[මෙය Harassment of framed-up Alton Estate workers continues in Sri Lanka යන මැයෙන් 2025 සැප්තැම්බර් 16 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
හැටන් මහේස්ත්‍රාත් අධිකරනය, බොරු චෝදනා එල්ල වූ ඕල්ටන් වතු කම්කරුවන් 26 දෙනාට එරෙහි නඩුව සැප්තැම්බර් 10 වන දින, විභාගයට ගත්තේය. කෙසේ වෙතත්, ප්‍රධාන සාක්ෂිකරුවන්—වතු කලමනාකරු සත්‍යමූර්ති සුභාෂ් නාරායනන් සහ සහකාර කලමනාකරු අනුෂාන් තිරුචෙල්වම්—අධිකරනයේ පෙනී නොසිටීම හේතුවෙන් නඩු විභාගය දෙසැම්බර් 10 වන දින දක්වා කල් තබන ලදී.
නාරායනන්ගේ ලිපිනය නොදන්නා නිසාත්, තිරුචෙල්වම් දැනට විදේශගතව සිටින නිසාත් සිතාසිය භාර දීමට නොහැකි වූ බව පොලිසිය පැවසීය. අලුත උපන් බිලිඳා රැගෙන පැමින සිටි මවක් ද ඇතුලුව චූදිත සේවකයින් 26 දෙනාම අධිකරනයට පැමින සිටියහ.
නාරායනන්ට සහ තිරුචෙල්වම්ට පහර දීමේ අරමුනින් නීති විරෝධී ලෙස රැස්වී, අත්, පාද සහ පොලුවලින් බරපතල තුවාල සිදු කිරීම සහ වතු කලමනාකරුගේ නිවසට හානි කිරීම යන චෝදනා කම්කරුවන්ට එල්ල වී තිබේ.
ශ්‍රී ලංකාවේ දන්ඩ නීති සංග්‍රහය යටතේ වරදකරුවන් වුවහොත්, ඔවුන්ට වසර හතක් දක්වා සිර දඬුවම් සහ දැඩි දඩ මුදල් නියම වේ. චූදිතයින් සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. කම්කරුවන්ගේ මව් භාෂාව දෙමල වුවද, චෝදනා පත්‍ර නිකුත් කර ඇත්තේ සිංහලෙන් බැවින්, ඔවුන්ගේ ව්‍යවස්ථාපිත සහ නීතිමය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුව තිබේ.
සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව (වකක්‍රික) ශ්‍රී ලංකාව පුරා සහ ජාත්‍යන්තරව කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, වින්දිත ඕල්ටන් කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ සහයෝගය දෙගුන කරන ලෙසයි.
2021 පෙබරවාරි මාසයේ දී, ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ වඩාත්ම පීඩිත කොටස් අතර සිටින වතු කම්කරුවන් විසින් රුපියල් 1,000 ක දෛනික වැටුපක් ඉල්ලා පෙබරවාරි 5 වන දින පවත්වන ලද ජාතික වැඩ වර්ජනයට ඕල්ටන් වතු කම්කරුවන් එක්වීමත් සමඟ නොකඩවා බොරු නඩු පැවරීම් සහ හිංසනය ආරම්භ විය. කලමනාකරනයේ හිරිහැරවලට විරෝධය පල කිරීම සඳහා ඕල්ටන් වතු කම්කරුවෝ තම වතුයායේ කාර්මික ක්‍රියාමාර්ග දිගටම ගෙන ගියහ. පෙබරවාරි 17 වන දින, ඔවුන් කලමනාකරුගේ නිවස ඉදිරිපිට විරෝධතා දැක්වූහ—පසුව, කලමනාකාරිත්වය වසින් මෙය අපරාධ චෝදනා ගෙතීම සඳහා භාවිතා කරන ලදී.
2021 පෙබරවාරි 17 සිට මාර්තු 22 දක්වා කාලය තුල පොලිසිය ඕල්ටන් වතුයායේ කම්කරුවන් 24 දෙනෙකු සහ තරුනයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තේය. වතුයාය කලමනාකරනය කරන හොරන වැවිලි සමාගම (එච්පීසී), කිසිදු නිල පරීක්ෂනයකින් තොරව අත්අඩංගුවට ගත් අය ඇතුලුව සේවකයින් 38 දෙනෙකු වහාම සේවයෙන් පහ කලේය. පොලිසිය 2021 අප්‍රේල් මාසයේදී හැටන් මහේස්ත්‍රාත් අධිකරනයේ දී සේවකයින්ට එරෙහි චෝදනා ගොනු කලේ මෙම චෝදනා මත පදනම්ව ය.
නිතර නිතර සිදුවූ ප්‍රමාදයන්ගෙන් පසුව—මූලික අත්අඩංගුවට ගැනීම් වලින් වසර හතරකට වැඩි කාලයකට පසු—2025 මැයි 28 වන දින පොලිසිය නිල වශයෙන් චෝදනා ගොනු කල අතර එය සැප්තැම්බර් 10 වන දින නඩුව විභාගයට ගැනීමට හේතු විය. මෙම වසරවලදී, චූදිත සේවකයින් 26 දෙනාට නැවත නැවතත් අධිකරනයේ පෙනී සිටීමට බල කෙරුනු අතර, ඒ සඳහා නීතිමය වියදම් දැරීමටත්, නිරන්තර බිය ගැන්වීම්වලට මුහුන දීමටත් සිදුවිය.
2024 දෙසැම්බර් 15 වන දින මස්කෙලිය පොලිස් නිලධාරියෙකු අධිකරනයට දන්වා සිටියේ, කලමනාකරුගේ නිවසට හානි කිරීම සම්බන්ධයෙන් සේවකයින්ට නඩු පැවරීමට ප්‍රමානවත් සාක්ෂි නොමැති බව නීතිපතිවරයා නිගමනය කර ඇති බවයි. එසේ තිබියදීත්, මහේස්ත්‍රාත්වරයා නඩුව කල් දැමූ අතර, නව චෝදනා ගොනු කිරීමට පොලිසියට වැඩි කාලයක් ලබා දුන්නේය.
2025 ජනවාරි 9 වන දින, හැටන් කම්කරු විනිශ්චය සභාවේ විනිසුරුවරයෙකු විසින්, සේවයෙන් පහ කරන ලද කම්කරුවන් 14 දෙනෙකු නැවත සේවයේ පිහිටුවීම සහ හිඟ වැටුප් ලබාදීම ඉල්ලා ගොනු කල නඩුවක් නිෂ්ප්‍රභ කරන ලදී. ඉන්පසු විනිසුරුවරයා කම්කරුවන් 13 දෙනෙකුට නීතිමය වියදම් සඳහා රුපියල් 7,500 බැගින් එච්පීසී වෙත ගෙවන ලෙස නියෝග කලේය. අනතුරුව කම්කරුවන් මහාධිකරනයට අභියාචනයක් ඉදිරිපත් කර ඇත.
වතු වෘත්තීය සමිති නිලධරයන්ගේ විවෘත හෝ රහසිගත පිටුබලය නොමැතිව, එච්පීසී සහ රාජ්‍ය බලධාරීන් විසින් ඕල්ටන් වතු කම්කරුවන් දිග්ගැස්සුනු දඩයමකට ලක් කිරීම සහ පීඩාවට පත් කිරීම සිදුවිය නොහැක්කකි.
ප්‍රධාන වතු වෘත්තීය සමිතිය වන ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී), විරෝධතා දැක්වූ කම්කරුවන්ගේ නම් සඳහන් කරමින් සහ සමහරුන්ට යටත් වන ලෙස උපදෙස් දෙමින් පොලිසිය සමඟ ක්‍රියාකාරීව සහයෝගයෙන් කටයුතු කලේය. කම්කරු විනිශ්චය සභාවේ තීන්දුව 'කම්කරුවන්ට එරෙහිව' ගිය බව සීඩබ්ලිව්සී පිලිගත් නමුත්, ඒ වෙනුවෙන් නීතිමය අභියාචනයක් ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කලේය.
කඳුරට ජනතා පෙරමුන, ජාතික කම්කරු සංගමය, ලංකා ජාතික වතු කම්කරු සංගමය සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරනු ලබන සමස්ත ලංකා වතු කම්කරු සංගමය ඇතුලු අනෙකුත් වෘත්තීය සමිති නිහඬව සිටිමින් මර්දනයට නිහඬ සහාය ලබා දී ඇත.
දීර්ඝ කාලීන නීතිමය ක්‍රියාමාර්ග සහ සමූහ වශයෙන් සේවයෙන් පහ කිරීම දැඩි දුෂ්කරතාවන්ට හේතු වී තිබේ. උසාවියේ පෙනී සිටීම සඳහා මස්කෙලියේ සිට හැටන් දක්වා කිලෝමීටර් 11 සිට 20 දක්වා දුරක් ගමන් කිරීමට කම්කරුවන්ට සිදුවී ඇති අතර, ප්‍රවාහන හා නීතිමය ගාස්තු සඳහා එක් වරකට රුපියල් 4,000 ක් පමන වැය වේ. සේවයෙන් පහ කරන ලද බොහෝ කම්කරුවන්ට අක්‍රමවත් හෝ අඩු වැටුප් සහිත අනියම් රැකියා සොයා ගැනීමට සිදුව තිබේ. ඔවුන්ගේ පවුල් මූල්‍යමය දුෂ්කරතාවලට මුහුන දී ඇති අතර සමහරුන්ට තම දරුවන් පාසල් යැවීමට පවා නොහැකි වී තිබේ.
ඕල්ටන් වතුයායේ කම්කරුවන්ට එරෙහි හිංසනය, රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි වලට ආන්ඩුව එල්ල කරන ප්‍රහාරවලට විරුද්ධ වන කම්කරුවන්ට එරෙහිව එල්ල වන පුලුල් මර්දනයක කොටසකි. 2021 මුල් භාගයේදී වතු සමාගම්, මහා වැඩවර්ජන ක්‍රියාමාර්ගයට දැඩි ලෙස විරුද්ධ වූ අතර රුපියල් 1,000 ක දෛනික වැටුපක් සඳහා වූ කම්කරුවන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කලේ, එය ගෝලීය වෙලෙඳපොල තුල ශ්‍රී ලංකාවේ තරඟකාරිත්වය අඩපන කරනු ඇතැයි තර්ක කරමිනි.
ඕල්ටන් වත්තේ කම්කරුවන් මර්දනය කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) විසින් නියම කරන ලද කප්පාදු පියවර සහ ජනාධිපති දිසානායකගේ ජවිපෙ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේග ආන්ඩුව විසින් දැන් ක්‍රියාත්මක කරනු ලබන “ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ” වැඩපිලිවල සමඟ සෘජුවම සම්බන්ධ වේ.
මෙම පියවර අතරට, සමහර වතු කැබලි කිරීරීම, වගාව විවිධාංගීකරනය කිරීම සහ “ආදායම්-බෙදාගැනීමේ ආකෘතියක්” (ආර්එස්එම්) හඳුන්වාදීම ඇතුලත් වේ.
ආර්එස්එම් යටතේ, කම්කරුවන්ට නඩත්තු කිරීමටත්, අස්වැන්න නෙලා ගැනීමටත් නියමිත තේ පඳුරු සංඛ්‍යාවක් වෙන් කරනු ලබන අතර ඔවුන්ට ගෙවනු ලබන්නේ, සමාගම වියදම් සහ ලාභ අඩු කර ගැනීමෙන් පසුව පමනි. මෙම මොඩලය ස්ථාවර වැටුප්, විශ්‍රාම වැටුප් සහ අනෙකුත් මූලික අයිතිවාසිකම් මුලුමනින් පාහේ අහෝසි කරන අතර, වතු කම්කරුවන් නූතන අඳ ගොවීන් බවට පත් කරයි.
අනුප්‍රාප්තික ආන්ඩු සහ වෘත්තීය සමිති නායකයින් මෙම ප්‍රහාරවලට සහාය දක්වා ඇත.
ආරම්භයේ සිටම සසප සහ වකක්‍රික, ඕල්ටන් වතු කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා නිරන්තරයෙන් සටන් කල අතර, වින්දිත කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා ජාතික හා ජාත්‍යන්තර ව්‍යාපාර දියත් කරමින් ද, වෘත්තීය සමිති නායකයින්, පොලිසිය සහ රාජ්‍යයේ සහාය ඇතිව එච්පීසී ය විසින් පතුරුවා හරින ලද වැරදි තොරතුරු හෙලිදරව් කරමින් ද සිටී.
සසප සහ වකක්‍රික ඉල්ලා සිටින්නේ සියලු චෝදනා වහාම ඉවත් කර ගන්නා ලෙසත්, සේවයෙන් පහ කරන ලද සියලුම සේවකයින් සම්පූර්න වැටුප් සහිතව කොන්දේසි විරහිතව නැවත සේවයේ පිහිටුවන ලෙසත්‍ය.
මෙම උද්ඝෝෂනයේ කොටසක් ලෙස, නීතිපතිවරයා වෙත යොමු කරන ලද පෙත්සමක් සඳහා ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව විවිධ අංශවල කම්කරුවන් සහ සිසුන්ගෙන් අත්සන් 500 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබේ.
සසප සහ වකක්‍රික කම්කරුවන් ආරක්ෂා කිරීම ඉලක්ක කරගත් ප්‍රසිද්ධ රැස්වීම් පවත්වා ඇති අතර ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) හරහා ඉංග්‍රීසි, දෙමල සහ සිංහල භාෂාවලින් ඒ පිලිබඳ තොරතුරු ප්‍රචාරය කර තිබේ. ලොව පුරා සිටින නොයෙකුත් දෙනා ඊට සහයෝගීතාවය ප්‍රකාශ කරමින් ශ්‍රී ලාංකික බලධාරීන් වෙත ලිපි සහ ඊමේල් යවා ඇත.
ඕල්ටන් වත්තේ කම්කරුවන් ආරක්ෂා කිරීම, ජීවන වියදම, ගුනාත්මක නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ සැමට රැකියා සඳහා වන ඉල්ලීම් මත, ජීවත් වීමට සරිලන වැටුපක් සඳහා කරන අරගලය සමඟ අවියෝජනීය ලෙස බැඳී ඇත. මෙම ඉල්ලීම්, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ප්‍රධාන සමාගම්, වතු සහ බැංකු ජනසතු කිරීම සහ කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීම ඇතුලු සමාජවාදී වැඩපිලිවලක කොටසකි.