"අපි කවදාවත් සතුටින් හා සෞඛ්‍ය සම්පන්නව ජීවත්වෙලා නෑ" : වතු කම්කරුවෙක්

ශ්‍රී ලංකාවේ කම්කරු පංතියේ වඩාත්ම සූරාකෑමට ලක්වන, පරිපීඩිතම කොටසක් වන වතු කම්කරුවන්ගේ සමාජ සහ ආර්ථික කොන්දේසි පසුගිය වසර කීපය තුල, විශේෂයෙන්ම 2019 දී පැනනැගුනු කෝවිඩ්-19 වසංගතයෙන් පසු, බරපතල ලෙස ඛාදනය වී ඇත. මන්දපෝෂනය, දරිද්‍රතාව, විරැකියාව සහ නිවාස ප්‍රශ්නය වඩාත් උග්‍ර වෙමින් පවතී. 

මූර්ත වටිනාකම වඩවඩාත් පහල වැටෙන සොච්චම් දෛනික වැටුප තම දරු පවුල් සමග ජීවිතය ගැටගසා ගැනීමට කිසිසේත් ප්‍රමානවත් නොවීම ඔවුනගේ දැවෙනතම ප්‍රශ්නය යි. ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)/ ජාතික ජන බලවේගය (ජාජබ), මැතිවරන වේදිකා තුල අනෙකුත් කම්කරුවන්ට සහ අවශේෂ පීඩිත ජන කොටස් වලට දුන් පොරොන්දු මෙන්ම, දෛනික වැටුප රුපියල් 2000 දක්වා වහා වැඩි කරන බවට වතු කම්කරුවන්ට දුන් පොරොන්දුව ද, බලයට පැමිනීමෙන් පසු කුනු කූඩයට දමා ඇත. ඔවුනට මෙතෙකුදු ලැබෙනුයේ රුපියල් 1350 ක දෛනික වැටුපකි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් (ජාමූඅ) කොටස් වසයෙන් ලබා ගන්නා එජ ඩොලර් බිලියන 3 ක ඇප නය වෙනුවෙන් පනවා ඇති කප්පාදු අකුරටම ක්‍රියාත්මක කරන ජවිපෙ/ජාජබ ආන්ඩුව, වැට් බදු, විදුලි ගාස්තු සහ ඉන්ධන ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහල නංවමින් ද, සෞඛ්‍යය සහ අධ්‍යාපනය කප්පාදු කරමින් ද එල්ල කරන ප්‍රහාරය ට සමගාමීව, වතු සමාගම් විසින් සූරාකෑම තීව්‍ර කිරීමේ නව ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරමින් සිටී. මේ හේතුවෙන්, වතුකරය තුල වැඩී ඇත්තේ දැඩි පුපුරන සුලු තත්වයකි.

මේ සම්බන්ධයෙන් සංවේදී ධනපති පාලක පංතිය, වතු කම්කරුවන්ට එරෙහි මර්දනය නව ඉහලකට නංවා ඇත. එහි බලගතුම ප්‍රකාශනය වනුයේ, මස්කෙලිය ඕල්ටන් වතුයායේ කම්කරුවන් 26 දෙනෙකුට එරෙහිව ගෙනයන දඩයමයි.

2021 පෙබරවාරි 5 වන දා, වැඩි වැටුප් ඉල්ලා වතුකරය පුරා ආරම්භ වූ වැඩ වර්ජනයකට ඕල්ටන් කම්කරුවෝ,ද සහභාගි වූහ. 2021 පෙබරවාරි 17 වන දින කලමනාකරුගේ නිවස අසල පැවති විරෝධතාවයකින් පසු ව, සේවකයින් විසින් තමන්ට ශාරීරික ව හිංසා කල බව පවසමින්, කලමනාකරු සහ සහකාර කලමනාකරු කරන ලද පැමිනිල්ලක් මත, ‌පොලීසිය කම්කරුවන්ට එරෙහි ව, හැටන් මහේස්ත්‍රාත් අධිකරනයේ පවරා තිබූ නඩුව වසර හතරක් තිස්සේ නැවත නැවතත් කල්දැමීමෙන් පසු ව, කම්කරුවන් 26 දෙනාට එරෙහි ව චෝදනා ගොනු කලේ මේ වසරේ මැයි මාසයේ දී ය. නඩුවෙන් එම කම්කරුවන් වරදකරුවන් බවට තීන්දු තලහොත් ඔවුන්ට වසර හතක සිර දඬුවමක් නියම විය හැක.

වතු කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරු පංතිය බියවද්දා මෙල්ල කිරීමේ අරමුනෙන් ගෙනයන මෙම දඩයමට, වතු කලමනාකාරිත්වය, පොලීසිය, ලංකා කම්කරු කොන්ග්‍රසය (සීඩබ්ලිව්සී) ය ඇතුලු වෘත්තීය සමිති, පසුගිය ආන්ඩු, වත්මන් ජවිපෙ/ජාජබ ආන්ඩුව සහ කම්කරු දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියා කරති.

මෙම තතු තුල, පසුගිය සැප්තැම්බර් 08 දා, ඕල්ටන් ඇතුලු මස්කෙලිය ආශ්‍රිත වතු කීපයක කම්කරුවන් මුන ගැසුනු ලෝක සමාජවාදී වෙබි අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවෝ ඔවුනගේ සමාජ සහ ජීවන කොන්දේසි පිලිබඳව සාකච්ඡා කලහ.

මධ්‍යම කඳුකරයේ හැටන් හි සිට කිලෝ මීටර් 22 ක් දුරින් පිහිටි අප්කොට් හෙවත් සාමිමලේ පිහිටි ඕල්ටන් වතුයායේ, 10 වන කොටසට ගිය ලෝසවෙඅ වාර්තාකරුවන් ට, එහි පේලි නිවාසයක පදිංචි ඒ. වීරන් සමග දිර්ඝ සාකච්ඡාවක නිරත වීමට හැකි විය. වයස අවුරුදු 43 ක් වූ ඔහු සිවුදරු පියෙකි.

ඕල්ටන් වතුයායේ, 10 වන කොටසේ පේලි නිවාසයක පදිංචි ඒ. වීරන් සහ ඔහුගේ දරුවන්

වතුකරයේ බොහෝ ලමුන් මෙන් ඔහු ද, ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු පාසැල හැරගොස් ඇත. ඔහු මෙසේ කීවේය: 'මම 8 වන ශ්‍රේනියෙන් පසු පාසලෙන් ඉවත්වෙල, 1997 දී, සීදුව වොන්ඩර්ලයිට් සබන් සමාගමේ රැකියාවට ගියා. ඔවුන් මට ගෙව්වේ දවසකට රුපියල් 75 ක් පමනයි. අවුරුද්දක් එහේ වැඩ කරා. පඩි මදියි, වැඩ වැඩියි. හරියට කන්නත් නෑ. අවුරුද්දකට පස්සෙ මම ගෙදර ඇවිත් දී වත්තේ වැඩට බැඳුනා. එතකොට මට අවුරුදු 16 යි. මේ වෙනකොට අවුරුදු 27 ක් වත්තෙ වැඩ කරල තියෙනව. මගේ බිරියත් වත්තෙ වැඩ කරනවා. දෙන්නෙක් වැඩ කරලත්, වත්තෙන් සියල්ල අයකර ගත්තට පස්සෙ අපිට මාසෙකට රු. 20,000 ක් විතර අතට ලැබෙනවා. ඒක අපි හයදෙනාට සුමාන දෙකක කෑමටත් මදි.'

වාර්තාකරුවන් එම පේලි නිවාස වලට යනවිට වීරන් සිටියේ, ඔහුගේ නිවස අසල පිහිටි ගල්තලාවක් මත වාඩි වී කල්පනාවේ නිමග්නව ය.

'ඇත්තටම මම කල්පනා කරමින් හිටියෙ අද දරුවන්ට කන්න දෙන්නෙ කොහොමද කියල. ගෙදර කිසිම දෙයක් නෑ කන්න දෙන්න. අතේ සතයක්වත් නෑ. මම උදේම ගියා රත්තරන් බඩු උගස් තියපු කඩෙන් තව රුපියල් 2000 ක් වැඩිපුර ඉල්ල ගන්න. ඒත් ඒක ලැබුනෙ නෑ' යි ඔහු වේදනාවෙන් පැවසීය.

ඔහුගේ ඇකයට පැමිනි බාලම දරුවා, හාමතේම නින්දට වැටුනි. 'ආන්ඩුවෙන් නොමිලෙ දෙන ත්‍රිපෝෂ පිටි මුල ඉඳන්ම මේ දරුවාට ලැබුනේ නැහැ. ධාන්‍ය ගන්න සල්ලිත් නෑ. ඒ නිසා එයා දුර්වලයි. අපි පඩි දවස්වලට විතරයි මස් හරි, මාලු හරි දරුවන්ට අරන් දෙන්නෙ.'

පෙර දී පවුල් සෞඛ්‍ය සේවිකාව නිවසට විත්, ලදරුවන්ගේ බර කිරා මැන ඔවුනගේ පෝෂනය ගැන උපදෙස්දුන් බවත්, දැන් එම සේවිකාවන්ගේ හිඟයත්, ගමන් වියදම් කපා දැමීමත් නිසා එසේ නිවෙස් කරා පැමිනීම සිදු නොවන බවත් වීරන් පැවසීය.

'දැන් පවුල් සෞඛ්‍ය සේවිකාව පනිවිඩ එවනවා දරුව කිරන්න සෞඛ්‍ය මධ්‍යස්ථානයට ගේන්න කියලා. ඒත් දැන් ඉස්සර වගේ ඒකට කෙටි නිවාඩු දෙන්නේ නැහැ. දරුව කිරන්න ගෙනිච්චොත් පඩියෙන් කැපෙන නිසා දැන් ඒක කෙරෙන්නෙ නෑ. ඉස්සර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇවිත් යනවා. අද කාලේ එහෙම දෙයක් නැහැ.'

ඔහුගේ දෙමාපිය පරම්පරාව තෙක් වත්තෙන් පේලි නිවාස ලැබුන බවත්, ඒවා වරින්වර අලුත්වැඩියාකර දුන් බවත් වීරන් පැවසිය. 'මේ අම්මට දුන්න ගේ. අපිට ගෙවල් ලැබුනේ නැහැ. මේකෙ කාමර දෙකක් විතරයි තිබුනේ. අපි කුස්සියක් එකතු කලා. මේ කාමර දෙකේ ගෙදර අට දෙනෙක් ජීවත් වෙනව. අපි සියලුම අලුත්වැඩියාවන් කර ගන්න ඕන.'

කලින් වත්තෙන් පවත්වාගෙන ගිය බෙහෙත් ශාලා දැන් නොමැති බැවින්, අසනීපයත් සිදුවුවහොත්, පිලිවෙලින් කිලෝ මීටර් 10 ක් සහ 16 ක් දුරින් පිහිටි මස්කෙලිය සහ දික්ඔය රෝහල් වලට යාමට සිදුවන බවත් ඔහු පැවසීය. 'වඩා පහසුකම් තියෙන දික්ඔය රෝහලට යන්න ත්‍රිරෝද රථයකට රුපියල් 1500ක් යනවා.'

අවමංගල්‍යයක දී වතු සමාගමෙන් ලබා දෙන්නේ රුපියල් 2000ක් පමනක් බවත්, ඔවුන්ගේ දෙමාපිය පරම්පරාවේ සිටම එම මුදල වැඩිවී නොමැති බවත් වීරන් පැවසීය.

ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට පැමිනියේ, බඩු මිල අඩු කරන බවට සහ වැටුප් වැඩි කරන බවට පොරොන්දු දී නමුත් ඒ කිසිවක් ඉටුනොවූ බව ඔහු කෝපයෙන් පැවසීය. 'දැන් හාල් කිලෝවක් රුපියල් 250 යි, පොඩි පොල් ගෙඩියක් රුපියල් 180 යි. මේ පඩියෙන් අපි ජිවත් වෙන්නෙ කොහොම ද? අපි කවදාවත් සතුටින් හා සෞඛ්‍ය සම්පන්නව ජීවත්වෙලා නෑ. වතුකරයෙ තියෙන වෘත්තීය සමිති ඔක්කොම අපි ඉන්න මේ තත්වයට වග කියන්න ඕන.'

අනතුරුව, ඕල්ටන් වතුයායේ දඩයමකට ලක් ව සිටින කම්කරුවන් 26 දෙනා ආරක්ෂා කිරීමට සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ ඕල්ටන් වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව අරඹා ඇති උද්ඝෝෂනය දෙසට සාකච්ඡාව යොමු විය.

වීරන් මෙසේ පැවසීය: 'සැබැවින්ම ඔබලා පැහැදිලි කරනතෙක් මෙහෙම බැරෑරුම් තත්වයක් ඇතිවෙල තියෙන බව මම දැනගෙන හිටියෙ නෑ. ඔවුන් අපිත් එක්ක එකට වර්ජනය කරපු, මේ වත්තෙම අනෙක් පැත්තෙ කොටසක කම්කරුවො. ඔවුන් ආරක්ෂා කිරීමට ඔබ ගෙනයන සටනට මම සහයෝගය දෙනවා.'

ඕල්ටන් වතුයායට යාබද ලැඩ්බ්‍රෝක් වත්තේ සේවයේ නියුතු එස්.ජෝන් කෙනඩි, වයස අවුරුදු 43 ක කම්කරුවෙකි.  කෙනඩි සහ ඔහුගේ පවුල ජීවත් වන්නේ, ඔහුගේ බිරිඳ මැදපෙරදිග රැකියාවකට ගොස් උපයා ගත් මුදලෙන් තනාගත් නිවසෙහිය. කෙනඩිගේ බිරිඳ දැනට කොලඹ ගෘහ සේවිකාවක් ලෙස සේවය කරන්නීය. 

ඕල්ටන් වතුයායට යාබද ලැඩ්බ්‍රෝක් වත්තේ සේවයේ නියුතු එස්.ජෝන් කෙනඩි

වතු කම්කරු රැකියාවේ දුෂ්කරතාව පැහැදිලි කරමින් ඔහු මෙසේ කීවේය: 'පායන කාලෙට දලු  හිඟ වෙනව. එතකොට වැඩ හම්බ වෙන්නෙ සතියකට දවස් කීපයයි. දවසකට කිලෝග්‍රෑම් 22 ක් කැඩුවත් බොරු හේතු කියල කිලෝග්‍රෑම් 18 කට තමයි ගනන් දාන්නෙ.'

රුපියල් 1350 ක් වූ දිනක වැටුප් ලබා ගැනීම සඳහා දලු කිලෝග්‍රෑම් 18 ක් අවම වසයෙන් නෙලිය යුතු ය. වැඩිවන දලු කිලෝවට රුපියල් 60 බැගින් එම වැටුපට එකතුවියයුතු නමුත් එය මෙවන් උප්පරවැට්ටි මගින් සමාගම එය කම්කරුවාට අහිමි කරයි.

කිලෝ 18 ට වඩා දලු අඩු අවස්ථාවක, තම දලු බෙදාහදා ගෙන එම අඩුව පිරවීමේ සහෝදරාත්මක සම්ප්‍රදායක් කම්කරුවන් අතර පවතින නමුත්, ඒ සියල්ල සීමාකොට සූරාකෑම උපරිම කිරීම සඳහා සෑම කම්කරුවෙකුටම කිව්ආර් කේතයක් (QR code) සහිත කාඩ්පතක් ලබා දී ඇත. තම දලු මල්ල කිරන විට තරාදියට සවිකොට ඇති කුඩා පරිගනක මුහුනතකට කාඩ්පත යොමුකල යුතුය. විශේෂ යෙදුමක් (App) මගින්, කම්කරුවාගේ දලු ප්‍රමානය කලමනාකරන කාර්යාලයේ පරිගනක ගත වේ.

ලාභය ඉහල දමා ගැනීම සඳහා සමාගම් විසින් හඳුන්වාදුන් ආදායම් බෙදා ගැනීමේ ක්‍රමය හෙවත්, තේ පඳුරු සිය ගනනක් හෝ ඊට වැඩි ප්‍රමානයක් කම්කරුවෙකුට පවරා, පොහොර සහ අනෙකුත් රසායනික සමාගමෙන් සපයා දී, අස්වැන්නෙන් ලැබෙන ආදායමෙන් සමාගමේ වියදම අඩුකරගෙන ඉතිරිය බෙදා ගැනීමේ ක්‍රමය සම්බන්ධයෙන් කෙනඩි මෙසේ පැවසීය:  

'අපේ වත්තෙත් ඔය ක්‍රමය පටන් ගත්ත. සමාගම් කලින් කිවුවෙ පොහොර සහ පලිබෝධ නාශක දෙනව කියල. අවසානයේ එහෙම කිසිවක් සිදු වුනෙ නෑ. අපට සියල්ලම කරන්න උනා. සෙනසුරාදා සහ ඉරිදා දිනවලත් වැඩ කරන්න උනා. ඒක ඉල කැඩෙන වැඩක්. අපි ඔක්කොම ඒක නතර කරා.'

මුලදී, එම වත්තේ කොටස් පහ සඳහා රෝහල් දෙකක් තිබූ බව කෙනඩි පැවසීය. 'දැන් තියෙන්නෙ එකයි. ඒකට ගියාම සමහර වෙලාවට එතන ඩොක්ටර් කෙනෙක් නෑ. එතනින් මස්කෙලියට යන්න වෙනවා. එයාලා එහේ තත්වේ බලලා දික්ඔයට යවනවා. ඔටෝ එකට (ත්‍රිරෝද රථයට) ගෙවලා බෙහෙත් ගන්න කීයක් යනවද?'

'වෘත්තීය සමිති ගැන කියන්න දෙයක් නෑ. සීඩබ්ලිව්සී එක මාසෙකට රුපියල් 360ක් අපේ දායක සල්ලි කපා ගන්නවා විතරයි. අපි කාවවත් විශ්වාස කරන්නේ නෑ, වැඩක් නෑ.'

මස්කෙලිය, ආසන්න ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙක් වතුකරයේ පාසල්වල පවත්නා ඌන පහසුකම් සහ අනෙකුත් ප්‍රශ්න ගැන දීර්ඝ වශයෙන් කතා කලේය.  

'වතු දරුවන්ට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි පෝෂනය. කම්කරුවන්ට ලැබෙන වැටුප් කිසිසේත් ප්‍රමානවත් නැති නිසා ඔවුන්ට දරුවන්ට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර දෙන්න විදියක් නෑ. එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) ආධාර යටතේ Save the Children සංවිධානයෙන් වතුකරයේ සහ වෙනත් දුගී ප්‍රදේශවල පවත්නා මෙවැනි ප්‍රාථමික පාසල් වල සිසුන්ට උදෑසන ආහාරය ලබා දෙනව. ඒත්, ජනාධිපති ට්‍රම්ප් ගෙනයන කප්පාදු වැඩපිලිවෙල යටතේ මේක දිගටම කෙරෙයි ද දන්නෙ නෑ. දැනටමත් ආරංචියි, Save the Children අරමුදල් නවතිනව කියල.'  

පාසලේ පවත්නා ගොඩනැගිලි ප්‍රමානවත් නොවන බැවින් දෙමාපියන්ගේ ශ්‍රමය යොදා ගනිමින් අටවාගෙන ඇති තාවකාලික ගොඩනැගිල්ල පෙන්වූ විදුහල්පතිවරයා ස්ථිර ගොඩනැගිල්ලක දැවෙන අවශ්‍යතාව පැහැදිලි කලේය. පාසලේ සිසුන් 219ක් සිටිය ද වැසිකිලි ඇත්තේ හතරක් පමනි. පිරිමි සිසුන් සහ ගුරුවරුන් වැසිකිලි දෙකක් භාවිතා කරන අතර ගැහැනු සිසුන් සහ ගුරුවරියන් වැසිකිලි දෙකක් භාවිතා කරයි.

'මගේ ගුරු ජීවිතයට අවුරුදු 37 ක් වෙනව. 1990 ගනන් අගවෙනකොට තමයි පාසල් බිත්තිවල ලොකු අකුරින් ලියන්න පටන් ගත්තෙ, මේ මගේ දරුවාගේ පාසල යි කියල. ඒකෙ තේරුම පාසලේ සියලු වගකීම් දෙමාපියන්ට භාරදීල ආන්ඩුව ඒ වගකීමෙන් ඈත්වීම. මේ වගේ පාසල්වල අන්ත දුප්පත් දෙමාපියන්ට ඒ වගකීම දරන්න බෑ.'

මුලු පාසලටම සිටින්නේ ගුරුවරුන් 09 දෙනෙකු පමනි. ශාරීරික අධ්‍යාපනයට සහ ඉංග්‍රිසි විෂයට ගුරුවරු නොමැත. 

'වතුකරයේත්, සමස්ත ලංකාවේත් විශාල ගුරු හිඟයක්, විශේෂයෙන් ම ඉංග්‍රිසි ගුරු හිඟයක් පවතිනව. ඒ නිසා අධ්‍යාපන අමාත්‍යංශයෙන්, ඉංග්‍රිසි ගුරුවරු දෙන්නේ, ලමයි 300 ට වැඩි පාසල් වලට විතරයි. මම හිතන්නෙ, ජවිපෙ ආන්ඩුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරන වලින් මේ තත්වය වඩාත් නරක අතට හැරෙයි කියල.' 

Loading