විදුලිබල කම්කරුවන් ආරක්ෂා කිරීමට සසප ගෙනයන උද්ඝෝෂනයට විශ්වවිද්‍යාල සමිති නායකයා එරෙහි වෙයි

ලංකා විදුලිබල මන්ඩලය (ලංවිම) ප්‍රතිව්‍යුහකරනය හරහා, තම රැකියා, වැටුප් සහ ජීවන තත්ත්වයන්ට එල්ල කෙරෙන ප්‍රහාරයට එරෙහි ව, 20,000 කට අධික ලංවිම සේවකයෝ සැප්තැම්බර් 04 දා සිට අකුරට වැඩ කිරීමේ උද්ඝෝෂනයක නිරත වී සිටිති. ලංවිම පලමු ව රාජ්‍ය සමාගම් හතරකට කඩා දෙවනු ව පුද්ගලීකරනය කිරීම ආන්ඩුවේ සැලසුමයි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා කම්කරු ක්‍රියාකාරී කමිටු සාමුහිකය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල යටතේ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව ක්‍රියාවට දමන ප්‍රතිව්‍යුහකරනයෙන් ලංවිම සේවකයන් ආරක්ෂා කිරීමට අවශේෂ කම්කරුවන්ගේ සහාය ගොනු කරන ලෙස ඉල්ලමින් අරගලයක යෙදී සිටියි. 

ලංවිම සේවක උද්ඝෝෂනයට ජවිපෙ/ජාජබ ආන්ඩුව දක්වා ඇත්තේ විසකුරු ප්‍රතිචාරයකි. එකී සමාගම් වලට අන්තර්ග්‍රහනය වීමට අකමැති සේවකයන්ට රැකියාවෙන් අස් ව යන ලෙස තර්ජනය කල ආන්ඩුව, සැප්තැම්බර් 21 දා සිට ලංවිම “අත්‍යවශ්‍ය සේවාවක්” බවට පත් කොට ඇත්තේ, සටන්කාමී කම්කරුවන් සිරගත කිරීමේ ද එල්ලය ඇති ව ය. 

ගෙවී ගිය මාසයක කාලය තුල ලංවිම කම්කරුවන් ද අත් දකින්නේ, ධනපති ජවිපෙ/ජාජබ ආන්ඩුවට පීඩනය යොදා, තම අයිතීන් ආරක්ෂා කර ගත හැකි වෙතැයි යන මිථ්‍යාව මත, වෘත්තීය සමිති ගෙන යන වැඩකටයුතු වල ආන්තික බංකොලොත්භාවය යි. වෘත්තීය සමිතිවල මෙම බංකොලොත් වැඩපිලිවෙලට විපරීත ව, සමාජවාදී සමානතා පක්ෂය (සසප) එක දිගට කියා සිටියේ, ලංවිම කම්කරුවන්ගේ සටන, ජාමූඅ හි සමස්ත කප්පාදු වැඩපිලිවෙලට එරෙහි දේශපාලන සටනක් ලෙස වර්ධනය කිරීමෙන් තොර ව කිසිසේත් ජයගත නොහැකි බවයි. 

මෙම දේශපාලන සටනට ඉදිරිදර්ශනයක් සහ ක්‍රියාමාර්ගයක් සම්පාදනය කරනු වස්, සසප සහ ශ්‍රී ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය, ඔක්තෝබර් 04 සෙනසුරාදා හවස 7.00 ට, “ලංවිම ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිවනු! ලංවිම සේවකයින්ගේ අරගලය ආරක්ෂා කරනු!” යන මැයෙන් අන්තර්ජාල රැස්වීමක් කැඳවා ඇත. 

රැස්වීම ගොඩනැගීමේ කොටසක් ලෙස, එයට සහභාගි වීමේ වැදගත්කම පැහැදිලි කෙරෙන කෙටි වීඩියෝවක් (ලින්ක්: ) නිකුත් කල සසප, කම්කරු පන්තියේ විවිධ කන්ඩායම් පවත්වා ගෙන යනු ලබන අන්තර්ජාල සමාජ මාධ්‍ය කව අතර එය පලකරමින් රැස්වීමට පුලුල් ප්‍රචාරයක් ලබා දීමට කටයුතු කලේ ය. 

සසප රැස්වීම ප්‍රචාරය කිරීමට නිර්මානය කෙරුනු කෙටි වීඩියෝව

ඒ අනුව, සසප සාමාජිකයෙකු සහ මොරටුව විශ්වවිද්‍යාලයේ අනධ්‍යන සේවකයෙකු වන දේහින් වසන්ත, “රාජ්‍ය විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක සමූහය” නමින්, විශ්වවිද්‍යාල අනධ්‍යන කම්කරුවන් අතර ක්‍රියාත්මක වන මුහුනු පොත් පිටුවක එම වීඩියෝව පල කරන ලෙස ඉල්ලා සිටියේ ය.

එම මුහුනුපොත් පිටුවේ පරිපාලක (Admin), විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක සමිතියක හිටපු නායකයෙකු වන රෝහිත හේරත් නමැත්තා, සසප වීඩියෝව පලකොට ඊට යටින් මෙසේ සටහන් කලේය: 

“උඹල සේවකයෝ අරගල වලට කැඳවල මොනව කරන්නද, රාජ්‍ය ආයතනවල උඹලගෙ ලියාපදිංචි වෘත්තීය සංගම් තියනවද බං. මමත් වසර 25 මොරටුවෙ (විශ්වවිද්‍යාලයෙ) හිටිය ඔය පක්ෂෙ සාමාජිකයෙක්ට උඹ විතරයි දැක්කෙ පස්ස කසාගන්න නියපොත්තක් නැතිව උබල මොනව කරන්නද? ඔය Zoom වලට ඇවිත් අපේ කාලය නාස්තිකරගන්න අපිට මොලේ අමාරුවක් නෑ බං.”

“රාජ්‍ය විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක සමූහය” නමින්, විශ්වවිද්‍යාල අනධ්‍යන කම්කරුවන් අතර ක්‍රියාත්මක වන මුහුනුපොත් පිටුවේ පරිපාලක (Admin), විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක සමිතියක හිටපු නායකයෙකු වන රෝහිත හේරත් නමැත්තා

හිටපු, විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීය සමිති නායකයෙකු වන හේරත්, ඇට්ටකුනා වූ වෘත්තීය සමිතිවාදියෙකි. විවිධ ආන්ඩු යටතේ එල්ල වන ධනපති ප්‍රහාරයන්ට එරෙහි ව සටන් කරනු වස්, සමාජවාදී පිලිවෙත් මත පාදක වූ කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට සසප ගෙනයන සටනට තම ජීවිතය පුරා විරුද්ධ වූවෙකි. ඔහු මෙම වීඩියෝව පල කලේ, සසපට අවලාද නගා කම්කරුවන් නොමග යැවීමට බව ඉතා පැහැදිලි ය.

හේරත්ගේ කුප්‍රකට ඉතිහාසය දන්නා දේහින් වසන්ත, එම පිටුවේ ම සටහනක් තබමින් ඔහුගෙන් මෙසේ විමසී ය: 

“විදුලි බල සේවකයාට එල්ල කරන ප්‍රහාරයට ඔබ එකඟ ද? ලියාපදිංචි වෘත්තීය සමිති රොත්ත විදුලි බල කම්කරුවන් ආරක්ෂා කිරීමට කිසියම් පියවරක් ගෙන ඇද්ද?”

ඔහු මෙසේ පිලිතුරු දුනි: 

“ප්‍රහාර වලට විරුද්ධයි. නමුත් එයට විරෝධය පාන්න තරම් උඹල ශක්තිමත් නෑ. මුලින් ශක්තිමත් වෙයන්. පසු ව අරගල වලට මිනිස්සු තල්ලු කරපන්. 10 දෙනෙක් එකතු කරගන්න බැරි බංකොලොත් කන්ඩායමක් විදුලි සේවකයන් ඇමට දමන්න හදන එකට විරුද්ධයි, එච්චරයි.” ඒ සමග ම, “මෙතෙක් කම්කරුවන්ට උඹල අරන් දුන්නු එක දෙයක් කියනව ද” යනුවෙන් ඔහු විමසා තිබේ. 

හේරත් ගේ මෙම කෙටි සටහන් කීපය තුල, සමස්ත වෘත්තීය සමිති නිලධරයේ ධනපති ගැති ප්‍රතිගාමීත්වයේ සාරය කැටි වී ඇත. හේ යුඇන්පීය ඇතුලු ධනපති පක්ෂවල කැරකෙමින් සිටි පුද්ගලයෙකි. දැන් ජවිපෙ/ජාජබ ආන්ඩුව පිටුපස පෙල ගැසීම පුදුමයක් නොවේ. 

පලමු කොට ම, නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය මත පාදක වූ ධනපති ක්‍රමයට පිටින් පවත්නා සමාජ ක්‍රමයක් හෝ ධනපති ක්‍රමයට ඓන්ද්‍රීය ව බැඳී පවත්නා වෘත්තීය සමිති හැර කම්කරුවන්ගේ වෙනත් සංවිධාන රූපයක් වෙතැයි, හේරත් ඇතුලු මෙම සමිති නිලධරයට කිසිවිටෙකත් නොසිතේ. බොහෝවිට එය අමනෝඥකම ඉක්මවා යන දැනුවත් වංචාවකි.

ධනපති ක්‍රමය යනු මානව සමාජයේ ඓතිහාසික පරිනාමයේ, එක් සුවිශේෂී නිෂ්පාදන සබඳතාවකි. එය සදාකාලික නොවේ. මාක්ස් පැවසූ පරිදි, කිසියම් ඓතිහාසික නිෂ්පාදන සබඳතාවක්, එහි ආරම්භයේ දී නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනයට ගාමකය සැපයුව ද, යම් අවස්ථාවක දී, එම නිෂ්පාදන සබඳතාව නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනයට එරෙහි විලංගු ලෙස ක්‍රියාත්මක වේ. එවිට එම විලංගු ඉවත් කොට, නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනය විසින් ඉල්ලා සිටින නව නිෂ්පාදන සබඳතා ගොඩනැගිය යුතු වේ. එසේ නොමැති වුවහොත්, ප්‍රතිගාමීත්වය සමස්ත සමාජය තුල රජයනු ඇත.

ධනපති ක්‍රමය, අද දින, ගෝලීයකෘත සහ සමාජකෘත නිෂ්පාදනයක් දක්වා වර්ධනය වී ඇති නමුත්, එය මුල්බැස ඇති ජාතික රාජ්‍ය පද්ධතිය සහ නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනයට එරෙහි විලංගු බවට පත් ව ඇත.

පෙර නොවූ විරූ විරැකියාව, දැවැන්ත සමාජ අසමානතාව, සමාජ සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන් වලට එල්ල කෙරෙන ගෝලීය පරිමාන ප්‍රහාරය සහ අධිරාජ්‍යවාදී යුද්ධ ඇතුලත් සකලවිධ ප්‍රතිගාමිත්වය වනාහි, මෙතෙක් එම විලංගු ඉවත් කිරීමට නොහැකි වීමේ ප්‍රතිඵලය යි. 

සැබැවින් ම, මෙම විලංගු ඉවත් කිරීම යනු, ජාතික රාජ්‍ය පද්ධතිය සහ නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය අහෝසි කර, නිෂ්පාදන මාධ්‍යයන් කම්කරු පංති පාලනය යටතේ ජනසතු කොට, ලාභය වෙනුවට මානව අවශ්‍යතා සපුරාලන පරිදි සමස්ත ගෝලීය ආර්ථිකය ප්‍රතිසංවිධානය කර ගැනීමයි. මේ වනාහි ජාත්‍යන්තර සමාජවාදය යි.

අනෙක් අතට, හේරත් වැනි වෘත්තීය සමිතිවාදීන්ට වෘත්තීය සමිති යනු, කම්කරු පංතියේ සදාකාලික සටන් උපකරනයකි. මෙය අභූතයකි.

ජාතික ආර්ථිකයන් පැවති කාලය තුල, කිසියම් රටක ජාතික ආදායමෙන් කම්කරු පංතියට ලැබෙන පංගුව වැඩි කර ගැනීමේ උපකරනය වූ වෘත්තීය සමිති, ආර්ථිකය ගෝලීයකරනය වූ තතු යටතේ ඓතිහාසික ව අවලංගු වී ඇතිවා පමනක් නොව, එය කම්කරු පංතියට එරෙහි, ධනපති පංතියේ උපකරනයක් බවට පත් ව ඇත. හේරත් ද ඇතුලු, ලොව පුරා වෘත්තීය සමිති නිලධරයන්ගේ නිරන්තර පාවා දීම් පිටුපස පවතින්නේ, වෘත්තීය සමිතිවල මෙම ඓතිහාසික පරිවර්තනය යි.  

හේරත්ට අනුව, සසප මෙම යල්පිනූ ප්‍රතිගාමී උපකරන තැනිය යුතු ය. ඒවා ධනපති නීතියට අනුව ලියාපදිංචි කල යුතුය. කවරනම් අමනකමක් ද? ප්‍රතිගාමීත්වයක් ද?  

ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත කම්කරු පංතිය ස්වාධීන ව බලමුලු ගැන්වීමට සසප ගෙන යන සටනට හේරත්ගේ පරම සතුරුභාවය ප්‍රකාශ වූ පලමු අවස්ථාව මෙය නොවේ. 

2018 අප්‍රේල් 10 වැනිදා කොලඹ කොටුව දුම්රිය ස්ථානයේ පැවති විරෝධතාවයකට සහභාගි වූ විශ්වවිද්‍යාල අනධ්‍යන කම්කරුවන් අතර උද්ඝෝෂනයේ යෙදී සිටි සසප සාමාජිකයන්ට එරෙහි ව කඩා වැදුනු ඔහු ඇතුලු සමිති නිලධරයේ මැර කන්ඩායමක්, සසප සාමාජිකයන් අත තිබූ පත්‍රිකා උදුරා ගෙන ඔවුනට කායිකව පහර දුන්හ.

සසප සාමාජිකයන් බෙදාහරිමින් සිටියේ, “විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වැඩ වර්ජනය හයවෙනි සතියට පිවිසෙයි: අරගලය ඉදිරියට ගෙනයාම සඳහා ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නගනු” යන හිසින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල වූ ලිපියේ පිටපත්‍ ය.

හේරත් මොරටුව විශ්ව විද්‍යාල භූමියේ පැවති රැස්වීම්වලදී ද, වසන්තට කායික ව පහරදීම සඳහා කිහිප වරක් උත්සාහ දරා ඇත. මීට අමතරව 2018 මාර්තු 27 වන දා නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංග පීඨයේ පැවැති අනධ්‍යන සේවක විරෝධතාව වාර්තා කිරීමට ගිය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවෙකුට අඩන්තේට්ටම් කොට බලහත්කාරී ලෙස පිටමන් කිරීමට කටයුතු කලේ ය. 

හේරත්ගේ ප්‍රතිගාමී වාර්තාව එසේ ය. ඔහු අනධ්‍යන සේවකයෙකි. එහෙත් ධනපති පක්ෂ, ධනපති ආන්ඩුවල ඇමතියන් හා විශ්ව විද්‍යාල පාලකයන් සමග ගැවසී ධනපති අදහස් ම ලේ නහර වලට කාවැදී ඇති ඔහුට, මේ යුගයේ විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තියට ධනපති ක්‍රමය පෙරලා දමා සමාජවාදී ක්‍රමයක් ස්ථාපිත කල හැකියයි හිතා ගැනීමටවත් නොහැක. 

සසප යෝජනා කරන්නේ, හේරත් වැනි ධනපති ගැති සමිති නිලධරයන් වැද්දා නොගන්නා, කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කම්ටු ගොඩනැගීමටයි. මෙම කමිටු තුල, ඉල්ලීම් නිර්නය කෙරෙන්නේ සහ එම ඉල්ලීම් සඳහා සටන් ක්‍රියාමාර්ග තීන්දු කෙරෙන්නේ, සමිති නිලධරයන් මෙන් කම්කරුවන්ට හොර රහසේ වැසුනු කාමර තුල නොව, එම කමිටු තුල කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡා මගිනි. 

සටනේ නියුතු ලංවිම කම්කරුවන් රැස්වීමට කැඳවමින් සසප එම වැඩපිලිවෙල ඉදිරිපත්කර ඇත්තේ මෙසේ ය:

“විදුලි සේවකයින් කෙතරම් සටන්කාමී බවක් පෙන්නුම් කර ඇතත්, එය පමනක් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ප්‍රමානවත් වන්නේ නැත. අයිඑම්එෆ්හි කුරිරු කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීමෙන් ජීවිත විනාශභාග කෙරී ඇති අනෙකුත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සමාගම්වල ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් සමඟ ඔවුහු එක්සත් විය යුතුය.

“වෘත්තීය සමිති නිලධරයන්ගේ පාවාදීම් ප්‍රතික්ෂේප කරමින් අරගලය තම අතට ගැනීම සඳහා තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනඟන ලෙස සසප කම්කරුවන්ට කැඳවුම් කර තිබේ.

'එසේම, අයිඑම්එෆ් කප්පාදුව පරාජය කිරීම සඳහා, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සටන් කිරීමේ අවශ්‍යතාව අපි පැහැදිලි කර ඇත්තෙමු.

කම්කරු පංතියේ විප්ලවවාදී ශක්තිය ගැන කවර හෝ විශ්වාසයක් නැති හේරත් වැන්නවුන්ගේ මෙවන් මැදිහත්වීම් හෙලා දකිමින් සහ ඒවාට එරෙහි වෙමින්, 04 වන දා පැවැත් වෙන, සසප අන්තර්ජාල රැස්වීමට සහභාගි වී මෙම වැඩපිලිවෙල සාකච්ඡා කිරීමට එක්වන ලෙස, ලංවිම මෙන්ම, විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් ඇතුලු සියලු කම්කරුවන්ගෙන් සහ තරුනයන්ගෙන් අපි ඉල්ලා සිටිමු. 

Loading