ඉදිරිදර්ශන

පෝට්ලන්ඩ් තූල ට්‍රම්ප්ගේ හමුදා යෙදවීම නවත්වනු! ඒකාධිපතිත්වයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගන්වමු!

[මෙය Stop Trump’s military deployment to Portland! Mobilize the working class against dictatorship! යන මැයෙන් 2025 සැප්තැම්බර් 27 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, 2025 සැප්තැම්බර් 25 වන දින, වොෂින්ටනයේ ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී, ෆැසිස්ට්-විරෝධී වැඩකටයුතු වලට එරෙහිව ක්‍රියාත්මකවීම පිලිබඳ, අත්සන් කරන ලද ජනාධිපති සංදේශයක් අතැතිව [AP Photo/Alex Brandon]

බිහිසුනු ප්‍රචන්ඩත්වය භාවිතා කිරීමට අවසර ලබා දෙමින්, ට්‍රම්ප් විසින්, ඔරිගන්හි පෝට්ලන්ඩ් වෙත හමුදා යෙදවීම ඇමරිකානු ජනතාවට එරෙහි සාපරාධී ප්‍රහාරයක් වන අතර එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මකා දමා පොලිස් රාජ්‍යයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් ගනන් බලා කරන ලද කුමන්ත්‍රනයක කොටසකි.

සෙනසුරාදා (27) උදෑසන ට්‍රම්ප් 'ටෲත් සෝෂල්' සමාජ මාධ්‍ය පෝස්ටුවක් පල කලේය: “ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම්ගේ ඉල්ලීම පරිදි, යුද්ධයෙන් විනාශ වූ පෝට්ලන්ඩ් සහ ඇන්ටිෆා (ෆැසිස්ට් විරෝධීන්) හා අනෙකුත් දේශීය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකට ලක්වීමේ අවදානම ඇති අපගේ ඕනෑම අයිසීඊ පහසුකමක් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු භට පිරිස් සපයන ලෙස මම යුද ලේකම් පීට් හෙග්සෙත්ට උපදෙස් දෙමි. අවශ්‍ය නම්, පූර්න බලය යෙදවීමකට ද මම අවසර දෙමි.”

එක්සත් ජනපද ජනාධිපතිවරයා, සිවිල් වැසියන්ට එරෙහිව බිහිසුනු බලය යෙදවීමේ පැහැදිලි නිර්දේශයක් සහිතව, ඇමරිකානු නගරයකට හමුදාව යැවීමට නියෝග කර තිබේ. මෙය ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පොසේ කොමිටේටස් පනත (1878 ෆෙඩරල් නීතියක් වන පොසේ කොමිටේටස් පනත, සාමාන්‍යයෙන් දේශීය නීතිය ක්‍රියාත්මක කිරීමේ අරමුනු සඳහා ෆෙඩරල් හමුදා භාවිතා කිරීම තහනම් කරයි) පෙර නොවූ විරූ ලෙස උල්ලංඝනය කිරීමකි. එය, 'කතා කිරීමේ නිදහස හෝ මාධ්‍ය නිදහස; හෝ සාමකාමීව එක්‍රැස් වීමට ජනතාවට ඇති අයිතිය; සහ දුක්ගැනවිලි සඳහා විසඳුමක් වෙනුවෙන් ආන්ඩුවට පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඇති අයිතිය' සීමා කරන පලමු සංශෝධනයේ අභිලේඛනය කර ඇති අයිතිවාසිකම් ඇතුලුව ජනගහනයේ අහිමි කල නොහැකි අයිතිවාසිකම්වලට එල්ල කරන ලද සෘජු ප්‍රහාරයකි. 'බරපතල අපරාධ සහ අවකල්ක්‍රියාවන්' පිලිබඳ කිසියම් අර්ථ දැක්වීමක් තිබුනේ නම්, මේ එයයි.

සමාජවාදී සමානතා පක්ෂය මීට සතියකට පෙර, සැප්තැම්බර් 19 වන දින පලකල ප්‍රකාශයේ ලියා තිබූ පරිදි, “දිග හැරෙමින් පවතින්නේ මිලිටරිය, පොලීසිය, පැරාමිලිටරි හමුදා සහ ෆැසිස්ට් කල්ලි මත පදනම් වූ ජනාධිපති ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමේ තල්ලුවකට වඩා අඩු දෙයක් බවට වන සියලු ස්වයං-මුලාකාරී අපේක්ෂාවන් පසෙකට දැමිය යුතුය.” මෙම අනතුරු ඇඟවීම දැන් සම්පූර්නයෙන්ම තහවුරු වී තිබේ.

චාලි කර්ක් ඝාතනයෙන් පසු සිදුවූ සියලු සිද්ධීන්, කල්තියා සකස් කරන ලද සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා නිර්මානය කෙරී ඇත. ට්‍රම්ප් සහ, ස්ටීවන් මිලර් සහ ස්ටීව් බැනන් ඇතුලු ඔහුගේ සහචරයින්, පසුගිය සති අන්තයේ පැවැත්වුනු විකාර සහගත ඇරිසෝනා අනුස්මරනය, ෆැසිස්ට්වාදී අවි අතට ගැනීමකට කරන ලද කැඳවුමක් බවට පත් කරමින් සහ කර්ක් දිවිපිදූවෙකු ලෙස නිරූපනය කරමින්, වමට එරෙහිව “යුද්ධයක්” ඉල්ලා සිටියහ.

ජාතික ආරක්ෂක භටකාය සහ ෆෙඩරල් හමුදා ඇමරිකානු නගරවලට යෙදවීම සාධාරනීකරනය කිරීම සඳහා ට්‍රම්ප් විසින් ම කර්ක්ගේ 'අවසන් වචන' යැයි කියනු ලබන දේ භාවිතා කලේය. ට්‍රම්ප් පෝට්ලන්ඩ් වෙත හමුදාව යෙදවීමට නියෝග කරන විට පවා, මෙම සතියේ මෙම්ෆිස් වෙත ජාතික ආරක්ෂක භටයින් යෙදවීමට සූදානම් වෙමින් පවතී. මෙම මස මුලදී ට්‍රම්ප්ගේ 'යුද' තර්ජනය ලද චිකාගෝ ඇතුලු අනෙකුත් නගරවලට ද මෙම හමුදා යෙදවීම සිදුවනු ඇත.

පෝට්ලන්ඩ් වෙත ට්‍රම්ප්ගේ 'යුද' ප්‍රකාශ කිරීම සිදුවූයේ ද, අඟහරුවාදා (23) සිදුවූ වර්ධනයන් දෙකට පූර්වයෙනි. පලමුවැන්න, ලොව පුරා ක්‍රියාකාරී රාජකාරියේ යෙදී සිටින ජෙනරාල්වරුන් සහ අද්මිරාල්වරුන් සිය ගනනකට හමුදා කඳවුරුවලින් ආපසු පැමිනෙන ලෙස කරන ලද නියෝගයක් මත, 'යුද ලේකම්' පීට් හෙග්සෙත් විසින් වොෂින්ටනයෙන් පිටත කැඳවන ලද අසාමාන්‍ය රැස්වීම යි. මෙම රැස්වීමේ අරමුන වන්නේ, හමුදාව මත ට්‍රම්ප් ගේ සෘජු පාලනය තහවුරු කිරීමයි, ට්‍රම්ප් ඇමරිකානු ජනගහනයට එරෙහිව සොල්දාදුවන් යොදවන විට ඔහුට පක්ෂපාතී වන බවට සහතික වන ලෙස එහි නිලධාරීන්ට කියනු ඇත.

දෙවැන්න, තර්ජනාත්මකව ලංවන, අයවැය ඉදිරිපත් කිරීමේ අවසන් දිනය යි. සැප්තැම්බර් 30 වන දින මධ්‍යම රාත්‍රියෙන් එය අවසන් වීමට නියමිත ය. ට්‍රම්ප්, ආන්ඩුව වසා දැමීමක් (රජයක, සමහර හෝ සියලුම මෙහෙයුම් නතර කිරීම - පරිවර්තක) යොදා ගනිමින් ෆෙඩරල් සේවකයින් සමූහ වශයෙන් සේවයෙන් පහ කිරීම සහ ඔහුගේ දිග හැරෙන කුමන්ත්‍රනයට අනුකූලව රාජ්‍යයේ දැවැන්ත ප්‍රතිව්‍යුහකරනයක් පිලිබඳ තම අභිප්‍රාය පැහැදිලිව පෙන්වා තිබේ.

පෝට්ලන්ඩ් නගරය ඉලක්ක කිරීම සිදුවූයේ, සියලුම වාමාංශික විරුද්ධත්වය 'දේශීය ත්‍රස්තවාදය' ලෙස හංවඩු ගසන ලද ට්‍රම්ප් ගේ ලේඛනය සැප්තැම්බර් 25 වන දා, නිකුත් කිරීමෙන් ඉක්බිති ය. පූර්ව විධායක නියෝගයකින් පසුව පැමිනි මෙම ලේඛනය, දැවැන්ත වාමාංශික 'ත්‍රස්ත' ජාලයක් පිලිබඳ ප්‍රබන්ධය ගෙතීම සඳහා කිසිදු සම්බන්ධයක් නැති සිදුවීම් එකට අමුනන අතර, 'ඇමරිකානු-විරෝධය, ධනවාද-විරෝධය සහ ක්‍රිස්තියානි-විරෝධය ඇතුලු ප්‍රචන්ඩ හැසිරීම් පනගන්වන පොදු හුයපට' එම ත්‍රස්ත ජාලය බව ප්‍රකාශ කරයි.

ට්‍රම්ප් ආන්ඩුවේ ස්ථාවරය වනුයේ, ෆැසිස්ට්වාදී දක්ෂිනාංශයට එරෙහි සියලු විරුද්ධත්වයන් සාපරාධී 'දේශීය ත්‍රස්තවාදය' බවයි. මෙම නිර්වචනය, සියලු ආකාරයේ දේශපාලන විරුද්ධත්වයන් නීති විරෝධී කිරීම සඳහා රාමුවක් සැපයීම අරමුනු කරයි. දේශපාලන මර්දනයේ මෙම පුලුල් ජාලයට ඩිමොක්‍රටික් පක්ෂය පවා ඇතුලත් වේ.

පසුගිය මාසයේ ෆොක්ස් නිවුස් හි පෙනී සිටිමින් ධවල මන්දිර නියෝජ්‍ය මාන්ඩලික ප්‍රධානී ස්ටීවන් මිලර් ‌මෙසේ ප්‍රකාශ කලේය: “ඩිමොක්‍රටික් පක්ෂය දේශපාලන පක්ෂයක් නොවේ. එය දේශීය අන්තවාදී සංවිධානයකි.”

බදාදා සීඑන්එන් නාලිකාවේ පැවති රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී, ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයෙම්ගෙන්, දේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඩිමොක්‍රටික් පක්ෂය 'දේශීය අන්තවාදී සංවිධානයක්' ලෙස වර්ගීකරනය කිරීමට සලකා බලන්නේද යන්න කෙලින්ම විමසන ලදී. 'ඔවුන්ගේ අදහස් අන්තවාදී යැයි මම සිතමි' යනුවෙන් පවසමින්, එම ප්‍රශ්නයට පිලිතුරු දීම නොයෙම් ප්‍රතික්ෂේප කලේය. මින් ප්‍රකාශයට පත්වන්නේ, ඩිමොක්‍රටික් පක්ෂය ද මහජන මර්දන ව්‍යාපාරයේ ඉලක්කයක් බවට පත්වීමේ විභවය ඇති බවයි.

'සමස්ත ඩිමොක්‍රටික් පක්ෂයම 'දේශීය අන්තවාදී සංවිධානයක්' ලෙස අපරාධකරනය කල හැකි බවට මිලර් කල යෝජනාව ඇත්ත වශයෙන්ම සාක්ෂාත් කර ගතහොත්, ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය මුලුමනින් පාහේ අවසන් වනු ඇත' යනුවෙන් බ්‍රිතාන්‍ය පුවත්පතක් වන ද ඉන්ඩිපෙන්ඩන්ට් සඳහන් කලේය. කිසිදු ප්‍රධාන ඇමරිකානු පුවත්පතක් මෙම මාතෘකාව පිලිබඳව සාකච්ඡා කර නොමැති අතර, ප්‍රමුඛ පෙලේ එකදු ඩිමොක්‍රටිකයෙකු හෝ තම පක්ෂය නීති විරෝධී කල යුතුද යන්න පිලිබඳව ධවල මන්දිරයේ සාකච්ඡා පවතින බවට අනතුරු අඟවා නොමැත.

ට්‍රම්ප් ක්‍රියා කරන්නේ පුද්ගලයෙකු ලෙස නොව, විදේශයන්හි යුද්ධයෙන් සහ රට තුල මර්දනය හරහා තම ධනය ආරක්ෂා කර ගැනීම සඳහා වාහනයක් ලෙස ඔහු දකින සංගත-මූල්‍ය කතිපයාධිකාරයේ නියෝජිතයෙකු ලෙස ය. පාලක ප්‍රභූව සමාජ වැඩසටහන් වල ඉතිරිපහදු දේට දැවැන්ත ප්‍රහාරයක් සූදානම් කරමින් සිටී. මෙම ප්‍රහාරයේ කේන්ද්‍රීය ඉලක්කය වන්නේ, කතිපයාධිකාරයේ අසික්කිත ධනය සහ බලය ආරක්ෂා කර ගැනීම සඳහා, තම ජීවන තත්වයන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තලා දැමීමට මුහුනදෙන, කම්කරු පන්තිය ම ය.

තම කුමන්ත්‍රනය ක්‍රියාත්මක කරගෙන යාමේදී, ට්‍රම්ප් පරිපාලනය ඩිමොක්‍රටික් පක්ෂයේ බියගුලුකම සහ දුස්සහාය මත විශ්වාසය තබයි.

ට්‍රම්ප් පෝට්ලන්ඩ් වෙත හමුදා යෙදවීමට ප්‍රතිචාර වශයෙන්, ට්‍රම්ප්ගේ ක්‍රියාවන්හි අර්ථභාරය ක්‍රමානුකූලව අවතක්සේරු කිරීම සහ ඔහුගේ ඉදිරියට යන කුමන්ත්‍රනයට දේශපාලන විරුද්ධත්වය බලමුලු ගැන්වීම කඩාකප්පල් කිරීමට උත්සාහ කිරීම අරමුනු කරගත් ප්‍රකාශ ඩිමොක්‍රටික් පක්ෂය නිකුත් කර ඇත. 'මම ඔරිගන් වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, සන්සුන්ව, සුන්දර ශරත් දිනයක් භුක්ති විඳින ලෙසයි,' ඔරිගන් ආන්ඩුකාර ටීනා කොටෙක් ලිවීය. 'මෙසේ බිහිසුනු ලෙස බලය අවභාවිතා කිරීම අතහැර දමා පාලනයේ සැබෑ කාර්යය කෙරෙහි අවධානය යොමු කරන ලෙස' ට්‍රම්ප්ගෙන් අයැද සිටිමින් ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රකාශයක් නිකුත් කලේය.

ජාතික මට්ටමින්, තනි පුද්ගලයින් කිහිප දෙනෙක්, පක්ෂය කිසිවක් සඳහා වග නොකියන බවට කටහැකර ප්‍රකාශ පල කර ඇත. හදිසි දේශපාලන බල මන්ඩල රැස්වීමක් සඳහා හෝ මහජන විරෝධතාවක් සඳහා කිසිදු කැඳවීමක් කර නැතුවා පමනක් නොව, ව්‍යවස්ථා විරෝධී නියෝග ප්‍රතික්ෂේප කිරීමට නීත්‍යානුකූලව බැඳී සිටින බවට හමුදාවට අනතුරු ඇඟවීමක් පවා කර නොමැත.

සෙනෙට් සභාවේ සුලුතර නායක චක් ෂුමර් ට්වීට් පනිවුඩයක් නිකුත් කරමින්, “පෝට්ලන්ඩ්, ‘යුද්ධයෙන් විනාශ වී නැත’. එක්සත් ජනපද හමුදා දේශපාලන සෙල්ලම් බඩු නොවේ. ට්‍රම්ප් රජ කෙනෙකු නොවේ. ඔහුව නැවැත්වීමට ඩිමොක්‍රටික් පක්ෂය කොංග්‍රසය තුල සටන් කරනු ඇත” යනුවෙන් පවසා තිබේ.

සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් ද මෙසේ ලියා පල කලේය, “ජනාධිපතිතු මහත්මයානෙනි: ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවන්න. එක්සත් ජනපද හමුදාවේ කාර්යය වන්නේ පෝට්ලන්ඩ්, ඕරිලන්ඩ් නොව විදේශ සතුරන්ගෙන් අපව ආරක්ෂා කිරීමයි. මේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අපට ප්‍රාදේශීය සහ ප්‍රාන්ත පොලිසිය ඇත, එය කල යුත්තේ ෆෙඩරල් හමුදා විසින් නොවේ. ඇමරිකානුවන්ට එරෙහිව එක්සත් ජනපද හමුදාව යෙදවීම නවත්වන්න.” සැන්ඩර්ස්ගේ ප්‍රකාශය දේශපාලන විහිලුවකි. ප්‍රජාචාර පාඩමකින්, ට්‍රම්ප් ඒකාධිපතිත්වය සඳහා වූ ඔහුගේ ධාවනය අත්හැරීමට පෙලඹවිය හැකි යැයි සිතමින්, ඔහු කුමන්ත්‍රනකරුගෙන් ඔහුගේ කුමන්ත්‍රනය නතර කරන ලෙස ඉල්ලා සිටියි.

ට්‍රම්ප් පාලනය කරන එම බිලියනපති කතිපයාධිකාරීන් ම නියෝජනය කරන ඩිමොක්‍රටික් පක්ෂය, ට්‍රම්ප්ගේ ඒකාධිපතිත්වයට විරුද්ධ වීමට වඩා බිය වන්නේ, ට්‍රම්ප්ට එරෙහි මහජන ව්‍යාපාරයකට ය. සමස්තයක් ලෙස පක්ෂය ඉලක්ක කර ගනිමින්, ට්‍රම්ප් සහ ඔහුගේ ඉහලම ෆැසිස්ට් සහායකයින් එල්ල කරන ලද සෘජු තර්ජන යටතේ පවා ඔවුන් නිහඬව සිටිති.

මෙම ලිපිය ලියන අවස්ථාව වන විට, ඒඑෆ්එල්-සීඅයිඕ වෘත්තීය සමිතිය පවා පෝට්ලන්ඩ් වෙත හමුදා යෙදවීමට ට්‍රම්ප් කල නියෝගයට කිසිදු ප්‍රතිචාරයක් නිකුත් කර නොමැත. එහි සභාපති ලිස් ෂූලර්, ඉදිරියේදී සිදුවිය හැකි ආන්ඩුවේ වසා දැමීමක් පිලිබඳව බ්‍රහස්පතින්දා (25) සිදුකල ප්‍රසිද්ධ ප්‍රකාශය සමග පසුගිය සතියේ වර්ධනයන්ට ප්‍රතිචාර දක්වමින්, “වැඩට බැස”, “දැන්ම ම, ආන්ඩුවේ මිල අධික වසා දැමීමක් වලක්වා ගැනීම සඳහා අරමුදල් සැපයීමේ විසඳුමක් සොයා ගන්නා ලෙස” පරිපාලනයෙන් ඉල්ලා සිටියේය.

සෑම කර්මාන්ත ශාලාවකම, සේවා ස්ථානයකම සහ පාසලකම මෙම හදිසි ප්‍රශ්නය මතු කල යුතුය: ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනය නතර කල හැක්කේ කෙසේද? කොංග්‍රසයෙන්, උසාවිවලින් හෝ සංගත මාධ්‍යවලින් විරුද්ධත්වයක් මතු නොවනු ඇත. ප්‍රතිරෝධයක් මතු වන්නේ නම්, එය, කම්කරු පන්තිය විසින් මෙහෙයවනු ලබන, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වල සියලු සැබෑ ආරක්ෂකයින් බලමුලු ගැන්වීම හරහා පහලින් පැමිනිය යුතුය.

ඓතිහාසිකව, ඒකාධිපතිත්වයේ සහ මර්දනයේ තර්ජනයට මුහුන දුන් විට, කම්කරු පන්තියේ බලවත්ම අවිය වූයේ මහා වැඩ වර්ජනයයි—එනම්, ප්‍රතිගාමී බලවේග අක්‍රිය කර දැමීම සඳහා සංවිධානාත්මකව ශ්‍රමයෙන් ඉවත් වීමයි.

සතියකට පෙර, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙරලා දැමීමේ කුමන්ත්‍රනය දිග හැරෙමින් පවතින බවට අනතුරු අඟවමින් සසප නිකුත් කල ප්‍රකාශයක, “කම්කරු පන්තිය එක්සත් කල හැකි සහ ට්‍රම්ප් තන්ත්‍රයට එරෙහිව එහි දැවැන්ත කාර්මික හා ආර්ථික බලය බලමුලු ගැන්විය හැකි නව ආකාරයක සංවිධානයක් ගොඩනැගීම” සඳහා කැඳවුම් කලේය.

ප්‍රකාශය මෙසේ පැහැදිලි කලේය:

සමාජවාදී සමානතා පක්ෂය විසින් යෝජනා කරන ලද මෙම නව ආකාරයේ සංවිධානය කම්කරු ක්‍රියාකාරී කමිටු වලින් සමන්විත වේ. ට්‍රම්ප්ගේ ආඥාදායකත්වයට ප්‍රතිරෝධය සංවිධානය කිරීම සඳහා ඒවා සෑම කර්මාන්ත ශාලාවකම, සේවා ස්ථානයකම, පාසලකම සහ අසල්වැසි ප්‍රදේශයකම ස්ථාපිත කල යුතුය. මෙම කමිටු, ට්‍රම්ප්ගේ ෆැසිස්ට් ආන්ඩුවට, ඩිමොක්‍රටිකයන් එයට දෙන දුස්සහායට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ ජීවන තත්වයන්ට එල්ල කරන පුලුල් ප්‍රහාරයට එරෙහිව කම්කරු පන්තියේ සියලුම කොටස් (කර්මාන්තය, සැපයුම්, ප්‍රවාහන, අවන්හල් සහ ක්ෂනික ආහාර, සමාජ සේවා, නීතිමය ආරක්ෂාව, අධ්‍යාපනය, කලා සහ සංස්කෘතිය, විනෝදාස්වාදය, වෛද්‍ය විද්‍යාව, සෞඛ්‍ය සේවා, විද්‍යාව, පරිගනක තාක්ෂනය, ක්‍රමලේඛනය සහ අනෙකුත් ඉහල විශේෂිත වෘත්තීන්හි) සහ තරුන ශිෂ්‍යයින් එක්සත් කරන ප්‍රතිරෝධයේ මධ්‍යස්ථාන බවට පත්විය යුතුය.

සංගත සඳහා කාර්මික පොලිසියක් ලෙස ක්‍රියා කරන සහ කම්කරු පන්තියේ සෑම ආකාරයකම ප්‍රතිරෝධයන් අවහිර කිරීමට තම බලය භාවිතා කරන වෘත්තීය සමිති නිලධරයන්ගේ ග්‍රහනය බිඳ දැමීම සඳහා කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අත්‍යවශ්‍ය වේ. මූලෝපාය, ප්‍රතිපත්ති සහ ක්‍රියාවන් පිලිබඳ සියලු කාරනා සම්බන්ධයෙන් කම්කරු පන්තියට ප්‍රජාතන්ත්‍රවාදීව තීරන ගත හැකි වන පරිදි, නිලධාරිවාදී පරපෝෂිතයන්ගේ කාර්යාලවලින්, වැඩපොලේ සහ රැකියා ස්ථානවල කම්කරුවන් වෙත බලය මාරු කල යුතුය.

සියලුම සේවා ස්ථාන පුරා පැතිරෙන මෙම කම්කරු ක්‍රියාකාරී කමිටු, රට පුරා ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව පාදක කර ගත හැකි, සම්බන්ධීකෘත සමාජ බලයේ නව මධ්‍යස්ථාන නිර්මානය කරනු ඇත. ධනේශ්වර කතිපයාධිකාරය විසින් මෙහෙයවනු ලබන සහ පාලනය කරනු ලබන වෛරයට පාත්‍ර වූ ආන්ඩුවට එරෙහි දැවැන්ත සමාජ ව්‍යාපාරයක් තුල, විරුද්ධත්වයේ සියලු විසම කොටස් විශ්වාසයෙන් යුතුව පෙලඹවීමට සහ ඒකාබද්ධ කිරීමට, බලමුලු ගන්වන ලද කම්කරු පන්තියට හැකි වනු ඇත.

සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා කම්කරු පන්තිය බලමුලු ගැන්විය යුතුය. මෙහි තේරුම සමූහ පිටුවහල් කිරීමේ සාපරාධී සහ අමානුෂික ප්‍රතිපත්තියට විරුද්ධ වීම සහ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ජන්ම අයිතිය පිලිබඳ පුරවැසිභාවය පිලිබඳ මූලධර්මය සම්මුති විරහිතව ආරක්ෂා කිරීමයි. පන්ති සවිඥානික කම්කරුවන් කම්කරු පන්තිය බෙදීමට සහ දුර්වල කිරීමට පමනක් සේවය කරන 'ස්වදේශික' සහ 'විදේශීක-උපත' අතර ප්‍රතිගාමී බෙදීම ප්‍රතික්ෂේප කරයි.

ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනයට එරෙහි අරගලය ඉදිරියට ගෙන යා හැක්කේ ධනේශ්වර කතිපයාධිකාරයට සහ සමස්තයක් ලෙස ධනේශ්වර ක්‍රමයට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමෙන් පමනි.

වැඩෙන විරැද්ධත්වය සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලකින් සන්නද්ධ කිරීමට සහ මෙම සටන මෙහෙයවීමට අවශ්‍ය විප්ලවවාදී නායකත්වය ගොඩනැගීමට සමාජවාදී සමානතා පක්ෂය දරන උත්සාහයට සහාය දෙන ලෙසත් එයට එක්වන ලෙසත් අපි කම්කරුවන්, තරුනයින් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කැපවී සිටින සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු.

Loading