[මෙය Floods devastate Pakistan as New Delhi scraps Indus Water Treaty මැයෙන් 2025 සැප්තැම්බර් 4 දා පල කල ලිපියේ පරිවර්තනයයි.]
මෑත සතිවල දී පාකිස්තානයට විනාශකාරී මෝසම් ගංවතුරෙන් දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇත. 800 කට අධික සංඛ්‍යාවකට ජීවිත අහිමි වී, මිලියන ගනනක් ජනතාව පීඩාවට පත්ව ඇත. ගංවතුර පාකිස්තානයේ ප්‍රාන්ත හතරට ම බලපා ඇති අතර, විශේෂයෙන් කයිබර් පක්තුන්ක්වා (කේපී) සහ පන්ජාබ් යන ප්‍රාන්ත දැඩි ලෙස පීඩාවට පත්ව, ඉහල ගනනක ජීවිත හානි සිදු වී ඇත. කයිබර් පක්තුන්ක්වා වැඩි ම මරන සංඛ්‍යාවක් අත්විඳ ඇති අතර, පන්ජාබ් වඩාත්ම දරුනු ගංවතුරට මුහුන දී තිබේ.
මෙම ගංවතුර 2022 වසරෙන් පසු ඇති වූ දරුනුත ම ගංවතුරයි. එම වසරේ දී මිලියන 8 ක ජනතාවකට තම නිවාසවලින් ඉවත්වීමට සිදු වූ අතර නිවාස මිලියන 2 ක් විනාශ විය.
වත්මන් ගංවතුර ඉන්දියාවට, විශේෂයෙන් එහි පන්ජාබ් ප්‍රාන්තයට ද බලපා ඇත. ඉන්දියානු ගම්මාන 1,400 ක, 350,000 කට අධික පිරිසකට නිවාස අහිමි කර ඇති අතර, මරන 46 ක් වාර්තා වී ඇත.
2022 දී මෙන්, ගංවතුර, වගාවන්, පශු සම්පත්, පාසල්, සෞඛ්‍ය පහසුකම් සහ පාලම්, මාර්ග සහ විදුලිබල පද්ධති වැනි තීරනාත්මක යටිතල පහසුකම් වලට බරපතල හානි සිදු කර ඇත.
ඈත ගිල්ගිට්-බෝල්ටිස්තාන් කලාපයේ දේශගුනික විපර්යාස හා සම්බන්ධ ව ඉහල යන උෂ්නත්වය සහ ආන්තික කාලගුනික සිදුවීම් සමඟ සම්බන්ධ ග්ලැසියර් විල පිටාර ගැලීම් මගින් ව්‍යසනය තවත් උග්‍ර වී ඇත.
ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල සෞඛ්‍ය සේවාවන් මැලේරියාව, සමේ ආසාදන සහ උන වැනි රෝග වැඩි වීම නිසා අර්බුදයට පත්ව ඇත. මාර්ග අවහිර වී හෝ හානි වී ඇති බැවින් බොහෝ ජන කන්ඩායම් හුදකලා වී සිටින අතර, අවදානමට ලක්වී ඇති අයට ආධාර සැපයීම දුෂ්කර තත්වයක පවතී.
මෝසම් වැසි දිගට ම පවතිනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, තත්වය තවත් නරක අතට හැරීමේ තර්ජනයක් පවතී. පකිස්තානයේ දකුනු සින්ද් පලාතේ විශාල ප්‍රදේශවලට තර්ජනයක් වන පරිදි ඉන්දු ගඟට ගංවතුර ගලා එනු ඇතැයි පුරෝකථනය කර ඇත.
පාකිස්තානයේ වඩාත්ම ජනාකීර්න ප්‍රාන්තය වන පන්ජාබ්හි, ගම්මාන 33,000ක මිලියන 3.3කට අධික ජනතාවක් ගංවතුරෙන් සෘජු ව ම පීඩාවට පත්ව සිටිති. සති දෙකකට පෙර, ඉන්දු ගඟේ අතු ගංගා වන රවි, සට්ලෙජ් සහ චෙනාබ් ගංගා පිටාර ගැලීමෙන් දරුනුත ම බලපෑමට ලක් වූ ප්‍රදේශවලින් එකක් වූ පන්ජාබයේ මුසෆර්ගාර් දිස්ත්‍රික්කයේ ගම්මාන 3,900කට ගංවතුර බලපා ඇත.
පසුගිය බ්‍රහස්පතින්දා, පකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ ගංවතුර තර්ජනය උත්සන්න වීමත් සමඟ, නිලධාරීන් පැවසුවේ පසුගිය පැය 24 තුල මිලියන භාගයකට අධික පිරිසක් වෙනත් තැන් වල පදිංචි කල බවයි.
දහස් ගනන් ගලවා ගැනීමේ කන්ඩායම් බෝට්ටු භාවිතා කරමින්, සහන සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහභාගී වන අතර දස දහස් ගනනක් ජනයා සහන කඳවුරුවල රැකවරනය පතා පැමින ඇත. කඳවුරුවල තත්ත්වය නරක බව වාර්තා වේ. පසුගිය බදාදා ප්‍රකාශයට පත් කරන ලද අල් ජසීරා වාර්තාවකට අනුව, මලික් රම්සාන් නම් අවතැන් වූ නිවැසියකු සහන කඳවුරකට ඇතුළු වීමට වඩා ජලයෙන් යට වූ තම නිවස අසල රැඳී සිටීමට කැමැත්තක් දැක්වූයේ ඒවායේ මූලික අවශ්‍යතාවත් නොමැති බව පවසමිනි. “ආහාර නියමිත වේලාවට ලබා දෙන්නේ නෑ, අපට සලකන්නේ යාචකයින් ලෙස යි” රම්සාන් පැවසී ය. වාර්තාවට අනුව, කඳවුරුවල පහසුකම් “ඉතා දුර්වලය, පිරිසිදු පානීය ජලය නැත, නිසි වැසිකිිලි පහසුකම් නැත, ඊට අමතරව එය ඉතා උනුසුම් හා තෙතමනය සහිත වීම” නිසා විජලනයට හේතු වේ. මේ සියල්ල ජලයෙන් බෝවන වසංගතයක තර්ජනය මතු කරයි.
පන්ජාබ්හි පාකිස්තාන මුස්ලිම් ලීග (නවාස්) ආන්ඩුවේ සැලසුම්, සංවර්ධනය, පරිසර ආරක්ෂාව සහ දේශගුනික වෙනස්කම් ඇතුළු අමාත්‍යධූර කිහිපයක් දරන මාරියම් අවුරන්සෙබ් අගෝස්තු 31 වන දින මාධ්‍ය හමුවකදී මෙසේ පැවසීය:“මෙය පන්ජාබ් ඉතිහාසයේ විශාලත ම ගංවතුරයි. සට්ලෙජ්, චෙනාබ් සහ රවි යන ගංගා තුන මෙතරම් ඉහල ජල ප්‍රමානයක් රැගෙන ගිය පලමු අවස්ථාව මෙයයි.”
මිලියන 128 ක පමන ජනගහනයක් සිටින පන්ජාබය, පාකිස්තානයේ කෘෂිකාර්මික මධ්‍යස්ථානය සහ එහි ප්‍රධාන තිරිඟු නිෂ්පාදකයා වේ. චිනියට් හි සහල් සහ අර්තාපල් ගොවියෙකු වන 45 හැවිරිදි මුහම්මද් අම්ජාඩ් සැප්තැම්බර් 1 වන දින රොයිටර් පුවත් සේවයට පැවසුවේ, “මගේ අක්කර 15 න් දහතුනක් විනාශ වී ඇති අතර එහි සහල් සම්පූර්නයෙන්ම විනාශ වී ඇත. කාන්තාවන් සහ ලමුන් ඉවත් කර ඇත. ඉතිරි ව ඇති දේ ආරක්ෂා කිරීමට පිරිමින් නතර ව ඇත.” සමහරුන්ට ඔවුන්ගේ එක ම ආදායම් මාර්ගය අහිමි වී ඇත. 50 හැවිරිදි අමිෂ් සුල්තාන් මෙසේ පැවසීය: “මට මී හරකුන් 10 දෙනෙක් ඉන්නවා. ඔවුන් ඉතා දුර්වලයි, මගේ දරුවන්ට දීමටවත් කිරි නෑ. මම මසකට රුපියල් 100,000 සිට 150,000 දක්වා උපයා ගත්තා. ඒ ස්ථාවරත්වය නැති වෙලා.”
කම්කරුවන්ගේ සහ ග්‍රාමීය දුප්පතුන්ගේ ජීවිත කෙරෙහි ඔවුන්ගේ උදාසීනත්වය සහ නොසැලකිල්ල නැවත වරක් හෙලි කරමින්, පාකිස්ථාන බලධාරීන් ව්‍යසනයට කුසීත ලෙස ප්‍රතිචාර දක්වා ඇත. අති විශාල ගංවතුර නිතර නිතර සිදු වුවද, ජාතික හා පලාත් මට්ටමින් බලයට පත් වූ ආන්ඩු ඉන්දු නිම්න ජල පෝෂක පාලන පියවර වැඩි දියුනු කිරීමට කිසිවක් කර නැත.
2022 පාකිස්තාන ගංවතුර එරට ඉතිහාසයේ දරුනු ම සහ වඩාත්ම පැතුරනු ගංවතුර අතර වූ අතර, එය මිලියන 33 ක් පමන ජනතාවකට බලපා අතර මිලියන 8 කට වඩා අවතැන් කරන ලදි. ගංවතුර හේතුවෙන් 1,700 කට වැඩි පිරිසක් මිය ගොස්, ඩොලර් බිලියන 30 ඉක්මවන ආර්ථික පාඩු සිදු වූ අතර 2020 සහ 2024 අතර දරිද්‍රතාවයෙන් පෙලෙන පාකිස්තානුවන්ගේ අනුපාතය සියයට 17.1 සිට සියයට 25.3 දක්වා සියයට අටකින් වැඩි විය. 2010 දී ගංවතුර ද ඒ හා සමාන විනාශයක් සිදු කල අතර, ආසන්න වශයෙන් පුද්ගලයින් 2,000 ක් මිය ගොස් මිලියන 20 ක් පමන පීඩාවට පත්ව, ප්‍රධාන මානුෂීය අර්බුදයක් නිර්මානය කරන ලදි.
ආන්ඩුවේ මූලික සූදානමක් නොමැතිකම පෙන්නුම් කරමින් පන්ජාබ්හි චෙනාබ් ගඟේ නැගෙනහිර ඉවුරේ පිහිටි ප්‍රධාන නගරයක් වන මුල්තාන්හි නියෝජ්‍ය කොමසාරිස් වසීම් හමාඩ් සින්දු පැවසුවේ, “ජලය විශාල ප්‍රමානවලින් එනවා - අපට එයට එරෙහි ව සටන් කල නොහැක; අපට එය නැවැත්විය නොහැක.” වැඩ කරන ජනතාවගේ ජීවිත සහ ජීවනෝපායන් බේරා ගැනීම සඳහා අවශ්‍ය ගංවතුර සූදානම නොසලකා හරිමින්, පකිස්තාන ආන්ඩුව මිලිටරි වියදම් සඳහා ප්‍රමුඛත්වය දී තිබේ. මෑතකදී එය 2025-26 මූල්‍ය වර්ෂය සඳහා ආරක්ෂක අයවැය සියයට 20 ක වැඩිවීමක් නිවේදනය කල අතර එය රුපියල් ට්‍රිලියන 2.55 (ඩොලර් බිලියන 9) දක්වා ඉහල නැංවීය.
ඉන්දු ජල ගිවිසුමට (අයිඩබ්ටී) ඉන්දියාවේ සහභාගීත්වය අත්හිටුවා තිබියදීත්, මෑත සතිවල දී, නවදිල්ලිය “මානුෂීය පියවරක්” ලෙස රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා ඉස්ලාමාබාදය වෙත ගංවතුර අනතුරු ඇඟවීම් තුනක් ලබා දුන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
අප්‍රේල් 22 වන දින ඉන්දියානු පාලිත කාශ්මීරයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයකට දැක්වූ යුදවාදී ප්‍රතිචාරයේ කොටසක් ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව විසින් වසර 65 ක් පැරනි ගිවිසුම අත්හිටුවන ලදී. ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නොමැති බව කියාසිටි පකිස්තානය ජාත්‍යන්තර පරීක්ෂනයක් ඉල්ලා සිටිය ද, ඉස්ලාමාබාදය වගකිව යුතු යයි ඉන්දියාව ප්‍රකාශ කරන ලදි. මැයි 7 වන දින එය පකිස්තානය තුලට මිසයිල ප්‍රහාර එල්ල කල අතර, න්‍යෂ්ටික සන්නද්ධ රටවල් දෙක පූර්න යුද්ධයක අද්දරට ගෙන ආ, දින හතරක දේශසීමා යුද්ධයක් ඇති කලේ ය.
ඉන්දු ගඟේ අතු ගංගාවල ජල මට්ටම් පිලිබඳ තොරතුරු ඉක්මනින් සහ ප්‍රමානවත් විස්තර සහිත ව ලබාදීමට නවදිල්ලිය අපොහොසත් වීම ඔවුන්ගේ ගංවතුර පාලන උත්සාහයන් අඩපන කර ඇති බවට පාකිස්තානු බලධාරීහු චෝදනා කරති. පාකිස්තානයේ සැලසුම් අමාත්‍ය අහ්සාන් ඉක්බාල් රොයිටර් පුවත් සේවයට පැවසුවේ, “අපට, වඩා හොඳ තොරතුරු තිබුනි නම් අපට වඩා හොඳින් කලමනාකරනය කල හැකිව තිබුනි” කියා ය.
රාම්ජිත් ගඟේ අමුනු දෙකක් ගංවතුරෙන් කැඩී යාම නිසා ඉන්දියාව හිතාමතා ම අර්බුදය වැඩිදියුනු කල බවට අදහස් මතු වී තිබේ. මෙය තරයේ ප්‍රතික්ෂේප කරමින් නවදිල්ලිය කියා සිටියේ, ගලා යන ජලය අමුනු කඩා දැමූ බවත්, දැන් රංජිත් සාගර් වේල්ල හරහා ඉහලින් ජල ප්‍රවාහය පාලනය කිරීමට උත්සාහ කරන බවත්ය.
නවදිල්ලිය කුමක් පැවසුවත්, ඉන්දු ජල ගිවිසුම තවමත් ක්‍රියාකාරී ව පැවතියේ නම්, දෙරටේ ම ජීවිත හා ජීවනෝපායන්ට තර්ජනයක් ලෙස ඉහල යන ජල මට්ටම් ගැන ඉන්දියාව සහ පාකිස්ථානය අතර සමීප සහයෝගීතාවයක් සහ අඛන්ඩ තොරතුරු හුවමාරුවක් සහතික කරනු ඇත. දැන් අත්හිටුවා ඇති දෙරටේ ම කොමසාරිස්වරුන්ගෙන් සමන්විත ස්ථිර ඉන්දු කොමිසම, දත්ත බෙදාගැනීමට සහ ජල කලමනාකරන ගැටලු සාකච්ඡා කිරීමට පහසුකම් සපයා ඇත. මෙම තොරතුරු හුවමාරුව අතීතයේ දී, ආතති සහගත තත්වයන් යටතේ වුව ද, ගංවතුර වැලැක්වීම, වාරිමාර්ග සහ විදුලි බල උත්පාදනය හා ඉන්දු ගඟේ ජල මට්ටම් කලමනාකරනය කිරීම සඳහා උපකාරී වී ඇත.
මැයි 10 වන දින ඉන්දියාව සහ පකිස්ථානය අස්ථිර සටන් විරාමයකට එලඹුන ද, ඉන්දියාව ඉන්දු ජල ගිවිසුම අත්හිටුවීම දිගට ම පවත්වාගෙන යන අතර, නව දිල්ලිය එයට නැවත සම්බන්ධ නොවන බවට මෝදි සහ ඔහුගේ ප්‍රධාන සහචර ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා නැවත නැවතත් සපථ කර තිබේ.
පාකිස්තානයට එරෙහි තර්ජන සහ ඉන්දියාවේ හමුදා ශක්තිය පිලිබඳ පුරසාරම් දෙඩීම අගෝස්තු 15 වන දින මෝදිගේ නිදහස් දින කතාවේ ප්‍රධාන තේමාවන් විය. දිල්ලි රතු කොටුවේ සිට ඔහු කියා සිටියේ ඉන්දියාව පාකිස්තානය තුල සිදු කල දින හතරක නීති විරෝධී ගුවන් යුද්ධයක් වන සින්දූර් මෙහෙයුමේදී විශිෂ්ට ජයග්‍රහනයක් ලබා ගත් බවත්; ඉන්දියාව මෙතැන් සිට “ත්‍රස්තවාදය පෝෂනය කරන සහ රැකවරනය දෙන අය සහ ත්‍රස්තවාදීන් බලගන්වන අය” අතර කිසිදු වෙනසක් නොදකින බවත්; සහ “න්‍යෂ්ටික බ්ලැක්මේල්” කිරීම් මගින් ඉන්දියාව බිය ගැන්විය නොහැකි බවත් සපථ කරන ලදි. එනම්, එය සම්පූර්න යුද්ධයක් අවුලුවාලීමේ අවදානමක් තිබියදී පවා තම අවශ්‍යතා ආක්‍රමනශීලීව අනුගමනය කරනු ඇත.
මෙය ඉන්දු ජල ගිවිසුම සැබවින්ම මිය ගොස් ඇති බවට කරන ලද ප්‍රකාශය සමඟ සම්බන්ධ ය. මෝදි, ගිවිසුම “අසාධාරන” ලෙස හඳුන්වා “ඉන්දියාවේ ජලය ඉන්දියාවට සහ ඉන්දියාවේ ගොවීන්ට අයත් වේ. කිසිවෙකුට අපගේ ජලය පැහැර ගත නොහැක” යයි ප්‍රකාශ කලේ ය. ඉන්දියාවේ යුදවාදී අභිප්‍රායන් තවදුරටත් අවධාරනය කරමින් මෝදි කියා සිටියේ “රුධිරය සහ ජලය එකට ගලා යා නොහැක” යනුවෙනි.
පාකිස්තානු පැමිනිල්ලක් මත ක්‍රියා කරමින්, හේග් පදනම් කරගත් ස්ථිර බේරුම්කරන අධිකරනය (පීසීඒ), අගෝස්තු 8 වන දින නිකුත් කරන ලද තීන්දුවකින් නිගමනය කෙල් ඉන්දියාවට ඉන්දු ජල ගිවිසුම ඒකපාර්ශ්විකව අත්හිටුවීම හෝ “ක්‍රියාත්මක වීම වැලැක්වීම” කල නොහැකි බවයි. 1960 ගිවිසුමට අනුව, බටහිර ගංගා ලෙස සාමූහික ව හැඳින්වෙන ඉන්දු, ජෙලම් සහ චෙනාබ් ගංගාවලින් ජලය සීමා රහිත ව භාවිතා කිරීමට පකිස්තානයට ඇති අයිතිය ද එය නැවත තහවුරු කලේ ය. වාරිමාර්ග සහ විදුලිබල උත්පාදනය යන දෙකට ම, චීනයෙන් ආරම්භ වී, ඉන්දියානු පාලිත කාශ්මීරය හරහා ගලා යන මෙම ගංගා මත පාකිස්තානය බෙහෙවින් රඳා පවතී. පීසීඒ තීන්දුව තහවුරු කලේ, ඉන්දියාව, ගිවිසුමේ නියමයන්ට අනුව මෙම ජලය ගලා යාමට ඉඩ දිය යුතු බව සහ “පරමාදර්ශී” ඉංජිනේරු භාවිතයන් පිලිබඳ තමන්ගේම අර්ථ නිරූපනය මත පදනම්ව ජල විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කල නොහැකි බව ය.
ඉන්දියාව තම ජාතික ආරක්ෂක අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා කරන බවත්, පීසීඒ හි අධිකරන බලයට කිසි විටෙකත් එකඟ වී නොමැති බවත් අවධාරනය කරමින් නව දිල්ලිය දැඩි ව මේ සියල්ල ප්‍රතික්ෂේප කර තිබේ. විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් ප්‍රකාශ කලේ නව දිල්ලිය මෙම කාරනයේ දී පීසීඒ හි “නීත්‍යානුකූලභාවය, යුක්ති යුක්ත බව හෝ නිපුනතාවය කිසි විටෙකත් පිලිගෙන නොමැති” බවත් - පාකිස්තානයේ ආර්ථිකය හිර කිරීම සඳහා ඉන්දු ගංගාවේ මූලයන් භාවිතා කිරීමට ඉන්දියාව දරන උත්සාහය යුද්ධයකින් අවසන් වන බවට පකිස්ථාන ආන්ඩුව සහ හමුදාවේ යුදවාදී අනතුරු ඇඟවීම් හමුවේ පවා මෝදි ආන්ඩුව තම පිලිවෙත් ආරක්ෂා කිරීමට දැඩි ලෙස කැප වී සිටින බවත් ය.
මුස්ලිම් පකිස්තානයක් සහ හින්දු ඉන්දියාවක් ලෙස, 1947 දී බ්‍රිතාන්‍ය ඉන්දියාව වාර්ගිකව බෙදීමේ සම්පූර්න ප්‍රතිගාමී ස්වභාවය මෙම වර්ධනයන් අවධාරනය කරයි. ඉහල යන උෂ්නත්වය, නියඟය සහ දේශගුනික විපර්යාසවල බලපෑම් හේතුවෙන් වඩ වඩාත් උග්‍ර වෙමින් පවතින ගැටලු වන ගංවතුර සහ ජල බෙදා හැරීමට ඇති ඕනෑ ම තාර්කික විසඳුමක් සඳහා උප මහාද්වීපීය සැලසුම් කිරීමක් අවශ්‍ය වන අතර, ඉන්දියාව සහ පාකිස්තානයේ දූෂිත ධනේශ්වර ප්‍රභූන් අතර පවතින භූ දේශපාලනික එදිරිවාදිකම්, එය සිදු කල නොහැක්කක් බවට පත් කරයි.
ඉන්දියාව සහ පාකිස්තානය අතර ආතතීන් එක දිගට ම උනුසුම්ව පවතී. අප්‍රේල් 22 වන දින පහල්ගම් ප්‍රහාරයෙන් පසුව ප්‍රථම වරට පනවන ලද දෙරට අතර ගුවන් අවකාශයේ වානිජ ගුවන් ගමන් සඳහා වන තහනම සැප්තැම්බර් 24 වන දින දක්වා දීර්ඝ කරන ලදි. අවි තරඟය ද තීව්‍ර වෙමින් පවතී. අගෝස්තු 20 වන දින, ඉන්දියාව පැයට කිලෝමීටර 30,000 කට ආසන්න හයිපර්සොනික් වේගයෙන් කිලෝමීටර 5,000 ක දුර න්‍යෂ්ටික හෝ සාමාන්‍ය පිපිරුම් අවි කිලෝග්‍රෑම් 1,000 කට වඩා රැගෙන යා හැකි අතරමැදි දුර බැලස්ටික් මිසයිලයක් වන අග්නි-V සාර්ථකව අත්හදා බැලීය. මෙම වර්ධනය සිදු වූයේ, උපායික සහ මූලෝපායික න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට පෙර, විශේෂයෙන් “සතුරාට සෑම දිශාවකින්ම පහර දීමේ” ඉඩ ප්‍රස්ථාව සලසන “මූලෝපායික හිදැස්” භාවිතා කිරීම සඳහා නව හමුදා රොකට් බලකායක් පිහිටුවීම, පකිස්තානය නිවේදනය කිරීමෙන් හරියට ම සතියකට පසුවය.
පසුගිය සතියේ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (එස්සීඕ) රැස්වීමේ දී දෙරට අතර වාචික ප්‍රහාර හුවමාරු විය. පාකිස්තානය නමින් සඳහන් නොකර එය ඉලක්ක කර ගනිමින්, “ත්‍රස්තවාදය” මුලිනුපුටා දමන තුරු ඉන්දියාව කිසිදා විවේක නොගන්නා බවට මෝදි සපථ කළ අතර, පහල්ගම් ප්‍රහාරය “ඉන්දියාවේ ආත්මයට එල්ල කල ප්‍රහාරයක් පමනක් නොව, මනුෂ්‍යත්වය විශ්වාස කරන අයට ද අභියෝගයක්” බව පැවසීය. එම සැසිවාරයේම කතා කල පකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ්, “පවතින ගිවිසුම්වලට අනුව නිසි ජල කොටස සඳහා බාධාවකින් තොරව ලබා ගැනීම” ඇතුලු ව, “එස්සීඕ සාමාජික රටවල් සියලු ම ද්විපාර්ශ්වික ගිවිසුම් අනුගමනය කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු” යනුවෙන් පැවසී ය.
වැඩිදුර කියවන්න
- ඉන්දු-පකිස්ථාන ගැටුම න්‍යෂ්ටික ව්‍යසනයක තර්ජනය මතු කරයි
- දකුනු ආසියාවේ ප්‍රතිවාදී න්‍යෂ්ටික සන්නද්ධ බලවතුන් අතර ආතතීන් ඇවිලෙද්දී, ඉන්දියානු මිලිටරි ප්‍රහාරයක් “ආසන්න” බව පකිස්ථානය අනතුරු අඟවයි
- ඉන්දියාවෙන් පාලනය වන කාශ්මීරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පකිස්ථානයත් අතර යුද ආතතීන් උත්සන්න වේ
- විනාශකාරී ගංවතුර පාකිස්ථානය තුල සාගත වසංගත තත්තවයක තර්ජනය මතු කරයි