[මෙය Leaders of China, Russia and India gather for Shanghai Cooperation Organisation summit මැයෙන් සැප්තැම්බර් 2දා පලවූ ලිපියේ පරිවර්තනයයි.]
ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (එස්සීඕ) නායකයින්ගේ දෙදින රැස්වීම ඊයේ (1) චීන නගරයක් වන ටියැන්ජින් හි දී අවසන් විය. සත්කාරක චීන ජනාධිපති ෂී ජින් පිං, 'ආධිපත්‍යවාදයට සහ බල දේශපාලනයට'-එක්සත් ජනපදය පිලිබඳව යාන්තමින් සැගවු විවේචනයකි- එරෙහිව බහු-ධ්‍රැවීය ලෝකයක් පිලිබඳව තම දැක්ම ඉදිරිපත් කලේ ය.
මෙම කන්ඩායමේ මූලයන් ඇත්තේ, සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු මධ්‍යම ආසියාවේ ඇමරිකානු මැදිහත්වීම් වලට එරෙහි ව 1996 දී චීනය සහ රුසියාව විසින් කසකස්තානය, කිර්ගිස්තානය සහ ටජිකිස්තානය සමඟ එක්ව පිහිටුවන ලද “ෂැංහයි පහ” කන්ඩාමෙහි ය. 2001 දී නිල වසයෙන් ස්ථාපිත කරන ලද අතර එස්සීඕ, උස්බෙකිස්තානය ඇතුලත් කිරීමට පුලුල් කෙරුනි. ඉන්දියාව, පකිස්ථානය, බෙලරුස් සහ ඉරානය අනුක්‍රමනයෙන් පූර්න සාමාජිකයන් ලෙස ඇතුලත් කර ගත් අතර, සෞදි අරාබිය, තුර්කිය සහ ඊජිප්තුව ඇතුලු තවත් රටවල් 14 ක් සාකච්ඡා මට්ටමේ සිටින හවුල්කරුවන් ය.
සමුලුවට සහභාගී වූ නායකයින් 20 දෙනාගෙන් බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයේ අමුත්තක් නැතත්, වසර හතකට පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි චීනයට සංචාරය කිරීම වොෂින්ටනය තුල අනතුරු ඇඟවීමේ සංඥා නාද කලේ ය. ඇමරිකානු ගෝලීය ආධිපත්‍යයට ප්‍රධාන තර්ජනයක් ලෙස ඔවුන් සලකන චීනය සමඟ යුද්ධයට සූදානම් වීම වේගවත් කර ඇති හෙයින්, ඇමරිකානු අධිරාජ්‍යවාදය දශකයකට වැඩි කාලයක් තිස්සේ ඉන්දියාව සමඟ ආර්ථික හා උපායමාර්ගික සබඳතා ප්‍රවේශමෙන් වර්ධනය කර ගෙන ඇත.
ඉන්දීය පාර්ලිමේන්තුවේ සැසියකට සහභාගී වීම අත්‍යවශ්‍ය බව පවසමින් මෝදි මීට පෙර සමුලුවට සහභාගී නොවෙනු ඇති බවට සංඥා කර තිබූ අතර, එය සැලකිය හැක්කේ, චීනයට ගනන් බලා කල අවඥාවක් ලෙස පමනි. සබඳතා යාන්තමින් වර්ධනය වීමට පටන්ගෙන තිබුනත්, 2020 දී ඔවුන්ගේ මතභේදාත්මක දේශසීමාවේ හමුදා ගැටුම්වලින් ඉන්දියානු සොල්දාදුවන් 20 දෙනෙකු සහ චීන සොල්දාදුවන් හතර දෙනෙකු මිය ගිය පසු දෙරට අතර සබඳතා අතිශය ආතතිසහගත තත්වයකට නැගුනි.
ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය සමඟ ඇති වූ ගැටුමක් මධ්‍යයේ මෝදි හදිසියේම තම සැලසුම් වෙනස් කලේ ය. අගෝස්තු මස මුල දී, ට්‍රම්ප් ඉන්දියාව එක්සත් ජනපදයට අපනයනය කරන තීරුබදු සියයට 50 දක්වා දෙගුන කිරීමෙන් ඉන්දියාවට යටත් වන ලෙස බල කිරීමට උත්සාහ කලේය. මෝදි එයට යටත් වීම ප්‍රතික්ෂේප කල අතර, තීරුබදු වලින් අවසන් සියයට 25 පසුගිය සතියේ ක්‍රියාත්මක විය. ඇත්ත වශයෙන්ම, පසුගිය බ්‍රහස්පතින්දා රොයිටර් පුවත් සේවය වාර්තා කලේ, ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම් සියයට 10 ත් 20 ත් අතර ප්‍රමානයකින් වැඩි කිරීමට සැලසුම් කර ඇති බවයි.
රුසියාවෙන් තෙල් මිලදී ගැනීම නවත්වන ලෙස ඉන්දියාවට සහ චීනයට බලපෑම් කිරීමට ට්‍රම්ප් උත්සාහ කල අතර, එවැන්නක් රුසියාවේ ස්ථාවරය දුර්වල කරමින්, දැන් කෙරී ගෙන යුද්ධය සම්බන්ධයෙන් සටන් විරාම සාකච්ඡාවල දී යුක්‍රේනයට සහන සැලසීමට පුටින්ට බල කරනු ඇති බවටත් අපේක්ෂා කෙරුනි. චීනයට, ඉන්දියාවට සමාන ආකාරයෙන් තීරුබදු දඬුවම් වැඩිවීමක් පනවා නොතිබීම, එක්සත් ජනපදය සමඟ ඉන්දියාවේ දිගුකාලීන උපායමාර්ගික හවුල්කාරිත්වය සම්බන්ධයෙන් සැලකූ කල, මෝඩිට දෙගුනයක කෝපයක් ඇති කල බවට සැකයක් නැත.
මේ සතියේ චීනයට මෝදිගේ පැමිනීම ෂී ට රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහනයක් වැනි දෙයක් වූ අතර, ඉරිදා ඔහුව උද්‍යෝගයෙන් පිලිගනිමින්, දෙරට දේශසීමා ප්‍රශ්නය මගින් සමස්ත සබඳතා නිර්වචනය කිරීමට ඉඩ නොදිය යුතු බවත්, දෙරට ප්‍රතිවාදීන් නොව සංවර්ධනයේ හවුල්කරුවන් විය යුතු බවත් චීන ජනාධිපති කීවේය. අනෙක් අතට, මෝදි ප්‍රකාශ කලේ දැන් ඔවුන් අතර “සාමයේ සහ ස්ථාවරත්වයේ වාතාවරනයක්” පවතින බවයි.
මෝදි සහ ෂී, පසුගිය ඔක්තෝම්බර් මාසයේදී රුසියාවේදී බ්‍රික්ස් සමුලුවට සමගාමීව දේශසීමා මුර සංචාර ගිවිසුමකට එලැඹීමෙන් ටික කලකට පසු හමුවූහ. මෑත සති කිහිපය තුල, සෘජු ගුවන් ගමන් නැවත ස්ථාපිත කිරීම සහ දුර්ලභ ගනයේ යපස් ඇතුලු ඉන්දියාවට චීන අපනයන සීමාවන් ඉවත් කිරීම මගින් සබඳතා තවදුරටත් ශක්තිමත්වීමක් පෙන්නුම් කර ඇත. ඊයේ, මෝදිට අනුව, නායකයින් දෙදෙනා, රටේ විශාලතම වෙලඳ හවුල්කරුවා වන චීනය සමඟ ඉන්දියාවේ ඩොලර් බිලියන 99 ක දැවැන්ත වෙලඳ හිඟය අඩු කිරීම පිලිබඳව සාකච්ඡා කලෝ ය.
ජාත්‍යන්තරව හුදකලා කිරීමට සහ මිලිටරිමය වශයෙන් වටලෑමට එක්සත් ජනපදය දරන උත්සාහයන්ට එරෙහිව සටන් කිරීමට චීනයට ඇති හැකියාව පෙන්නුම් කිරීම සඳහා ෂී පැහැදිලිවම එස්සීඕ සමුලුව වේදිකාවක් ලෙස භාවිතා කලේය. “ගෝලීය ආන්ඩුකරනය නව සන්ධිස්ථානයකට සම්ප්‍රාප්තවී තිබේ” යැයි ඔහු පැවසීය.
නමින් සඳහන් නොකරම, එක්සත් ජනපදයට සහ ට්‍රම්ප්ට තවත් පහරක් එල්ල කරමින්, ෂී “හිරිහැර කිරීමේ පිලිවෙත්” විවේචනය කරමින් කීවේ, “ බලගතු රටවල් කිහිපයක නීති අනෙක් සියලුම රටවල් මත නොපැටවිය යුතුය” යනුවෙනි.
ලෝක වෙලඳාම සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ඇමරිකානු ඩොලරයේ ආධිපත්‍යය තවදුරටත් අඩපන කිරීමේ පියවරක් ලෙස, නව එස්සීඕ සංවර්ධන බැංකුවක් සඳහා ෂී ඉදිරිපත් කල යෝජනාවට රැස්වීමේ එකඟත්වය පල කෙරුනි. මෙම වසරේදී බීජිනය නව බැංකු ජාලයකට යුවාන් බිලියන 10 ක (ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක) නය සහ සාමාජික රටවලට තවත් යුවාන් බිලියන 2ක ආධාර ලබා දීමට නියමිත ය. එස්සීඕ ජාතීන් සඳහා කෘතිම බුද්ධි සහයෝගීතා මධ්‍යස්ථානයක් ගොඩනැගීමට ද චීනය සැලසුම් කරයි.
“යුරේසියාවේ ස්ථාවරත්වය සහ ආරක්ෂාව පිලිබඳ නව පද්ධතියක්” සදහා අඩිතාලම දමා ගැනීමට “අව්‍යාජ බහුපාර්ශකවිකත්වයකට” කැඳවුම් කිරීමට පුටින් ද මෙම අවස්ථාව භාවිතා කලේය. එක්සත් ජනපදය සහ නේටෝව පිලිබඳ පැහැදිලි සඳහනක් කරමින් ඔහු මෙසේ පැවසීය: “යුරෝ කේන්ද්‍රීය සහ යුරෝ-අත්ලාන්තික් ආකෘති මෙන් නොව, මෙම ආරක්ෂක පද්ධතිය ... සැබවින්ම සමතුලිත වනු ඇති අතර, එක් රටකට අනෙක් අයගේ වියදමින් තමන්ගේම ආරක්ෂාව සහතික කරගැනීමට ඉඩ නොදෙනු ඇත.”
යුක්‍රේනයේ යුද්ධය සම්බන්ධයෙන්, පුටින් එක්සත් ජනපදයට සහ නේටෝවට ද පහර දෙමින්, එය “රුසියාව යුක්‍රේනයට එරෙහි ආක්‍රමනශීලීත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඇති නොවූ බවත්, (එය) බටහිර රටවල සහාය සහ කුපිත කිරීම මත [2014 දී] යුක්‍රේනයේ සිදු වූ කුමන්ත්‍රනයක ප්‍රතිලයක් බවත්” පැවසීය. අර්බුදයට විසඳුමක් ලබා දීම සඳහා චීනය සහ ඉන්දියාව දැරූ උත්සාහයන් ඔහුගේ ප්‍රශංසාවට ලක්වූ අතර, පසුගිය මාසයේ ඇලස්කාවේ ට්‍රම්ප් සමඟ ද්විපාර්ශ්වික රැස්වීම්වලදී පැවති සාකච්ඡා පිලිබඳ විස්තර එස්සීඕ සාමාජිකයින්ට දැනුම් දෙන බව කීවේ ය.
චීනය සහ ඉන්දියාව යන දෙකම යුද්ධය අවසන් කරන ලෙස ඉල්ලා සිටිය ද ඒ සමඟම රුසියාවේ 2022 ආක්‍රමනය හෙලා දැකීම පැහැදිලිවම ප්‍රතික්ෂේප කලේය.
සහයෝගීතාවේ සහ සුහදතාවේ වාතාවරනයක් විදහා දැක්වීමට වෑයම් කෙරුනි. දීර්ඝ සාකච්ඡාවකින් පසු ඊයේ රැස්වීමට පුටින්ගේ වාහනයේ මෝදි සහ පුටින් එකට පැමිනි අතර, සමීප කවයක අත් අල්ලාගෙන ඡායාරූප ගැනීමේ අවස්ථාවක් සඳහා ෂී සමඟ එක් විය. එමෙන්ම, ඉන්දියානු සහ රුසියානු නායකයෝ, තමන්ගේ ම සාකච්ඡා ප්‍රසිද්ධියේ අගය කලහ.
“ඉන්දියාවට ට්‍රම්ප්ගේ දැඩි පීඩනය පෙරලා පහරදිය හැක” යන මැයෙන් වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ කතුවැකියකින් ඇඟවුම් කෙරුනේ, නවදිල්ලිය යටත් කර ගැනීමට සහ රුසියාව සමඟ දිගුකාලීන ඉන්දියානු සබඳතා බිඳ දැමීමට ධවල මන්දිරයේ දැඩි තීරුබදු භාවිතා කිරීමේ රලු උත්සාහය අසාර්ථක වී ඇති බවට එක්සත් ජනපද පාලක කවයන් තුල අනතුරු අඟවන සංඥාවන් ය.
“බීජින් තවමත් වොෂින්ටනයේ බලවත්ම ප්‍රතිවාදියා ලෙස සිටී. තනිකරම ආර්ථික වශයෙන් ගත් කල, දැනටමත් චීනය, සෝවියට් සංගමය කොයිම කාලෙක පැවැතුනාටත් වඩා බෙහෙවින්ම බලවත් විරුද්ධවාදියෙකි”, යැයි සඳහන් කල පුවත්පත, අනතුරුව මෙලෙස නිගමනය කලේ ය: “ට්‍රම්ප්ගේ එක්කෝ දිනුම-නැතිනම් පැරදුම ප්‍රවේශයේ අරමුන වන්නේ, අනෙක් පාර්ශවයට කිසිවක් ඉතිරි නොකරම තම පාර්ශවයට හැකි සෑම වාසියක්ම ලබා ගැනීම යි. එය, ව්‍යාපාරවලදී පවා වැරැදි ප්‍රවේශයකි. විස්වාසය ගොඩනගා ගැනීම, කෙටිකල් පවතින වාසිවලට වඩා වටිනාකමින් වැඩිය. චීනය ගැන ට්‍රම්ප්ගේ කතා, ඔහුගේ මිත්‍ර පාක්ෂිකයින් සමඟ ඇති ආරවුල් තරම්ම දරුනු විය හැකි අතර, මිතුරන් සමඟ හොඳ සබඳතා පවත්වා ගැනීමේ වටිනාකම ඔහුට අවසානයේ දැකගත හැකි වෙනු ඇත්තේ එවිට ය.”
කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ නිලධාරීන් උපදෙස්වලට ඇහුන්කන් දෙන බවට කිසිදු සලකුනක් පෙන්නුම් කර නොමැත. එක්සත් ජනපද භාන්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් එස්සීඕ සමුලුව “මවාපෙන්වන සුලු” එකක් ලෙස විස්තර කල අතර, ඉන්දියාව සහ චීනය 'රුසියානු යුද යන්ත්‍රයට ඉන්ධන සපයන' “කඩාකප්පල්කරුවන්” ලෙස හෙලා දුටුවේ ය. ට්‍රම්ප්ගේ චීන විරෝධී වෙලඳ උපදේශක පීටර් නවරෝ, රුසියාව සමඟ තෙල් වෙලඳාමෙන් “බ්‍රාහ්මනයන් ඉන්දියානු ජනතාවගේ වියදමින් ලාභ ලබන” බව ප්‍රකාශ කරමින් ඉන්දියාව හෙලා දුටුවේ “මාන්නක්කාර” යැයි කියමිනි. නවරෝ යුක්‍රේනයේ ගැටුම “මෝදිගේ යුද්ධය” ලෙස හංවඩු ගසමින් කෝපයෙන් පිපිරුනේ ය.
මෝදිට ඇමරිකා එක්සත් ජනපදය සමඟ සබඳතා වහාම බිඳ දැමීමට අදහසක් නැත. එස්සීඕ සමුලුවට යන අතරමගදී, ඔහු තෝකියෝවේ නතර වූ අතර, එහිදී, ජපානය, ඇමරිකා එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව සමඟ අර්ධ මිලිටරි ගිවිසුමක් වන චතුර්පාර්ශ්වික ආරක්ෂක සංවාදය හෝ ක්වොඩ් හි ක්‍රියාකාරිත්වය අගය කලේය. නිකී ඒෂියා වෙත කතා කරමින් මෝඩි, “අපි, ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල්, විවෘත ආර්ථිකයන් සහ බහුත්වවාදී සමාජයන් ලෙස, විවෘත සහ නිදහස් ඉන්දු-පැසිෆික් කලාපයකට (මෙය ‘අධිකාරවත්’ චීනයට එරෙහිව යොමු කෙරුනකි) කැප වී සිටිමු” යනුවෙන් ප්‍රකාශ කරමින් සාමප්‍රදායිකව කෙරෙන එක්සත් ජනපද ප්‍රචාරනය පුනරුච්ඡාරනය කලේ ය.
චීනය සහ රුසියාව ඇතුලු අනෙකුත් එස්සීඕ සාමාජිකයින් මෙන්, ඉන්දියාව ද ට්‍රම්ප්ගේ වෙලඳ යුද්ධ පියවරයන් මගින් උග්‍ර කරන ලද, ජාත්‍යන්තර ආර්ථික කැලඹීම්, උග්‍රවන භූ-දේශපාලනික ආතතීන් සහ නැගී එන ලෝක යුද්ධයක් මධ්‍යයේ, ආක්‍රමනශීලී ලෙස සිය ආර්ථික හා උපායමාර්ගික උත්සුකතාවන් හඹා යයි. රට තුල සමාජ ආතතීන්ගෙන් දැඩිව පීඩා විඳිමින් සහ නොවිසඳුනු බොහෝ ආරවුල් වලින් බෙදී සිටින ඔවුන් කිසිවෙකුටත් අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වයේ ගෝලීය පිපිරීමට සහ ධනේශ්වර ක්‍රමයේ ගැඹුරු වන අර්බුදයට ප්‍රගතිශීලී විසඳුමක් ඇත්තේ නැත.