ඇමරිකාව ශ්‍රී ලංකාවට සියයට 20 ක තීරු බදු පනවයි

[මෙය US imposes 20 percent tariff on Sri Lanka යන මැයෙන් 2025 අගෝස්තු 08දා පල කෙරුනු ලිපියේ පරිවර්තනය යි.]

ජූලි 31දා එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් නිකුත් කල විධායක නියෝගයකින් ශ්‍රී ලංකාවට සියයට 20ක තීරු බද්දක් පැනවීය; ඒ දැනට පවතින සියයට 0 සිට 25 දක්වා විචල්‍යවන බදු වලට අමතරව ය. තීරුබදු වැඩිවීම, ප්‍රධාන වශයෙන් ඇඟලුම් අංශයේ සහ නිදහස් වෙලඳ කලාපවල මෙන්ම රබර්, තේ සහ එක්සත් ජනපද වෙලඳපොලට අපනයනය කිරීම මත යැපෙන අනෙකුත් කුඩා කර්මාන්තවල ලක්ෂ සංඛ්‍යාත රැකියාවන්ට බලපානු ඇත.

අප්‍රේල් මස මුලදී, ට්‍රම්ප්, ශ්‍රී ලංකාව ඇතුලු තවත් රටවල් රැසකට සියයට 44ක තීරු බදු ප්‍රකාශයට පත් කල අතර, අනුක්‍රමනිකව, පසුගිය මස මුලදී එය සියයට 30 දක්වා අඩු කිරීමෙන් පසු, වත්මන් සියයට 20ක තීරුබදු ප්‍රතිශතය ප්‍රකාශයට පත් කලේය.

ශ්‍රී ලංකාවට ඇමරිකානු බදු පැනවීම පිලිබඳ විශේෂ සාකච්ඡාවක ප්‍රධානත්වය දරන ජනාධිපති දිසානායක [Photo: President’s Media Division]

මෙම තීරුබදු පහලට දැමීම් නොතකා, එක්සත් ජනපදයේ පුලුල් ගෝලීය තීරුබදු යුද්ධය සහ එහි ආර්ථික ප්‍රතිවිපාක සැලකිය යුතු ගෝලීය අන්තරායන් ඇති කරයි. අගෝස්තු 1දා ලෝසවෙඅ ඉදිරිදර්ශනයේ පැහැදිලි කල පරිදි, ට්‍රම්ප්ගේ තීරුබදු 'නොවැලැක්විය හැකි ලෙස යුද්ධ පුපුරා යාමකට තුඩු දෙන, දැඩි ආර්ථික ගැටුමක් කරා වේගයෙන් ඇද වැටෙනු ඇත.'

සීඑන්එන් වාර්තා කල පරිදි, යාලේ අයවැය පරීක්ෂනාගාරය (Yale’s Budget Lab)ට අනුව, සමස්තයක් ලෙස එක්සත් ජනපදයේ ක්‍රියාත්මක තීරුබදු රේට්ටුව පසුගිය වසරේ සියයට 2 සිට සියයට 17 දක්වා ඉහල ගොස් ඇත—එය 1933 න් පසු එලැඹි ඉහලම අගයයි.

තීරුබදු ඉහල දැමීම හේතුවෙන්, ඇමරිකානු කම්කරුවන් විසින් පරිභෝජන භාන්ඩ සඳහා ගෙවිය යුතු සාමාන්‍ය මිල ඉහල යන අතර, ලොව පුරා කම්කරුවන් රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි මත ගැඹුරු වන ප්‍රහාරවලට මුහුන දෙනු ඇත.

2025 අගෝස්තු 7 වන දින සිට ශ්‍රී ලංකා අපනයන සඳහා ක්‍රියාත්මක වන සියයට 20 ක තීරුබදු ජනාධිපති දිසානායකගේ ආන්ඩුව විසින් ප්‍රවර්ධනය කරමින් ඇත්තේ, බංග්ලාදේශය, වියට්නාමය, මැලේසියාව, ඉන්දුනීසියාව සහ පකිස්ථානය වැනි කලාපයේ අනෙකුත් ප්‍රධාන ඇඟලුම් අපනයන රටවලට වඩා “ඉහල තරඟකාරීත්වයකින් යුතු” බවටයි.

ශ්‍රී ලංකාව, “අපනයනය කරනු ලබන අනෙකුත් ජාතීන් සමඟ තරඟකාරී තත්වයක් පවත්වා ගැනීමේ පලමු අපේක්ෂාව” සාක්ෂාත් කරගෙන ඇති බව, භාන්ඩාගාර ලේකම් සහ හිටපු නියෝජ්‍ය මුදල් අමාත්‍ය හර්ෂන සූරියප්පෙරුම ප්‍රකාශ කලේ ය. 

දිසානායක සහ සූරියප්පෙරුමගේ නායකත්වයෙන් සමන්විත ඔහුගේ සාකච්ඡා කන්ඩායම, ලංකා වානිජ මන්ඩලයේ  ප්‍රසිද්ධියේ ඇගයීමට ලක්වූ අතර, එය කීවේ, ගිවිසුම, 'අපගේ අපනයනකරුවන්ට වඩාත් ස්ථාවර සහ තරඟකාරී වෙලඳපල ප්‍රවේශයක් සහතික කරන' බවයි. අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද ආරම්භක සියයට 44 ක තීරුබදුවල සිට ඔවුන්ගේ 'ප්‍රායෝගික සහ තිරසාර සම්බන්ධතාවය' වෙනුවෙන්, ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (ජේඒඒඑෆ්) ද ඔවුන්ට ස්තූති කලේය.

තිරය පිටුපස, ආන්ඩුව සහ මහා ව්‍යාපාරිකයෝ ප්‍රතිවිපාක පිලිබඳව කනස්සල්ල පල කලහ. ආන්ඩුව ඇඟවුම් කලේ, තවදුරටත් සහන සඳහා එක්සත් ජනපද නිලධාරීන් සමඟ සාකච්ඡා දිගටම කරගෙන යන බවයි. ව්‍යාපාරික සංසද ද වඩාත් වාසිදායක කොන්දේසි ලබා ගන්නා ලෙස ආන්ඩුව උනන්දු කර තිබේ.

ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂාවෙන් පලවන සතිපතා පුවත්පතක් වන සන්ඩේ ටයිම්ස්, ගෝලීය වෙලඳ දත්ත සමුදා ඇස්තමේන්තු උපුටා දක්වමින්, නව තීරුබදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ වාර්ෂික අපනයන 2023 දී ඩොලර් බිලියන 2.97 සිට, 2026 දී ඩොලර් බිලියන 1.82 දක්වා පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කලේය.

ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙලඳපොල ඇමරිකා එක්සත් ජනපදය වන අතර, එයට එහි ඇඟලුම් අපනයනයන්ගෙන් සියයට 40 ක් සහ මුලු අපනයනයන්ගෙන් සියයට 25 ක් වාර්ෂිකව හිමි වේ. සෘජුවම සේවකයින් 350,000 කට වැඩි පිරිසක් සේවයේ යොදවන සහ තවත් 600,000 කට වක්‍රව සහාය වන ඇඟලුම් කර්මාන්තය, තීරුබදු හේතුවෙන් සිදුවූ ඇමරිකා එක්සත් ජනපදයේ විකුනුම් පහත වැටීමෙන් විශේෂයෙන් අවදානමට ලක්ව ඇත.

මෙම අංශයේ සේවකයින් සාමාන්‍යයෙන් රුපියල් 35,000 ක සාමාන්‍ය මාසික වැටුපක් ලබන අතර නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීමට සහ ඔවුන්ගේ ඉපැයීම් වැඩි කර ගැනීමට බොහෝ විට අතිකාල වැඩ කිරීමට බල කෙරේ. වියදම් අඩු කර, ලාභ උපරිම කර ගැනීම සඳහා ඇඟලුම් සමාගම්, අඩු වැටුප් සහිත කම්කරු කොන්ත්‍රාත් සමාගම් විසින් සපයනු ලබන සේවකයින් මත වැඩි වැඩියෙන් යොදාගනිමින් තිබේ.

ඇඟලුම් අපනයන පහත වැටීම කර්මාන්තශාලා වැසීමට, සමූහ දොට්ට දැමීම්වලට සහ වැටුප් හා සේවා කොන්දේසි පිරිහීමට හේතු වනු ඇත. තේ, රබර්, මැනික් සහ මුහුදු ආහාර වැනි අනෙකුත් අපනයන කර්මාන්තවලට ද එය බලපානු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එම්) මීට පෙර අනතුරු ඇඟවූයේ, ඉහල ඇමරිකානු තීරු බදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන අඩු විය හැකි බවත්, එහි දල දේශීය නිෂ්පාදිතය මූලික ප්‍රක්ෂේපනවලට වඩා සියයට 1.5 කින් හැකිලීමට ඉඩ ඇති බවත්, එමඟින් විරැකියාව ඉහල යනු ඇතිබවට පුරෝකථනය කරමිනි. වත්මන් ජනතා විමුක්ති පෙරමුනු (ජවිපෙ)/ජාතික ජන බලවේග (ජාජබ) ආන්ඩුව අඛන්ඩව ක්‍රියාත්මක කරන, වැඩ කරන ජනතාවගේ ජීවන තත්වයන් තවදුරටත් ඛාදනය කරන අයිඑම්එෆ්හි දැඩි කප්පාදු වැඩසටහන උඩට මෙය එනු ඇත.

ට්‍රම්ප් මුලින්ම තීරුබදු වැඩිකිරීම ගැන නිවේදනය කල විට, ජනාධිපති දිසානායක විරුද්ධ පක්ෂවල පූර්න සහාය ඇතිව “ජාතික සමගිය” ඉල්ලා සිටි අතර, වැඩ කරන ජනතාවගෙන් ඉල්ලුවේ, “අනාගත ආර්ථික බිඳවැටීමේ බර දරාගන්නා” ලෙසය.

මෙම සන්දර්භය තුල, නව තීරුබදු මගින් උග්‍ර කර ඇති අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීම සඳහා කම්කරුවන් දේශපාලනිකව නිරායුධ කරමින් ද, ආන්ඩුව සහ සේවා යෝජකයින් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් ද වෘත්තීය සමිති නිලධරයන්  ඉටුකර ඇත්තේ තීරනාත්මක හා ද්‍රෝහී කාර්යභාරයකි.

ප්‍රහාරවලට විරුද්ධ වීම වෙනුවට, නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ ඇන්ටන් මාකස් සහ ලංකා වෙලඳ සංගමයේ එස්.පී. නේතන් වැනි වෘත්තීය සමිති නායකයින් ආන්ඩුව සමඟ එකට වැඩකිරීමේ අවස්ථාවක් සෙවූ අතර, අප්‍රේල් නිවේදනයෙන් පසු සහන සඳහා ට්‍රම්ප් පරිපාලනයට කෙලින්ම ආයාචනා කලේ ය.

ශ්‍රී ලංකාවට පනවා ඇති නව තීරුබදු වැඩසටහන, මෙම වෘත්තීය සමිති නිලධාරීන්—සහ අනෙකුත් වෘත්තීය සමිතිවල ඔවුන්ගේ සගයින්—විසින් නියෝජනය කරනවායැයි කියාපාන, සේවකයින්ගේ රැකියා සහ සේවා කොන්දේසි කෙරෙහි දැවැන්ත විභව බලපෑමක් ඇති කල තිබුනත්, ඒ පිලිබඳව ඔවුන් සම්පූර්නයෙන්ම නිහඬව සිටිති.

අතීතයේ දී මෙන්, ඇඟලුම් සහ අනෙකුත් කර්මාන්තවල සේවකයින් මත අර්බුදය පැටවීමට හොඳම විධිය පිලිබඳව ඔවුන් හාම්පුතුන් සමඟ සාකච්ඡා කරනු ඇත. ඔවුන්ගේ මූලික සැලකිල්ල වන්නේ, කම්කරු පන්තියේ වියදමින් ශ්‍රී ලාංකික කර්මාන්ත—එනම් ආයෝජකයින්ගේ ලාභ—ආරක්ෂා කිරීම යි.

2008 ගෝලීය මූල්‍ය අර්බුදය සහ 2020 දී කොවිඩ්-19 වසංගතය වැනි අතීත අර්බුදවලදී, කර්මාන්තශාලා වැසීම්, සමූහ දොට්ට දැමීම් සහ වැටුප් කප්පාදුවලට සහාය දක්වමින්, වෘත්තීය සමිති නායකයෝ ඇත්ත වශයෙන්ම, බර කම්කරුවන් මතට මාරු කලහ. තම සාමාජිකයින්ගේ ස්වාධීන බලමුලු ගැන්වීමකට විරුද්ධ වූ ඔවුහු, 2022 ආර්ථික බිඳවැටීම අතරතුර සමූහ දොට්ට දැමීම්වලට එරෙහිව සටන් කිරීමට ද අසමත් වූහ.  එමේන්ම, අනුප්‍රාප්තික ආන්ඩු විසින් ක්‍රියාත්මක කරන ලද අයිඑම්එෆ් ඇනවූ කප්පාදු පියවරයන්ට ස්ථිරසාරව ම සහාය දක්වා ඇත.

සියයට 20 ක තීරුබදු සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය සමඟ ඇති කරගත් ගිවිසුමේ සම්පූර්න තොරතුරු ආන්ඩුව විසින් හෙලි කර නොමැත. තවමත් අපැහැදිලි ප්‍රමුඛ කාරනාවක් වන්නේ, ට්‍රම්ප්ගේ විධායක නියෝගයේ, ශ්‍රී ලංකාව “ආර්ථික හා ජාතික ආරක්ෂක කාරනා සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ පෙලගැස්වීමට නිශ්චිත උත්සාහයන්” ගන්නා බවට වන සඳහනයි. 

මෙය, වෙලඳ ගනුදෙනු එක්සත් ජනපද අධිරාජ්‍යවාදය තම ගෝලීය ආධිපත්‍යයට රටවල් නතුකර ගැනීමට ආඥාවන් ලෙස යොදාගන්නා, විශේෂයෙන්ම ප්‍රධාන තර්ජනය ලෙස සලකන චීනයට එරෙහි යුද්ධය සදහා වන එහි දුරදිග යන සූදානමින් සමන්විත ට්‍රම්ප්ගේ ආර්ථික මූලෝපායේ පලල් නැඹුරුව අවධාරනය කරයි. 

භූ-දේශපාලනික කරුනු සම්බන්ධයෙන් සෘජු අදහස් දැක්වීමෙන් වැලකී සිටිමින්, “අනාවරනය නොකලයුතු බවට වන නීති” හේතුවෙන් සාකච්ඡාවට භාජනය වන සියලු තොරතුරු ශ්‍රී ලංකාවට වහාම නිකුත් කල නොහැකි බව සූරියප්පෙරුම ප්‍රකාශ කලේය.

බ්‍රහස්පතින්දා (07) පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති දිසානායක මෙසේ ප්‍රකාශ කලේය: “මෙම ක්‍රියාවලිය අතරතුර එක්සත් ජනපදය අපට යෝජනා ගනනාවක් ඉදිරිපත් කලා. අපි තවමත් එම යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා මට්ටමේ ඉන්නෙ. තවමත්, අවසන් එකඟතාවයකට පැමින නැහැ; ඒ වගේම කිසිදු ගිවිසුමක් අත්සන් කරලත් නැහැ. කෙසේ වෙතත්, මෙම සාකච්ඡාවලදී අපි යම් එකඟතාවකට පැමින සිටිනවා.”

මෙම ඇමරිකානු යෝජනා මොනවාදැයි දිසානායක හෙලි කලේ නැත. කෙසේ වෙතත්, මාධ්‍ය වාර්තාවලින් පෙනී යන්නේ, ට්‍රම්ප් පරිපාලනය එක්සත් ජනපදයෙන් තෙල් සහ වාහන ආනයනය කරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇති බවයි.

රුසියාවෙන් තෙල් සහ අවි මිලදී ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව විවේචනය කල ට්‍රම්ප් එරට ට සියයට 25 ක තීරු බද්දක් පැනවීය. ඒ හා සමාන ලෙස, වොෂින්ටනයේ වෙලඳ ප්‍රතිපත්තිවල දේශපාලන පක්ෂපාතිත්වය, ආර්ථික තර්කනයට වඩා ඉහලින් පවතින බව ඉස්මතු කරමින්, එක්සත් ජනපදය සමග වෙලඳ අතිරික්තයක් තිබියදී පවා, එරට බ්‍රසීලයට සියයට 50 ක තීරු බද්දක් පැනවීය.

ජවිපෙ/ජාජබ ආන්ඩුව, ශ්‍රී ලංකාවේ පෙර පරිපාලනයන් විසින් අත්සන් කරන ලද හමුදා තත්ව ගිවිසුම සහ අත්පත් කර ගැනීමේ සහ අන්‍යෝන්‍ය-සේවා ගිවිසුම ඇතුලු එක්සත් ජනපදය සමඟ මිලිටරි ගිවිසුම් ඉදිරියට ගෙන යමින් සිටී.

එපමනක් නොව, දිසානායක ආන්ඩුව මිලිටරි සබඳතා ශක්තිමත් කිරීම, ජ්‍යෙෂ්ඨ ඇමරිකානු හමුදා නිලධාරීන්ට සත්කාර කිරීම සහ සහයෝගීතාවන් වැඩිදියුනු කිරීම සාකච්ඡා කිරීම මගින් එක්සත් ජනපදය සමඟ ඇති තම පෙලගැස්ම පෙන්නුම් කර ඇත. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ මෑත කාලීන ශ්‍රී ලංකා සංචාරය ද, ඉන්දියාව කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරන, වොෂින්ටනයේ චීන විරෝධී යුද උපාය මාර්ගයට සහාය විය.

ඇමරිකානු ගැති එක්සත් ජාතික පක්ෂය (එජාප) නව තීරුබදු පිලිගත් අතර, විධායක නියෝගයේ විධිවිධාන වෙත අවධානය යොමු කරමින්, ඒ ආශ්‍රිත ආරක්ෂක විධිවිධාන පිලිබඳව පැහැදිලි ප්‍රකාශයක් කරන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා තිබේ.

වාර්තා වන පරිදි, ශ්‍රී ලංකාවට කාර්මික භාන්ඩ 2,000 ක් පමන සහ කෘෂිකාර්මික නිෂ්පාදන කිහිපයක් සඳහා සහන ලබා දී ඇත. ඒ වෙනුවට, එක්සත් ජනපදයෙන් ඩොලර් මිලියන 500 ක් වටිනා බොරතෙල් සහ ඩොලර් මිලියන 300 ක එල්පී ගෑස් මිලදී ගැනීමට රට පොරොන්දු වී ඇත.

තීරුබදු යුද්ධය සහ එහි භයානක ප්‍රතිවිපාක හුදකලා සිදුවීම් නොව, ගැඹුරු වන ගෝලීය ධනේශ්වර අර්බුදයක් පිලිබිඹු කරයි. රැකියා, වැටුප් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ධනවාදය හෝ ජාතික රාමුවක් තුල සාක්ෂාත් කරගත නොහැකිය.

මෙම ප්‍රහාර පරාජය කිරීම සඳහා කම්කරුවන් තමන්ගේ අරගලයේ පාලනය සියතට ගත යුතුය. මෙහි තේරුම නම්—ධනේශ්වර පක්ෂ හා වෘත්තීය සමිති නායකත්වයට පිටින්—කර්මාන්තශාලාවල, වතුකරයේ, අනෙකුත් සේවා ස්ථානවල සහ ගම්බද ප්‍රජාවන් අතර ගොඩනගන ක්‍රියාකාරී කමිටු හරහා ස්වාධීනව සංවිධානය වීමයි.

මෙම කමිටු ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියාත්මක විය යුතු අතර, අයිඑම්එෆ් විධානිත කප්පාදු පියවරයන්ට සහ එක්සත් ජනපදය ප්‍රමුඛ තීරුබදු යුද්ධයට එරෙහිව ගම්බද දුප්පතුන් පෙලගස්වා ගනිමින්, ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා කම්කරු පන්තිය මෙහෙයවිය යුතුය. එවැනි ව්‍යාපාරයක් පහත ඉල්ලීම් මතු කල යුතු වේ:

  • රැකියා කප්පාදු එපා, වැටුප් අඩු කිරීම් එපා, සේවා කොන්දෙසි ඉහල නංවනු
  • නව රැකියාවක් සොයා ගන්නා තුරු සම්පූර්න වැටුප ගෙවනු
  • ජීවන වියදමට අනුව ඉහල යන මනා වැටුප්
  • වෛද්‍ය නිවාඩු, දැරිය හැකි නිවාස සහ නොමිලේ සෞඛ්‍ය සේවා

මෙය හුදෙක් දේශීය සටනක් නොවේ. ජාමූඅ කප්පාදු පියවර මෙන්ම, තීරුබදු යුද්ධය ද ගෝලීය වන අතර ශ්‍රී ලාංකික කම්කරුවන්ට, බංග්ලාදේශය, ඉන්දියාව, වියට්නාමය, දකුනු හා නැගෙනහිර ආසියාව පුරා සහ ජාත්‍යන්තරව තම පන්ති සහෝදර සහෝදරියන් සමඟ එක්සත් වීමේ අවශ්‍යතාවය මතු කරයි. දේශසීමා කපාගෙන සිදුවිය යුතු මෙම එකමුතුව ගොඩනැගිය යුත්තේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ආරම්භ කරන ලද කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රික-ජාස) වර්ධනය කිරීම හරහා ය.

Loading