ගාසා තීරය අත්පත් කර ගැනීමේ ඊශ්‍රායල සැලසුම් හෙලා දැකීමට ශ්‍රී ලංකාවේ ආන්ඩුව අසමත් වේ.

[මෙය Sri Lankan government fails to condemn Israel’s planned seizure of Gaza යන මැයෙන් 2025 අගෝස්තු 18දා පල කෙරුනු ලිපියේ පරිවර්තනය යි.]

ශ්‍රී ලංකාවේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, පලස්තීනුවන්ට එරෙහිව වසර දෙකකට ආසන්න කාලයක් ගෙනගිය ජන සංහාරක යුද්ධයෙන් පසුව, ගාසා තීරය අත්පත් කර ගැනීමට ඊශ්‍රායලය සැලසුම් කිරීම සම්බන්ධයෙන් හුදෙක් “ගැඹුරු කනස්සල්ල” පමනක් ප්‍රකාශ කරමින් කුහක සහ බියගුලු ප්‍රකාශයක් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා කැබිනට් අමාත්‍ය සහ ජවිපෙ දේශපාලන මන්ඩල සභික විජිත හේරත් [ඡායාරූප: Facebook/jvpvijithaherath] [Photo: Facebook/jvpvijithaherath]

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මන්ඩලය ගාසා නගරය සම්පූර්නයෙන්ම අත්පත් කර ගැනීම සහ එහි පදිංචිකරුවන් මිලියන 2 ක් බලහත්කාරයෙන් අවතැන් කිරීම සඳහා වන සැලසුම් අනුමත කර ඇත - එම සැලසුම් සමූහ වාර්ගික අතුගා දැමීමකට සමාන වේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුලු ඊශ්‍රායල සහ එක්සත් ජනපද නිලධාරීන්, පලස්තීනුවන් අසල්වැසි රටවල නැවත පදිංචි කිරීම පිලිබඳව විවෘතව සාකච්ඡා කර ඇත. අඛන්ඩව සිදුවන ජන සංහාරයට, සමූහ ඝාතන, පොදු යටිතල පහසුකම් විනාශ කිරීම, බලහත්කාරයෙන් අවතැන් කිරීම සහ කුසගින්න අවියක් ලෙස භාවිතා කිරීම ඇතුලත් වේ. දස දහස් ගනනක් - මූලිකවම සිවිල් වැසියන් - මරා දමා ඇති අතර, තවත් බොහෝ දෙනෙක් කිහිප වතාවක්ම අවතැන් වී ඇත.

එක්සත් ජනපදය සහ අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් විසින් සම්පූර්නයෙන්ම සහාය දක්වන ඊශ්‍රායලයේ සැලසුම් සම්බන්ධයෙන් ජනාධිපති දිසානායකගේ ආන්ඩුව කිසිදු විවේචනයක් හෝ හෙලා දැකීමක් සිදු කලේ නැත.

අගෝස්තු 9 වන දින, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය “ගාසාවේ පාලනය අත්පත් කර ගැනීමට ඊශ්‍රායලය ගත් තීරනය පිලිබඳව ගැඹුරු කනස්සල්ල” ප්‍රකාශ කරමින් වාක්‍ය තුනකින් යුත් කෙටි ප්‍රකාශයක් නිකුත් කරන ලදි. එය “වහාම ක්‍රියාත්මක වන සටන් විරාමයක්' සහ “තිරසාර සාමය” ස්ථාපිත කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික සංවාදයක් ඉල්ලා සිටියේය.

භූමිය අත්පත් කර ගැනීමට සැලසුම් කිරීමත් සමඟ සිදුවන ජන සංහාරයක් හෝ වාර්ගික අතුගා දැමීමක් පිලබඳ කිසිදු සඳහනක් ප්‍රකාශයේ නොමැත. “සටන් විරාමයක්”, “සංවාදයක්” සහ “කලාපයේ තිරසාර සාමය” සඳහා එහි හිස් ඉල්ලීම්, නෙතන්‍යාහුගේ අන්ත දක්ෂිනාංශික පාලනය සමඟ ඵලදායී ලෙස පෙල ගැසීම සඳහා, අනුක්‍රමික ඝාතකයෙකුගෙන් අනුකම්පාව පෙන්වන ලෙස ඉල්ලා සිටීමකි.

ඊශ්‍රායලය සහ එහි එක්සත් ජනපද ආධාරකරුවන් කරන්නේ සාමය සෙවීම නොව, සියලු පලස්තීන භූමි ප්‍රදේශ සහ අසල්වැසි රාජ්‍යවල කොටස් පවා ඉලක්ක කර ගනිමින් “මහා ඊශ්‍රායලයක්” ගොඩනැඟීෙම් න්‍යාය පත්‍රයක් අනුගමනය කිරීමය. ලෙබනනය, සිරියාව, ඉරාකය සහ ඉරානයට ඊශ්‍රායලය පහර දී තිබේ. 2023 ඔක්තෝබර් මාසයේ සිට, පලස්තීනුවන් 62,000 කට වැඩි පිරිසක් - වැඩි වශයෙන් ලමයින්, කාන්තාවන් සහ වැඩිහිටියන් - මරා දමා ඇත. ජනගහනයෙන් සියයට 90 කට වඩා අවතැන් වී ගාසා තීරය නටබුන් වී ඇති අතර, සාගතය සහ මීටත් වඩා බරපතල යුද අපරාධ පවා දැන් සිදු ෙකෙරමින් පවතී.

ජවිපෙ/ජාජබ ප්‍රකාශය “පලස්තීන ජනතාව” ගැන සඳහන් කිරීමම මඟ හැර අැත. ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් වැනි ඊශ්‍රායල නායකයින්ගේ මිනීමරු භාෂාව සම්බන්ධයෙන් එය නිහඬය. ඔහු පලස්තීනුවන් “මිනිස් තිරිසනුන්” ලෙස හැඳින්වීය. මෙම නිහඬතාවය, ඊශ්‍රායල ප්‍රකෝපකාරීත්වයන්ට, ජවිපෙ පෙරදී දැක්වූ විරෝධයට හාත්පසින්ම වෙනස් ය.

2018 මැයි 16 වන දින, ජෙරුසලමේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විවෘත කිරීමේදී ජවිපෙ “පලස්තීන ජනතාවට එල්ල කල කුරිරු ප්‍රහාරය හෙලා දුටුවේය”. නැවතත්, 2023 ඔක්තෝබර් 31 වන දින, ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක ඊශ්‍රායලයෙන් “එහි ප්‍රහාර නවතා” සටන් විරාමයකට එකඟ වන ලෙස ඉල්ලා සිටියේය.

ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක [Photo: Facebook/Bimal Rathnayake]

කෙසේ වෙතත්, 2024 අගභාගයේදී බලයට පත්වීමෙන් පසු, ජනතා විමුක්ති පෙරමුන ගාසා තීරයේ එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද ධාවනය සහ මැද පෙරදිග භූ-මූලෝපායික න්‍යාය පත්‍රය සමඟ නිහඬ පෙලගැසීමකට තම ස්ථාවරය මාරු කලේ ය. දැන් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා සහ ආන්ඩු පක්ෂ කන්ඩායෙම් නායකයා වන රත්නායක, තවමත් පලස්තීනය සමඟ සහයෝගීතාව සඳහා වූ ශ්‍රී ලංකා කමිටුවේ සභාපතිවරයා ලෙස සිටින අතර එය ආන්ඩුවේ කුහකත්වය තවදුරටත් අවධාරනය කරයි.

තම ඊශ්‍රායල් ගැති දිශානතියට අනුකූලව, ජවිපෙ/ජාජබ ආන්ඩුව ඊශ්‍රායල් ආරක්ෂක හමුදා (අයිඩීඑෆ්) නිලධාරීන්ගේ ශ්‍රී ලංකා සංචාර සඳහා අවසර දී ඇත. තවමත් ශ්‍රී ලංකාවේ සිටින අයිඩීඑෆ් සාමාජිකයින් ගනන ප්‍රකාශයට පත් නොකිරී තිබුනත්, ගාසාවෙහි යුද්ධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයිඩීඑෆ් සෙබල ගේල් ෆෙරන්බුක් ඔවුන් අතර සිටීම ඉහල ප්‍රසිද්ධියක් ලැබූ සිද්ධියකි. හින්ද් රාජාබ් පදනම පසුගිය දෙසැම්බර් මාසයේදී ඔහු කොලඹ සිටින බව හෙලි කිරීමෙන් පසු, ෆෙරෙන්බුක් රටින් පලා ගියේය. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා එම පදනම ශ්‍රී ලංකා බලධාරීන්ට, ජාත්‍යන්තර අපරාධ අධිකරනයට සහ ඉන්ටර්පෝල් වෙත අභියාචනයන් ඉදිරිපත් කර තිබුනි.

ජවිපෙ/ජාජබ ආන්ඩුව, යේමනයේ හවුති කැරලිකරුවන්ට එරෙහිව එක්සත් ජනපදය නායකත්වය දෙන මෙහෙයුම් සඳහා සහාය වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නැව් රතු මුහුදට යැවූ, පෙර පැවති වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රතිපත්තිය දිගටම ඉදිරියට ගෙන යයි. ජූලි මාසයේදී, වත්මන් කැබිනට් මන්ඩලය වානිජ නැව් ආරක්ෂා කිරීම සඳහා අඛන්ඩ සමුද්‍ර ආරක්ෂක මෙහෙයුම් අනුමත කල අතර, කලාපයේ එක්සත් ජනපද අවශ්‍යතා සමඟ පෙලගැස්ම පවත්වා ගෙන ගියේය.

මේ අතර, ශ්‍රී ලංකාව ඊශ්‍රායලයට කම්කරුවන් යැවීම දිගටම කරගෙන යන අතර, ඔවුන් එසේ යවනු ලබන්නේ ගාසා තීරයේ සිදුවෙමින් පවත්නා ජන සංහාරය හේතුවෙන් ඊශ්‍රායලයට පැමිනීම අවහිර වූ පලස්තීන කම්කරුවන් වෙනුවටයි. මෙම වසර මුලදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් මගින් ශ්‍රී ලාංකිකයින්ට ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ සේවය කිරීමට හැකියාව ලැබේ. දැනට ශ්‍රී ලාංකිකයින් 15,000 ත් 20,000 ත් අතර සංඛ්‍යාවක් එහි සේවය කරති. මාර්තු මාසයේදී, දියමන්ති, ස්වර්නාභරන, කුරුඳු සහ කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍රවල වානිජ සබඳතා පුලුල් කිරීම සඳහා ශ්‍රී ලංකාව නව කොන්සල් කාර්යාලයක් ද විවෘත කලේය.

ඊශ්‍රායලය සමඟ ජවිපෙ පෙලගැසීම, ප්‍රතිගාමී සහ වාර්ගික දේශපාලනය සඳහා එය දිගුකාලීනව ලබාදුන් සහයෝගයට අනුකූල වේ. දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) ට එරෙහි ශ්‍රී ලංකාවේ දශක තුනකට ආසන්න යුද්ධයට ජවිපෙ සහාය දුන් අතර එය 2009 මැයි මාසයේදී දස දහස් ගනනක් දෙමල සිවිල් වැසියන් සංහාරයෙන් අවසන් විය.

ගාසා තීරයේ මිලිටරි ආක්‍රමනය සඳහා ඊශ්‍රායල සැලසුම් පිලිබඳ දිසානායක ආන්ඩුවේ බියගුලු ප්‍රකාශය, ඉරානයට එල්ල කරන ලද අනවසර සහ නීති විරෝධී එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාරයට එය දැක්වූ ප්‍රතිචාරයට අනුකූල විය. ජුනි 23 වන දින, ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එක්සත් ජනපද ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව, ආන්ඩුව දුර්වල, වගකීම් විරහිත ප්‍රකාශයක් නිකුත් කල අතර, එක්සත් ජනපදය හෝ ඊශ්‍රායල ආක්‍රමනය ගැන සඳහන් නොකර, “ගැටුම අවම කිරීම” සහ “සංවාදය” පමනක් ඉල්ලා සිටියේය.

තම අධිරාජ්‍ය ගැති පෙලගැස්ම තවදුරටත් ගැඹුරු කරමින්, ජවිපෙ/ජාජබ ආන්ඩුව ඊශ්‍රායලයේ ප්‍රධාන අනුග්‍රාහකයන් වන වොෂින්ටන්, ලන්ඩන් සහ බර්ලින් සමඟ සබඳතා ශක්තිමත් කර ඇත. බලයට පත්වීමෙන් පසු, එය එක්සත් ජනපදය සමඟ වික්‍රමසිංහ ආන්ඩුවේ මිලිටරි සහයෝගීතාව දිගටම කරගෙන ගියේය. පසුගිය ඔක්තෝබර් මාසයේදී, එක්සත් ජනපද පැසිෆික් බලඇනියේ අනදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහෙලර් ශ්‍රී ලංකාවට පැමිනියේය. දෙසැම්බර් මාසයේදී, දකුනු සහ මධ්‍යම ආසියාව සඳහා එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ, පුලුල් කලාපීය සංචාරයක කොටසක් ලෙස දින තුනක් ලංකාවේ සංචාරය කරන ලදි.

අනෙකුත් රටවල පාලක ප්‍රභූන් මෙන්, ජවිපෙ/ජාජබ, ගාසා තීරයේ එක්සත් ජනපද සහාය ලත් යුද්ධයට පමනක් නොව, යුක්‍රේනයේ සහ ඉන්දු-පැසිෆික් කලාපයේ උත්සන්න වන ගැටුම්වලට ද විරුද්ධව, කම්කරුවන් සහ තරුනයින් අතර යුද විරෝධී ව්‍යාපාරයක් මතුවනු ඇතැයි බිය වෙති. මැද පෙරදිග යුද්ධයෙන් ඇති වූ ආර්ථික කඩාවැටීම ශ්‍රී ලංකාව තවදුරටත් අස්ථාවර කිරීමට සහ නැවත මහජන විරෝධතා අවුලුවාලීමට ද තර්ජනය කරයි.

දිග හැරෙන ලෝක යුද්ධයේ කොටස් වන, ගාසා තීරයේ එක්සත් ජනපද සහාය ලත් ඊශ්‍රායල ජන සංහාරයට, යුක්‍රේනයේ නේටෝ යුද්ධයට සහ චීනයට එරෙහි එක්සත් ජනපද යුද සූදානමට එරෙහිව, ශ්‍රී ලංකාවේ කම්කරුවන් සහ තරුනයින් ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග ඒකාබද්ධ, යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා සටන් කල යුතුය.

Loading