ආන්ඩුව හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගනියි

ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනබලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව සැප්තැම්බර් 10දා පාර්ලිමේන්තුවේ දී, හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්ත පාර්ලිමේන්තුවෙන් සම්මතකර ගත්තේ ය. ඊට එරෙහි ව ප්‍රකාශ වුයේ එක ඡන්දයක් පමනකි. පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පනත උත්කර්ෂයට නංවමින් දුෂිතයන්ට එරෙහි තවත් පියවරක් යයි පුච්චානම් දෙඩවූ නමුත්, එහි ඇත්ත අරමුන ආන්ඩුවේ කප්පාදු න්‍යාය පත්‍රයට එරෙහිව වැඩෙන මහජන විරෝධය අවමංගත කිරීම සහ එය යුක්ති සහගත කිරීමයි.  

මේ අනුව,1986 අංක 4 දරන ජනාධිපති හිමිකම් වරප්‍රසාද පනත යටතේ හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ වැන්දඹුවන්ට ලබා දී තිබූ රාජ්‍ය අරමුදල් සහිත නිවාස, ප්‍රවාහන, කාර්ය මන්ඩල සහ ලේකම් දීමනා අහිමි කෙරේ. මෙම 1986 පනත අහෝසි කිරීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් නිශ්ප්‍රභා කල ශ්‍රේෂ්ඨාධිකරනය, පනත් කෙටුම්පත ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව තීන්දු කිරීමෙන් පසු අධිකරන ඇමති හර්ෂන නානායක්කාර මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ ය. 

මහජන වෛරයට ලක් ව සිටින ප්‍රභූන්ට එරෙහි ව කුරුස යුද්ධයක යෙදෙන බව කියමින් ආන්ඩුව ගෙන යන ප්‍රචාරය මධ්‍යයේ, කලින් සිට ම පනතට තමන් විරුද්ධ නොවන බව ප්‍රකාශ කල සමගි ජනබලවේගය (සජබ) මන්ත්‍රීවරු ඡන්දය විමසන අවස්ථාවේදී සභා ගැබෙන් පිට වී සිටියහ. සජබ අනුයමින්, එක්සත් ජාතික පක්ෂය (එජාප), ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලංපොප), ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂවල (අයිටීඊකේ) මන්ත්‍රීන් ද සභාගැබේ සිටියේ නැත.  

අලුත් පනත සම්මත  වීමත් සමග හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග බන්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිස්න, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ මෙන්ම, හිටපු ජනාධිපති රනසිංහ ප්‍රේමදාසගේ වැන්දඹුව වන හේමා ප්‍රේමදාසට ලැබුනු මාසික විශ්‍රාම වැටුප  ද, මෙතෙක් ලැබුනු නිල නිවස හා මාසික දීමනා මෙන්ම ඔවුන්ගේ ලේකම්වරුන්ගේ සියලු ම පහසුකම් ද ඉවත් කෙරේ. කෙසේ වෙතත්,  හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් නව පනතින් කිසිවක් දක්වා නැත.  

සැප්තැම්බර් 10දා පාර්ලිමේන්තුව සම්මත කල, ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්ත සහතික කරමින් අත්සන් තබන කතා නායක ජගත් වික්‍රමරත්න (පින්තූරය: news.lk) [Photo: news.lk]

පාර්ලිමේන්තු විවාදයේ දී සටකපට වාංමාලා හරඹයක යෙදෙමින් විපක්ෂ මන්ත්‍රීවරුන් හිටපු ජනාධිපතිවරුන්ට යම් වරප්‍රසාද ප්‍රමානයක් හිමි විය යුතු බවට තර්ක කලෝ ය. පනතට විපක්ෂ ව ඡන්දය පලකල වාචාල මන්ත්‍රී චාමර සම්පත් කීවේ, ආන්ඩුව, හිටපු ජනාධිපතිවරුන් කෙරෙහි “ඉරිසියාව,කෝපය, වෛරය හිතේ තියාගෙන” මෙම පනත ඉදිරිපත් කර ඇති බවයි. 

මිලියන සංඛ්‍යාත මහජනයා අතර වෛරයට හා පිලිකුලට බඳුන් ව සිටින කුමාරතුංග, රාජපක්ෂ දෙබෑයන්, සිරිසේන හා වික්‍රමසිංහ ඇතුලු දූෂිත දේශපාලනඥයින්ගේ වරප්‍රසාද අහිමි කිරීම මහජනයා අතර තෘප්තියකට හේතුවනු ඇතැයි ජවිපෙ/ජාජබ නායකයින් ගනන් බලයි. එහෙත්, බලයට පත් ව වසරක් ගත වීමටත් පෙර වැඩෙන මහජන විරුද්ධත්වයට මුහුන දී සිටින ආන්ඩුවේ මූලික අරමුන, එහි ප්‍රහාරවලින්  මහජන අවධානය වෙනතක හරවන අතර ම, ඊට මුවා වී, කම්කරුවන් ඇතුලු වැඩකරන ජනයා ඉලක්ක කරමින් වඩා විෂකුරු ප්‍රහාර ක්‍රියාවට දැමීමයි. මීට දින කීපයකට පෙර සුලු දූෂන චෝදනාවක් මත වික්‍රමසිංහ තාවකාලිකව අත්අඩංගුවට ගැනීම පිටුපස තිබුනේ ද මෙම උත්සුකතාවන් ම ය. 

පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අධිකරන හා ජාතික ඒකබද්ධතා අමාත්‍ය හර්ෂන නානයක්කාර, දූෂනයට හා නාස්තියට විරුද්ධ ව ක්‍රියාකරන බවට ජවිපෙ/ජාජබ මැතිවරන කාලයේ ගෙන ආ පොරොන්දුවක් ඉෂ්ට කිරීමේ තවත් අවස්ථාවක් ලෙස එය හුවා දැක්වීමට වෑයම් කලේ ය. “රජෙක් වේවා, ජනාධිපතිවරයෙක් වේවා, ජනතාවගේ භාරකාරයා මිස අයිතිකාරයා නොවේ. ඒ බලය ජනතාවගේ පොදු යහපත සදහා යොදවන්න” යැයි “මිහිඳු මහරහත් වහන්සේ කියා තිබෙන” බව කියමින් ජවිපෙ/ජාජබ ආන්ඩුවේ රුදුරු වැඩපිලිවෙලට අයිසිං තැවරීමක නිරත විය.  

එතැනින් නොනැවතුනු නානායක්කාර, “ජනතාවට නැති දේවල්වලින් සත පහක තඹ දොයිතුවක දෙයක් අපිට දෙන්න එපා. හැම දෙනා ම නීතිය ඉදිරියේ සමාන විය යුතුයි. මේවා අපි හුදෙක් කටපාඩමට කියන වචන නෙවෙයි. ප්‍රතිපත්ති ප්‍රකාශයෙත්  ලියලා තියෙනව, අපේ ජීවිතත් ඒ අනුව හැඩගැහිලා තියෙනවා...”යැයි පච වට්ටෝරුව දිගට කියාගෙන ගියේ ය. 

ඇමතිගේ ප්‍රකාශයේ වඩාත් තීරනාත්මක කොටස වූයේ, තමන් මේ ආකාරයෙන් ආන්ඩුව “නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම” හේතුවෙන් “අපේ රට ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ඇවිල්ලා ඉතා සාර්ථක ලෙස යනවා” යැයි කල ප්‍රකාශය යි. “අද පාලකයත් නීතියට යට වෙලා අනෙක් පුද්ගලයෝ වගේ ජීවත් වෙනවා, අනෙකුත් මන්ත්‍රීන්, අපි හැමෝම වරප්‍රසාද අත්හැරලා …” මෙය තහවුරු කිරීමට “සියලු ශ්‍රී ලංකිකයන් වෙනුවෙන් රාජ්‍ය මූල්‍ය නිසි පරිදි යෙදවීමට ශ්‍රී ලංකාව වඩාත් උචිත ලෙස ස්ථානගත වී ඇති” බවත් “ආර්ථික ස්ථායීකරනය සම්බන්ධයෙන් කැපී පෙනෙන ප්‍රගතියක් අත් කරගෙන” ඇති බවත් කියන ලෝක බැංකුව මෑතක දී සිදුකර තිබෙන ප්‍රකාශයකින් උපුටා දැක්වුවේ ය.

දිසානායක ඇතුලු ජවිපෙ/ජාජබ ආන්ඩුවට සත්තකින් ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හා ලෝක බැංකුවෙන් ද ලංකාවේ මහ ධනපතියන්ගෙන් ද ප්‍රශංසා පිට ප්‍රශංසා ලැබෙන බවට ද තව තවත් කම්කරු-දුගී ජනයාගේ පටි තද කරමින් ආන්ඩුවේ ආදායම තරකර ගැනිමට තල්ලුව ලැබෙන බවට ද විවාදයක් නැත.  තමන්ගේ “ආර්ථිකය” හෙවත් ජීවන හා සමාජ කොන්දේසි පල්ලමටම යාමේ කුරිරු තත්වය තුල කම්කරුවන් හා දුගීන් සිටින්නේ ආන්ඩුව ගැන කෝපයෙන් දත්කමිනි.   

ජවිපෙ/ජාජබ විසින් තොරොම්බල් කරන ඊනියා ආර්ථික ස්ථායිකරනය සම්බන්ධයෙන් කිව යුත්තේ ද ඒ ටික ම ය. ආන්ඩුව ලබා ගත්තේයැයි කියන මේ තාවකාලික “ස්ථායිකරනය” අත්කරගෙන ඇත්තේ,  අයිඑම්එෆ් නය කොන්දේසි ප්‍රකාර ව රාජ්‍ය වියදම් කප්පාදු කරමින්ද නව බදු පනවමින් ද කම්කරුවන්ගේ වැටුප් කැටි කරමින් ද රාජ්‍ය ආයතන 400කට වැඩ සංඛ්‍යාවක් විකිනීම සඳහා ආරම්භකත්වය ගනිමින්ද මිලියන සංඛ්‍යාත මහජනයාගේ ජීවන තත්වයන්ට තැලීමෙන් ය. එලෙස මිලියන ගනනක් තවතවත් දුප්පත්කමටත් ව්‍යසනයටත් ඇද දමමින් තිබෙන තත්වය තුල,  ඇත්තට ම මෙම “ස්ථායිකරනයෙන්” වාසි සැලසී ඇත්තේ, තවතවත් බදු සහන ලැබූ අතලොස්සක් ධනපතියන්ට හා ආයෝජකයන්ට ය.  

මෙම ප්‍රහාරවලට  එරෙහිව වර්ජන ක්‍රියාමාර්ගවලට ඇදෙන කම්කරුවන්ට එරෙහි ව පොලිසිය, මිලිටරිය යෙදවීම ඇතුලු මර්දන ක්‍රියා පූර්ව ආන්ඩුවලට නොදෙවෙනි ලෙස වත්මන් ආන්ඩුව විසින් කරගෙන යන අතර, කම්කරු පන්තියේ කිසිදු ක්‍රියාමාර්ගයකින් අයිඑම්එෆ් ගැති වැඩපිලිවෙල නවත්වන්නේ නැති බව දිසානායක ඇතුලු ආන්ඩුවේ මැති ඇමතියෝ පුනපුනා ප්‍රකාශ කරති. ඒ අනුව, ප්‍රහාරය පටන් ගත්තා පමනි. 

ජාමුඅ වැඩපිලිවෙලේ රුදුරු ම පියවර ඉදිරියේ ය. ජාමුඅ එජන්තයෙකු වසයෙන් ජවිපෙ/ජාජබ එයට පොරොන්දුවී ඇත්තේ, දැනට තාවකාලික ව අත්හිටුවා ඇති නය, 2028 සිට ගෙවීම ආරම්භ කරන බවට යි. ඒ සදහා තවතවත් කැපකිරීම් කිරීමට මහජනයාට බලකෙරෙනු ඇත. 

“මහජනයාට නැති කිසිවක් මන්ත්‍රීන්ට නැතැයි” කීම ද ඒ ආකාරයෙන් ගත්විට අමු පචයකි. ජනාධිපති  හා අගමැති ආරක්ෂක රථ පෙලපාලියෙන් ගමන් කරන අතර, කිසිදු ජවිපෙ/ජාජබ මන්ත්‍රීවරයෙන් පොදු ප්‍රවාහනය භාවිතා නොකරයි. අනෙකුත් වරප්‍රසාද සම්බන්ධයෙන්ද ඒ ටික ම ය. කෙසේ වෙතත්, ඇස් බැන්දුමට හෝ මේවා සිදුකලොත්  එයින් මහනජනයාට වෙන අමුතු සුගතියක් ද නැත. 

ජනාධිපති ඇතුලු ආන්ඩුවේ නායකයන් ශුද්ධවන්තයින් පිරිසක් ලෙස මවා පෙන්වීමට ද දරන වෑයම ද ඒ තරම් ම ප්‍රෝඩාවකි. මෙම වරප්‍රසාද අහිමි කෙරන ජනාධිපතිවරුන්-කුමාරතුංග (1994), රාජපක්ෂ (2005) සහ සිරිසේන (2015)- බලයට ගෙන එමෙන් ඔවුන්ගේ දූෂිත පාලනයන් ස්ථාපිත කිරීමට ජවිපෙ සෘජු ව ම වැඩ කලා පමනක් නොව, එම පාලනයන් විසින් මහජනයාට එරෙහි ව ගෙන ගිය විෂකුරු කප්පාදු පිලිවෙත් හා ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාරවලට ඉත සිතින් සහාය දී තිබේ. ඒ, පක්ෂය පිහිට වූ තැන් සිට, මහජනයාට එරෙහි ප්‍රතිගාමී ජාතික රාජ්‍යය රැකගැනීම සදහා ගෙනගිය වර්ගවාදී යුද්ධයට මුලුමනින්ම කරබදු වන අතරේ ය.  

පාලක පන්ති ප්‍රභුවගේ වරප්‍රසාද හා දුෂනය රැඳී තිබෙන්නේ දිසානායක හා ඔහුගේ ආන්ඩුව විසින් ආරක්ෂා කරන ධනපති ක්‍රමය තුල ය. ජවිපෙ/ජාජබ, විපක්ෂය, ව්‍යාජ වම්මුන් මෙය ආවරනය කරති. අවශ්‍යවන්නේ, ඒ හෝ මේ ධනපතියාගේ වරප්‍රසාද අහිමි කිරීමේ ඇස්බැන්දුම් නොව, ජවිපෙ/ජාජබ ඇතුලු මේ සියල්ලන් විසින් නියෝජනය කෙරෙන දූෂිත පාලනය ඇතුලු සමස්ත ධනපති ක්‍රමය ම පෙරලා දමා සමාජවාදී ක්‍රමයක් ස්ථාපනය කිරීම සඳහා කම්කරුවන් ඇතුලු පීඩිත ජනයා  බලමුලු ගැන්වීම යි.  

Loading