ගාසා තීරයේ ජනගහනයෙන් සියයට 10 කට වැඩි ප්‍රතිශතයක  ජනයා  මිය ගොස් හෝ තුවාල ලබා ඇති බව හිටපු ඊශ්‍රායල හමුදා ප්‍රධානියා පිලිගනී

[මෙය Former head of Israel’s military admits over 10 percent of Gaza’s population killed or injured මැයෙන්  සැප්තැම්බර් 14දා පලකල ලිපියේ පරිවර්තනයයි.]

2025 සැප්තැම්බර් 14 ඉරිදා ගාසා නගරයේ ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින් පසු පලස්තීනුවන් ගොඩනැගිල්ලක සුන්බුන් පරීක්ෂා කරමින් [AP Photo/Yousef Al Zanoun]

ගාසා තීරය තුල ඊශ්‍රායල ආක්‍රමනයෙන් 200,000 කට අධික පලස්තීනුවන්, එනම් ජනගහනයෙන් සියයට 10 කට ප්‍රතිශතයකට වැඩි ප්‍රමානයක් මරනයට පත් වී හෝ තුවාල ලබා ඇති බව, ඊශ්‍රායලයේ හිටපු හමුදා ප්‍රධානියා පසුගිය සතියේ පැවසුවේ ය.

 “ගාසා තීරයේ මිලියන 2.2 ක ජනතාවක් සිටින අතර, සියයට 10 කට වැඩි පිරිසක් මිය ගොස් හෝ තුවාල ලබා ඇත” යි ගාසා ජනසංහාරයේ මුල් මාස 17 අතර කාලයේ දී,  ඊශ්‍රායල හමුදා ප්‍රධානියා ලෙස සේවය කල,  ඊශ්‍රායල් ජෙනරාල් හර්සි හලේවි අඟහරුවාදා ප්‍රාදේශීය නගර ශාලාවක දී පැවති රැස්වීමක දී සඳහන් කල බව ඊශ්‍රායල් ප්‍රකාශකයෙකු වන නෙට් වාර්තා කලේ ය. 

මෙම ප්‍රකාශය, ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිල වසයෙන් ප්‍රකාශ කල මරන සංඛ්‍යාවට බොහෝ දුරට අනුකූල වන අතර, එහි සඳහන් වූයේ, 2023 ඔක්තෝබර් 7දා  සිට ගාසා තීරයේ පලස්තීනුවන් 64,718 ක් මිය ගොස්, 163,859 ක් තුවාල ලබා ඇති බවයි.

ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වාර්තා කරන ලද සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන විසින් උපුටා දක්වන ලද මරන සංඛ්‍යාව විශ්වාස කල නොහැකි බවට ඊශ්‍රායල රජය විසින් පුන පුනා සිදුකරන ප්‍රකාශ, හලෙචිගේ ප්‍රකාශයන් මගින් නිෂ්ප්‍රභ කෙරෙයි. යථාර්ථයේ දී, ගාසා ජන සංහාරයේ මරන සංඛ්‍යාව ප්‍රතික්ෂේප කිරීමට, ඊශ්‍රායලය සහ එහි අධිරාජ්‍යවාදී ආධාරකරුවන් දරන සියලු උත්සාහයන් ආරම්භයේ සිට අවසානය දක්වා ම වංචාවකි.

මෙම දැවැන්ත මරන සංඛ්‍යාව ගැන පැහැදිලි කරමින්, “අපි අත්වැසුම් ගලවා දැමුවෙමු”  සහ “මෙය මෘදු යුද්ධයක් නොවේ” (කිසිදු අනුකම්පාවකින් තොරව රුදුරු යුද්‍දයක් ගෙන ගියෙමු-පරිවර්තක) යනුවෙන් හලේවි තවදුරටත් පැවසී ය.

ඊශ්‍රායල හමුදාවේ ඝාතන රැල්ලට මිලිටරි නඩු පවරන්නන් ඇතුලු  අභ්‍යන්තර සීමාකිරීමකින් මොන යම් ම හෝ බාධාවක්  එල්ල වූයේ නැති බව ඔහු පැහැදිලි කලේ ය. “වසර එකහමාරක් සහ වසරක් සහ මාස හතක් අතර කාලය තුල, අපි මැදපෙරදිග පුරා, මහා පරිමානයෙන්,  ප්‍රහාර අතිමහත් ප්‍රමානයක් සිදු කලෙමු. එක මොහොතකටවත්,  මිලිටරි නඩු පවරන අය මට සීමා පැනවූයේ නැත - කොයිහැටි වෙතත්, මට සීමා පැනවීමට ඇයට  බලයක් ද නැත.”

ඒ වෙනුවට, ඊශ්‍රායල හමුදාවේ අධීක්ෂන යාන්ත්‍රනයන්හි අරමුන වන්නේ, දැනට කෙරීගෙන යන ඝාතන, ව්‍යාජ නීතිමය රාමුවක් තුල සිදුවෙමින් පවතින්නේ ය යන්න හුවා දැක්වීම බව ඔහු ඇඟවුම් කලේ ය. “ලෝකය තුල මෙය නෛතික ව ආරක්ෂා කරන්නේ කෙසේදැයි අපි දනිමු, මෙය ඊශ්‍රායල රාජ්‍යයට ඉතා වැදගත් බව පවසන නීති උපදේශකයෝ සිටිති.”

නිල මරන සංඛ්‍යාව 64,718 ක් වීම කෙතරම් භයානක වුවත්, එය ඇත්ත වශයෙන් ම සංඛ්‍යා දැවැන්ත ලෙස අවතක්සේරු කිරීමකි. 2024 ජූලි මාසයේ දී, ලැන්සෙට් වෛද්‍ය සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද ලිපියකින් ඇස්තමේන්තු කලේ, ගාසා තීරයේ ආහාර, වෛද්‍ය සහ සනීපාරක්ෂක පද්ධති විනාශ වීමෙන් ඇති වන “වක්‍ර” මරන ඇතුලත් කල පසු, සැබෑ මරන සංඛ්‍යාව 186,000ක මට්ටමේ ඇති බවයි. මෙම සංඛ්‍යා වර්තමානය දක්වා දීර්ඝ කලහොත්, සැබෑ මරන සංඛ්‍යාව දැන් 300,000 ට ලං වෙමින් තිබේ. ඕස්ට්‍රේලියානු සඟරාවක් වන අරීනා  2025 ජූලි පලකල තවත් ලිපියක් ඇස්තමේන්තු කර ඇත්තේ, මරන සංඛ්‍යාව 680,000 ක් තරම් ඉහල සංඛ්‍යාවක් ව තිබිය හැකි බවයි.

ගාසා තීරයේ වෛද්‍ය යටිතල පහසුකම් බිඳවැටීම සහ මල සිරුරු විශාල ප්‍රමානයක් විනාශ වූ ගොඩනැගිලිවල සුන්බුන් යට වැලලී ගොස් තිබීම හෝ සෞඛ්‍ය නිලධාරීන්ට දැනුම් දීමට ක්‍රමයක් නොමැති ව පවුලේ සාමාජිකයන් විසින් වලලනු ලැබීම හේතුවෙන්, මියගිය අය පිලිබඳ  සැබෑ ගනනයක්  කල නොහැකි ය.

සති අන්තයේ දී, ඊශ්‍රායලය ගාසා නගරයට බෝම්බ හෙලීම තීව්‍ර කල අතර, පැය 24 ක් තුල නේවාසික ගොඩනැගිලි තුනක් විනාශ කර, අවම වශයෙන් පලස්තීනුවන් 53 දෙනෙකු ඝාතනය කලේ ය. ගාසා රජයේ මාධ්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින්, “සමූල ඝාතනය සහ බලහත්කාරයෙන් අවතැන් කිරීමේ අරමුනින් මහල් නිවාස කුලුනු, නේවාසික ගොඩනැගිලි, පාසල් සහ සිවිල් ආයතනවලට ක්‍රමානුකූලව බෝම්බ හෙලීම” හෙලා දුටුවේ ය.

“පාසැල්, මුස්ලිම් පල්ලි, රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන මත බෝම්බ හෙලීම,  මහල් නිවාස කුලුනු, නේවාසික ගොඩනැගිලි  සහ අවතැන්වූවන්ගේ කූඩාරම් විනාශ කිරීම සහ මානුෂීය වැඩකටයුතු ක්ෂේත්‍රයේ සේවය කරන ජාත්‍යන්තර ආයතනවල මූලස්ථාන ඉලක්ක කිරීම යනාදී මේ සියල්ල සිතාමතා සැලසුම්කල, පැහැදිලි ක්‍රමවේදයකට අනුකූල ව සිදු කරනු ලැබේ”, නිවේදනය සඳහන් කලේ ය.

මේ අතර, ඊශ්‍රායලය විසින් දැනුවත්ව ම, මිනිසුන් විසින් නිර්මිත සාගතය ගාසා තීරය විනාශ කරමින් ඇත්තේ, පැය 24 ක් තුල මන්දපෝෂනයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මරනයට පත් කරමින් සහ  සාගතය නිසා සිදූ නිල මරන සංඛ්‍යාව 422 දක්වා ඉහල නැංවීමට හේතුවෙමිනි.

පසුගිය මාසයේදී, එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ලත් ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර වර්ගීකරනය, නිල වසයෙන් ගාසා තීරයේ සාගතයක් ප්‍රකාශයට පත් කලේය. එතැන් සිට, පලස්තීනුවන් 144 දෙනෙකු කුසගින්නෙන් හෝ මන්දපෝෂනයෙන් මිය ගොස් ඇති අතර, ඉන් 30 දෙනෙකු ලමුන් වේ.

ගාසා නගරයට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරය හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවට දකුනේ රාෆා නගරයට පලා යාමට සිදු වූ අතර, ප්‍රධාන වෙරලබඩ මාර්ගය මිනිසුන්, කරත්ත සහ පහර දුන් වාහනවලින් පිරී ඉතිරී ගියේ ය. මාසය ආරම්භයේ සිට, ගාසා නගරයේ නවාතැන් ගෙන සිටි මිලියන 1 න් මිලියන කාලක් පමන ජනතාව පලා ගොස් ඇත.

දකුනු ගාසා තීරයේ වෛද්‍ය යටිතල පහසුකම් දැනටමත් සම්පූර්නයෙන් ම අවසන් ව ඇති බවත්, ප්‍රදේශයට බලහත්කාරයෙන් තල්ලු කෙරෙන රෝගී සහ තුවාල ලැබූ මිනිස් ප්‍රවාහය සමග කටයුතු කිරීම සරල ව ම නොහැකි බවත් සෞඛ්‍ය කාර්ය මන්ඩලය අනතුරු ඇඟවී ය.

ගාසා නගරය අත්පත් කර ගැනීම මුලු ගාසා තීරය ම ඊශ්‍රායල හමුදා වාඩිලෑම යටතේ තබනු ඇති අතර, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මොරදුන් ගාසා තීරයේ “අවසන් පියවර” --පලස්තීන ජනගහනය ගෙටෝවලට සමාන රැඳවුම් කඳවුරුවල සිරගත කිරීම සහ ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ නිජබිමෙන් ඔවුන් නෙරපා හැරීමට-- කොන්දේසි නිර්මානය කරනු ඇත.

එක්සත් ජනපද-ඊශ්‍රායල ජන සංහාරය පෞද්ගලික ව අධීක්ෂනය කිරීම සඳහා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සති අන්තයේ ඊශ්‍රායලයට පැමිනියේ ය. කටාර්හි හමාස් සාකච්ඡාකරුවන් ඝාතනය කිරීමේ වෑයමකින් මෙම මස මුල දී ඊශ්‍රායලය එල්ල කල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් රුබියෝ, “වෙච්ච දේ උනා” යැයි කියමින් උරිස් හැකුලුවේ ය. 

රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, “ඊශ්‍රායලයේ සදාකාලික අගනුවර ලෙස ජෙරුසලම ඇමරිකාව විසින් පිලිගැනීම යලි  තහවුරු කිරීම” අරමුනු කරගත් සංචාරයක දී රුබියෝ ජෙරුසලමේ බටහිර තාප්පය නැරඹීමට ගියේ ය.  ගාසා තීරය පමනක් නොව, බටහිර ඉවුරේ වැඩි කොටසක් අල්ලා ගැනීම සඳහා එක්සත් ජනපදයේ සහයෝගය නැවත තහවුරු කිරීමේ  සංකේතාත්මක භාෂාවකි, මෙය.

බ්‍රහස්පතින්දා, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පලස්තීන භූමිය අඩකින් කපා දමමින්, බටහිර ඉවුරේ ඊශ්‍රායල ජනාවාස පුලුල් කිරීමේ සැලැස්මක් ප්‍රකාශයට පත් කලේ ය. මුදල් අමාත්‍ය බෙසලෙල් ස්මොට්‍රිච්ගේ වචනවලින් කිවහොත්, මෙම ජනාවාස සැලැස්ම අරමුන වන්නේ, “පලස්තීන රාජ්‍යයක් පිලිබඳ අදහස වලලා දැමීම” යි.

Loading