“ප්‍රතිව්‍යූහකරනයට විරුද්ධ ව සටන් කරන්න වෘත්තීය සමිති සුදානම් නැහැ, නව සංවිධානයක් අවශ්‍යයයි”:  ලංවිම කම්කරුවෙක්

ලංකා විදුලි බල මන්ඩලය (ලංවිම) ප්‍රතිව්‍යූහකරනයට එරෙහි ව එහි සේවකයන් ගෙනයන අරගලයට අදට මසක් සපිරෙන අතර, ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය ආන්ඩුව, තර්ජන සහ රාජ්‍ය මර්දනය මගින් එය බිඳ දැමීමේ දුෂ්ට ප්‍රයත්නයක, ආරම්භයේ සිට ම යෙදී සිටී.  

“ප්‍රගතිශීලි පරිවර්තනයක්” සඳහා ආන්ඩුව ගෙන යන වැඩපිලිවෙල කඩාකප්පල් කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට තර්ජනය කල ජනාධිපති අනුර කුමාර දිසානායක ලංවිම සේවකයන් ගේ විරෝධතා උද්ඝෝෂනයට එරෙහි ව, සැප්තැම්බර් 21 දා, රුදුරු අත්‍යවශ්‍ය නියෝග පනවමින් එය තහනම් කිරීමට පියවර ගත්තේ ය. පසුදින ලංවිම සභාපති විසින් නැවත දැනුම් දෙන තුරු ලංවිම සේවකයන් ගේ සියලු නිවාඩු අවංගු කෙරුනි.  

අඛන්ඩ වර්ජනයක් ඇතුලු දැඩි වෘත්තීය අරගලවලට එලඹෙන බවට කයිවාරු ගැසූ සමිති  නායකයෝ  ආන්ඩුවේ මෙම තර්ජන  සහ මර්දනය ඉදිරියේ දන ගසා ලංවිම සේවකයන්ගේ අරගලය අඩපන කොට විසුරුවාලීමේ ද්‍රෝහී ප්‍රයත්නයක යෙදී සිටිති.

ප්‍රතිව්‍යූහකරනය  තුල  පරදුවට තැබෙන  තම රැකියා සහ සේවා කොන්දේසි ආරක්ෂා කර ගැනීම සඳහා සටන් කිරීමේ උවමනාවක් සහ අධිෂ්ඨානයක් ලංවිම සේවකයන්ට ඇතත් සමිති නායකයන්  මුල සිට ම  එය  ආන්ඩුවට  බලපෑම් දැමීමේ වඳ විරෝධතා උද්ඝෝෂනයකට කොටු කර තැබූ අතර දැන් එය ජාත්‍යන්තර කම්කරු සංවිධානයට (ජාකස) කන්නලව් කිරීමකට සිඳුවා ඇත.  එහි ශ්‍රී ලංකා නියෝජිත ජොනී  සිම්සන් සහ ශ්‍රී ලංකාවේ කම්කරු කොමසාරිස් ජෙනරාල් සමග සැප්තැම්බර් 25 වෙනි දා පැවති සාකාච්ඡාව “සාධනීය” බව සමිති නායකයෝ සාමාජිකයන්ට පැවසුහ.

සමිති නායකයන් සඳහන් කරන “සාධනීය”  ප්‍රතිචාරය අනුව ජොනි සිම්සන් විසින් විසින්  බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ.ටී. එම් උදයංග හේමපාල වෙත ලිපියක් යවමින්  “සේවකයින් ක්ෂේත්‍රයේ සිදු කරන ලබන ප්‍රතිසංස්කරන වලට විරුද්ධ නොමැති බවත් ... ඒ සම්බන්ධ ව ගන්නා  තීන්දු තීරන  කඩිමුඩියේ සිදු නොකර, නියමිත අධිකරන තීන්දු සහ පනත ප්‍රකාර ව ප්‍රතිසංස්කරන  සිදු කරන” ලෙස  රජයට දැනුම් දී ඇතැයි ලංවිම කාර්මික සංගමයේ සභාපති කෝසල අබේසිංහ ඔහුගේ මුහුනු පොතෙන් සේවකයන්ට දැනුම් දී තිබේ. 

ජාකස ඉල්ලීම පරිදි අදාල ලිපිය පල නොකරන බව ද අබේසිංහ සඳහන් කර ඇත. එනම් එය ලංවිම සේවකයන් දැන නොගත යුතු රහසකි. 

“නිශ්චිත විසඳුමක් ලැබෙන තුරු අකුරට වැඩ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛන්ඩ ව සිදු කරනු ලබන” අතර “ජාකස මැදිහත්වීමට ද රජය පාර්ශවයෙන් යහපත් ප්‍රතිචාර නොදක්වන්නේ නම් තාවකාලික ව අත්හිටුවා ඇති වැඩවර්ජන තීන්දුව පිලිබඳ ව ක්‍රියාමාර්ග ගැනීමට ලංවිම වෘත්තීය සමිතිවලට සිදු වන” බව ද අබේසිංහ සඳහන් කර ඇත. 

සමිති නායකයන් මෙන් ම ජාකස ප්‍රතිව්‍යූහකරනයට විරුද්ධ නැති බව පැහැදිලි ය.  දෙපාර්ශවය ම ඉල්ලා සිටින්නේ එය “නීත්‍යානුකූල ව” සහ “විධිමත් ව” කරන ලෙස සහ එතුල සේවකයන් ගේ අයිතීන් සුරක්ෂිත කිරීමකි. ඒ සම්බන්ධයෙන් සමිති විසින් නව සමාගම් යටතේ රැකියා, වැටුප් හා  සේවා කොන්දේසි පිලිබඳ සහතිකයක් සහ ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන සේවකයන් ට රුපියල් මිලියන 7 ක උපරිම වන්දියක් ඇතුලු ඉල්ලීම් 24 ක් ඉදිරිපත් කර තිබේ. 

ඒවා අසාධාරන සහ කිසිසේත් ඉටුකල නොහැකි ඉල්ලීම් ලෙස ප්‍රතික්ෂේප කර ඇති ආන්ඩුව එහි සැලැස්මට අනුව ප්‍රතිව්‍යූහකරන ක්‍රියාවලිය කරගෙන යයි. ලංවිම දැනට සමාගම් 4 ක ට කඩා ඇති අතර ලබන වසරේ තවත් 2 ක් ඊට එකතු කෙරෙයි. ඉන් පසු ලංවිම ඈවර කෙරෙන බව විදුලිබල අංශ ප්‍රතිසංස්කරන ලේකම් කාර්යාලයේ  අධ්‍යක්ෂ ජනරාල් පුබුදු නිරෝෂන් මෑත  දී අයිටීඑන් රුපවාහිනි නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී සඳහන් කර තිබුනි. 

ලංවිම ප්‍රතිව්‍යූහකරනය හරහා ආන්ඩුව පියවර ගනිමින් සිටින්නේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියමයන් පරිදි ක්‍රියාවට දමන රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනයේ කොටසක් ලෙස ලංවිම පුද්ගලීකරනයටයි. සමිති නායකයෝ එය සේවකයන්ගෙන් මුලුමනින් ම වසන් කරති. සේවකයන් දැනටමත් සමාගම් වලට අනුයුක්ත කර ඇති බවත් ඒ සම්බන්ධ ව කැමැත්ත හෝ අකමැත්ත දෙමසක් තුල ලිඛිත ව දන්වන ලෙසත් එසේ දැනුම් නොදුන්නොත් එය පිලිගත්තා සේ සලකා  ක්‍රියාකරන බවත් දන්වමින් ලංවිම සාමාන්‍යාධිකාරි, සේවකයන් වෙත ලිපි ඒවා ඇත. 

අකමැති අයට  ස්වේච්ඡා  විශ්‍රාම ක්‍රමය යටතේ වන්දි ලබා ගෙන සේවයෙන් ඉවත්වන ලෙස ද එහි වැඩි දුරටත් සඳහන් වේ.  

සමාගම් වලට අනුයුක්ත  කරන සේවකයන් ගේ රැකියා, වැටුප්, සේවා කොන්දේසි ඇතුලු කරුනු ගැන එහි කිසිවක් සඳහන් නොවන බව ද සේවකයෝ පවසති.

ආන්ඩුවේ ප්‍රතිව්‍යූහකරනය සහ වෘත්තීය සමිති නායකයන් ගේ  ක්‍රියාකලාපය කෙරෙහි ලංවිම මෙන් ම, අවශේෂ කම්කරුවන් අතර ද පුලුල් විරුද්ධත්වයක් වර්ධනය වෙමින් ඇත. 

ගාල්ල මහ තැපැල් කාර්යාලයේ කම්කරුවෙකු වන චමින්ද ලංවිම කම්කරුවන්ගේ  අරගලයට සහය පලකරන බව පැවසී ය: 

“තැපැල්  කම්කරුවන්ගේ අරගලයත් ආන්ඩුව මර්දනය කලා. දැන් ලංවිම කම්කරුවන් ඒකට මුහුන දෙනවා. විශාල පීඩනයක් කම්කරුවන් මත යොදනවා. කම්කරුවන්ට විරුද්ධ ව මහජනයා උසිගන්වනවා. ඒක ජය ගන්න නම් කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් අවශ්‍යයි කියන කාරනාවට මම එකඟයි. නමුත් වෘත්තීය සමිති එහෙම අරගලයක් කරන්නේ නැහැ. තැපැල් කම්කරුවන්ගේ අරගලයේ දී වෘත්තීය සමිති අනෙක් කම්කරුවන්ගේ සහයෝගය ගන්න වැඩ කලේ නැහැ. අපි තනි වුනා. ලංවිම සමිති කරන්නෙත් ඒකමයි.”

තම ඡන්දයෙන් බලයට පැමිනි ආන්ඩුව මැතිවරනයේ දී දුන් පොරොන්දු “පැත්තකට දමා ඇති” බව ද  ඔහු පැවසී ය.  

රත්මලාන ලංවිම කාර්යාලයේ සේවකයෙකු පැවසුවේ, ආන්ඩුව විදුලිබල මන්ඩලය තුල ප්‍රගතිශීලි පරිවර්තනයක් කරන බව කී නමුත්, සිදු කෙරෙමින් පවතින්නේ මන්ඩලය සමාගමක් බවට පත්කොට පුද්ගලීකරනය කිරීම බවයි.  

“ආන්ඩුව යන්නේ  පරන (වික්‍රමසිංහ ආන්ඩුවේ) ට්‍රැක් එකේමයි. පහුගිය වසරේ විදුලි බල මන්ඩලයේ උද්ඝෝෂන  පැවතුනා. රන්ජන් ජයලාල් (ජවිපෙට අයත් ලංකා විදුලි සේවක සංගමයේ නායකයා) ඒවා නතර කලේ ජවිපෙ බලයට ආවහ ම  ප්‍රශ්න විසඳනවා කියල. දැන් ඔවුන්ට විශාල බලයක් පාර්ලිමේන්තුව තුල තිබෙනවා. ඔවුන් ඒ  බලය පාවිච්චි කරන්නේ කම්කරුවන්ගේ අයිතීන් මඩින ගමන් ධනපතියන් ට දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න.”

ආන්ඩුව  ප්‍රහාර එල්ල කරන්නේ ලංවිම කම්කරුවන්ට  පමනක් නොවන බවත් කම්කරු පන්තියේ සියලු කොටස්වලට බවත් ඔහු පැවසිය. “මූලික වැටුප වැඩි කලා කියල අතිකාල කැපුවා. ඒ නිසා අතට ලැබෙන මුදලේ වැඩි වීමක් නැහැ. සමිතිවල පාවා දීම ගැන කිව්වහ ම ඊට හොඳම උදාහරනය ලංකා විදුලි සේවක සංගමය. ඔවුන්  අපිව ගොනාට ඇන්දුවා දැන් කම්කරුවෝ වෘත්ති සමිති සම්බන්ධයෙන් ලොකු විශ්වාසයක් නැහැ.”

වෘත්තීය සමිති ජාත්‍යන්තර කම්කරු සංවිධානයට යනවා කියන්නේ “ප්‍රයෝගයක්” බවත්, ඇමෙරිකාව ඇතුලු අධිරාජ්‍යවාදී රටවලට යටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒජන්සියක් වන එම සංවිධානයෙන් කම්කරුවන්ට සෙතක් නොවන බවත් ඔහු පැවසිය. “එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ලෝක සාමය වෙනුවෙන් පෙනී සිටිනව කිව්වට ලෝකයේ යුද්ධ නවත්තන්න පුලුවන් වෙලා නැහැ. පලස්තීනයේ  විශාල ජන ඝාතනයක් සිද්ධ වෙනවා” යැයි ඔහු පැවසී ය.

සමිති නායකයන්ගෙන් ස්වාධීන ව ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමේ අවශ්‍යතාවය ගැන අප වාර්තාකරුවන් පැහැදිලි කල විට එයට එකඟතාවය පල කල ලංවිම කම්කරුවා මෙසේ පැවසී ය: “ඔව් කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කරන්න වෙන ම  සංවිධානයක් ගොඩ නගන්න වෙනවා. වෘත්තීය සමිති කියන්නේ දේශපාලනය අවශ්‍ය නැහැ කියලා. නමුත් ඔබ පැහැදිලි කල විදියට කම්කරු පන්තියට දේශපාලනය අවශ්‍යයි. වෘත්තීය සමිතිවල දේශපාලනයක් තිබෙනවා. ඔවුන් ආන්ඩුවේ වැඩපිලිවෙල වන ජාමූ අරමුදලේ නියෝග වලට  අනුව වැඩකරනවා. කම්කරුවන්ට ඔවුන්ගේ දේශපාලනයක් අවශ්‍යයි.”

සසප සූම් රැස්වීමට සහභාගීවන බවත් එහි දී  ක්‍රියාකාරී කමිටු ගැන  වැඩිදුර  දැන ගැනීමට හැකි වෙතැයි බලාපොරොත්තු වන බවත් ඔහු කීවේ ය.  

ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාවේ සේවකයෙක් මෙසේ පැවසී ය: “ලංවිම සමාගම් හතරකට කඩලා පුද්ගලීකරනය කරන බව ආරංචියි. එතකොට ලයිටි බිල වැඩිවෙයි. සේවකයින්ගේ අයිතීන් නැති වෙන්නත් පුලුවන්. රක්ෂන සංස්ථාවට වෙන්නෙත් ඔය ටික ම තමයි. සංස්ථාවේ කොටස්, කොටස් වෙලඳපොලට  දානවා කියලා ආරංචියි.”

ලංවිම සේවකයන් ගේ අරගලයට එරෙහි ව අත්‍යාවශ්‍ය නියෝග පැනවීම හෙලා දුටු ඔහු එය අනෙකුත් කම්කරුවන්ගේ අරගල මර්දනය කිරීමට ද යොදා ගනු ඇතැයි සඳහන් කලේ ය.  

යාපනය, වියාවිල් හින්දු විද්‍යාලයේ ක්‍රීඩා ගුරුවරයෙකු වන කේ. අන්බඇරසන් මෙසේ පැවසීය: 

“විදුලිය අපිට අත්‍යවශ්‍ය සේවයක්. කුඩා අවධියේ  අපට තිබුනේ කුප්පි ලාම්පු. නමුත් දැන් ආයේ ඒ අවධියට යන්න බැහැ.  විදුලි අංශය පෞද්ගලීකරනය කිරීමෙන් හැම දෙනා ම පීඩාවට පත් වෙනවා. අනිවාර්යෙන් ම මේ අරගලය හැමෝගෙම අරගලයක්.”

“ලංවිම  සමාගම්වලට කඩන්නේ පෞද්ගලීකරනයට නෙවෙයි  දූෂනය නතර කරන්න යැයි කියන බොරුව අපට පිලිගන්න බැහැ” යයි කරෙයිනගර් හි උප තැපැල් ස්ථානාධිපතිවරයෙක් පැවසී ය. “තැපැල් සේවය ලාභදායී අංශයක් කරනවාය කියන එක තුල ඇත්තට ම වෙන්නේ මොකක්ද කියන එක අපි අත්දැකලා තියෙනවා. අපේ වැඩ වේගවත් කරමින් අපිට පීඩනය යොදනවා ආදායම් වැඩි කරලා පෙන්වන්න කියලා. නමුත් අපිට ඩීඑච්එල් වැනි ජාත්‍යන්තර බෙදා හැරීම් සංගත එක්ක තරඟ කරන්න අවශ්‍ය පහසුකම් සහ සම්පත් නැහැ.”

ආදායම් නැති බවට තැපැල් කම්කරුවන්ට දෝෂාරෝපනය කරමින්, ප්‍රතිව්‍යූහකරනය විසඳුම ලෙස පිලිගන්නා ලෙස ආන්ඩුව බල කරන බව ඔහු පැවසී ය. “අපේ වර්ජනවල දී අනෙකුත් සමිති අපිට සහය දෙන්නේ නැහැ කියලා, උප තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය සමිති පසුගිය තැපැල් වර්ජනයට සහය දුන්නේ නැහැ.  ඒක වැරදියි. ප්‍රතිව්‍යූහකරනය හැමෝටම  බලපාන ප්‍රශ්නයක් නිසා කම්කරුවන් ඒකාබද්ධ ව සටන් කල යුතුයි” ඔහු කීවේ ය.

ලංවිම අරගලයට තමා ද  සහභාගී වූ බව මාතර ලංවිම කාර්යාලයේ සේවිකාවක වන පංචනී පැවසුවාය. “නමුත් වෘත්තීය සමිතිවල  වැඩපිලිවෙලට මම කොහොමත් එකඟ නැහැ. මම මුල ඉඳල ම රන්ජන් ජයලාල්ගේ සමිතියට  විරුද්ධයි.  සමිති මේ අරගලය කැඳවලා තියෙන්නේ ඔක්කොම දේවල් සිද්ධ වුනාට පස්සේ. සාමාජිකයන් සමග කිසිම සාකච්ඡාවක් කලේ නැහැ. සාමාජිකයන් ට අදහස් දක්වන්න කිසිම අවස්ථාවක් දුන්නෙ නෑ.” 

වෘත්තීය  සමිති විදිහට කරනුයේ සාමාජිකයන්ගෙන් මුදල් කපා ගැනීම පමනක් බවත්, “ඒ නිසා  මුදල් කපන්න එපා කියලා සමිතියට ලිපියක් දුන්” බවත් ඇය පැවසුවාය. “වෘත්තිය සමිති  අකුරට වැඩ කරාට ඇත්තට ම කිසි ම වෙනසක් නැහැ. වෙනද කරන වැඩ සියල්ලම සාමාන්‍ය විදිහට කෙරෙනවා. කම්කරුවෝ  ඇත්තට ම අරගලයට ආවෙ ඔවුන්ගේ  කැමැත්තෙන්. ඒත් වෘත්තිය සමිති අරගලය සංවිධානය කලේ නැහැ” යැයි ඇය සඳහන් කලා ය.

“මම එකඟයි ඔය සහෝදරවරු ඉදිරිපත් කරන වැඩපිලිවෙලට. අනිවාර්යෙන්ම සූම්  රැස්වීමට සහභාගී වෙනවා” යැයි ඇය පැවසුවාය  

Loading