[මෙය Charlie Kirk: The Horst Wessel of the MAGA movement යන මැයෙන්, 2025 සැප්තැම්බර් 11දා පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
කෝටිපති කතිපයාධිකාරීන් විසින් අත දිගහැර අරමුදල් සපයන ලද සහ ඩොලර් මිලියන ගනනින් වැටුප් ලැබූ ෆැසිස්ට් දේශපාලන ක්‍රියාකාරිකයෙකුවූ චාලි කර්ක් ඝාතනයෙන් පසු ගතවූ පැය 36 තුල ඔහු ජාතික වීරයෙකුගේ තත්වයට ඔසවා තබා ඇත. නැවතත් වාරයක්, හිට්ලර් සහ ගොබෙල්ස්ගේ ප්‍රචාරක උපක්‍රම අනුකරනය කරමින්, ට්‍රම්ප් පාලනය, කර්ක් ව ජර්මානු නාසිවාදී හෝස්ට් වෙසල්ගේ ඇමරිකානු අනුවාදයක් කොට දේශපාලන ප්‍රානත්‍යාගියෙකු ලෙස නිරූපනය කරමින් තිබේ . 1930 පෙබරවාරියේ වෙසල්ගේ සාහසික මරනයෙන් පසු, නාසීන් වෙසල්ව ජර්මනියේ දේශප්‍රේමී තරුනයින්ගේ ආදර්ශ රූපයක් ලෙස වර්නනා කලහ. වෙසල්ගේ මතකයට ගෞරව කිරීම පිනිස නිර්මානය කල ගීතිකාවක් වන කුප්‍රකට “හෝස්ට් වෙසල් ගීතය” නාසි පක්ෂයේ ගීය බවට පත්විය.
ඒ හා සමාන ලෙස දේශපාලනික සාන්තුවරයින්ගේ නාමාවලියට ඇතුලත් කිරීමේ ක්‍රියාවලියක දී, චාලි කර්ක් ෆැසිස්ට්වාදී මාගා (MAGA- ඇමෙරිකාව යලි ශ්‍රේෂ්ඨත්වයට පමුනුවනු) ව්‍යාපාරයේ හෝස්ට් වෙසල් බවට පරිවර්තනය වෙමින් පවතී.
ට්‍රම්ප් පරිපාලනය සහ එහි ෆැසිස්ට් අනුගාමිකයින් තම දේශපාලන අරමුනු සඳහා කර්ක්ගේ මරනය ගසාකෑම පුදුමයක් නොවේ. නමුත්, ප්‍රචාරක ව්‍යාපාරයේ බලපෑම වැඩි දියුනු කර ඇත්තේ, ඩිමොක්‍රටික් පක්ෂයේ සහ සංස්ථාපිත මාධ්‍යවල සහයෝගීතාව විසිනි.
කර්ක්, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස් භාෂනය වෙනුවෙන් දිවි පිදූවෙකු බවට ට්‍රම්ප් සහ ඔහුගේ හෙංචයියන් සිදුකරන මුසාවන් පිලිගැනීම මගින්, ඩිමොක්‍රටික් පක්ෂය සහ මාධ්‍ය, සිදුවීම් පිලිබඳ දක්ෂිනාංශික ආඛ්‍යානයට අභියෝග නොකරයි. උටා වැලි විශ්ව විද්‍යාලයට කර්ක්ගේ පැමිනීම මහජන විරෝධයකට මුහුන දුන් බව පවා ඔවුහු සඳහන් නොකරති. කර්ක් පැමිනීමට පෙර බෙදා හරින ලද, දහස් ගනනක් දෙනා විසින් අත්සන් කරන ලද පෙත්සමක මෙසේ සඳහන් විය:
උටා නිම්න විශ්ව විද්‍යාලයේ (යූවීයූ) සිසුන් වසයෙන් අපි , අන්තර්ග්‍රහනය (වෙනස්කම් නොසලකා සැමට පිලිගැනීම සහ ගරු කිරීම-පරිවර්තක) සහ විවිධත්වය (විවිධ පසුබිම්, සංස්කෘතීන්, අනන්‍යතා සහ ඉදිරිදර්ශන සහිත පුද්ගලයින්ගේ මිශ්‍රනයක් තිබීම-පරි.) ක්‍රියාකාරී ව ප්‍රවර්ධනය කරන විශ්ව විද්‍යාල පසුබිමක සිටීම පිලිබඳව ආඩම්බර වන්නෙමු. එතෙකුදු වුවත්, සැලසුම් කර ඇති චාලි කර්ක්ගේ කතාව මෙම පරමාදර්ශයට තර්ජනය කරයි. කර්ක්ගේ පැමිනීම සහ ඔහු ලබා දෙන පනිවිඩ, අප බොහෝ දෙනෙකු අගයන, අවබෝධය, ප්‍රතිග්‍රහනය සහ ප්‍රගතිය වැනි වටිනාකම්වලට ප්‍රතිවිරුද්ධ ව පිහිටා සිටී.
චාලි කර්ක්ට කතා කිරීමට ඉඩ දීමේ තීරනය ගැන යූවීයූ නැවත සලකා බැලීම අත්‍යවශ්‍ය ය. බෙදීම් ඇති කිරීම වෙනුවට අන්තර්ග්‍රහනය සහ ඒකාබද්ධතාව ආස්වාදනය කරන කථිකයන් වෙනුවෙන් අපි පෙනී සිටිමු. විශ්ව විද්‍යාල යනු ඉගෙනීමේ, වර්ධනයේ සහ එකමුතුකමේ මධ්‍යස්ථාන විය යුතු ය. යූවීයූ පෙනී සිටින මෙම මූලධර්මවලට සෘජු ව ම විරුද්ධ අදහස් ඇති කෙනෙකුට වේදිකාවක් ලබාදීමෙන් නියෝජනය වන්නේ, ඔබ මේ වන විට පෙනී සිටින මූලධර්මවලටම එරෙහි ව යාමකි.
උටා වැලි විශ්ව විද්‍යාලයට ඔහුගේ මාරක ගමන පිලිබඳ මෙම වැදගත් කරුන සඟවන අතර ම, ඩිමොක්‍රටික් පක්ෂය සහ මාධ්‍ය, දක්ෂිනාංශික ක්‍රියාකාරිකයාගේ වෘත්තීය ජීවිතයේ වඩාත් ම දුර්ගන්ධය වහනය කරන පැතිකඩ බොඳ කිරීමට හවුල්වෙමින් සිටී. කර්ක් විසින් සිදු කරන ලද ප්‍රකාශ-- “විද්‍යාල, ලාභ නොලබන සංවිධාන, චිත්‍රපට, හොලිවුඩය... යන මේ සියල්ල යුදෙව්වන් විසින් පාලනය කරනු ලැබේ”; “සුදු-විරෝධයේ දාර්ශනික පදනම සඳහා බොහෝ දුරට අරමුදල් සපයනු ලබන්නේ යුදෙව් පරිත්‍යාගශීලීන් විසිනි” සහ “1960 ගනන්වල සිවිල් අයිතිවාසිකම් පනත සම්මත කරගත් විට අපි විශාල වැරැද්දක් කලෙමු” යනාදිය-- කර්ගේ මරනය ගැන මාධ්‍යවල සඳහන් කර ඇති ඕනෑ ම සඳහනකින් බැහැර කර තිබේ.
මෙම දේශපාලන සුදු හුනු ගෑමේ කොටසක් ලෙස, කර්ක්ගේ දේශපාලන අදහස් විස්තර කිරීමේ දී, ජාතිවාදී, යුදෙව් විරෝධී, ස්ත්‍රී විරෝධී, ආගම්වාදී සහ සුදු ආධිපත්‍යවාදී යන වචන සමඟ සන්සන්දනය කරන විට, එක ම නිවැරදි පැහැදිලි කිරීම ලෙස තෝරා ගත හැකි “ෆැසිස්ට්” යන වචනය යොදා ගැනීම මුලමනින් ම පාහේ තහනම් කර ඇත.
කේබල් රූපවාහිනී ජාලයන් අතුරින් වඩාත් ම ලිබරල් එක යැයි කියනු ලබන එම්එස්එන්බීසී රූපවාහිනියේ සජීවී-විචාරක මැතිව් ඩවුඩ්, ෆැසිස්ට් උද්ඝෝෂකයා තමා වැපිරූ දේ නෙලා ගනිමින් සිටින බව අඟවමින්, කර්ක් “සමහර කන්ඩායම් ඉලක්ක කරගත් වෛරී ප්‍රකාශ…” පතුරුවන්නෙකු ලෙස විස්තර කිරීම හේතුවෙන් සේවයෙන් පහ කරනු ලැබූ විට, මෙය සංගත මාධ්‍ය ලොක්කන්ගේ පැහැදිලි දේශපාලන නියෝගයක් බව පැහැදිලි විය.
කිසිසේත්ම වාමාංශිකයෙකු නොවන ඩවුඩ්, රිපබ්ලිකන් ජාතික කමිටුවේ ඡන්ද විමසීමේ ප්‍රධානියා ලෙස සේවය කර ඇති අතර, මාධ්‍ය පන්ඩිතයෙකු වීමට පෙර, 2004 දී ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ දෙවන මැතිවරන ව්‍යාපාරය කලමනාකරනය කර ඇත. නමුත් කර්ක්ගේ ඝාතනයෙන් පසු, ‘ටර්නින් පොයින්ට් යූඑස්ඒ’ හි එතරම් කර්කශ නැති නිරූපනය පවා තහනම් කරන ලදි.
ට්‍රම්ප් සහ ෆැසිස්ට් දක්ෂිනාංශය, කර්ක්ගේ මරනය ඩැහැගෙන, ඔවුන්ට විරුද්ධ වන අයට එරෙහි ව දැවැන්ත මර්දනයකට සහ ප්‍රචන්ඩත්වයකට තර්ජනය කර ඇත. බදාදා (10), “චාලි වැනි අපූරු ඇමරිකානුවන් නාසීන්ට සංසන්දනය කල” අයව හෙලා දුටු ට්‍රම්ප්, ඔහුගේ පාලනය, “මෙම ම්ලේච්ඡ ක්‍රියාවට දායක වූ සෑම කෙනෙකු ම සොයා ගනු ඇතැයි” සපථ කලේ ය. ඊලඟ දවසේ උදේ ඔහු, කර්ක්ට මරනාපර ව ජනාධිපති නිදහස් පදක්කම ප්‍රදානය කරන බව නිවේදනය කලේ, එය ප්‍රධානය කෙරුනු පලමු විවෘත ව ම ෆැසිස්ට්වාදියා බවට වාර්තා තබමිනි.
ට්‍රම්ප් මෙම තර්ජන එල්ල කරන්නේ, වෙඩික්කරුගේ අනන්‍යතාවය හෝ ඔහුගේ අභිප්‍රාය පිලිබඳ කිසිදු තොරතුරක් තවමත් ලබා ගත නොහැකි තත්වයන් යටතේ ය. මෙය හුදෙක් ඝාතනය යොදා ගනමින් තිබෙන, සුවිශද දේශපාලනික අරමුන හෙලිදරව් කරනවා පමනි.
ඇමරිකාව නැවතත් ශ්‍රේෂ්ඨත්වයට පත් කරමු, ටර්නින් පොයින්ට් යූඑස්ඒ, ෆොක්ස් නිව්ස්, නිව්ස්මැක්ස්, බ්‍රයිට්බාර්ට් සහ බිලියනපතියන්ගේ අරමුදල් පොම්ප කෙරෙන අන්ත-දක්ෂිනාංශික මාධ්‍ය සමූහයේ ඔහුගේ අනුගාමිකයින් සම්බන්ධයෙන් ගත් කල, කර්ක් ඝාතනය, පලිගැනීමට හා ලේ වැගිරීමට තර්ජනය කිරීමේ අවස්ථාව උදාකර ඇත. ලෝක සමාජවාදී වෙබ් අඩවියට ද එය සිදුකරන මූලික විශ්ලේෂනයට ප්‍රතිචාර වශයෙන් දරුනු තර්ජන එල්ල වී තිබේ.
ට්‍රම්ප්ගේ පුත් එරික්, “වාමාංශික උන්මත්තකයන්ගේ” ප්‍රහාරයට ලක් ව සිටින ට්‍රම්ප්ගේ සාමකාමී ආධාරකරුවන් පිලිබඳ ගැඹුරු ව්‍යාජ ප්‍රතිරූපයක් මවා පෙන්වීමට උත්සාහ කරමින්, ප්‍රතිප්‍රහාර නොදී සාමකාමී ව සිටින තමන්ට පමනක් ප්‍රහාර එල්ලවීම හේතුවෙන් තමා කනස්සල්ලට පත්ව සිටින බව ට්වීටර්/එක්ස් පනිවුඩයක කියා සිටියේ ය. විස්කොන්සින්හි රිපබ්ලිකන් නියෝජිත ඩෙරික් වැන් ඕර්ඩන්, ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් සහ මාධ්‍ය හෙලා දැකීමට පෙර, වෙඩික්කරු කවුද, ඔහු එසේ ක්‍රියා කලේ ඇයි, නැතහොත් ඔහුට කිසියම් දේශපාලන සම්බන්ධතාවයක් තිබුනේ ද යන්න දැන ගැනීමට කරදරවූයේ නැත. “වම සහ ඔවුන්ගේ ප්‍රතිපත්ති ඇමරිකාව සිවිල් යුද්ධයකට ඇදගෙන යමින් තිබේ,” ඔහු සමාජ මාධ්‍යවල ලිවීය. “ඉවසුවා ඇති. බලාගමු.”
දක්ෂිනාංශික සමාජ මාධ්‍ය එවැනි උපහාසවලින් පිරී තිබූ අතර, දැනටමත් ප්‍රතික්‍රියා ආරම්භ කෙරී ඇත. දුරකථනයෙන් දැනුම් දෙනු ලැබූ බෝම්බ තර්ජන හේතුවෙන් ඇලබාමා ප්‍රාන්ත විශ්ව විද්‍යාලය, වර්ජිනියා ප්‍රාන්ත විශ්ව විද්‍යාලය, හැම්ප්ටන් විශ්ව විද්‍යාලය, ස්පෙල්මන් විද්‍යාලය, දකුනු විශ්ව විද්‍යාලය සහ ඒඇන්ඩ්එම් විද්‍යාලය, ක්ලාක් ඇට්ලන්ටා විශ්ව විද්‍යාලය සහ බෙතුන්-කුක්මන් ඇතුලු ඓතිහාසික වශයෙන් කලු ජාතික විද්‍යාල සහ විශ්ව විද්‍යාල හතක් (එච්බීසීයූ) අගුලු දැමීමට හෝ අර්ධ වශයෙන් වසා දැමීමට සිදුව තිබේ. වොෂින්ටනයේ ඩිමොක්‍රටික් ජාතික කමිටු කාර්යාලයට ද බෝම්බ තර්ජනයක් දුරකථනය හරහා ආවේ ය.
ට්‍රම්ප් සහ රිපබ්ලිකන් පක්ෂය විසින් “දේශපාලන ප්‍රචන්ඩත්වය” හෙලා දැකීම කුහකකමේ දුර්ගන්ධය වහනය කරයි. 2021 ජනවාරි 6දා කුමන්ත්‍රන වෑයම මෙහෙයවූ ද, කයිල් රිටන්හවුස් වැනි නීතිය අතටගත් ඝාතකයින් ස්මරනය කල සහ වසංගතය අතරතුර මහජන සෞඛ්‍ය නිලධාරීන් සන්නද්ධ බිය ගැන්වීම දිරිමත් කල බලවේග මේවා ය. ඔවුන්ගේ කුමන්ත්‍රන න්‍යායන්, ක්‍රයිස්චර්ච් සිට එල් පැසෝ දක්වා සහ බෆලෝ දක්වා සමූහ වෙඩි තැබීම්, මිචිගන් ආන්ඩුකාර ඩිමොක්‍රටික් ග්‍රෙට්චන් විට්මර් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ කුමන්ත්‍රනය සහ එවකට මන්ත්‍රී මන්ඩල කථානායක නැන්සි පෙලෝසිගේ සැමියා මරා දැමීමේ ආසන්නයට පැමිනි ප්‍රචන්ඩ ප්‍රහාරය යනාදියට උත්තේජනය සම්පාදනය කලේ ය.
මීට මාස තුනකට පෙර, මිනසෝටා ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයේ ඩිමොක්‍රටික් නායිකාව සහ ඇගේ සැමියා ක්‍රිස්තියානි ජාතිකවාදී සහ ගබ්සා-විරෝධී අදහස් වැලඳගත් තුවක්කුකරුවෙකු විසින් ඝාතනය කරන ලදි. ට්‍රම්ප් සහ සමාගමේ ප්‍රතිචාරය වූයේ, ඝාතකයාගේ අභිප්‍රායන් ගැන බොරු කියමින්, ඔහු වාමාංශිකයෙකු බව පවසමින්, අනෙකුත් අන්ත දක්ෂිනාංශික බලවේගයන්ට උත්තේජනයක් ලබා දෙන ෆැසිස්ට්වාදී අපහාස ප්‍රවාහය වේගවත් කිරීම යි.
කර්ක් ඝාතනය කෙරෙහි ප්‍රමුඛ ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ ප්‍රතිචාරය, බියගුලුකමේ සහ දන්ඩ නමස්කාරයේ සංකලනයකි. ට්‍රම්ප්ගේ නායකත්වය යටතේ ඒකාධිපතියෙකු වීමට නියමිත පුද්ගලයෙකුගේ මෙවලමක් බවට පරිවර්තනය වී ඇති රිපබ්ලිකන් පක්ෂයකට විරුද්ධ ඕනෑ ම අයෙකු-- වාර්ගික සුලුතර ජනයා, සමලිංගිකයන්, කාන්තාවන්, සංක්‍රමනිකයන්-- අපහාසයට ලක් කරන සහ ඔහුගේ ෆැසිස්ට් හෙලාදැකීම්වල දිගු වාර්තාව යුක්ති සහගත කරමින් ඩිමොක්‍රටිකයෝ මරනාපර ව කර්ක් බදාවැලඳ සිටිති.
මෙය, සෙනෙට් සභික චක් ෂුමර් සහ මන්ත්‍රී මන්ඩල සුලුතර නායක හකීම් ජෙෆ්‍රිස් වැනි කොංග්‍රස් නායකයින්ට පමනක් නොව, සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් සහ ඇමරිකානු ඩිමොක්‍රටික් සෝෂලිස්ට් සාමාජිකාවක් වන නියෝජිත මන්ත්‍රී ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටිස් වැනි ඊනියා “වාමාංශිකයින්ට” ද සත්‍ය විය. උතුරු කැරොලිනාවේ සැලසුම් කර තිබූ රැලියක දිනයන් වෙනස් කරන බව ඔකාසියෝ-කෝර්ටිස් බ්‍රහස්පතින්දා (11) කීවේ, ආරක්ෂක ගැටලු නිසාම පමනක් නොව, කර්ක්ට ගරු කිරීමේ ද කොටසක් ලෙස ය.
ඩිමොක්‍රටික් පක්ෂයේ සමස්ත පිලිවෙතම, තිර රචනයක් අනුගමනය කරන්නාක් මෙන් පුනරුච්චාරනය කරන්නේ, “ඇමරිකානු දේශපාලනයේ ප්‍රචන්ඩත්වයට තැනක් නැත”, නැතහොත්, නිව් යෝර්ක් ටයිම්ස් බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලද එහි කතුවැකියේ ලියා තිබූ පරිදි, “එවැනි ප්‍රචන්ඩත්වය ඇමරිකාවට ප්‍රතිවිරුද්ධය” වැනි දේ ය. ඔවුන් විහිලුවට ලක්කරන්නේ කාව ද? එච්. රැප් බ්‍රවුන් වරක් සඳහන් කල පරිදි, “ප්‍රචන්ඩත්වය චෙරි කේක් තරම්ම ඇමරිකානු ය” (හෙවත්, ප්‍රචන්ඩත්වය ඇමෙරිකානු ඉතිහාසය හා සමාජය තුල ගැඹුරට කාවැදී තිබේ-පරි.).
කර්ක්ගේ ඝාතනයට ප්‍රතිචාර දැක්වූ එකදු ඩිමොක්‍රටිකයෙක් වත්, එක්සත් ජනපද ජනාධිපතිවරයා, ප්‍රමුඛ ඩිමොක්‍රටිකයන් ඇතුලු ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි ව ක්‍රමානුකූල ව ප්‍රචන්ඩත්වය ප්‍රවර්ධනය කර ඇති බවට වන අති මූලික කරුන පවා ඉදිරිපත් කිරීමට අසමත් විය. එයට අමතර ව, යන්තම් සතියකට ඉහත දී, ට්‍රම්ප් වෙනිසියුලාවේ වෙරල තීරයට ඔබ්බෙන් නාවික කටයුතු වල නියුතු බෝට්ටුවක පුද්ගලයින් 11 දෙනෙකු ඝාතනය කල අතර, රටේ විශාලත ම නගරවලින් එකක් වන චිකාගෝවට “යුද” තර්ජනයක් කලේ ය. පක්ෂ දෙකේ ම සහාය ඇතිව, දස දහස් ගනනක් මරා දමමින්, ගාසා තීරයේ සිදුවෙමින් පවතින ජන සංහාරය ගැන මෙහි සඳහන් අවශ්‍ය නොවන තරම් ය. සමස්ත පාලක පන්තිය ම ලේ නා ගෙන සිටී.
ඩිමොක්‍රටික් පක්ෂයේ බියගුලුකම සහ අනුග්‍රහය, නිව් යෝර්ක් ටයිම්ස් තීරු ලිපි රචක සහ ඩිමොක්‍රටික් පක්ෂයේ උපදේශක එස්රා ක්ලයින්ගේ ප්‍රතිචාරයෙන් මූර්තිමත් වේ. ක්ලයින්, ට්‍රම්ප්ගේ කතාවේ කේන්ද්‍රීය තේමාව ප්‍රතිරාවය කරමින්, ඝාතනය, දේශපාලන විරුද්ධවාදීන් “අමානුෂිකකරනය” කිරීමේ අනතුර පෙන්නුම් කල බව ප්‍රකාශ කලේය. “මිනිසුන්ව, බලාපොරොත්තු සුන් වූ, විරුද්ධවාදීන්ට වඩා රාක්ෂයන් ලෙස හුවා දක්වන වාචාලකමට භයානක මිලක් තිබේ,” යැයි ඔහු ලිවී ය. “ඔබ වසර ගනනාවක් තිස්සේ මිනිසුන් ෆැසිස්ට්වාදීන් ලෙස හඳුන්වන්නේ නම්, ඔවුන්ගෙන් සමහරු, තමන් ප්‍රචන්ඩත්වයෙන් සටන් කල යුතු යැයි විශ්වාස කිරීමට පටන් ගන්නා විට ඔබ පුදුම විය යුතු නැත.”
කර්ක් සැබවින්ම ෆැසිස්ට්වාදියෙකු බවට එල්ල වූ චෝදනාව මුලුමනින් පාහේ ප්‍රතික්ෂේප කරමින්, ක්ලයින් තවදුරටත් මෙසේ පැවසී ය: “කර්ක් විශ්වාස කල බොහෝ දේ ඔබට අකමැති විය හැකි අතර, පහත ප්‍රකාශය තවමත් සත්‍ය වේ: කර්ක් දේශපාලනය හරියට ම නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක කරමින් සිටියේ ය. ඔහු විශ්ව විද්‍යාලවලට පැමින, තමා සමඟ කතා කරන ඕනෑ ම අයෙකු සමඟ කතා කරමින් සිටියේ ය. ඔහු යුගයේ වඩාත් ම ඵලදායී ඒත්තු ගැන්වීමේ වෘත්තිකයන්ගෙන් කෙනෙකි.” ක්ලයින් 1930 ගනන්වල ලියමින් සිටියේ නම්, හිට්ලර් ගැන ද කියනු ඇත්තේ එය ම ය.
ක්ලයින්ගේ වර්නනාව, බලාත්කාරයට ජය ගත හැකිවා පමනක් නොව, එයට ඒත්තු ගැන්වීමට ද හැකි ය යනුවෙන් ලියොන් ට්‍රොට්ස්කි කල ප්‍රකාශය සිහිපත් කරවයි. අන්ත දක්ෂිනාංශිකයින්ට එරෙහි ව බලමුලු ගැන්වෙනවා වෙනුවට, මාධ්‍ය සහ ඩිමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතය එයට අනුගත වේ. ඩිමොක්‍රටික් පක්ෂය දේශපාලන යථාර්ථයට ප්‍රතිචාර දක්වන බව පවසන අය සිටිති. ඇත්ත වශයෙන් ම, අර්ධ වශයෙන් බියගුලුකමෙන් සහ අර්ධ වශයෙන් ස්වයං-සාධාරනීකරනයෙන්, ඔවුන් ට්‍රම්ප්ගේ සැබෑ බලය සහ එක්සත් ජනපදය තුල සහ ජාත්‍යන්තර ව සමාජ බලවේගවල සම්බන්ධතාව බෙහෙවින් අධිතක්සේරු කරති. බිලියනපතියන් සහ මෙගා-මිලියනපතියන් සමාජයේ ඉතා කුඩා කොටසක් පමනි. ඇමරිකානු සහ ලෝක ජනගහනයෙන් අතිමහත් බහුතරය සැදුම් ලබන්නේ, නිෂ්පාදන බලවේග ක්‍රියාත්මක කරන දැවැන්ත සමාජ බලවේගය වන කම්කරු පන්තියෙනි.
වඩාත් මූලික වශයෙන් ගත්විට, දේශපාලන සංස්ථාපිතය තුල සිටින සියලුම කන්ඩායම්වල ප්‍රතිචාරයට යටින් පවතින්නේ පන්ති අවශ්‍යතාවන් ය. “උමතු වාමාංශිකයින්” පිලිබඳ අන්ත දක්ෂිනාංශිකයින්ගේ මනෝවිකාරමය හෙලාදැකීම්, ඇමරිකානු සමාජය පිලිබඳ ඕනෑම ආකාරයක විවේචනයක් තම ධනයට තර්ජනයක් ලෙස දකින සංගත කතිපයාධිකාරයේ භීතියේ ප්‍රකාශනයකි.
ඩිමොක්‍රටික් පක්ෂය, කර්ක්ට සහ දක්ෂිනාංශිකයින්ට අනුවර්තනය වීම මගින්, එහිම පන්ති ස්වභාවය පිලිබිඹු කරයි. එය නියෝජනය කරන්නේ, වෝල් වීදිය සහ සංගත-මූල්‍ය කතිපයාධිකාරය යි. එහි උත්සුකය වන්නේ, ෆැසිස්ට්වාදයේ අනතුර පිලිබඳව ජනතාව දැනුවත් කිරීම නොව, ධනේශ්වර පාලනයට තර්ජනයක් විය හැකි මහජන විරෝධය නිර්වින්දනය කර, මැඩලීම යි.
කර්ක්ගේ ප්‍රතිගාමී දේශපාලනය පිලිකුල් කරන සමහර තරුනයින් ඔහුගේ මරනය ගැන තෘප්තිය ප්‍රකාශ කර ඇති අතර, අනෙක් අය පසුගිය වසරේ සෞඛ්‍ය සේවා ප්‍රධාන විධායක නිලධාරියෙකුගේ ඝාතනයට ලක් කිරීම ප්‍රශංසා කරති. මෙම මනෝගතිය, ගැඹුරින් ම නොමග ගිය එකකි. හුදකලා ප්‍රචන්ඩ ක්‍රියා මොකක් වත් විසඳන්නේ නැත. ඒවා, මර්දනය අවශ්‍ය බවට වන තර්කය ශක්තිමත් කරමින් ද රාජ්‍ය ශක්තිමත් කරමින් ද අන්ත දක්ෂිනාංශිකයින්ගේ ප්‍රචන්ඩ ක්‍රියාවන් යුක්ති සහගත කිරීමට කොන්දේසි සකසා දෙනවා පමනි.
17 හැවිරිදි හර්ෂල් ග්‍රින්ස්පන්, නාසි ජර්මානු රාජ්‍ය තාන්ත්‍රික අර්නස්ට් වොම් රාත්ට වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු, ට්‍රොට්ස්කි 1939 දී ලියන ලද රචනයක දී පහත කාරනය අවධාරනය කලේ ය: “පීඩිතයන් නිදහස් කල හැකිවන්නේ, හුදකලා පලිගැනීම් වලින් නොව, පන්ති සූරාකෑමේ, ජාතික පීඩනයේ සහ වාර්ගික හිංසනයේ සමස්ත ව්‍යුහයේ කිසිදු ශේෂයක් ඉතිරි නොකර අතුගා දමන මහා විප්ලවවාදී මහජන ව්‍යාපාරයකට පමනි.” ෆැසිස්ට්වාදය පරාජය කිරීම සඳහා, “මුලු ලෝකය පුරාම මිලියන සිය දහස් ගනනින් පීඩිතයන් සක්‍රීය කර, පැරනි සමාජයේ බලකොටුවලට පහර දීමේ දී ඔවුන් මෙහෙයවීම අවශ්‍ය වේ.”
අද එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව කම්කරුවන් සහ තරුනයන් මුහුන දෙන මූලික ප්‍රශ්නය මෙය යි. ෆැසිස්ට්වාදයට එරෙහි අරගලය, පුද්ගලික පලිගැනීමේ ක්‍රමවේදයන් මගින් දියත් කල නොහැකිවාක් මෙන් ම, එය ඩිමොක්‍රටික් පක්ෂයට හෝ පාලක පන්තියේ දේශපාලන සංස්ථාපිතයේ කිසිදු කන්ඩායමකට පවරා දීම කල නොහැක. ඒ සඳහා, සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම් ව, සමාජයේ අතිමහත් බහුතරය වන කම්කරු පන්තිය සවිඥානිකව හා සංවිධානාත්මක ව බලමුලු ගැන්වීම අත්‍යවශ්‍ය ය.