මිදිගම මිචෙලින් කම්හලේ නව හිමිකාර සියැට් සමාගම කම්කරු මර්දනය මධ්‍යයේ වැඩ ආරම්භ කරයි

මිචෙලින් සමාගමට අයත් ව තිබූ මිදිගම ටයර් කම්හල ඉන්දියානු සියැට් සමාගමට පැවරීමේ දී තම රැකියා සහ අනෙකුත් අයිතීන් සුරක්ෂිත කරන ලෙස ඉල්ලා එහි කම්කරුවන් මාස දෙකකට ආසන්න කාලයක් ගෙන ගිය අරගලය වෘත්තීය සමිති නායකයන් ගේ සහයෝගය ඇති ව බිඳ දැමීමෙන් පසු ව, සැප්තැම්බර් 9 වෙනි දා නව සමාගම එහි වැඩ ආරම්භ කලේ ය. 

2025 මැයි 26 දින මිච්ලින් කම්කරුවෝ කම්හල ඉදිරිපිට උද්ඝෝෂනයක

මිචෙලින් සහ සියැට් සමාගම් දෙක අතර කෙරුන මෙම ගනුදෙනුව මත සමාගම් දෙක පැන වූ කොන්දේසිවලට මිචෙලින් කම්කරුවන් යටත් කොට සියැට් සමාගමේ වැඩට තල්ලු කිරීමේ දී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරන අන්තර් සමාගම් සේවක සංගමයේ  (අසසේස) සහ ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධිත පෞද්ගලික සේවක මධ්‍යස්ථානයේ (පෞසේම) වෘත්තීය සමිති නායකත්වයන් ඉටුකල ද්‍රෝහී ක්‍රියාකලාපය පිලිබඳ පාඩම් උකහා ගැනීම මිචෙලින් කම්කරුවන්ට මෙන් ම  අනෙකුත් කම්කරුවන්ට ද අතිශයින් ම වැදගත් වෙයි.

1500ක් පමන වූ මිචෙලින් කම්කරුවන් සියැට් සමාගමට අනුයුක්ත කිරීම මිචෙලින්-සියැට් ගනුදෙනුවේ කොටසක්  විය. සමාගම් දෙක අතර පසුගිය දෙසැම්බර් 6 වෙනි දා සිදු කෙරුන මෙම ගනුදෙනුව ගැන කම්කරුවන් දැන නොසිටි අතර, මිචෙලින් කම්කරුවන් සියැට්  සමාගමට අනුයුක්ත කිරීමේ “අවබෝධතා” ගිවිසුමක් සමාගම් දෙක සහ අසසේස අතර මැයි 22 අත්සන් කෙරුනේ ද ඔවුන්ගේ අනුදැනුමකින් තොර ව ය.

කම්කරුවන්ගෙන් මතු විය හැකි විරෝධය යටපත් කිරීම සඳහා, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ඍජු සහයෝගය ඇති ව, සමාගම් සහ අසසේස නායකයෝ සමීප ව කටයුතු කලහ.

තම රැකියා සහ සේවා කොන්දේසි පිලිබඳව ඇති වූ අවිනිශ්චිතතාවය නිසා, සමාගම් සහ අසසේස අතර අත්සන් කරන ලද ගිවිසුම ප්‍රතික්ෂේප කරමින්, රැකියා සහ සේවා කොන්දේසි සුරක්ෂිත කරන ලෙස ඉල්ලා මැයි  23 වෙනි දා කම්හල වාඩිලා ගත් කම්කරුවෝ වැඩ වර්ජන ඇතුලු විරෝධතා  උද්ඝෝෂනවල නිරත වූහ. සේවය අවසන් කිරීම සඳහා මිචෙලින් සමාගමෙන් රුපියල් මිලියන 3 ක වන්දියක් සහ නව සමාගම යටතේ සේවය අඛන්ඩ ව පවත්වා ගෙන යාම ඇතුලු තමන්ගේ ම ඉල්ලීම් ඔවුන් ඉදිරිපත් කරන ලදී.

කම්කරුවන්ගේ අරගලයට මුලුමනින් ම සතුරු වූ අසසේස නායකයෝ ජවිපෙ/ ජාජබ ආන්ඩුවේ සහ පොලිසියේ ද සහයෝගය ඇති ව අරගලය යටපත් කිරීමට සහ සටන්කාමි කම්කරුවන් තුන්දෙනෙකු වූ සම්පත් කරුනාසේන, චිරන්ගිවි සෙනවිරත්න සහ දිමුතු කුමාර සේවයෙන් නෙරපීමට සමාගමේ පාලකයන් සමග කුමන්ත්‍රනය කලහ.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ ශ්‍රී ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමුහිකය අසසේසයේ මෙම ද්‍රෝහී  ක්‍රියාකලාපයට සහ සමාගමේ මර්දනයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත මිචෙලින් කම්කරුවන්ගේ අරගලය වර්ධනය කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර කම්කරුවන්ගේ සහයෝගය බලමුලු ගැන්වීමට සටන් කලේ ය.

සසප ක්‍රියාමාර්ගයට කම්කරුවන්ගේ අවධානය යොමු වන තතු තුල, ව්‍යාජ-වාම පෙසප සහ එහි පෞසේම, මිචෙලින් කම්කරුවන්ගේ අරගලයට මැදිහත් විය. කම්කරු නිතිය යටතේ නව ගිවිසුමක් අත්සන් කර මිචෙලින් කම්කරුවන්ගේ රැකියා සහ සේවා කොන්දේසි සුරක්ෂිත කරන බවට පෞසේම ලේකම් දේවින්ද කෝදාගොඩ දුන් සහතිකය මත, අසසේස පාවාදීම කෙරෙහි කෝපයෙන් සිටි 720 ක් පමන කම්කරුවෝ පෞසේම සාමාජිකත්වය ලබාගත්හ. කෙසේ නමුත්, මිචෙලින් පරිපාලනය, පෞසේම නිල වශයෙන් පිලි ගැනීම පවා ප්‍රතික්ෂේප කලේ ය.

අගෝස්තු 6 සහ 12 සියැට් සමාගමේ පත්වීම් ලිපි භාර ගන්නා ලෙස මිචෙලින් පාලකයෝ කම්කරුවන් ට දැනුම් දුන්හ. අසසේස පාවා දීම හා පෞසේම විසින් ව්‍යාකූල කොට අවමංගත කෙරුන කොන්දේසි යටතේ කම්කරුවන්ට පත්වීම් ලිපි භාර ගැනීමට බල කෙරුනි. පෞසේම සමාජිකයන් අතරින් 154 දෙනෙකු හැර සෙසු සියලු කම්කරුවෝ පත්වීම් ලිපි භාර ගත්හ. සිය ඉල්ලීමට අවනත නොවෙමින් පත්වීම් ලිපි භාරගත් කම්කරුවන්ට දෝෂාරෝපනය කල කෝදාගොඩ පරාජයේ වගකීම ඔවුන් මත පැටවී ය. 

මේ අතර, සියැට් සමාගම යටතේ 'සියලු වරප්‍රසාද සුරක්ෂිත' බව පවසමින්, නව පත්වීම් ලිපි භාර ගන්නා ලෙස යලි යලිත් කම්කරුවන්ගෙන් ඉල්ලා සිටි අසසේස නායකයෝ, කම්කරු කොමසාරිස් සහ සමාගම් පාලකයන් සමග සාකච්ඡා කොට, සියැට් සමාගමේ පත්වීමේ ලිපියේ කොන්දේසි වෙනස් කර ගැනීමටත්, කම්කරුවෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ වන්දි මුදලක් මිචෙලින් සමාගමෙන් ලබා ගැනීමටත් හැකි වූ බව ප්‍රකාශ කලහ.

අසසේස නායකයන්ගේ ප්‍රකාශය පචයකි. සමාගම් දෙක සහ අසසේස කම්කරුවන්ට ගිවිසුම ලබාදීම දිගට ම ප්‍රතික්ෂේප කලේ එහි කිසිවක් වෙනස් නොකල බැවිනි. එමෙන් ම, කම්කරුවන් ඉල්ලා සිටියේ රුපියල් මිලියන තුනකි. නමුත්, මිචෙලින් පාලකයන් දී ඇත්තේ ඉන් පහලොවෙන් පංගුවකි. 

අගෝස්තු 13 වැනි දින මිචෙලින් සමාගම අවසන් නිවේදනයක් නිකුත් කරමින්, එතෙක් නව පත්වීම් ලිපිය ට අත්සන් නොකල කම්කරුවන්  අගෝස්තු  20 සහ 21 දිනවලදී එය අත්සන් කර සමාගම් නියෝජිතයන්ට භාර දෙන ලෙස දැනුම් දුන්නේ ය. කලබලයට පත් කෝදාගොඩ 20 වෙනිදා ම පත්වීම් පත්වීම් භාර ගන්න ලෙස කම්කරුවන්ට කියා සිටියේ ය. 

එතෙක් පත්වීම් ලිපි වලට අත්සන් නොකල 154 න් 152 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ලබාදුන් නමුත්, පෞසේම සභාපති දුමින්ද පාලින්ද සහ ලේකම් නලින් ද සුරංගට පත්වීම් ලිපි ලබා නොදුනි. පසුව, “රාජකාරි වෙලාව තුල සේවා ස්ථානයෙන් බැහැරව සිටීම” යන චෝදනාව යටතේ, මිචෙලින් සමාගම අගෝස්තු  22 වෙනි දා සිට ඔවුන්ගේ වැඩ තහනම් කලේ ය.  

සියැට් සමාගමේ මානව සම්පත් කලමනාකරු තුෂාර හෙට්ටිතන්ත්‍රිගේ විවේචනය කරමින් මුහුනු පොතේ පෝස්ටුවක් පල කලේ ය යන චෝදනාව මත සියැට් පරිපාලනය, සැප්තැම්බර් 15 වෙනි දා, දිලුම් ප්‍රියදර්ශන නැමති තවත් කම්කරුවෙකුගේ වැඩ තහනම් කලේ ය. 

මර්දනය ඉදිරියට ම ගෙන යන සියැට් පරිපාලනය, සමාගමෙන් ඉවත් කරන ලද කම්කරුවන් වෙනුවෙන් මුදල් එකතු කලේ ය යන චෝදනාව යටතේ, සැප්තැම්බර් 23 දා කමල් අද්දරවත්ත නමැති තවත් කම්කරුවෙකුගේ වැඩ තහනම් කලේ ය. පෞසේමයේ තවත් ක්‍රියාකාරීන් දඩයම් කිරීම සඳහා හෙට්ටිතන්ත්‍රිගේ තර්ජනය කරන බව කම්කරුවෝ පැවසූහ. 

සියැට් පරිපාලනය ආරම්භයේ දී ම දියත් කර ඇති මෙම පියවර මගින් පෙන්නුම් කෙරෙන්නේ, ඉදිරි කාලයේ දී එය කෙතරම් රුදුරු මට්ටම් වලට කම්කරුවන්ට එරෙහි මර්දනය ඉහල නංවනු ඇත් ද යන්නයි. 

කම්කරුවන්ට එරෙහි මර්දනය සඳහා මිචෙලින් සහ සියැට් සමාගම්වල පාලකයන්ගේ අත් ශක්තිමත් කලේ, ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ ඍජු උපකරනයක් ලෙස ක්‍රියා කරන ජවිපෙ/ජාජබ ධනපති ආන්ඩුවේ අතකොලුවක් වන අසසේස මෙන් ම, ව්‍යාජ සටන්කාමිත්වයක් පෙන්නුම් කරන පෞසේම නායකයන්ගේ තුච්ඡ පාවාදීම විසිනි. 

ධනේශ්වර ප්‍රහාරයන්ට එරෙහි ව, කම්කරු පංතියේ ඒකාබද්ධ දේශපාලන ප්‍රතිප්‍රහාරයක් සංවිධානය කිරීමට එරෙහිව, ධනපති ක්‍රමය සහ වෘත්තීය සමිති රාමුව තුල කම්කරුවන් සිර කරමින්, ඔවුන්ගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පාගා දැමීම සඳහා ධනපති සමාගම් වලට සහ ධනපති පාලකයන්ට වෘත්තීය සමිති නිලධරය විසින් මංපෙත් සාදාදෙන ආකාරය පිලිබඳ ඉතා පැහැදිලි පාඩමක්, මිචෙලින් අරගලය තුලින් සමස්ත කම්කරු පංතියට උකහාගත හැක.   

ප්‍රංශ ජාත්‍යන්තර සංගතයක් වන මිචෙලින් සමාගම, එහි මිදිගම ටයර් නිෂ්පාදන කම්හල සහ කොටුගොඩ වාත්තු කම්හල ඉන්දියාවේ දැවැන්ත සංගතයක් වන සියැට් සමාගමට විකිනීම, තම සමාගම සතු සමහර කම්හල් වසා දමා, අනෙක් ඒවායේ කම්කරුවන් සංඛ්‍යාව අඩු කොට, කෘතීම බුද්ධි තාක්ෂනය ද යොදා ගෙන, වැඩ වේගවත් කරමින් ලාභ තරකර ගැනීමට අරඹා ඇති ප්‍රහාරයක කොටසකි.

මෙම ගනුදෙනුවේ දී මිචෙලින් සංගතය සතු ව පැවැති කැස්මෝ වෙලඳ සන්නාමය ද සියැට්‌ සමාගම වෙත පවරා දී ඇත. කැස්මෝ ඉඳිකිරීම් සහ කෘෂිකාර්මික බරවාහන ආදිය සඳහා යොදා ගනු ලබන වාහන ටයර් සඳහා ගෝලීය ව තහවුරු කෙරුන වෙලඳ සන්නාමයකි. කැස්මෝ සන්නාමය එයට හිමිවීම ටයර් නිෂ්පානය හා අලෙවි කරන ජාත්‍යන්තර සංගත ජාලයට එකතුවීමට තමන්ට අවස්තාව සලසන බව සියැට් සමාගම පවසයි. 

වැඩෙන අධිරාජ්‍යවාදී යුද්ධය සහ වෙලඳ යුද්ධය විසින් ගැඹුරු කරනු ලබන ධනවාදයේ ගෝලීය අර්බුදය මගින් තීව්‍ර වන ලෝක වෙලඳපොලේ තරඟය තුල ලාභ තරකර ගැනීම පිනිස මිචෙලින් සංගතයට නොදෙවෙනි ලෙස සියැට් සමාගම ද කම්කරුවන් ගේ රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි මත රුදුරු ප්‍රහාරයන් එල්ල කරනු ඇත. එයට එරෙහි ව අරගලයට පිවිසෙන කම්කරුවන් රුදුරු ලෙස මර්දනය කිරීමේ තම සූදානම, සියැට් පරිපාලනය එහි ආරම්භයේ දී ම පෙන්වා ඇත.

මිචෙලින්, සියැට් කම්කරුවන් පසුගිය මාස කිහිපය තුල අරගලයේ අත්දැකීම් බැරෑරුම් ව සැලකිල්ලට ගනිමින් තම අයිතීන් ආරක්ෂා කරගැනීමේ අරගලය දැනුවත් ව සංවිධානය කර ගත යුතු ය. ඒ සඳහා වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීන ව දැනට සියට් සමාගමේ සේවයේ නියුක්ත කම්කරුවන් ද සම්බන්ධ කර ගත් ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගැනීම එහි පලමු පියවර යි. ක්‍රියාකාරී කමිටු ජාත්‍යන්තර සංධානය සමග ඒකාබද්ධ වෙමින් රැකියා, වැටුප් සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට සටන් වැදීම සඳහා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් බලමුලු ගන්වා ගැනීමට කම්කරුවන් පෙරට ආ යුතු ය. 

Loading