වෘත්තීය සමිති නායකයෝ තැපැල් වර්ජනය අත්හිටුවති

[මෙය Sri Lankan union leaders shut down postal strike යන මැයෙන් 2025 අගෝස්තු 28දා  පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ගිය ඉරිදා (24), වෘත්තීය සමිති නායකයෝ ආන්ඩුවේ තර්ජනයට යටත් වෙමින්, 17,000ක් පමන වන ලංකාවේ තැපැල් සේවකයින් අගෝස්තු 17දායින් ආරම්භ කර, පුරා දින හතක් රටේ තැපැල් සේවා අඩපන කරමින් ගෙනගිය අඛන්ඩ වැඩ වර්ජනය අත්හිටවූහ.

තැපැල් සේවකයින්, අගෝස්තු 19 වන දින කොලඹ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පෙලපාලි යමින්.

නොගෙවූ අතිකාල දීමනා, රැකියා සුරක්ෂිතභාවය, සේවස්ථාන කොන්දේසි සහ ඇඟිලි සලකුනු යන්ත්‍ර පැනවීම ඇතුලු, වර්ජනයේ ඉල්ලීම් 19 න් කිසිවක් ඉටු නොවූව ද වෘත්තීය සමිති අකුලා ගත්තේය.

වැඩ වර්ජනය කැඳවූ තැපැල් සහ විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය (තැවිසනිස) සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ (ඒතැවෘසපෙ), නැවත නැවතත්, තැපැල්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සමඟ සාකච්ඡා  අයැද සිටියේය. කෙසේවෙතත්. අමාත්‍යවරයා සහ තැපැල් සේවා බලධාරීන් වර්ජකයන්ගේ කිසිදු ඉල්ලීමක් ලබා දීම ප්‍රතික්ෂේප කලා පමනක් නොව,  සේවකයින්ට නැවත සේවයට පැමිනෙන ලෙස අවසාන නිවේදනයක්ද නිකුත් කලෝ ය.

ආරම්භයේ සිටම තැපැල් සේවකයින්ගේ වැඩ වර්ජනය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) විසින් ඉල්ලා සිටින ම්ලේච්ඡ කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දමා තිබෙන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආන්ඩුව සමඟ  මූලික ගැටුමක් බවට පත්විය. වානිජකරනය සහ පුද්ගලීකරනය සඳහා සටහන් කර ඇති රාජ්‍ය ව්‍යවසායන් අතර තැපැල් සේවාවන් ද වේ.

මෙම වැඩ වර්ජනය, තැපැල් සේවකයින් අතර පැතිරුනු කෝපය සහ විරෝධය විසුරුවා හැරීමේ වෑයමක් ලෙස, මෙම වසරේ තැපැල් වෘත්තීය සමිති විසින් කැඳවන ලද සිව්වන කාර්මික ක්‍රියාමාර්ගය යි. ආන්ඩුවේ පච පොරොන්දු මත පදනම්ව, වෘත්තීය සමිති නිලධාරීහූ මීට පෙර සිදුකල සියලු පූර්ව වර්ජන ක්‍රියා නවතා දැමුහ. මෙම වතාවේදී, වර්ජනය මැඩීමට  ආන්ඩුව තීන්දු කලේ ය.

තැපැල් අමාත්‍ය ජයතිස්ස, සමහර ඉල්ලීම් දැනටමත් විසඳා ඇති බවටත්, අනෙක් ඒවා සාකච්ඡා වෙමින් පවතින බවටත් ව්‍යාජ ලෙස කියා සිටි අතර, කෙසේ වුවද, අතිකාල ගැලපීම් සහ ඇඟිලි සලකුනු යන්ත්‍ර සම්බන්ධ ගැටලු විසඳීම සඳහා වන ඉල්ලීම් සාකච්ඡා කල නොහැකි බව  අවධාරනයෙන් සඳහන් කලේ ය. ඉන්පසු වර්ජකයන් සමූහිකව දොට්ට දමන බවට තර්ජනය කරමින් ඔහු මෙසේ පැවසීය: “තැපැල් සේවකයින්ට මෙම කොන්දේසි මත නැවත වැඩට එන්න පුලුවන්, අකමැති අයට කැමති වෙනත් ඕනෑම තැනක රැකියා හොයාගෙන යන්න පුලුවන්.”

අගෝස්තු 23දා එලිපිටම සිදුකල තර්ජනයෙන් පසුව, ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, වැඩ වර්ජනය බිඳ දැමීමට හමුදාව දිගේලි කලේ ය. කොලඹ මධ්‍යම තැපැල් හුවමාරුවට කඩාවැදුනු හමුදා නිලධාරීන් තැපැල් මලු විශාල ප්‍රමානයක් බසයක පටවා රැගෙන ගිය අතර, දොරටුව අවහිර කරමින් සිටි දුසිම් ගනනක් සේවකයින්ගේ ප්‍රතිරෝධය සන්නද්ධ පොලිසිය විසින් මැඩපවත්වනු ලැබී ය.

එදිනම සවස ජයතිස්ස මාධ්‍යයට කීවේ, වෘත්තීය සමිති සමඟ කුමන සාකච්ඡාවක් පැවැත්වුනද, එහිදී, ඇඟිලි සලකුනු යන්ත්‍ර භාවිතය හෝ අතිකාල ගෙවීම් සඳහා වන ඉල්ලීම සාකච්ඡා නොකෙරෙනු ඇති බවයි. ඒ ඕනෑම සාකච්ඡාවක් තැපෑල ලාබ ලැබීම හා ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීම  සඳහා වන පියවරයන් වෙත “පමනක්” අවධානය යොමු කෙරෙනු ඇති බව ඔහු පැවසීය. වෙනත් වචන වලින් කිවහොත්, ආන්ඩුව සහ වෘත්තීය සමිති අතර සාකච්ඡාව කෙරෙනු ඇත්තේ, තැපෑ‌ලේ පවතින  7000ක සේවක පුරප්පාඩු එහෙමම තිබියදී, කම්කරුවන් සූරාකෑම තීව්‍ර කිරීම මගින්, තැපැල් සේවය පෞද්ගලීකරනය සඳහා සූදානම් කිරීම යි.

ඉරිදා (24), ජේපීටීයූඑෆ් සහ පීටීඕඒ නිලධරය, අමාත්‍යවරයාගේ අවසාන නිවේදනවලින් ඇකිලී ගියේය.  වෘත්තීය සමිති සමඟ පැවැත්වුනු මාධ්‍යයට ආවරනය නොකෙරුනු සාකච්ඡාවලින් පසුව, එලියට පැමිනි ඇමැති මාධ්‍යයට තහවුරු කලේ, ඉල්ලීම් සම්බන්ධයෙන් කිසිදු එකඟතාවකට නොපැමිනි බවයි. එලැඹුනු එකම එකඟතාව වූයේ, ඇඟිලි සලකුනු යන්ත්‍ර සහ අතිකාල සම්බන්ධ ආන්ඩුවේ ඉල්ලීම් වෘත්තීය සමිති පිලිගත් නිසා ( ඇමතිගේම වචනවලින් “සාකච්ඡාව දුන්නේමත් ඔවුන් මෙම ඉල්ලීමට එඟතාව ලිඛිතව ලබාදුන් නිසා”), ආන්ඩුව කලින් අනතුරු අඟවා තිබූ නිවාඩු අවලංගු කිරීම වැනි දන්ඩනීය පියවරයන් “තාවකාලිකව අත්හිටවූ” බවයි.

තතු මෙසේ වෙත්දීත්, සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෘත්තීය සමිති නායකයින් කියා සිටියේ, 'තැපැල්පතිවරයාගේ නිල ලිපියක් මගින් සාකච්ඡාවෙන් එකඟවූ කරුනු තහවුරු කරන තුරු වැඩ වර්ජනය තාමත් ක්‍රියාත්මක' බවයි. නමුත් අමාත්‍යවරයා නිවේදනය කල පරිදි, වෘත්තීය සමිති ඒ වන විටත් වර්ජනය අවසන් කිරීමට එකඟ වී තිබුනි. (ඊට සුලු වේලාවකින්) සමිති නායකත්වය වර්ජනය අවසන් කල බවට නිවේදනය කරමින්, සාමාජිකයන්ට නිකුත් කල ලිපියෙන් පැහැදිලි වූයේ, තවදුරටත් සාකච්ඡා සිදුවනු ඇත්තේ ආන්ඩුවේ කොන්දේසි මත බවත්, '“රජයේ ප්‍රතිපත්තිමය තීරනවලට”  පටහැනි ඉල්ලීම් බැහැර කරන බවත්ය. 

මාධ්‍ය හමුවේදී ජයතිස්ස ඍජුවම මෙසේ අනතුරු ඇඟවීය: “ මේ වෙලාවෙදී අසාධාරන වැඩවර්ජනවලට ජනතාව දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන් මම හිතනවා තැපැල් වැඩවර්ජනයෙන් කවුරුත් යම්කිසි ආකාරයක දෙයක් ඉගෙන ගන්න ඇති කියලා.” ආන්ඩුව, වර්ජනය බිඳ දැමීම සඳහා හමුදාව යෙදවීම සාධාරනීකරනය කිරීමට තැපැල් සේවකයින්ට එරෙහිව මහජන මනෝගතීන් ඇවිස්සීම අරමුනු කරගත් විෂකුරු උද්ඝෝෂනයක් ගෙන ගොස් තිබුනි.

තැපැල් අරගලය නැවත වරක් පැහැදිලිවම හෙලි කලේ, ආන්ඩුවේ ප්‍රහාරය පරාජය කිරීමට දේශපාලන වැඩපිලිවෙලක් නොමැතිව, තැපැල් සේවකයින්ට—නැතහොත් කම්කරු පන්තියේ ඕනෑම කොටසකට—ඔවුන්ගේ මූලික සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කර ගත නොහැකි බවයි.

ආන්ඩුවේ තර්ජනවලට එරෙහිව සටන් කිරීම සඳහා අනෙකුත් කම්කරු කොටස් වෙත හැරීමට විරුද්ධ වෙමින්, වෘත්තීය සමිති හිතාමතාම තැපැල් වර්ජනය හුදකලා කලේය. තැපැල් සේවකයින් සමඟ සහයෝගීතාව සඳහා කිසිදු වෘත්තීය සමිති නායකයෙකු කැඳවීමක් නිකුත් කලේ නැත. මෑත සතිවලදී, ලංකා විදුලිබල මන්ඩලයේ සහ රාජ්‍ය විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මන්ඩලයේ සේවකයෝ සීමිත වැඩවර්ජන පැවැත්වූහ. කෙසේ වෙතත්, වෘත්තීය සමිති මෙම විසිරුනු ක්‍රියාමාර්ග කැඳවන්නේ, කම්කරුවන් බෙදීමට සහ ඔවුන්ගේ කෝපය දියකර හැරීමට ය.

ආන්ඩුව, රැකියා 500,000ක  ප්‍රමානයක් උවදුරේ හෙලමින්, රාජ්‍ය ව්‍යවසායන් සහ ආයතන සිය ගනනක් සම්පූර්නයෙන්ම හෝ අර්ධ වශයෙන් පෞද්ගලීකරනය කිරීමට සැලසුම් කර තිබේ. මෙය 2022 දී කොලඹ ආන්ඩුව විදේශ නය ගෙවීම පැහැර හැරීමෙන් පසු, ඉල්ලුම් කල ඩොලර් බිලියන 3 ක ඇපකර නය සඳහා පැනවූ අයිඑම්එෆ්හි පුලුල් කප්පාදු න්‍යාය පත්‍රයේ එක් අංගයකි. අයිඑම්එෆ් වැඩපිලිවෙල, ශ්‍රී ලංකාවේ “නය තිරසාරභාවය”—එනම් විදේශ නය ආපසු ගෙවීම සහ ආයෝජකයින්ගේ ලාභ ඉහල නැංවීම—ඉලක්ක කරයි. එහි අයිඑම්එෆ් ගැති ප්‍රතිපත්තිවලට එරෙහි ඕනෑම කම්කරු ප්‍රතිරෝධයක් හෝ දේශපාලන විසම්මුතියක් තලා දැමීමට ආන්ඩුව අධිෂ්ඨාන කරගෙන සිටී.

තැපැල් අරගලයේ ආරම්භයේ සිටම සමාජවාදී සමානතා පක්ෂය (සසප) අනතුරු ඇඟවූයේ, ආන්ඩුවේ අයිඑම්එෆ් අනුයන කප්පාදු පලිවෙත් පරාජය කල හැකිවන්නේ, කම්කරුවන්ට ස්වාධීනව බලමුලු ගැන්වීමෙන් සහ ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව එක හා සමාන ප්‍රහාරවලට මුහුන දෙන අනෙකුත් කම්කරු කොටස් සමඟ එක්සත් වීමෙන් පමනක් ම බවයි.

වෘත්තීය සමිති නිලධරයන්ගෙන් සහ ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව, තැපැල් කාර්යාල, මෙහෙයුම් කාර්යාල සහ මධ්‍යම තැපැල් හුවමාරුව තුල ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරගත්, තමන්ගේම ක්‍රියාකාරී කමිටු ස්ථාපිත කරන ලෙස අපි තැපැල් සේවකයින්ගෙන් ඉල්ලා සිටිමු.

ජවිපෙ/ජාජබ ආන්ඩුවට සහ එහි අයිඑම්එෆ් ප්‍රතිපත්තිවලට එරෙහිව ඒකාබද්ධ දේශපාලන හා කාර්මික අරගලයක් මෙහෙයවීම සඳහා මෙම කමිටු, සේවා ස්ථානවල සහ වතුකරයේ අනෙකුත් කම්කරු කොටස් සමඟ සම්බන්ධීකරනය කල යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී කම්කරුවන්ගේ පාලනය යටතේ බැංකු, විශාල සංස්ථා, වතු සහ තැපැල් ඇතුලු ප්‍රධාන ආර්ථික අංශ ජනසතු කිරීම ඇතුලුව, සමාජවාදයට කැපවූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කරන ලෙස අපි කම්කරු පන්තියෙන් ඉල්ලා සිටිමු.

Loading