නේපාලයේ අන්තර්වාර අගමැති ලෙස හිටපු අගවිනිසුරුවරියක පත් කෙරේ

[මෙය, Former chief justice appointed as interim prime minister in Nepal  මැයෙන් 2025 සැප්තැම්බර් 14 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

මහජන විරෝධතා මධ්‍යයේ නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි ඉල්ලා අස්වීමෙන් දින තුනකට පසු, සිකුරාදා (12), හිටපු අගවිනිසුරු, 73 හැවිරිදි සුෂිලා කාර්කි නේපාලයේ භාරකාර අගමැති පදවියේ පිහිටුවනු ලැබිනි. ඇගේ අන්තර්වාර ආන්ඩුව, ඇවිල එන මහජන විරෝධතා හමුවේ, මිලිටරියේ සහයෝගය මත රඳා පවතිමින්, දේශපාලන ස්ථාවරත්වයේ රූපාකාරයක් යථා තත්ත්වයට පත් කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇති දක්ෂිනාංශික ධනවාදී පාලානාධිකාරියක් වනු ඇත.

2025 සැප්තැම්බර් 12දා, නේපාලයේ කත්මන්ඩු නුවර ජනාධිපති මන්දිරයේ පැවති උත්සවයක දී, අන්තර්වාර අගමැති ලෙස දිවුරුම් දීමෙන් පසු (දකුනු පසින්) හිටපු ශ්‍රේෂ්ඨාධිකරන අගවිනිසුරු සුෂිලා කාර්කි, නේපාල ජනාධිපති රාම් චන්ද්‍ර පෝඩෙල්ට ආචාර කරයි [AP Photo/Sujan Gurung]

කාර්කිගේ පත් වීමෙන් පසු, ජනාධිපති රාම් චන්ද්‍ර පෝඩෙල් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින්, ලබන වසරේ මාර්තු 5දාට මහ මැතිවරනයක් ප්‍රකාශයට පත් කලේ ය. කාර්කිගේ කැබිනට් මන්ඩලය අමාත්‍යවරුන් 15 දෙනෙකුට සීමා කිරීමට නියමිත මුත්, ඇයට උපරිම වශයෙන් 25 දෙනෙකු දක්වා පත් කල හැකි ය. ඇය, ස්වදේශ කටයුතු, විදේශ කටයුතු සහ ආරක්ෂක ඇතුලු ප්‍රධාන අමාත්‍යාංශ ගනනාවක් අල්ලාගෙන බලය තහවුරු කර ගැනීමට සැලසුම් කරන බව වාර්තා වේ.

ආන්ඩුවේ ප්‍රතිපත්ති සහ දිශානතිය බොහෝ දුරට තීරනය කරනු ඇත්තේ, හමුදා සහ රාජ්‍ය නිලධාරී තන්ත්‍රය විසින් බව පැහැදිලි ය. සෙනසුරාදා (13) සවස, කාර්කි, හමුදා මාන්ඩලික ප්‍රධානී ජෙනරාල් අශෝක් රාජ් සිග්ඩෙල් මෙන්ම ඉහල රාජ්‍ය නිලධාරීන් වන ප්‍රධාන ලේකම් ඒක් නාරායන් ආර්යල්, ස්වදේශ ලේකම් ගෝකර්න මනි දුවාඩි සහ මුදල් ලේකම් ගන්ෂ්‍යාම් උපාධ්‍යායි මුනගැසුනා ය.

කාර්කි පත් කිරීමේ දී හමුදාව මූලික වී ඇති අතර, විරෝධතා මැඩපැවැත්වීම සඳහා සිග්ඩෙල් පසුගිය සතියේ නම් කරන ලද විරෝධතා නායකයින් සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබේ. නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, සාකච්ඡා ඉදිරියට යන අතරතුර, ඇමතිවරුන් සහ දේශපාලන නායකයින් දින ගනනාවක් තිස්සේ හමුදා බැරැක්කවල හුදකලා හිර අඩස්සියේ රඳවා සිට තිබේ.

ව්‍යවස්ථා විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ප්‍රධාන පක්ෂ විරුද්ධ වූ බව ගාඩියන් පුවත්පත වාර්තා කලේය. “දේශපාලන විසඳුමක් සොයාගත නොහැකි වුවහොත් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට හමුදාවට සිදුවනු ඇති බවට හමුදා ප්‍රධානී අශෝක් රාජ් සිග්ඩෙල් අනතුරු ඇඟවීමෙන් පසුව” පමනක්, පක්ෂ නායකයෝ අවසානයේ එකඟ වූහ.

ප්‍රධාන වශයෙන් තරුන තරුනියන් ආකර්ෂනය කර ගන්නා ලද, ඉසෙඩ් පරම්පරාව (Gen Z) ලෙස ලේබල් කරන ලද මෙම විරෝධතා ව්‍යාපාරය දේශපාලනික ව නිශ්චිත දිශාවනතියකින් තොර වූ අතර, එය අභිප්‍රේරනය වූයේ,  අවස්ථාවන් නොමැතිකම, දේශපාලන දූෂිතභාවය සහ ධනවතුන් සහ දුප්පතුන් අතර පවත්නා අතිමහත් සමාජ පරතරය පිලිබඳ කනස්සල්ල සහ කෝපය මගිනි. දේශපාලනඥයන්ගේ පවුල්වල සුඛෝපභෝගී ජීවන රටාවන් හෙලිදරව් කිරීම සඳහා භාවිතා කරන ලද සමාජ මාධ්‍යවලට ආන්ඩුව තහනමක් පැනවීමත් සමග එය පුපුරා ගියේ ය.

කාර්කි සමඟ, අන්තර්වාර අගමැතිධුරය වෙනුවෙන් සාකච්ඡා සඳහා ඉදිරිපත්වූ අනෙකුත් අය අතර, හිටපු රැප් ගායකයෙකු සහ කත්මන්ඩු නගරාධිපති වන, 35 හැවිරිදි බාලෙන් ෂා සහ මධ්‍යම පාන්තික නාගරික තරුනයින්ගේ කලකිරීම් වලින් වාසි ගන්නා හාමි නේපාල් (අපි නේපාලය යි) සංවිධානයේ, 36 හැවිරිදි සුඩාන් ගුරුංග් වැනි ජනප්‍රිය චරිත ඇතුලත් විය. 2022 නගරාධිපති තරඟයේ දී බාලෙන් ෂා, නේපාල කොංග්‍රසයේ සහ නේපාල කොමියුනිස්ට් පක්ෂය-එක්සත් මාක්ස්වාදී ලෙනින්වාදීන් (සීපීඑන්-යූඑම්එල්)ගේ අපේක්ෂකයින් පරාජය කලේ ය. සමාජ මාධ්‍ය හරහා විරෝධතා අවුලුවාලීමේ දී හාමි නේපාල් ප්‍රමුඛ විය.

රාස්ත්‍රිය ස්වතන්ත්‍ර පක්ෂයේ (ආර්එස්පී) ප්‍රමුඛ දේශපාලනඥයන් කිහිප දෙනෙකුගේ නම් ද සලකා බැලූ බව වාර්තා වන අතර, එහි නිර්මාතෘ රබී ලැමිචේන් ද ඒ අතර වේ. 2022 ජුනි මාසයේ දී පිහිටුවන ලද, දූෂන-විරෝධී වේදිකාවක් මත තරුනයින්ට ආයාචනා කිරීමෙන් පාර්ලිමේන්තු ආසන 20 ක් දිනා ගෙන තිබෙන ආර්එස්පී ය, විරෝධතා සඳහා යම් තරමක හෝ සහානුභූතියක් පල කල එක ම පක්ෂයයි.

සැලකිය යුතු කරුනක් නම්, ඉන්දියන් එක්ස්ප්‍රස් වාර්තා කල පරිදි, හමුදා ප්‍රධානී සිග්ඩෙල්, රාජපාක්ෂික දේශපාලනඥයෙකු වන දුර්ගා ප්‍රසායි අන්තර්වාර අගමැති ලෙස ඔසවා තැබීමට උත්සාහ කිරීම යි. 2006 දී මහජන විරෝධතා මගින් බිඳ වැටුනු සහ 2010 දී නිල වශයෙන් අහෝසි කරන ලද නේපාල රාජාන්ඩුව සමඟ හමුදාවට දිගුකාලීන සබඳතා පැවතුනි. විරෝධතා නායකයෝ ප්‍රසායිට විරුද්ධ වූහ. එය පිලිගත් හමුදාව, මේ මොහෙතේදී, කාර්කි පත් කිරීමට එකඟ වී තිබේ.

සමහර ප්‍රදේශ වසා දමා තිබුන ද හමුදාව සෙනසුරාදා (13) සිට සීමාවන් ලිහිල් කිරීමට පටන් ගත් අතර, කත්මන්ඩු නුවර තහනම් නියෝග සහ ඇඳිරි නීතිය ඉවත් කලේ ය. සඳුදා (15) සිට පැවති විරෝධතා අතරතුර අවම වශයෙන් මරන 51 ක් වාර්තා වූ අතර, ඒ අතරට විරෝධතාකරුවන් 21 දෙනෙක්, සිරකරුවන් 9 දෙනෙක්, පොලිස් නිලධාරීන් 3 දෙනෙක් සහ තවත් 18 දෙනෙක් ඇතුලත් වූහ.

ලෝකයේ දුප්පත් ම රටවලින් එකක සමාජ අතෘප්තියට යටින් පවතින කිසිදු ගැටලුවක් අන්තර්වාර ආන්ඩුවෙන් හෝ ලබන වසරේ පවත්වනු ලබන මැතිවරනයෙන් විසඳෙනු නැත. ජනගහනයෙන් අඩකට වඩා—සියයට 56 ක්—වයස අවුරුදු 30 ට අඩු අය වන අතර අපේක්ෂාභංගත්වයට මුහුන දී සිටිති. තරුන විරැකියාව සියයට 20 කට වඩා වැඩි මට්ටමක පවතින අතර, දසලක්ෂ ගනනක් තරුන නේපාල ජාතිකයින්ට රැකියා සඳහා විදේශයන්ට සංක්‍රමනය වීමට බල කෙරී ඇත.

වසර 14ක් තිස්සේ ප්‍රධාන පක්ෂ තුනක්—නේපාල කොංග්‍රසය, සීපීඑන්-යූඑම්එල් සහ බෙදී ගිය (මාඕවාදී) නේපාල කොමියුනිස්ට් පක්ෂය—ආන්ඩු 14ක් ආධිපත්‍යය දරා සිටි නේපාලය, 2008 වසරේ සිට දේශපාලන අස්ථාවරත්වයෙන් ගිලී තිබේ. පසුගිය සතියේ ඉල්ලා අස් වූ සීපීඑන්-යූඑම්එල් හි ෂර්මා ඔලි ගෙවමින් සිටියේ, අගමැති පදවියේ සිව්වන ධුර කාලයයි. 1996 සිට ලේ වැකි කැරැල්ලක් දියත් කල මාඕවාදීහු, 2006 දී දේශපාලන සංස්ථාපිතයේ සැප පුටු සඳහා තම තුවක්කු හුවමාරු කර ගත් අතර, රාජාන්ඩුව බිඳ දැමූ මහජන ව්‍යාපාරය මැඩපැවැත්වීමේ මෙවලම් බවට පත් වූහ.

ගෝලීය ආර්ථික පසුබෑමත්, ට්‍රම්ප් පාලනයේ තීරුබදු පැනවීමත් මගින් දැන් උග්‍ර වෙමින් පවතින රටේ සමාජ අර්බුදයට, මෙම සියලු පක්ෂ වගකිව යුතු ය. කෙසේ වෙතත්, සමාජ අර්බුදයේ මූල හේතුව, නිසැක ව ම පාලක කවයන් තුල බහුල ව දක්නට ලැබෙන දූෂනය නොව, ධනවාදයයි. දූෂනය පැන නගින්නේ, ධනවාදය සඳහා මූලික වන, මහා ව්‍යාපාර, ආන්ඩුව සහ රාජ්‍ය මෙවලම් අතර සම්බන්ධතාවෙනි. ආන්ඩුව සහ රාජ්‍යය සේවය කරන්නේ, “ජනතාවට” නොව, පාර්ලිමේන්තු වහන්තරාව දමා ගෙන සිටින සම්බන්ධයක් වන ධනේශ්වරයේ අවශ්‍යතා වෙනුවෙනි.

වැඩ කරන ජනතාවගේ දුක්ඛිත තත්ත්වය තවත් නරක අතට හරවමින් තිබෙන වෙලඳපොලට හිතකර ප්‍රතිසංස්කරන සඳහා තල්ලුව දීමේ මාධ්‍යයක් ලෙස, මෙම දූෂන-විරෝධී ව්‍යාපාරයට, විශේෂයෙන් නේපාලයේ මධ්‍යම පන්තියේ සහ මහා ව්‍යාපාරිකයන්ගේ සහයෝගය හිමි වේ. ශ්‍රී ලංකාව මෙයට අනතුරු ඇඟවීමේ උදාහරනයක් සපයයි: සංස්ථාපිත පක්ෂවලට එරෙහි විරෝධතා රැල්ල මත නැගී පසුගිය වසරේ මැතිවරනයේ දී ප්‍රථම වරට බලයට පත් වූ වත්මන් ජවිපෙ/ජාජබ ආන්ඩුව උද්ඝෝෂනය කලේ, “දූෂන විරෝධය” සහ ජීවන තත්වයන් වැඩිදියුනු කරන බවට වූ හිස් පොරොන්දු මත ය. බලයට පත් වූ වහා ම තම පොරොන්දු කුනු කූඩයට දැමූ එය, රැකියා කප්පාදු කිරීම, අත්‍යවශ්‍ය සමාජ සේවා කප්පාදුව සහ බදු වැඩි කිරීම යන ගොරතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරමින් සිටී.

ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව සහ චීනය යන රටවල් සියල්ල ම, නේපාලයේ භාරකාර අගමැති ධුරයට පත්වීම පිලිබඳව කර්කිට ප්‍රසිද්ධියේ සුබ පැතී ය. චීනයටත්, ඉන්දියාවටත් මායිම් ව පිහිටි නේපාලය භූ දේශපාලනික එදිරිවාදිකම්වල කේන්ද්‍රස්ථානයක් වී ඇත්තේ, ඉන්දියාවේ සහාය ඇතිව ඇමරිකා එක්සත් ජනපදය ඉන්දු-පැසිෆික් කලාපය පුරා චීනයට එරෙහි යුද සූදානම වේගවත් කර ඇති තතු යටතේ ය.

චීනය සමඟ සබඳතා ශක්තිමත් කර ගෙන සිටි සීපීඑන්-යූඑම්එල් නායකත්වයෙන් යුත් සභාග ආන්ඩුව ඉවත් කර දැමීම, නේපාලය තුල එහි දේශපාලන හා උපායමාර්ගික බලපෑම වැඩි දියුනු කිරීම සඳහා ගසාකෑමට නව දිල්ලිය නිසැක ව ම උත්සාහ කරනු ඇත. මෙම මස මුල දී, අගමැති ලෙස ෂර්මා ඔලි, චීනයේ ටියැන්ජින් හි පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුලුවට සහභාගී වූ, නේපාල නියෝජිත පිරිසකට නායකත්වය දුන්නේ ය.සංචාරය අතරතුර ඔහු, චීන ජනාධිපති ෂී ජින් පිං සහ උප ජනාධිපති හැන් ෂෙන් සමඟ ද්විපාර්ශ්වික රැස්වීම් පැවැත් වීය. දෙවන ලෝක යුද්ධය අවසන් වීමේ 80 වන සංවත්සරය සනිටුහන් කරමින් බීජිං හි පැවත්වුනු අනුස්මරන උත්සවවලට ද ඔලි සහභාගී විය.

කාර්කි අගමැති ධුරයට පත්වීම පිලිබඳව චීනය ද සුබ පැතීය. විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කලේ, දෙරට අතර “චිරකාලීන මිත්‍රත්වයක්” පවතින බවත්, “විවිධ ක්ෂේත්‍රවල හුවමාරු සහ සහයෝගීතාව වැඩි දියුනු කිරීමට සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉදිරියට ගෙන යාමට” චීනය, නේපාලය සමඟ කටයුතු කිරීමට සූදානම් බවත් ය.

භූ-දේශපාලනික කුමන්ත්‍රන, කත්මන්ඩුහි දේශපාලන සංස්ථාපිතය ගිලගෙන ඇති අර්බුදය තවත් සංකීර්න කරනු ඇත.

Loading