ජාතික සහ ජාත්‍යන්තර සිනමා උලෙල හි දී විවිධ සම්මානයන්ට පාත්‍ර වූ, මාලක දේවප්‍රියගේ ප්‍රථම වෘතාන්ත සිනමා නිර්මානය වූ “බහුචිතවාදියා” (The Undecided), ධනපති ක්‍රමයේ ඓතිහාසික පරිහානිය සහ ඉදිරිදර්ශන අර්බුදය, මිනිස් සබඳතා කෙරෙහි නිශේධනීයව බල පා ඇති අයුරු චිත්‍රනය කිරීමට දැරූ අව්‍යාජ ප්‍රයත්නයකි.
දේවප්‍රියගේ චිත්‍රපටය දිග හැරෙනුයේ, සසිත වන්නිගම (කලන ගුනසේකර) නම් තරුනයෙකු කේන්ද්‍ර කරගත් සිද්ධි දාමයක් වටා ය. අන්තර් ජාලය හරහා ලැබෙන ඇනවුම් මත භාන්ඩ බෙදා හරින “ගිෆ්ට්නෙට්” නම් වූ ආයතනයක සේවයේ නියුතු ඔහුට පැවරී ඇති කාර්යය, යතුරුපැදියෙන් අදාල ස්ථානයන්ට ගොස් එම භාන්ඩ භාර දීමයි. පැරනි කම්කරු පංතික පක්ෂයක සාමාජිකයෙකු වූ ආයතන හිමිකරු විජේ වික්‍රමසිංහ (ලක්ෂ්මන් මෙන්ඩිස්), ඔහුගේ ශ්‍රමය උපරිම ලෙස සූරාකයි.
ශ්‍රී ලංකාව වැනි අඩු දියුනු රටවල බොහෝ තරුන-තරුනියන් මෙන්, සසිත ද, තමා මුහුනදෙන දුෂ්කර කොන්දේසි ජය ගැනීමේ එකම විකල්පය ලෙස යුරෝපයට සංක්‍රමනය වීම දැක ගන්නා අතර, ඒ සඳහා විවිධ ප්‍රයත්නයන් හි නිරත වෙයි. ඔහුගේ පෙම්වතිය වන කාංචනා (ගීතා අලහකෝන්) ද එම සිහිනය දකින්නියකි.
ගෙයින් ගෙට ගොස් භාන්ඩ භාර දීමේ දී හමුවන, තරුන විය ඉක්ම වූ මධ්‍යම පංතික තනිකඩ කාන්තාවක වන අයිරාංගනී (වීනා ජයකොඩි) සමග ද, සැමියා යුරෝපයේ රැකියාවක නිරත ව සිටිය දී තම දියනිය සමග ශ්‍රී ලංකාවේ ජීවත්වන තරුන කාන්තාවක වන කුමාරි (සමනලී ෆොන්සේකා) සමග ද, සසිත කායික සබඳතා ගොඩනගා ගනී. ජර්මනියේ වෙසෙන අයිරාංගනීගේ සොහොයුරාගේ හෝ බ්‍රිතාන්‍යයේ වෙසෙන කුමාරිගේ සැමියාගේ උදවුවෙන් කෙසේ හෝ යුරෝපයට සංක්‍රමනය වීම ඔහුගේ අභිප්‍රායයි.
මේ අතර අන්තර්ජාල සමාජ මාධ්‍ය තුලින් හමුවන, මැද-පෙරදිග රැකියාවන් හි නියුතු, කාන්ති (දමිතා අබේරත්න) සහ නිර්මලා (සුලෝචනා විතානආරච්චි) යන දෙදෙනාට ම විවාපත් කර ගන්නා බවට පොරොන්දු දෙන සසිත, ඔවුන්ගෙන් ත්‍යාග සහ මුල්‍යමය ඵලප්‍රයෝජන ලබා ගනී.
විවාහය දෙකඩ වූ තම රැකියා විරහිත මිතුරාගේ (රාජිත හේවාතන්ත්‍රි) බිරියට වරින්වර මුදල් උපකාර කරන සසිත, ඇය සමග ද සබඳතාවක පැටලේ. සසිත, තමා විවාහ කරගනු ඇතැයි ඇය අපේක්ෂා කරන නමුදු ඔහුට එවන් අරමුනක් නොමැත.
අවසානයේ දී ඔහුගේ එම සියලු සබඳතා පුපුරා යයි; රැකියාව ද අහිමි වෙයි. අන්තර්ජාලය තුලින් ම හමුවන තරුනියක සමග ආරම්භ වන නව සම්බන්ධයකින් චිත්‍රපටය නිමා වේ.
ධනපති ක්‍රමයේ ඓතිහාසික අර්බුදයෙන් ජනනය කෙරී ඇති, දැවැන්ත විරැකියාව, අඩු වැටුප් මට්ටම්, රැකියාවන් හි අනාරක්ෂිතභාවය, කම්කරු පංතියේ, විශේෂයෙන්ම තරුනයන්ගේ ජීවිත වලට අත්කර දී ඇති ඛේදනීය ඉරනම කෙරෙහි දේවප්‍රියගේ සංවේදීතාව මෙන්ම, එම තරුන-තරුනියන් කෙරෙහි ඔහුගේ සානුකම්පිකභාවය චිත්‍රපටය පුරා ප්‍රකට වේ.
දේවප්‍රියගේ චිත්‍රපටයෙන් වඩාත් ප්‍රබලව ඉස්මතු වනුයේ, මානව සබඳතාවන් හි ආන්තික පරිහානිය සහ සමාජමය මංමුලාව යි.
ගිෆ්ට්නෙට් හිමිකරු විජේට සසිත යනු හුදු ලාභ උත්පාදන මාර්ගයකි. අවසානයේදී සසිත තම හිඟ වැටුප් ඉල්ලා සිටි විට, විජේ ඔහු රැකියාවෙන් පලවා හරිනුයේ, හිඟ වැටුප් කිසිවක් ලබා නොදෙමිනි. අනෙක් අතට සසිතට, ඔහු ඇසුරු කරන සියලු ස්ත්‍රීන් හුදු කායික සන්තර්පනය ලබා ගැනීමේ හෝ තම යුරෝපා සිහිනය සැබෑකර ගැනීමේ මාධ්‍යයන් පමනි. එමෙන්ම, අයිරාංගනීට සහ කුමාරිට, සසික යනු තම හුදෙකලාව ජය ගැනීමේ සහ ලිංගික ආශාවන් සංසිඳුවා ගැනීමේ මාධ්‍යයකි.
යුරෝපයට සංක්‍රමනය වීම සඳහා ඇගේ සැමියාගෙන් උදවු ලබා දෙන ලෙස, සසිත කුමාරිට කන්නලව් කරයි. ඇගේ පිලිතුර මෙසේ ය: “අපේ පවුලත් කඩන්නද හදන්නෙ”. ඇයට අවශ්‍ය වනුයේ, තම පවුල ද රැක ගෙන සසිතගෙන් තම අවශ්‍යතා සපුරා ගැනීමයි. අයිරාංගනීගේ ප්‍රතිචාරය ද එබඳු ය. සසිත ගෙන්වා ගන්නා ලෙස තම සොහොයුරාගෙන් විමසූ විට “එයා හිනාවුනා” යැයි ඇය සරල ව පවසන්නී ය.
කාන්ති, මීට පෙර විවාහයකින් බැට කා ඇති තැනැත්තියකි. එක්තරා වංචනිකයෙකු, තමා විවාහකයෙකු බව වසන්කොට ඇය සමග ද විවාහ වී ඇති අතර, මැදපෙරදිග වසර ගනනාවක් කඹුරා ඇය උපයාගත් සියලු ධනය චාටුවෙන් අත්පත් කරගත් ඔහු පලා ගොස් ඇත. අන්තර්ජාලය හරහා චාටුබස් දොඩන සසිතට, දුරකථන ආදී තෑගිබෝග ලබා දී සබඳතාව ශක්තිමත් කර ගැනීමටත්, එමගින් කෙසේ හෝ ඔහු විවාහකර ගැනීමටත්, කාන්ති යත්න දරයි.
පරාර්ථය, සහානුභූතිය, සමානාත්මතාවය සහ සහෝදරත්වය ඇතුලු මිනිස් සාරධර්ම සමාජයෙන් පලා ගොස් ඇති බවත්, ආත්මාර්ථයේ, වංචනිකත්වයේ සහ කුහකත්වයේ සම්මිශ්‍රනයකින් සමස්ත සමාජය වෙලී ඇති බවත්, දේවප්‍රිය තම නිර්මානය තුලින් ප්‍රේක්ෂකයාට ගැඹුරින් ම දනවයි.
අධ්‍යක්ෂවරයා, තම චිත්‍රපටයෙන් ප්‍රක්ෂේපනය කෙරෙන මෙම චිත්‍රය සමාජයීය වශයෙන් මුලුමනින්ම සත්‍ය ය. මානව සබඳතාවන්, දේවල් අතර සබඳතාවන් බවට ඌනනයවීම ධනපති ක්‍රමයේ නෛසර්ගික අංග ලක්ෂනයක් වන අතර, ධනවාදය ඓතිහාසික ව පරිහානිගත වී ඇති මෙම යුගයේ එම ලක්ෂනය වඩාත් නරුම රූපාකාරයන් අත්කරගෙන ඇත.
ධනවාදයේ ඓතිහාසික අර්බුදයෙන් ජනිත කෙරී ඇති සමාජ ව්‍යසනය ජයගනුවස්, කම්කරුවන්ට, තරුනයන්ට සහ අවශේෂ පීඩිත කොටස් වලට, නායකත්වය සහ ඉදිරිදර්ශනය සම්පාදනය කරන මහජන විප්ලවවාදී ව්‍යාපාරයක් නොමැති තතු යටතේ, මෙම සමාජමය මංමුලාව තවදුරටත් වර්ධනය වෙමින් පවතී.
අප ජීවත්වන මෙම යුගයේ අඳුරු ස්වභාවය චිත්‍රපටය පුරා සිත් කා වදින අයුරින් රඳවා ගැනීමට දේවප්‍රිය සමත් වේ. මේ සඳහා ඔහුගේ කැමරාකරු චින්තක සෝමකීර්තිගෙන් ලැබී ඇති දායකත්වය විශිෂ්ටය.
චිත්‍රපටයේ ආරම්භක දර්ශන පෙලෙහි, කොලඹ නගරය සිසාරා වේගයෙන් දුවන කැමරාවේ කාචය යොමුවනුයේ, නගරය තුල අපිලිවෙලට ඉදි කෙරුනු ගොඩනැගිලිවල ඉහල මාලයන් කෙරෙහි ය. ප්‍රේක්ෂකයාට සියල්ල දිස්වනුයේ බොඳ වූ ස්වරූපයකිනි.
පසුබිමෙන් යතුරු පැදියක කඨෝර හඬ ඇසේ. සසිත කොලඹ නගරයේ වීදි ඔස්සේ තම යතුරුපැදිය පදිමින් සිටින බව ප්‍රේක්ෂකයා හඟී. සසිත ඇතුලු කම්කරු පංතික කොටස්වල මෙන්ම, ඉහල මාලයන්හි ජීවත්වන මධ්‍යම පංතික කොටස්වල බොඳ වූ, නැතහොත් ව්‍යාකූල වූ ජීවිත කෙරෙහි දෑස් යොමු කිරීමට, දේවප්‍රිය ප්‍රේක්ෂකයා සූදානම් කරන්නේ එලෙසිනි.
සසිතගේ සියලු දුර්ගුනයන් තිබිය දී, ඔහුගේ එම පුද්ගල ස්වභාවය පරිහානිගත ධනපති ක්‍රමයේ නිර්මිතයක් බව ඒත්තු ගන්වමින්, ප්‍රේක්ෂකයා තුල ඔහු කෙරෙහි සානුකම්පිකභාවයක් ජනනය කිරීමට අධ්‍යක්ෂවරයා සමත් වෙයි.
තට්ටු ගොඩනැගිල්ලක මුදුනේ අහසට නිරාවරනය වූ විසල් වපසරියක, අර්ථ විරහිත වචන හඬ තලමින්, සසිත කරන විකාරරූපී චලනයන් අඩංගු දර්ශනය, ආර්ථික වශයෙන් යහපත් ජීවිතයක් පිලිබඳ තම අපේක්ෂාවන් සාක්ෂාත් නොවීම හේතුවෙන් ඔහුගේ චිත්ත අභ්‍යන්තරයේ වැඩී ඇති දැඩි ආතතිය, ප්‍රේක්ෂකයාට ගැඹුරින්ම දනවයි.
යුරෝපයට සංක්‍රමනයවීමේ සසිත ගේ සමස්ත ව්‍යායාමය තුලින්, දේශසීමා වලින් ලෝකය බෙදා ඇති ධනපති ජාතික රාජ්‍ය පද්ධතිය, තමා කැමති රටක ජීවත්වීම සඳහා ඕනෑ ම කෙනෙකුට ඇති අයිතියට එරෙහි ව පිහිටා සිටින අයුරු ද චිත්‍රපටයෙන් ප්‍රකාශයට පත් වේ.
“ගිෆ්ට් නෙට්” හි හිමිකරු විජේ සහ සසිත අතර සම්බන්ධය තුලින් දේවප්‍රිය ප්‍රේක්ෂකයා නව මානයකට රැගෙන යයි.
ලංකා සමසමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුලු පැරනි කම්කරු පක්ෂවල ද්‍රෝහී පාවාදීම් වලින් ද, ස්ටැලින්වාදී නිලධාරි තන්ත්‍රය විසින් සෝවියට් සංගමය බිඳ විසුරුවා ධනපති ක්‍රමය පුනස්ථාපනය කිරීමෙන් ද, අසාරදර්ශනයට පත් වූ සහ අවමංගත වූ එම පක්ෂවල සාමාජිකයෝ බොහොමයක් ක්‍රමානුකූලව ධනපති ක්‍රමයට අනුගත වූහ. “ගිෆ්ට් නෙට්” හි හිමිකරු විජේ එවැන්නෙකි.
සුලු ව්‍යාපාරයක් වන “ගිෆ්ට් නෙට්” හි භාන්ඩ බෙදා හැරීමට යොදවා ඇත්තේ සසිත පමනක් වන අතර, ඔහුගේ ශ්‍රමය සූරාකෑම වඩ වඩාත් තීව්‍ර කරනු වස් විජේ මෙසේ පවසයි: “වෙලඳ න්‍යායට අනුව බැලුවොත්, මේක පාඩු ලබන ආයතනයක්. තමුසෙ තමයි අපට ඉන්න එකම බෙදා හරින්නා. තමුසෙ හරියට වැඩ කලොත් විතරයි අපි හැමෝටම ගොඩ එන්න පුලුවන්.”
සසිත තමාට හිමි හිඟ වැටුප් ඉල්ලූ අස්ථාවක එය තවදුරටත් කල් දමනු වස් විජේ මෙසේ පවසයි: “කාටද පුතා ප්‍රශ්න නැත්තෙ. ප්‍රශ්න තුලින් තමයි ප්‍රශ්න ජය ගන්න ඕනෙ කියල වී.අයි.ලෙනිනුත් කියල තියෙනවා.” සමාජවාදය හැර පියා ගිය විජේ වැන්නවුන්, තම අවශ්‍යතා වෙනුවෙන් ලෙනින් පවා දුස්පරිහරනය කරන අයුරු අධ්‍යක්ෂවරයා උත්ප්‍රාසාත්මක ව ප්‍රතිනිර්මානය කරයි.
“බහුචිතවාදියා” හි වැදගත් ඓතිහාසික සමාන්තරයක් ද පවතී.
රුසියානු ලේඛක මිඛායිල් ලෙර්මෙන්තොව් ගේ “අපේ කාලයේ වීරයෙක්” (1840) නවකතාව කියවා ඇති ප්‍රේක්ෂකයෙකුට, “බහුචිතවාදියා” සහ එය අතර ඉතා සමීප සාම්‍යයන් පවතින බව පසක් වනු ඇත. “අපේ කාලයේ වීරයෙක්” හි කේන්ද්‍රීය චරිතය වන පෙචෝරින් සහ “බහුචිතවාදියා” හි සසිත, ඓතිහාසික යුග දෙකක් සහ එකිනෙකට වෙනස් සමාජ පංතීන් දෙකක් නියෝජනය කල ද, දෙදෙනාම ඔවුනගේ කාලයේ පැවති නිශේධනීය සමාජ ගති ලක්ෂන සහ සමාජ ව්‍යාධීන් නියෝජනය කරයි.
ශ්‍රේෂ්ඨ රුසියානු කලා විචාරක විසේරියන් බෙලින්ස්කි ට අනුව, “අපේ කාලයේ වීරයෙක්” හි පෙචොරින්, වංශාධිපතියන්ගේ නාස්ති වූ පරම්පරාවක නියෝජිතයෙකි. එම පරම්පරාව “දක්ෂතාවයෙන් හා ශක්තියෙන් පිරිපුන්” වුව ද, අර්ථවත් ඉදිරි මාර්ගයක් සම්පාදනය නොකල සමාජයක සිර වී සිටි බවත්, පෙචොරින්ගේ චරිතයේ පවත්නා නිශේධනීය ගති ලක්ෂන එහි නිර්මිතයක් බවත්, බෙලින්ස්කි කියා සිටී.
ඔහු මෙසේ පවසයි:
“ලෙර්මෙන්තොව්ගේ කෘතිය පෙචොරින්ට සමාව අයැදීමක් නොවේ. එය අපේ සමාජයේ හිස්බව, මුලු පරම්පරාවක ම ව්‍යාධිය පිලිබඳ කටුක, ගැඹුරු සහ සැබෑ හෙලිදරව්වකි.
“පෙචොරින් යනු තනි පුද්ගලයෙකු නොවේ, ව්‍යතිරේකයකි; ඔහු එක් මිනිසෙකුගේ ප්‍රතිමූර්තියක් නොවේ: ඔහු අපගේ මුලු පරම්පරාවේම අගතීන්ගෙන් සමන්විත ප්‍රතිමූර්තියකි.”
“කතුවරයා පෙචොරින්ව හෙලා දකින්නේ හෝ ඔහුට සමාව දෙන්නේ හෝ නැත. ඔහු ඔහුටම කතා කිරීමට ඉඩ දෙයි. නමුත් අවධානයෙන් සිටින පාඨකයාට මෙම චිත්‍රය පිටුපස අපගේ කාලය පිලිබඳ ඛේදජනක සත්‍යයක් දැක ගැනීමට හැකිවනු ඇත - විශ්වාසයෙන් තොර, උද්‍යෝගයෙන් තොර, අනාගතයක් නොමැති පරම්පරාවක්.'
පෙචොරින් සම්බන්ධයෙන් බෙලින්ස්කි ගේ ඉහත සැඳහුම්, සසිත සම්බන්ධයෙන් ද වලංගු ය.
සසිත ගේ භූමිකාවේ යෙදෙන කලන ගුනසේකර, ඉහත සමාජ ව්‍යාධීන් නිරූපනය කරමින් ඉදිරිපත් කරන රංගනය සුවිශිෂ්ට ය. ඔහුගේ දෙනෙත් දීප්තියෙන් තොර ය, මලානික ය. මුහුනේ ඉරියව්වල කවර හෝ ප්‍රකාශනයක් නොමැත, වියලි ය. ස්ත්‍රීන් සමග ඔහුගේ හැසිරීමේ දී පවා ප්‍රේමයේ උනුසුම් ප්‍රහර්ෂයක් නොමැත; සීතල ය. සසිත ගේ චරිතයේ පවත්නා මෙම පුද්ගල ස්වභාවය, චිත්‍රපටය පුරා රැක ගැනීමට ඔහු සමත් වේ.
ලක්ෂ්මන් මෙන්ඩිස්, දමිතා අබේරත්න, වීනා ජයකොඩි සහ නිල්මිනි බුවනෙක වැනි ප්‍රවීනයන්ගෙන් මෙන් ම, නවකයන්ගෙන් ද රංගනයේ උපරිම ඵල නෙලා ගැනීමට දේවප්‍රිය සමත් ව ඇත.
සුසංවාදී ජීවිතයක් සඳහා දුෂ්කර ආයාසයක යෙදෙන අසංඛ්‍ය ස්ත්‍රීන්ගේ සහ පුරුෂයන්ගේ, අපේක්ෂා භංගත්වය, මංමුලාව සහ ආධ්‍යාත්මික පරිහානිය දේවප්‍රිය තම චිත්‍රපටයෙන්, කලාත්මක ව චිත්‍රනය කරමින්, මෙවන් පරිහානිගත සමාජ ක්‍රමයක් තවදුරටත් නොපැවතිය යුතු ය යන හැඟීම ප්‍රේක්ෂකයා තුල ජනනය කරයි.
සමාජ ජීවිතයෙහි මෙම පරිහානිය අහම්බයක් නොවේ. එය සමස්තයක් ලෙස සමාජයේ දිරාපත්වීම සමඟ සහ සියල්ලටත් වඩා ශ්‍රේෂ්ඨ ඉදිරිදර්ශනයක් නොමැතිකම සමඟ බැඳී ඇත. මහජනතාව තවදුරටත් ඉදිරි මාවතක් නොදකින විට, සවිඥානික ප්‍රගතිශීලී ව්‍යාපාරයක් නොමැති විට, සමාජ ජීවිතය එකතැන පල්වෙයි; නැතහොත් කුනු වෙයි.
කෙසේ නමුත්, දේවප්‍රියගේ චිත්‍රපටය නිර්මානය කිරීමෙන් දෙවසරකට පසු, එනම් 2020 න් ඇරැඹි දශකය තුල, අධිරාජ්‍යවාදී යුද්ධයට ද, සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන්ට ද එරෙහි ව, ලොවපුරා මිලියන සංඛ්‍යාත කම්කරු-පීඩිත මහජනතාවෝ අඛන්ඩ ව අරගලයට ඇදෙමින් සිටිති. මෙම අරගල ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත ඒකාග්‍රකොට මෙහෙයවීම දවසේ න්‍යායපත්‍රයට පැමින ඇත.