ඉදිරිදර්ශන

ජන සංහාරය හරහා “සාමය”: ට්‍රම්ප්, පලස්තීනුවන්ගේ ඇටකටු මත සිටගෙන මැද පෙරදිග සඳහා “ඓතිහාසික නව යුගයක උදාව” ප්‍රකාශ කරයි

[මෙය “Peace” through genocide: Trump proclaims “historic dawn” for Middle East on the bones of the Palestinians යන මැයෙන් 2025 ඔක්තෝබර් 14 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, 2025 ඔක්තෝබර් 13 වන සඳුදා, ඊජිප්තුවේ ෂාර්ම් එල් ෂෙයික් හි පැවති සමුලුවේ කතා කරමින් සිටින අතර, වම්පස සිටින ඊජිප්තු ජනාධිපති අබ්දෙල්-ෆටා අල්-සිසි සවන් දෙයි. [ඒපී ඡායාරූපය/ඉවාන් වුචි] [AP Photo/Evan Vucci]

.

ක්‍රිස්තු වර්ෂ 98 දී, රෝම අධිරාජ්‍යයේ හමුදා විසින් බ්‍රිතාන්‍යය විනාශ කිරීම විස්තර කරමින්, ඉතිහාසඥ ටැසිටස් මෙසේ ලිවීය: “ඔවුහු කාන්තාරයක් නිර්මානය කර, එය සාමය ලෙස හඳුන්වති.” වසර 2,000 කට පමන පසු, මෙම කටුක වචන, ඊශ්‍රායලය සහ එහි අධිරාජ්‍යවාදී අනුග්‍රාහකයන් විසින් ගාසා තීරයේ පලස්තීන ජනතාව මත පනවා ඇති කුරිරු කොන්දේසි වලට ද එලෙස ම අදාල වේ.

ගාසා තීරය සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඊනියා “සාම ගිවිසුමෙන්”, පලස්තීනුවන්ගේ අයිතිවාසිකම් පාගා දමන සහ බලශක්තිවලින් අනූන මැද පෙරදිග ඇමරිකානු පාලනය ශක්තිමත් කරන අධිරාජ්‍යවාදී ආරක්ෂක බල වැයික්කියක් නිර්මානය කෙරෙයි. ඊශ්‍රායල පාර්ලිමේන්තුවට (නොසෙට්) ට්‍රම්ප් කල කතාවෙන් සහ ඉන් අනතුරුව, සඳුදා (ඔක්තෝබර් 13), ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසි විසින් සංවිධානය කරන ලද, ඊජිප්තුවට රැස් වූ ජන සංහාරයේ හවුල්කරනයන්ගේ හමුවෙන් මෙය පැහැදිලි විය.

පැයකට වැඩි කාලයක් දිග ඇදුනු වාචාල කතාවේ දී, ට්‍රම්ප් කතා කලේ, මාෆියා නායක ටෝනි සොප්‍රානෝගේ (එච්බීඕ රූපවාහිනී අපරාධ කතා මාලාවක් වන “ද සොප්‍රානෝස්” හි ප්‍රධාන ප්‍රබන්ධ චරිතය ටෝනි සොප්‍රානෝයි.) ව්‍යක්ත භාවයෙනි. ඔහු ඊශ්‍රායල නීති සම්පාදකයින්ට “සාමය” සාක්ෂාත් කර ගැනීම සඳහා ඇමරිකානු ආයුධවලින් ලැබුනු හයිය ගැන පුරසාරම් දෙඩ වුයේ ය; යුද අපරාධකරුවෙකු ලෙස අල්ලා ගැනීමට නම්කර ඇත්තෙක් වන අගමැති බෙන්ජමින් නෙතන්යාහුට එරෙහි ව එල්ල වී තිබෙන දූෂන චෝදනා සම්බන්ධයෙන් සමාව අයැද සිටි ඔහු, එක්සත් ජනපද ආධිපත්‍යය යටතේ මැද පෙරදිග “නව යුගයක ඓතිහාසික උදාව” ආරම්භ වී ඇතැයි දිවුරා කියා සිටියේ ය. නෙතන්යාහු සහ ඊශ්‍රායල ආරක්ෂක හමුදා (අයිඩීඑෆ්) විසින් අධීක්ෂනය කරන ලද ජන සංහාරක ප්‍රචන්ඩත්වය ගැන ගුන වැයූ  ඔහු තමන් ඉදිරියේ නමස්කාර පුර්වක ව සවන් දෙමින් සිටියවුන්ට මෙසේ කීවේ ය: නෙතන්යාහු “මගෙන් බොහෝ වාරයක් ආයුධ ඉල්ලා සිටිමින්” කතා කලා,  “ඊශ්‍රායලය ශක්තිමත් හා බලවත් කිරීමට එක්සත් ජනපදය ඒ සියල්ලම සම්පාදනය කලා. සාමයට මඟ පෑදුවේ එයයි.” ඔහු තව දුරටත් මෙසේ කිවේය: “අපි ඔබට හැම ආයුධයක් ම ලබා දුන්නා; ඔබලා ඒවා හොඳට පාවිච්චි කලා.”

නිල සංඛ්‍යාලේඛනවලට අනුව, සියොන්වාදී තන්ත්‍රය අවි “හොඳින්” භාවිතා කරමින් අවම වශයෙන් 67,000 ක් පමන ඝාතනය කර ඇත, සැබවින් ම නම්, මේ සංඛ්‍යාවට තවත් දස දහස් ගනනක් එකතු විය යුතු ය. ඔවුන් එසේ කලේ, පලස්තීනුවන් සමූල ඝාතනය කිරීමේ ප්‍රකාශිත අභිප්‍රාය ඇති ව බව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවල අසංඛේය වාර්තා වලින් ද නෙතන්යාහු සහ, පලස්තීනුවන් “මිනිස් තිරිසනුන්” යයි කුප්‍රකට ප්‍රකාශය කල හිටපු ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් අත්අඩංගුවට ගැනීමට නිකුත් කල වරෙන්තුවලින් ද පෙන්නුම් කරේ. ලෙබනනයට මාස ගනනාවක් පුරා එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් තවත් දහස් ගනනක් මිය ගියහ; නැතිනම් ආබාධිත විය. බටහිර ඉවුරේ අන්ත දක්ෂිනාංශික පදිංචිකරුවන් සහ අයිඩීඑෆ් විසින් තවත් පලස්තීනුවන් සිය ගනනක් ඝාතනය කර තිබේ.

ට්‍රම්ප්ගේ මැර රංගනය පූර්නත්වයට පත්වූයේ, ඊශ්‍රායලයේ විපක්ෂ දේශපාලනඥයෙකු “පලස්තීනය පිලිගන්නා” ලෙස බයාදු ඉල්ලීමක් සහිත කඩදාසි කැබැල්ලක් ඔසවා පෙන් වූ විට ය. “ඒක හරියට ම කලා” යනුවෙන් ප්‍රතිචාර දැක්වීමට ට්‍රම්ප් පොලඹවමින්, ඔහුව ඉක්මනින් ම සභා ගර්භයෙන් එලියට ඇද දමන ලදී.

ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් පනවන ලද, ගාසා තීරයේ රැඳී සිටින පලස්තීනුවන්ගේ කිසිදු අයිතියක් පිලි නොගන්නා විසඳුම තුල “පලස්තීන රාජ්‍යයක්” යන අරුත් සුන් වාචික කැපවීම පවා නොමැත. සියොන්වාදී තන්ත්‍රය, දේශසීමා පාලනය කරන, තමන් කැමති වේලාවක ලේ වැකි ප්‍රහාර දියත් කිරීමේ හැකියාව ඇති නිත්‍ය  වාඩිලා ගැනීමේ හමුදාවක් රඳවනු ඇත. 1978 කැම්ප් ඩේවිඩ් සම්මුතියේ සිට 1993 ඔස්ලෝ සම්මුතිය දක්වාත්, පසුගිය නොවැම්බර් මාසයේ ජන සංහාරයේ “විරාමය” දක්වාත් ගත වූ පසුගිය දශක පහ තුල, සටන් විරාම උල්ලංඝනය කිරීමේ ක්‍රමානුකූල ඊශ්‍රායල වාර්තාව පෙන්නුම් කරන්නේ, මෙම පුර්වාපේක්ශාව හුදු මනඃකල්පිතයක් නොවන බවයි. එය කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමනි.

මැද පෙරදිග “සාමය” පිලිබඳ ට්‍රම්ප් ගේ , යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන්ගේ නායකයින් ගේ සහ සංගත විසින් පාලනය කරනු ලබන මාධ්‍යවල අතිශයෝක්ති කතා අතිශයින් ම වංචනික ය. පලමුවෙන් ම, වසර දෙකක ජන සංහාරයෙන් දිවි ගලවා ගත් පලස්තීනුවන් නටබුන් ගොඩනැගිලිවලට ඇදදමා තිබේ. ඊශ්‍රායලය නගරයේ ගොඩනැගිලිවලින් හතරෙන් තුනක් විනාශ කිරීමෙන් පසු ගාසා නගරයට නැවත පැමිනෙන 300,000 කට අධික පිරිසට දැක ගැනීමට ඇත්තේ සුන්බුන් ගොඩවල් පමනි.

යුද අපරාධකරුවෙකු ලෙස චෝදනා ලැබිය යුතු ටෝනි බ්ලෙයාර්ගේ සහාය ඇති ව, ඇමරිකානු ඒකාධිපති ට්‍රම්ප් ප්‍රධානත්වය දරන ඊනියා “සාම මන්ඩලය” යටතේ ගාසා පලස්තීනුවන්ට කිසිදු අයිතියක් නොලැබේ. ඔවුන්ට සිදුවන්නේ, එම ප්‍රදේශයේ දේශ සීමා ආරක්ෂා කරන සහ ඕනෑ ම වේලාවක ජනවාර්ගික සුද්ධයකට හෝ තමන්  කැමති ආකාරයකට පදිංචිකරුවන් ඝාතනය කිරීමට නිදහස ඇති අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහ ඔවුන්ගේ සියොන්වාදී දඩ බල්ලාගේ අභිමතයන්ට යටත් ව විසීමටයි.

ගාසා තීරයේ පලස්තීනුවන් මත කුරිරු මර්දනය අධීක්ෂනය කිරීමත්, තම ඒකාධිපති මෙහෙයුමේ දී ප්‍රධාන ඇමරිකානු නගරවල කම්කරු පන්තියට එරෙහි ව කුරිරු රාජ්‍ය මර්දනයක් යෙදවීමට ට්‍රම්ප් තුල පවතින අභිප්‍රායත් අතර නිසැක සමාන්තරතාවයක් පවතී. එයින් පෙන්නුම් කෙරෙන්නේ, විදේශයන්හි ගෙන යන නිමක් නැති අධිරාජ්‍යවාදී ම්ලේච්ඡ ක්‍රියා, දේශීය වශයෙන් ඒකාධිපතිත්වය කරා යන ධාවනය සමඟ එක පෙලට සිදුවන ආකාරයයි.

මෙම ගිවිසුම කලාපය පුරා “සාමය” සඳහා නොව, කොල්ලකෑම් සහ අධිරාජ්‍යවාදී ආක්‍රමනවල තවත් ලේ වැකි යුද්ධ සඳහා වේදිකාව සකසයි. ඉරාන ධනේශ්වර-පූජක තන්ත්‍රය පෙරලා දැමීම සඳහා ඊශ්‍රායලය සමඟ එක්සත් ජනපදය නායකත්වය දෙන සන්ධානයක් තුලට සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් ඇතුලු ගල්ෆ් රාජ්‍යයන් වඩාත් පූර්න ලෙස ඒකාග්‍ර ව සිටී. මෙම වසර මුල දී, ඉරානයේ න්‍යෂ්ටික වැඩපිලිවෙලට  පහර දීම සඳහා එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට ගාසා සංහාරය මගින් ලබා දුන් අවස්ථාව ගැන සඳහන් කල ට්‍රම්ප් ටෙහෙරානයේ “පාලන තන්ත්‍ර වෙනසක්” සිදු කිරීමට තම පරිපාලනයට පවතින කේන්ද්‍රීය අවශ්‍යතාවය හෙලි කලේ ය. “අප මැද පෙරදිග සහ ඊශ්‍රායලය කරදර ගොඩකින් නිදහස් කලා,” යයි ඔහු පුරසාරම් දෙඩුවේ අත්පොලසන් මධ්‍යයේ ය.

ලෝකයේ වෙලඳපොලවල් සහ සම්පත් නැවත බෙදා ගැනීම සඳහා ප්‍රධාන බලවතුන් අතර වේගයෙන් උත්සන්න වන පොරකෑමේ දී, චීනය සහ රුසියාව පසෙකට තල්ලු කිරීම අරමුනු කරගත් ඉන්දියානු-මැදපෙරදිග-යුරෝපා වෙලඳ කොරිඩෝවක් සංවර්ධනය කිරීම සඳහා, ගාසා තීරය තීරනාත්මක ලෙස සැලකේ. ඊජිප්තුවේ පැවැත්වුනු එකඟතා අත්සන් කිරීමේ උත්සවයකට සහභාගී වූ යුරෝපීය අධිරාජ්‍යවාදයේ නායකයින්—ඔවුන් සියල්ලෝ ම ජන සංහාරයේ හවුල්කරුවෝ ය—තුල පැවති අසාමාන්‍ය කඩිමුඩිය අවධාරනය කරන්නේ, ගාසා තීරයේ “ප්‍රතිසංස්කරනය” යන ධජය යටතේ, ඉදිරි ගැටුම්වල දී, ජර්මනිය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය තම තමන්ගේ කාර්යභාරය ඉටු කරනු ඇති බවයි.

ගිවිසුම දිගු කාලයක් පැවතුන ද, කලාපය පුරා පලස්තීනුවන්ගේ සහ පීඩිත ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජීය අභිලාෂයන් විසඳීමට ඉන් කිසිදු පදනමක් සැපයෙන්නේ නැත. වර්තමාන ඊශ්‍රායල රාජ්‍යය, අධිරාජ්‍යවාදී පිටුබලය ලත් සංහාරයක සහ පලස්තීන සහ සිරියානු ඉඩම් නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීමේ ව්‍යාපාරයක නිර්මානයක් බව සලකන විට, “රාජ්‍ය දෙකේ විසඳුමක්” පිලිබඳ අදහස විකාරයකි. යුදෙව් ජනතාවට ආරක්ෂිත ක්ෂේම භූමියක් ලෙස ජාතික නිජබිමක් සුරක්ෂිත කිරීමේ සියොන්වාදී උපාය මාර්ගයේ බංකොලොත්භාවය, ලොව පුරා වැඩෙන යුදෙව් ජනගහනය ද ඇතුලු ව, සියල්ලන්ට ම පැහැදිලිව දැකගත හැකි ය. සියොන්වාදී රාජ්‍යය පවත්වා ගෙන යා හැක්කේ, ජන සංහාරයකින් සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ බලකොටු මුරපොලක් ලෙස පමනි.

ගාසා තීරය “හමුදාකරනය” කර, ඔහුගේ පුද්ගලික ආඥාව යටතේ ඇමරිකානු ආරක්ෂක තිප්පොලක් ලෙස තබන බවට ට්‍රම්ප් විසින් සහතික කර කියා සිටි තතු යටතේ පෙන්නුම් කෙරෙන්නේ, අධිරාජ්‍යවාදී බලවතුන් සහ කෘර අරාබි පාලකයන් පිලිගන්නා ඕනෑ ම පලස්තීන රාජ්‍යයක්, එය ලියා ඇති කඩදාසිය තරම්වත් නොවටනා බව යි. බටහිර ඉවුරේ ජනාවාස පුලුල් කිරීම නිසා සිදු ව ඇත්තේ, පලස්තීන අධිකාරිය විසින් නාමික ව පාලනය කරන භූමිය, පලස්තීනයේ අගනුවර ලෙස යෝජිත නැගෙනහිර ජෙරුසලමෙන් වෙන් කර ලීමයි.

සඳුදා (13) පැවැත්වුනු අත්සන් කිරීමේ උත්සවය වනාහි, අධිරාජ්‍යවාදී බලවතුන්ගේ විරුද්ධවාදීන් ලෙස හෝ අවම වශයෙන් විකල්පයක් ලෙස පෙනී සිටීමට උත්සාහ කල කලාපයේ සෑම ධනේශ්වර ජාතිකවාදී පාලන තන්ත්‍රයකට ම එරෙහි අධි චෝදනා පත්‍රයකි. අවසානයේ දී, ගාසා තීරයේ ජන සංහාරය දිගට ම ගෙන යාමට ඉඩ සලසමින් ඔවුහු සියලු දෙනා ම අධිරාජ්‍යවාදය සමඟ සිය සහයෝගීතාවය වෙනුවෙන් පලස්තීනුවන්ගේ අයිතිවාසිකම් බිලි දුන් අතර ට්‍රම්ප් විසින් ප්‍රවර්ධනය කරන ලද නින්දිත ගිවිසුමට ආශිංසනය කලහ.

ෂාම් එල් ෂෙයික් හි දී ට්‍රම්ප් විසින් මෙම නීච ගිවිසුම අත්සන් කරන ලද අතර, තුර්කිය, ඊජිප්තුව සහ කටාර් නායකයෝ ද ඊට එක් වූහ. ඊශ්‍රායලය විසින් පලස්තීනුවන් ඝාතනය කිරීම කුහක ලෙස විවේචනය කරන අතර ම, තුර්කි ජනාධිපති රිසෙප් ටයීප් එර්ඩෝගන්ගේ ආන්ඩුව, ජන සංහාරය පුරාවට ම, සියොන්වාදී තන්ත්‍රයට අසර්බයිජානයෙන් තෙල් සැපයීම දිගට ම කරගෙන ගිය අතර එක්සත් ජනපද සහාය ඇති ව අසාද් තන්ත්‍රය පෙරලා දැමීමත් සමඟ සිරියාවේ සිය බලපෑම පුලුල් කර ගත්තේ ය. එක්සත් ජනපද හමුදා කඳවුරකට ප්‍රවේශ වීමට ඉඩ දීමේ පොරොන්දුව මත මිල දී ගනු ලැබූ කටාර් පාලනය, අනෙකුත් ගල්ෆ් රාජ්‍යයන් සමඟ එක් ව, ට්‍රම්ප්ගේ බෑනනුවන් වන ජාරෙඩ් කුෂ්නර්ගේ මූල්‍ය ව්‍යාපාරයක් සඳහා ඩොලර් බිලියන 5 කට ආසන්න ආයෝජනයකට ද හවුල් වුයේ ය.

මැදපෙරදිග පීඩිත ජනතාවගේ නොවිසඳුනු ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජීය අයිතිවාසිකම් කිසිවක්, අරාබි, ඉරාන, තුර්කි හෝ සියොන්වාදී ආදී  විවිධ ජාතිකවාදී මාදිලියේ ජාතික ක්‍රියාමාර්ගයක් මගින් විසඳිය නොහැක. පලස්තීනුවන් දැන් මුහුන දී සිටින මංමුලා සහගත තත්වය මෙන් ම, සියොන්වාදය විසින් ඊශ්‍රායල කම්කරු පන්තිය රැගෙන යනු ලබන ආවෘත අන්තය, ඒවාට ම ආවේනික ඛේදජනක ආකාරයකින් තහවුරු කරන්නේ, මෙම ස්ථාවරයේ නිවැරදි බව යි.

දශක ගනනාවක් පුරා අරාබි ආන්ඩු විසින් සුදුහුනු ගාන ලද්දාවූත් පලස්තීන ජාතිකවාදී ව්‍යාපාර විසින් ප්‍රසංශා කරන ලද්දාවූත් අසංඛ්‍යාත “සාම” ගිවිසුම් සෑම එකක් ම නිර්මානය කර ඇත්තේ, ඊශ්‍රායල සමූහ ඝාතන සහ මර්දනය සඳහා පදනම දැමීමක් පමනි.

පලස්තීනුවන්ගේ ඛේදවාචකය වී ඇත්තේ, දියුනු රටවල විප්ලවවාදී ව්‍යාපාරයක් නොමැතිකම හේතු කොටගෙන ඔවුන්ට කම්කරු පන්තියේ සහයෝගය අහිමි වීමයි. මැදපෙරදිග බොහෝ කාලයක් තිස්සේ දුක් විඳින ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජීය අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීමට සහ සාමකාමී සහජීවනය සඳහා සැබෑ පදනමක් ස්ථාපිත කිරීමට ඇති එක ම මාර්ගය, නොනවතින විප්ලවයේ ඉදිරිදර්ශනය සඳහා සටන් කිරීමයි. අරාබි, යුදෙව්, ඉරාන, තුර්කි සහ කුර්දි කම්කරුවන් කලාපයේ අධිරාජ්‍යවාදී ආධිපත්‍යයට එරෙහි ව සහ ලෝක සමාජවාදී ෆෙඩරේෂනයක  කොටසක් ලෙස, මැදපෙරදිග එක්සත් සමාජවාදී රාජ්‍යයක් නිර්මානය කිරීම සඳහා පොදු අරගලයකට එක්සත් විය යුතු ය. මෙම අරගලයේ දී, ඔවුන්ගේ මිතුරන් සොයා ගත හැක්කේ, අධිරාජ්‍ය ගැති, දූෂිත සියොන්වාදී සහ අරාබි පාලක පන්ති තුලින් නොව, උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල කම්කරු පන්තිය තුලිනි. 

මෙම සන්ධානය—ජන සංහාරයේ, අධිරාජ්‍යවාදී යුද්ධයේ සහ සෑම ආකාරයක ම යටත් විජිත පන්නයේ පීඩනයෙහි මූල හේතුව වන—ධනවාදය අවසන් කිරීමට සමත් ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන හා කාර්මික ව්‍යාපාරයක් ලෙස ගොඩනැගීම කල හැක්කේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි දිනපතා මාධ්‍යය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් සටන් කරන විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලේ පදනම මත පමනි.

Loading