ඉදිරිදර්ශන

1940 මැයි 24 ලියොන් ට්‍රොට්ස්කි ඝාතන ප්‍රයත්නයේ සිට 85 වසරක්

[මෙය, 85 years since the May 24, 1940 assassination attempt against Leon Trotsky මැයෙන් 2025 මැයි 28දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී විප්ලවවාදියා හා 1917 රුසියානු ඔක්තෝබර් විප්ලවයේ ව්ලැදිමීර් ලෙනින් සමග සම-නායකයා වූ ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය කිරීමට 1940 මැයි 24දා, එනම් මෙයින් අසූපස් වසරකට පෙර, ප්‍රයත්නයක් දැරුනි. මෙම අසාර්ථක කුමන්ත්‍රනයෙන් පසු ව, 1940 අගෝස්තු 20දා, ස්ටැලින්වාදී රහස් පොලීසියේ (ජීපීයූ) ඒජන්ත රේමන් මර්කාඩර් විසින් සාර්ථක වූ ප්‍රහාරයක් එල්ල කරනු ලැබී ය.

1940 -1940 මැයි 24 ඝාතන ප්‍රයත්නයෙන් පසු ව ලියොන් ට්‍රොට්ස්කි

ට්‍රොට්ස්කිගේ ආරක්ෂාව සඳහා වගකීම දැරූ, සමාජවාදී කම්කරු පක්ෂයේ (සකප) තරුන සාමාජිකයෙකු වූ රැකවරන රාජකාරියේ යෙදී සිටි රොබට් ශෙල්ඩන් හාර්ට්,1940 මැයි 24දා උදෑසන 4ට පමන, මෙක්සිකානු බිතුසිතුවම් ශිල්පී ඩේවිඩ් අල්ෆාරෝ සික්විරෝස් මෙහෙයවන ලද 20ක් පමන වූ ඝාතක කන්ඩායමකට, කොයෝවාකාන්හි ට්‍රොට්ස්කිගේ නිවහනට ඇතුල් වීමට අවසර දුන්නේ ය. පොලීසිය ලෙස වෙස්වලාගෙන, කුඩා ස්වංක්‍රීය තුවක්කු, ස්වයංක්‍රීය රයිෆල් හා ගිනි බෝම්බවලින් සන්නද්ධ වී සිටි ඝාතකයෝ, කන්ඩායම් දෙකකට බෙදුනේ, එක් කන්ඩායමකට ට්‍රොට්ස්කි ඝාතනය කිරීම හා අනෙක් කන්ඩායමට ට්‍රොට්ස්කිගේ ආරක්ෂකයාට පහර දීම පවරමිනි.  තාමත් නිමාවකට පත් කර නොතිබූ ස්ටැලින් චරිතාපදානයේ අත්පිටපත ඇතුලු ට්‍රොට්ස්කිගේ  ලේඛනාගාරය විනාශ කිරීමට ද ඔවුහු උත්සාහ දැරූ හ. 

මෙම ප්‍රහාරයෙන් ක්ෂනික ව ඉක්බිත්තේ “ස්ටැලින් මගේ මරනය ප්‍රාර්ථනා කරයි” යන හිසින් පල කල ලිපියක් තුල, ට්‍රොට්ස්කි එදින උදෑසන බිහිසුනු සිද්ධි මෙසේ සිහිපත් කලේ ය:

මගේ බිරිඳ ඒ වනවිටත් ඇගේ යහනින් බිමට පැන තිබුනි. නොනවත්වා වෙඩි තැබීම අඛන්ඩව කෙරීගෙන ගියේය. මා, ඇඳ හා බිත්තිය අතර අවකාශයට තල්ලු කරමින් බිම වැතිරී සිටීමට ඇය මට උදවු කල බව, මගේ බිරිඳ පසුව  මට කීවා ය. මෙය නිශ්චිත ව ම සත්‍ය විය. ඇගේ ශරීරයෙන් මා ආවරනය කිරීමට මෙන් ඇය බිත්තිය අසල සිටගෙන සිටියා ය. එහෙත්, රහස් මිමිනීම් හා අභිනයන්ගේ උදවුවෙන් බිම මත වැතිර සිටින ලෙස මම ඇය ඒත්තු ගැන්වූයෙමි. සෑම පැත්තකින්ම වෙඩි පහරවල් පැමිනි අතර ඒ කොහින්දැයි කීම අසීරු විය. පසු ව ඇය මට කී පරිදි, එක් අවස්ථාවක දී මගේ බිරිඳට තුවක්කුවෙන් ගලන ගිනි පුලිඟු පැහැදිලි ව හඳුනාගත හැකිව තිබිනි; හරියට ම කාමරය තුලම වෙඩි තැබීම් සිදුකෙරීගෙන ගියත්, අපට කිසිවෙකු දැකගත හැකි නො වී ය. මගේ අදහස වන්නේ, සමස්තයක් ලෙස වෙඩි පහර දෙසීයක් පමන එල්ල කල අතර, ඉන් සියයක් පමන හරියට ම අප අසලට පතිත වූ බව යි. ජනෙල් පනේලවලින් වීදුරු කැබලි ද බිත්තිවලින් ඒවායේ කැබලි ද සෑම අතට ම ගමන් කලේ ය. ඉන් ටික වේලාවකට පසු ව මගේ දකුනු කකුලේ ස්ථාන දෙකකට සුලු තුවාල සිදු වී ඇති බව මට දැනුනි.

1940 මැයි 24දා ප්‍රහාරයේ වෙඩි උන්ඩවලින් ඉරි තැලී ගිය මෙක්සිකෝවේ කොයෝවාකාන්හි ට්‍රොට්ස්කි නිවහනේ නිදන කාමරය

රුසියානු විප්ලවය සහ ඉන්පසු සිවිල් යුද්ධය හරහා ගමන් කර තිබුනු ට්‍රොට්ස්කිට වෙඩි තැබීම් නුහුරු නො වී ය. වෙඩි උන්ඩ ඔවුන්ගේ සිරුරු අසලින් ගමන් කරද්දී, ඔහු හා නතාලියා සන්සුන්භාවය පවත්වා ගනිමින්, පොලොවේ දිගා වී වැතිර සිටියහ. ප්‍රාතිහාර්යමය ලෙස, ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුවත් මිය ගියේ හෝ  බරපතල තුවාල ලැබුවේ නැත. ඝාතකයින් කාමරයෙන් පිටත් ව යාමෙන් ටික වේලාවකට පසු, ඔහුගේ 14-හැවිරිදි මුනුපුරා සේවා හැඬු බව ට්‍රොට්ස්කි සිහිපත් කලේ ය.

එම රාත්‍රීයේ අතිශයින් ම ඛේදනීය මතකය ලෙස පවතින්නේ, වෙඩි උන්ඩවලින් පසුව අන්ධකාරයේ සිටි දරුවාගේ කටහඬ යි. දොර සහ බිත්තිය මත සටහන්ව තිබූ සලකුනු අනුව, පලමු වෙඩිල්ල දරුවාගේ ඇඳ විකර්නිකව කපා දමා තිබෙද්දී, ඔහු ඇඳ යටට ඇදී ගියේ ය. කලබලයට පත් වූ බව පෙනෙන එක් ඝාතකයෙක්, ඇඳට වෙඩි තැබූ අතර උන්ඩය මෙට්ටය හරහා ගොස් අපේ මුනුපුරාගේ මහපටැඟිල්ලට වැදී බිමට වැටිනි. ගිනි බෝම්බ දෙකක් විසිකල ඝාතකයෝ, අපේ මුනුපුරාගේ කාමරයෙන් පිට වූහ. “සීයා” යැයි කෑගසමින්, ඔහු ගිය මගෙහි  ලේ පැල්ලමක සලකුනක සටහන් තබමින්, ඔහු ඔවුන් පසුපසින් මැද මිදුලට දිව ගිය ගොස්, වෙඩි වරුසාව යටතේ ආරක්ෂකයෙකුගේ කාමරයට ඉක්මනින්ම පැනගත්තේ ය.

නතාලියා සෙඩෝවා, ලියොන් ට්‍රොට්ස්කි සහ ඔවුන්ගේ මුනුපුරා 1939 දී

ට්‍රොට්ස්කිගේ නිවාස සංකීර්නයේ නිශ්චිත සැලසුම දැන සිටි ඝාතකයන්ට පැහැදිලි ව ම ඇතුලත ඒජන්තයින්ගේ සහයෝගය ලැබී තිබිනි. රොබට් ශෙල්ඩන් හාර්ට් ඝාතකයින් සමග ස්ථානයෙන් පලා ගියේ, කුමන්ත්‍රනයට ඔහු සම්බන්ධවූ බවට සැක මතු කරමිනි. ඉන් මාසයකට පසුව, 1940 ජුනි 25දා හාර්ට් ගේ සිරුර හුනුවලින් ආවරනය කෙරී වලක තිබී සොයාගත් අතර ඔහුගේ හිස පිටුපසට වෙඩි උන්ඩ දෙකක් වැදී තිබිනි. ප්‍රමානවත් තොරතුරු නො තිබූ නිසා, හාර්ට් ඒජන්තයෙකු වී දැයි නිගමනය කිරීමට ට්‍රොට්ස්කිට ක්‍රමයක් තිබුනේ නැත. එහෙත් ඉන් පසුව ගතවුනු වසර හා දශක කිහිපය තුල, වැඩිදුර සාක්ෂි එකතු වූ අතර, 1991 දී සෝවියට් සංගමය බිඳ විසිර වීමෙන් පසුව ජීපීයූවේ ලේඛනාගාරයේ තොරතුරු නිදහස් කිරීමත් සමග, හාර්ට් ස්ටැලින්වාදී ඒජන්තයෙකු ව සිටි බවත්, මැයි 24 ඝාතන ප්‍රයත්නයේ දී මූලික ක්‍රියා කලාපයක් ඉටු කල බවත් සනාථ කලේ ය.

ලේඛන විසින් පසුව ස්ථාපිත කිරීමට නියමිත ව තිබුනු  පරිදි, හාර්ට්ට අමතර ව, ට්‍රොට්ස්කිගේ ආරක්ෂකයින් අතර ඊටත් වඩා වැදගත් ඒජන්තයෙකු සිටියේ ය. ප්‍රහාරය දිගහැරෙන අතරතුර, වැරදි උන්ඩ පුරවා තිබීම හේතුවෙන් ඔවුන්ගේ තුවක්කු අවහිර වීම නිසා ට්‍රොට්ස්කිගේ සියලු ආරක්ෂකයින්ට කිසිවක් කරගියා ගත නොහැකි විය. උන්ඩ පිරවීම සඳහා වගකීම දැරූ ආරක්ෂක භටකායේ ප්‍රධානියා ලෙස සකප සාමාජික ජෝසෆ් හැන්සන් කටයුතු කල අතර, පසු ව ඔහු එෆ්බීඅයි වෙත දැනුම් දුන්නේ, 1938 තරම් ඈත පටන් තමන්ට ජීපියූ සමග සබඳතා පැවති බව යි.

ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය කිරීමේ 1940 මැයි 24 ප්‍රයත්නය සිදු වූයේ, ඊට මාස අටකට පෙර 1939 සැප්තැම්බර් 1දා පුපුරා ගොස් තිබුනු දෙවැනි ලෝක යුද්ධයේ ආරම්භක අදියරයන්ගේ පසුබිම මධ්‍යයේ ය. ප්‍රංශයේ සටන ඒ වන විට සිදුවෙමින් පැවතුනු අතර, 1940 ජුනි 22දා ප්‍රංශ හමුදා නාසීන්ට යටත් විය.

1940 අගෝස්තු 20දා ට්‍රොට්ස්කි ඝාතනය කිරීම, 20වන ශතවර්ෂයේ වඩාත් ම දුරදිගයන ඇඟවුම් සහිත දේශපාලන අපරාධය විය. ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය විවෘත ප්‍රතිවිප්ලවවාදී බලවේගයක් බවට පරිවර්තනයවූ 1930 ගනන් තුල, ජෝසෆ් ස්ටැලින් විසින් මුදාහරින ලද පුලුල් ගෝලීය ප්‍රචන්ඩත්වය හා මර්දනයේ කූටප්‍රාප්තිය එමගින් සලකුනු කලේ ය. කම්කරු පන්තිය වෙතින් බලය පැහැරගත් සෝවියට් නිලධරයේ ප්‍රධානියාවූ ස්ටැලින්, සෝවියට් සංගමය තුලත් ඉන් පිටතත් ඔහුගේ ආඥාදායක පාලන තන්ත්‍රයට පැවති සියලු විරුද්ධත්වයන් විනාශ කිරීමට අදිටන් කරගෙන සිටියේ ය.

ජෝසප් ස්ටාලින් 1943 දී [AP ඡායාරූපය] [AP Photo]

සෝවියට් සංගමය තුල, 1936 අගෝස්තුවේ මහා ත්‍රස්තයවූ, ප්‍රථම මොස්කව් අවනඩුව මුලාරම්භ කරන ලද අතර, එය, ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය විසින් විප්ලවීය සමාජවාදී කම්කරු පන්තියට හා බුද්ධිස්ථරයට එරෙහිව දියත් කල යුද්ධයක් විය. 1936 හා 1939 අතර, ස්ටැලින්, තථ්‍ය වසයෙන් ඔක්තෝබර් විප්ලවයේ සමස්ත නායකත්වය ද ඊට අමතර ව සමාජවාදීන්, මාක්ස්වාදී බුද්ධිමතුන් හා කම්කරුවන් ලක්ෂ ගනනක් ද ඝාතනය කලේ ය. ජාත්‍යන්තර ව, ස්ටැලින්වාදය විසින් පාලනය කරන ලද තුන්වැනි ජාත්‍යන්තරය (කොමින්ටර්නය) 1936-39 ස්පාඤ්ඤ විප්ලවය සවිඥානික ව පාවාදුන්නේ, පූමය හෙවත්  එක්සත් මාක්ස්වාදී කම්කරු පක්ෂයේ නායක අන්ද්‍රේ නින් පැහැරගෙන ගොස් වධ දී මරා දැමීම ඇතුලු ව එහි වාමාංශික, සමාජවාදී හා අරාජික විරුද්ධවාදීන් දහස් ගනනක් ඝාතනය කරමිනි.

ට්‍රොට්ස්කි නායකත්වය දුන් හතරවන ජාත්‍යන්තරය සෑමවිට ම, මෙම ගෝලීය දේශපාලන ත්‍රස්ත මෙහෙයුමෙහි ‍කේන්ද්‍රීය ඉලක්කයක් විය. සෝවියට් සංගමය ගොඩනැගීමට පාදක වී තිබුනු ජාත්‍යන්තරවාදී මූලධර්ම ආරක්ෂා කිරීමේ අරගලයට ලෙනින්ගේ අභාවයෙන් පසු ව ට්‍රොට්ස්කි නායකත්වය දුන්නේ, ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රයටත් එහි ජාතිකවාදී “තනි රටේ සමාජවාදය” ක්‍රියාමාර්ගයටත් එරෙහි ව අශමනීය අරගලයක් දියත් කරමිනි. නාසි ජර්මනිය ඇතුලු විදේශීය බලවේගයන් සමග ඒකාබද්ධ වී, සෝවියට් සංගමය තුල ධනවාදය පුනස්ථාපනය කිරීමේ ඉලක්කය සහිත ව ස්ටැලින් හා අනෙකුත් සෝවියට් නායකයින් ඝාතනය කිරීමට ට්‍රොට්ස්කි හා ඔහුගේ ආධාරකරුවන් කුමන්ත්‍රනය කලේ යැයි පලමු මොස්කව් අවනඩුව චෝදනා කලේ ය. ට්‍රොට්ස්කි ඝාතනය කිරීමට පෙර, සෑම ඝාතනයක දී ම ස්ටැලින්වාදී ඒජන්ත මාක් ස්බොරොව්ස්කි හෙවත් එටියනේ සෑම ඝාතනයකදීම කේන්ද්‍රීය භූමිකාව ඉටු කල, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ නායකයින් කිහිප දෙනෙකු ඝාතනය කිරීම ජීපීයූව විසින් සංවිධානය කෙරුනි. මෙම ඝාතනවලට පහත ලැයිස්තුව ඇතුලත් වෙයි:

1. 1937 ගිම්හානය තුල ස්පාඤ්ඤයේ දී, ට්‍රොට්ස්කිගේ දේශපාලන ලේකම් වරයෙකු වූ අර්වින් වුල්ෆ් ජීපීයූව විසින් ඝාතනය කරන ලදි.

2. ස්ටැලින්වාදයෙන් බිඳී වෙන් වී හතරවන ජාත්‍යන්තරයට පක්ෂපාතීත්වය ප්‍රකාශ කල ඉග්නේස් රයිස්, 1937 සැප්තැම්බරයේ ස්විට්සර්ලන්තයේ දී ජීපීයූව විසින් ඝාතනය කෙරුනි.

3. ට්‍රොට්ස්කිගේ පුතු හා සම-චින්තකයා වූ ලියොන් සෙඩොව්, 1938 පෙබරවාරි 16දා පැරීසියේ සායනයක දී සැකකටයුතු ලෙස මියගිය අතර, සියලු සාක්ෂි පෙන්වා දෙන්නේ ජීපීයූව ඔහු ඝාතනය කල බව යි.

4. හතරවන ජාත්‍යන්තරයේ ලේකම් වූ රුඩොල්ෆ් ක්ලෙමන්ට්, 1938 ජූලි මාසයේ පැරිසියේ දී පීජීයූව විසින් පැහැර ගෙන, මරා දමනු ලැබ, පසුව රිවර් සයින් තුල තිබී ඔහුගේ අංග ඡේදනය කරන ලද සිරුර සොයාගනු ලැබී ය.

රුඩොල්ෆ් ක්ලෙමන්ට් සහ අර්වින් වුල්ෆ් යන ට්‍රොට්ස්කිගේ ලේකම්වරු, ජීපීයූවෙන් වෙන්ව ට්‍රොට්ස්කිට සහාය පල කල ඉග්නේස් රයිස් සහ ට්‍රොට්ස්කිගේ පුතු මෙන්ම සමීපතම ආධාරකරුවාවූ ලියොන් සෙඩොව් -මේ සියලු දෙනා ඝාතනය කරනු ලැබුවේ ජීපීයූව විසිනි.

1939 වන විට, රුසියානු විප්ලවයේ නො නැසී සිටි අවසාන නායකයා වූයේ ට්‍රොට්ස්කි ය. රුසියානු කොමියුනිස්ට් පක්ෂයෙන් (ආර්සීපී) 1927 නොවැම්බරයේ දී නෙරපා දමන ලදු ව, 1929 පෙබරවාරියේ දී සෝවියට් සංගමයෙන් පිටුවහල් කිරීමට බඳුන් ව සිටි ට්‍රොට්ස්කිගේ ජීවිතය අඛන්ඩ ව අනතුරුදායක ව පැවතියේ ය. ට්‍රොට්ස්කි විස්තර කල පරිදි “වීසාවක් නැති ග්‍රහලොවක” ජීවත් වෙමින් සිටි ඔහුගේ පිටුවහලේ පලමු වසර අට තුර්කියේ, ප්‍රන්සයේ හා නෝර්වේහි ගතකලේ ය. ස්ටැලින් ත්‍රස්තය ආරම්භ කිරීමෙන් පසුව යුරෝපයෙන් පිටවීමට බලකෙරුනු ට්‍රොට්ස්කිට, සමාජවාදී චිත්‍ර ශිල්පියෙකු හා ට්‍රොට්ස්කිගේ හිතවතෙකු වුනු දියේගෝ රිවේරා ආයාචනයකින් පසුව, 1936 දෙසැම්බරයේ දී මෙක්සිකෝවේ ලසාරෝ කාඩෙනාස්ගේ රැඩිකල් ජාතිකවාදී ආන්ඩුව විසින් පමනක් දේශපාලන රැකවරන ප්‍රදානය කරනු ලැබී ය.

ට්‍රොට්ස්කිගේ හුදකලාව පැවතිය ද ස්ටැලින් තමන්ට වඩාත් ම අනතුරුදායක විරුද්ධවාදියා ලෙස අඛන්ඩ ව දැකගත්තේ ඔහු ය. විශේෂයෙන් ම නව අධිරාජ්‍යවාදී යුද්ධයක කොන්දේසි යටතේ, මහජන ශ්‍රාවකයක් කරා ලඟාවීමට ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට පැවති විප්ලවවාදී විභවය සැමදා පැවතුනේ ය. ට්‍රොට්ස්කි සඳහා ආදරනීය ලෙස “වයස්ගත මිනිසා” යන නාමය භාවිතා කරමින් විප්ලවවාදී වික්ටර් සර්ජ්, 1937 දී ස්ටැලින් හොල්මන් කල මෙම අනතුර යෝග්‍ය පරිදි විස්තර කලේ ය:

වයස්ගත මිනිසා ජීවත් ව සිටින තාක් කල්, ජයග්‍රාහී නිලධරයට ආරක්ෂාවක් නො පවතිනු ඇත. ඔක්තෝබර් විප්ලවයේ එක් මනසක් තවමත් පවතින අතර, එය සැබෑ නායකයෙකුගේ මනස යි. පලමු කම්පනයේ දී ම, මහජනයා ඔහු වෙත හැරෙනු ඇත. යුද්ධයක තුන්වැනි මාසයේ දුෂ්කරතාවන් ආරම්භ වන විට, “ජයග්‍රහනයේ සංවිධායකයා” දෙසට සමස්ත ජාතිය හැරීමෙන් වලක්වන්නා වූ කිසිවක් නො පවතිනු ඇත. 

සිය බලය පවත්වාගෙන යාමටත්, විප්ලවය කල්තියා වැලැක්වීමටත්, ට්‍රොට්ස්කි ඝාතනය කල යුතු බව ස්ටැලින් නිගමනය කලේ ය. මෙක්සිකෝවේ දී ට්‍රොට්ස්කි ඝාතනය කිරීමේ කුමන්ත්‍රනය, පලමුවරට 1939 වසන්තයේ දී සැලසුම් ලදු ව, ඊලග වසර පුරා ජීපීයූ ඒජන්තයින් නගරයට ගලා ආ බව මෑත පර්යේෂන මගින් සොයාගෙන ඇත. මැයි 24 ප්‍රහාරය සූදානම් කිරීමේ දී තීරනාත්මක භූමිකාවක් ඉටුකලේ, ට්‍රොට්ස්කිවාදය මුලිනුපුටා දැමීම කේන්ද්‍රීය තේමාව කරගත් අත්‍යසාමාන්‍ය සම්මේලනයක් 1940 මාර්තුවේ දී පැවැත්වූ මෙක්සිකානු කොමියුනිස්ට් පක්ෂය (පීසීඑම්) විසිනි. ප්‍රහාරයට පූර්ව මාස කිහිපයේ, පීසීඑම්හි නිල ප්‍රකාශනය වූ ලා වොස් දෙ මෙක්සිකෝ තුල මෙන් ම, ඔවුන් ආනුභාවය දැරූ එල් පොපියුලාර් හා ෆුතුරෝ යන ප්‍රකාශන තුල, ට්‍රොට්ස්කි ව විසකුරු ලෙස හෙලා දකිමින් මහජන මතය දූෂ්‍ය කලේ ය. ප්‍රහාරයේ මූලික සංවිධාකයන් --ඩේවිඩ් අල්ෆාරෝ සික්විරෝස්, ඔහුගේ සහෝදර ඇල්ෆ්‍රෙඩෝ සික්විරොස්, අන්තෝනියෝ පුජෝල් හා පෙඩ්‍රෝ සුනිගා කමාචෝ-- සියල්ලෝම පීසීඑම් සාමාජිකයෝ වූ හ.

ඩේවිඩ් ඇල්ෆාරෝ සික්විරෝස්

මොස්කෝවේ දී මැයි 24 ප්‍රහාරයෙහි අසාර්ථකත්වය දැකගන්නා ලද්දේ දේශපාලන විනාශයක් ලෙස ය. හිටපු සෝවියට් ජනරාල් හා රුසියානු ඉතිහාසඥ ද්මිත්‍රි වොල්කොගොනොව්ට අනුව, “ඝාතන ප්‍රයත්නයෙහි අසාර්ථකත්වය පිලිබඳ ප්‍රවෘත්තිය ස්ටැලින් කෝපයට පත්කලේ, දීර්ඝ කාලයක් තිස්සේ මෙක්සිකෝවේ ස්ථාපනය කර සිටි, ඔහුගේ මෙහෙයුම ක්‍රියාවට දැමීමට සූදානම් වෙමින් සිටි තනි පුද්ගල මෙහෙයුම්කරුවෙකුගේ ක්‍රියාව මත දැන් සෑම දෙයක් ම පරදුවට තැබෙනු ඇතැයි” තීරනය කිරීම කරා ඔහු ව යොමු කරමිනි.

1940 මැයි 26 හෝ 27 දින, එම මෙහෙයුම්කරුවූ රේමන් මර්කාඩර්ට (ජැක් මොනාඩ් හා ෆ්‍රෑන්ක් ජැක්සන් යනු මොහුගේ අනෙක් නම් වේ), ට්‍රොට්ස්කි ඝාතනය පුද්ගලික ව සිදුකිරීමට ප්‍රථම වතාවට නිල වසයෙන් භාර කෙරුනි. මර්කාඩර්ගේ සහකාරිය ලෙස 1938 සිට ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය සමග  සේවය කර තිබුනු සිල්වියා ඇගෙලොෆ් විසින් මැයි 28දා උදෑසන ඔහු ට්‍රොට්ස්කිට හඳුන්වා දෙනු ලැබී ය. එරික් ලන්ඩන්ගේ “ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය සහ සිල්වියා ඇජිලොෆ්” නමැති 2021 ලිපි මාලාව ඉතා නිරවද්‍ය ලෙස ලේඛනගත කර ඇති පරිදි, නිව් යෝක් නගරයේ සහ මෙක්සිකෝ නගරයේ දී ඝාතනය සිදු කිරීම සඳහා මර්කාඩර් සහ ඇගෙලොෆ් ඊලඟ මාස තුන පුරා ඔවුන්ගේ ජීපීයූ හසුරුවන්නන් සමග කුමන්ත්‍රනයේ නියැලුනි.

ට්‍රොට්ස්කිට මාරක ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු ව පොලිස් අත්අඩංගුවේ පසු වන රේමන් මර්කාඩර්

මැයි 24 ඝාතන ප්‍රයත්නය ට්‍රොට්ස්කි විසින් ම කෙසේ ‍හෝ සංවිධානය කරගත් “ස්වයං-ප්‍රහාරයක්” ලෙස  විකාර සහගත ව පෙන්නුම් කරමින්, ස්ටැලින්වාදී මාධ්‍ය ට්‍රොට්ස්කිට එරෙහි සිය මඩ ගැසීමේ ව්‍යාපාරය ගැඹුරු කලේ ය. මොනම  සාක්ෂිවත් නොමැති වුව ද මෙම අමූලික පචය මෙක්සිකානු ධනේශ්වර මාධ්‍ය හා අනෙකුත් මාධ්‍ය ආයතන විසින් පුනරුච්ඡාරනය කෙරුනි. මෙම අවලාදයන්ට ප්‍රතිචාර ලෙස, සිය ජීවිතයට එරෙහි ස්ටැලින්වාදී කුමන්ත්‍රනය හෙලිදරවු කිරීමේ බලගතු උද්ඝෝෂනයකට ට්‍රොට්ස්කි නායකත්වය දුන්නේ ය. ට්‍රොට්ස්කිගේ ඝාතනයෙන් පසු ව ලියූ, “පියා සහ පුතුනුවන්” නමැති ලිපියක් තුල, මැයි 24දා ට්‍රොට්ස්කිගේ ජීවිතය විනාශ කිරීමට ගත් ප්‍රයත්නයෙන් පසු කාලය, නතාලියා සෙඩෝවා මෙසේ මතකයට නැංවූවා ය:

ඒ අතර ම, ලෙව් දවිදවිච් (ට්‍රොට්ස්කි) මැයි 24 සිද්ධියේ විමර්ශනය පවත්වාගෙන යාමට සබ්බන්ධ වෙමින් සිටියේ ය. එහි අලස වේගය එල්ඩී බෙහෙවින් කනස්සල්ලට පත්කලේ ය. සිද්ධිය පිලිබද වාතාවරනය උසාවියට හා මාධ්‍යයට විස්තර කරමින් ද ස්වයං-හෙලිදරවුකාරී හා අපේක්ෂා විරහිත බොරු හා ද්වේෂ සහගත වක්ක්‍රෝත්තීන් ප්‍රතික්ෂේප කරනු වස් තමන්ට ම බලකර ගැනීමට අධිමානුෂික ප්‍රයත්නයන් දරමින් ද ඔහුට ම සුවිශේෂී තීව්‍රතර තීක්ෂන බුද්ධියෙන් යුතු ව මේ සියල්ල කරමින් ද කිසියම් හෝ තනි විස්තරයක්වත් සිය අවධානයෙන් ඉවත යාමට ඉඩ නො දෙමින් ද ඔහු ඉවසිලිවන්ත ව හා වෙහෙස නො තකා වර්ධනයන් අධ්‍යනය කරමින් සිටියේ ය.

“ස්ටැලින් මගේ මරනය ප්‍රාර්ථනා කරයි” යන මාතෘකාවෙන් යුතු ව, 1940 ජුනි 8දා ට්‍රොට්ස්කි ප්‍රහාරය පිලිබඳ ඔහුගේ පලමු ප්‍රකාශය පලකලේ ය. “ස්වයං-ප්‍රහාරය” ගැන කියාපෑම් ඛන්ඩනය කරමින් ට්‍රොට්ස්කි මෙසේ සටහන් කලේ ය:

ඉතා ප්‍රවේසමෙන් හා ඉතා දක්ෂ ලෙස සූදානම් කරන ලද ප්‍රහාරයේ අහඹු අසාර්ථකත්වය, ස්ටැලින්ට බරපතල ප්‍රහාරයකි. ජීපීයූව, ස්ටැලින් සමග තමාම පුනරුත්ථාපනය කරගත යුතු ය. ප්‍රයත්නයෙහි පුනර්කරනයක් අනිවාර්ය ය.

ඝාතන ප්‍රයත්නයට පෙර මෙක්සිකානු කම්කරු සම්මේලනයේ (සීටීඑම්) ආරම්භකයා හා නායකයා වූ විසෙන්තේ ලොම්බාර්දෝ තොලෙදානෝ සහ ඝාතන කුමන්ත්‍රනයට විරුද්ධවූ නමුත්, කීකරු ස්ටැලින්වාදියෙකු ව සිටි මෙක්සිකානු කොමියුනිස්ට් පක්ෂයේ (පීසීඑම්) හිටපු නායකයාවූ හර්නන් ලබෝර්දේ රොඩ්‍රිගුවස් ඇතුලත් නායක මෙක්සිකානු ස්ටැලින්වාදීන්, ඝාතන ප්‍රයත්නයට පෙරාතු ව ට්‍රොට්ස්කිට එරෙහි ව ගෙන ගිය දුෂ්ට ප්‍රසිද්ධ හෙලාදැකීම්, ලිපිය තුල ලේඛනගත කෙරුනි. ප්‍රකාශය නිමා කරමින් ට්‍රොට්ස්කි මෙසේ ලීවේ ය:

මෙම පෘථිවිය මත මම ජීවත් වන්නේ නීතියට අනුව නො ව, එයට ව්‍යතිරේකයක් ලෙසිනි. අපගේ යුගය වැනි ප්‍රතිගාමී යුගයක දී, විප්ලවවාදියෙකුට දිය ප්‍රවාහයට එරෙහිව පිහිනීමට බලකෙරේ. මට හැකි හොඳ ම ආකාරයෙන් මම එය කරමින් සිටින්නෙමි. ලෝක ප්‍රතිගාමීත්වයේ පීඩනය, ඇතැම් විට වඩාත්ම ක්ෂමා විරහිත ලෙස මගේ පුද්ගලික ඉරනමත්, මට සමීප අයගේ ඉරනමත් තුලින් එහි ප්‍රකාශනය සොයා ගෙන තිබේ. මම කිසිසේත්ම  මෙහිදී එය මගේ පෞද්ගලික  ප්‍රසංශාවට කාරනාවක් ලෙස නොදකිමි:  මෙය, ඓතිහාසික තත්ත්වයන් එකිනෙකට සම්බන්ධවීමේ ප්‍රතිඵලයකි. එහෙත් තොලෙදානෝ, ලබෝර්දේ සහ සමාගම වැනි වර්ගයේ මිනිස්සු මා “ප්‍රතිවිප්ලවවාදියෙකු” යි ප්‍රකාශ කරන විට, අවසාන තීන්දුව ඉතිහාසයට භාර කරමින් මට සන්සුන් ලෙස ඔවුන් පසුකර යා හැකි ය.  

විසෙන්තේ ලොම්බාර්දෝ තොලේදානෝ 1938 දී (ඡායාරූපය: හැරිස් සහ එවිං) [Photo: Harris & Ewing]

ට්‍රොට්ස්කිගේ ඝාතනයට හරියට දින තුනකට  පෙර, 1940 අගෝස්තු 17දා පල කරන ලද, “කොමින්ටර්නය සහ ජීපීයූව” නමැති ප්‍රකාශයක් තුල, ට්‍රොට්ස්කි මෙම තේමාවන් විදාරනය කලේ, ඔහුගේ නෛතික ආරක්ෂාව වර්ධනය කරමින් හා ඔහුගේ ජීවිතයට එරෙහි ස්ටැලින්වාදී කුමන්ත්‍රනය වැඩිදුර හෙලිදරවු කරමිනි.

ට්‍රොට්ස්කිගේ මරනයෙන් අනතුරු ව, සමාජවාදී කම්කරු පක්ෂය පුලුල් විමර්ශනයක් සිදු කලේ නැත. පැරීසියේ මාක් ස්බොරොව්ස්කි, නිව් යෝක් නගරයේ සිල්වියා කෝල්ඩ්වෙල්, මෙක්සිකෝ නගරයේ ජෝසෆ් හැන්සන් සහ තවත් බොහෝ අය ඇතුලු ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට රිංගා, සිය තනතුරු දිගට ම දැරූ ජීපීයූ ඒජන්තයින්ගේ පලල් ජාලයක් මෙන් ම, ඇගෙලොෆ් සහ මර්කාඩර් අතර පැවති සැකකටයුතු සබඳතා විමර්ශනය කිරීමට අසමත් වූ පක්ෂය, දශක ගනනාවක් පුරා මෙම කරුන ගැන බොහෝ සෙයින් නිශ්ශබ්ද ව සිටියේ ය. ස්බොරොව්ස්කි, සොබොලෙවිෂියස් සහෝදරයන් (ජැක් සෝබ්ල් හෙවත් සෙනින් සහ රොබ් සෝබ්ලෙන් හෙවත් රෝමන් වෙල් යන) , සිල්වියා කෝල්ඩ්වෙල් (සිල්වියා ෆ්‍රෑන්ක්ලින් විසින් පක්ෂය තුල භාවිතා කල නම වූ) හා අනෙකුත් අයගේ රහස් යාන්ත්‍රනයන් හෙලිදරවු කල, 1950 ගනන් හා 1960 ගනන් මුල සෝවියට් ඔත්තු බැලීමේ නඩු විමසීම් පුරාවටම, සකපය එහි මාධ්‍යයන් තුල ඝනීභූත නිශ්ශබ්දතාවක් පවත්වාගෙන ගියේ ය.

මෙම මාසයට (මැයි) හරියට ම අවුරුදු 50කට පෙර වූ 1975 දී, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) ට්‍රොට්ස්කිගේ ඝාතනය ගැන පලමු සංගෘහිත විමර්ශනය වූ ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය ආරම්භ කරන තෙක් එය සිදු වූයේ නැත. සඟවා තිබුනු නොගිනිය හැකි තරම් කරුනු අනාවරනය කල මෙම විමර්ශනය, ඝාතනය මෙන් ම කුමන්ත්‍රනයේ නිරත ව සිටි ස්ටැලින්වාදී ඒජන්ත ජාලය ගැන ද පැවති සියලු සාක්ෂි එක්රැස් කලේ ය.

ට්‍රොට්ස්කි ඝාතනයට සම්බන්ධ බවට, ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරයේ විමර්ශනය මගින් හෙලිදරව් කරන ලද ස්ටැලින්වාදී නියෝජිතයන්. ඉහල වමේ සිට දක්ෂිනාවර්තව: මාර්ක් ස්බොරොව්ස්කි; සිල්වියා කැලන්; සොබ්ලෙවිසියස් සහෝදරයන් වන ජැක් සහ රොබට්; තෝමස් එල්. බ්ලැක්; සිල්වියා ඇගෙලොෆ්; රොබට් ෂෙල්ඩන් හාර්ට්.

දශක ගනනාවක් තිස්සේ ඔවුන්ගේ සැබෑ ඉතිහාසය ආවරනය කර තිබූ හෝ නො තකා හැර තිබුනු ස්බොරොව්ස්කි, හැන්සන්, හාර්ට්, කෝල්ඩ්වෙල් සහ අනෙකුත් අය විසින් ඉටුකල භූමිකාව පිලිබඳ ව ආලෝකය හෙලූ වඩාත් ම තීරනාත්මක කරුනු විමර්ශනය තුලින් පැන නැගුනි. ඒ වන විට, හැන්සන්ගේ නායකත්වය යටතේ පැවති සකපය ට්‍රොට්ස්කිවාදය අතහැර දමා තිබුනි. තොරතුරු දැන ගැනීමේ නිදහස පනත (එෆ්ඕඅයිඒ) යටතේ කල ඉල්ලීම් හරහා, 1940 අගෝස්තු 31දා ආරම්භ කර, හැන්සන් එෆ්බීඅයි සමග සබඳතා පටන්ගෙන එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ද්විත්ව-ඒජන්තයෙකු බවට ක්ෂනික ව පත් වූ බව ආරක්ෂාව විමර්ශනය දැනගත්තේ ය. 1963 ජුනි මාසයේ දී පැබ්ලෝවාදීන් සමග මූලධර්ම-විරහිත යලි එකමුතුවට පහසුකම් සලසමින්, 1950 ගනන් අග පටන් හැන්සන්, පොලිස් ඒජන්තයින්ගෙන් පිරීගිය ප්‍රති-ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් බවට සකපය පරිවර්තනය කිරීමේ කටයුත්ත අධීක්ෂනය කලේ ය. 

සකප සහ විවිධාකාර පැබ්ලෝවාදී ප්‍රවනතාවන් ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය විමර්ශනයට දැක් වූ ප්‍රතිචාරය, ට්‍රොට්ස්කිගේ ඝාතනයට පිටුපස පැවති සත්‍යය වසා දැමීම තවත් වේගවත් කිරීමට මෙහෙයවිනි. හාර්ට්, හැන්සන්, කෝල්ඩ්වෙල් සහ ස්බොරොව්ස්කි ම වැනි තහවුරුවූ ඒජන්තයින් ආරක්ෂා කරමින්, ඔවුන් සියල්ලෝ ම අනවරතව ව විමර්ශනය, “මිනිසුන් ඒජන්තයින් ලෙස හංවඩු ගැසීමක්” (agent-baiting) ලෙස හෙලාදුටුවෝ ය. ප්‍රසිද්ධ ප්‍රකාශයක් තුල, ඔවුහු හජාජාකට “රොබට් ශෙල්ඩන් හාර්ට්ගේ සොහොන අපවිත්‍ර කිරීම” ගැන චෝදනා කලහ.

හජාජාක විසින් ඉදිරිපත් කරන ලද සියලු චෝදනා මේ වන විට මුලුමනින්ම ඔප්පු කෙරී ඇත. 1991 දී ස්ටැලින්වාදීන් සෝවියට් සංගමය බිඳ විසිරවීමෙන් පසු ව නිදහස් කරන ලද සෝවියට් ඔත්තු බැලීමේ කේබල් පනිවුඩ (වෙනෝනා පේපර්ස්) මගින්ද මෙය තව දුරටත් සනාථ  කෙරී ඇත. හාර්ට්, ෆ්‍රෑන්ක්ලින් හා අනෙකුත් අය ජීපීයූ ඒජන්තයින් වූ බව නිශ්චිත ව සනාථ කෙරුන ද සකප හා අනෙකුත් පැබ්ලෝවාදී සංවිධාන ආරක්ෂාව විමර්ශනයෙහි සත්‍යතාව කිසිදා පිලිගෙන නැති අතර ම, ඓතිහාසික වාර්තාව අඛන්ඩ ව මුසාකරනය ද කරගෙන යති. අද දින දක්වා ම, පැබ්ලෝවාදීන් විසින් දේශපාලනික ව පාලනය කෙරෙන කොයෝවාකාන්හි ට්‍රොට්ස්කි කෞතුකාගාරයෙහි හාර්ට්ගේ සමරු ඵලකයක් පවතින අතර, ඔවුහු මෙම  ඒජන්තයෙකු ලෙස තහවුරු වූ පුද්ගලයාට අඛන්ඩ ව ගෞරව කරති. 

එලැඹෙන මාසවල දී, හජාජාක හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය ආරම්භ කිරීමේ 50වැනි සංවත්සරය වැඩිදුර සමරනු ඇත්තේ, එම විමර්ශනය විසින් එක්රැස් කරන ලද යෝධ සාක්ෂි හා උකහා ගත යුතු දුරදිග යන දේශපාලන නිගමන ගෙන එමිනි. 20වැනි ශතවර්ෂයේ කේන්ද්‍රීය අරගලය වූ ට්‍රොට්ස්කිවාදය සහ ස්ටැලින්වාදය අතර අරගලය සමග සමීප ව බැඳී ඇති මෙම උරුමය, අද දින විප්ලවවාදී දේශපාලනයට අවතීර්න වෙමින් සිටින සමාජවාදීන්ගේ නව පරම්පරාවක දේශපාලන අධ්‍යාපනය සඳහා අත්‍යවශ්‍ය ය.

***

මේරිං පොත් වෙතින් මිල දී ගත හැකි, ලියොන් ට්‍රොට්ස්කි සහ විසිඑක්වැනි සියවසේ සමාජවාදය සඳහා අරගලය නමැති වෙලුම තුල ද අඩංගු වන ඩේවිඩ් නෝර්ත්ගේ “ට්‍රොට්ස්කිගේ අවසන් වසර” නමැති රචනාවේ 3වන කොටස තුල මැයි 24 ප්‍රහාරය පිලිබඳ තවත් සවිස්තර වාර්තාවක් අඩංගු වේ.

Loading