ඉදිරිදර්ශන

තුර්කියේ සමාජවාදී සමානතා පක්ෂය, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ  ශාඛාවක් ලෙස පිහිටුවයි

[මෙය The Socialist Equality Party is established in Turkey as a section of the International Committee of the Fourth International මැයෙන් සැප්තැම්බර් 12දා පලවූ ප්‍රකාශයේ පරිවර්තනයයි.]

ලෝක සමාජවාදී විප්ලවයේ පක්ෂයේ තුර්කි ශාඛාව ලෙස  සමාජවාදී සමානතා පක්ෂය - හතරවන ජාත්‍යන්තරය ( සොසියලිස්ට් එසිට්ලික් පාර්ටිසි- දෝර්දුන්ජු එන්තෙර්නාසියෝනා) පිහිටුවීම, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ඉමහත් සාඩම්බරයෙන් හා උද්‍යෝගයෙන් යුතුව  පිලිගනී.

තුර්කිය තුල ජාත්‍යන්තර කමිටුවේ ශාඛාව පිහිටුවීම, අතිමහත් ඓතිහාසික අර්ථභාරයක් දරන සිදුවීමකි. ලියොන් ට්‍රොට්ස්කි විසින් හතරවන ජාත්‍යන්තරය පිහිටුවීම සඳහා කැඳවුම නිකුත් කරන ලද්දේ 1933 දී බුයුකාඩා (ප්‍රින්කිපෝ) දූපතේ දී වුව ද, සසප පිහිටුවීම සනිටුහන් කරන්නේ, ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගය සහ ට්‍රොට්ස්කිවාදයේ මූලධර්ම මත පදනම්ව තුර්කියේ පක්ෂයක් පිහිටුවන ලද ප්‍රථම අවස්ථාව ලෙසයි.

තුර්කි ශාඛාව පිහිටුවීම, න්‍යායික, ඓතිහාසික සහ දේශපාලනික පැහැදිලි කිරීම්වල තියුනු හා ක්‍රමානුකූල ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. තුර්කියේ ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් ගොඩනැගීම සඳහා අත්තිවාරම් දමන ලද්දේ, ජාත්‍යන්තර කමිටුව සමඟ දේශපාලන සාකච්ඡා ආරම්භ කල, අභාවප්‍රාප්ත හලීල් සෙලික් සහෝදරයා විසිනි. පැබ්ලෝවාදී අවස්ථාවාදයේ විවිධාකාර රූපාකායන් සමග වසර ගනනාවක වේදනාකාරී අත්දැකීම් වලින් උද්ධරනය කරගත්, මෙම ප්‍රවනතාවන්ට එරෙහි නිර්දය දේශපාලනය අරගලයක් අත්‍යවශ්‍ය ය යන නිගමනයේ ප්‍රතිපලයක් වූයේ, හලීල් ජාත්‍යන්තර කමිටුව සමග සම්බන්ධතා වර්ධනය කර ගනිමින්, එහි තුර්කි ශාඛාව ගොඩනැගීම සඳහා කැප වී ගැනීම ය.

හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසයෙන් තරුන සමාජවාදීන් කන්ඩායමකට අධ්‍යාපනය ලබා දීම ආරම්භ කල හලීල් සහෝදරයා තුර්කියේ ශාඛාවක් පිහිටුවීමට දැරූ උත්සාහයන්, 2014 දී ජාත්‍යන්තර කමිටුව නිල වශයෙන් අනුමත කලේ ය. 2018 දී සොසියලිස්ට් එසෙට්ලික් ගෘබු (සමාජවාදී සමානතා කන්ඩායම) පිහිටුවන ලදි. 

හලිල් සෙලික් (1961-2018)

ජාත්‍යන්තර කමිටුවේ මූලික ප්‍රකාශන තුර්කි භාෂාවට පරිවර්තනය කිරීම හලීල් භාර ගත්තේ ය. ඔහු මෙසේ ලිවීය: 

කම්කරු පන්තිය සහ සමාජවාදී ව්‍යාපාරය මත, දශක ගනනාවක් තිස්සේ ස්ටැලින්වාදය, මාඕවාදය සහ සුලු ධනේශ්වර ජාතිකවාදී ප්‍රවනතා විසින් ආධිපත්‍යය දරන රටක, කම්කරුවන් සහ තරුනයින් අතර සමාජවාදී විඥානය වර්ධනය කිරීමේ දී මෙම පොත් ප්‍රමුඛ වැදගත්කමක් දරයි. ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් තුර්කි භාෂාවෙන් එලිදැක් වූ සමකාලීන මාක්ස්වාදී සාහිත්‍යයේ ප්‍රකාශන, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) තුර්කි ශාඛාව ගොඩනැගීම සඳහා න්‍යායික හා දේශපාලනික පදනම දැමීමට දායක වනු ඇතැයි අපි විශ්වාස කරමු.

2018 දෙසැම්බර් 31 වන දින ඔහුගේ අකල් මරනය ද නොතකා, හලීල් ඒ වන විට ට්‍රොට්ස්කිවාදය සඳහා සටන ඉදිරියට ගෙන යාමට අධිෂ්ඨානශීලී වූ සොසියැලිස්ට් එසිට්ලික් ගෲබුහි (එස්ඊජී) කේඩරයක් බඳවා ගෙන, අධ්‍යාපනගත කොට තිබුනි. 

2022 ජුනි මාසයේදී  එස්ඊජී, හජාජාකය හා සම්බන්ධ වීමට අයදුම්පත ඉදිරිපත් කලේය. අයදුම්පතට අභිප්‍රේරිත යෝජනාව මෙසේ සඳහන් කලේ ය: 

ඕනෑම රටක විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීම කල හැකිවන්නේ, ජාත්‍යන්තර ඉදිරිදර්ශනයක්, වැඩපිලිවෙලක් සහ පක්ෂයක පදනම මත පමනි. ගෝලීය භූ දේශපාලනය සහ පන්ති අරගලය අතින් තීරනාත්මක ස්ථානයක පවතින තුර්කියේ අතිමූලික ගැටලුවලට ඇති එක ම විසඳුම, ජාත්‍යන්තර සමාජවාදී විප්ලවය යි. සසප (තුර්කිය) ආරම්භ කිරීම, අතිමහත්- ඓතිහාසික ගැටලු විසඳීමේ කර්තව්‍යය භාර ගෙන තිබෙන එක ම දේශපාලන ප්‍රවනතාව වන, හජාජාකය ගෝලීය  වසයෙන් ව්‍යාප්ත වීමේ ප්‍රකාශනයක් වනු ඇත.

ජාත්‍යන්තර කමිටුව එස්ඊජී අයදුම්පත පිලිගත්තේ ය. මෙය, නව ශාඛාවේ ඓතිහාසික පදනම් සහ මූලධර්ම විස්තාරනය කිරීමේ අභියෝගය තුර්කි සහෝදරවරුන් අභිමුවට ගෙන ආවේ ය. තුර්කියේ කිසිදා ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් නොතිබූ බැවින්, මේ සඳහා වඩාත් නිශ්චිත දේශපාලන වැඩකටයුතු ඉල්ලා සිටියේ ය. එයට, හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසය පිලිබඳ ගැඹුරින් ස්වීකරනය කර ගැනීම පමනක් නොව, තුර්කියේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ඉදරියේ ඇති සංකීර්න දේශපාලන හා මූලෝපායාත්මක ගැටලු විශ්ලේෂනය කිරීම සහ පැහැදිලි කිරීම ද  ඉල්ලා සිටියේ ය. 

මෙම න්‍යායික වැඩකටයුතුවල නිමග්න වෙමින් ද  ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සංස්කරන කටයුතුවලට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙමින් ද  ජාත්‍යන්තර කමිටුවේ තීරනාත්මක කෘති ප්‍රකාශයට පත් කිරීමේ ඔවුන්ගේ අභිලාෂකාමී වැඩසටහන අනවරතව කරගෙන යන අතරතුර, එස්ඊජී, හජාජාක හි දේශපාලන ආනුභාවය පුලුල් කිරීම සඳහා වැදගත් දේශපාලන මුලපිරීම් සිදු කලේය. ලියොන් ට්‍රොට්ස්කිගේ ජීවිතය හා කාර්යය සැමරීම සඳහා 2023 දී ආරම්භවූ එස්ඊජී වාර්ෂික රැස්වීම්, බුයුකාඩා දූපතේ සංවිධානය කිරීම මෙහිලා සුවිශේෂී වැදගත්කමක් දරයි.

ජාත්‍යන්තර කමිටුව 2025 අප්‍රේල් මාසයේදී, එස්ඊජී ය සෝස්යැලිස්ට් ඉශිට්ලික් පාර්ටිසි බවට පරිවර්තනය කිරීම සහ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂයේ ශාඛාවක් ලෙස එය පිලිගැනීම අනුමත කිරීමට ඡන්දය දුන්නේ ය. මෙම ඡන්දය ගනු ලැබුවේ, සංවිධානයේ ලේඛනය වන “සමාජවාදී සමානතා පක්ෂයේ (තුර්කිය)  ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්”  ප්‍රවේශමෙන් සමාලෝචනය කිරීමෙන් අනතුරුව යි.

සෝස්යැලිස්ට් ඉශිට්ලික් පාර්ටිසි - ඩෝර්ඩුන්කු එන්ටර්නේෂනල්, 2025 ජුනි 13-15 දිනවල ඉස්තාන්බුල්හිදී තම ආරම්භක සම්මේලනය පැවැත්වීය. එය, ඓතිහාසික ලේඛනයට අමතරව, සසප මූලධර්ම ප්‍රකාශයක් සහ ව්‍යවස්ථාවක් ද සම්මත කලේ ය. තුර්කි නීතියට අනුකූල ව, සෝස්යැලිස්ට් ඉශිට්ලික් පාර්ටිසි-ඩෝර්ඩුන්කු එන්ටර්නේෂනල්, රාජ්‍යය විසින් පක්ෂයක් ලෙස විධිමත් පිලිගැනීමක් සඳහා අන්කාරාහි දී අයදුම් කිරීමට නෛතික ව බැඳී සිටියේය. අගෝස්තු මාසයේදී, නිල සහතිකය ලැබුනි. 

සසප පිහිටුවීම නිවේදනය කරමින්  ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කරන ලද වීඩියෝ ප්‍රකාශයේ දී,   එහි ජාතික සභාපති උලාශ් සෙවින්ච් මෙසේ සඳහන් කලේ ය:

සසප (තුර්කිය) පිහිටුවීම නිවේදනය කරමින් එහි ජාතික සභාපති උලාශ් සෙවින්ච් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කරන ලද වීඩියෝ ප්‍රකාශය (සිංහල උපසිරැසි සහිතයි)

සෝස්යැලිස්ට් ඉශිට්ලික් පාර්ටිසි අනෙකුත් දේශපාලන පක්ෂවලට වඩා වෙනස් ය. අපි ලෝක සමාජවාදී විප්ලවයේ පක්ෂයේ ශාඛාව වෙමු. සියලු ආකාරයේ ජාතිකවාදයන් ප්‍රතික්ෂේප කරන අපි, ලොව පුරා පොදු අවශ්‍යතා මෙන් ම, පොදු සතුරන් ද සිටින කම්කරුවන්ගේ ජාත්‍යන්තර එකමුතුව සඳහා සටන් කරමු. සමාජයේ මූලික බෙදීම පන්ති පදනම් කරගත් එකක් බව පිලිගනිමින්, අපි සුලු ධනේශ්වර අනන්‍යතා දේශපාලනය ප්‍රතික්ෂේප කරමු.

මානව වර්ගයා මුහුන දෙන සියලු මූලික ගැටලු ධනේශ්වර ක්‍රමයෙන් පැන නගින ගෝලීය ගැටලු වේ. නිෂ්පාදන මාධ්‍යයන්ගේ පෞද්ගලික අයිතිය, මෙම ගැටලුවලට එක් හේතුවක් වන වන අතර, අනෙක ලෝකය ආර්ථික වශයෙන් යල් පැන ගිය ජාතික රාජ්‍යයන් ලෙස බෙදී තිබීම හෙයින්, විසඳුම් ද ජාත්‍යන්තර විය යුතුය. ජාත්‍යන්තර පන්තියක් ලෙස කම්කරු පන්තිය, මෙම විසඳුම් ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති එකම සමාජ බලවේගය යි. “බහු ධ්‍රැවීය” ධනේශ්වර ලෝකයක් හඹා යාම වෙනුවට, අධිරාජ්‍යවාදී යුද්ධයට සහ ජන සංහාරයට තුඩු දෙන ජාතික රාජ්‍ය පද්ධතියට විකල්පය වන්නේ, දේශසීමා ඉවත් කරන ලෝක කම්කරු රාජ්‍යයන්ගේ සමූහාන්ඩුවකි.

ගාසා තීරයේ සිදුවෙමින් පවතින ජන සංහාරය, ධනේශ්වර ක්‍රමයේ ම්ලේච්ඡත්වයේ සහ එය ආරක්ෂා කරන සියලු පක්ෂවල ජරපත්වීමේ වඩාත්ම කැපී පෙනෙන ප්‍රකාශනය යි. අනෙකුත් තීරනාත්මක ගැටලු මෙන්ම, පලස්තීන ප්‍රශ්නය, පවතින ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතිය තුල විසඳිය නොහැකි බව පැහැදිලි වී තිබේ. එය ම, ජාත්‍යන්තර ගැටලුවක් වන කුර්දිෂ් ප්‍රශ්නයට ද අදාල වේ. මෙම ප්‍රශ්න සඳහා ඇති එකම වලංගු, ප්‍රගතිශීලී විසඳුම වන්නේ, සියලු ජාතීන්ට අයත් කම්කරුවන් විප්ලවවාදී බලමුලු ගැන්වීම හරහා ස්ථාපිත කරනු ඇති, මැද පෙරදිග සමාජවාදී සමූහාන්ඩු සංගමයකි. 

“අඩු නපුර” නම් පිලිවෙත ඉඳුරා ම ප්‍රතික්ෂේප කරන සෝස්යැලිස්ට් ඉශිට්ලික් පාර්ටිසි, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා සටන් කරයි. මෙහි තේරුම වන්නේ, කම්කරු පන්තිය ධනේශ්වර පක්ෂ සහ අවශ්‍යතාවලට යටත් කරන පන්ති සහයෝගීතාවාදී “මහජන පෙරමුනු” දේශපාලනය ප්‍රතික්ෂේප කිරීම යි.

ඔවුන්ගේ වෙනස්කම් නොතකා, සියලු ධනේශ්වර පක්ෂ මූලික කරුනු දෙකක් සම්බන්ධයෙන් සම්පූර්නයෙන්ම එකඟ ය: ඒවා නම්, අධිරාජ්‍යවාදයට පක්ෂපාතී වීම සහ කම්කරු පන්තියේ අවශ්‍යතා කෙරෙහි සතුරුකම. මේ හේතුව නිසා, ඒවා ස්වභාවයෙන්ම, කුර්දිෂ් ප්‍රශ්නය ඇතුලු එකදු මූලික දේශපාලන ගැටලුවක් වත් විසඳීමට අසමත් ය. ඔවුන්ට, ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයක් ස්ථාපිත කිරීමට වත්, සමාජ සමානාත්මතාව සහතික කිරීමට හෝ අධිරාජ්‍ය විරෝධී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට හෝ නොහැකි ය. ලියොන් ට්‍රොට්ස්කි ඔහුගේ නොනවතින විප්ලවයේ න්‍යායේ පැහැදිලි කල පරිදි, මෙම කාර්යයන් පැවැරෙන්නේ, සමාජවාදය සඳහා අරගලයේදී කම්කරු පන්තියට යි. එනම්, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලය, සමාජවාදය සඳහා අරගලය සමඟ  නො වෙන් කල හැකි සේ බැඳී ඇත.

ධනවාදී සංස්ථාපිත පක්ෂ සහ ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම හැර විකල්පයක් නොමැති බව පවසන ව්‍යාජ-වාම පක්ෂ, සෝස්යැලිස්ට් ඉශිට්ලික් පාර්ටිසි විසින් ප්‍රතික්ෂේප කෙරෙයි. අපි කම්කරුවන්ගෙන් සහ තරුනයින්ගෙන් ඉල්ලා සිටින්නේ, සෝස්යැලිස්ට් ඉශිට්ලික් පාර්ටිසි තමන්ගේම විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩනගන ලෙස යි.

සෝස්යැලිස්ට් ඉශිට්ලික් පාර්ටිසි යනු “ඉතිහාසයේ පක්ෂයකි.” අපගේ  පක්ෂයේ මූලයන් ඇත්තේ, මාක්ස්, එංගල්ස්, ලෙනින් සහ ට්‍රොට්ස්කිගේ සම්භාව්‍ය මාක්ස්වාදයේ සම්ප්‍රදාය තුල මෙන්ම, 1917 ඔක්තෝබර් විප්ලවයේ සම්ප්‍රදාය තුල ද වේ. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය, 1923 දී එය ආරම්භ කල දා පටන්, එක්සත් සමාජවාදී සෝවියට් රුසියාව බිඳවැටීම කරා මෙහෙයවූ අධිරාජ්‍යවාදය සමඟ ක්‍රෙම්ලිනයේ නිලධරයේ “සාමකාමී සහජීවනයේ” උත්සුකතාවන්ගෙන් විප්ලවය පාවා දුන්, “ජාතික සමාජවාදය” ඔජ වැඩූ ස්ටැලින්වාදයට එරෙහි ව; ධනවාදය ප්‍රතිසංස්කරනය කිරීමේ ප්‍රතිගාමී වැඩසටහන අසාර්ථක වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව; සහ අධිරාජ්‍යවාදයට යටත් වීමට සහ පරාජයට අනිවාර්යයෙන්ම හේතු වන සුලු ධනේශ්වර ජාතිකවාදයට එරෙහිව, මෙම සම්ප්‍රදාය ආරක්ෂා කර, වර්ධනය කර ඇත.

සෝස්යැලිස්ට් ඉශිට්ලික් පාර්ටිසි සහ එය දේශපාලන සහයෝගීතාවයෙන් කටයුතු කරන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අරමුන, හතරවන ජාත්‍යන්තරයේ නිර්මාතෘ ට්‍රොට්ස්කිගේ පහත ප්‍රකාශයෙන් සාරාංශගත කර ඇත: “... සමාජවාදී විප්ලවය හරහා, වැඩ කරන සහ සූරාකනු ලබන ජනතාවගේ පූර්න ද්‍රව්‍යමය හා අධ්‍යාත්මික විමුක්තිය.”

සියලු මනුෂ්‍ය වර්ගයාගේ ඉරනම තීරනය කරන මෙම අරගලයට අප හා එක්වන්න. sosyalistesitlikpartisi.org වෙත පිවිසෙන්න, අපගේ ලේඛන හදාරන්න,  පක්ෂයට එක්වන්න!

තුර්කියේ සමාජවාදී සමානතා පක්ෂයට පදනම දැමීම, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ කටයුතු, ගෝලීය භූ දේශපාලනයේ පමනක් නොව ජාත්‍යන්තර පන්ති අරගලයේ ද ප්‍රමුඛ උපායමාර්ගික සන්ධිස්ථානයක සිටින රටක් දක්වා ව්‍යාප්ත කරයි. බහුවිධ ජාතීන්ගෙන් සමන්විත  තුර්කියේ අතිශයින් බලවත්  නිර්ධන පන්තිය, ධනවාදයට සහ අධිරාජ්‍යවාදයට එරෙහි ගෝලීය අරගලයේ දැවැන්ත කාර්යභාරයක් ඉටු කිරීමට නියමිත ව සිටී.

එපමනක් නොව, තුර්කියේ අපගේ සහෝදරවරුන් විසින් නොනවතින විප්ලවයේ ධජය එසවීම, මැදපෙරදිග, මධ්‍යම ආසියාවේ සහ අප්‍රිකාවේ “නැගී එන” රටවල තරුනයින් සහ බුද්ධිමතුන් අතර නව පරම්පරාවේ කම්කරුවන් සහ වඩාත්ම සප්‍රතිපත්තික කොටස් ප්‍රබෝධමත් කරනු ඇත. ජාතික ධනේශ්වරයේ දේශපාලන බංකොලොත්භාවය - එනම්, අධිරාජ්‍යවාදයට එහි යටත් වීම සහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන් හෝ සමාජ අවශ්‍යතා තෘප්තිමත් කිරීමට ඇති නොහැකියාව - මගින් සෑම දිනක ම සනාථ කරමින් ඇත්තේ, මානව වර්ගයාගේ අනාගතය සමාජවාදී විප්ලවය සහ කම්කරු පන්තියට බලය පැවරීම මත රඳා පවතින බවට, හතරවන ජාත්‍යන්තරය සිදුකරන අවධාරනය යි.

සෝස්යැලිස්ට් ඉශිට්ලික් පාර්ටිසි දිගු කල් දිනේවා!

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව දිගු කල් දිනේවා!

ලෝක සමාජවාදී විප්ලවය කරා ඉදිරියට!

Loading