාව කෙරෙහි අවධානය යොමු කලේය. එසේම, ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය විමර්ශනය, හැන්සන් සහ සමාජවාදී කම්කරු පක්ෂය, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට එරෙහිව අඛන්ඩව සිදුවන කුමන්ත්‍රනයකට සම්බන්ධ බවට ද සාක්ෂි රැස් කලේය.
33. ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරයේ වර්ධනය අධිරාජ්‍යවාදය සහ එහි දේශපාලන ඒජන්සි විසින් බරපතල තර්ජනයක් ලෙස හඳුනා ගන්නා ලදී. ඔවුන් එයට ප්‍රතිචාර දැක්වූයේ, හැන්සන් විසින් ක්‍රමානුකූලව ජීපීයූව වසං කිරීම පිලිබඳ සොයාගැනීම් “නිර්ලජ්ජිත බොරුවක්” ලෙස හෙලා දැකීමේ කුප්‍රකට “තීන්දුව” 1976 සැප්තැම්බර් මාසයේ ඉන්ටර්කොන්ටිනන්ටල් ප්‍රෙස් හි ප්‍රකාශයට පත් කරමිනි. ලෝකයේ සෑම පැබ්ලෝවාදී සංවිධානයකම පාහේ ප්‍රමුඛ නියෝජිතයෝ මෙම ලේඛනයට තම අත්සන එකතු කලහ. පසුව ගෙල්ෆාන්ඩ් නඩුවේදී තහවුරු කරන ලද පරිදි, අත්සන් කල කිසිවෙකු ඔවුන් විසින් හෙලා දකිනු ලැබූ ලේඛන කියවා නොතිබුනි.
34. “තීන්දුව” ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, 1977 ජනවාරි 14 වන දින, ජාත්‍යන්තර පැබ්ලෝවාදී කන්ඩායම්වල නායකයින් විසින් හීලි සහ, ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය හෙලා දැකීම සඳහා ලන්ඩන්හි රැලියක් කැඳවන ලදී. ජාත්‍යන්තර කමිටුව විසින් “ලැජ්ජාවේ වේදිකාව” ලෙස මතකයේ රැඳෙන සහ උචිත ලෙස විස්තර කරන ලද රැස්වීමට සහභාගී වූ අනෙක් අය අතර අර්නස්ට් මැන්ඩෙල්, ටිම් වුල්ෆර්ත්, (හැන්සන්ගේ ජීපීයූ හි සම-සහකරු ලෙස හජාජාක විසින් චෝදනා කරන ලද) ජෝර්ජ් නොවැක් සහ පියරේ ලැම්බර්ට් ද වූහ. රැස්වීමේ මුලසුන දැරුවේ මුලුමනින්ම ප්‍රතිපත්ති විරහිත මධ්‍යම පාන්තික රැඩිකල්වාදියෙකු වූ (අවසානයේ ට්‍රොට්ස්කිවාදය සමඟ ඇති සියලු සම්බන්ධකම් ප්‍රතික්ෂේප කල) තාරික් අලි විසිනි.
35. ආසන්න වසයෙන් පැබ්ලෝවාදීන් 1,500ක පමන සභාවක් මධ්‍යයේ, මැන්ඩල්, වුල්ෆර්ත්, නොවැක් සහ ලොම්බෙයා තමන් වෙතට අපවාදාත්මක ගර්හාවන් එල්ල කරද්දී, කම්කරු විප්ලවවාදී පක්ෂයේ සාමාජිකයින් පස්දෙනෙකුට නො වැඩි ගනනක් සමග සිටි ජෙරී හීලි ඉවසිලිවන්ත ව සවන් දුන්නේ ය. කථිකයින් සියලු දෙනාගේ හෙමබත්වන තුරු කතා කර අවසන් වූ විට, තම ආසනයෙන් නැගී සිටි හීලි සිය අත ඔසවමින් කතා කිරීමට කැමති බව ඇඟවුම් කලේය. ප්‍රජාතන්ත්‍රවාදී පටිපාටි සඳහා යම් කැපවීමක් පවත්වා ගෙන ගිය, නැතහොත්, අඩුම තරමින්, “සාධාරනව ක්‍රියාකිරීම” පිලිබඳ බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය තැකු ශ්‍රාවකයකින් එල්ල වූ සැලකිය යුතු විරෝධතා නොතකා හීලිට කථාකිරීමට අවසරදීම තරික් අලි ප්‍රතික්ෂේප කලේ ය. හීලි ව හෙලාදැකීමට පැය දෙකකට වඩා වැඩි කාලයක් ගෙන තිබුනි. එහෙත්, ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය විමර්ශනයෙන් අනාවරනය කරගත් සාක්ෂි විභාග කිරීම සඳහා, ජාත්‍යන්තර පරීක්ෂන කොමිසමක් ගැන ජාත්‍යන්තර කමිටුව කල කැඳවීම ප්‍රසිද්ධියේ අවධාරනය කිරීම සඳහා හීලිට එක් මිනිත්තුවක් වත් ලබා දුන්නේ නැත. රැස්වීම ආකුලව්‍යාකුලව විසිර ගියේය.
36. හීලිගේ ඉදිරිපත්වීම කෙරෙහි වුල්ෆර්ත් තමන්ගේ ප්‍රතික්‍රියාව විස්තර කල ඔහුගේ ස්වයං-චරිතාපදානයෙන් උපුටා දැක්වීම වටී:
මා සන්සුන්ව සිටිබවක් මතුපිටින් දිස්වූ බව මට විශ්වාස ය; එහෙත්, මගේ ගැඹුරු ඇතුලාන්තය මුලුමනින්ම වාගේ ග්‍රහනය කරගෙන තිබුනේ නොදැමුනු භීතියකි. මා කියන්නට යන දෙයට අනුග්‍රහය දක්වන දහසක් දෙනා මා වටකරගෙන සිටියද ආධාරකරුවන් දුසිමක් පමන සමග සිටි මේ මිනිසා එවැනි ප්‍රතික්‍රියාවක් මා තුල ජනිත කලේ කෙසේද යන්නමත් පුදුම සහගතය. හීලි ගැන වෙන කුමක් කීව ද, ඒ රාත්‍රියෙන් පසු කිසිවෙකුටත් ඔහුගේ ධෛර්යය හෝ විශ්මිත දක්ෂතාවය ගැන නම් ප්‍රශ්න කල නොහැකිය. (1)
37. 1947 දී ලුවී බුඩෙන්ස් විසින් ජීපීයූ ඒජන්තවරියක ලෙස පලමු වරට හඳුනාගැනුනු, පසුව 1960 දී සොබොලෙවිෂියස් සහෝදරවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු වූ ජීපීයූ ඒජන්ත රොබට් සොබ්ලන්ගේ නඩුවේ දී, චෝදනා නො ලත් සම-කුමන්ත්‍රනකාරියක ලෙස ලැයිස්තුගත කෙරුනු සිල්වියා කෝල්ඩ්වෙල්-කැලන් සිටින ස්ථානය විමර්ශනයෙහි එම අවදියේ දී ජාත්‍යන්තර කමිටුව තවමත් නිශ්චිතව සොයාගෙන නො තිබිනි. විවාහය ට පෙර ඇගේ නම කැලන් ය. කලින් සැල්මන්ඩ් ෆ්‍රෑන්ක්ලින් සමග විවාහ වී සිටි කෝල්ඩ්වෙල්, 1977 මැයි මාසයේ ඉලිනොයිස් ප්‍රාන්ත රාජ්‍යයේ වීටන්හි දී සිටියදී සොයා ගන්නා තෙක් සම්මුඛ සාකච්ඡාවකට බඳුන් කර නොතිබුනි. ඒ වන විට, ඇය ෆ්‍රෑන්ක්ලින්ගෙන් දික්කසාද ව, යලි විවාහ වී සිල්වියා ඩොක්සී නමින් හැඳින්වුනි.
38. තව ද ජාත්‍යන්තර කමිටුව 1977 ජූලි වන තෙක් අත්පත් කරගෙන නොතිබුනු, තොරතුරු දැනගැනීමේ නිදහස යටතේ කල ඉල්ලීමක පදනම මත ලබාගත් රහස්‍ය වර්ගීකරනයෙන් මුදාහරුනු නව ලේඛන ගොන්නට, ට්‍රොට්ස්කිගේ ඝාතනයෙන් ඉක්බිති ව, එෆ්බීඅයි සමග හැන්සන්ට තිබුනු සබඳතා ඉතා විශාල පරිමානයකින් හෙලිදරවු කල ලේඛන ඇතුලත් විය. ඒවා අතර, “මුක්තියෙන් යුතුව තොරතුරු ලබාදිය හැකි...විශ්වාසවන්ත පුද්ගලයෙක්” ලබාදෙන ලෙස කලින් සඳහන් කර ඇති හැන්සන් කල ඉල්ලීම ගැන සඳහන් කෙරුනු ලිපි ද විය.
39. හැන්සන් ජීපීයූ ඒජන්තයෙකු හා එෆ්බීඅයි ඔත්තුකරුවෙකු ලෙස සකප තුල ක්‍රියාත්මක වී ඇතැයි ප්‍රසිද්ධියේ චෝදනා කිරීමට, ප්‍රමානවත් තරම් සාක්ෂි පවතින බවට ජාත්‍යන්තර කමිටුව නිගමනය කලේ, 1977 වසන්තයේ හා ගිම්හානයේ දී ලබාගත් ලේඛන හා තථ්‍ය තොරතුරුවල පදනම මත යි. 1977 ජූලි 29 දින නිකුත්කල ප්‍රකාශයක් තුල, හජාජාක මෙසේ සඳහන් කලේ ය:
සිල්වියා ෆ්‍රෑන්ක්ලින්, ෆ්ලොයිඩ් ක්ලේව්ලන්ඩ් මිලර් සහ මාක් ස්බොරොව්ස්කි වැනි ස්ටැලින්වාදී ඒජන්තයින් ආවරනය කිරීමට ජෝසෆ් හැන්සන් ක්‍රියා කිරීම හේතුවෙන්, ඔහු ජීපීයූවේ ආධාරකරුවෙකු බව ජාත්‍යන්තර කමිටුව බොහෝ කලකට පෙර සනාථ කර ඇත.
ඔහු එෆ්බීඅයි සමග රහසිගත සබඳතා ස්ථාපිත කරගෙන තිබුනු බවත්, සකප අභ්‍යන්තර ලේඛන එහි ඒජන්තයින්ට ලබා දුන් බවත්, ජාත්‍යන්තර කමිටුව දැන් ඔප්පු කර තිබේ.
ජෝසෆ් හැන්සන් ට්‍රොට්ස්කිවාදියෙකු නො වන බව හා කිසිකලෙක එසේ නො වූ බව ද ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය සහ ජාත්‍යන්තර කම්කරුවන්, බුද්ධිමතුන් හා තරුනයන්ගේ ශ්‍රාවකයක් ඉදිරියේ, ජාත්‍යන්තර කමිටුව විසින් පෙන්වා දෙනු ලැබ තිබේ.
40. සකප තුල ගත කල කාලය ගැන විස්මෘතියෙන් පෙලීම පිලිබඳව සහ ජේම්ස් පී. කැනන් කෙරෙහි අවඥාසහගත ප්‍රකාශයන් සහිත සිල්වියා ඩොක්සි සමඟ කල සම්මුඛ සාකච්ඡාවට ප්‍රතිචාර වශයෙන්, හැන්සන් සිය බොරුකීමේ, කතාගෙතීමේ සහ නොතකාහරීමේ ඔහුගේ පිලිවෙත අඛන්ඩව පවත්වාගෙන ගියේය. ජාත්‍යන්තර කමිටුව “දැන් කවිප මුහුන දෙන මාරාන්තික ප්‍රතිවිපාක පිලිගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටී” යයි අනතුරු ඇඟවූ ඔහු, “කම්කරු ව්‍යාපාරයේ අනෙකුත් කොටස්වලට එරෙහි ව ප්‍රචන්ඩ ක්‍රියා ආරම්භ කිරීමට හීලිවාදීන් ඉතා සමත්” යයි ද්වේෂ සහගත ලෙස ප්‍රකාශ කලේ ය. (2)
41. එහෙත්, සිදු වුනු එක ම ප්‍රචන්ඩත්වය එල්ලවුයේ, වර්කර්ස් ලීගයට එරෙහි ව යි. තරුන සමාජවාදියෝ ව්‍යාපාරයේ නර්තන අවස්ථාවක් අධීක්ෂනය කරමින් සිටි, වර්කර්ස් ලීගයේ දේශපාලන කමිටුවේ සාමාජිකයෙක් වූ ටොම් හෙනහන්, 1977 ඔක්තෝබර් 16දා ඝාතනය කෙරුනි. ලෝකයේ එකදු පැබ්ලෝවාදී සංවිධානයක් මෙම දේශපාලන ඝාතනය හෙලාදුටුවේ නැත.
42. කොයින්ටෙල්ප්‍රෝ (counter-intelligence) මෙහෙයුම දියත්ව තිබූ සමයේ, ඒජන්තයින්ගේ විනිවිදීම සම්බන්ධ සමාජවාදී කම්කරු පක්ෂයේ නඩු කටයුත්තට සහයෝගී ඇමිකස් කියුරියේ (“අධිකරනයේ සහායක“) නමැති ලේඛනයක් සකස් කිරීම නිසා, ඇලන් ගෙල්ෆාන්ඩ් නෙරපා හල සකප දේශපාලන කමිටු රැස්වීමට සහභාගි වීමෙන් හරියට ම සතියකට පසුව, 1979 ජනවාරි 18දා හැන්සන් හදිසියේ මරනයට පත් විය. සකප තුල සිටින ආන්ඩුවේ ඔත්තුකරුවන් හඳුනාගන්නා ලෙස, අධීක්ෂක උසාවිය එක්සත් ජනපදයේ නීතිපතිවරයාට බලකල යුතු යයි ගෙල්ෆාන්ඩ්ගේ ලේඛනයෙන් තර්ක කෙරුනි. එම ලේඛනයේ මෙසේ සඳහන් විය:
නිශ්චිත ව ම මෙම ඔත්තුකරුවන් සකප තුල සිටින්නේ, මෙම පක්ෂය ගොඩනැගීමට උදවු කරනුවස් නො වේ. ඔවුන්ගේ අවසාන අරමුන එය විනාශ කිරීම යි. මෙම ඔත්තුකරුවන් විසින් සිදුකරනු ලැබ ඇති “නින්දිත කූටෝපායන්” සම්භාරය, ගෙවල් බිඳීම් සහ හොරකම්, මෑත පැවති අනෙකුත් නඩුකරයන් මෙන් ම මෙම නඩුව තුලත් ඉතා හොඳින් ලේඛනගත කෙරී ඇත. එවන් ක්‍රියාකාරකම් අතිප්‍රබල ලෙස තහවුරු කරන්නේ, ඔත්තුකරුවන් ඉෂ්ට කරන දුෂ්ට ක්‍රියාකලාපයයි.
43. ගෙල්ෆාන්ඩ්ගේ ලුහුඬු ලේඛනය සකප නායකත්වය විසින් දැකගැනුනේ බරපතල තර්ජනයක් ලෙස ය. ඒජන්තයින් හෙලිදරවු කිරීමට බලකිරීමේ කිසිදු ආකාර අභිලාෂයකින් තොර ව, සකපයේ නීතිඥවරුන් නිෂ්ක්‍රිය ආකාරයකින් නඩුකරය පවත්වාගෙන ගිය අතර, සකප නායකත්වයේ සාමාජිකයින් හෙලිදරවු කිරීමක් ද වියහැකිව තිබුනු , සිය ඒජන්තයින් හඳුනාගෙන ඉවත් කිරීම සඳහා ආන්ඩුවට බලකිරීම ගැන ගෙල්ෆාන්ඩ් නිශ්චිත ව ම බැරෑරුම් ව සිටියේය. සකප දේශපාලන කමිටුව ගෙල්ෆාන්ඩ් ඉවත් කිරීම තව දුරටත් ප්‍රමාද කල නො හැකි බව තීරනය කලේ ය. දේශපාලන කමිටුව තුල ගෙල්ෆාන්ඩ් නෙරපීමේ යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ, සකප ජාතික ලේකම් ජැක් බාන්ස් විසිනි.
44. ඉන් හරියට ම මාස හයකට පසුව, තමන් නෙරපීම මෙහෙයවා තිබුනේ සමාජවාදී කම්කරු පක්ෂයෙහි නායකත්වය තුල ක්‍රියාත්මක වන එක්සත් ජනපද ආන්ඩුවේ ඒජන්තයින් විසින් බව ප්‍රකාශ කරමින් ,1979 ජූලි 18දා, ඇලන් ගෙල්ෆාන්ඩ් ලොස් ඇන්ජලීස් මධ්‍යම දිස්ත්‍රික් උසාවියේ නඩුවක් පැවරුවේය. ගෙල්ෆාන්ඩ් නඩුවෙහි වර්ධනය පසුව ඉදිරිපත් කෙරෙන දේශනවල දී දීර්ඝ ව සාකච්ඡාවට ගැනෙනු ඇත.
45. එහෙත් කරුනු දෙකක් අවධාරනය කල යුතු ය: පලමු ව, ගෙල්ෆාන්ඩ් අපකීර්තියට පත්කිරීමේ ප්‍රයත්නයන්වල දී, සකප නායකයන් දිගින්දිගටම කියාපෑවේ, නඩුවෙහි ඉලක්කය වූයේ සකපයේ සාමාජිකයෙකු විය හැක්කේ කවරෙකුටදැයි තීන්දු කිරීමේ හැකියාව ආන්ඩුවට ලබා දීම බව යි. ඇත්ත වශයෙන්ම, පැහැදිලිව ම නඩුවේ ප්‍රකාශිත අරමුන වූයේ, ආන්ඩුව සකප නායකත්වය විනිවිදීම සහ පසුව ඔවුන් හෙලිදරව් කිරීමට උත්සාහ කරනු ලබන ඕනෑම අයෙකු නෙරපා හැරීම සඳහා පක්ෂ යාන්ත්‍රනය මත එහි පාලනය භාවිතා කිරීම වැලැක්වීමයි.
46. නඩුව ඉවත දැමීම සඳහා සකප ඉදිරිපත් කල පෙත්සම ප්‍රතික්ෂේප කිරීමේ දී, දිස්ත්‍රික් උසාවියේ විනිසුරු මරියානා ෆයෙල්ට්සර් විසින් ගෙල්ෆාන්ඩ්ගේ නඩුවෙන් අවධාරිත ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පිලිගනු ලැබී ය. ඇය මෙසේ සඳහන් කලාය: “ආන්ඩුව උපාමාරු දමා පැමිනිලිකරුගේ දේශපාලන පක්ෂය අත්පත් කරගැනීම, එහි ආධාරකරුවන්ගේ සංවිධානයවීමේ අයිතීන්වලට කරන බරපතල මැදිහත්වීමක් බවත්, ව්‍යවස්ථාමය පෙරෙට්ටුවෙන් සමර්ථ විය නො හැකි බවත් පැහැදිලි ය.”
47. දෙවනු ව, සකප නායකයින්, ඔවුන් කියා සිටි දේම වී තිබුනා නම්, එනම් අව්‍යාජ සමාජවාදීන් වී නම් ගෙල්ෆාන්ඩ්ගේ නඩුකරයට විරුද්ධ වීමට ඔවුන්ට හේතුවක් නොවිය. ආන්ඩුව සකපය අත්පත් කරගැනීමක් ගැන ගෙල්ෆාන්ඩ්ගේ ප්‍රකාශයන්, විවෘත උසාවිය තුල නිෂ්ප්‍රභා කිරීමට පවතින අවස්ථාව ඔවුන් සාදරයෙන් පිලිගතයුතුව තිබුනි. එහෙත්, නඩුකරය ප්‍රතික්ෂේප කල නො හැකි කරුනු මත පදනම් වූ බවත්, එනඩුව විමසීම ඉදිරියට ගෙනයාමෙන් හුදෙක් ගෙල්ෆාන්ඩ්ගේ චෝදනා පමනක් නොව සමස්ත ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය විමර්ශනයම සනාථ කිරීමට හේතු වනු ඇති බව බාන්ස් සහ ඔහුගේ ආධාරකරුවෝ හොඳින් ම දැන සිටිය හ.
48. මෙම නඩුව දිගහැරීම ඇරඹෙද්දී, සමාජවාදී කම්කරු පක්ෂයෙහි සමස්ත මධ්‍යම නායකත්වය, මිනෙසොටාහි නෝර්ත්ෆීල්ඩ් නගරයේ පිහිටි කුඩා ගතානුගතික ආයතනයක් වන කාල්ටන් කොලීජියේ උපාධිධරයන් වූ බව, ජාත්‍යන්තර කමිටුව සොයා ගත්තේ ය. සකප ජාතික ලේකම් ජැක් බාන්ස්ගේ පටන් මේ සියලු බඳවා ගැනීම් -1979 දී පැවති සම්මුඛ සාකච්ඡාවක දී කොලීජියේ සභාපති රිචඩ් ගිල්මන් සඳහන් කල වචන යොදා ගන්නේ නම් - සීඅයිඒ විසින් පවත්වාගෙන ගිය “කියුබාවට සාධාරනය” නම්වූ කමිටුව හරහා සකපය තුලට “රිංගවා” තිබුනි.
49. ආසන්න වසයෙන් වසර හතරක් පුරා ඇදී ගිය ගෙල්ෆාන්ඩ් නඩුවේ අනුක්‍රමය සාරාංශගත කිරීමට, මම මෙහි දී උත්සාහ නො කරමි. මේ සතියේ පසුව පැවැත්වෙන දේශන කිහිපයක මාතෘකාව බවට එය පත්වනු ඇත. එහෙත්, දිවුරුම් ප්‍රකාශ හා නෛතික ව සුපරීක්ෂිත ලේඛනවල ස්වරූපයෙන්, ජාත්‍යන්තර කමිටුව අනාවරනය කරගත් සාක්ෂි සහ සිදු කල චෝදනාවල පරිපූර්න සනාථවීමක් නඩුවෙහි ප්‍රතිඵලය වූ බව මා අවධාරනය කල යුතු ය. ඇත්ත වසයෙන් ම, ඇලන් ගෙල්ෆාන්ඩ් සහ ඔහුගේ ප්‍රධාන නීතිඥයා වූ ජෝන් බර්ටන් විසින් ලබාගත් තීරනාත්මක අතිරේක තොරතුරු, එෆ්බීඅයි සහ ජීපීයූව සමග හැන්සන්ට පැවති සබඳතා ගැන හැන්සන්, නොවැක් හා සකප නායකත්වය කියා තිබුනු බොරු, තීරනාත්මක ලෙස හෙලිදරවු කලේ ය. ඇලන් ගෙන ගිය අරගලයෙහි දේශපාලනික වැදගත් කම සහ විරෝධාර ස්වභාවය, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයෙහි ඉතිහාසය තුල සදාකාලික ව ජීවමාන වනු ඇත.
50. මෙම පාසල සූදානම් කරන අතරතුර, විමර්ශනය තුල පුද්ගලික ව නිරත වූ අය පවා, ගෙල්ෆාන්ඩ් නඩුවෙහි අත්‍යන්ත කොටසක් වන, ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය විමර්ශනයෙහි සුවිසල් පරිමානය ගැන නොවැලැක්විය හැකි ලෙස විස්මිත විය. නිර්දය විරුද්ධත්වය, තර්ජන හා ප්‍රචන්ඩත්වයට පවා මුහුන දෙමින් මෙම පරීක්ෂනය සිදු කරන ලදී.
51. විමර්ශනය ආරම්භ කිරීම සඳහා දේශපාලනික ගාමකය පලමු ව පැමිනියේ ජෙරී හීලිගෙන් බව අවිවාදිත ය. 1930 ගනන්වල මොස්කව් අවනඩු සහ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට එරෙහි ජීපීයූවේ ත්‍රස්ත උද්ඝෝෂනය සමයේ ස්ටැලින්වාදී ව්‍යාපාරයෙන් භේද වුනු හීලි, හතරවන ජාත්‍යන්තරයෙහි ආරක්ෂාව කෙරෙහි හැන්සන්ගේ අවඥාසහගත ආකල්පයෙහි භයානක ගම්‍යයන් ග්‍රහනය කරගත හැකි තත්ත්වයක සිටියේ ය.
52. හැන්සන් හීලිට “මතිබ්‍රමය” පිලිබඳ චෝදනා කල විට, එය සරල පුද්ගලික අපවාදයක් ලෙස හීලි දැකගත්තේ නැත. ඒ වෙනුවට, හතරවන ජාත්‍යන්තරය තුලට ඒජන්තයින් ඇතුල්වීම විසින් ගෙන ආ අන්තරාය හැන්සන්ගේ නරුම නො තකා හැරීමට ලක්වීම, මාක් ස්බොරොව්ස්කි හා රේමන් මර්කාඩර්ගේ උදාහරන වහා ම සිහිපත් කරගැනීමට හීලි මෙහෙයවී ය. කොයෝවාකාන්හි දී ට්‍රොට්ස්කිගේ ඝාතනයට සත්‍ය වසයෙන් සාක්ෂි දරා සිටි හැන්සන්ට, විප්ලවවාදී ව්‍යාපාරය තුල සුපරික්ෂාකාරී බව සඳහා අවශ්‍යතාව නො තකා හැරිය හැකි වූයේ කෙසේදැයි හීලි තමන්ගෙන් ම ප්‍රශ්නකර ගත්තේ ය.
53. නිශ්චිත ව ම ජෙරී හීලි “දැඩි මිනිසෙක්” විය. එහෙත්, 1930 ගනන්වල ම්ලේච්ඡ සිද්ධි හා ඛේදවාචකයන් මධ්‍යයේ, දේශපාලනික ව අධ්‍යාපනගත කෙරී තිබුනු පරම්පරාවකට ඔහු අයත් විය. ස්ටැලින්වාදයෙන් ඔහුගේ භේදවීමට තුඩු දුන් කෘතිය වූයේ, මැක්ස් ශැට්මන්ගේ “මොස්කව් අවනඩුව පිටුපස” නමැති පොත්පිංච යි. 1937 නොවැම්බර් 2දා පල කල “කම්කරු සංවිධාන වෙත විවෘත ලිපියක්” යන ලේඛනය තුල ට්‍රොට්ස්කි නිකුත් කල අනතුරු ඇඟවීම හීලිට කිසිදා අමතක නො වී ය:
ස්ටැලින්ගේ කල්ලිය හා එහි ජාත්‍යන්තර ඒජන්තයින් තරම් දුෂ්ට, අනතුරුදායක, බලවත් හා අප්‍රතිපත්තික හතුරෙක් කම්කරු ව්‍යාපාරය තුල තමන්ගේ ම නායකයන් අතර කිසිදා සිට නැත. අරගලය තුල මෙම හතුරාට එරෙහි නො සැලකිලිමත්කම පාවාදීමට සමාන වේ. ශෝචනීය ලෙස කෝපාග්නියෙන් කෑගැසීමට තමන් ව ම සීමා කරගත හැක්කේ වාචාලයන්ට හා බොලඳයන්ට මිස බැරෑරුම් විප්ලවවාදීන්ට නො වේ. ස්ටැලින්වාදීන්ගේ වෙට්ටු දැමීම්, කූටෝපායන් හා අපරාධ විමර්ශනය කරන විශේෂ කොමිෂන් සභා නිර්මානය කිරීම, පවතින අන්තරායන් කෙරෙහි කම්කරු සංවිධානවලට අනතුරු ඇඟවීම සහ මොස්කව් මැරයින් වැලැක්වීමේ හා ඔවුන්ට ප්‍රතිරෝධය දැක්වීමේ හොඳ ම ක්‍රම විස්තාරනය කිරීම හදිසි අවශ්‍යතාවකි.
54. හැන්සන්ගේ “හීලිගේ අපෝහකයෙහි රහස” යන්නට කවිප ලියූ පිලිතුර, ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය විමර්ශනය ආරම්භ කිරීමට ගෙන ආ යෝජනාව සහ ජීපීයූව ට්‍රොට්ස්කි මරාදැමුවේ කෙසේ ද යන ලේඛනය කෙටුම්පත් කිරීම තුල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයෙහි ඓතිහාසික අත්දැකීම කෙරෙහි හීලිගේ නිර්මානශීලි ප්‍රබෝධය ප්‍රකාශයට පත්විය.
55. හීලිගේ මැදිහත්වීම වර්කර්ස් ලීගයේ තරුන කේඩරය ඇතුලතින් බලගතු ප්‍රතිචාරයක් පැනනැංවී ය. මෙය පැහැදිලි කරන්නේ කෙසේ ද? පලමු ව, වර්කර්ස් ලීගයේ කේඩරය ට්‍රොට්ස්කිවාදයෙහි ඉදිරි දර්ශනයට හා ක්‍රියාමාර්ගයට දිනාගෙන තිබුනේ, ජාත්‍යන්තර කමිටුව පැබ්ලෝවාදයට එරෙහි ව දියත් කර තිබුනු අරගලය හරහා ය. 1953 දී කැනන් ලියූ විවෘත ලිපිය සහ සකපය ට්‍රොට්ස්කිවාදය පාවාදීමට විරුද්ධ ව 1961-63 සමයේ සොෂලිස්ට් ලේබර් ලීගය ලියන ලද තීරනාත්මක ලේඛන, පක්ෂ කේඩරයේ දේශපාලන දෘෂ්ටිය හැඩ ගැස්වුයේය.
56. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයෙහි අඛන්ඩතාව මත ජාත්‍යන්තර කමිටුව යෙදූ අවධාරනය, වර්කර්ස් ලීගයේ කේඩරය තුලට ඓතිහාසික ප්‍රශ්න කෙරෙහි බැරෑරුම් ආකල්පයක් කාවැද්දී ය. අපගේ වර්තමාන කර්තව්‍යයන් හා හතරවන ජාත්‍යන්තරයේ පූර්ව අත්දැකීම ද ඉන් ඔබ්බේ ඔක්තෝබර් විප්ලවය, කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ පලමු සම්මේලන හතර සහ වාමාංශික විරුද්ධ පාර්ශවය ගොඩනැගීමට තුඩු දුන් ප්‍රශ්න හා එහි පසුකාලීන අරගලයන් අතර ගැඹුරු දේශපාලනික සබඳතාව කෙරෙහි අවබෝධය වර්කර්ස් ලීගයේ කේඩරයෙහි දේශපාලන විඥානය තුල ප්‍රකාශනය ලබාගති.
57. කම්කරු විප්ලවවාදී පක්ෂය වඩ වඩා මෙම අරගලයෙන් පසුබසිද්දී පවා, වර්කර්ස් ලීගය ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තර විමර්ශනය ලුහුබැඳි අධිෂ්ඨානය හා ආක්‍රමනශීලි භාවය යයි පවා කිව හැකි දෙයට හේතු වන්නේ මෙය බව මම විශ්වාස කරමි.
58. ජාත්‍යන්තර කමිටුවේ කේඩරය අධ්‍යාපනගත කිරීමේ පදනම සකස් කල ඓතිහාසික අත්දැකීම, දේශපාලන මූලධර්ම සහ හතරවන ජාත්‍යන්තරයේ ක්‍රියාමාර්ගික පදනම් කෙරෙහි වන උත්සුකය, සමාජවාදී කම්කරු පක්ෂය හා පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලය (සහ විශේෂයෙන් ම හැන්සන්ගේ ඍජු ආනුභාවයට වඩාත් ම සමීප වූ බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර මාක්ස්වාදී කන්ඩායම හා ඕස්ට්‍රේලියාවේ සමාජවාදී කම්කරු ලීගය වැනි ශාඛා) ඇතුලත රජකල බොලඳ තත්කාර්යවාදයේ, අවස්ථාවාදයේ හා නරුමත්වයේ වාතාවරනයෙහි සම්පූර්න ප්‍රතිවිරුද්ධය විය.
59. ජාත්‍යන්තර කමිටුව අනාවරනය කරගත් සාක්ෂි කොතරම් බලවත් වුව ද, එමගින් මෙම සංවිධානවල නායකයින් සොලවාලිය නො හැකි විය. 1977 ජූලි 29දා නිකුත් කල හජාජාක ප්‍රකාශය සටහන් කල පරිදි “ජාත්‍යන්තර කමිටුව කෙරෙහි මොවුන් කෙතරම් දේශපාලන වෛරයකින් පෙලෙන්නේ ද යත්, ඔවුන් හැන්සන් සමග අපායට වුවත් යනු ඇත.” පැබ්ලෝවාදී කන්ඩායම් ඇතුලත රැකවරන සහිත ව සුවපහසුවෙන් ක්‍රියාත්මක වූ බොහෝ පොලිස් ඒජන්තයින් ගැන සඳහන් නො කල ද ඇටුවම්බැසගත් අවස්ථාවාදීන්ගෙන් හා තාරික් අලි වැනි ස්වයං-ප්‍රවර්ධක ප්‍රසිද්ධිය සොයන්නන්ගෙන් වෙනත් දෙයක් අපේක්ෂා කල නො හැකි විය.
60. එහෙත්, සකප නායකත්වය තුල හැන්සන්ගේ ස්ථානය ආරක්ෂා කලේ දේශපාලනික දූෂිතභාවය පමනක් නො වේ. එහි සාමාජිකත්වයේ අතිමහත් බහුතරය සමන්විත වූ මධ්‍යම පන්තික කොටස් හැන්සන්ට සහයෝගය දුන්නේ, ඒත්තු ගැනීමක් වෙනුවට ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය විමර්ශනය විසින් ඉස්මතු කරන ලද ඓතිහාසික අත්දැකීම් හා දේශපාලන ප්‍රශ්න ගැන ඔවුන් උනන්දු නො වූ හා උදාසීන වූ නිසා ය.
61. විරෝධතා දේශපාලනයේ කෙටි-කාලීන උත්සුකයන්හි ගිලීසිටි හා ඒ නිසා ම ධනපති රාජ්‍යය පෙරලා දැමීම වෙනුවට එය ප්‍රතිසංස්කරනය කරනුවස් පීඩනය යෙදීම මත කේන්ද්‍රගත ව සිටි, පැබ්ලෝවාදී සාමාජිකත්වය තම සංවිධානය තුලට රාජ්‍යයේ විනිවිදීම පිලිබඳ ව විශේෂයෙන් උත්සුක වීමට හේතුවක් දැකගත්තේ නැත. ජීපීයූව හා එෆ්බීඅයි සමග හැන්සන්ගේ සබඳතා හෙලිදරවු කරන ප්‍රකාශ බෙදාහරින ලද වර්කර්ස් ලීගයේ සාමාජිකයින් නොතකු සකප සාමාජිකත්වය විසින් පොදුවේ දැක්වූ ප්‍රතිචාරයන් වූයේ “ඉතින් ඒකට මොක ද?” සහ “ඕව ගනන් ගන්නේ කවුද?” ආදියයි. සකප සාමාජිකයින් අතර දේශපාලන ආදර්ශ පාඨයක තත්ත්වය ලබාගත් තවත් වාක්‍යාංශයක් වූයේ “ඒජන්තයින් හොඳ වැඩත් කරනවා” යන්න යි.
62. පසුව සඳහන් කල කොටසේ දේශපාලන ප්‍රඥාව සකස් කරගන්නා ලද්දේ, සාර්වාදී රහස් පොලීසිය වූ ඔක්‍රානාවේ ඒජන්තයෙකු මෙන් ම බෝල්ශෙවික් පක්ෂයේ නායක සාමාජිකයෙක් වූ රෝමන් මැලිනොව්ස්කි හෙලිදරවු කර ගැනීමෙන් බෝල්ශෙවිකයින් උකහාගත් පාඩම් හැන්සන් විසින් විකෘත කිරීම තුලිනි.
63. මෙම ඒජන්තයා පක්ෂ වැඩකටයුතු මත ඇති කල බලපෑම විනාශකාරී විය. ඔහු ඔක්‍රානාව වෙත සැපයූ තොරතුරු ගනන් නැති අත්අඩංගුවට ගැනීම් හා මරනවලට තුඩු දුන්නේ ය. විප්ලවයට පෙර රුසියානු පාර්ලිමේන්තුව තුල පක්ෂයේ නායක ප්‍රකාශකයෙකු වූ මැලිනොව්ස්කිගේ සිද්ධිය විමර්ශනය කිරීමේ දී, බෝල්ශෙවිකයන් පසුව සටහන් කලේ, බෝල්ශෙවිකයන්ගේ ආස්ථානයන් ප්‍රසිද්ධ කල කතා පැවැත්වීමට ඔහුට බලකෙරුනු බව යි. ඔත්තු බලන්නෙකු ලෙස සිය විනාශකාරී කර්තව්‍යයන් සම්පූර්න කරනුවස්, මැලිනොව්ස්කි අනධ්‍යාශයිකව පක්ෂයේ අවශ්‍යතා අභිවර්ධනය කල සමහර දේශපාලනික කටයුතු සිදු කලේ ය.
64. එහෙත්, මෙම ප්‍රකාශයෙහි අභිප්‍රායය වූයේ, විප්ලවවාදී ව්‍යාපාරය තුල ඒජන්තයින් “හොඳට වැඩ” කරතියි යන ව්‍යාජ පදනම මත ඔවුන්ගේ භූමිකාවට අනුමැතියක් දීම නො වේ. සියල්ලට පසුව, බලයට පැමිනි බෝල්ශෙවික් පාලනය ප්‍රතිවිප්ලවවාදී ඔත්තු බලන්නන්ගේ ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා චෙකාව (සෝවියට් රහස් පොලිසිය - පරිවර්තක) ස්ථාපිත කලේ ය. විප්ලවවාදී අභිප්‍රාය සඳහා ඔත්තු බලන්නන් අනධ්‍යාශයිකව කල ප්‍රතිපදානයන් වෙනුවෙන් ඔවුන්ට සම්මාන පුදකෙරුනේ නැත. මැලිනොව්ස්කිගේ ඉරනම පිලිබඳව හැරල්ඩ් රොබින්ස් සෝපාහාසයෙන් මෙසේ සඳහන් කලේ ය: ” බෝල්ශෙවිකයෝ ඔහු අල්ලා ගෙන ඔහුට වෙඩි තැබූහ”
65. සකප සාමාජිකයින් අතර දේශපාලනික උදාසීනත්වය වැපිරීමට, ඒජන්තයින් හොඳ හා නරක යන දෙවර්ගයේ ම වැඩ කරන්නේ ය යන අදහස් දිරිමත් කිරීමට සහ ඒවායින් හොඳ වැඩ නරක වැඩවලට වඩා වැදගත් යන්න සනාථ කිරීමට, හැන්සන් විසින් මැලිනොව්ස්කි සිද්ධිය විකෘත කිරීම සැලසුම් කෙරුනේ ය. අව්‍යාජ විප්ලවවාදීන්, ඒජන්තයින් හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිලිබඳව සියයට 50-50 සමතුලිත ආකල්පයක් ගන්නේ නැත. පොලිස් ඒජන්තයා යනු “හුදෙක් ඔත්තු බලන්නෙකු පමනක් නො වන පාපමිත්‍රයෙකු හා විනාශයේ මුලෝපායඥයෙකු” වන “ප්‍රකෝපකාරියෙකු” ලෙස වික්ටර් සර්ජ් ඔහුගේ මතක සටහන් තුල විස්තර කලේ ය.
66. සකප නායකත්වය විසින් ඉදිරියට දැමුනු, එහි අඥාන හා උදාසීන සාමාන්‍ය සාමාජිකත්වය විසින් පිලිගත් තවත් තර්කයක් ද පැවතුනි. 1978 අප්‍රේල් 7දා ඇලන් ගෙල්ෆාන්ඩ් ට ලියූ සිය ලිපිය තුල, සකප නායක ලැරී සීගල් මෙසේ ලීවේ ය: “පක්ෂ සාමාජිකත්වය අතර ඒජන්තයන් අල්ලාගැනීම සඳහා පක්ෂයට ඉඩ දිය නො හැකි අතර, එයට ඉඩ දෙන්නේ ද නැත.” “රත්තන් අල්ලා ගැනීම” හෝ “යුදෙව්වන් අල්ලාගැනීමක්” සේ මෙම බරදමු පදය යොදා ගැනුනේ, පොලීසිය හා ඔත්තුසේවා ආයතන සමග සබඳතා සම්බන්ධ සාක්ෂි පැවතුන ද, ඕනෑ ම පක්ෂ සාමාජිකයෙකුගේ දේශපාලනික අවංකභාවය ප්‍රශ්න කිරීම වැලැක්වීම ය. මෙම රීතියේ ප්‍රායෝගික ව්‍යවහාරය පොලිස් ඒජන්තයන් ට තමන් එලිදරව්විමෙන් වැලකී සිටීමේ නිරපේක්ෂ ආරක්ෂාව සහතික කලේ ය.
67. අර්ධ ශතවර්ෂයක ගමන් මාවත පුරා, ප්‍රවනතා, ඒවායේ නායකයින් හා සාමාජිකයන් ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය විමර්ශනය ගැන ගත් ආකල්පය, ඔවුන්ගේ දේශපාලනික දිශානතිය පිලිබඳ ඉතා නිරවද්‍ය හා නො වරදින දර්ශකයක් වන බව සනාථ වී ඇත. අනිවාර්යයෙන් ම, ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය විමර්ශනය හෙලාදැකීම, ට්‍රොට්ස්කිවාදය ප්‍රතික්ෂේප කිරීම සමග සමීප ව සම්බන්ධිත ය.
68. සමස්ත දශකයක් පුරා, කවිප නායකයින් වූ ක්ලිෆ් ස්ලෝටර් සහ මයිකල් බන්ඩා, ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය විමර්ශනයේ උද්‍යෝගීමත් ආධාරකරුවෝ වී සිටියහ. විමර්ශනයට පහර දුන් හා මඩගැසූ අය හෙලාදකිමින්, ඔවුහු නොගිනියහැකි ලිපි ලියූ හ. එහෙත්, 1985 ගිම්හානයේ හා ශරත් සමයේ කවිපය තුල පුපුරා ගිය අර්බුදය මධ්‍යයේ, ජාත්‍යන්තර කමිටුවෙන් භේදවීමට සූදානම් වෙද්දී, ඔවුන් පූර්වයෙන් ලියා තිබුනු සියල්ල අමතක කරමින්, ස්ලෝටර් සහ බන්ඩා ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය ගැන තිත්ත හෙලාදැකීම් නිකුත් කල හ. හැන්සන්ගේ වචන අනුමත කල බන්ඩා විමර්ශනය විස්තර කලේ, “හීලිගේ භීතික භින්නෝන්මාදය තෘප්තිමත් කිරීම මෙන් ම ඔහු න්‍යාය-විරෝධී අනුභූතිවාදය තෘප්තිමත් කරන උන්මාදනීය දඩයමක්, නිශ්චිතව කියන්නේ නම් මංමුලා සහගත අධිකරන වෛද්‍ය-විද්‍යාමය අපසරනයක්” ලෙස ය. මෙම උන්මාදනීය ආක්‍රෝශපරිභවය ලිවීමෙන් සති ගනනක් ඇතුලත, ට්‍රොට්ස්කි හෙලාදුටු බන්ඩා, ජොස්ෆ් ස්ටැලින් කෙරෙහි සිය අසීමිත ගෞරවය ප්‍රකාශ කිරීම කරා ඉදිරියට ගියේ ය.
69. ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය පිලිබඳ බන්ඩාගේ හෙලාදැකීම අනුමත කල ස්ලෝටර්, එහි කටයුතු ස්ටැලින්වාදයට සහ පැබ්ලෝවාදයට එරෙහි න්‍යායික අරගලයට ආදේශකයක් වී ඇති බවට ප්‍රකාශ කරමින් ඊට එය ඌනපූරන ක් ද සම්පාදනය කලේය. උත්ප්‍රාසයක අංගයක් අඩංගු කරගත් මෙම කියාපෑමේ මුග්ධත්වය වන්නේ, බන්ඩා සහ ස්ලෝටර් යන දෙදෙනා ම දැනුවත් ව ට්‍රොට්ස්කිවාදය ප්‍රතික්ෂේප කරමින් සිටිය දී එම ප්‍රකාශය කිරීම යි. බන්ඩා ස්ටැලින්වාදයේ ආරක්ෂකයෙකු හා සියොන්වාදයේ ක්ෂමාලාපකයෙකු බවට පිරිහෙද්දී, පක්ෂයක් පිලිබඳ ලෙනින්වාදී සංකල්පය ප්‍රතික්ෂේප කිරීමට හා සුලු-ධනේශ්වර අරාජකවාදී මානවවාදයේ රූපාකාරයක් වැලඳගැනීම දක්වා යමින් ස්ලෝටර් දේශපාලනික දක්ෂිනාංශය කරා සිය දිගු ගමනේ ලුහුටා යාම ආරම්භ කලේ ය.
70. පැබ්ලෝවාදයට එරෙහි වත්, මාක්ස්වාදයේ සංවර්ධනය සඳහාත් වූ අරගලයෙන් පිටපැනීමක් ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය මගින් සලකුනු කෙරුනේය යන කියාපෑමට පිලිතුරු දීමේ දී, 1975 හා 1985 අතර ජාත්‍යන්තර කමිටුවේ ඉතිහාසය සනාථ කරන්නේ හරියටම එහි ප්‍රති-විරුද්ධයයි. වර්කර්ස් ලීගය ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය විමර්ශනය තුල තීව්‍රතර ලෙස නිමග්න වීම, කවිපට විරුද්ධ ව ට්‍රොට්ස්කිවාදයේ ක්‍රියාමාර්ගය හා මාක්ස්වාදයේ දාර්ශනික පදනම් ආරක්ෂා කිරීම සමග වෙන් කල නොහැකි ලෙස සම්බන්ධ වී තිබුනේ ය.
71. ඇත්ත වසයෙන් ම, කවිපය අවස්ථාවාදය දෙසට පැද්දී යාමට සහ අපෝහක විධික්‍රමය හීලි විසින් විකෘත කිරීමට එරෙහි වර්කර්ස් ලීගයේ ප්‍රධාන ලේඛන ලියන ලද්දේ, ගෙල්ෆාන්ඩ් නඩුවේ වඩාත් ම තීව්‍ර අවදි යේ එනම් නඩු විභාගය සඳහා සූදානම්වීම් කෙරෙන අතරතුරදී ය.
72. ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය විමර්ශනය, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයෙහි ඉතිහාසය තුල ප්‍රධාන පරිච්ඡේදයකි. එහි සොයාගැනීම්, සමස්ත අර්ධ ශතවර්ෂයක් පුරා කාලයේ පරීක්ෂාවට ඔරොත්තු දී තිබෙනවා පමනක් නොව, එහි වැඩකටයුතු අඛන්ඩ ව ඉදිරියට යයි. 1941 දී සකප නායකයන් 18 දෙනාට අභිචෝදනය කිරීමේ ආභාසයෙන් එෆ්බීඅයි සමග හැන්සන්ගේ ගනුදෙනු විශ්ලේෂනය කරමින් සහ ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය කිරීමේ දී සිල්වියා ඇජිලොෆ් ඉටුකල භූමිකාව විභාග කරමින් එරික් ලන්ඩන් සහෝදරයා ලියූ විශ්ලේෂනය, හතරවන ජාත්‍යන්තරයට එරෙහි අධිරාජ්‍යවාදයේ හා ස්ටැලින්වාදයේ ඒකාබද්ධ කුමන්ත්‍රනයන් අවබෝධ කරගැනීමකට කරන ලද වැදගත් ප්‍රතිපදානයන් වේ.
73. ජාත්‍යන්තර පාසලට කරන මෙම හැඳින්වීම සමාප්ත කරමින්, පක්ෂයේ ආරක්ෂාව, අන් සියල්ලටමත් වඩා, දේශපාලන ප්‍රශ්නයක් බව මා අවධාරනය කල යුතු ය. ආරක්ෂාව සඳහා ඇති අවශ්‍යතාවය හඳුනා ගැනීම ධනේශ්වර රාජ්‍යයේ ස්වභාවය, පන්ති අරගලයේ නීති, අධිරාජ්‍යවාදී යුගයේ ස්වභාවය, ලෝක ධනවාදයේ වෛෂයික අර්බුදය සහ පක්ෂයේ ක්‍රියාමාර්ගය කෙරෙහි ගැඹුරට මුල්බැස ගත් කැපවීම පිලිබඳ මාක්ස්වාදී අවබෝධයකින් පැන නගී. සංවිධානාත්මක ආරක්ෂාව පවත්වාගෙන යාමේ සංකීර්න ගැටලුව අවබෝධ කරගැනීමට අවශ්‍ය කරන න්‍යායික හා දේශපාලනික විඥානයේ මට්ටමට, මැනවින් ශික්ෂිත හා දේශපාලනික ව අනම්‍ය මාක්ස්වාදී කේඩරයක් අවශ්‍ය කරයි.
74. ප්‍රජාතන්ත්‍රවාදී, විනයගත හා රාජ්‍ය ප්‍රහාරයන්ට ප්‍රතිරෝධය දැක්විය හැකි පද්ධතියක් සඳහා හැකියාව ලබා දෙන පැහැදිලි දේශපාලන මූලධර්ම තුල පදනම් ගතවූ අභ්‍යන්තර සබඳතා විප්ලවවාදී කේඩරයක වර්ධනය සඳහා අවශ්‍ය කරයි. අවස්ථාවාදී උදාසීනත්වය හා භීතියෙන් පෙලෙන උන්මාදය යන දෙක ම එමගින් වැලැක්විය යුතු ය. දේශපාලනික සුපරික්ෂාව සංත්‍රාසය සමග නො ගැලපෙයි. [ඒජන්තයන්] විනිවිදීමට එරෙහි ශක්තිමත් ම ආරක්ෂාව වන්නේ, දේශපාලනික ව ශික්ෂිත හා මැනවින් දැනුවත් කේඩරයක් සිටීම වන අතර, අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රවේසමෙන් සංවිධිත ආරක්ෂක ක්‍රියාමාර්ගයක් පවත්වාගෙන යාම සඳහා එවන් කේඩරයක් නැති ව ම බැරි ය. ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය විමර්ශනයෙහි ඉතා ම තීරනාත්මක පාඩම් අතර මෙය පවතී.
75. අප අභියස ඉතා අභියෝගාත්මක සතියක් පවතී. ඉතිහාසය, දේශපාලනය සහ නීතියට පවා සම්බන්ධිත විශාල තොරතුරු සම්භාරයකින් දේශන සමන්විත වනු ඇත. අභියෝගාත්මක හා අනතුරුදායක කාලයක් තුල අප ජීවත් වෙමු; වෛෂයික සිදුවිම් අපගේ කේඩරය මත විශාල විධානයන් පනවනු ඇත. ඉලක්කගත ඝාතන හා ජනසංහාර සාමාන්‍යකරනය කෙරී ඇති හා ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ව්‍යවස්ථාමය පදනම් බිඳී යන කාලයක දී දේශපාලන ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නය සුවිශාල අර්ථභාරයක් දරන බව අතිශයින් පැහැදිලි ය. මේවා ලෝක පරිමානයෙන් පන්ති අරගලයේ දැවැන්ත උත්සන්න වීමක සහ සිවිල් යුද්ධයට සහ සමාජ විප්ලවයට මාරුවීමේ ප්‍රකාශනයන් ය. මෙම ජාත්‍යන්තර පාසලේ අරමුන වන්නේ ලෝක ධනවාදයේ වේගවත් වන අර්බුදය විසින් මතු කරනු ලබන අභියෝගවලට මුහුන දීම සඳහා සමාජවාදී සමානතා පක්ෂයේ සහ ජාත්‍යන්තර කමිටුවේ කේඩරයේ දේශපාලන මට්ටම ඉහල නැංවීම සහ බලය අත්පත් කර ගැනීම සහ ලෝක සමාජවාදී සමාජයක් ගොඩනැගීම සඳහා ඇමරිකානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය සූදානම් කිරීමයි. සහෝදරවරුන්ගේ අවධානයට ස්තුතියි.