1929 දී ලියන ලද ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ 10 වැනි පරිච්ඡේදයේ සිංහල පරිවර්තනය ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙසේ පල කරනු ලැබේ. මෙහි ඉංග්‍රීසි පරිවර්තනය මෙ තැනින් කියවිය හැකි ය.
අප විසින් මෙය පල කෙරෙනු ලැබෙන්නේ සමාජවාදී සමානතා පක්ෂයේ 2025 ජාත්‍යන්තර ගිම්හාන පාසලට ක්‍රිස්ටොෆ් වැන්ඩ්‍රියර් සිදු කල දේශනයට අතිරේක කියවීමක් හැටියටයි. මෙම දේශන මාලාවේ කොටසක් වශයෙන් ආරක්ෂාව සහ හතර වැනි ජාත්‍යන්තරය විමර්ශනයට අදාල වන්නා වූ ලියොන් ට්‍රොට්ස්කිගේ ප්‍රමුඛ ලියවිලි සහ හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලේඛන යලි පල කෙරෙනු ඇත.
මූලික ප්‍රස්තුත
1. පන්ති සටනේ හා න්‍යායික අරගලයේ විකාශනය තුලින්, නො නවතින විප්ලවයේ න්‍යාය පිලිබඳ ප්‍රශ්නය මුලුමනින්මත් තීරනාත්මකවත් රුසියානු මාක්ස්වාදීන්ගේ අතීත මතභේදයන් පිලිබඳ මතක සටහන්වල මට්ටමෙන් ඔබ්බට නැංවී පලල් වසයෙන් ජාත්‍යන්තර විප්ලවයේ ස්වරූපය, අභ්‍යන්තර සම්බන්ධතාවයන් හා විධික්‍රමය පිලිබඳ ප්‍රශ්නයක් බවට පෙරලී ඇති නිසා, එය කෙරේ සෑම මාක්ස්වාදියෙක් ම සිය අවධානය යොමු කරවිය යුතු ව තිබේ.
2. පමා වී සිදුවන ධනේශ්වර වර්ධනයෙන් යුතු රටවල් සම්බන්ධයෙන්, විශේෂයෙන් විජිත හා අර්ධ විජිත රටවල් සම්බන්ධයෙන් නො නවතින විප්ලව න්‍යාය ඉස්මතු කරන කරුන වන්නේ, එම රටවල ප්‍රජාතන්ත්‍රවාදය හා ජාතික විමුක්තිය දිනා ගැනීමේ කර්තව්‍යයන්ට පරිපූර්න වූත්, අව්‍යාජ වූත් විසඳුමක් ඇති විය හැක්කේ යටත් වූ ජාතියේ නායකයා වසයෙන් - අන් සියල්ලට ම වැඩියෙන් ගොවි ජනතාවගේ නායකයා වසයෙන් - නිර්ධන පන්තිය පිහිටු වන ඒකාධිපතිත්වය තුලින් ම පමනකි යන්නයි.
3. කෘෂිකාර්මික ප්‍රශ්නය විසින් පමනක් නොව ජාතික ප්‍රශ්නය විසින් ද පසුගාමී රටවල ජනගහනයෙන් අතිමහත් බහුතරය වන ගොවි ජනතාවට, ප්‍රජාතන්ත්‍රීය විප්ලවය තුල, අසමසම ස්ථානයක් පිරිනමනු ලැබේ. කම්කරු පන්තිය ගොවි ජනතාවත් සමග ඇති කර ගන්නා සන්ධානයකින් තොර ව ප්‍රජාතන්ත්‍රීය විප්ලවයේ කර්තව්‍යයන් ඉටු කිරීම තබා බැරෑරුම් ලෙස ඉස්මතු කිරීම වත් කල නො හැකි ය. එනමුත් ජාතික-ලිබරල් ධනේශ්වරයේ බලපෑමට විරුද්ධ ව, සමහන් කල නො හැකි අරගලයක් තුලින් හැර, වෙන කිසි ම විදියකින් මෙම පන්ති දෙක අතර සන්ධානය ගොඩ නැගිය නො හැකි ය.
4. එක් එක් රටෙහි විප්ලවයේ ප්‍රථම අතුරු අවධීන් කුමක් වුවත්, කම්කරු පන්තිය හා ගොවි ජනතාව අතර විප්ලවීය සන්ධාන සාක්ෂාත් කිරීම කල්පනය කල හැක්කේ, කොමියුනිස්ට් පක්ෂය තුල සංවිධානය වූ කම්කරු පන්තික පෙරටු බලඇනියේ දේශපාලනික නායකත්වය යටතේ පමනක් ම ය. අනෙක් අතට මින් අදහස් වන්නේ, ගොවි ජනතාව සමග සන්ධානය මත පදනම් වූ, එසේ ම, සියල්ලට ම පලමු ව ප්‍රජාතන්ත්‍රීය විප්ලවයේ කර්තව්‍යයන් ඉටු කරන්නා වූ, කම්කරු පන්ති ඒකාධිපතිත්වය තුලින් පමනක් ම ප්‍රජාතන්ත්‍රීය විප්ලවය ජයග්‍රහනය කිරීම ගැන සිතිය හැකි වන බව යි.
5. ඓතිහාසික වසයෙන් තක්සේරු කිරීමේ දී, බෝල්ශේවික්වාදයේ පැරනි සටන් පාඨය වූ ‘කම්කරු පන්තියේ හා ගොවි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය ඒකාධිපතිත්වය’ තුලින් ප්‍රකාශිත වූයේ හරියට ම, කම්කරු පන්තිය, ගොවි ජනතාව හා ලිබරල් ධනේශ්වරය අතර වන ඉහත සංලක්ෂනය කරන ලද සම්බන්ධතාවයයි. ඔක්තෝබරයේ අත්දැකීම් මගින් මෙය තහවුරු කෙරී ඇත. එහෙත් විප්ලවවාදී පෙරමුන ඇතුලත කම්කරු පන්තිය හා ගොවි ජනතාවන් අතර වන අන්‍යොන්‍ය සම්බන්ධතාවන් කෙබඳු වේ ද යන ගැටලුව ලෙනින්ගේ පැරනි සූත්‍රය විසින් කල් තබා ම සමථයකට පත් කොට නො තිබුනි. වෙනත් ලෙසකින් කීවොත්, ඓතිහාසික අත්දැකීමේ ක්‍රියාදාමය තුලින් වඩාත් නිවැරදි ගනිතමය ප්‍රමානාත්මකයන් ලැබ පරිපූර්න විය යුතු එක්තරා වීජ ගනිතමය ගුනයක් මෙම සූත්‍රය හිතාමතා ම දරා සිටියේ ය. කෙසේ නමුත්, කිසිදු වැරදි අර්ථ නිරූපනයකට ඉඩ නො තබන අන්දමේ තත්වයන් යටතේ ලැබූ ඓතිහාසික අත්දැකීම් විසින් පෙන්වා දෙනු ලැබුනේ, ගොවි ජනතාවගේ විප්ලවවාදී කාර්ය භාරය මොන තරම් විශාල වූවත් ඊට ස්වාධීන කාර්ය භාරයක් වනු නො හැකි බව යි. නායකත්වයක් දෙන කාර්ය භාරයක් වීමට නම් එතරම් වත් නො හැකි බව යි. ගොවියා එක්කෝ කම්කරුවා, නැතහොත් ධනපතියා අනුගමනය කරයි. මෙයින් අදහස් වන්නේ ‘කම්කරු පන්තියේ හා ගොවි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය ඒකාධිපතිත්වය’ යන්න සංකල්පනය කල හැක්කේ ගොවි ජනතාව තමන්ගේ (කම්කරු පන්තියේ) පසු පසට ගෙන මෙහෙයවන කම්කරු පන්ති ඒකාධිපතිත්වයක් හැටියට පමනක් බව යි.
6. පන්ති අන්තර්ගතයෙන් කම්කරු පන්ති ඒකාධිපතිත්වයට වෙනස් වූ පාලන ක්‍රමයක් හැටියට කම්කරු පන්තියේ හා ගොවි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය ඒකාධිපතිත්වයක් ඇති කල හැකි වන්නේ ගොවි ජනතාවගේ උවමනාවන් හා පොදුවේ සුලු ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ උවමනාවන් ප්‍රකාශිත කරන ස්වාධීන විප්ලවවාදී පක්ෂයක් - එනම්, කම්කරු පන්තියේ උපකාරය ඒ හෝ මේ ප්‍රමානයට ලැබ, බලය අල්ලා ගැනීමෙහි සමත්, එසේ ම එහි විප්ලවවාදී ක්‍රියාමාර්ගය තීන්දු කිරීමෙහි සමත් පක්ෂයක් - ගොඩ නැගීමෙහි හැකියාව ඇති නම් පමනි. මුලු නූතන ඉතිහාසය, විශේෂයෙන් පසු ගිය විසි පස් වසර තුල රුසියානු අත්දැකීම සහතික කරන අයුරු, ගොවිජන පක්ෂයක් ගොඩ නැගීමේ මාවතෙහි දී මතු වන ජය ගත නො හැකි බාධකය වන්නේ සුලු ධනේශ්වරයේ පවතින අර්ථික හා දේශපාලනික ස්වාධීනත්වයෙන් තොර බවත් එහි ඇති ගැඹුරු අභ්‍යන්තර විභේදනයත් ය. මෙම කාරනාව හේතු කොට ගෙන සුලු ධනේශ්වරයේ (ගොවි ජනතාවගේ) ඉහල කොටස්, සියලු ම තීරනාත්මක අවස්ථාවන්හි දී, විශේෂයෙන් ම යුද්ධයේ දී හා විප්ලවයේ දී, මහ ධනේශ්වරය හා එක් ව ගමන් ගන්නේ ය. පහල කොටස් කම්කරු පන්තිය හා එක් ව ගමන් ගන්නේ ය. මේ අනුව අතරමැද කොටසට මේ අන්ත දෙක අතරින් එකක් තෝරා ගැනීමට බල කෙරෙන්නේ ය. කෙරෙන්ස්කිවාදය හා බෝල්ශේවික් බලයට ද ක්වොමින්ටෑනය හා කම්කරු පන්ති ඒකාධිපතිත්වයට ද අතර පවතින වෙන යම් අතරමැදි අවධියක් ඇත්තේ නැත. තිබිය හැක්කේ ද නැත. එනම්, කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ප්‍රජාතන්ත්‍රීය ඒකාධිපතිත්වයක් තිබිය හැක්කේ නැත.
7. ඉතිහාසය විසින් කලකට පෙර දී හා අවසාන වශයෙන් ක්ෂය කොට දැමුනු කම්කරු පන්තියේ හා ගොවි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය ඒකාධිපතිත්වය යන සටන් පාඨය, පෙරදිග රටවල් මත වැපිරීමට කොමින්ටර්නය (කොමියුනිස්ට් ජාත්‍යන්තරය) දරන ප්‍රයත්නයෙන් ඇති විය හැක්කේ ප්‍රතිගාමී ප්‍රතිඵලයක් පමනක් ම ය. මෙම සටන් පාඨය කම්කරු පන්තියේ ඒකාධිපතිත්වය යන සටන් පාඨයට ප්‍රතිවිරුද්ධව මතු කරන තාක් දුරට, දේශපාලනිකව හේතු කාරක වන්නේ කම්කරු පන්තිය සුලු ධනේශ්වර ජන කොටස් තුල දිය කර දැමීමටත් ඒ අනුව ජාතික ධනේශ්වරයට නායකත්වයට පත්වීමට ඉතා ම මහෝපකාරී වන තත්වයක් මතු කර දීමටත් සහ එහි ප්‍රතිඵල වසයෙන් ප්‍රජාතන්ත්‍රීය විප්ලවයේ කඩා බිඳ වැටීමටත් ය. කොමින්ටර්නයේ ක්‍රියා මාර්ගයට මේ සටන් පාඨය ඇතුලු කිරීම මාක්ස්වාදයත් බෝල්ශේවික්වාදයේ ඔක්තෝබර සම්ප්‍රදායත් කෙලින් ම පාවා දීමකි.
8. ප්‍රජාතන්ත්‍රීය විප්ලවයේ නායකයා හැටියට බලයට පත් වන කම්කරු පන්ති ඒකාධිපතිත්වය, නො වැලැක්විය හැකි ලෙසත් ඉතා ඉක්මනිනුත්, ධනේශ්වර දේපොල අයිතීන් තුලට ගැඹුරු ලෙස කපා ගෙන යාම හා සම්බන්ධිත ව සපුරාලිය යුතු වන කර්තව්‍යයන්ට මුහුන දෙයි. ප්‍රජාතන්ත්‍රීය විප්ලවය කෙලින් ම සමාජවාදී විප්ලවය කරා වැඩෙයි. ඒ අනුව එය නොනවතින විප්ලවයක් වෙයි.
9. කම්කරු පන්තිය බලය අල්ලා ගැනීම, විප්ලවය සම්පූර්න කරනවා නො ව, එය ආරම්භ කරනවා පමනි. සමාජවාදය ගොඩ නැගීම ග්‍රහනය කල හැක්කේ ජාතික හා ජාත්‍යන්තර පරිමානව සිදු වන පන්ති අරගලයේ අත්තිවාරම මත සිට පමනි. ලෝක ක්ෂේත්‍රයෙහි ධනපති සබඳතාවන් අති මහත් ලෙස වැඩී පවතින තත්වයන් යටතේ මෙම පන්ති අරගලය නො වැලැක්විය හැකි ලෙස ම පිපිරීම් කරා, එනම්, අභ්‍යන්තර වසයෙන් සිවිල් යුද්ධ හා බාහිර වසයෙන් විප්ලවවාදී යුද්ධ කරා යොමු විය යුතු ය. දිනකට පෙර ප්‍රජාතන්ත්‍රීය විප්ලවය සම්පූර්න කල පසුගාමී රටක් සම්බන්ධයෙන් වුවත්, දිගු කලක් තිස්සේ ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තුවාදය පැවති පැරනි ධනපති රටක් සම්බන්ධයෙන් වුවත් සමාජවාදී විප්ලවයේ නො නවතින ස්වභාවය ඇති වන්නේ මේ නිසා ය.
10. ජාතික සීමාවන් තුල සමාජවාදී විප්ලවය සම්පූර්න කිරීමක් ගැන සිතීමට වත් නො හැකි ය. ධනේශ්වර සමාජයේ අර්බුදයට එක් මූලික හේතුවක් වන්නේ, එම ධනේශ්වර සමාජය විසින් නිර්මානය කෙරුනු නිෂ්පාදන බලවේගයන් තවදුරටත් ජාතික රාජ්‍යයේ රාමුව තුල කොටු කර තැබීමට නො හැකි වීම යි. එක් අතකින් මින් ගලා එන්නේ අධිරාජ්‍යවාදී යුද්ධය යි. අනෙක් අතින් ධනේශ්වර යුරෝපා එක්සත් ජනපදයක් පිලිබඳ මනෝරාජ්‍යය යි. සමාජවාදී විප්ලවය ජාතික තලය මත ඇරඹේ. ජාත්‍යන්තර තලය මත විකසිත වේ. ලෝක තලය මත පූර්නත්වය ලබයි. මේ අනුව සමාජවාදී විප්ලවය වචනයේ නව හා පුලුල් අර්ථයකින් නො නවතින විප්ලවයක් බවට පත් වෙයි. එය පූර්නත්වය ලබන්නේ අපේ මුලු පෘථිවි තලය මත ම නව සමාජය ලබන අවසාන ජයග්‍රහනය තුලින් පමනි.
11. ඉහත දක්වන ලද ලෝක විප්ලවයේ විකාශනය පිලිබඳ රේඛා මාත්‍ර සටහන, කොමින්ටර්නයේ වත්මන් ක්‍රියාමාර්ගය විසින් පන්ඩිතමානී හා අජීව වර්ගීකරනයක ස්වරූපයකින් මතු කෙරෙන සමාජවාදය සඳහා ‘මේරූ හෝ නොමේරූ’ රටවල් පිලිබඳ ප්‍රශ්නය අහෝසි කර දමයි. ධනපති ක්‍රමය විසින් ලෝක වෙලඳ පොලක් ලෝක ශ්‍රම විභජනයක් ලෝක නිෂ්පාදන බලවේගයන් නිර්මානය කර ඇති තාක් දුරට, එය ලෝක ආර්ථිකය සමස්තයක් වසයෙන් සමාජවාදී පරිවර්තනයට ද සූදානම් කර ඇත්තේ ය.
විවිධ රටවල් විවිධ වේශයන්ගෙන් මෙම ක්‍රියාදාමය තුලින් ගමන් ගනු ඇත. සමහර තත්වයන් යටතේ පසුගාමී රටවල් දියුනු රටවලට වඩා ඉක්මනින් කම්කරු පන්ති ඒකාධිපතිත්වය කරා ආ හැකි වුව ද ඒ රටවල් සමාජවාදය කරා එනු ඇත්තේ, දියුනු ධනපති රටවලට පසුව ය.
ගොවි ජනතාව එකමුතු කොට බලය ගැනීමට තරම් සෑහෙන සූදානමක් නොමැති කම්කරු පන්තියක් සහිත පසුගාමී විජිත හෝ අර්ධ-විජිත රටක් ඒ හේතුව නිසා ම ප්‍රජාතන්ත්‍රීය විප්ලවය අවසානයක් කරා ගෙන ඒමට අසමත් වෙයි. අනෙක් අතට, ප්‍රජාතන්ත්‍රීය විප්ලවයේ ප්‍රතිඵලය වසයෙන් බලය තමන් අතට දිනා ගත් කම්කරු පන්තියක් සිටින රටක (කම්කරු පන්ති) ඒකාධිපතිත්වයේත් සමාජවාදයේත් ඉනික්බිති ඉරනම, අවසාන විග්‍රහයේ දී තීන්දු වන්නේ, ජාතික නිෂ්පාදන බලයන් මත පමනක් නො වේ. ඊට වඩා එය තීන්දු වන්නේ, ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ වර්ධනය මතයි.
12. නො නවතාන විප්ලව න්‍යායට ස්ථිරසාර ලෙසත් අවසානය දක්වා මත් විරුද්ධ වන එක ම න්‍යාය වන්නේ ඔක්තෝබරයට විරුද්ධ ප්‍රතිගාමිත්වයේ මුහුන් මත නැගුනු, තනි රටක සමාජවාදය පිලිබඳ න්‍යාය යි. අපේ විවේචනයේ කස පහර යටතේ, තනි රටේ සමාජවාදය පිලිබඳ න්‍යාය උපයෝග කිරීම, රුසියාවේ සුවිශේෂ ලක්ෂන (විශාලත්වය හා ස්වාභාවික සම්පත්) කරන කොට ගෙන එරටට පමනක් සීමා කර තැබීමට අපගතයන් කරන උත්සාහයෙන් සිදු වන්නේ තත්වය වඩා හොඳ වීම නොව වඩාත් නරක වීම ය. ජාත්‍යන්තරවාදී ආස්ථානයෙන් කැඩීම හැම විට මත් අනිවාර්යයෙන් මත් ගමන් කරන්නේ ජාතික පරමෝදාරත්වයක් පිලිබඳ සංකල්පය කරා ය. එනම් අනෙකුත් රටවලට සාක්ෂාත් කරනු නො හැකි කාර්ය භාරයක් ඉටු කිරීමට හැකිකම ලබා දෙන්නේ යැයි පැවසෙන විශේෂ විශිෂ්ටතාවන් හා ගුනාංගයන් තමන්ගේ ම රටට ප්‍රතිපදානය කිරීම කරා ය.
ලෝක ශ්‍රම විභජනය, සෝවියට් කර්මාන්තය විදේශ තාක්ෂනය මත යැපීම, යුරෝපීය දියුනු රටවල නිෂ්පාදන බලවේගයන් ආසියාතික අමුද්‍රව්‍ය මත යැපීම යනාදිය, ලෝකයේ කිසියම් තනි රටක් තුල ස්වාධීන සමාජවාදී සමාජයක් ගොඩ නැගීම කල නොහැක්කක් බවට පත් කරයි.
13. රුසියානු විප්ලවයේ සමස්ත අත්දැකීමට ප්‍රතිවිරුද්ධව දිවෙන ස්ටැලින්ගේ හා බුකාරින්ගේ න්‍යාය, ප්‍රජානත්ත්‍රීය විප්ලවය සමාජවාදී විප්ලවයට පටහැනිව යාන්ත්‍රිකව පිහිටුවනවා පමනක් නොව ජාත්‍යන්තර විප්ලවයත් ජාතික විප්ලවයත් අතර කැඩීමක් ද ඇති කරයි.
මෙම න්‍යාය, තමන් විසින් කම්කරු පන්ති ඒකාධිපතිත්වයට ප්‍රතිවිරුද්ධව මතු කෙරෙන ප්‍රජාතන්ත්‍රීය ඒකාධිපතිත්වයක් පිලිබඳ සාක්ෂාත් කර ගත නොහැකි රාජ්‍ය ක්‍රමයක් ස්ථාපිත කිරීමේ කර්තව්‍යය, පසුගාමී රටවල විප්ලවයන් මත පටවයි. ඒ අනුව මේ න්‍යාය (කම්කරු පන්ති) දේශපාලනය තුලට මිථ්‍යාවන් හා ප්‍රබන්ධයන් ඇතුලු කරයි. පෙරදිග කම්කරු පන්තියේ බලය සඳහා අරගලය අඩපන කරයි. විජිත විප්ලවයේ ජයග්‍රහනයට බාධා කරයි.
ලෙනින්වාදය පාවා දුන් අපගතයන්ගේ න්‍යායේ දෘෂ්ටි කෝනයට අනුව, කම්කරු පන්ති විසින් බලය අල්ලා ගැනීම ම, විප්ලවය සම්පූර්න වීම (ස්ටැලින්ගේ සූත්‍රයට අනුව ‘දහයෙන් නමයක් යන ප්‍රමානය දක්වා’) හා ජාතික ප්‍රතිසංස්කරනවල යුගය විවෘත වීම සලකුනු කරයි. මේ අනුව, කුලැක්වරු සමාජවාදය කරා වැඩී ඒම හා ලෝක ධනේශ්වරය ‘නිර්පාක්ෂික කිරීම‘ පිලිබඳ’න්‍යායන් දෙක ම, තනි රටක සමාජවාදය පිලිබඳ න්‍යායෙන් වෙන් කල නො හැකි ය. මේ න්‍යායන් දෙක එක්කෝ එකට ම පවතී. නැත්නම් එකට ම කඩා වැටෙයි.
ජාතික සමාජවාදය පිලිබඳ න්‍යාය විසින්, කොමියුනිස්ට් ජාත්‍යන්තරය, මිලිටරි ආක්‍රමනයන්ට විරුද්ධ අරගලය සඳහා පමනක් පාවිච්චියට ගත හැකි අතුරු ආයුධයක් පමනක් බවට පිරිහෙලා ඇත. කොමින්ටර්නයේ වත්මන් ප්‍රතිපත්තිය ද එහි තන්ත්‍රය ද එහි නායක පුද්ගලයන් තෝරා ගැනීම ද කොමියුනිස්ට් ජාත්‍යන්තරය ස්වාධීන කර්තව්‍යයන් විසඳීමට නිර්නිත නො වූ අතිරේක වැදගත්කමක් පමනක් දරන ඒකකයක් බවට පිරිහෙලනු ලැබීම සමග මුලුමනින් ම අනුරූපී වෙයි.
14. බුකාරින් විසින් නිර්මානය කරන ලද කොමින්ටර්නයේ ක්‍රියා මාර්ගය උඩ සිට පහලට ම සාරසංග්‍රහවාදී ය. ලෝක විප්ලවයේ නො නවතින ස්වභාවයෙන් වෙන් කල නො හැකි මාක්ස්වාදී ජාත්‍යන්තරවාදය, තනි රටක සමාජවාදය පිලිබඳ න්‍යාය සමග පාහන්ට එය අසාර්ථක උත්සාහයක් දරයි. කොමියුනිස්ට් ජාත්‍යන්තරය තුල නිවැරදි ප්‍රතිපත්තියක් හා සෞඛ්‍ය සම්පන්න තන්ත්‍රයක් සඳහා කොමියුනිස්ට් වාම විරුද්ධ කන්ඩායම කරන අරගලය මාක්ස්වාදී ක්‍රියාමාර්ගය සඳහා කරන අරගලය සමග නො වෙන් කල හැකි සේ බැඳී පවතී. එසේ ම ක්‍රියාමාර්ගය පිලිබඳ ප්‍රශ්නය, අන්‍යොන්‍ය වසයෙන් නො පෑහිය නො හැකි නො නවතින විප්ලව න්‍යාය හා තනි රටක සමාජවාදය පිලිබඳ න්‍යාය යන න්‍යායන් දෙක පිලිබඳ ප්‍රශ්නයෙන් නො වෙන් කල හැකි ය. කලකට ඉහත දී ලෙනින් හා ට්‍රොට්ස්කි අතර වූ, ඉතිහාසය විසින් මුලුමනින් ම ක්ෂය කර දමන ලද, මතභේදයන්ගේ මට්ටමෙන් ඔබ්බට නො නවතින විප්ලවය පිලිබඳ ප්‍රශ්නය වැඩී ගොස් පවතී. අරගලය පවත්නේ එක් අතකින් මාක්ස්ගේ හා ලෙනින්ගේ මූලික අදහසුත් අනෙක් අතින් මාධ්‍යමිකයන්ගේ සාරසංග්‍රවාදයත් අතර ය.
*
1929 නොවැම්බර් 30 වැනි දා, කොන්ස්තන්තිනෝපෝලයේ දී