රජයට අයත් සීමාසහිත ලංකා සීනි සමාගම යටතේ පාලනය වන සෙවනගල සීනි කම්හලට සපයන උක් සඳහා එම සමාගමෙන් අය විය යුතු මුදල් දිගින් දිගට ම ප්‍රමාද වීම, තම සැපයුම් වලට ලැබෙන මිල ගනන් ප්‍රමානවත් නොවීම සහ උක් මිල දී ගැනීම වරින් වර නතර කිරීම ආදී හේතු මත, සෙවනගල ප්‍රදේශයේ දහස් සංඛ්‍යාත උක් ගොවීහු සහ ඔවුනගේ දරු පවුල් බරපතල අර්බුදයකට මුහුන දී සිටිති.
කොලඹ සිට කිලෝමීටර් 155 ක් පමන දුරින්, රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්ක වෙන් කෙරෙන මායිමේ, සෙවනගල ප්‍රදේශයේ පිහිටා ඇති මෙම සීනි කම්හල, 1985 දී ශ්‍රී ලංකා සීනි සංස්ථාව යටතේ ආරම්භ වී ඇත. වරින්වර පුද්ගලික අංශයට පැවරුන කම්හල අද දින ක්‍රියාත්මක වනුයේ රාජ්‍ය ව්‍යවසායක් ලෙසිනි. එය, පසුගිය දශක හතර පුරා ප්‍රදේශයේ මහජනතාවගේ තීරනාත්මක ආර්ථික සාධකය ලෙස ක්‍රියාත්මක වී ඇත.
පසුගිය දා සෙවනගල ප්‍රදේශයට ගිය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට දක්නට ලැබුනේ, පසුගිය සති කීපය තුල උක් මිල දී නොගැනීම හේතුවෙන්, කම්හල ඉදිරිපිට සහ ගොවීන්ගේ නිවාස ආශ්‍රිතව, උක් අස්වනු පටවන ලද ටේලර් රථ සිය ගනනක් ගාල් කොට තබා ඇති අයුරු ය.
කම්හලේ නිෂ්පාදනය කෙරෙන සීනි සහ එතනෝල් සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය වන උක්, හෙක්ටයාර 38000 ක් පමන ප්‍රදේශය තුල වගා කොට ඇති බවත්, උඩවලව ජලාශයේ වාරි ජලයෙන් එම වගා කටයුතු සිදු කෙරෙන බවත්, ගොවීහු ලෝසවෙඅ ට පැවසූහ. කම්හල සහ ගොවීන් අතර ඇතිකර ගනු ලබන එකඟතා ගිවිසුම් මත සිදු කෙරෙන මෙම වගාවන් සඳහා අවශ්‍ය පොහොර සහ අනෙකුත් ද්‍රව්‍ය කම්හල විසින් සපයනු ලැබේ. ඒ සඳහා කම්හල වැයකල මුදල, සියයට 8 ක වාර්ෂික පොලියක් සහිතව, සැපයූ අස්වනු වෙනුවෙන් ගොවීන්ට ගෙවිය යුතු මුදලින් අඩුකර ගැනේ.
කම්හල උක් මිල දී ගනු ලබන්නේ, උක් ගස් සාම්පල පරීක්ෂාවකට ලක් කොට අවශ්‍ය සීනි සාන්ද්‍රනය ඒ තුල ඇති බව තහවුරු කර ගැනීමෙන් පසුව වන අතර පලමු වගාවේ දී අස්වනු නෙලීමේ කාලය මාස 12 කි. ඉන්පසු කෙරෙන වගාවන් හි දී, නැතහොත් 'නිරි' වගාවන්හි දී, එය මාස 11ක් පමන වේ. එනමුදු දැන් අස්වනු මිල දී ගැනීම මාස 12-18 දක්වා ඇදී යන බව ගොවියෝ පැවසූහ.
කම්හල ආරම්භයේ සිට එය සඳහා උක් වගා කරන ගොවියකු වන සරත් රාජපක්ෂ මෙසේ පැවසීය: “වෙනදා උක් ටික ගෙනිල්ල බාපු ගමන් කැපුම් ගාස්තු කියල ෆැක්ටරිය රුපියල් හයදාහක් එකවුන්ට් එකට දානවා. ඊට පස්සේ ටොන් දහයක් විතර බානකොට තව රුපියල් දහ පහලොස්දාහක් වැටෙනවා. ඒත් දැන් උක් ටික බාලා මාස තුනක් ගියත් සල්ලි වැටෙන්නෙ නැහැ. අපි මේවට සල්ලි ගෙවලා තියෙන්නේ කනකර උගස් තියල. මේ විදියට අපට ජීවත් වෙන්න හරි ම අමාරු වෙලා තියෙන්නේ.”
වසර 30 ට වැඩි කාලයක් උක් වගාවේ යෙදෙන ඩබ්ලිව්.ධර්මදාස, ගොවීන්ට ලැබෙන ආදායමේ සැබෑ ස්වභාවය මෙසේ පැහැදිලි කලේ ය: “අවුරුද්දකට රුපියල් ලක්ෂ 10 ක උක් කැපුවත්, කම්හලේ නය සහ පොලී මුදල්, කැපුම්, පැටවුම් ගාස්තු ගෙවුවම මුලු අවුරුද්දටම අතට ඉතිරි වෙන්නේ ලක්ෂ 2ක් වගේ ගනනක්. එහෙම බැලුවම දවසක ආදායම රුපියල් 500 ක් වගේ. ඒ නිසා අපිට කුලීවැඩ කරල කීයක් හරි හොයා ගන්නම වෙනව.'
තවත් ගොවියෙකු කියා සිටියේ, එක් උක්ගස් ටේලරයක් සඳහා කම්හල ගෙවන අත්තිකාරම් මුදලට වඩා විශාල මුදලක් කැපීම් සහ පැටවීම් සඳහා ගොවීන්ට වැයවන බවයි. 'කම්හල ලෝඩ් එකකට අත්තිකාරම් ගෙවන්නෙ රුපියල් 6000 යි. ඒත් එක ලෝඩ් එකකට කැපුම් සහ පැටවුම් වලට අපිට වියදම් වෙනව රුපියල් 15,000 ක් විතර. බොහෝ වෙලාවට අපි ඒ වියදම් කරන්නෙත් නයවෙල. කවද හරි කම්හලෙන් සල්ලි ලැබුනු දවසක තමයි, ඒ නයත් ගෙවන්න වෙන්නෙ.”
කම්හලේ ප්‍රධාන ඇඹුරුම් යන්ත්‍ර දෙකෙන් එකක් අක්‍රිය වී ඇති බැවින්, නිෂ්පාදන ධාරිතාව අඩකට පහත වැටී ඇත. අනෙක් ඇඹරුම් යන්ත්‍රයේ ද සිදුවන බිඳ වැටීම් සහ නඩත්තු කටයුතු වෙනුවෙන් කම්හල වරින්වර වසා දමන බවත් ගොවීහු පැවසූහ.
කම්හලේ නිෂ්පාදනය ක්‍රමයෙන් පහත වැටී ඇති ආකාරය රාජපක්ෂ විස්තර කලේ මෙසේය: '1980 ගනන්වල කම්හල ආරම්භ කරනකොට ගොවියො දිනකට සපයන අස්වනු සියල්ල ම භාරගත්ත. දැන් කම්හලේ නිෂ්පාදනය භාගෙකටත් වඩා අඩුවෙල නිසා අස්වැන්න භාර ගන්නෙ ටෝකන් ක්‍රමයකට. ටෝකන් එකේ සඳහන් දිනයට විතරයි අස්වැන්න භාර ගන්නෙ.”
ලෝසවෙඅ වාර්තාකරුවන් සමග දීර්ඝ සාකච්ඡාවක යෙදුනු බන්දුල පෙරේරා වත්මන් ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට ගෙන ඒමට විවෘත ව වැඩකල ගොවියෙකි. ඔහු මෙසේ පැවසීය: “ආන්ඩුව මේ ගොවියන්ගේ ප්‍රශ්න එකකටවත් විසඳුම් දෙන්නේ නැහැ. ආන්ඩුව එනකොට නම් ආවේ සමාජවාදය කතා කරගෙන. රනිල් වික්‍රමසිංහ ගියපු පාරෙම දැන් මේ ආන්ඩුවත් යනවා. ගොවියන්ගේ ප්‍රශ්න එකක්වත් විසඳන්නේ නැහැ.”
ප්‍රදේශයේ උක් හෙක්ටෙයාර 400 කට අධික ප්‍රමානයක් පසුගිය සතිය තුල හදිසියේ ගිනි ගැනීම සම්බන්ධයෙන් කතා කරමින් පෙරේරා පැවසුවේ, රජයේ මෙන්ම, ගොවීන්ගේ උක් වගාවන් මෙම ගින්නෙන් විනාශ වී ඇති බවයි.
“කලින් ආන්ඩු වගේ ම මේ ආන්ඩුවත් ගොවියන්ගේ ප්‍රශ්න ගොවියොන්ගේ ඇඟට ම දමල ගහනවා. දැන් ආන්ඩුව ගිනිගත්ත වගාවල් වෙනුවෙන්, හොඳ අස්වැන්න කම්හලට දෙන ගොවියන්ගෙන් ටොන් එකකට රුපියල් දාහක් කපන්න යෝජනා කරනවා. ඒක ඌරගේ මාලු ඌරගේ ඇඟේම තියල කපනවා වගේ වැඩක්. කම්හල පුද්ගලික අංශයට දෙනඑක හොඳයි කියන මතය ගොවියො අතර ගොඩනගන්න කරපු කුමන්ත්‍රනකාරී වැඩක් කියලයි මට හිතෙන්නෙ. මේ ආන්ඩුවට ඕනේ මේ ෆැක්ටරිය විකුනන්න” යැයි ඔහු පැවසී ය.
කම්හලේ ලියාපදිංචි ව සිටින 5000 කට ආසන්න උක් ගොවීන්ට පමනක් නොව, උක්ගස් ප්‍රවාහනයට සම්බන්ධිත රියැදුරු රැකියා ඇතුලු කම්හල ආශ්‍රිතව ගොඩනැගී ඇති සෘජු හා වක්‍ර රැකියා දහස් ගනනකට මෙම තත්වය දරුනු ලෙස බල පා ඇත.
පසුගිය ජූලි මාසයේ උක් මිලට ගැනීම නවතා දැමීමත් සමග, ජූලි 26 දා, කම්හල ඉදිරිපිට සහ එයට ආසන්නත ම ප්‍රධාන මංසන්ධිය වන ඩංඩුම හන්දියේ විරෝධතාවන් හි නිරත වූ දහස් ගනනක් ගොවීහු සහ උක්ගස් ප්‍රවාහනයේ යෙදෙන ට්‍රැක්ටර් රියැදුරෝ, කම්හලෙන් ඔවුනට අය විය යුතු මුදල් වහා ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ. විරෝධතාවල යෙදුනු ගොවීන්ට සහ රියැදුරන්ට අනුව, කම්හලෙන් ඔවුන්ට අය විය යුතු සමස්ත මුදල පිලිවෙලින් රුපියල් මිලියන 250 කට සහ මිලියන 07 කට අධික ය.
ජූලි මස අගදී පැවති ඉහත විරෝධතා වලට නායකත්වය දෙනු ලැබුවේ, 'සෙවනගල උක් ගොවි ඒකාබද්ධ බලමන්ඩලය' විසිනි.
සමාජ මාධ්‍ය තුල සංසරනය වන මෙම විරෝධතාවන්හි වීඩියෝපට වලට අනුව, උක්ත සංවිධානයේ නායකයන් කියා සිටින්නේ, තම ප්‍රශ්න විසඳා දෙන ලෙස පරිපාලනයෙන් යලි යලිත් ඉල්ලා සිටිය ද කවර හෝ සාධනීය ප්‍රතිචාරයක් නොලැබුනු බවයි. ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්තිගෙන්, පසුගිය මාර්තු මාසයේ සිට, තම ප්‍රශ්න පිලිබඳ සාකච්ඡාවක් ඉල්ලා සිටිය ද ඔහු අදවනතුරු එය නොතකා සිටින බව ඔවුහු පවසති.
'හඳුන්නෙත්ති අපට ටොම් පච කියනවා. මේ වෙනකන් අපට සත පහක් දාලා නැහැ. ලමයින්ගේ රත්තරන් බඩු උගස් කියල තමයි කැපුම් අත්තිකාරං ගෙවලා තියෙන්නේ. ගොවියා නයයි. රියැදුරු සංගමෙත් නයයි. ගොවි ජනතාව විදියට කියන්නේ අපිව රවට්ටන්න එපා' යැයි, ගොවිසෙත බලමන්ඩලය වෙනුවෙන් කතාකල ප්‍රියන්ත සුරාජ් පවසයි.
සෙවනගල ගොවි විරෝධතාවන්, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව ගම්බද ජනයා අතර වැඩෙන කැරලිකාරිත්වයේ ප්‍රකාශනයකි. නමුත්, එම විරෝධතාවන් යොමු කෙරී ඇත්තේ, කම්හල් පරිපාලනයට සහ ආන්ඩුවට පීඩනය යොදා තම ප්‍රශ්න විසඳා ගැනීමේ වැඩපිලිවෙලකට ය. විරෝධතාවන්ගෙන් පසු මාසයකටත් අධික කාලයක් ගත වී ඇතත්, ආන්ඩුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෝ ලබා නොදීමෙන් පෙන්නුම් කෙරෙන්නේ හුදෙක් පරිපාලනයට සහ ආන්ඩුවට පීඩනය යෙදීමේ වැඩපිලිවෙලේ නිශ්ඵලභාවය යි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයන් මත, ජවිපෙ/ජාජබ ආන්ඩුව ගෙන යන ප්‍රතිව්‍යූහකරන වැඩපිලිවෙල යටතේ විකිනීමට හෝ වසා දැමීමට නියමිත රාජ්‍ය ව්‍යවසායන් අතරට සෙවනගල සීනි කම්හල ද අයත් වීමේ සෑම ඉඩකඩක් ම පවතී. සමාගම් පරිපාලනය සහ ඇමතිවරයා දක්වන නරුම ප්‍රතිචාර වලින් එය තහවුරු වෙයි.
කම්හල පුද්ගලික සමාගමකට පැවරුව හොත් තත්වය යහපත්වනු ඇතැයි යන අදහස සමහර ගොවියෝ ඉදිරිපත් කලහ. ඊට විපරීත ව, එවන් පැවරීමක්, කම්හලේ කම්කරුවන්ට මෙන් ම, එයට උක් සපයන ගොවීන්ට ද මරු පහරක් වනු නියත ය. එක් අතකින්, කම්කරුවන්ගේ රැකියා, වැටුප් සහ දීමනා කප්පාදු කරමින් සූරාකෑම උග්‍ර කෙරෙනු ඇත. අනෙක් අතට, ගොවීන් මත පටවන කොන්දේසි වඩාත් උග්‍ර කෙරී, අවසානයේ දී තම ගොවිබිම් ද අහිමි වීමේ තර්ජනයට පවා මුහුන දීමට ඔවුන්ට සිදුවනු ඇත.
කම්කරුවන් මෙන් ම ගොවීන් මුහුන දී සිටින්නේ, ජවිපෙ/ජාජබ ආන්ඩුව විසින් ක්‍රියාවට නංවන ජාමූඅ හි කප්පාදු ප්‍රහාරයටයි. එය පරාජය කල හැක්කේ, ජවිපෙ/ජාජබ ධනපති ආන්ඩුවටත්, නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය මත පාදක වූ ධනපති ක්‍රමයටත් එරෙහි කම්කරු පංතියේ දේශපාලන ප්‍රතිප්‍රහාරයක් මගින් පමනි.
මේ සඳහා, ජාමූඅ හි ප්‍රහාරයන්ගෙන් බැටකන සියලු ක්ෂේත්‍රයන්හි කම්කරුවන් ඒකාබද්ධ කරගත් කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය බවත්, එකම විප්ලවවාදී සමාජ බලවේගය වන කම්කරු පංතිය වටා බලමුලු ගැන්වෙමින් ගොවි ජනතාව ද එම අරගලය සමග ඒකාබද්ධ විය යුතු බවත්, ලෝසවෙඅ වාර්තාකරුවෝ සෙවනගල ගොවීන්ට පෙන්වා දුන්හ.
කෙසේ නමුත්, ගොවි සංවිධානයන්හි නායකයන් ඉහත විරෝධතාවන්හි දී කල කතා, එවන් කම්කරු-ගොවි සන්ධානයකට එරෙහි ව පිහිටයි. ගොවීන්ට අය විය යුතු මිලියන ගනන් මුදල් ලබා නොදෙද්දී, සීනි කම්හලේ කම්කරුවන් මිලියන ගනන් වැටුප් ලබා ගන්නා බව පවසමින්, කම්කරුවන්ට එරෙහි ව ගොවීන් පිහිටුවීමට ඔවුහු උත්සාහ කලහ.
මෙම සටන ඉදිරියට ගෙන යාම සඳහා සෙවනගල කම්හලේ කම්කරුවන්ගේ සහ ප්‍රදේශයේ ගොවීන්ගේ ක්‍රියාකාරී කමිටුවක් ගොඩ නැගීමට ලෝසවෙඅ වාර්තාකරුවන් කල යෝජනාවට ගොවීන්ගෙන් ලැබුනේ සාධනීය ප්‍රතිචාරයකි. මෙවන් ක්‍රියාකාරි කමිටු ජාලයක් දිවයින පුරා විවිධ ක්ෂේත්‍රයන්හි ගොඩනගමින්, එම කමිටුවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කම්කරුවන්ගේ සහ ගම්බද පීඩිතයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් කැඳවීමට සමාජවාදී සමානතා පක්ෂය ගෙනයන වැඩකටයුතු සම්බන්ධයෙන් එහි දී සාකච්ඡා කෙරුනි.
බැංකු, සුවිසල් කම්හල්, දැවැන්ත වතුයායයන් කම්කරු පංතියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කරමින්, ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙනඒමේ වැඩපිලිවෙල එම සම්මේලනය තුල සාකච්ඡා කොට සම්මත කර ගනිමින් ක්‍රියාවට නැංවිය හැකි බව ද ලෝසවෙඅ වාර්තාකරුවෝ පෙන්වා දුන්හ. ගොවීන්ට අවශ්‍ය පොහොර සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය සහ උපකරන අඩු මිලට සම්පාදනය කල හැක්කේත්, ඔවුනගේ නිෂ්පාදන වලට සාධාරන මිලක් සුරක්ෂිත කල හැක්කේත් එලෙසිනි.
ධනේශ්වර සහ ජාතිකවාදී රාමුව තුල, කම්කරුවන්, ගොවීන් සහ තරුනයන් මුහුන දෙන කවර හෝ ප්‍රශ්නයක් විසඳාලිය නොහැක. එය කල හැක්කේ, ජාත්‍යන්තර කම්කරු පංතිය විසින් ධනපති ක්‍රමය ගෝලීය පරිමාන ව පෙරලා දමා සමස්ත ලෝක ආර්ථිකය සමාජවාදී පිලිවෙත් මත ප්‍රතිසංවිධානය කර ගැනීමෙන් පමනි.